Monday, April 23, 2012

හේගල් පිළිබඳව සාපේක්ෂ වශයෙන් ගැඹුරු අවබෝධයක් ලැබීමේ අවම කොන්දේසී මොනවාද?



දීප්ති කුමාර ගුණරත්න මහතා වසර 20 ක් පමණ තිස්සේ කියමින් සිටින දෙයම දැන් අලුත් වටයකින්, අලුත් නම් ලැයිස්තුවක් සමග, කීමට පටන් ගෙන තිබේ. කලකදී, දේශපාලනය කිරීමට ඩෙරීඩා කියවීම අත්‍යවශ්‍ය විය. එයට පසුව, දේශපාලනය කිරීම සඳහා ලැකෙනියානු මනෝවිශ්ලේෂණය කියවීම අනිවාර්ය විය. වසර කීපයකට පසුව, ගුණරත්න මහතා අලුතින්ම සොයාගෙන ඇති දෙයට අනුව, දේශපාලනය කිරීමට නම් ඉතාමත්ම හදිසි අවශ්‍යතාවය වන්නේ, හේගල් කියවීමයි. 



මෙය, එය තුලම ගත් විට, ගැටළුවක් නොවේ. අපි දේශපාලනය කිරීමට කල යුත්තේ මොනවාද කියා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් පැවසීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබේ. නමුත් මෙයින් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව යමක් පැවසීමට අපට සිදු වන්නේ, ලංකාවේ බුද්ධිමය සංස්කෘතිය තුල පුනරුදයක් ඇති කිරීම දේශපාලනික ලෙස අපට වැදගත් වන නිසාත්, එවැනි පුනර්ජීවනයක් සඳහා දර්ශනයේ ඉතිහාසයේ එන මග හැරිය නොහැකි කඩ ඉමක් වන හේගල් පිළිබඳව ගැඹුරු සාකච්ජාවක් ඇති කිරීම සැබවින්ම අවශ්‍ය වන්නා නිසාත් ය.



මේ අනුව, පළමුවෙන්ම හේගල් පිලිබඳ යම් අවබෝධයක් ලැබීමට අවශ්‍ය අවම කොන්දේසි මොනවාද යන්න පැවසිය යුතු වෙයි. හේගල් වේවා වෙනත් දාර්ශනිකයෙක් වේවා වටහා ගැනීමට යම් පූර්ව කොන්දේසී ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම කොන්දේසි සපුරා තිබෙන ප්‍රමාණය අනුව කෙනෙක්ට එම කියවීම කිරීම පහසු වෙයි. නිදර්ශනයක් ලෙස, කෙනෙක්ට ජර්මන් භාෂාව කියවීමේ හැකියාව, නැතිනම් ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය වැනි දියුණු හේගලියානු පරිසරයක ඉගෙනීමට හැකි වීම අපට පෙන්වා දිය හැකි ය. මේවා මෙවැනි අවබෝධයක් ලැබීම සඳහා මහෝපකාරී විය හැකි උවත් මෙය ප්‍රායෝගිකව කල හැකි දෙතුන් දෙනෙකු හෝ ලංකාවේ ඉන්නවාය කියා සිතීම අපහසු ය. එම නිසා අප මෙතනදී සලකා බලන්නේ, උවමනාව හා කැප වීම තිබෙනවානම්, ලංකාවේදී ඉටු කරගත හැකි, නමුත් හේගල් පිළිබඳව විශ්වසනීය අවබෝධයක් ලැබීමට අවශ්‍ය වන්නා වූ අවම කොන්දේසීන් ය. 



1. හේගල් ගේ ප්‍රධාන කෘතීන් එකක්වත් සිංහලට පරිවර්තනය් වී නොමැති අතර, ඒ සියල්ලම වගේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී තිබේ. අනික් අතට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අවශ්‍ය පසුබිම ලංකාවේ බොහෝ දෙනෙක්ට ඇති අතර එම නිසා සියල්ලටම ප්‍රථමයෙන් කල යුත්තේ, ඉංග්‍රීසි භාෂාවෙන් හේගල් කියවිය හැකි මට්ටමට එම හැකියාව වර්ධනය කර ගැනීමය්. 



2. බොහෝ දෙනෙක් සම්ප්‍රදායික ලෙස පළමුවෙන් කියවන්නේ, හේගල් ගේ Phenomenology of Spirit කෘතියයි (අප ද මූලික වශයෙන් හදාරා ඇති හේගල් ගේ ප්‍රධාන කෘතිය මෙයයි). එම නිසා මෙම කෘතිය පිළිබඳව විශාල ද්විතීක සාහිත්‍යයක් තිබේ. මෙම කරුණු සියල්ලම උඩ, මෙම පොතෙහි පිටපතක් ලබා ගත යුතු වෙයි (මෙය අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගත හැක). 



3. මේ පිළිබඳව ඇති ඇති විශාල ද්විතීක සාහිත්‍යය කෘති අතරින් අවම වශයෙන් දෙකක්වත් කියවිය යුතුය කියා අප යෝජනා කරමු. අපගේ පාර්ශවීය තෝරා ගැනීම් අනුව කියන්නේ නම්, ජොන් ඉපොලීත් ගේ (මේ නම සමහරුන් වැරදියට 'හිපොලය්ට්' කියා උච්චාරණය කරයි) Genesis and Structure of Hegel’s Phenomenology of Spirit සහ ටෙරී පින්කාඩ් ගේ Hegel's Phenomenology: The Sociality of Reason මේ සඳහා අපට මහත් පිටිවහලක් විය (මේවාද නොමිලයේ, අන්තර්ජාලයෙන් ලබා ගත හැකි වෙයි). 



4. දැන් ඔබට ඇත්තේ, පත්තර වලට ලිපි ලිවීම, වෙබ් අඩවි වල කොමෙන්ටු දැමීම, ෆේස්බුක් එකේ ජායාරූප අප්ලෝඩ් කිරීම, පෙම්වතිය සමග රණ්ඩු වීම, මිතුරන් සමග ගංජා ගැසීම, ආදී මෙකී නොකී කාරනා සියල්ල අමතක කර, අවම තරමින් වසරක කාලයක් පමණ වැය කර, මේසයක් මත මෙම පොත් ටික තබාගෙන, සටහන් තබමින්, තමන්ගේම උදාහරණ සපයමින්, මෙය කියවීමය. 



අප දන්නා පරිදි හේගල් වැනි අවබෝධ කර ගැනීමට දුෂ්කර දාර්ශනිකයකු පිළිබඳව හැදෑරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට මේ සඳහා ඇති අවම කොන්දේසීන් වන්නේ මේවායි. නමුත් ගුණරත්න මහතාගේ හේගල් පිලිබඳ සම්මන්ත්‍රණ මාලාව මගින් යෝජනා කරන්නේ මෙවැන්නක් නොවේ. ඒ වෙනුවට එහිදී කෙරෙන්නේ ඔවුන් විසින් රචනා කරන ලද පිටු කිහිපයක නෝට් එකක් මත පදනම්ව හේගල් පිළිබඳව කෙරෙනා කතා බහකි. පෙරද ලියු පරිදි, මෙය එය තුලම ගත් විට ගැටළුවක් නොවුනද, මෙමගින් හේගල් පිළිබඳව විශ්වසනීය අවබෝධයක් ලබා ගැනීමේ අහලකටවත් යා නොහැකි ය. මෙහිදී සිදුවන්නේ හේගලියානු වාග්මාලාවේ, තනුක කරන ලද අදහස් ටිකක් සිංහලෙන් ලියනා සම්ප්‍රදායක් ඇති වීමය. හරියට, කලකට ඉහතදී, ලැකෙනියානු මනොවිශ්ලේෂණයේ තනුක කරන ලද අදහස්, ඒ පිළිබඳව හසරක් නොදත් පිරිසක් විසින්, 'යථ', 'ප්‍රමෝදය', 'සංකේත පිළිවෙල' ආදී ලෙස අර්ථ විරහිත ලෙස තැන් තැන් වල ලියමින් කියමින් ගිය පරිදිම ය. 



මෙමගින් මෙරට හේගල් අධ්‍යයන සම්ප්‍රදායක් ඇති වන්නේයැයි කෙනෙක් සිතන්නේනම් එය බලවත් මුලාවකි. නමුත් මෙමගින් ගුණරත්න මහතාට නම් මහත් සේවයක් වෙයි. ඔහුට අවශ්‍ය වන්නේ, ඔහුගේ දේශපාලන විශ්ලේෂණය මේ මොහොතේ වාමාංශික දේශපාලනයේ වඩාත්ම ගැඹුරු සහ නිවැරදි විශ්ලේෂණය කරවීමයි. මේ සඳහා ඔහු හේගලියානු වදන් මාලාවකින් එම විග්‍රහයන් සරසනු ඇති අතර, එවිට ඒවාට යම් කිසි විදියකට කියවීමේ පිරිසක් ලෙස මෙම සම්මන්ත්‍රණයට පැමිණි පිරිස යොදා ගත හැකි වේ. අනෙක් අතට, එවිට එම 'විශ්ලේෂණ' වලට පිළිතුරු දීමට පුවත් පත් වල දේශපාලනය ගැන ටොන් ගණන් ලිපි ලියන අනෙකුත් 'විචාරකයන්ට' නොහැකි වනු ඇත. මන්ද, අතිශයින් දුප්පත් ඔවුන්ගේ සංකල්පීය ලෝකය තුල හේගලියානු ශබ්දකෝෂයේ ගාම්භීරත්වය සමග තරඟ කල නොහැකි හෙයිනි. මේ සම්බන්ධයෙන් අපට කිසිම ගැටළුවක් නොවේ. මෙම 'විචාරකයන්' රැක ගැනීමට අපට කිසිඳු උවමනාවක් නොමැති වෙයි.




අනෙක් අතට අප හේගල් අධ්‍යනය කරන අවකාශයට මෙමගින් හානියක් වන්නේද නොවේ. හේගල් හෝ වෙනත් ඕනෑම දාර්ශනිකයෙක් අප හදාරන්නේ මෙවැනි ජනප්‍රිය වැඩ සඳහා නොව, පොදු යහපතක් ලෙස අධ්‍යාපනයේ උරුමය, නව ලිබරල්වාදී ආක්‍රමණය හමුවේ රැක ගැනීම වෙනුවෙනි. මෙය සරල ලෙස කිසියම් දාර්ශනිකයකුගේ වචන කීපයක් තොල ගා ගෙන කල හැක්කක් නොව, ඊට වඩා බොහෝ දුෂ්කර, කල් ගත වෙන සහ ජනප්‍රිය නොවන කටයුත්තකි.   එම නිසාම අප සමග හේගල් හදාරන්නට පැමිණිය යුත්තේ ම, ගුණරත්න මහතාම මෑතකදී කියා තිබු පරිදි, 'නිර්මාල්' කතා කරලා ඉවරවෙනකන් නිදාගෙන පසුව දීප්ති ගේ කතාව ආතල් නිසා එය අසන්නට අවදි වන අය නොවිය යුතුය. ආතල් සොයනා අයට හේගල් කියවීමට වඩා පහසුවෙන් එය ඉටු කර ගැනීමට බොහෝ මාර්ගයන් තිබේ. මෙම සම්මන්ත්‍රණ මාලාව අවසානයේදී 'ලුබියානා පාසල' ලෙස ඔවුන් විසින් නම් කරනා ආයතනයකින් (?) එහි ප්‍රධාන ප්‍රකාශකයන් ලංකාවට ගෙන්වන බව පවසා තිබෙන ප්‍රකාශය සම්බන්දයෙන්නම් අපට මේ අනුව කියන්නට යමක් තිබේ. මින් ඔවුන් අදහස් කරන්නේ 'දර්ශනයේ ස්ලෝවේනියානු ගුරුකුලය' ලෙස බදියු නම් කරන Ljubljana School of Psychoanalysis යන්නයැයි කියා අපට සිතේ. අප මෙම ප්‍රකාශය ඔවුනට අභියෝගයක් ලෙසම කරමු. ඔව්, හැකිනම් ස්ලෝවේනියානු ගුරුකුලයේ ප්‍රධාන ප්‍රකාශකයින් වන ස්ලවෝයි ජිජැක්, ඇලෙන්කා සුපාන්ශිෂ්, ම්ලාඩන් ඩොලාර් නැතිනම්, ඔවුන්ගේ සතුරු පාර්ශවය (අපි වගේම ඔවුන්ද අභ්‍යන්තරික බෙදී වෙන්වීම් වලින් සහ විරසක වීම් වලින් සලකුණු වූ ගුරුකුලයකි - මෙය ඕනෑම සැබෑ ගුරුකුලකයකට පොදු ධර්මතාවයකි) නියෝජනය කරන රාඩෝ රිහා, යෙලිකා සුමිෂ් වැනි කෙනෙක් මෙරටට ගෙන්වන්න! එම 'ප්‍රකාශකයන්' සමග සංවාද කරන්නට ඔවුන් හදන්නේ මෙම 'එක දාර්ශනිකයකු, එක දිනයකින්!' බැගින් ඉගැන්වෙන ඔවුන්ගේ මෙම සම්මන්ත්‍රණ මාලාවේ සහභාගී වන්නන්නන් සමගනම්, සිදු විය හැකි එකම දෙය වන්නේ ඔවුන් ලංකාව දෙසවත් නැවත නොබැලීමට සපථකරමින් පිටව යාම පමණි. ඔවුන් ඉදිරියේ ගුණරත්න මහතාගේ සහ පුෂ්පකුමාර මහතාගේ හේගල් කියවීම් ඉදිරිපත් කරන්න! ඔවුන් ඉදිරියේ ගුණරත්න මහතාට තමා අමු අමුවේ ජිජැක් ගෙන් හොරකම් කරන ලද අදහස්, උදාහරණ, විහිලු ආදිය කීමට නොහැකි අතර, ඒ වෙනුවට කල යුත්තේ සිය අව්‍යාජ කියවීම් ඉදිරිපත් කිරීමයි. අන්න ඒ විට ලංකාවේ හේගල් හදාරන්නේ කොහොමද, කුමකටද, කාත් සමගද කියා තීරණය කිරීමට අපට හැකි වනු ඇත. අප එතෙක් බලා සිටිමු. 

2 comments:

  1. mehemai machan deepthila ehema hari hegal gana kiyala denawa. umbala nikan pase budhu wage dannawa kiyala kiyanawa habai kiyanne ne. api wage english bari un kohomada ban e wage poth kiya wanne. gon part epa. kauru hari wadak karana kota waradi kiyanna puluwan. nikan innakota mukuth wara di ne. ithin e nisa apita podi danumak hari ena ekata ai umbala irsha karanne. panthiye hamotama pala weniyo wenna be wage eka eka kattiya extract kara ganna danuma eka samana ne

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා, ඔබ අපි ලියල තියෙන එක හරියට කියවල නෑ. ඉහත සටහනේ, තැන් දෙකකම තියෙනවා, හේගල් ගැන පිටු 30 ක නෝට් එකක් මගින් ඉගැන්වීම, එය තුලම ගත් විට වරදක් නොවන බව.නමුත් ගැටලුව වන්නේ, මෙමගින් හේගල් ගැන විශ්වසනීය අවබෝධයක් ලබා ගැනීමේ නොහැකියාව. අපි කවුරුත් ඉපදෙනකොට කිසිම භාෂාවක් දන්නේ නැති අතර, අප සංවිධානයේ කිසිවකු, ඉංග්‍රීසි භාෂාව සිය මවු භාෂාව ලෙස ඉගෙන ගෙනද නැත. නමුත්, ඉංග්‍රීසි ඉගෙනීමට නොහැකිය කියා කෙනෙක් කියනවානම්, එය ඔහුගේ/ඇයගේ කැප කිරීම සහ අධිෂ්ඨානය පිලිබඳ ගැටළුවක් පමණි. අනෙක් අතට, රැඩිකල් සමානාත්මතාවාදීන් වන අප "පංතියේ පළවෙනියෝ සහ අන්තිමයෝ" පිළිගන්නේ නැත. අපට අනුව සිටිය හැක්කේ 'හේගල් කියවන්න පුළුවන් මිනිස්සු' සහ 'හේගල් කියවන්න බැරි මිනිස්සු' නොව, 'හේගල් කියවන්න මහන්සි වෙන්න කැමති මිනිස්සු' සහ 'එසේ මහන්සි වෙන්න අකමැති මිනිස්සු' පමණි. සහෝදරයා කියවල තියෙනවද දන්නේ නෑ, මාක්ස්ගේ ජනප්‍රිය වැකියක් තියෙනවා මෙහෙම : "විද්‍යාව සඳහා රාජකීය මාවතක් නැති අතර එහි ඇති තියුණු බෑවුම තරණය කිරීමට බිය නොවන්නන්ට පමණි, සත්‍යාවබෝධයේ ආලෝකය නම් කඳු මුදුනට යා හැක්කේ"

      Delete