Sunday, December 30, 2012

රතු වැස්සට පසු 2013...

"මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්‍රජාතන්ත්‍රවාදය, ලෙනින්වාදය, කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍යය - මේ විසිවැනි සියවසේ අති විශිෂ්ඨ නිපැයුම් - තවදුරටත් ප්‍රායෝගිකව භාවිත කළ හැකි නොවේ." 
(ඇලේන් බදියු, "සාකෝසි යනු කුමක්ද?", පි. 145)

මෙම ප්‍රකාශය ලංකාවේ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ජීරණය කර ගැනීම අපහසු වන බව අපට වැටහී ගියේ මෙම පොත පිළිබඳව කල පළමු කියවීමෙදීමය. ඇත්ත. ලංකාවේ පශ්චාත්-මාක්ස්වාදය පිලිබඳ සාකච්චාව නැතිනම් පශ්චාත්-ලෙනින්වාදී දේශපාලන සංවිධානගතවීමක අවශ්‍යතාවය ඇති වූයේ මෙම පොත පරිවර්තනය වීමට පමණක් නොව එය ප්‍රංශ බසින් ප්‍රකාශ වීමටත් පෙරය. නමුත් අපේ රටේ සුවිශේෂී දේශපාලනික පිහිටුමක් නිසා මෙම න්‍යායික-ඓතිහාසික අවබෝධය අපිට දේශපාලනික සංවිධානගතවීමේ යථාර්ථයක් ලෙස අභිමුක නොවූවා පමණක් නොව ඉහත සාකච්චාව හා බුද්ධිමය වශයෙන් සම්බන්ධ විය හැකි 'විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්' වැනි සමාජ අවස්ථාවන් තුල පවා ඉතා සරල, නූගත් වචන ('සංශෝධනවාදය', 'ප්‍රතිසංස්කරණවාදය'... ) කීපයකින් මෙම අවබෝධය සඟවාලනු හැකි විය. නමුත් විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසුව බිහි වන ලස්සන ලංකාව තුල නූගත් වචන සහ බාගෙට තැම්බූ සංකල්ප තුල සැඟවීමට මානව විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කරන සියලු දෙනා හට තවදුරටත් නොහැකි බව අපගේ අදහසයි. 

Monday, December 24, 2012

උන්ට-ලොජිකල් ලෙනින්වාදය සහ උන්ට-ලොජිකල් ප්‍රජාතන්ත්‍රවාදය




x කණ්ඩායම ලෙස අප පළමු වරට ලංකාවේ ජනප්‍රිය වුයේ 'පශ්චාත් නූතනවාදය' යන්නත් සමගයි. ඇත්තටම එකල අපේ දේශපාලන සංවාදයේ එක් ප්‍රධාන තාක්ෂණික මෙහෙයුමක් උනේ 'අතීත ලංකාව' තේරුම් ගත්ත සංකල්පීය මිනුම් දඬු භාවිතා කල පුද්ගලයන්ට මෙම 'නව ලංකාව' නොතේරීම අවධාරණය කිරීමයි. එමගින් අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලනය ගැන ලියන්නන් යල් පැනගිය අය වීමත්, එයට පරස්පරව අප වත්මන් මොහොත හරියට ම තේරුම් ගත් නවීනයන් බවටත් එකවර පත්වෙන ද්විත්ව ක්‍රියාකාරී රේසරයක් අපිට ලැබුණා. ඒ නිසා තමයි අපිට නිතරම කියන්න පුළුවන් වුනේ මෙන්න මේ වගේ වාක්‍ය: 

'ඉස්සර පුද්ගලයන්ට අවශ්‍ය වන විදිහේ වාහන මිලට ගත්තානම් අද වන්නේ වාහනයට අවශ්‍ය පරිදි පුද්ගල ජීවිතය සකස් වීම යි.'

'ඉස්සර පුවත්පතක ඕපාදූප පලවෙන අතිරේකය ප්‍රධාන පුවත්පතට එකතු වන්නක් නම් අද ප්‍රධාන පුවත්පත පිට වන්නේ අතිරේකය වෙනුවෙන් ය'

'ඉස්සර රූපවාහිනී වැඩසටහන පෙන්වීම සඳහා දැන්වීම් යොදා ගත්තනම් අද දැන්වීම් පෙන්වීමට වැඩසටහන යොදා ගන්නවා'

Monday, December 17, 2012

ගන්ගම් ස්ටයිල් එකේ දේශපාලනය

මෙයට මාස කිහිපයකට පෙර අපගේ සමාජ වැඩ ගැන උනන්දුවක් තිබෙන තරුණයෙක් මුණ ගැසුණි. ප්‍රධාන පරිඝනක මෘදුකාංග සමාගමක සේවය කරනා ඔහු පුද්ගලික ජීවිතය තුලදී ලංකාවේ මිල අධික සමාජ ශාලා සහ බොජුන් හල් වල නිතර ගැවසේන්නෙකි. මේ නිසාම ලංකාවේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්  දේශපාලකයන්  ගේ තරුණ පුතුන් නිතර නිතර මුණ  ගැසෙනා මොහු බොහෝ නිදර්ශණ සපයමින් අප සමග පැවසුවේ එම පුද්ගලයන් ලංකාව තමන්ගේ පුද්ගලික  නින්දගමක්  ලෙස සලකමින් පිස්සු නටනා ආකාරය සහ මෙවන් ලංකාවක ඛේදනීය-ප්‍රහසනයයි. පසුගියදා අවසන් වූ 'කලම්බෝ නයිට් රේස්' එක නැරඹීමටද මෙම තරුණයා ගොස් තිබුණු අතර එයට පසු එහිදී ඔහු විනෝද වූ ආකාරය දැක්වෙන චායාරූප විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකට ඇතුලත් කර තිබෙනු අපට දැක ගත හැකිවිය. 'දේශපාලක පුතුන්' විසින් පිස්සු නටන ආකාරය ගැන බෙහෙවින් විවේචනාත්මක වූ ඔහු, මහ පාරවල් වසා, ඒවා භාවිතා කරනා මිනිසුන් අපහසුතාවයට පත්කරමින්, තවත් දුප්පතුන් විශාල ප්‍රමාණයකගේ දෛනික ආදායම් අහිමි කරමින් කරනා විගඩම් සිය විනෝදාස්වාදන මාර්ගයක් බව පිළිගැනීම පරස්පරයක් බව හඳුනාගෙන තිබුනේ නැත.

Wednesday, December 12, 2012

ඉතිහාසයේ හදිසි අනතුරු

පෝල් ෆෙයරාබන්ඩ් ගේ Against Method කෘතිය ලංකාවේ ජාතික චින්තන ව්‍යාපෘතිය සඳහා කල කේන්ද්‍රීය බලපෑම බොහෝ දෙනා දන්නා කරුණකි. අදටත් නලින් ද සිල්වා මහතාගේ ලියවිලි වල, ප්‍රසිද්ධ අදහස් දැක්වීම් වල ෆෙයරාබන්ඩ් ගේ තර්ක සහ නිදර්ශන පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන් වෙයි. විද්‍යාවේ වර්ධනය තුල පදනම් වන එකම මූලධර්මය වන්නේ 'ඕනෑම දෙයක් ඔට්ටුයි' ('anything goes') යන්න බව සඳහන් ෆෙයරාබන්ඩ් ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය නලින් ද සිල්වා මහතා විසින් 'ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමට', 'මහසෝනා ප්‍රවාදය වර්ධනය කිරීමට' සහ 'නාථ දෙවියන්ගේ සත්භාවය තහවුරු කිරීමට' යොදා ගත් ආකාරය හඳුනා ගැනීමට කෙනෙක් ෆෙයරාබන්ඩ් ව කියවීම අත්‍යවශ්‍ය වෙයි. 

Saturday, December 8, 2012

බුදුන්ගේ උපමා කතාව

පසුගියදා අපට රොහාන් පෙරේරා සමග කලක් වැඩ කරමින් සිටි තරුණයෙක් මුණ ගැසුණි. රොහාන් පෙරේරා නම් චරිතය ලංකාවේ සිදු කල සමාජ මැදිහත්වීම සහ ඒ හරහා බිහිවුණු සමාජ ක්‍රියාකාරිත්වය පිළිබඳව කලකට පසුව කතා කරන්නට මේ නිසා අපට අවස්ථාව සැලසුණි. '60 දශකයේ ප්‍රංශ දර්ශනය' නම් මැජික් පොල්ලෙන් පරම්පරා කීපයකට මැජික් පෙන්වපු රොහාන් සහ ඔහුගේ විවිධ අවතාර ගැන සිහි කරන විට අපට නිතර මතක් වන බෞද්ධ කතාවක් තිබේ. දර්ශනය ඉගෙන ගන්නට කැමති හුදී ජන පහන් සංවේගය පිණිස එය පහතින් පල කරන්නෙමු.  

Wednesday, November 28, 2012

බදියු ගැන ලාංකික තිසීස එකොළහ

1. අප ජීවත්වන යුගයේ ප්‍රධානම දාර්ශනිකයා ඇලේන් බදියු බව ස්ලැවොයි ජිජැක් විසින් 2008 වසරේ අවසානයේදී පිළිගනු ලැබීය.ලැකේනියානු න්‍යායේ සමකාලීන ගෝලීය බලකේන්ද්‍රය වන්නේ ස්ලැවොයි ජිජැක් වන අතර, ඔහුගේ වඩාත් පැතිරුණු අනුගාමිකයන් පරාසය අයත්වන්නේ සිනමා විචාරය අළලා ඔහු කරන මැදිහත්වීමටය. 

2. බොහෝ දෙනෙකුගේ කැමැත්ත කුමක් වුවත් පසු ගිය දශක එකහමාරක පමණ කාලය තුල මෙරට බුද්ධිමය සංවාදයේ අධෝව්‍යුහය වූයේ ලැකේනියානු න්‍යායෙන් ප්‍රභවය වූ කතිකාවකි. ජාතික චින්තන ව්‍යාපාරයේ විද්‍යාත්මක සබුද්ධිකත්වයට එරෙහි දාර්ශනික විවේචනය ක්‍රමිකව වාර්ගික දේශපාලනවාදයකටත් ආගමික ගූඨවාදයකටත් ගමන් කිරීම සමග ඉතාම සීමිත පැවැත්මක් සහිත මෙරට බුද්ධිමය සංවාදයේ කේන්ද්‍රයට ඉහත කතිකාව පැමිණ තිබේ. 

Sunday, November 25, 2012

කොමියුනිස්ට් උපන්‍යාසය කියන්නේ කුමක්ද?

ඉන්දියාවේ කූන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය විසින් ලංකාව තුල ඇති කල හැකි විනාශය පිළිබඳව මහජන සාකච්චාවක් ඇති කිරීම පිළිබඳව ජන අරගල ව්‍යාපාරය ඇතුළු සංවිධාන කීපයක් සමග අප සාකච්චාවක් පැවැත්වීම පිළිබඳව දීප්ති කුමාර ගුණරත්න මහතා ගේ කණ්ඩායම බොහෝ සේ කලබල වී ඇත. අප පිළිබඳව අර්ථ විරහිත මඩ ගැසීම් නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එය පිළිගන්නේ නොමැති නිසා අපට කලින් කලට මෙවැනි දේ ලිවීමට සිදුවේ. මෙවර ඔවුන් අපට එරෙහිව නගනා ප්‍රධාන අවලාද දෙකකි. එකක් මෙම බ්ලොග් අඩවියේ තිබෙන්නේ අලි කුණුහරුප ගොඩක් බවයි. දෙවනුව කල්‍යානන්ද පෙරේරා සහ වංගීස සුමනසේකර මානසික රෝගීන් බවයි (නිර්මාල් රංජිත් දේවසිරි මානසික රෝගියෙක්ද නැතිද කියා පැහැදිලිව සඳහන් නොවේ - අනේ බොහොම ස්තුතියි දීප්ති!). මෙම බ්ලොග් අඩවියේ පලවන කුණුහරුප මොනවාදැයි සඳහන් කර තිබුනිනම් එයට පිළිතුරු දීම පිළිබඳව සලකා බැලිය හැකිව තිබුණි. අනෙක් අතට සායනික පුහුණුවක් නැතිව මිනිසුන් මානසික රෝගීන් ලෙස මෙලෙස විනිශ්චය කරනා විශ්මිත මනෝ විශ්ලේෂණ න්‍යාය ෆ්‍රොයිඩ් ට හෝ ලැකෝන් ට සම්බන්ධයක් නැති 'රත්මලාන ප්‍රවාදයක්' වන හෙයින් මේවා අසා සිටිනා නූගත් මෝඩ තරුණයන් ගැන අපට අනුකම්පා කල හැකිය. අප මෙවැනි මඩ ගැසීම් වලට බය නොවේ. අප විසින් ඔවුන්ට කල බුද්ධිමය අභියෝගයන් නොදැක්කා සේ කට්ටි පනිමින් සිටිනා මෙම ගොම ගසන්නන් හට අපිට කීමට ඇත්තේ ඔබලා ඒවාට පිළිතුරු නොදුන් බව අප දන්නා බව පමණි.  එම නිසා අපගේ පුද්ගලික ජීවන ඉතිහාසයේ අතීත සම්බන්ධකම් ගැන කුණු කන්දල් ලිවීමෙන් අපි එය 'කාලයේ වැලිතලාව' තුල යට යන්නට ඉඩ නොදෙන්නෙමු. ඔවුන් 'හේගලියානු බුද්ධිමතුන්' ලංකාවට ගෙන එන බවට කල බොරු කතා නැවත මතක් කරන්නෙමු. බදියුගේ සද්භාවවේදය ගැන මළපොතේ අකුරක් දන්නේ නැතිව අපගේ අදහස් විවේචනය කල ආකාරය මතක් කරන්නෙමු

කෙසේ වුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අප සම්බන්ධ කරමින් ඔවුන් ගොඩ නගනා ප්‍රභන්ධය අපිට, අප අවසාන වරට සාකච්චා කරමින් සිටි 'ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන්වදිනවා කියන්නේ කුමක්ද' කියන එක සම්බන්ධයෙන් වන මීළඟ කොටසට යහපත් පූර්විකාවක් වශයෙන් ගත හැකිය. 'දේශපාලන පක්ෂය' යන ආකෘතියෙන් අපට තවදුරටත් දේශපාලනය කරන්නට හැකිද? අපි මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. අපි අපේ අවසන් සටහන නතර කලේ අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම කල යුත්තේ ඇයිද කියනා ප්‍රශ්නයත් සමගය. 


Saturday, November 24, 2012

මහපාර ගැන සාකච්චාවක්

ප්‍රියාන් ගේ අලුත් කෘතිය එලි දැක්වීම පිලිබඳ සාකච්චාව හෙට සවස 3ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කිසිම සාකච්චාවක් වෙන්නැති මේ ඒකාකාරී කාලය තුල කම්මැලිකම යන්නත් එක්ක ඒ පැත්තට ඇවිත් යන්න එන්න.

Tuesday, November 20, 2012

ද්වේෂා-භියෝගය


රජය විසින් ලබාදුන් වෙනත් පත්වීම් ලෙසම "ස්වාධීන" අධිකරණය සඳහාද එවැනි පත්වීමක් ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් ද  ලබාදුන් බව ta පිළිබඳව විමසීමේදී පෙනී යන කරුණකි. අවම වශයෙන් රැකියාවන් සඳහා ද තෝරාගැනීමක් සිදුවන්නේ දේශපාලන කරුණු සැලකිල්ලට ගෙන ය. එම අයුරින්ම අධිකරණය සඳහා කරන පත්වීම් ගැන ද විමසන්නට ජනයා පෙළඹී නැත. "විධායකය" එසේ නැතහොත් දේශපාලන බලය වැඩියෙන්ම සංකේන්ද්‍රණය වී ඇති ආයතනය හෝ තනතුර යනුම, එම බලය යෙදවීමට නීතියෙන් හෝ පරමාධිපත්‍යයෙන් ම හිමිවී ඇති බලයකි. ඒවා සීමාන්තික හෝ අසීමාන්තික වන්නේ යම් සිද්ධි වලදී ඒවා පාලක-විරුද්ධ පක්ෂ වල අර්ථකතන වලට ලක් කරන අයුරින් ය. බලහත්කාරය, ජන්ද මඟඩි, ජන්ද මංකොල්ල කොපමණ සිදුවුණද මැතිවරණ කල් දැමීම සඳහාද ජන්දය දුන්; පාලකයන්ට ඇවැසි ජනතාවක් ද 1982 ජනමත විචාරණයේදී අපට හමු විය.

Saturday, November 3, 2012

ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන් වදිනවා කියන්නේ කුමක්ද?


පළමු කොටස

දැන් දින කීපයක් තිස්සේ අපගේ බ්ලොග් අඩවියේ අලුතෙන් ලිපි පල නොවන්නේ 'මේ කිසිම දෙයක් හිතෙන්නේ නැති කාලයක්' නිසා නොවේද කියා අසනා කොමෙන්ටුවක් අප වෙත එවා තිබිණි. සමහර විට මෙම කොමෙන්ටුව එවූ අපගේ පාඨකයා සිතන්නට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල පල වන දෙය තීරණය කරන්නේ පවතින අවස්ථාව තුල දෘශ්‍යමානයෙහි තීව්‍ර බව තීරණය කරන නීතිය තුලින් බවයි. නිදර්ශනයක් ලෙස අපි පවතින අවස්ථාව යන්නෙන් 'වර්තමාන මාධ්‍ය සාකච්චාවන් තුල ඇති දේශපාලනික මාතෘකා' යන්න සලකා බලමු. එවිට අපට මෙවැනි සංඝටක කීපයක් හඳුනා ගත හැකිය 'අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය', '13 වෙනි සංශෝධනය අවලංගු කිරීමේ ඉල්ලීම', ආදී ලෙස. දැන්, පවතින අවස්ථාවේ නීතියට අනුව දෘෂ්‍යමානය තුල වඩාත් හොඳින් පෙනෙන්නට තිබෙන්නේ මෙවැනි දේය . එයට සාපේක්ෂව, 'විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඇරඹු අධ්‍යාපනය පිලිබඳ සංවාදය' යන්නට තිබෙන්නේ අඩු තීව්‍රතාවයකින් යුතු දෘශ්‍යමානයකි. නමුත් මෙම බ්ලොග් අඩවිය තුල පල වෙන  දෙයෙහි අන්තර්ගතය තීරණය වන්නේ මෙම දෘශ්‍යමානයන්ගේ තීව්‍රතාවය තීරණය වන නීතිය තුලින් නොවේ - එම අර්ථයෙන් ගත් විට අප 'නීති විරෝධී' බ්ලොග් අඩවියක් වන්නෙමු. පවත්නා අවස්ථාවේ නීතියට සහ කාලක්‍රමිකත්වයට (temporality) පිටින් සිතනා අපගේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය තීරණය වන්නේ වෙනත් ගැටළු කීපයක් අනුසාරයෙන් වන අතර එය අවසාන වශයෙන් සම්බන්ධ වන්නේ අපගේ දේශපාලන දැක්ම සහ භාවිතය සමගය. අපගේ අදහසේ හැටියට මෙම පුළුල් සිතිජය නොමැති ව සමකාලීන දේශපාලනය ගැන සිතන්නට යන ඕනෑම කෙනෙක් පවත්නා අවස්ථාවේ තර්කනය තුල සිරවී විශාදියට පත්වීම අනිවාර්ය වෙයි. 

Saturday, October 27, 2012

විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ?

විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද විය. මේ නිසා, එම ඉල්ලීම ජයග‍්‍රහණය නොකොට ආපසු වැඩට යාම, වර්ජනයේ අසාර්ථකත්වය මනින මූලික මිණුම් දණ්ඩ බවට අද පත්ව ඇති බවක් පෙනේ.  

සිවිල් සමාජය මීට පෙර නොවු විරූ ආකාරයෙන් මේ වෘත්තීය සමිති අරගලය සමග අනන්‍ය විණි නම්, ඒ මේ කියන ඉල්ලීම නිසා බව සැබවි. එහෙත්, වැඩ වැරූ මාස තුනේ පඩිය පමණක් අතට ගෙන, අවශේෂ ඉල්ලීම් පිළිබඳ නොපැහැදිලි ප‍්‍රකාශනයකින් සෑහීමකට පත්ව සියයට 6 පස්සට තැබීම පරාජයක් නම්, එම පරාජයේ වගකීම දැරිය යුත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ම ද යන්න විමසා බැලීම මෙහි අරමුණයි.

Wednesday, October 24, 2012

'බලය' සහ 'දර්ශනය' අතර සාකච්චා ගැන ඩෙලර්ස්


සාකච්චාවල් (negotiations) සමහරවිට කොතරම් කල් ඇදෙනවාද කියනවානම් ඔබ දන්නේ නැහැ ඒවා තවදුරටත් යුද්ධයේ කොටසක්ද නැතිනම් සාමයේ ආරම්භයද කියල. අනෙක් අතට දර්ශනය සෑම විටම තියෙන්නේ දේවල් පවත්නා ආකාරය ගැන විරෝධයක් සහ එම දේවල් විසින් ගෙන එනු ලබන නිසංසල බව අතර මැද්දේ හිර වෙලා. නමුත් දර්ශනය කියන්නේ බලයක් නොවෙයි. ආගම්, රාජ්‍යයන්, ධනවාදය, විද්‍යාව, නීතිය, මහජන මතය සහ රූපවාහිනිය කියන්නේ බලයන් උනත් දර්ශනය එහෙම නොවෙයි. දර්ශනයට එහි මහා අභ්‍යන්තර ගැටුම් (විඥානවාදය සහ යථාර්ථවාදය අතර ආදී ලෙස) තිබෙන්න පුළුවන් නමුත් ඒවා ඇත්තටම බොරු ගැටුම්. බලයක් ලෙස නොපවතින නිසා පවත්නා බලයන් සමග ගැටෙන්නට දර්ශනයට නොහැකි උවත් එය ගැටුම් නොමැති යුද්ධයක් ලෙස, ඔවුන්ට එරෙහි ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස සටන් කරනවා. ඒ එක්කම එයට බැහැ ඔවුන් සමග සංවාද කරන්න. ඔවුන්ට කියන්නට කිසිවක්ම එයට නැහැ. සන්නිවේදනය කරන්න කිසිවක්ම නැහැ. කල හැක්කේ සාකච්චා (negotiate) කිරීම පමණයි. බලයන් කියන්නේ හුදු පරිබාහිර දේවල් පමණක් නොව අප සැවම විනිවිද යන දේවල්ද වන නිසා දර්ශනය විසින් අප සමග කෙරෙන නිරන්තර සාකච්චාවකටත් අපටම එරෙහිව කරන ගරිල්ලා ව්‍යාපාරයකටත් අප සියලු දෙනාවම ඇද දමනවා.

Wednesday, October 17, 2012

අධ්‍යාපනය ගැන අරගලයෙන් අරගලයේ අධ්‍යාපනයට

මේ ලිපිය සරසවි ආචාර්යවරුන්ගේ අරගලය දෙස ආපසු හැරී බලන්නට උත්සාහ කරයි. මේ දිනවල බොහෝ දෙනා එසේ කරනු පෙනෙයි. ඒ හැම බැල්මකම එහිම වූ රාමුවක් තිබේ. ඒ රාමුවෙන් එකිනෙකා ගේ සිතීමේ උත්කර්ෂවත් වස්තූන් ඔවුන් දෙස බලා හිඳිනු දැකිය හැකි ය. කෙනෙකු වෙත අරගලය තුලින් කොටියෙක් දත් විලිස්සාගෙන සිටියි, තවකෙකු වෙත ඩොලර් ඉගිමරයි, තවත් කෙනෙකු ගේ කවුලුවෙන් අරාබි වසන්තයේ හිරු රැස් ගලයි.  මට කුමක් සිදු වනු ඇති ද?

මා දෙස බලා හිඳින එක් උත්කර්ෂවත් වස්තුවක් වන්නේ අධ්‍යාපනය පිලිබඳ සංකල්පනයයි. එය ගොඩනැගනේනේ අරගලය වටා ගොඩනැගුනු සංවාදය තුලින් ය. අනෙක සරසවි ආචාර්යවරයා නම් වූ නව භූමිකාවයි. එය බොහෝ දුරට නිර්මාණය වන්නේ අරගලයේ භාවිතය මගිනි. අරගලය තුලින් මා දෙස බලා හිඳින මේ නව ප්‍රපංච යුගලය වටහා ගැනීම මේ ලිවීමේ අරමුණයි. ඒ සඳහා මේ පැත්තෙන් යමු. 

ද.දේ.නි. අධ්‍යාපනය සඳහා සියයට හයක් : මනඃ සෘෂ්ටියෙන් සැබෑ වැඩසටහනක් දක්වා



විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සිය දශක තුනක පමණ ඉතිහාසය තුල ඇරඹු වෘත්තීය සමිති අරගල හතරෙන්, පසු ගිය සතියේ අවසන් වූ අරගලය තමයි භෞතික වශයෙන් ලැබූ ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ පළමු අරගලය. නමුත්, අනෙක් අතට මෙම අවසාන වෘත්තීය අරගලය හේතු දෙකක් නිසා විශාල ලෙස වැදගත් වෙයි. පළමුවෙන්, මෙය තමයි විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් සිදු කල පළමු වැඩ වර්ජනය. මෙයට පෙර සාමාන්‍ය තත්වයන් වලදී විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් දරන ස්වෙච්චා තනතුරු වලින් ඉවත් වීම වැනි වෙනත් මාදිලියේ විරෝධතා වෙත සම්මේලනය යොමු වී තිබිණි. දෙවනුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ ගැටලුව විශ්ව විද්‍යාල සීමාවෙන් ඔබ්බෙහි සිටිනා පොදු මහජනයා වෙත ගෙන යාමේ 2011 වසරේ උපක්‍රමය ඉදිරියට ගෙන යමින් සම්මේලනය විසින් සිය සාමාජිකයන්ගේ නිශ්චිත ඉල්ලීම් වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ වඩාත් පොදු ගැටළු අවධාරණය කරන ලදී. මේ නිසා මෙවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැවෙන ප්‍රශ්න පිළිබඳව පුළුල් සාකච්චාවක් ඇති කිරීමට සම්මේලනයට හැකි විය. වෘත්තීය සමිති අරගලයක් යනු මූලික වශයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණු සහිත පාර්ශවයන් දෙකක් අතර අරගලයක් වන හෙයින් සංයුක්ත ප්‍රතිඵලයක් නොමැතිව වෘත්තීය සමිති අරගලයක් අවසන් කිරීම යනු වෘත්තීය සමිති ඉතිහාසයේ අමුතුම අත්දැකීමක් නොවේ.   මෙම අරගලය සංයුක්ත සහ භෞතික ජයග්‍රහණයන් නොමැතිව අවසන් වූ පමණින් එය අනිවාර්යයෙන් අසාර්ථක වූ බවක් ඉන් හැඟවෙන්නේ නැත. එලෙසින්ම එය පරාජයක් වූවද, වෘත්තීය සමිති නායකයන්ට සහ එහි සාමාජිකයන්ට හැකිනම් මෙවැන්නක් අනාගතයේ නැවත සිදු නොවන ලෙස මෙම පරාජයට හේතු වූ කාරනා හඳුනා ගන්නට මෙම පරාජය කල කිරීමට හෝ අපේක්ෂාභංගත්වයට හේතු නොවනු ඇත.   

Monday, October 15, 2012

නලින් ද සිල්වා අරාබි වසන්තය ගැන දන්නේ කුමක්ද?



පහතින් පල වෙන්නේ මැද පෙරදිග සමාජ නැගී සිටීම් සම්බන්ධයෙන් ඇලෙන් බදියු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි. 

මෙහි පළමු කොටස වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වා තිබුණු නලින් ද සිල්වා ගේ ගිරා පෝතකයෙක් කියා තිබුනේ 'අරාබි වසන්තය යනු සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්' බවයි. ගිරවුන් කතා කරන විට එමගින් හෙළි වන්නේ ඔවුන්ගේ ස්වයං-සවිඥානකත්වය නොව ඔවුන් හැදී වැදුණු පරිසරයේ ස්වභාවය කියා අප ඉගෙන ගත්තේ පරණ බණ කතාවකින් නිසා මේ ගැන අප එතරම් කලබල විය යුතු නොවේ. 

Sunday, October 14, 2012

අරාබි වසන්තය ඇත්තටම ශ්‍රේෂ්ඨ ද ?

මැද පෙරදිග මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන ඉතා ලාමක විග්‍රහයන් වෙනුවට ඒ පිළිබඳව කිසියම් ආකාරයක ගැඹුරු සාකච්චාවක් කල යුතු බව අප සඳහන් කළෙමු. 'සමාජ වෙනසක්' වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාට අප ජීවත් වන යුගයේ මග හැරිය නොහැකි අත්දැකීමක් තිබෙනවානම් ඒ අන් කිසිවක් නොව මෙම මහජන නැගී සිටීම්ය. 

පහතින් පල වෙන්නේ ඇලේන් බදියු විසින් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලියූ ලිපියක සිංහල පරිවර්තනයේ පළමු කොටසයි. අරාබි නැගී සිටීම් යනු 'ෆේස්බුක් විප්ලව' නැතිනම් 'ඇමෙරිකානු' කුමන්ත්‍රණ කියා කියන නූගතුන්ට මෙන්ම ඒවා 'ගල් ගසන විප්ලව' කියා ඉවතලන ගෝත්‍රික වාමාංෂිකයන්ට මෙයින් බොහෝ දේ ඉගෙනීමට හැකි වනු ඇත. 



මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තන දෙකක් වෙයි. එකක් මෙය ලියවුනු දිනවලම www.lacan.com වෙබ් අඩවියේ පල විය. නමුත් අප මෙම සිංහල පරිවර්තනය සඳහා යොදා ගත්තේ මෑතකදී පල වුනු බදියුගේ කෘතියකි. බලන්න, Badiou, A. (2012), trans. Elliott, G., “The Rebirth of History – Times of Riots and Uprisings”, Verso, London, pp 106 – 114.     



Friday, October 12, 2012

මහසෝනා දැක ගැනීමට කැමති අය, මේ පැත්තෙන් එන්න!

මෙය නිර්මාල් විසින් 1999 වසරේදී මාතොට සඟරාවට ලියන ලද ලිපියකි.

නලින් ද සිල්වා විසින් රූපවාහිනී සාකච්චා වට කීපයකදීම ජනයා ඉදිරියේ හෙළි කරනා බවට අනතුරු හැඟවූ ලිපියකි.

මෙය පල කිරීමෙන් අපගේ වත්මන් දේශපාලන ආස්ථානයන් දෙදරා යනු ඇතැයි සිතා අප වෙත කොමෙන්ටුවක් සේ යොමු කර ඇති ලිපියකි. 

1840 දශකයේ කොමියුනිස්ට්වාදය නම් අවතාරය යුරෝපයේ හොල්මන් කළා මෙන්ම අපව හොල්මන් කරනා මෙම ලිපිය අප ගුරුකමක් කර වතුර බෝතලයක දමා සිර කර ගත්තෙමු. සියලු දෙනාගේ පහන් සංවේගය පිණිස එම ලිපිය පහතින් පල වෙයි.

මෙම ලිපියේ අන්තර්ගතය සහ අධ්‍යාපනය වෙනුවෙන් අප අරගල කළයුතුයැයි යෝජනා කිරීම පරස්පරයක්ද? මේ සම්බන්ධයෙන් ඔබට අසන්නට ප්‍රශ්න තිබේනම්, දැන් එයට අවස්ථාව ලබා දෙන්නෙමු. 

Thursday, October 11, 2012

ආචාර්යවරුන්ගේ අරගලයට පෙර අධ්‍යාපනය පිලිබඳ ලාංකික සංවාදය තිබුනේ කොතැනද?

මෙයට පෙර අප විසින් පළ කල කෙටි සටහනට බොහෝ දෙනෙකු කුණුහරුප සහිත කොමෙන්ටු විශාල ප්‍රමාණයකින් අපට පවසන්නේ අප සඳහන් කල දෘෂ්ඨිවාදී ජයග්‍රහණය ව්‍යාජයක් බවයි. පළමුවෙන් කිව යුත්තේ, අප මෙම කුණුහරප කොමෙන්ටු පළ නොකරන්නේ අප කුණුහරප වලට බය නිසා නොව, පොදු අවකාශයක් තුල ඉන්නා විට එහි නීති රීති වලට ගරු කල යුතු නිසා බවයි. 
 

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලයට පෙර ඒ පිළිබඳව තිබුණු ලාංකික සංවාදයේ ස්වරූපය කුමක්ද කියා හොඳින් වටහා ගත හැකි කෙටි ලිපියක් අපි පහතින් පළ කරමු. අප එය උපුටා ගන්නේ අනුරුද්ධ ප්‍රදීප් මිතුරා ඒ සම්බන්ධයෙන් ලියු කෘතියකිනි. අනුරුද්ධ සහ අප අතර පොදුවේ දේශපාලනය සහ විශේෂයෙන් අධ්‍යාපනයේ දර්ශනය සම්බන්ධයෙන් බරපතල නොඑකඟතාවයන් තිබේ. එසේ උවත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට හඳුනවා දීමේ නව ප්‍රයත්නයට එරෙහිව ඔහු මතවාදී තලය තුල රැගෙන ගිය හුදෙකලා අරගලය අප සාධනීය ලෙස බාර ගන්නෙමු.

Tuesday, October 9, 2012

ලෝක කුසලානයේ අවසානය සහ අචාර්ය අරගලයේ අවසානය

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් මාස තුනකට අදික කාලයක් කරමින් සිටි වැඩ වර්ජනය අවසන් කිරීම පිලිබඳ යෝජනාව කරලියට පැමිණීමත් සමග ෆේස්බුක් එකේ, සහ පොදුවේ අන්තර්ජාලයේ එක එක තැන වල විවිධ කොමෙන්ට් දමන, තමන්ගේ දෛනික ජීවිතය තුල සමාජය සංවිධානය කිරීමට කිසිදු වැඩක් නොකරන නිකමුන් පිරිසක් දැන් 'නැවතත් අරගලය පාවා දී ඇත' සහ 'මෙයින් වූ කිසිවක් නොමැත' කියා විශාල ඝෝෂාවක් නගමින් සිටී. එම නිසා මෙම නිකමුන්ට සහ මෝඩයින්ට ඉතා සරලව මෙයින් අප ලැබූ ජයග්‍රහණය කුමක්ද කියා මේ මොහොත තුල සලකුණු කර තැබිය යුතුය. 
 
අධ්‍යාපනය වෙළඳපොළ තර්කණයට යටත් කිරීම ට එරෙහිව එය පොදු-වූ-දෙය (the Commons) හා සම්බන්ධ දෙයක් වන බවත් එනිසාම මෙය රැක ගැනීම අතිශය වැදගත් සමාජීය වගකීමක් බවත් පවතින දේශපාලනික අවස්ථාව තුල ජවසම්පන්නව තහවුරු කලේ මෙම අරගලයයි. මෙම දෘෂ්ඨිවාදී ජයග්‍රහණයේ දේශපාලනික වැදගත් කම අතිශයෝක්තියට නැංවීම කිසිසේත් කල නොහැකි බව අපගේ හැඟීමයි. එම අරුතින් ගත් විට අධ්‍යාපන උරුමය වෙනුවෙන් සටන් කරනා විවිධ ගෝලීය ව්‍යාපෘතීන් අතරින් මෙම අරගලය ඉතාමත් ඉහල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ. 

Monday, October 8, 2012

නිර්මාල් ගේ පෝස්ටර් ඉතිහාසය

දේශපාලනයෙහි එක් චරිත ස්වභාවයක් වන්නේ සතුරන්ගේ පැවැත්මයි. ලිබරල් පාර්ලිමේන්තුවාදය විසින් යටපත් කිරීමට කොතරම් උත්සාහ කලද අව්‍යාජ දේශපාලන අභිමුඛ වීමක් යනු සමාජ සමස්තය තුලින්ම එහි ප්‍රතිවිරෝධය මතු වන දෙපළුවීමකි. එම නිසා අපගේ දේශපාලන සතුරන් කරන විවිධ ආකෘතියේ මඩ ගැසීම් සම්බන්ධයෙන් ලිබරල් සදාචාරමය ගැටළු අපට නොමැති වෙයි. ඒවා එක්තරා ලෙසකින්, අපගේ දේශපාලනය අපගේ සතුරන්ගේ සාමකාමිත්වය බිඳ දමා තිබේය යන්න අපට පෙන්වන නිර්ණායකයකි. 

අප පහතින් පල කරන්නේ නිර්මාල් ට එරෙහිව අවස්ථා දෙකකදී කරන ලද මඩ පෝස්ටර් ව්‍යාපාරයන් දෙකක් හා සම්බන්ධ පෝස්ටර් හතරක ඡායාරූපයි. මින් දෙකක් 2007 දී අලවා තිබුණු අතර දෙකක් 2012 දී අලවන ලදී. මේවා නිශ්චිත වශයෙන් අලවනු ලැබුවේ කවුරුන් විසින්ද කියා අපිට ඔප්පු කල නොහැකි මුත් ඒවාට අවසාන වශයෙන් වග කියන්නේ කුමන පාර්ශවයක්ද, මේවායින් ඔවුනගේ දේශපාලන බංකොලොත් බව සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද ආදිය සම්බන්ධයෙන් නිගමන වලට ඒම අපහසු නොවේ. 

මේ අවස්ථාවන් දෙකේදීමනිර්මාල් ගේ බිරිඳ මෙයට සම්බන්ධ කර තිබෙන්නේ ඇයි? . දෙවෙනි පෝස්ටර් ව්‍යාපාරයේදී නිර්මාල් වෙනුවෙන් පෙනී ඉන්නට උත්සුක වන සුදර්ශන ගුණවර්ධන මහතාට පළමු පෝස්ටර් ගැන කියන්නේ තිබෙන්නේ කුමක්ද කියා ඔබ සිතන්නේද?

Sunday, October 7, 2012

අනාගත ලංකාව!

පසු ගිය දිනක ESPN වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සමග ඇමෙරිකානු ජාතික ක්‍රීඩා රචකයකු වන රයිට් තොම්සන් විසින් කල සාකච්චාවක් පල වී තිබිණි. තොම්සන් ට මහේල ව මුණ ගැසී තිබුනේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිය බිරිඳ සමග තේ පානය කරමින් සිටින අතර තුරයි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ පුළුල් ඓතිහාසිකත්වය තුල තබා කියවීමට මහේලගේ අත්දැකීම් යොදා ගැනීමට මෙම රචනය තුලදී ලේඛකයා උත්සාහ කරයි.

වසර ගණනක යුද්ධය අවසන් වීමෙන් පසුව නොදන්නා අනාගතයක් දෙස බලා සිටින ශ්‍රී ලංකාව දැන් සිටින්නේ පිහි තුඩක් මත සිටගෙනය යන්න එහිදී තොම්සන් විසින් දෙන නිගමනයයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලොබි එක තුල තේ බොන අතර තුර අප පරම්පරාවේ සමාජීය වගකීම සම්බන්ධයෙන් මහේල මෙහෙම කියයි: "ඊළඟ පරම්පරාවේ තුවාල සුව කිරීමටත් අප අතර ඇති දුරස්තබව නැති කිරීමට පාලම තැනීමටත් මෙය අපට මහගු අවස්ථාවකි. අපේ පරම්පරාව යුද්ධය අතරේ හැදී වැදුණු නිසා අපට මෙය මානසිකව අපහසු උනත්, ඊළඟ පරම්පරාවට මෙය වඩාත් පහසු වනු ඇති". මේ අනාගත ලංකාව සම්බන්ධයෙන් තොම්සන් හට මැවෙන්නේ මෙවැනි චිත්‍රයකි:

Friday, October 5, 2012

වසන්තේ නිදා උන්, යොවුන් කෝකිලාවුන් වෙනුවෙන්!

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ට එරෙහිව සටන් බිමට අවතීර්ණ වී ඇති ජාතික චින්තන ගුරු කුලයෙන් මෙම අරගලය සඳහා අපූරු විවේචනයක් එල්ල වෙයි. එනම්, ඔවුන් 'අරාබි වසන්තය' ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවයි. මේ පිළිබඳව අපට කියන්නට තිබෙන්නේ මෙවැන්නකි. එක්කෝ මෙය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය වෙත ජාතික චින්තන ගුරුකුලය විසින් ලබා දෙන අති විශිෂ්ඨ ගෞරවයකි. නැතිනම්, මෙය ශ්‍රේෂ්ඨ අරාබි මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ඇති ඉතා බොළඳ විග්‍රහයකි. අරාබි වසන්තය යනු එක වෘත්තීය සමිතියක් මගින් කල මැදිහත් වීමක් නිසා හට ගත් එකක් නොව, පුරෝ කථනය කල නොහැකි දේශපාලනික විවර වීමක ඓතිහාසික ප්‍රතිපලයකි. නවීන ඉලෙක්ට්‍රොනික මෙවලම් ඉදිරියේ තුෂ්නිම්භූත වී බලා සිටින අඥාන පාරිභෝගිකයකු වන සමකාලීන මිනිසාට, මෙය ෆේස්බුක් විප්ලවයක් කියා සිතනා 'ලංකා සී නිව්ස්' අර්ථකතන ගැලපිය හැකි විය හැකිය. නමුත් 'ලංකා සී නිව්ස්' යනු ඉතිහාසයේ අවසානය නොවන බව අපට නිශ්චිත වශයෙන්ම කියා දුන්නේ මෙම මැද පෙරදිග අරගලයයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ලංකාවේ 'දේශපාලනය' යලි අරඹා ඇති වත්මන් මොහොත තුල මැද පෙරදිග ශ්‍රේෂ්ඨ මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් කතා බහක් ඇති කිරීම සුදුසු බව අපගේ හැඟීමයි. මෙහි ආරම්භයක් වශයෙන් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ නැගී සිටීම් ඇති වූ සමයේ ස්ලැවෝයි ජිජැක් විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයක් පහතින් පල වෙයි.        

Tuesday, September 25, 2012

සැබෑ අනුකාරකයන් වන්නේ කවුද?

පසු ගිය ඉරිදා සිය 'දැක්ම' තීරු ලිපිය තුල නලින් ද සිල්වා මහතා මෙලෙස කියයි:

"බටහිර ඉතා ඉහලින් පිළිගත් ක්‍රිස්තියානි නූතනත්වයේ මහා පඬුවකු වූ තෝමස් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය සුසමාදර්ශ සමග බැඳී ඇති බව කීවේය. දන්ත වෛද්‍ය මහාචාර්යවරයකුට අනුවනම් කූන් පශ්චාත් නූතනවාදියෙකි, සාපේක්ෂතාවාදියෙකි. ඔහු ඒ එක් අයෙකුවත් නොවේ. විද්‍යාවේ දර්ශනය සුළුවෙන් වුවත් හැදෑරු සියල්ලෝම පාහේ ඒ බව දනිති. එහෙත් මහාචාර්යවරයා ඒ බව නොදනියි. ඔහු කූන් ගේ පොත පත කියවා නොමැති බවත්, තවත් සුප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයෙකු කරන ආකාරයටම කූන් ගැන කවුරුන් හෝ කී දෙයක් මත පදනම් වී අනුන්ගේ මත ප්‍රකාශ කරන බවත් පැහැදිලිය."

Wednesday, September 12, 2012

ලෝකය වෙනස් කිරීම සහ අර්ථකථනය කිරීම ගැන




"මේ අතර ලෝකය අර්ථකථනය කිරීමෙන් සහ වියුක්ත සමපේක්ෂණයන් තුල රවුම් ගැසීමෙන් තවදුරටත් තෘප්තිමත් නොවී සිටින ලෙසත්, ඒ වෙනුවට වඩාත් වැදගත් වන්නේ ලෝකය ප්‍රායෝගිකව වෙනස් කිරීම බවත් දර්ශනයෙන් ඉල්ලා සිටී. නමුත් මෙලෙස අදහස් කරන ලෙසට ලෝකය වෙනස් කිරීමට පෙර අවශ්‍ය වන්නේ සිතීම වෙනස් කිරීම වන්නේ අප සඳහන් කරන ලද ඉල්ලීම යටින්ද ඒ වනවිටත් වූ සිතීමේ වෙනසක් තිබෙන්නා මෙනි. නමුත් චින්තනයට තරම් ඔබිනා දෙය වෙත යන මාවත වෙත තෝරා ගන්නේ නැතිනම් සිතීම වෙනස් විය යුතුය කියා සිතන්නේ කුමන ආකාරයටද? දැන්, චින්තනයට තරම් ඔබින දෙය ලෙස පැවැත්ම එය ඉදිරිපත් කිරීම යනු තෝරා ගත හැකි පූර්වකල්පනයක් හෝ හිතුවක්කාරී නිපැයුමක් නොවේ. ඒ තමයි අපව තවමත් පාලනය කරනා සම්ප්‍රදායක තීන්දුව වන අතර මෙය කෙනෙක් පිළිගන්න කැමති මට්ටමට වඩා බොහෝ තීරණාත්මක ලෙස බලපායි."

-මාටින් හෛඩැගර්- 

Monday, September 10, 2012

දීප්ති ගුණරත්න ගේ ගිරා පෝතකයින් වෙත


පසුගිය දිනක දීප්ති ගුණරත්නගේ අනුදැනුම ඇතුව පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක නමින් අන්තර්ජාලයේ විස්තරයක් පල විය. මෙහිදී එම විස්තරයේ රචකයා චෝදනා කරන්නේ කල්‍යානන්ද පෙරේරා විසින් ගණිකා නිවාසයක කළමනාකාරිත්වය දරන ලද බවට අධිකරණය ඉදිරියේ ඇති චෝදනාව සම්බන්ධයෙන්  "ජනරළ" පුවත් පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත සහෝදරයා  මුනිවත රැකීම සම්බන්ධයෙන්ය. අපිට මෙම ලිපිය පල කල ගිරා පෝතකයාට කියන්නට තිබෙන්නේ සරල කාරනාවකි. කල්‍යා ඔබලාගේ චෝදනාවට නිශ්චිතව පිළිතුරු දී තිබේ. කරුණාකර හැකිනම් ගුණරත්නගේ වෙබ් අඩවියෙන් එයට පිළිතුරු දෙන්න. මෙයට උත්තර දීමට බැරි නිසාම මේ විවේචනය සම්බන්ධයෙන් මුනිවත රැකීම හැර අන් යමක් කිරීමට ගුණරත්නලාට නොහැකි වී ඇත. Ethics යනුවෙන් දෙයක් ඇති බව ගුණරත්නලා නොදන්නා බව ඔප්පු උන ප්‍රථම අවස්ථාවනම් මෙය නොවේ. අනේ කොල්ලෝ... !