Tuesday, April 10, 2012

සමන් පුෂ්පකුමාර මහත්මයාට අභියෝගයක්!

   

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන සමන් පුෂ්පකුමාර මහතා , මෑතකදී පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමකදී, අප විසින් කල පරිවර්තනයක් විවේචනය කර ඇත.





පළමුවෙන් -


මෙය අපේ පැත්තෙන් අනවශ්‍යය ගැටලුවකි. සමන් පුෂ්පකුමාර මහත්මයා වැනි දුප්පත් බුද්ධිමතුන් සමග රණ්ඩු වීම අප මේ මොහොතේදී අපේක්ෂා නොකළ දෙයකි. නමුත් අප විසින් පරිවර්තනය කරන ලද ඇලේන් බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" යන කෘතියට ඔහු ප්‍රසිද්දියේ අපහාස කර ඇති බැවින්, දැන් එයට පිළිතුරු ගොනු කිරීම අපගේ සමාජ වගකීමකි.



මූලික විවේචනය - 


ඇලේන් බදියු පිළිබඳව කිසිදු පාඨමාලාවක උගන්වන්නේ නැත. ඔහු පිළිබඳව සංවාදයක් හෝ නොමැත. අනෙක් අතට ඔහුට පෙර සිටි සම්හාව්‍ය දාර්ශනිකයන් හෝ මාක්ස්/එංගල්ස් හෝ පරිවර්තනය කිරීම පළමුවෙන් කලයුතු වෙයි.



නිගමනය :- ඒ අනුව මෙම පොත කියවීමට අදාළ සන්දර්භයක්, එනයින් පාඨක පිරිසක් ලංකාවේ නොමැත. එම නිසා, මෙම පොත පරිවර්තනය කර ඇත්තේ සමන් පුෂ්පකුමාර මහතාගේ කණ්ඩායම ඉලක්ක කරගෙන ය.



නිශ්චිත විවේචන දෙක -


1. අප බදියුගේ "state of the situation" යන සංකල්පය "රාජ්‍යය කල්පිත අවස්ථාව" ලෙස පරිවර්තනය කිරීම, ඔහුට අනුව, සම්පූර්ණයෙන් වැරදි වෙයි.


2. අප "ontology" නැතහොත් සද්භාවවේදයට දී ඇති සරල පැහැදිලි කිරීමද, ඔහුට අනුව, මුළුමනින්ම වැරදි වෙයි. මෙය කොතරම් වැරදි ද කියන්නේනම්, එම මහත්මයාට අනුව මේක සම කල හැක්කේ, ඔවුන් බොහෝ සේ මහන්සි වී කපාගෙන ආ 'සද්භාවවේදය' නම් මාර්ගය මැද්දේ මල පහ කිරීමට යි. 



මූලික විවේචනය තුල ඇති ගැටලුව -


පරිවර්තනය කල යුත්තේ, ලංකාවේ පාඨමාලා වල උගන්වන චින්තකයන් ද? අවම වශයෙන් අප කණ්ඩායමේ අදහස වන්නේ, මේ මොහොතේ ඉක්මන් අවශ්‍යතාවය වන්නේ ලංකාවේ පාඨමාලා වල උගන්වන්නේ නැති චින්තකයන් පරිවර්තනය කිරීම බවයි. ලංකාවේ උසස් අධ්‍යාපන පාඨමාලාවල් බොහොමයක් පවතින්නේ සමකාලීන සංකල්පීය සංවාදයන්ගෙන් බොහෝ ඔබ්බෙනි. මේ අර්ථයෙන් ලංකාවේ විශ්ව විද්‍යාල තිබෙන්නේ වසර විස්සක් පමණ පසු පසිනි. අදටත් ලංකාවේ 'අලුත් දැනුම', ලෙස බොහෝ දෙනා හඳුනා ගන්නා යෙදුම් වන්නේ 'පශ්චාත් නූතනවාදය', ඩෙරීඩා, ෆූකෝ, කතිකාව, භාෂාමය හැරවුම, පශ්චාත් ව්‍යුහවාදය, ආදියයි. මෙය අතිශයින් වැරදි අදහසකි (මින් අදහස් වන්නේ, මෙම චින්තකයන් හෝ සම්ප්‍රදායන් හැදෑරීම අත් හැරිය යුතු බව නොව, ඒවා 'අලුත්' දැනුම ලෙස වටහා ගැනීම වැරදි බවයි). පසුගිය වසර විස්ස තුල දර්ශන විෂය මුළුමනින්ම වෙනස් වී තිබේ. තරමක් නාටකීය ලෙස අපිට පුළුවන් මෙය 'සමපේක්ෂී හැරවුම'(Speculative Turn) ලෙස නම් කරන්න. අපේ රටේ අවාසනාවට මේ සංවාදය ලංකාවට තවමත් පැමිණ නැත. අපගේ කියවීම් වලට අනුව, දර්ශනයේ මෙම නව පෙරළියේ කේන්ද්‍රීයම දාර්ශනිකයා වන්නේ ඇලේන් බදියු ය. ඒ අනුව ගත් විට මේ මොහොතේ බදියු පිළිබඳව සාකච්චාවක් ඇති කිරීම දැවෙන අවශ්‍යතාවයකි.  



එසේ වුවත් මෙය එම අරමුණින් කල පරිවර්තනයක් නොවෙයි. මෙම පොත කියවා බදියු ගේ දර්ශනය අවබෝධ කර ගැනීමට නොහැකි වෙයි. නමුත් මෙම පොත කියවා අප එම දාර්ශනික අවබෝධය ඇති කිරීමේ දේශපාලන වැදගත්කම කුමක්දැයි කියා වටහා ගත හැකි වෙයි. තරමක් සරල ලෙස පවසන්නේනම්, 'දර්ශනය' (මෙය ඇකඩමික් අර්ථයට ඌනනය නොකර, පුළුල් ලෙස ගත් විට) කියවීම මේ මොහොතේ දේශපාලනික ක්‍රියාවක් වන්නේ ඇයිද යන්න මෙම පොත තුල සූත්‍රගත කෙරී තිබේ. මේ අර්ථයෙන් ගත් කල, මෙම පොත අපගේ ඉදිරි මැදිහත් වීම් සන්දර්භගත කල හැකි මාලිමාවකි. 



පුෂ්පකුමාර මහත්මයාගේ පළමු තර්කය එතනින් අවසන් වේ. අප මෙම පොත ලියා ඇත්තේ ඔවුන් වෙනුවෙන් ය යන නිගමනය පදනම් වන්නේ, බදියු පිළිබඳව සංවාදයක් නොමැති වීම සහ ඔහුව පාඨමාලාවල් වල උගන්වන්නේ නැති වීම නිසා ඔහු ගේ පොත් පරිවර්තනය වීම ප්‍රයෝජනවත් නොවේය යන්න මතයි. මෙයට පරස්පරව, මෙම පොත පරිවර්තනය කිරීමේ අදහස වන්නේම, මෙවැනි සංවාදයක් ඇති කිරීම මේ මොහොතේ කොමියුනිස්ට් අරගලයට කෙතරම් වැදගත් වේද යන්න සාකච්චාවට ගැනීමයි. අනෙක් අතට ලංකාව වගේ දුප්පත් බුද්ධිමය සංස්කෘතියක් තියන රටක, පවතින සංවාදය අපගේ සීමාව කර ගැනීමට පුෂ්පකුමාර මහත්මයාට අවශ්‍ය උනත් අපට අවශ්‍ය නොවේ. එම නිසා බදියු ඇතුළු ලංකාවට නුහුරු සමකාලීන චින්තකයන් කව්රුන් හෝ විසින් ලංකාවේ සාකච්චාවට ගන්නවානම් එය අගය කල යුතු ප්‍රයත්නයක් ලෙස අප හඳුනා ගන්නෙමු.



නිශ්චිත විවේචන 1 සඳහා පිළිතුර -


State of the situation යන වචන, පුෂ්පකුමාර කියනා පරිදි යාන්ත්‍රික ලෙස 'පවතින අවස්ථාව' නැතිනම් 'පවතින තත්වය' ලෙස පරිවර්තනය කල හැකිව තිබිණි. නමුත් එවිට state යන ඉංග්‍රීසි වචනයේ ඇති ද්වී අරුත නැති වෙයි. එක් අතකින් එය 'තත්වය' යන්න හඟවන අතර අනික් අතින් එය 'රාජ්‍යය' යන්නද හඟවයි. බදියු මෙම යෙදුම තුලින් මේ අර්ථ දෙක සමගම ක්‍රීඩා කරයි. මෙතනදී අපට ස්ලෙවෝයි ජිජැක් උපුටා දැක්විය හැකිය (මෙම උපුටනයේ මූලික අර්ථය රඳා පවතින්නේම ‘state’ යන ඉංග්‍රීසි වචනය මත වන හෙයින් අප එය පරිවර්තනය නොකර ඉංග්‍රීසි බසින්ම උපුටමු): “Here Badiou is playing on the ambiguity of the term state: ‘state of things’ as well as State (in the political sense) – there is no ‘state of society’ without a ‘state’ in which the structure of society is re-presented/dedoubled.” (බලන්න, Zizek, S., “Ticklish Subject: Absent Centre of Political Ontology”, London, Verso, 2000, p 129) මෙය සිංහල යෙදුම තුලත් ඉතිරි කිරීමේ අදහසිනි අප 'රාජ්‍යය කල්පිත අවස්ථාව' යන යෙදුම ගොඩ නැගුවේ. (සමන් පුෂ්පකුමාර මහත්මයලා භාවිතා කරන භාෂාවෙන්ම කියන්නේනම් අපිට මෙය මෙසේද ලිවිය හැක: "අනේ බං සමනෝ, උඹයි අපියි දන්න ඉංගිරිසිය. උම්බෙයි උඹේ ලොක්කගෙයි ඉංගිරිස් අවබෝදය ගැන කලකට ඉහතදී එක්තරා බ්ලොග් අඩවියක ලස්සන කතාවක් තිබුනා අපිට මතකයි")





නිශ්චිත විවේචන 2 සඳහා ප්‍රතිචාරය -


Ontology යන්නට දී ඇති අර්ථ විවරණය, පුෂ්පකුමාර මහත්මයාට අනුව, මුළුමනින්ම වැරදිය. අපට අනුව පුෂ්පකුමාර මහත්මයා බදියු ගේ සද්භාවවේදය සම්බන්දයෙන් කිසිවක් දන්නේ නැත. මෙම එකිනෙක පරස්පර ආස්ථානයන් දෙකෙන් පැහැදිලි වන එක් දෙයක් තිබේ. එනම්, අප දෙගොල්ලන්ගෙන් එක් පාර්ශවයක් මුළුමනින්ම වැරදි විය යුතු බවයි. පුෂ්පකුමාර මහත්මයා නිවැරදිනම්, අප සද්භාවවේදය සම්බන්දයෙන් කිසිවක් දන්නේ නැත. අප නිවැරදිනම්, පුෂ්පකුමාර මහත්මයා දන්නා ඉටි ගෙඩියක් නොමැත වේ.



මෙම උභතෝකෝටිකය විසඳීම සඳහා අප බදියු ගේ දර්ශනය සම්බන්ධයෙන් ලොව සිටින ප්‍රධානම අධිකාරිය වන පීටර් හෝල්වර්ඩ් උපුටා දක්වමු:



බදියුගේ සද්භාවවේදයේ ආරම්භක ලක්ෂ්‍යයේ වන්නේ, පැවැත්ම එකක් නොව බහුගුණාකාරයක් ලෙස සිතන්නේනම්, එවිට ඒකීය බව නැතිනම් එකබව (oneness) ඇතිවිය හැක්කේ එකීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස යන්නය. එක නොපවතින අතර, ඒ වෙනුවට එක්තරා ආකාරයක 'නීතියක්' ලෙස එක මෙහෙයවේ (operates as a sort of ‘law’) සහ මේ ආකාරයෙන් මෙහෙයවීමට ලක්වන්නේ කුමක් උවත් එය, එය තුලම නො-එකක් (not-one) විය යුතු වේ. සද්භාවවේදය නිර්දේශ කරන්නේ අපට කිසියම් දෙයක් ඉදිරිපත් කල හැකි, එනම් එක් දෙයක් ලෙස වටහා ගැනීමට නැතිනම් ගණනය කිරීමට ඉඩ ලබා දෙන, මෙලෙස එකීයකරණය වීමට නැතිනම් ගණනය කිරීමට පෙර එකීයකරණය හෝ සුවිශේෂ (particular) නොවූ කිසියම් දෙයක්, වටහා ගැනීමේ ඉතාම පොදු නියාමයන්ය. එක්-දෙයක් (something) ලෙස මෙය සටහන් කිරීමම ඒ වනවිටත් ප්‍රයෝජනවත් වුවත් රැවටිලිකාරී වෙයි. (බලන්න, Hallward, P., “Think Again: Alain Badiou and the Future of Philosophy, London, Continuum, p 5 අපගේ පරිවර්තනය)



දැන් පුෂ්පකුමාර මහත්මයාට කියන්න ඇත්තේ කුමක්ද? අප ඉතා පැහැදිලිව සටහන් කර ඇති පරිදි අපගේ අර්ථ විවරණය අසන්පූර්ණ වෙයි. නිදර්ශනයක් ලෙස බදියු 'වස්තුව' (‘object’) යන සංකල්පය භාවිතා කරන්නේ නැත. නමුත් අප එය භාවිතා කලේ එය මෙම සරල පැහැදිලි කිරීමට එය ප්‍රයෝජනවත් වන හෙයිනි. හරියට පීටර් හෝල්වර්ඩ් ඉහත උපුටනයෙදී 'එක්-දෙයක්' (‘something’) යන්න යොදනා පරිදිනි. අපට මෙහිදී අවධාරණය කිරීමට අවශ්‍යය වුයේ, එක යන්න ප්‍රතිඵලයක් බවත්, පැවැත්ම වන්නේ බහුගුණාකාරය බවත් ය. මේ සඳහා අප මිනිස් සිරුර යන්න උපමාවක් ලෙස (මෙය දුර්වල නිදර්ශනයක් බව සඳහන් කරන ගමන්ම) යොදා ගත්තෙමු. බදියු මෙය ගොඩනගනා වියුක්ත ප්‍රවේශය එවැනි කෙටි අර්ථ විවරණයකට කිසිසේත් ගැලපෙන්නේ නැත. 



පුෂ්පකුමාර මහත්මයාගෙන් අප ඉල්ලා සිටින්නේ අප ගේ මෙම විග්‍රහය වැරදි වන්නේ ඇයිද යන්න අපට පැහැදිලි කර දෙන මෙන්ය. අභියෝගය සරලය.  අපි ඉහතින් උපුටා දක්වා ඇති බදියුගේ ප්‍රධානම අනුගාමිකයා බදියුගේ සද්භාවවේදය හඳුන්වා දී ඇත්තේද අප කර ඇති පරිදිනි. කරුණාකර බදියු නැතිනම් වෙනත් කෙනෙක් උපුටා දක්වා අප වැරදි බව පෙන්වන්න. බදියු ගේ සද්භාවවේදය පිළිබඳව යහපත් සංවාදයකට මෙය මුල පිරිය හැකි හෙයින්, මෙහි එක්තරා ආකාරයක හොඳක් තිබේ. අපගේ මුලික මැදිහත්වීම මේ අනුව ඵල රහිත වන්නේ නැත. බදියු ගේ දර්ශනය මත පදනම්ව ඇති වූ ගෝලීය සංවාද සමග සංසන්දනය කරන විට සමන් පුෂ්පකුමාර වැනි අව-වර්ධිත බුද්ධිමතෙකු සමග සංවාද කිරීම අර්ථ විරහිත වැඩක් ලෙස කෙනෙකු සිතන්නට ඉඩ තිබේ. නමුත් මෙය ගැටළුවක් වන්නේ අප මෙම සංවාදය, ශාස්ත්‍රීය සංවාදයක් ලෙස වටහා ගන්නේනම් ය. නමුත් ඉතා පැහැදිලිව, මෙය දේශපාලනික ගැටුමකි. පුෂ්පකුමාර මහත්මයාට අවශ්‍ය වන්නේ අපව සංවාද ක්ෂේත්‍රයෙන් අතු ගා දමන්නට ය. මේ සඳහා ඔහු යොදා ගන්නේ අපට සාපේක්ෂව ඔහුට ඇති සංවිධාන ශක්තියයි. අපේ පැත්තෙන් මෙයට ප්‍රතිචාර දැක්විය හැකි එකම මාර්ගය වන්නේ, ඔවුන්ගේ බුද්ධිමය දිළිඳු බව හෙළි කිරීමෙන් පමණි. අනෙක් අතට දේශපාලනය කිරීම යනු කොහොමත් අර්ථ විරහිත කාර්යයකි. ඇල්බටෝ ටොස්කානෝ වරක් පැවසු පරිදි, බදියුගේ දර්ශනය තුලින් අප ඉගෙන ගත් ප්‍රධානම පාඩම මෙයයි: ජීවිතයේ ගැඹුරුම අර්ථය වන්නේ මෙවැනි අමානුෂික සහ අර්ථ විරහිත කාර්යයන් වෙනුවෙන් ජීවිත කාලයක් සටන් කිරීමයි.       



No comments:

Post a Comment