Monday, October 15, 2012

නලින් ද සිල්වා අරාබි වසන්තය ගැන දන්නේ කුමක්ද?



පහතින් පල වෙන්නේ මැද පෙරදිග සමාජ නැගී සිටීම් සම්බන්ධයෙන් ඇලෙන් බදියු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි. 

මෙහි පළමු කොටස වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වා තිබුණු නලින් ද සිල්වා ගේ ගිරා පෝතකයෙක් කියා තිබුනේ 'අරාබි වසන්තය යනු සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්' බවයි. ගිරවුන් කතා කරන විට එමගින් හෙළි වන්නේ ඔවුන්ගේ ස්වයං-සවිඥානකත්වය නොව ඔවුන් හැදී වැදුණු පරිසරයේ ස්වභාවය කියා අප ඉගෙන ගත්තේ පරණ බණ කතාවකින් නිසා මේ ගැන අප එතරම් කලබල විය යුතු නොවේ. 


එම නිසා පහතින් පල වන මෙම ලිපියේ දෙවන කොටස ගිරවුන් සඳහා නොව ස්වයං-සවිඥානකත්වයක් තිබෙනා පුද්ගලයන් සඳහා පරිවර්තනය කරන ලද්දකි. අරාබි වසන්තය යනු ඉතිහාසයේ අවසානය පිලිබඳ ෆුකුයාමාගේ තිසීසය තීරණාත්මක ලෙස අවසන් කල දේශපාලනික මොහොත බව එවැනි පුද්ගලයන් හට වටහා ගැනීමට මෙය පහසුවක් වනු ඇත. 



ටියුනීසියාව සහ ඊජිප්තුව : පොදුජන නැගී සිටීම් වල විශ්වීය අර්ථවත්බව - දෙවන කොටස


4. ලෝක ඉතිහාසය නිර්මාණය කිරීමේ ගාමක බලවේගය වන්නේ මහජනයා සහ මහජනයා පමණයි


කයිරෝ නුවර එක් චතුරශ්‍රයක් තුල සිටිනා කැරලිකරුවන් ව 'ඊජිප්තු ජනයා' ලෙස අපගේ බටහිර පාලකයන් සහ මාධ්‍යයන් විසින් හඳුනා ගැනීම සෑහෙන්න පුදුම සහගත වන්නකි. කොහොමද මෙහෙම වෙන්නේ? මේ කට්ටියට අනුව එකම තාර්කික සහ නෛතික ජනයා යන්න මත විමසුමක හෝ මැතිවරණයක බහුතරය යන්නට ඌණනය වූවක් නොවේද? කොහොමද එක වරම මිලියන 80 සිටින ජනගහනයක නියෝජිතයන් බවට කැරලිකරුවන් ලක්ෂ ගණනක් පත් වෙන්නේ? මෙය අමතක නොකළ යුතු පාඩමක් වන අතර, එය අප කෙදිනකවත් අමතක නොකරමු. කිසියම් කැපකිරීමක, අත්නොහැරීමක (tenacity) සහ ධෛර්යයක මුවදොර පසු කල විට මහජනයා හට සිය සාංදෘෂ්ඨිකත්වය එක චතුරශ්‍රයකට, මාවතකට, කම්හල් කීපයකට නැතිනම් විශ්වවිද්‍යාලයකට ආදී ලෙස ගොණු කල හැකි වෙයි. මුළු ලොවටම මෙම ධෛර්යය සහ සියල්ලටම වඩා එය සමග එන පුදුමසහගත නිර්මාණයන් දැක ගත හැකි වෙයි. මෙම නිර්මාණයන් යනු මහජනතාවක් එතන සිටි බවට තිබෙනා සාධක වෙයි. ඊජිප්තු ජාතික විරෝධතාකරුවෙක් ජවසම්පන්නව පැවසු පරිදි : "ඉස්සර මම ටෙලිවිෂන් බැලුව; දැන් ටෙලිවිෂන් එක මම දිහා බලනවා". සිදුවීමක් ඇති වූ පසු, මහජනයා යන්නෙන් අදහස් කරන්නේ එම සිදුවීමෙන් යෝජනා වන ගැටළු වලට විසඳුම් සෙවිය හැකි පුද්ගලයන්ය. මේ අනුව, චතුරශ්‍රයක් අල්ලාගෙන සිටින විට එතනදී ආහාර, බැනර් යාඥා කිරීම, ආරාක්ෂාකාරී ක්‍රියාකාරකම්, ආදිය පිළිබඳව ගැටළු ඇති වන්නේ සියල්ල සිදු වන අඩවිය - සංකේතයක් බවට ගොඩනැගී ඇති අඩවිය - එහි මහජනයා වෙනුවෙන්, කුමන වන්දියක් ගෙවා හෝ රැක ගත යුතු නිසාය. සතර අතින් පැමිණ ඇති ලක්ෂ ගණනක මිනිසුන්ගේ විසඳිය නොහැකියැයි පෙනෙන ප්‍රශ්න - මෙම චතුරශ්‍රය තුල රාජ්‍යය අතුරුදහන් වී ඇති හෙයින් මෙය වඩාත් දැඩි ලෙස දැනේ. විසඳිය නොහැකි ගැටළු, රාජ්‍යයේ උදව්වෙන් තොරව විසඳීම - මෙය තමයි සිදුවීමක දෛවය. ඒ සමගම, මෙය තමයි, නිර්ණය කල නොහැකි කාල සීමාවක් තුලදී, එක්වරම, මහජනයා ඔවුන් එකතු වීමට තීරණය කල තැන තුල සාංදෘෂ්ඨික වීමට හේතු වන්නේ.

5. කොමියුනිස්ට් ව්‍යාපාරය නොමැතිව කොමියුනිස්ට්වාදයක් නොමැති වෙයි.

අප මේ කතා කරමින් සිටින පොදුජන නැගීසිටීම් වලට පෙනෙන ආකාරයට පක්ෂයක්, හෙජමොනික සංවිධානයක් සහ හඳුනාගත් නායකයෙක් නොමැති වෙයි. මෙම චරිත ලක්ෂණය එහි ශක්තියක්ද දුර්වලකමක්ද යන්න නිර්ණය කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් තිබෙනු ඇත. කොහොම උනත්, මෙහි අර්ථය වන්නේ මෙම නැගී සිටීම් වලට කොමියුනිස්ට් ව්‍යාපාරය ලෙස නම් කල යුතු දෙයෙහි සියලු ලක්ෂණ ශුද්ධ ලෙස - සැකයකින් තොරවම පැරිස් කොමියුනයෙන් පසුව වඩාත් පාරිශුද්ධ වූ ආකෘතියෙන් - තිබෙනා බව. මෙතනදී 'කොමියුනිස්ට්වාදය' යනුවෙන් අදහස් කරන්නේ : සාමූහික දෛවය, පොදුවේ (in common) නිර්මාණය කර ගැනීම. මෙම 'පොදුබව' (common) යන්නෙහි මෙතනදී විශේෂිත ලක්ෂණ දෙකක් හැඟවේ. පළමුවෙන්, එය ගණික වෙයි, මනුෂ්‍යත්වය සමස්තයක් ලෙස එක්තරා අඩවියකින් නියෝජනය වෙයි. ජනයා යන්න බිහිවන සෑම වර්ගයකම වාගේ පුද්ගලයන් මෙම අඩවිය තුල සිටී; සෑම කතාවකටම සවන් දෙයි, සෑම යෝජනාවක්ම විභාග කෙරේ, සහ, සෑම අපහසුතාවයකටම එයට අවශ්‍ය අයුරින් මුහුණ දෙයි. දෙවනුව, එමගින් රාජ්‍යයට පමණක් පාලනය කල හැකිය කියා තිබෙනා සෑම ප්‍රතිවිරෝධයක්ම, ඒවා පසු කර (transcending) නොයාම, ජයගනී : බුද්ධිමතුන් සහ නුපුහුණු ශ්‍රමිකයන් අතර, දුප්පතුන් සහ පොහොසතුන් අතර, මුස්ලිම්වරුන් සහ ඊජිප්තු ජාතික කිතුනුවන් අතර, ගම් වලින් පැමිණි ජනයා සහ නගර වලින් පැමිණි ජනයා අතර, ආදී වශයෙන්. මෙම ප්‍රතිරෝධයන් සම්බන්ධයෙන් සෑම මොහොතකම දහස් ගණනක නව වියහැකිභාවයන් ඇති වන අතර මේවාට රාජ්‍යය - ඕනෑම රාජ්‍යයක් - අන්ධ වෙයි. අපි දැක්කා ගම් වලින් පැමිණි තරුණ වෛද්‍යවරියන් තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන අයුරුත්, බිහිසුණු පෙනුමක් ඇති තරුණ පිරිමින්ගේ වළල්ලක් මැද ඔවුන් නිදනා අයුරුත්; ඔවුන් පෙර සිටියාට වඩා බොහෝ සන්සුන් වී සිටියේ ඔවුන්ගේ එක කෙස් ගසකටවත් හානියක් නොවනා බව දන්නා නිසාය. ඒ සමගම අපි දැක්කා ඉංජිනේරුවන් ගේ සංවිධානයක් අගනගර වලින් පැමිණි තරුණයන් අමතමින්, චතුරශ්‍රය අල්ලාගෙන සිටින ලෙසත් සටන තුල ඔවුන්ගේ ශක්තියෙන් ව්‍යාපාරය ආරක්ෂා කරන ලෙසත් ඔවුන්ට ආයාචනා කරනවා. අපි තවදුරටත් දුටුවා බිම නැවී යාඥා කරන මුස්ලිම් වරුන්ට ඉඩ දෙමින් කිතුනුවන් පෙළක් ඔවුන්ව ආරක්ෂා කරනවා. අපි දැක්කා, කඩ හිමියන් විසින් දුප්පතුන්ට සහ රැකියා නොමැති අයට ආහාර ලබා දෙනවා. අපි දැක්කා සියලු දෙනාම ඔවුන් නොදන්නා අසල්වැසියන්ට කතා කරනවා. අපි කියෙව්වා සෑම පුද්ගලයෙකුගේම ජීවිතය, හිඩැසක් නොමැතිවම සියල්ලන්ගේ ඉතිහාසයට එකතු වන සටන් පාට පුවරු දහස් ගණනක්.  මෙම අවස්ථාවන්ගේ, මෙම නිපැයුම් වල එකතුව තමයි කොමියුනිස්ට් ව්‍යාපාරය (movement communism) ගොඩනගන්නේ. සියවස් දෙකක් තිස්සේ, අපිට ඇති එකම දේශපාලන ගැටළුව වන්නේ මෙයයි : අපි කොහොමද කොමියුනිස්ට් ව්‍යාපාරයේ නිපැයුම් කල් පවත්වා ගන්නේ? ඒ වගේම, එකම ප්‍රතික්‍රියාකාරී ප්‍රකාශය වන්නේ: 'මෙයනම් වියනොහැකියි, සමහර විට භයානකද විය හැකියි. අපි අපේ විශ්වාසය රාජ්‍යය මත තබමු'. අපගේ සත්‍ය සහ එකම දේශපාලන වගකීම වන රාජ්‍යය ඉදිරිපිටදී කොමියුනිස්ට් ව්‍යාපාරයට සංවිධිතව පක්ෂපාතී වීම වෙත අපව නැවත කැඳවන ටියුනීසියානු සහ ඊජිප්තු ජාතික ජනයාට ජයවේවා.     

6. අපට යුද්ධය අවශ්‍ය නොවේ, නමුත් අප එයට බිය නොවන්නෙමු 

යෝධ උද්ඝෝෂනයන්ගේ සාමකාමී තැම්පත් බව විශ්වීය ලෙස හඳුනාගෙන ඇති අතර මෙය මෙම ව්‍යාපාරය වෙත ලබා දී ඇති ඇති චරිත ලක්ෂනනය වන වරණමය ප්‍රජාතන්ත්‍රවාදය (elective democracy) යන පරමාදර්ශයට සම්බන්ධ කර තිබේ. කෙසේඋවත් අප මතක තබා ගමු සිය ගණනක් මිය ගොස් ඇති බව සහ මෙය දිනපතා වැඩි වන බව. බොහෝ අවස්ථාවලදී මෙලෙස ගොදුරුවූවන් දිවි දුන්නේ මෙම අරගලය ආරම්භයේදී සහ පසුව ව්‍යාපාරය ආරක්ෂා කරමින් එහි සටන් කරුවන් සහ විරුවන් (martyrs) ලෙසය. නැගී සිටීම් වල දේශපාලනකික සහ සංකේතීය අඩවි, තර්ජනයට ලක් වූ රෙජීමයන්ගේ පොලීසි සහ මිලිටරි මිනිසුන් සමග දරුණු සටන් වලින් වන්දි ගෙවමින් ආරක්ෂා කර ගන්නට  සිදු විය. මෙයට පුද්ගලිකව කැප කිරීමක් කර ඇත්තේ ජනගහනයේ දිළිඳුම කොටස් වලින් එන තරුණයන් නොවෙයිනම් වෙන කවුරුන්ද? අපිට හිතා ගන්නවත් බැරි විදියට අපේ මිචෙල් ඇලියොට්-මේරී [ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍ය] මහත්තයා කියල තියෙන දේ අනුවනන් මෙම සිදු වීම් වල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිඵලය මුළුමනින්ම රැඳී තියෙන 'මැද පංතීන්' මතක තියා ගන්න ඕන ඉතා තීරණාත්මක මොහෙතේදී නැගී සිටීම් වල කල් පැවැත්ම සම්පූර්ණයෙන්ම සහතික වුනේ ජනප්‍රිය පංතීන් වල සීමා විරහිත කැප වීම මත බව. ආරාක්ශාව වෙනුවෙන් මුදා හරිය යුතු ප්‍රචණ්ඩත්වය මග හැරිය නොහැකි වෙයි. ගම් වලින් පැමිණි තරුණ ක්‍රියාධරයන් ඔවුන්ගේ දරිද්‍රතාවය වෙත ආපසු යැවූ පසු මෙය ටියුනීසියාවේ, දුෂ්කර තත්වයන් යටතේ තවදුරටත් ක්‍රියාත්මක වෙයි. කවුරුන් හරි ඇත්තටම හිතනවද මෙම ගණනය කල නොහැකි ක්‍රියාකාරකම් සහ දරුණු කැප කිරීම් වල එකම අරමුණ වන්නේ ජනයා ලව්වා සුලීමාන් සහ එල් බරාදෙයි යන දෙදෙනාගෙන් කෙනෙක් 'තේරීමද' - හරියට ප්‍රංශයේ කට්ටිය සාකෝසි සහ ස්ට්‍රෞස්-කාන් අතෙරෙන් කෙනෙක් ගැන හිතමින් ඉන්න එකඟ වෙලා ඉන්නවා වගේ?  මෙම මනස්කාන්ත වෘතාන්තයේ එකම පාඩම වන්නේ එයද

නැත, දහස්වාරයක්, නැත! ටියුනීසියානු සහ ඊජිප්තු ජාතික ජනයා අපට කියන්නේ මෙයයි: නැගී සිටීමට, කොමියුනිස්ට් ව්‍යාපාරයේ මහජන අඩවිය නිර්මාණය කිරීමට සහ අපගේ ක්‍රියාකාරකම් වල පියවරයන් නිපදවන අතර එම අඩවිය ආරක්ෂා කර ගැනීමට - මෙය තමයි විමුක්තිය සඳහා වන පොදුජන දේශපාලනයේ යථාර්ථය. ජනප්‍රිය විරෝධී වන්නේ සහ, මැතිවරණ වල කුමක් උවත්, නීති විරෝධී වන්නේ අරාබි රටවල රාජ්‍යයන් පමණක්නම් නොවේ. ඒවායේ වර්ධනය කුමක් උවත්, ටියුනීශියාවේ සහ ඊජිප්තුවේ නැගී සිටීම් වල විශ්වීය අර්ථවත් බවක් හිමි වේ. ඒවා මගින් ජාත්‍යන්තර වටිනාකමක් ඇති නව වියහැකිභාවයන් නිර්දේශ කරයි.
     
පරිවර්තනය - වංගීස සුමනසේකර 
 

No comments:

Post a Comment