Saturday, October 27, 2012

විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ?

විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද විය. මේ නිසා, එම ඉල්ලීම ජයග‍්‍රහණය නොකොට ආපසු වැඩට යාම, වර්ජනයේ අසාර්ථකත්වය මනින මූලික මිණුම් දණ්ඩ බවට අද පත්ව ඇති බවක් පෙනේ.  

සිවිල් සමාජය මීට පෙර නොවු විරූ ආකාරයෙන් මේ වෘත්තීය සමිති අරගලය සමග අනන්‍ය විණි නම්, ඒ මේ කියන ඉල්ලීම නිසා බව සැබවි. එහෙත්, වැඩ වැරූ මාස තුනේ පඩිය පමණක් අතට ගෙන, අවශේෂ ඉල්ලීම් පිළිබඳ නොපැහැදිලි ප‍්‍රකාශනයකින් සෑහීමකට පත්ව සියයට 6 පස්සට තැබීම පරාජයක් නම්, එම පරාජයේ වගකීම දැරිය යුත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ම ද යන්න විමසා බැලීම මෙහි අරමුණයි.

Wednesday, October 24, 2012

'බලය' සහ 'දර්ශනය' අතර සාකච්චා ගැන ඩෙලර්ස්


සාකච්චාවල් (negotiations) සමහරවිට කොතරම් කල් ඇදෙනවාද කියනවානම් ඔබ දන්නේ නැහැ ඒවා තවදුරටත් යුද්ධයේ කොටසක්ද නැතිනම් සාමයේ ආරම්භයද කියල. අනෙක් අතට දර්ශනය සෑම විටම තියෙන්නේ දේවල් පවත්නා ආකාරය ගැන විරෝධයක් සහ එම දේවල් විසින් ගෙන එනු ලබන නිසංසල බව අතර මැද්දේ හිර වෙලා. නමුත් දර්ශනය කියන්නේ බලයක් නොවෙයි. ආගම්, රාජ්‍යයන්, ධනවාදය, විද්‍යාව, නීතිය, මහජන මතය සහ රූපවාහිනිය කියන්නේ බලයන් උනත් දර්ශනය එහෙම නොවෙයි. දර්ශනයට එහි මහා අභ්‍යන්තර ගැටුම් (විඥානවාදය සහ යථාර්ථවාදය අතර ආදී ලෙස) තිබෙන්න පුළුවන් නමුත් ඒවා ඇත්තටම බොරු ගැටුම්. බලයක් ලෙස නොපවතින නිසා පවත්නා බලයන් සමග ගැටෙන්නට දර්ශනයට නොහැකි උවත් එය ගැටුම් නොමැති යුද්ධයක් ලෙස, ඔවුන්ට එරෙහි ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස සටන් කරනවා. ඒ එක්කම එයට බැහැ ඔවුන් සමග සංවාද කරන්න. ඔවුන්ට කියන්නට කිසිවක්ම එයට නැහැ. සන්නිවේදනය කරන්න කිසිවක්ම නැහැ. කල හැක්කේ සාකච්චා (negotiate) කිරීම පමණයි. බලයන් කියන්නේ හුදු පරිබාහිර දේවල් පමණක් නොව අප සැවම විනිවිද යන දේවල්ද වන නිසා දර්ශනය විසින් අප සමග කෙරෙන නිරන්තර සාකච්චාවකටත් අපටම එරෙහිව කරන ගරිල්ලා ව්‍යාපාරයකටත් අප සියලු දෙනාවම ඇද දමනවා.

Wednesday, October 17, 2012

අධ්‍යාපනය ගැන අරගලයෙන් අරගලයේ අධ්‍යාපනයට

මේ ලිපිය සරසවි ආචාර්යවරුන්ගේ අරගලය දෙස ආපසු හැරී බලන්නට උත්සාහ කරයි. මේ දිනවල බොහෝ දෙනා එසේ කරනු පෙනෙයි. ඒ හැම බැල්මකම එහිම වූ රාමුවක් තිබේ. ඒ රාමුවෙන් එකිනෙකා ගේ සිතීමේ උත්කර්ෂවත් වස්තූන් ඔවුන් දෙස බලා හිඳිනු දැකිය හැකි ය. කෙනෙකු වෙත අරගලය තුලින් කොටියෙක් දත් විලිස්සාගෙන සිටියි, තවකෙකු වෙත ඩොලර් ඉගිමරයි, තවත් කෙනෙකු ගේ කවුලුවෙන් අරාබි වසන්තයේ හිරු රැස් ගලයි.  මට කුමක් සිදු වනු ඇති ද?

මා දෙස බලා හිඳින එක් උත්කර්ෂවත් වස්තුවක් වන්නේ අධ්‍යාපනය පිලිබඳ සංකල්පනයයි. එය ගොඩනැගනේනේ අරගලය වටා ගොඩනැගුනු සංවාදය තුලින් ය. අනෙක සරසවි ආචාර්යවරයා නම් වූ නව භූමිකාවයි. එය බොහෝ දුරට නිර්මාණය වන්නේ අරගලයේ භාවිතය මගිනි. අරගලය තුලින් මා දෙස බලා හිඳින මේ නව ප්‍රපංච යුගලය වටහා ගැනීම මේ ලිවීමේ අරමුණයි. ඒ සඳහා මේ පැත්තෙන් යමු. 

ද.දේ.නි. අධ්‍යාපනය සඳහා සියයට හයක් : මනඃ සෘෂ්ටියෙන් සැබෑ වැඩසටහනක් දක්වා



විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සිය දශක තුනක පමණ ඉතිහාසය තුල ඇරඹු වෘත්තීය සමිති අරගල හතරෙන්, පසු ගිය සතියේ අවසන් වූ අරගලය තමයි භෞතික වශයෙන් ලැබූ ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ පළමු අරගලය. නමුත්, අනෙක් අතට මෙම අවසාන වෘත්තීය අරගලය හේතු දෙකක් නිසා විශාල ලෙස වැදගත් වෙයි. පළමුවෙන්, මෙය තමයි විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් සිදු කල පළමු වැඩ වර්ජනය. මෙයට පෙර සාමාන්‍ය තත්වයන් වලදී විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් දරන ස්වෙච්චා තනතුරු වලින් ඉවත් වීම වැනි වෙනත් මාදිලියේ විරෝධතා වෙත සම්මේලනය යොමු වී තිබිණි. දෙවනුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ ගැටලුව විශ්ව විද්‍යාල සීමාවෙන් ඔබ්බෙහි සිටිනා පොදු මහජනයා වෙත ගෙන යාමේ 2011 වසරේ උපක්‍රමය ඉදිරියට ගෙන යමින් සම්මේලනය විසින් සිය සාමාජිකයන්ගේ නිශ්චිත ඉල්ලීම් වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ වඩාත් පොදු ගැටළු අවධාරණය කරන ලදී. මේ නිසා මෙවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැවෙන ප්‍රශ්න පිළිබඳව පුළුල් සාකච්චාවක් ඇති කිරීමට සම්මේලනයට හැකි විය. වෘත්තීය සමිති අරගලයක් යනු මූලික වශයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණු සහිත පාර්ශවයන් දෙකක් අතර අරගලයක් වන හෙයින් සංයුක්ත ප්‍රතිඵලයක් නොමැතිව වෘත්තීය සමිති අරගලයක් අවසන් කිරීම යනු වෘත්තීය සමිති ඉතිහාසයේ අමුතුම අත්දැකීමක් නොවේ.   මෙම අරගලය සංයුක්ත සහ භෞතික ජයග්‍රහණයන් නොමැතිව අවසන් වූ පමණින් එය අනිවාර්යයෙන් අසාර්ථක වූ බවක් ඉන් හැඟවෙන්නේ නැත. එලෙසින්ම එය පරාජයක් වූවද, වෘත්තීය සමිති නායකයන්ට සහ එහි සාමාජිකයන්ට හැකිනම් මෙවැන්නක් අනාගතයේ නැවත සිදු නොවන ලෙස මෙම පරාජයට හේතු වූ කාරනා හඳුනා ගන්නට මෙම පරාජය කල කිරීමට හෝ අපේක්ෂාභංගත්වයට හේතු නොවනු ඇත.   

Monday, October 15, 2012

නලින් ද සිල්වා අරාබි වසන්තය ගැන දන්නේ කුමක්ද?



පහතින් පල වෙන්නේ මැද පෙරදිග සමාජ නැගී සිටීම් සම්බන්ධයෙන් ඇලෙන් බදියු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි. 

මෙහි පළමු කොටස වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වා තිබුණු නලින් ද සිල්වා ගේ ගිරා පෝතකයෙක් කියා තිබුනේ 'අරාබි වසන්තය යනු සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්' බවයි. ගිරවුන් කතා කරන විට එමගින් හෙළි වන්නේ ඔවුන්ගේ ස්වයං-සවිඥානකත්වය නොව ඔවුන් හැදී වැදුණු පරිසරයේ ස්වභාවය කියා අප ඉගෙන ගත්තේ පරණ බණ කතාවකින් නිසා මේ ගැන අප එතරම් කලබල විය යුතු නොවේ. 

Sunday, October 14, 2012

අරාබි වසන්තය ඇත්තටම ශ්‍රේෂ්ඨ ද ?

මැද පෙරදිග මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන ඉතා ලාමක විග්‍රහයන් වෙනුවට ඒ පිළිබඳව කිසියම් ආකාරයක ගැඹුරු සාකච්චාවක් කල යුතු බව අප සඳහන් කළෙමු. 'සමාජ වෙනසක්' වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාට අප ජීවත් වන යුගයේ මග හැරිය නොහැකි අත්දැකීමක් තිබෙනවානම් ඒ අන් කිසිවක් නොව මෙම මහජන නැගී සිටීම්ය. 

පහතින් පල වෙන්නේ ඇලේන් බදියු විසින් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලියූ ලිපියක සිංහල පරිවර්තනයේ පළමු කොටසයි. අරාබි නැගී සිටීම් යනු 'ෆේස්බුක් විප්ලව' නැතිනම් 'ඇමෙරිකානු' කුමන්ත්‍රණ කියා කියන නූගතුන්ට මෙන්ම ඒවා 'ගල් ගසන විප්ලව' කියා ඉවතලන ගෝත්‍රික වාමාංෂිකයන්ට මෙයින් බොහෝ දේ ඉගෙනීමට හැකි වනු ඇත. 



මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තන දෙකක් වෙයි. එකක් මෙය ලියවුනු දිනවලම www.lacan.com වෙබ් අඩවියේ පල විය. නමුත් අප මෙම සිංහල පරිවර්තනය සඳහා යොදා ගත්තේ මෑතකදී පල වුනු බදියුගේ කෘතියකි. බලන්න, Badiou, A. (2012), trans. Elliott, G., “The Rebirth of History – Times of Riots and Uprisings”, Verso, London, pp 106 – 114.     



Friday, October 12, 2012

මහසෝනා දැක ගැනීමට කැමති අය, මේ පැත්තෙන් එන්න!

මෙය නිර්මාල් විසින් 1999 වසරේදී මාතොට සඟරාවට ලියන ලද ලිපියකි.

නලින් ද සිල්වා විසින් රූපවාහිනී සාකච්චා වට කීපයකදීම ජනයා ඉදිරියේ හෙළි කරනා බවට අනතුරු හැඟවූ ලිපියකි.

මෙය පල කිරීමෙන් අපගේ වත්මන් දේශපාලන ආස්ථානයන් දෙදරා යනු ඇතැයි සිතා අප වෙත කොමෙන්ටුවක් සේ යොමු කර ඇති ලිපියකි. 

1840 දශකයේ කොමියුනිස්ට්වාදය නම් අවතාරය යුරෝපයේ හොල්මන් කළා මෙන්ම අපව හොල්මන් කරනා මෙම ලිපිය අප ගුරුකමක් කර වතුර බෝතලයක දමා සිර කර ගත්තෙමු. සියලු දෙනාගේ පහන් සංවේගය පිණිස එම ලිපිය පහතින් පල වෙයි.

මෙම ලිපියේ අන්තර්ගතය සහ අධ්‍යාපනය වෙනුවෙන් අප අරගල කළයුතුයැයි යෝජනා කිරීම පරස්පරයක්ද? මේ සම්බන්ධයෙන් ඔබට අසන්නට ප්‍රශ්න තිබේනම්, දැන් එයට අවස්ථාව ලබා දෙන්නෙමු. 

Thursday, October 11, 2012

ආචාර්යවරුන්ගේ අරගලයට පෙර අධ්‍යාපනය පිලිබඳ ලාංකික සංවාදය තිබුනේ කොතැනද?

මෙයට පෙර අප විසින් පළ කල කෙටි සටහනට බොහෝ දෙනෙකු කුණුහරුප සහිත කොමෙන්ටු විශාල ප්‍රමාණයකින් අපට පවසන්නේ අප සඳහන් කල දෘෂ්ඨිවාදී ජයග්‍රහණය ව්‍යාජයක් බවයි. පළමුවෙන් කිව යුත්තේ, අප මෙම කුණුහරප කොමෙන්ටු පළ නොකරන්නේ අප කුණුහරප වලට බය නිසා නොව, පොදු අවකාශයක් තුල ඉන්නා විට එහි නීති රීති වලට ගරු කල යුතු නිසා බවයි. 
 

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලයට පෙර ඒ පිළිබඳව තිබුණු ලාංකික සංවාදයේ ස්වරූපය කුමක්ද කියා හොඳින් වටහා ගත හැකි කෙටි ලිපියක් අපි පහතින් පළ කරමු. අප එය උපුටා ගන්නේ අනුරුද්ධ ප්‍රදීප් මිතුරා ඒ සම්බන්ධයෙන් ලියු කෘතියකිනි. අනුරුද්ධ සහ අප අතර පොදුවේ දේශපාලනය සහ විශේෂයෙන් අධ්‍යාපනයේ දර්ශනය සම්බන්ධයෙන් බරපතල නොඑකඟතාවයන් තිබේ. එසේ උවත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට හඳුනවා දීමේ නව ප්‍රයත්නයට එරෙහිව ඔහු මතවාදී තලය තුල රැගෙන ගිය හුදෙකලා අරගලය අප සාධනීය ලෙස බාර ගන්නෙමු.

Tuesday, October 9, 2012

ලෝක කුසලානයේ අවසානය සහ අචාර්ය අරගලයේ අවසානය

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් මාස තුනකට අදික කාලයක් කරමින් සිටි වැඩ වර්ජනය අවසන් කිරීම පිලිබඳ යෝජනාව කරලියට පැමිණීමත් සමග ෆේස්බුක් එකේ, සහ පොදුවේ අන්තර්ජාලයේ එක එක තැන වල විවිධ කොමෙන්ට් දමන, තමන්ගේ දෛනික ජීවිතය තුල සමාජය සංවිධානය කිරීමට කිසිදු වැඩක් නොකරන නිකමුන් පිරිසක් දැන් 'නැවතත් අරගලය පාවා දී ඇත' සහ 'මෙයින් වූ කිසිවක් නොමැත' කියා විශාල ඝෝෂාවක් නගමින් සිටී. එම නිසා මෙම නිකමුන්ට සහ මෝඩයින්ට ඉතා සරලව මෙයින් අප ලැබූ ජයග්‍රහණය කුමක්ද කියා මේ මොහොත තුල සලකුණු කර තැබිය යුතුය. 
 
අධ්‍යාපනය වෙළඳපොළ තර්කණයට යටත් කිරීම ට එරෙහිව එය පොදු-වූ-දෙය (the Commons) හා සම්බන්ධ දෙයක් වන බවත් එනිසාම මෙය රැක ගැනීම අතිශය වැදගත් සමාජීය වගකීමක් බවත් පවතින දේශපාලනික අවස්ථාව තුල ජවසම්පන්නව තහවුරු කලේ මෙම අරගලයයි. මෙම දෘෂ්ඨිවාදී ජයග්‍රහණයේ දේශපාලනික වැදගත් කම අතිශයෝක්තියට නැංවීම කිසිසේත් කල නොහැකි බව අපගේ හැඟීමයි. එම අරුතින් ගත් විට අධ්‍යාපන උරුමය වෙනුවෙන් සටන් කරනා විවිධ ගෝලීය ව්‍යාපෘතීන් අතරින් මෙම අරගලය ඉතාමත් ඉහල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ. 

Monday, October 8, 2012

නිර්මාල් ගේ පෝස්ටර් ඉතිහාසය

දේශපාලනයෙහි එක් චරිත ස්වභාවයක් වන්නේ සතුරන්ගේ පැවැත්මයි. ලිබරල් පාර්ලිමේන්තුවාදය විසින් යටපත් කිරීමට කොතරම් උත්සාහ කලද අව්‍යාජ දේශපාලන අභිමුඛ වීමක් යනු සමාජ සමස්තය තුලින්ම එහි ප්‍රතිවිරෝධය මතු වන දෙපළුවීමකි. එම නිසා අපගේ දේශපාලන සතුරන් කරන විවිධ ආකෘතියේ මඩ ගැසීම් සම්බන්ධයෙන් ලිබරල් සදාචාරමය ගැටළු අපට නොමැති වෙයි. ඒවා එක්තරා ලෙසකින්, අපගේ දේශපාලනය අපගේ සතුරන්ගේ සාමකාමිත්වය බිඳ දමා තිබේය යන්න අපට පෙන්වන නිර්ණායකයකි. 

අප පහතින් පල කරන්නේ නිර්මාල් ට එරෙහිව අවස්ථා දෙකකදී කරන ලද මඩ පෝස්ටර් ව්‍යාපාරයන් දෙකක් හා සම්බන්ධ පෝස්ටර් හතරක ඡායාරූපයි. මින් දෙකක් 2007 දී අලවා තිබුණු අතර දෙකක් 2012 දී අලවන ලදී. මේවා නිශ්චිත වශයෙන් අලවනු ලැබුවේ කවුරුන් විසින්ද කියා අපිට ඔප්පු කල නොහැකි මුත් ඒවාට අවසාන වශයෙන් වග කියන්නේ කුමන පාර්ශවයක්ද, මේවායින් ඔවුනගේ දේශපාලන බංකොලොත් බව සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද ආදිය සම්බන්ධයෙන් නිගමන වලට ඒම අපහසු නොවේ. 

මේ අවස්ථාවන් දෙකේදීමනිර්මාල් ගේ බිරිඳ මෙයට සම්බන්ධ කර තිබෙන්නේ ඇයි? . දෙවෙනි පෝස්ටර් ව්‍යාපාරයේදී නිර්මාල් වෙනුවෙන් පෙනී ඉන්නට උත්සුක වන සුදර්ශන ගුණවර්ධන මහතාට පළමු පෝස්ටර් ගැන කියන්නේ තිබෙන්නේ කුමක්ද කියා ඔබ සිතන්නේද?

Sunday, October 7, 2012

අනාගත ලංකාව!

පසු ගිය දිනක ESPN වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සමග ඇමෙරිකානු ජාතික ක්‍රීඩා රචකයකු වන රයිට් තොම්සන් විසින් කල සාකච්චාවක් පල වී තිබිණි. තොම්සන් ට මහේල ව මුණ ගැසී තිබුනේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිය බිරිඳ සමග තේ පානය කරමින් සිටින අතර තුරයි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ පුළුල් ඓතිහාසිකත්වය තුල තබා කියවීමට මහේලගේ අත්දැකීම් යොදා ගැනීමට මෙම රචනය තුලදී ලේඛකයා උත්සාහ කරයි.

වසර ගණනක යුද්ධය අවසන් වීමෙන් පසුව නොදන්නා අනාගතයක් දෙස බලා සිටින ශ්‍රී ලංකාව දැන් සිටින්නේ පිහි තුඩක් මත සිටගෙනය යන්න එහිදී තොම්සන් විසින් දෙන නිගමනයයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලොබි එක තුල තේ බොන අතර තුර අප පරම්පරාවේ සමාජීය වගකීම සම්බන්ධයෙන් මහේල මෙහෙම කියයි: "ඊළඟ පරම්පරාවේ තුවාල සුව කිරීමටත් අප අතර ඇති දුරස්තබව නැති කිරීමට පාලම තැනීමටත් මෙය අපට මහගු අවස්ථාවකි. අපේ පරම්පරාව යුද්ධය අතරේ හැදී වැදුණු නිසා අපට මෙය මානසිකව අපහසු උනත්, ඊළඟ පරම්පරාවට මෙය වඩාත් පහසු වනු ඇති". මේ අනාගත ලංකාව සම්බන්ධයෙන් තොම්සන් හට මැවෙන්නේ මෙවැනි චිත්‍රයකි:

Friday, October 5, 2012

වසන්තේ නිදා උන්, යොවුන් කෝකිලාවුන් වෙනුවෙන්!

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ට එරෙහිව සටන් බිමට අවතීර්ණ වී ඇති ජාතික චින්තන ගුරු කුලයෙන් මෙම අරගලය සඳහා අපූරු විවේචනයක් එල්ල වෙයි. එනම්, ඔවුන් 'අරාබි වසන්තය' ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවයි. මේ පිළිබඳව අපට කියන්නට තිබෙන්නේ මෙවැන්නකි. එක්කෝ මෙය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය වෙත ජාතික චින්තන ගුරුකුලය විසින් ලබා දෙන අති විශිෂ්ඨ ගෞරවයකි. නැතිනම්, මෙය ශ්‍රේෂ්ඨ අරාබි මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ඇති ඉතා බොළඳ විග්‍රහයකි. අරාබි වසන්තය යනු එක වෘත්තීය සමිතියක් මගින් කල මැදිහත් වීමක් නිසා හට ගත් එකක් නොව, පුරෝ කථනය කල නොහැකි දේශපාලනික විවර වීමක ඓතිහාසික ප්‍රතිපලයකි. නවීන ඉලෙක්ට්‍රොනික මෙවලම් ඉදිරියේ තුෂ්නිම්භූත වී බලා සිටින අඥාන පාරිභෝගිකයකු වන සමකාලීන මිනිසාට, මෙය ෆේස්බුක් විප්ලවයක් කියා සිතනා 'ලංකා සී නිව්ස්' අර්ථකතන ගැලපිය හැකි විය හැකිය. නමුත් 'ලංකා සී නිව්ස්' යනු ඉතිහාසයේ අවසානය නොවන බව අපට නිශ්චිත වශයෙන්ම කියා දුන්නේ මෙම මැද පෙරදිග අරගලයයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ලංකාවේ 'දේශපාලනය' යලි අරඹා ඇති වත්මන් මොහොත තුල මැද පෙරදිග ශ්‍රේෂ්ඨ මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් කතා බහක් ඇති කිරීම සුදුසු බව අපගේ හැඟීමයි. මෙහි ආරම්භයක් වශයෙන් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ නැගී සිටීම් ඇති වූ සමයේ ස්ලැවෝයි ජිජැක් විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයක් පහතින් පල වෙයි.