Tuesday, September 25, 2012

සැබෑ අනුකාරකයන් වන්නේ කවුද?

පසු ගිය ඉරිදා සිය 'දැක්ම' තීරු ලිපිය තුල නලින් ද සිල්වා මහතා මෙලෙස කියයි:

"බටහිර ඉතා ඉහලින් පිළිගත් ක්‍රිස්තියානි නූතනත්වයේ මහා පඬුවකු වූ තෝමස් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය සුසමාදර්ශ සමග බැඳී ඇති බව කීවේය. දන්ත වෛද්‍ය මහාචාර්යවරයකුට අනුවනම් කූන් පශ්චාත් නූතනවාදියෙකි, සාපේක්ෂතාවාදියෙකි. ඔහු ඒ එක් අයෙකුවත් නොවේ. විද්‍යාවේ දර්ශනය සුළුවෙන් වුවත් හැදෑරු සියල්ලෝම පාහේ ඒ බව දනිති. එහෙත් මහාචාර්යවරයා ඒ බව නොදනියි. ඔහු කූන් ගේ පොත පත කියවා නොමැති බවත්, තවත් සුප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයෙකු කරන ආකාරයටම කූන් ගැන කවුරුන් හෝ කී දෙයක් මත පදනම් වී අනුන්ගේ මත ප්‍රකාශ කරන බවත් පැහැදිලිය."

Wednesday, September 12, 2012

ලෝකය වෙනස් කිරීම සහ අර්ථකථනය කිරීම ගැන




"මේ අතර ලෝකය අර්ථකථනය කිරීමෙන් සහ වියුක්ත සමපේක්ෂණයන් තුල රවුම් ගැසීමෙන් තවදුරටත් තෘප්තිමත් නොවී සිටින ලෙසත්, ඒ වෙනුවට වඩාත් වැදගත් වන්නේ ලෝකය ප්‍රායෝගිකව වෙනස් කිරීම බවත් දර්ශනයෙන් ඉල්ලා සිටී. නමුත් මෙලෙස අදහස් කරන ලෙසට ලෝකය වෙනස් කිරීමට පෙර අවශ්‍ය වන්නේ සිතීම වෙනස් කිරීම වන්නේ අප සඳහන් කරන ලද ඉල්ලීම යටින්ද ඒ වනවිටත් වූ සිතීමේ වෙනසක් තිබෙන්නා මෙනි. නමුත් චින්තනයට තරම් ඔබිනා දෙය වෙත යන මාවත වෙත තෝරා ගන්නේ නැතිනම් සිතීම වෙනස් විය යුතුය කියා සිතන්නේ කුමන ආකාරයටද? දැන්, චින්තනයට තරම් ඔබින දෙය ලෙස පැවැත්ම එය ඉදිරිපත් කිරීම යනු තෝරා ගත හැකි පූර්වකල්පනයක් හෝ හිතුවක්කාරී නිපැයුමක් නොවේ. ඒ තමයි අපව තවමත් පාලනය කරනා සම්ප්‍රදායක තීන්දුව වන අතර මෙය කෙනෙක් පිළිගන්න කැමති මට්ටමට වඩා බොහෝ තීරණාත්මක ලෙස බලපායි."

-මාටින් හෛඩැගර්- 

Monday, September 10, 2012

දීප්ති ගුණරත්න ගේ ගිරා පෝතකයින් වෙත


පසුගිය දිනක දීප්ති ගුණරත්නගේ අනුදැනුම ඇතුව පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක නමින් අන්තර්ජාලයේ විස්තරයක් පල විය. මෙහිදී එම විස්තරයේ රචකයා චෝදනා කරන්නේ කල්‍යානන්ද පෙරේරා විසින් ගණිකා නිවාසයක කළමනාකාරිත්වය දරන ලද බවට අධිකරණය ඉදිරියේ ඇති චෝදනාව සම්බන්ධයෙන්  "ජනරළ" පුවත් පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත සහෝදරයා  මුනිවත රැකීම සම්බන්ධයෙන්ය. අපිට මෙම ලිපිය පල කල ගිරා පෝතකයාට කියන්නට තිබෙන්නේ සරල කාරනාවකි. කල්‍යා ඔබලාගේ චෝදනාවට නිශ්චිතව පිළිතුරු දී තිබේ. කරුණාකර හැකිනම් ගුණරත්නගේ වෙබ් අඩවියෙන් එයට පිළිතුරු දෙන්න. මෙයට උත්තර දීමට බැරි නිසාම මේ විවේචනය සම්බන්ධයෙන් මුනිවත රැකීම හැර අන් යමක් කිරීමට ගුණරත්නලාට නොහැකි වී ඇත. Ethics යනුවෙන් දෙයක් ඇති බව ගුණරත්නලා නොදන්නා බව ඔප්පු උන ප්‍රථම අවස්ථාවනම් මෙය නොවේ. අනේ කොල්ලෝ... !

Saturday, September 8, 2012

ඉගිලුණු තාරාවන් ගැන ලියවුනු සටහනට සංශෝධනයක්

දේශපාලනය තුල ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද, සාර්ථක අර්ථකතනයන් මෙන්ම අසාර්ථක අර්ථකතනයන්ද, නිවැරදි පුරෝකථනයන් මෙන්ම වැරදෙන පුරෝකථනයන්ද තිබේ. 'ස්වයං විවේචනය' කියන්නේ මෙලෙස සිදු වන පරාජයන්, අසාර්ථක අර්ථකතනයන් සහ වැරදුනු පුරෝකථනයන් පිළිබඳව කෙරෙන අවංක සිතා බැලීමකි. සාර්ථක දේශපාලන අනුක්‍රමණයක් සඳහා මෙය අනිවාර්ය කොන්දේසියකි. නිදර්ශනයක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය ආරම්භයේදී එමගින් මේ වන විට ගොඩ නැගී ඇති වටිනාකම් විනාශ වීමක් විනා නව්‍ය ගොඩනැගීමක් සිදු විය නොහැකියි කියා තර්ක කල අජිත් පැරකුම් ජයසිංහ මිතුරා සිය තක්සේරුව නිවැරදි නොවන බව පිලි ගැනීම   අපට අනුව සාධනීය ක්‍රියාවකි.

මෙම අරගලය වැටුප් අරගලයකට වඩා වැඩි පළල් අරගලයක් වුවහොත් මුලින්ම නැති වන්නේ තමන්ගේ පවුල බව හොඳින්ම දන්නා ආචාර්යවරුන් එවැනි දේ කිසිදා නොකරන බව කියා, මෙම අරගලයට හැකි තරම් අපහාස කල කණ්ඩායමක් කිසිවක් සිදු නොවුණු සේ එක්වරම ලැක්ලාවුයි අරුයි මූයි ගැන ඔක්කොම කියමින් කිසිදු ලැජ්ජාවක් නොමැතිව මේක මහජන අරගලයක් කියල කියන අවස්තාවක අජිත්ගේ ආදර්ශය වැදගත් බව අපගේ අදහසයි.

ඒ අනුව යමින්, නැවත සිතා බැලීමේදී එතරම් නිවැරදි නොවන ලෙස පෙනෙන වැරද්දක් අපි පහතින් නිවැරදි කරමු. දීප්ති කුමාර ගුණරත්නගේ මූලධර්ම නැති දෙබිඩි ක්‍රියාපිළිවෙත විවේචනය කරමින් කල්‍යා විසින් ලියන ලද ලිපියේ ඇති සමහර යෙදුම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සිය විරෝධය පල කර තිබේ. මෙවැනි යෙදුම් වලින් එම ලිපියේ මූලික තර්කය වෙනුවට ද්වේශය ප්‍රමුඛ වීමක් සිදු වීමට ඉඩ ඇති බව අපි පිළිගනිමු. එම නිසා එය නිවැරදි කිරීමෙන් පසුව එම ලිපිය නැවත පහතින් පල කර තිබේ. මෙය නැවත වරක් කියවීම හැඟවුම්කාරක වල ක්‍රියාකාරිත්වය පිළිබඳව අවබෝධ කර ගැනීමට හොඳ අභ්‍යාසයක් වෙයි. 


තාරාවෝ ඉගිලෙති

Monday, September 3, 2012

තාරාවෝ ඉගිලෙති




ගල්කිස්ස පොලීසිය විසින් ගණිකානිවාසයක් කළමනාකරණය කිරීමක් සම්බන්ධ බව පවසා මට විරුද්ධව චෝදනා ගොනු කොට අගෝස්තු 11 දින අත් අඩංගුවට ගෙන  (එම අවස්ථාවේ  එහි ‍වෛද්‍යවරයෙක් නොසිටි නිසා) රිමාන්ඩ් දින 07 කට පසුව (එයද උසාවිය නොපැවැත්වෙන දින නිසා) අගෝස්තු 20 දින මා වෙනම වත් එම ආයතයේ සිටි සේවාදායකයින් 06 දෙනාමත් නිවැරදි කරුවන් ලෙස උසාවියේ පෙනී සිටීමෙන් පසු නඩු දිනයක් නියමව ඇප මත නිදහස් කරන ලදී. එදිනම උසාවියේ ගණිකාචෝදනාව බාර ගෙන වැරදිකරුවන් වු  වෙනත් අයට  රැ 50,000 බැගින් දඩ නියම විය. 

 ගුණයා විසින් මෙම සිද්ධිය, තම 3 mana වෙබි අඩවියෙන් අසුචි අච්චාරුවක් සාදා තමන්ද කන ගමන් අන් අයටද කැවීමට උත්සහ කරවමින් සිටියි. ගුණයා ගේ පට්ටපල් බොරුවලට අනුව මාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසිය වන අතර රිමාන්ඩ් දින 14 කි. මම එහි හිමිකරුවා ද වෙයි.

Saturday, September 1, 2012

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත


විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීමේ අවශ්‍යතාව ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත් කරන්නට  මෙම අරගලය සමත් වී ඇති බව මෙම රැළිය සටහන්  කළේය. එපමණක් නොව මෙම රැළිය පශ්චාත් යුද ලංකා සමාජයේ වැදගත් දේශපාලන කඩඉමක් ද සළකුණු කරන්නේ යැයි සිතමි.
එය යුද සමයේ මර්ධනයට ලක් වූ ප්‍රජාතන්ත්‍රවාදී  නිදහස යළි අත්පත් කර ගැනීමෙහි ලා ලාංකේය ජනතාව තැබූ තීරණාත්මක මුල් පියවරක්ද වන්නේය. පශ්චාත් යුද සමයේ පළමු වරට දේශපාලන පක්ෂයක් නොවන සංවිධානයක් වන වෘත්තීය සමිතියක් මහජන සහභාගිත්වයෙන් කොළඹ නගරයේ පිට්ටනියක සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන විශ්ලේෂකයන් නිරීක්ෂණය කොට තිබුණි.  කොළඹ වීදි පුරා සාමකාමී ලෙස පෙළපාලි ගිය සරසවි ඇදුරන් සහ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සාමාජිකයන් හයිඩ් පාක් එකට ඇතුලු වූ පසු අවට පාරවල් සියල්ල වාහන ගමනාගමනය නොහැකි වන සේ පැය කිහිපයක් වසා තැබීමේ ප්‍රථිපලය වූයේ මහජනයාට මෙම රැළිය දැක බලා ගැනීමට අවස්ථාව අහිමි කිරීම යි. අරමුණ එය වී නම් එය රජය තමනට එරෙහිව නැගෙන ජන මතය ගැන සත්‍යය ජනතාව දැන ගන්නවාට බිය බව පෙන්නුම් කරයි.