Monday, December 17, 2012

ගන්ගම් ස්ටයිල් එකේ දේශපාලනය

මෙයට මාස කිහිපයකට පෙර අපගේ සමාජ වැඩ ගැන උනන්දුවක් තිබෙන තරුණයෙක් මුණ ගැසුණි. ප්‍රධාන පරිඝනක මෘදුකාංග සමාගමක සේවය කරනා ඔහු පුද්ගලික ජීවිතය තුලදී ලංකාවේ මිල අධික සමාජ ශාලා සහ බොජුන් හල් වල නිතර ගැවසේන්නෙකි. මේ නිසාම ලංකාවේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්  දේශපාලකයන්  ගේ තරුණ පුතුන් නිතර නිතර මුණ  ගැසෙනා මොහු බොහෝ නිදර්ශණ සපයමින් අප සමග පැවසුවේ එම පුද්ගලයන් ලංකාව තමන්ගේ පුද්ගලික  නින්දගමක්  ලෙස සලකමින් පිස්සු නටනා ආකාරය සහ මෙවන් ලංකාවක ඛේදනීය-ප්‍රහසනයයි. පසුගියදා අවසන් වූ 'කලම්බෝ නයිට් රේස්' එක නැරඹීමටද මෙම තරුණයා ගොස් තිබුණු අතර එයට පසු එහිදී ඔහු විනෝද වූ ආකාරය දැක්වෙන චායාරූප විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකට ඇතුලත් කර තිබෙනු අපට දැක ගත හැකිවිය. 'දේශපාලක පුතුන්' විසින් පිස්සු නටන ආකාරය ගැන බෙහෙවින් විවේචනාත්මක වූ ඔහු, මහ පාරවල් වසා, ඒවා භාවිතා කරනා මිනිසුන් අපහසුතාවයට පත්කරමින්, තවත් දුප්පතුන් විශාල ප්‍රමාණයකගේ දෛනික ආදායම් අහිමි කරමින් කරනා විගඩම් සිය විනෝදාස්වාදන මාර්ගයක් බව පිළිගැනීම පරස්පරයක් බව හඳුනාගෙන තිබුනේ නැත.

මේ කතාන්දරය සමගින් අපිට සිහිවූයේ සමකාලීන දේශපාලනය තුල දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ස්ලැවෝයි ජිජැක් කල එක්තරා විග්‍රහයකි. එම විග්‍රහය ඉලක්ක වනුයේ 'ගන්ගම් ස්ටයිල්' නමින් ලෝකය පුරා ජනප්‍රිය වූ නර්තන ආකෘතිය සහ එය පදනම් වූ ගීතය වෙතයි. කොරියානු ජාතික ගායකයෙකු වූ සයි (PSY) ගේ හයවන ගීත ඇල්බමයේ ජනප්‍රියම ගීතය වන මෙය අද වනවිට යූටියුබ් එකෙන් ලොව වැඩිම වාර ගණනක් නරඹා ඇති වීඩියෝව බවට පත්ව තිබේ. ගන්ගම් යනු දකුණු කොරියාවේ සියෝල් නගරයේ උප නගරයක් වන අතර එය දකුණු කොරියාවේ පොහොසත්ම නගරයක් වනවාට අමතරව පරිභෝජනවාදී විලාසිතා අනුකරණය කිරීමේ දී ඉදිරියෙන්ම සිටින නාගරික තාරුණ්‍ය බහුලව වෙසෙන ප්‍රදේශයක්ද වන්නේය.

'ගන්ගම් ස්ටයිල්' ගීතයෙහි අන්තර්ගතය ගත්විට එය සැබවින්ම මෙම පරිභෝජනවාදී විලාසිතා පසුපස යන මිනිසුන් පිළිබඳව කරනා උපහාසාත්මක විවේචනයකි. එහි විස්තර කෙරෙනා 'ගැහැණිය' සතු චරිත ලක්ෂණ වන්නේ මෙම නාගරික පරිභෝජනවාදී සංස්කෘතියයි. දිවා කාලයේදී මිනිසුන් සමග සැහැල්ලුවෙන්, කෝපි හලවල් වල කෝපි පානය කරමින් සිටිනා ඇය රාත්‍රිය වන විට රාගයෙන් මුසපත් වූ ගැහැනියකි. ඇය සිය සිරුර වසා සිටියත්, පූර්ණ නිරුවත් ගැහැනියකට වඩා ලිංගිකව ආකර්ශනීය වෙයි. මෙම ගීතයේ කථකයා වන ගන්ගම් තරුණයාද එවැනිම ජීවිතයක් උරුම කර ගත්තෙකි. ඔහු අවිහිංසක පෙනුමින් යුතු උවද අවශ්‍ය විටකදී එක්වරම කෙළිලොල් ලිංගිකත්වයක් ඇත්තෙකි. 

මෙලෙස මෙම ගීතය මගින් පෙන්වන්නේ "සුන්දර, ආදරණීය" පරිභෝජන භාණ්ඩ වලට ආදරය කරන "සුන්දර, ආදරණීය" මිනිසුන් ගේ ජීවිත වල අරුත් සුන් ප්‍රසාංගිකත්වය කියා කෙනෙකුට සිතිය හැකිය. නමුත් මෙම ගීතය සැබවින්ම ජනප්‍රිය වුයේ මාක්ස්වාදීන් අතර නොව මෙම ගීතය මගින් උපහාසයට ලක් කරනා තරුණයන් අතරමය. අද වන විට මෙය ලංකාවේ වෙළඳ දැන්වීම් ගණනාවකද තේමාව බවට පත්වී තිබේ. පරිභෝජනවාදයට විවේචනයක් ලෙස ගෙන ආ වීඩියෝවක් මේ අනුව ජනයා පරිභෝජනය කිරීමට පොළඹවන වෙළඳ දැන්වීම් වල යෙදීම කිසිඳු පරස්පරයක් නොවන්නේය. 

ජිජැක් මෙහිදී මතුකරනා තර්කය වන්නේ මේ යුගයේ දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන ආකාරය මෙය බවයි. මෙහි තාක්ෂනය වන්නේ තවදුරටත් අපගේ සැබෑ ජීවිතය අපගෙන් සැඟවීම නොව එය වඩාත් අප ඉදිරියේ හෙළිදරව් කිරීමය. එම හෙළි කිරීම මගින් අපගේ සැබෑ ජීවිතය අර්බුධයට යනවා වෙනුවට එය වඩාත් හොඳින් ක්‍රියාකාරී වීමට උපකාරී වෙයි. මේ ගීතය තුල තිබෙනා ගන්ගම් නගරයේ පරිභෝජනවාදී සංස්කෘතිය පිලිබඳ ඇති උපහාසය මගින් එම සංස්කෘතිය අර්බුධයට යනවා වෙනුවට එය එම සංස්කෘතිය තුලම වඩාත් ජනප්‍රිය වන අතරම එය පරිභෝජනවාදය පැතිරවීම සඳහා වන වෙළඳ දැන්වීම් වලටද යොදා ගනී. 

අප කිසියම් දෘෂ්ඨිවාදයකට විරුද්ධ වෙමින් එය සමග දුරස්තීය බවක් රඳවා ගැනීම තුලින්ම එම දෘෂ්ඨිවාදය අර්බුධයට යනවා වෙනුවට වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බව වටහා ගැනීම දේශපාලනය ගැන සංවේදී සියලු දෙනා වටහා ගැනීම බෙහෙවින් වැදගත් බව අපගේ අදහසයි. මේ අනුව අද ලෝකයේ දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන්නේ ගන්ගම් ස්ටයිල් එකට කියා අපට පැවසිය හැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත්විට මෙය කලම්බෝ නයිට් රේස් වල සිට විමලනාත් වීරරත්නගේ කොලම් එක සහ සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති දක්වා බොහෝ දේ වල මූලික තාක්ෂනය වටහා ගැනීමේදී වැදගත් වෙයි. 
ගන්ගම් ස්ටයිල් ගීතයේ වීඩියෝව 


8 comments:

  1. Good article, thumbs up. Finally on da right track?

    ReplyDelete
  2. මේ ලිපිය කියවා බැලීමේදී මට ඇතිවූ හැඟීම නම්, ශ්‍රී ලංකාවේ මෙම ගීතය භාවිතා වන ආකාරයට මෙම තර්කය අදාල කර ගැනීම අපහසුය. මන්ද ශ්‍රී ලාංකිකයන් ගීතය අත් විඳින්නේ එහි නාද රසයෙන් පමණක් වීමය. ඔවුනට එහි ඇති අරුත නොතේරේ. ගීතයක් යනු අර්ථය නොදැන, රස විඳීමට හැකි මාධ්‍යයකි. ගීතයේ තනුව, සංගීතය සහ මේ කාලයේදී නම් වීඩියෝව ද රස විඳිය හැකිය. ගීතය තුල ඔබ ඇතැයි දක්වන අර්ථය, මේ කිසිවක් තුල මතු නොවේ. එනයින් බලන කල, ගීතයේ ශ්‍රී ලාංකික භාවිතයේ වැරැද්දක් කිව නොහැක.

    ඒ හැරුණුකොට මා දකින අනෙක් කාරණය නම්, //ජිජැක් මෙහිදී මතුකරනා තර්කය වන්නේ මේ යුගයේ දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන ආකාරය මෙය බවයි. මෙහි තාක්ෂනය වන්නේ තවදුරටත් අපගේ සැබෑ ජීවිතය අපගෙන් සැඟවීම නොව එය වඩාත් අප ඉදිරියේ හෙළිදරව් කිරීමය// සම්බන්ධයෙනි. මෙහිදී ඇත්තටම සිදුවන්නේ, ගීතයේ ඇති වෙනත් අලංකාර නිසා අර්ථය යටපත් වී යාම නොවේද? එනම්, සැබෑ ජීවිතය නිරාවරණය වීමක් සිදුවී නොමැති බව නොවේද? ජිජැක් මතු කරන තර්කය පිළිබඳව ගැටළුවක් නැත. නමුත් මේ ගීතය එම පැහැදිලි කිරීමට අදාල නොවේ යන්න මට හිතෙන හැටිය.

    ReplyDelete
    Replies
    1. මහමුහුදෙන් වට වෙච්ච අඹ ගෙඩියක් වගේ රටක් තියෙනව ඔඉ.කියන දීපාල් සිල්වගෙගීතය ගන්ග්නම් එකට දාගෙන අහන්න

      Delete
  3. good try mate,i think this style of writing can make an impact to sinhalese blog space-sujit

    ReplyDelete
  4. පිළිතුරක් ගොනුකරනු ඇතයි බලාපොරොත්තු වෙමු............

    "පුද්ගල හා දේපල අයිතිය ධනවාදයේ සුරාකෑමක් යැයි කියන මාක්ස්වාදී මුලාවෙන් රැවටී පුද්ගල හා දේපල අයිතිය රිසි සේ බෙදන්නට දන්නවා යැයි සිතන මාරක වල්සතාට බාර දීමෙන් ජනතාව කැමැත්ත ප්‍රකාශ කරන්නේ ආඥාදායකයට ඇති කැමැත්තයි!!!!!!"

    http://arunishapiro.wordpress.com/2012/12/20/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%9A-%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A-%E0%B6%9A%E0%B6%BB/

    ReplyDelete
    Replies
    1. ඔබ උපුටන වැකිය අවසන් වූ සැනින් තිබෙන්නේ මෙවැන්නකි:

      "අද ශ්‍රමිකයා වහලෙක් නොවේ. කැමති නම් වෙන වැඩපොලකට, වෙන ගමකට හෝ වෙන රටකට වුව ද රුකියාවට යා හැකිය. කැමති නම් වෙන වෘත්තියක නියැළිය හැකිය. පුහුණුව හා අත්දැකීම් වැඩි කරගැනීමෙන් උද්ඝෝෂණ නොකර පඩි වැඩි තැනකට, වෘත්තියකට යා හැකියි."

      මෙවැනි මත දරණා පුද්ගලයන්ට අපි පිළිතුරු දෙන්නට යන එක කාලය නාස්ති කිරීමකි. ඔවුන් ආධිපත්‍යධාරී දෘෂ්ඨිවාදයන් තුල කර වටක් ගිලී සිටින්නන්ය. චම්පික රණවක ට 'තත්වය පැහැදිළි කර දී අපේ පැත්තට දිනා ගත හැකියි' කියා ඔබ විශ්වාස කරනවාද?

      Delete
    2. Agreed!!!!!!!!!

      Delete