Saturday, May 4, 2013

අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද?

මේ දින වල සිංහල ජාතිය වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්‍රණයෙන් සිංහල ජාතික බලවේග සලිත වී සිටියි. මේ කතාව කරලියට එන්නේ පසුගිය දිනෙක රේගුව විසින් අර්තාපල් තොගයක සගවා පකිස්තානයේ සිට ගෙන්වන ලද කෝටි තුනක් වටිනා උපත් පාලන බෙහෙත් තොගයක් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යි. බැලූ බැල්මට ම මුස්ලිම් කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීමේ සාධක සැපිරී ඇත. ජාතික හෙල උරුමයේ සිට මාදුලුවාවේ සෝභිත හිමි දක්වා සියලු දෙනා දත් මිටි කමින් කෑ ගසන්නේ මේ ජාතිය වැනසීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නන් හෙලි කරන ලෙස යි. සමහර ජනමාධ්‍ය ද ඇතුලුව මේ සියලු දෙනා පවසන්නේ මෙය ලංකාව තුල නීතිවිරෝධී ගබ්සා ඖෂධයක් බවයි. ලයිව් ඇට් එයිට් එස් එම් එස් පනිවිඩයේ එය ප්‍රකාශ වූ යේ මෙසේ ය - අර්තාපල් බව හගවමින් ආනයනය කල ගබ්සා සදහා යොදා ගන්නා රු .මිලියන තිහක් වටිනා නීති විරෝධී ඖෂධ තොගයක් රේගුව සොයා ගනියි. දැන් බිහිසුනු ඇත්ත කතාව නරඹමු.