Wednesday, December 12, 2012

ඉතිහාසයේ හදිසි අනතුරු

පෝල් ෆෙයරාබන්ඩ් ගේ Against Method කෘතිය ලංකාවේ ජාතික චින්තන ව්‍යාපෘතිය සඳහා කල කේන්ද්‍රීය බලපෑම බොහෝ දෙනා දන්නා කරුණකි. අදටත් නලින් ද සිල්වා මහතාගේ ලියවිලි වල, ප්‍රසිද්ධ අදහස් දැක්වීම් වල ෆෙයරාබන්ඩ් ගේ තර්ක සහ නිදර්ශන පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන් වෙයි. විද්‍යාවේ වර්ධනය තුල පදනම් වන එකම මූලධර්මය වන්නේ 'ඕනෑම දෙයක් ඔට්ටුයි' ('anything goes') යන්න බව සඳහන් ෆෙයරාබන්ඩ් ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය නලින් ද සිල්වා මහතා විසින් 'ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමට', 'මහසෝනා ප්‍රවාදය වර්ධනය කිරීමට' සහ 'නාථ දෙවියන්ගේ සත්භාවය තහවුරු කිරීමට' යොදා ගත් ආකාරය හඳුනා ගැනීමට කෙනෙක් ෆෙයරාබන්ඩ් ව කියවීම අත්‍යවශ්‍ය වෙයි. 

නමුත් ෆෙයෙරාබන්ඩ් ගේ ලාංකික කියවන්නන් බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් Against Method කෘතිය බිහිවීම පසුබිමේ වෙයි. මෙය ලියවෙන්නේ ෆෙයරබාන්ඩ් ගේ මිතුරෙක් වන ඉම්රේ ලැකැටොස් (Imre Lakatos) නම් හංගේරියානු ජාතික විද්‍යාව පිලිබඳ දාර්ශනිකයාගේ යෝජනාවක් අනුවය. විද්‍යාව සම්බන්ධයෙන් පරස්පර අදහස් දැරූ ෆෙයරාබන්ඩ් සහ ලැකැටොස් ඔවුන්ගේ අදහස් සංවාදයක් ලෙස ලියන ලෙස ලැකැටොස් යෝජනා කරයි. මෙය පිළිගත් ෆෙයරාබන්ඩ් ඔහුගේ අදහස් ටික ලියා අවසානයේදී පල කිරීමට පෙර 1974 පෙබරවාරි මාසයේ ලැකැටොස් මිය යන අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම සංවාදයේ හරි අඩක් නොමැතිව ෆෙයරබාන්ඩ් ගේ ලියවිල්ල පමණක් ප්‍රකාශනයට පත්වෙයි. 

මෙම කෘතියේ 1987 මුද්‍රණයට පෙරවදනක් ලියන ෆෙයරාබන්ඩ් පැහැදිලි කරනා ආකාරය අනුව, Against Method කෘතියේ අන්තර්ගතය තේරුම් ගැනීම සඳහා මෙම නිධාන කතාව දැන ගැනීම වැදගත් වෙයි. මේ සඳහා ඔහු ලබා දෙන නිදර්ශන අතර, 'ඕනෑම දෙයක් ඔට්ටුයි' යන අදහසද ඇතුලත් වෙයි. ෆෙයරාබන්ඩ් ට අනුව එය ඔහු විසින් පිළිගන්නා 'මූලධර්මයක්' නොව විද්‍යාවේ ඉතිහාසය සොයා බලනා - ලැකැටොස් වැනි - බුද්ධිවාදියෙකුගේ පුදුමයට පත්වුණු විශ්මයාර්ථය ෆෙයරාබන්ඩ් විසින් සටහන් කිරීමට තැත් කල ආකාරයයි. මෙම කෘතියේ සමස්තයක් ලෙස දක්නට ලැබෙන පොලම්බවනසුළු-විවාදසම්පන්න (polemical) රිද්මය වටහා ගැනීමට මෙය අතිශයින් වැදගත් වෙයි. ෆෙයරබාන්ඩ්ම කියන පරිදි එම නිසා මෙම කෘතිය විධිමත් ශාස්ත්‍රීය නිබන්ධයක් නොව මෙය මිතුරෙකුගේ සුවිශේෂ අදහස් ඉලක්ක කරගත් පුද්ගලික ලියමනකි.

නමුත් අපගේ අවාසනාවට මෙයට ප්‍රතිචාර දැක්වීමට පෙර ලැකැටොස් මියයන අතර එම නිසා මෙයට ඔහුගේ ප්‍රතිචාරය අපට කිසිදා දැක ගැනීමට නොහැකි විය. මෙම අහම්භය නොමැති වීනම් 80 දශකයේ ලාංකික සංවාදය කුමන මුහුණුවරක් ගනු ඇතිද? 

ලැකැටොස් විසින් For Method නමින් එම ප්‍රතිචාරය පලවීනම් මෙරට ජාතික චින්තන ව්‍යාපෘතිය කුමන දිශාවකට යාමට ඉඩ තිබුණිද?  

No comments:

Post a Comment