Tuesday, May 29, 2012

මෙයසු පිලිබඳ තිසීස


කෙන්ටින් මෙයසු (Quentin Meillassoux) යනු පසු ගිය වසර කීපය තුල දාර්ශනික ලෝකය කැළඹු මැදිහත්වීමක් කල යොවුන් චින්තකයා ය. සමකාලීන දර්ශනයේ උද්යෝගීමත් ව්‍යාපාරයක් වන සමපේක්ෂී යථාර්ථවාදී ව්‍යාපාරයේ (Speculative Realism Movement) කේන්ද්‍රීය ප්‍රකාශකයාය. මෙයසු පිළිබඳව සාකච්චාව ලාංකික සන්දර්භය තුල සලකා බැලීම හදිසි අවශ්‍යතාවයක් බව අපගේ තක්සේරුවයි. 'නාථ දෙවියන්' විසින් ලාංකික බුද්ධිමය කතිකාව හොල්මන් කරන විට මෙයට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ, 'හේතුවාදීන්ගේ' ළදරු ප්‍රතිචාර සහ 'ජාතික බුද්ධිමතුන්ගේ' නිර්වින්දනය වීම ය. මෙම 'නාථ දේවගමනයේප්‍රතිවිපාකයන් වලට කිසිවෙක් ස්වාභාවිකව ප්‍රතිදේහ නිපදවන්නේ නැති බව වටහා ගන්නා විට විය හැකි හානිය විශාල විය හැකි ය. එම නිසා මෙයසු පිළිබඳව සාකච්චාව අරඹමින්, අපගේ හැදෑරීම් පහතින් ගොනු කර තිබේ. මෙය විදාරණය කරමින් තරමක් දීර්ඝ ලිපියක් පසුව ලිවීමට අදහස් කරමු. නමුත් මෙවැනි සාකච්චාවක් හඳුන්වා දීම සඳහා මෙම බ්ලොග් ආකෘතිය ප්‍රයෝජනවත් උවත් මෙය වැඩිදුර වර්ධනය කිරීමට මෙය ප්‍රමාණවත් නොවේ. එම නිසා මෙම සාකච්චාව ඉදිරියට ගෙන යාම සඳහා හැකි තරම් පිරිසකගේ සහය අපට අවශ්‍ය වෙයි. ඔබගේ දායකත්වයත් එයට ලබා දෙන්න. 



ප. ලි. ලංකාවේ විවිධ දාර්ශනිකයන් 'ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය' දිනා ගැනීම සඳහා සටනක් ඇති හෙයින්, මෙයද ලිවිය යුතුය. අපට අවශ්‍ය වන්නේ මෙයසු පිළිබඳව සාකච්චාව ඇති කිරීම විනා ඔහුව අයිති කර ගැනීමට නොවේ. එම නිසා අප විසින් මෙයසු පිළිබඳව පළමුවෙන් සාකච්චාවක් ඇති කිරීමේ 'වරදට' මෙයසු සමග තරහ නොවන්න. ඔහු ගැන ලිවීමේදී අප ගැන සඳහන් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මුහුණ සමග තරහ වී නහය කපා නොගන්න.




Sunday, May 27, 2012

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය


අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජාතික පාසැල් වල සිසු සිසුවියන්ට උසස් පෙළ සඳහා වෙනත් ජාතික පාසැලකට යාම අවහිර කිරීම සඳහා ගනුලැබූ පියවර පසුගිය දිනවල බෙහෙවින් ජන අප‍්‍රසාදයට පාත‍්‍ර විය. මේ පියවර ඒ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූවක් නොවන බවටත් දැනටමත් ඊට අදාල චක‍්‍රලේඛ පවතින බවටත් ගුණවර්ධන මහතා කරන ප‍්‍රකාශය සත්‍යයක් බවට සැකයක් නැත. නමුත් එම චක‍්‍රලේඛ නිසිලෙස ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිළිව පෙනේ. මේ නිසා මේ ගැටලූව දෙස ගුණවර්ධන මහතාට බැට දීමෙන් ඔබ්බට ගොස් සාකච්ඡුා කළ යුතුබව මගේ අදහසයි.

බන්දුල ගුණවර්ධන මහතාගේ තර්කය වන්නේ එක් ජාතික පාසැලකින් තවත් ජාතික පාසැලකට උසස් පෙළ සඳහා මාරුවී යාමට ඉඩ දීම හේතුකරගෙන ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. ඔහු මෙහිදී කොළඹ ප‍්‍රසිද්ධ ජාතික පාසැල් වල සාමාන්‍ය පෙළ සඳහා උසස් ප‍්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඊට වඩා ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීම තම තර්කය සාධාරණීකරණය කිරීම සඳහා උපයෝගී කරගනී. ඔහුගේ තර්කය වන්නේ මේ තත්වය නිසා උසස් ප‍්‍රතිඵල ලබාගෙන ප‍්‍රධාන පෙළේ ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීමට අපේක්ෂාවෙන් සිටින ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. මෙය පහසුවෙන් බිඳහෙලිය හැකි තර්කයක් නොවන අතරම ඇමතිවරයාගේ උත්සාහය මගින් මෙම ගැටලූවට විසඳුමක් ලැබෙන්නේනම් අප එයට එකහෙළාම සහය දැක්විය යුතුය.

Monday, May 21, 2012

යළි-ඉදිරිපත්කිරීමේ මණ්ඩිය කැලැත්තීම

අපේ ලිංගික ජීවිතය පිළිබඳව, අපි ෆේස්බුක් එකේ ඵල කරන ජායාරූප පිළිබඳව, අපි කෑම කන විදිය ආදිය පිළිබඳව කාලයක් තිස්සේ, ප්‍රචාරය වෙමින් තිබෙනා විවිධාකාරයේ මඩ ව්‍යාපෘතීන් සඳහා පසු ගිය සති දෙකක පමණ කාලය තුල අපි පිළිතුරු දුන්නෙමු. මේවාට ලැබුණු විවිධ පාඨක ප්‍රතිචාර අතර තිබුණු පොදු අදහසක් වූයේ, 'ඕගොල්ලෝ හැමදාම කරන්න ඉන්නේ, අපිට මඩ ගහනවා කියල ලතෝනි දෙන එක විතරද? ඔගොල්ලන් ගේ අදහසේ හැටියට මේ වෙලාවේ දේශපාලනය විග්‍රහ කල යුත්තේ කොහොමද කියන එකත් කියන්න ඕන නේද?' යන්නයි. මෙය සාධාරණ තර්කයකි. අපි මේ මේ දේවලට විරුද්ධ වන බව පැවසීම අවශ්‍ය වුවත්, නිශ්චිත ලක්ෂ්‍යයකට පසුව අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද යන්නත් පැහැදිලි කල යුතු ය. එම නිසා අප පවත්නා අවස්ථාව සූත්‍රගත කරනා ආකාරය සහ අරගලය ආකෘතිගත කරගන්නා ආකාරය පිළිබඳව තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් පහතින් ඵල වෙයි.  

මේ සඳහා අප යොදා ගන්න මුලික න්‍යායික ප්‍රවේශය පදනම් වන්නේ ඇලේන් බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" යන කෙටි කෘතියයි. (බලන්න, බදියු, ඇ., "සාකොසි යනු කුමක්ද?"පරි. සුමනසේකර, ව., නුගේගොඩසංහිඳ ප්‍රකාශකයෝ, 2011). මේ පරිවර්තනයේ පිළිසිඳ ගැනීම අවජාතක වන්නේය කියා චෝදනා එල්ල වී තිබෙනා හෙයින් ද මෙවැනි ප්‍රවේශයක් ගැනීම ප්‍රයෝජනවත් වන්නේය.

Saturday, May 19, 2012

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය

පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරතිබූ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන්ට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළට ඇතුල් වීමට ඉඩනොදීම නිසා ඇතිවූ තත්වය පිළිබඳව ඇතැම් මාධ්‍යවල වාර්තා වී තිබුණි. මෙය අලූත් තත්වයක් නොවේ. පසුගිය වසරේද කොළඹ විශ්වවිද්‍යාලය තුළ මෙවැනිම තත්වයක් ඇතිවිය. මෙම අවස්ථා දෙකේදීම මේ සිදුවීමට අදාලව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් සෘජුව ගනුදෙනු කළ පුද්ගලයා ලෙස මේ සිදුවීමෙන් මතුවල වැදගත් ගැටලූ කීපයක් සම්බන්ධව සාකච්ඡාකිරීම උචිත යයි සිතමි.

කල යුත්තේ කුමක්ද?


 

පහතින් ඵල වන්නේ බදියු BBC නාලිකාවේ Hard talk නම් වැඩසටහන සඳහා ස්ටීවන් සැකර්ස් සමග කල සම්මුඛ සාකච්චාවකින් තෝරාගත් කොටස් කීපයක සිංහල පරිවර්තනයකි. මුළු සාකච්චාවම ඇතුලත් යූ ටියුබ් වීඩියෝ දෙක මෙහි අගින් තිබේ. 



සැකර්ස්:


මම කල්පනා කරන්නේ, ඔබ, දාර්ශනිකයෙක්, බුද්ධිමතෙක්, සහ ප්‍රංශයේ අන්ත වාමාංශයේ චරිතයක් ලෙස, ඔබ අපේක්ෂා කරනවාද ප්‍රංශ ජනයා ඔවුන් පෙනෙන තරමට වඩා තරහ ගන්න ඕන කියල? අපිට තිබුන වැඩ වර්ජන දෙක තුනක්, ඉස්සරහට තව එකක් සඳහා  සැලසුමක් තියෙනවා... නමුත් අවංකව, ප්‍රංශ මහජනයා කෙනෙක් බලාපොරොත්තු විය හැකි තරමට තරහින් ඉන්නේ නැනේ?


බදියු :


ඔව්, නමුත් ඇත්තටම 'ජනප්‍රිය ව්‍යාපාරයන්' (popular movements) පිලිබඳ ප්‍රශ්නය කියන්නේ, තරහ ගැනීම පිලිබඳ ප්‍රශ්නයක්, අපහසුතාවයෙන් - විශාල අපහසුතාවයන් - තුල සිටීම, නැතිනම් අර්බුදය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ඒක 'අදහස' (Idea)  පිළිබඳත් ප්‍රශ්නයක්.


ඔබට අනිවාර්යෙන් යම් අදහස් තියෙන්න ඕන - යම් ශ්‍රේෂ්ඨ අදහස්. විමුක්තිය පිලිබඳ අදහස්, ඒ වගේම වෙනත් දෙයක වියහැකිභාවය (possibility) පිලිබඳ අදහස්. මේක ඉතාම වැදගත්. පසුගිය සියවසේ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී අත්හදාබැලීම් වල පරාජයන් වල ප්‍රත්ඵලයක් ලෙස, අපිට අද වෙනත් ලෝකයක් පිලිබඳ පැහැදිලි ශ්‍රේෂ්ඨ අදහසක් නැහැ.


සැකර්ස්:


පොඩ්ඩක් ඉන්න, ඔබ කොමියුනිස්ට්වාදියෙක්ද? නැතිද?


බදියු :


කොමියුනිස්ට්වාදය කියන්නේ නව්‍ය වියහැකිභාවයක් සම්භන්ධයෙන් 19 වෙනි සියවසේ තිබුණු ශ්‍රේෂ්ඨ අදහසක්. නමුත් පසු ගිය සියවසේ, මෙම අදහස මත කෙරුණු සියලුම අත්හදාබැලීම් අසාර්ථක උනා. එම නිසා අපිට අද සිද්ධවෙනවා, යලි ගොඩ නගන්න - ධනවාදයේ අර්බුදයට පසු නව විසඳුම නෙමෙයි -අපිට සිද්ධ වෙනවා අදහස යලි ගොඩ නගන්න. 


සැකර්ස්:


පොඩ්ඩක් ඉන්න, මම ඔබගේ ලියවිලි කියවනවා.එතකොට මට දැක්ක ඔබ මෑතකදී කියා තිබෙනවා "කොමියුනිස්ට්වාදය තමයි නිවැරදි උපන්‍යාසය කියල"...?


බදියු :


මම හිතනවා කොමියුනිස්ට්වාදය තමයි වෙනස් ආකෘතියක සමාජයකට තිබෙන නිවැරදි නම. මොකද කොමියුනිස්ට්වාදය යන්නෙන්, පළමුවෙන්ම, හැඟවෙන්නේ පුද්ගල උවමනාවන් මගින් පාලනය වන්නේ නැති සමාජයක්....


සැකර්ස්:


නමුත්, ඔබ දැන් ඔහොම කියනකොට - ඔබ මේ වනවිටත් මේ ප්‍රශ්නය ගැන ඉඟි කළා - ප්‍රංශයේ ජනයා, බ්‍රිතාන්‍යයේ ජනයා, ලොව වටා ඉන්න ජනයා ඔබට සරලව කියාවි "ඇලේන් බදියු, බලන්න; විසිවෙනි සියවස දිහා! බලන්න; අපේ මෑත කාලීන ඉතිහාසය දිහා! ඔබ කොහොමද කියන්නේ කොමියුනිස්ට්වාදය තමයි නිවැරදි උපන්‍යාසය කියල, අපි හොඳටම දැනගෙන ඉන්නකොට අපේ ජීවිත කාලයේ තිබුණු කොමියුනිස්ට්වාදයේ තියෙන අධිකාරිවාදී සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවනතාවයන් දිහා.


බදියු :


ඔව්, නමුත් අපි, කොමියුනිස්ට්වාදය නම් ගණික (generic) අදහසේ - නිදර්ශනයක් ලෙස මාක්ස් ගේ කෘතීන් වල - සහ පසුගිය සියවසේ අත්දැකීම් අතර විභේදනයක් ඇති කල යුතුයි. මොකද පසු ගිය සියවසේ අත්දැකීම් කියන්නේ, අලුත් සමාජයක් යථාර්ථවත් කර ගැනීමේ පළමු ප්‍රයත්නයන්. මෙම ප්‍රයත්නයන් අසාර්ථක උනා. ඒක ඇත්ත. නමුත් අත්හදා බැලීමේ අසාර්ථක වීම කියන්නේ අදහසේ අසාර්ථක වීම නෙමෙයි. මම හිතන්නේ නෑ. 


සැකර්ස්:


නමුත් මේ මගින් ඔබගේ කොමියුනිස්ට් පක්ෂපාතිත්වය, හුදු විශ්වාසයකට වඩා වැඩි දෙයක් නෙමෙයිනේ... ඔබ නිකන් විසි වෙනි සියවසේ අත්දැකීම් ගැන කියන්නේ 'ඒවා පිරිසිදු මදි, ඒවා අදසට අනුව නිවැරදි ලෙස උනේ නෑ. නමුත් මම දන්නවා අදහස නිවැරදියි කියල'. මේක එක්තරා ආකාරයක භක්තියක්. 


බදියු :


වෙන්න පුළුවන්. නමුත් භක්තිය කියන්නේ සමහර විට හොඳ දෙයක්. 


[....]


මගේ ලෝක දැක්ම දාර්ශනික එකක්. මම කවදාවත් ලෝකය පවතින විදිය, එය එලෙසම පවතින නිසාවෙන්ම, පිළිගන්නේ නැහැ. දාර්ශනිකයා කියන්නේ සෑමවිටම විචාරකයෙක්. ආරම්භයේ ඉඳලම, ඒ කියන්නේ සොක්‍රටීස් ඉඳලම, අපි මතවාදයන් (opinions) පිළිගන්නේ නෑ. කිසියම් මතවාදයක් ආධිපත්‍යධාරී වීම එකක්. නමුත් ඒක ආධිපත්‍යධාරී නිසාම දාර්ශනිකයා එය පිළිගන්නේ නෑ.


[...]


මම හිතන්නේ අපි ඉන්නේ, දීර්ඝ පා ගමනක ආරම්භයේ. මේකට නිශ්චිත හේතුව තමයි, අපිට ගිය සියවසේ අත්හදා බැලීම් තවදුරටත් ඉදිරියට ගෙනියන්න බෑ.ඒක ඉවරයි. අපි ඉන්නේ අලුත් අනුක්‍රමණයක් (sequence) මුවදොරෙයි. මේක ප්‍රංශයට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා බොහෝ ගෝලීය දෙයක්. මේක තමයි, සාමුහික සමාජයක්, කොමියුනිස්ට් සමාජයක් - එම වචනයේ මුල් අරුතෙන් ගත විට - පිලිබඳ අදහස නැවතත් ක්‍රියාකළ හැකි නව විමර්ශක රාමුවක් (frame of references) ගොඩ නැගිය හැකිද කියන ප්‍රශ්නය.


සැකර්ස්:


ඔබ හිතනවාද එය පුළුවන් කියා?


බදියු :


මම හිතනවා එය පුළුවන් කියා. ඒක හුදු භක්තියක් පමණක් නෙමෙයි. ඒක ඒ සමගම කොමියුනිස්ට්වාදයේ ඉතිහාසයේ ආරම්භයේදී හොඳින් පැහැදිලි වුනු දෙයක්, යලි පවත්වාගෙන යාමක්. ඒ නිසා අපි ප්‍රාථමික කොමියුනිස්ට්වාදය වෙත , මාක්ස්ගේ කොමියුනිස්ට්වාදය වෙත, යන්න ඕන. අපි යන්න ඕන පසු ගිය සියවසේ ඛේදනීය අත්දැකීම් වලට පෙර තිබුණු තැනට. 


සැකර්ස්:


නමුත්, මම කියනවා, මේ වැඩසටහන බලන ලොව පුරා ඉන්න නරඹන්නන් ඔබේ අදහස් උනන්දුවෙන් අහගෙන ඉඳල මෙහෙම කියාවි: "මේ ඉන්නේ 1968 ප්‍රංශ රැඩිකල් තාරුණ්‍යය තුල රොමැන්ටික් විදියට හිරවෙලා ඉන්න මනුස්සයෙක්. එයා හිතනවා තරුණයන් සහ කම්කරුවන් පාරට බැහැල ලෝකේ වෙනස් කරන්න පුළුවන් කියල.... ඒත් අද කවුරුත් ඔය අදහස් පිළිගන්නේ නෑනේ" කියල. 


බදියු :


මම හිතන්නේ ගැටළුව මෙයට වඩා සංකීර්ණයි. නිදර්ශනයක් ලෙස, 'විප්ලවය' කියන වචනය. අපිට අද මේක තේරුම්ගන්න පුළුවන් වචනයක් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත්තහම මම විප්ලවවාදියෙක් නෙමෙයි. මම දන්නේ නැහැ අද ප්‍රංශය තුල විප්ලවයක් වෙන්න පුළුවන් මොකකටද කියල. මේක 1968 දී උනත් පැහැදිලි උන දෙයක් නෙමෙයි. 'විප්ලවය' කියන වචනය තිබුන. නමුත් ඇත්තටම විප්ලවය තිබුනේ නෑ.කිසිසේත්ම නෑ. කවුරුත් දන්නේ නැහැ 'විප්ලවය' කියන වචනයේ තේරුම. 


ඒ නිසා තමයි අපිට සිද්ධ වෙන්නේ වෙනත් දෙයකින් පටන් ගන්න. අපිට බැහැ විප්ලවය වගේ වචන එක්ක පටන් ගන්න. අපි පටන් ගන්න ඕන, පළමුවෙන්ම වියුක්ත අදහසකින්. කොමියුනිස්ට්වාදය යන්න පිළිබඳව වියුක්ත පරිඥානයකින් (conviction). ඒ තමයි දැන් ලෝකේ තිබෙනවාට වඩා වෙනත් දෙයක වියහැකිභාවය. එතකොට අපි දැන් පවතින ලෝකයට වෙනස් ලෝකයක වියහැකිභාවය පිළිබඳව කතා කරනකොට අපි ඉන්නේ දාර්ශනික අවකාශය තුල.


සැකර්ස්:


මේක බලන ගොඩක් දෙනෙක් ඔය දර්ශනයට වඩා උනන්දු වෙනවා ඇත්තේ, ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට වඩා යහපත් සමාජයක් ඇති කර ගැනීමට මොනවද කරන්න ඕන කියල.... මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන්?


බදියු :


මම හිතන්නේ අපි එකිනෙකින් වෙනස් වැඩ දෙකක් කරන්න ඕන. ඒක පැත්තකින්, අපි කොමියුනිස්ට්වාදය යන්න අද දවස තුල හැඟවුම්කරණය කල හැකි අලුත් සංකල්පීය රාමුවක් ගොඩනගන්න ඕන. නව දාර්ශනික රාමුවක්. මොකද, මෙතැනදී මම ඔබ එක්ක එකඟයි, අද දවසේ කොමියුනිස්ට්වාදය කියන්නේ පසුගිය සියවසේ ඛේදනීය අත්දැකීම් පමණයි. නමුත් එය, ඒ සමගම, 19 වෙනි සියවසේ ශ්‍රේෂ්ඨ අදහසක්. ඒ අනුව, අපිත් කොමියුනිස්ට්වාදය ගැන අපි නව සංකල්පයක් ගොඩ නැගිය යුතුයි.


අනෙක් අතින්, අපි අවධානයෙන් ඉන්න ඕන, සංයුක්ත අවස්තාවන් තුල ඇති අලුත් ආකෘතියේ අරගලයන් සහ අලුත් ආකෘතියේ සංවිධානගතවීම් පිළිබඳව.


නමුත් මේ දෙක අතර තියෙනවා අපහසුවක්. මේ දෙක අතර සම්බන්ධය අද දවස තුල පැහැදිලි නැහැ. නමුත් ඔබ කල්පනා කරලා බැලුවොත්, නිදර්ශනයක් ලෙස 1840 වගේ කාලයක තිබුනේ මෙන්න මෙවැනිම අවස්ථාවක්. කොමියුනිස්ට්වාදය පිලිබඳ අදහස එක පැත්තකින් වර්ධනය වුන අතර, කම්කරුවන්ගේ අරගලය තව පැත්තකින් වර්ධනය උනා. මාක්ස් විසින් සියවසක් පුරා කලේ මේ දෙක එකතු කරන එක. 




  

Wednesday, May 16, 2012

සත්‍යය යනුවෙන් දෙයක් පවතී ද?


පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සම්බන්ධව එල්ල වූ නිදන් හෑරීම පිළිබඳ චෝදනාවට පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති පිළිතුර අපූරු එකකි. මෙම පොලිස්පති ප‍්‍රකාශය දෙස බැලූ බැල්මටම පෙනෙන්නේ එය මෙම චෝදනාව නිසා පොලිස් හා පොදුවේ ආණ්ඩුවේ බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලින් වන හානිය අවම කරගැනීම(damage control) සඳහා කරන ලද ප‍්‍රකාශයක් බවයි. සාමාන්‍යයෙන් කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට චූදිතයා හැසිරෙන ආකාරය පරිස්සමින් නිරීක්ෂනය කල කල්හී අදාල චෝදනාවට චූදිතයාගේ සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ගැමි ජනවහරේ මීට කියන්නේ ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙනි. පොලිස්පතිගේ ප‍්‍රකාශයත් හරියටම පුහුල් හොරාගේ කරේ අලූ ගෑවී ඇතැයි කියූ වහාම තමන්ගේ කර අතගා බැලූ මෝඩ ගැමියාගේ හැසිරීම වැනි එකකි.
මේ ප‍්‍රකාශය ද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම පිළිබඳ සිද්ධියේ දී ගුණරත්නම් දෙමටගොඩ පොලීසියට භාරවුනා හා භාර වූ වහාම ඔහුගේ ඉල්ලීමට සවන් දී ඔහු  ඕස්ටේ‍්‍රලියාවට පිටත් කරනු ලැබුවා යයි කීම වැනි සුරංගනා කතා වර්ගයේ ප‍්‍රබන්ධයකි.

Friday, May 11, 2012

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම

බොරලැස්ගමුවේ පිහිටි සුප‍්‍රසිද්ධ පිල්ලෑව පූජා ස්ථානය ඉදිරිපිට හොරණ පාරේ පිහිටුවා ඇති විශාල දැන්වීම් පුවරුවක අපූරු පාඨයක් දක්නට තිබේ. ඒ මෙසේය: ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේවා’’. බැලූ බැල්මට ම මෙම ප‍්‍රකාශයේ එන සංඝඨක දෙක එකිනෙකට පරස්පර වේ. කෙසේ වෙතත් එය පරස්පර නොවන ප‍්‍රකාශයක් ලෙස කියවීමටද හැකියාව තිබේ. එක් ආකාරයක් නම් ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න නිෂේධාත්මක ප‍්‍රකාශයක් ලෙස ගැනීමෙනි. ඒ හරියට ‘‘අපරාධ වලින් පිරි ලංකාව අපරාධ වලින් තොර දේශයක් වේවා’’ යන ප‍්‍රකාශයේ ‘‘අපරාධ වලින් පිරි ලංකාව’’ මෙනි. එසේ වුව ද මෙම ප‍්‍රකාශයේ ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න එවැනි නිෂේධාත්මක අරුතක් දෙන්නක් ලෙස ගැනීම දුෂ්කරය. මගේ යෝජනාව වන්නේ මෙම ප‍්‍රකාශය තුළ සිංහල බෞද්ධ මනස තුළ ලංකාවේ ආගමික විවිධත්වය සහ බෞද්ධකමට හිමිවිය යුතු ස්ථානය සම්බන්ධ මනඃ සෘෂ්ටියේ (Fantasy) විරුද්ධාභාසී (paradoxical) තත්වය නිරූපනයවන බවයි.


දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය

නාසිස්සස් යනු ග‍්‍රීක මිත්‍යා සම්ප‍්‍රදායේ එන චරිතයකි. ඔහු අතිශයින් රූමත් ශරීරයක් ඇත්තෙකු ලෙස ප‍්‍රකටය. දිය පොකුණක සිය රූපයේ පිළිබිඹුව දැකීම නිසා ඔහු සිය ශරීරයට දැඩි ලෙස ආශා කිරීමට පටන් ගත්තේය. මෙහි ප‍්‍රතිඵලය ලෙසම ඔහු තමා වෙත මරණය ද කැඳවා ගත්තේය. නූතන මනෝ විශ්ලේශනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් නාසිස්සස් කුමාරයා පිළිබඳ මෙම කතාව ආශ‍්‍රය කරගෙන පුද්ගලයාගේ අනන්‍යතාවය නිර්මාණය වීමේ එක් අවස්ථාවක් ඔහුගේ නමින් නම් කලේය. මෙයින් කියැවෙන්නේ තමාගේ ආශාවේ වස්තුව තමාම බවට පත්වීම පුද්ගල අනන්‍යතාවයේ එක් අංගයක් බවයි. කෙසේ වෙතත් මෙම නැඹුරුවේ අන්තය වන්නේ බාහිර වස්තුව සහ තමා අතර ඇති වෙනස පිළිබඳ සංවේදී තාවය නොමැති වී යාමයි. සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් අර්ථකතනය කරමින් මනෝවිශ්ලේෂනයේ විප්ලවීය වර්ධනයක් ඇති කල ෂක් ලකොන් නමැති ප‍්‍රංශ මනෝ විශ්ලේෂකයා කැඩපත් අවධිය පිළිබඳ සිය විග‍්‍රහය ආශ‍්‍රයෙන් අනන්‍යතාවයේ මෙම පාර්ශවය තව දුරටත් වර්ධනය කලේය.


අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය



ප්‍රේමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම හා ඔවුන් නැවත හමුවීම සම්බන්ධ සිදුවීම් දාමය ජනමාධ්‍ය තුළ වාර්තා වූ ආකාරය ඉතාම සිත්ගන්නා සුළු ය. බොහෝ දෙනෙක් උත්සුක වී තිබුනේ මෙම සිදුවීම් දාමය අතුරුදහන් වීමට ලක් වූ දෙදෙනා අයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේම සැලසුමක් බව ඇඟවීමට යි. බැසිල් රාජපක්ෂ මහතා උපහාසයෙන් යුතුව ප‍්‍රකාශ කලේ මේ සමස්ත සිදුවීම් දාමයෙන්ම වාසි ලැබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම බවයි. ඒමගින් ඔහු ඇඟවූයේ මෙය එම පක්ෂයේම සැලසුමක් බවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කරන විට ධම්ම දිසානායක මහතා ඔහු පසුපසින් සිට එවැනිම උපහාසයකින් හා රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශය අනුමත කරන ආකාරයෙන් ද යුතුව සිනාසුනු බව ඒ මාධ්‍ය සාකච්ජාව රූපවාහිනියෙන් දුටු අය මා සමඟ පැවැසී ය. මෙම අදහස ම අතිශය රළු ආකාරයකින් ප‍්‍රකාශ කරනු ලැබුවේ එවැනි රළු ප‍්‍රකාශ වලට ප‍්‍රසිද්ධියක් උසුලන එස්. බී. දිසානායක ඇමතිතුමා විසිනි. එතුමා ඊට තවත් දෙයක් එකතු කිරීමටද අමතක නො කළේය. එ නම් පැහැර ගැනීමක් සිද්ධ වූවා නම් එය ජ.වි.පෙ. වැඩක් විය යුතු බවයි. 

මෙම අදහසම පුනරුච්ජාරණය කරමින් දිවයින පුවත්පතට ලිපියක් ලියන සමන් ගමගේ ප‍්‍රශ්න කරන්නේ කුමාර් ගුණරත්නම් ‘‘රහසේ උපන් බිමට පැමිණ සැඟව සිටියේ විජාතික කුමන්ත‍්‍රණකරුවකු ලෙස ප‍්‍රබල භූමිකාවක් රඟ දැක්වීමට විය නොහැකිද?’’ යනුවෙනි.  විමල් වීරවංශ මහතා විසින් මෙහෙයවනු ලබන්නේ යැයි සැලකෙන ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ මෙම අතුරුදහන් වීම පිළිබඳව පලවන පුවත් වලට පාඨකයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර වල හරය වන්නේ ද මෙම ආකල්පයම ය. මේ මගින් අපගේ සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දක්වන ආකල්පය පිළිබිඹු වන්නේ ද? මා ඉහත සඳහන් කළ චරිත එසේ නැතහොත් ඒ අදහස් පළවූ මාධ්‍යය වලට සිංහල බෞද්ධ ජනසමාජයේ මත සකස් කීරීම කෙරෙහි විශාල බලපෑමක් ඇත. එම නිසා මේ මත දැක්වීම් සිංහල බෞද්ධ සමාජයේ යම් ආකාරයක පිළිබිඹුවක් ලෙස සැලකීමේ අසාධාරණත්වයක් නැත.

මෙම ආකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාලව ගැටලූවක් වන්නේ කෙසේද? මා ඉහත සඳහන් කළ පිරිස් වල මේ අතුරුදහන්වීම පිළිබඳ යථෝක්ත අදහස සිදුවීමේ යථාර්ථයට කිට්ටු එකක් නම් ඒ ආකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාලව ගැටලූවක් මතු කරන්නේ යයි කිව හැකි ද? මෙය තරමක් දුරට සලකා බලමු.

ආණ්ඩුවේ පැත්තෙන් ගත්කල සිදුවිය හැකි නරකම තත්වයෙන් (worst case scenario) පටන් ගනිමු. එනම් අතුරුදහන්වීම සිතාමතා සැලසුම් කල දෙයක් යයි සිතමු. තත්වය එසේ වුවත් ආණඩුවේ ආකල්පය කුමක් විය යුතුව යුතුව තිබේ ද? ආණ්ඩුව මේ සිදුවීමේ දී හැසිරිය යුතුව තිබුනේ කෙසේ ද?

මට හිතෙන්නේ මෙය හරියට යාචකයින් පිළිබඳ තත්වය මෙනි. අප පුද්ගලිකව නො හඳුනන්නේනම්  ඕනෑම යාචකයෙක් බොරුකාරයෙක් වීමට සම්භාවිතාවක් තිබේ. ඒසේ වුවත්  ඕනෑම බොරුකාරයෙකුට යාචකයෙක් ලෙස පෙනී සිටිය හැක්කේ එක් කොන්දේසියක් සම්පූර්ණ වී තිබේනම් පමණකි. එනම් යාචකයින් බිහිවීමට තරම් වන සැලකිය යුතු තරමේ දරිද්‍රතාවයක් සමාජය තුළ පැවතිය යුතුය. බටහිර රටවල අධිපති ජීවන ක‍්‍රමය අනුගමනය කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සඳහා හිඟාකෑම තෝරාගත් අය මා දැක ඇත. පැරණි ඉන්දියාවේත් එවැනි අය විසූහ. භික්ඛු යනුවෙන් හැඳින්වූයේ එවැනි අයයි. භික්ඛු යන්නෙහි වාචික අරුත සිඟාකෑම යන්නයි. නමුත් වර්තමාන ලංකාවේ සිඟාකෑම එවැන්නක් නොවේ.

දැන් ගැටලූව වන්නේ මෙයයි. යාචකයින් පිළිබඳ අපගේ පොදු ආකල්පය තීරණය විය යුත්තේ ඉතාම සාධාරණ නිගමනයක් වන හොර යාචකයින් සිටී යන නිගමනය මතද? එසේත් නැතහොත් යාචකයින් බිහිවීමට තරම් වන දරිද්‍රතාවයක් සමාජය තුළ පැවතීමේ සාධකය මතද? යාචකයින්ට මුදල් දීමට මැලිකමක් දක්වන්නෙකුට නම් පළමු සාධකය හෘද සාක්ෂිය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිකරගන්නේ ද නැතිව එසේ කිරීමට ඉඩකඩ ලබාදෙයි. නමුත් සමාජයීය හෘද සාක්ෂියක් ඇත්තෙකුට පමණක් නොව රටක ආර්ථික ප‍්‍රතිපත්ති සාදන්නන්ටද එයින් සෑහීමට පත්වීමට හැකියාවක් නොමැත. දෙවනුව කී කණ්ඩායමට ඒ සඳහා අයිතියක් ද නොමැත.

අතුරුදහන්වීම් සම්බන්ධව ආණඩුව හැසිරෙන්නේ හරියටම හොර යාචකයින් සිටීය යන සමාවට කරුණ මත යාචකයින්ට මුදල් දීම ප‍්‍රතික්ෂේප කරන මසුරු මනුෂ්‍යයෙකු මෙනි. ප්‍රේමකුමාර් ගුණරත්නම් ට හා දිමුතු ආටිගල ට පමණක් නොව මෙතෙක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති සියළු දෙනාටම ආණ්ඩුව සලකන්නේ හොර යාචකයින්ට මෙනි.

පුද්ගලයින් පැහැරගෙනයාම හා අතුරුදහන් වීම් පසුපස රාජ්‍ය හස්තයක් කිසියම් ආකාරයකින් හෝ ක‍්‍රියාත්මක වන බව ඉතාම සාධාරණ ලෙස සැක කිරීමට ප‍්‍රමාණවත් තොරතුරු තිබේ. කොලොන්නාවේ නගරාධිපතිවරයා සහ සාගර සේනාරත්න පිළිබඳ සිද්ධීන් වලදී ද පසුගියදා කඳානේ දී සිදුවූ පැහැරගැනීමේ දී ද එය හොදින්ම පැහැදිළි විය. මේ සම්බන්ධව ආණ්ඩුවට එරෙහිව මතුකෙරුණු සැක සංකා නැති කිරීමට ආණ්ඩුව සතුටුවිය හැකි උත්සාහයක් දරා නැත. අඩුම තරමින් මේවා පිළිබඳව සොයා බලා ආණඩුව තමන් නිර්දෝෂි බව සමාජයට තහවුරු කල යුතුය. නමුත් ආණ්ඩුව දැන් හැසිරෙන්නේ නම් සතුරා ගේ ලූහුබැදීමට ලක්වන විට සතුරාගෙන් ගැලවීමට වැල්ලේ ඔළුව හංගා ගන්නා මෝඩ පැස්බරා මෙනි. ආණ්ඩුවේ ඉහල සිටින අය දැන ගත යුත්තේ මේ මෝඩ පැස්බරාට හිනාවෙන පිරිසක් ද මේ රටේ සිටින බවත් දැනට ඒ පිරිස ටිකදෙනෙක් වුවත් ඒ ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන බවත් ය.

නිර්මාල් රංජිත් දේවසිරි

Wednesday, May 9, 2012

Slavoj Zizek කියන නම උච්චාරණය කරන්නේ කොහොමද?



ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන බුද්ධිමය සාකච්චාවේ ස්වරූපය අවබෝධ කරගත හැකි එක්තරා රෝග ලක්ෂනාත්මක ලක්ෂ්‍යයක් වන්නේ, විදේශීය චින්තකයන්ගේ නම් සිංහලෙන් ලියන ආකාරයයි. සාමාන්‍යයෙන් අපට නුහුරු නම් තිබෙන රටක පුද්ගලයකුගේ නමක් ලියා තිබෙන අයුරින් පමණක් එය උච්චාරණය කරන ආකාරය පිලිබඳ නිවැරදි අවබෝධයක් නොලැබිය හැකිය. එවිට සිදුවිය යුතු වන්නේ, එය නිවැරදි ආකාරයට උච්චාරණය කරන ආකාරය දැනගත් පසු, කලින් එය වැරදියට උච්චාරණය කලානම්, එය නිවැරදි කරගැනීමයි. මෙය මහා ලොකු දාර්ශනික තර්කයක් නොව, එදිනෙදා ජීවිතය තුල කවුරුත් කරනා දෙයක්ය. 

Monday, May 7, 2012

සාකෝසිගේ පරාජය සහ දඹුල්ලේ ප්‍රහාරය



ලංකාවේ දේශපාලන සංවාදය තුල 'බටහිර' නම් හැඟවුම්කාරකය තීරණාත්මක පොර පිටියක් වීම පශ්චාත්-යටත්විජිත සන්ධර්භයට ඌණනය කර ඇඟ බේරා නොගෙන අප එකිනෙකට පරස්පර පහත නිමේෂයන් දෙක සලකා බලමු. 

1."බටහිරයන්" සියලු දෙනා අඩු වැඩි වශයෙන් බටහිර වෙනුවෙන් පෙනී සිටිනා බවත්, අප විසින් ලංකාවේ සාකච්චාවට ගැනීමට උත්සාහ කරනා දාර්ශනිකයන්ද, 'අවසාන විග්‍රහයේදී', බටහිර සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය පිළිගන්නා බවත් නලින් ද සිල්වා මහතා කලක සිට චෝදනා කරයි. මේ සඳහා සිල්වා මහතා නිතර දෙවේලේ යොදනා එක් නිදර්ශනයක් වන්නේ, ප්‍රංශය තුල මුස්ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණ පැළඳීම තහනම් කල විට, එයට මේ 'එකෙක්වත්' විරුද්ධ නොවුණු බවය.