Monday, September 9, 2013

මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති හරහා මට දැන ගැනීමට ලැබුනි. සාමාන්‍යයෙන් කෙරෙන්නාක් මෙන් මෙහිදී ද පෙරටුගාමී පක්ෂයේ 3මාන වෙබ් අඩවිය තුළ දිගින් දිගටම මා පිළිබඳව අසත්‍ය වැල්වටාරම් සහ අපහාස සහිත කියමන් පළවී තිබීම මට පුදුමයක් නොවුනත් දැන් මෙය කිසියම් හෝ ශාස්ත‍්‍රීය හෝ දේශපාලනික විවාදයක ස්වරූපයක් ගැනීමේ උත්සහයක් අඩුම තරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පාර්ශ්වයෙන් පෙන්වා තිබේ. එවැනි සංවාදයකදී මා පිළිබඳව දශකයකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, රයිට්ස් නව් සංවිධානය, එම් ඞී ඞී ආර් ආයතනය ආදී දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශපාලනික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ඇතිව ඒ මහතා විසින් කරගෙන ගිය මඩ ප‍්‍රචාරවලට කිසියම් ආකාරයක දේශපාලනික සුජාතභාවයක් ලැබීමේ ඉඩකඩක් ඇත.

Friday, September 6, 2013

ප්ලූටෝ කියන්නේ ග්‍රහ ලෝකයක් නොවෙයි

අපි පහසු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. දීප්ති කුමාර ගුණරත්න මහතා පරසක්වල ගසා මගෙන් විමසා සිටින්නේ මෙයයි. 

"වංගීස ඔයා පිළිගන්න ඔයා ගැහැණියෙකුට ගැහුවා කියලා! ඔයාට මේක හංගන්න බැහැ, මේක දැකපු අය ඉන්නවා" 

දැන් අපි අහන්න ඕන සරලම ප්‍රශ්නය අහමු: මගේ අතීත ආදර සම්බන්ධකම් වලදී සිද්ධ වුන දේ මම ප්‍රසිද්ධියේ කිව යුත්තේ ඇයි? වඩාත් නිශ්චිතව කියනවානම්, එම සම්බන්ධ කම් වලදී සිදු වූ දේ පිළිබඳව මටත්, එම සම්බන්ධයේ අනෙකුත් පාර්ශවයටත් ගැටළුවක් නොමැති වේ නම්, සහ අප තවමත් හොඳින් කතා බහ කරන, එකිනෙකාට උපකාර කරන තරමේ මිතුරන් වන්නේනම්, එම සම්බන්ධකම් ගැන දීප්ති කුමාර ගුණරත්න මහතා ඉදිරියේ පාපොච්චාරණය කල යුත්තේ ඇයි? ඔහු කවුද? 

මගේ ලිංගික සම්බන්ධකම් වල දී මම සමලිංගික ද, විෂම ලිංගිකද, ද්වී ලිංගික ද, මම වඩාත් ආශා කරන්නේ බෝන්ඩේජ් වලටද, සේඩිස්ට් සහ මැසෝකිස්ට් ලෙස සෙක්ස් කරන්නද එහෙමත් නැතිනම් මිෂනාරි ක්‍රමයට සෙක්ස් කරන්නද  කියා මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල යුත්තේ ඇයි? දර්ශනය කතා කල හැක්කේ මිෂනාරි ක්‍රමයට සෙක්ස් කරන අයට පමණද?  

Tuesday, September 3, 2013

විවාදය - 2013 සැප්තැම්බර් 17 සවස 3.00 ට




අවසානයේ දී දීප්ති කුමාර ගුණරත්න මහතා ඒ මහතා විසින්ම යෝජිත (කල්‍යාට අනුව නම් කොහොමටත් කිසිදා සිදු නොවීමට කලින්ම නියමිතව තිබූ) විවාදය පිළිබඳව අපව කරකවා අතහරින ප‍්‍රකාශයක් කරනු ලැබ තිබේ. තමන්ගේ අනුගාමිකයින්ට Facebook ප‍්‍රජාව ඉදිරියේ ලැජ්ජාවෙන් ගැලවීමට පමණක් ඉවහල් වන බොරු දාර්ශනික හෑල්ල අතහැර දැමූවිට එහි ඇත්තේ මෙයයි.


 ''නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය…. සංවාදයට මයික්, මේස, පුටු අවශ්‍ය නැත. අවශ්‍ය ලිවීම පමණි. මන්ද යත් ලිවීම හරහා ලේඛකයා මිය යන බැවිනි.''


මේ නොකියා කියන්නේ විවාදයට එන්නේ නැති බවයි. ගුණරත්න මහතා චණ්ඩියෙකුසේ විවාදයට අභියෝග කරන විට ඔය දාර්ශනික කතා තිබුනේ නැත. ඒ මහතාට ඒ වෙලාවේ 'ලේඛකයා මියයාම' ගැන අමතක වී තිබූ හැඩයි. එහිදී ඒ මහතා අපට මතක්කර දුන්නේ 'ලිවීමේ දී ලේඛකයා මිය යාම' පිළිබඳව නොව ජිජැක් වැනි අය සංවාද කරන හැටියි. (ලිවීමේ දී ලේඛකයා මිය යාම ගැන ජිජැක් නොදන්නා හැඩයි) ඒ අවස්ථාවේ ඒ මහතා කීවේ මෙසේය.


 ''විශ්ව-විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව අප ඔහුට එරෙහිව යොදා ගන්නේ මඩ ප්‍රචාර පමණි. ඒවාට කිසිදු සත්‍යවාදී හෝ න්‍යායික පදනමක් නැත. අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.


තමන්ගේ තර්කය නිවැරදි බවට නිර්මාල්ට තර්ක කළ හැකි අතර එහි විලෝමය සත්‍ය බවට දීප්තිට තර්ක කළ හැක. මේ සදහා අප අභියෝග කරන්නේ ඒ සදහා ප්‍රසිද්ධ විවාදයක් කරමු යන්නය.


පහත පළ වන්නේ ඔස්ට්‍රේලියාවේ ශීලාචාර රූපවාහිනි නාලිකාවක බුද්ධිමතුන් කිහිප දෙනෙක් අතර වූ විවාදයකි. අපගේ පූර්වාදර්ශය එමගින් ලබාගත හැක. තැන, වේලාව, ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක.''

Sunday, September 1, 2013

විවාදයේ පූර්ව කොන්දේසි පිළිබඳව

දීප්ති කුමාර ගුණරත්න මහතා, එක්වරම, විවාදය පැවැත්වීමටනම් මවිසින් ඉටු කරනු ලැබිය යුතු පූර්ව කොන්දේසි කීපයක් ඉදිරිපත් කර තිබේ. එනම් ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම පිළිබඳව කල්‍යානන්ද පෙරේරා ට චෝදනා එල්ල වීම පිළිබඳව ඔහුගේ මිතුරෙකු ලෙස මට කීමට ඇති දෙය සහ එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳට බීමත්ව පහරදීම පිළිබඳව වංගීස සුමනසේකර ට විරුද්ධව ඇති කතාව පිලිබඳව මට කීමට ඇති දෙය පැවසීමයි. 

නමුත් ගුණරත්න මහතා මට පළමුවෙන් අභියෝග කල අවස්ථාවේදී මෙවැනි කොන්දේසි කිසිවක් නොතිබුණි. එහිදී ඔහු ලියා තිබුනේ මට කැමති දිනෙක, කැමති තැනක, කැමති වෙලාවක මෙය පවත්වන ලෙසත් එයට ඔහු පැමිණෙන බවත්ය. ඒ අනුව මෙය වඩාත් හොඳින් සංවිධානය කිරීම සඳහා මම මාගේ නියෝජිතයා ලෙස වංගීස ට ඉදිරිපත් වන්නට යෝජනා කලෙමි.

Saturday, August 31, 2013

'විවෘත අභියෝගය' පිලිබඳ මතක් කිරීමයි!

පසුගිය 25 වෙනි දා දීප්ති කුමාර ගුණරත්න මහතා ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් නිර්මාල් හට අභියෝග කරන ලදී. එම අභියෝගය නිර්මාල් විසින් බාර ගන්නා ලද අතර මේ සඳහා සංවිධාන කටයුතු කිරීම පිළිබඳව නිර්මාල් පාර්ශවය වෙනුවෙන් වංගීස ඉදිරිපත් වී ගුණරත්න මහතාගේ නියෝජිතයෙක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ද කළේය. මේ පිළිබඳව දැනුම් දීම සඳහා පල කල සටහන ෆේස්බුක් මගින් හුවමාරු කරන විට තුෂාර දස්කොන් නම් මහත්මයකු මේ පිළිබඳව සතියක කාලයක් දෙන මෙන් නිර්මාල් ගෙන් ඉල්ලීමක් කළේය. අද වන විට එම සතියක කාලය ඉක්ම ගොස් තිබේ. 

අනෙක් අතට ඔවුන් පළමුව 'අභියෝග' කල අවස්ථාවේ පවසා තිබුනේ "තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක"කියාය. එසේ පවසා නැවතත් සතියක කාලයක් ඉල්ලා සිටීම පරස්පර උවත්, වැදගත් වන්නේ විවාදය පැවැත්වීම වන නිසා අපි එය ගැටළුවක් කර නොගත්තෙමු.

Tuesday, August 27, 2013

නොකෙරෙන විවාදයේ සංවිධාන ආකෘතිය


නිර්මාල් එක්ක ප්‍රසිද්ධ විවාදයකට අභිමුඛවීමට තමන් කැමති බව ගුණරත්න තුන මාන වෙබ් අඩවියෙහි පළකර තිබුණි. වංගීස එය නිර්මාල් වෙනුවෙන් බාර ගනිමින් ප්‍රතිචාර දක්වල තිබුණ.‍ නොවන සංවාද ගැන හෝ අභිමුඛ වීම් ගැන ගුණරත්න කවදත් විහිළු කතා කියනව. ගුණරත්නගේ මේ විහිළුව නිර්මාල් සීරියස්ව බාරගැනීම ගැන මට නම් නිර්මාල් ගැන ඇත්තේ කණගාටුවක්.

ගුණරත්න බයම අකුර "ස" යන්නය. සංවාදය කියන වචනය කැරපොත්තන්ට මෝර්ටීන් ලෙසයි ගුණරත්නට දැනෙන්නෙ.  ගුණරත්න නිර්මාල් සමඟ (වාම ප්‍රවණතාවය)  2004 දෙසැම්බර්  සංවාදයට අභිමුඛ වූවා නම් X කණ්ඩායම කැඩෙන්නේ නැත. ප්‍රසිද්ධ තැනක සංවාදයට එන්න කියන ගුණරත්න X නිවසෙහිදී අපට අභිමුඛ වූයේ ද නැත.  දෙසැම්බර් 26 වෙනි දින   බුද්ධිකවයි , ප්‍රභාවයි ඒ සඳහා ඉදිරිපත් කරල  X ගෙදර කාමරේ ගුණරත්න හැංගිල සිටි බව එහි සිටි සියළු දෙනාම හොදින්ම දන්නා කරුණකි.

Saturday, August 24, 2013

අභියෝගය බාර ගත්තෙමු!

දීප්ති කුමාර ගුණරත්න මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ඒ මහතා නිර්මාල් හට අභියෝග කර තිබේ. මේ 2004 වසරේ අවසාන භාගයේ සිට අප බලාපොරොත්තු වූ දෙයකි. දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් හෝ ඔහු මෙයට ඉදිරිපත්වීම අප අගය කරමු.

මේ සටහන තබන්නේ නිර්මාල් එම අභියෝගය ඉමහත් සතුටින් බාරගත් බව පැවසීමටයි. 

අප දෙපාර්ශවය අතර එකිනෙකා පිලිබඳ තිබෙන විවේචන වලින් එකක් අවසන් වන තුරු කෙරෙන පාණදුරාවාදයක් බවට මෙය පත්විය යුතු අතර අවසාන මොහෙතේදී කුමක් හෝ හේතුවක් දක්වා ගුණරත්න මහතා විසින් මෙය මග නොහරිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

මෙහි සංවිධාන කටයුතු සඳහා නිර්මාල් ගේ පාර්ශවයෙන් වංගීස ඉදිරිපත් වී තිබේ. මේ සඳහා ගුණරත්න මහතාගේ නියෝජිතයෙකු පත්කර හැකි ඉක්මනින් 0714391514 අංකය යටතේ වංගීස හට ඇමතුමක් දෙන මෙන් ඉල්ලමු. මෙය තිබෙන ස්ථානය, දිනය, වෙලාව අපිට එලෙස තීරණය කර ගත හැකි ය. 

Tuesday, August 13, 2013

දීප්ති කුමාර ගුණරත්න මහතාට විවෘත ප්‍රතිචාරයක්

මම සහ තවත් මිතුරන් කීප දෙනෙකු කලක් පවත්වාගෙන ගිය 'මධ්‍යස්ථානය' නම් බ්ලොග් අඩවිය නතර කර දැමීමට අප තීරණය කරන්නට හේතු කීපයක් තිබිණි. මේ අතරින් එක හේතුවක් වූයේ එම බ්ලොග් අඩවිය තුල අප අනවශ්‍ය පරිදි දීප්ති කුමාර ගුණරත්න මහතා සහ එම මහතාගේ දේශපාලන පක්ෂය ලෙස නම් කරන කණ්ඩායම සමග පැටලීමයි. ගුණරත්න මහතා සමග සංවාද කිරීම අරුත් සහිත වැඩක් නොවේ. ඒ ඔහු සංවාදයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට සමත් නොවන හෙයිනි. 

නමුත් අපගේ ජීවිතයේ තිබෙනා නොවෙනස් වෙන කරුණක් වන්නේ ගුණරත්න මහතා සහ අපිට එක සමාජ අවකාශයක වැඩ කරන්නට සිදු වීමයි. එම මහතාගේ මඩ ගැසීම් වලට සම්බන්ධ නොවීමට අප බොහෝ උත්සාහ කරන්නෙමු. නිදර්ශනයක් ලෙස විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය සමයේ ඒ මහතා නිර්මාල් ට එරෙහිව ගොම ගසන විට අපි කවුරුත් එයට ප්‍රතිචාර දැක්වීමට නොගියේ, සිහිබුද්ධිය තිබෙනා ඕනෑම මනුස්සයෙකුට ගුණරත්න මහතා ගේ නන් දෙඩවිලි වටහා ගත හැකි වීම නිසාය. කොටින්ම එම මහතාගේ ප්‍රමුඛම හෙන්චයියන් දෙදෙනෙක් ද එම අරගලයට ප්‍රසිද්ධියේ සහය දුන් බව අපිට මතකයි. 

Saturday, May 4, 2013

අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද?

මේ දින වල සිංහල ජාතිය වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්‍රණයෙන් සිංහල ජාතික බලවේග සලිත වී සිටියි. මේ කතාව කරලියට එන්නේ පසුගිය දිනෙක රේගුව විසින් අර්තාපල් තොගයක සගවා පකිස්තානයේ සිට ගෙන්වන ලද කෝටි තුනක් වටිනා උපත් පාලන බෙහෙත් තොගයක් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යි. බැලූ බැල්මට ම මුස්ලිම් කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීමේ සාධක සැපිරී ඇත. ජාතික හෙල උරුමයේ සිට මාදුලුවාවේ සෝභිත හිමි දක්වා සියලු දෙනා දත් මිටි කමින් කෑ ගසන්නේ මේ ජාතිය වැනසීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නන් හෙලි කරන ලෙස යි. සමහර ජනමාධ්‍ය ද ඇතුලුව මේ සියලු දෙනා පවසන්නේ මෙය ලංකාව තුල නීතිවිරෝධී ගබ්සා ඖෂධයක් බවයි. ලයිව් ඇට් එයිට් එස් එම් එස් පනිවිඩයේ එය ප්‍රකාශ වූ යේ මෙසේ ය - අර්තාපල් බව හගවමින් ආනයනය කල ගබ්සා සදහා යොදා ගන්නා රු .මිලියන තිහක් වටිනා නීති විරෝධී ඖෂධ තොගයක් රේගුව සොයා ගනියි. දැන් බිහිසුනු ඇත්ත කතාව නරඹමු.

Monday, April 29, 2013

මරණ මංචකයේ දුටු සිහිනය

පසුගියදා නලින් ද සිල්වා මහතා විසින් ලියන ලද සටහනක ඔහුගේ 'චින්තනය' යන සංකල්පය ගුණදාස අමරසේකර මහතාගේ 'ජාතික චින්තනය' යන්නෙන් වෙනස් වීම පිලිබඳ, පුද්ගලික ජීවන ඉතිහාසයට ද සම්බන්ධ වන කරුණු රාශියක් ලියා තිබිණි. එයට අනුව අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන වචනය 'නැෂනල් තෝට්' යන ඉංග්‍රීසි යෙදුම සඳහා වන පරිවර්තනයකි. 

රුසියානු විප්ලවය යනු මාක්ස්වාදයේ ජයග්‍රහණයකට වඩා රුසියානු ජාතික චින්තනයේ ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ විචාරකයෙකුගෙන් අමරසේකර මෙය උපුටාගෙන තිබේ. නලින් ට අනුව අමරසේකරගේ මෙම ජාතික චින්තනය යනු දාර්ශනික සංකල්පයක් නොව විසිරුණු ලිහිල් සංකල්පයකි.     

Wednesday, April 17, 2013

ජාතික චින්තනය ගැන තව දුරටත්

ජාතික චින්තන සංවාදය එක තැන පල් වීම සහ ඇදහිළි කල්ලියක් බවට පරිවර්තනය වීම පිලිබඳ අප පල කල සටහනට එවූ කොමෙන්ටු නිසා අප කලක සිට කතා කරන්නට සිටි කාරණයක් පිළිබඳව සාකච්චා කිරීමට කදිම සන්දර්භයක් සෑදී තිබේ. ඒ දාර්ශනික සම්ප්‍රේෂණය (philosophical transmission) පිලිබඳ ගැටළුවයි. දර්ශනය කියන විෂය තේරුම් ගැනීමට ඓතිහාසික සන්දර්භයක් නොමැති ලංකාව තුල එවැනි සංවාදයක් ආරම්භ කල හැක්කේ මේ පිළිබඳව වන සාකච්චාවක් සමගයි. 

නමුත් එය ට පෙර තරමක් කෙටියෙන් වෙනත් කරුණක් පිළිබඳව අදහස් දැක්වීමටයි මෙම සටහන ලියවෙන්නේ. 
 

Sunday, April 14, 2013

මීන රාශියේ නතරවුණු බුද්ධිමය සංවාදය

පසුගිය දොරමඩළාව වැඩසටහනේදී අපූරු මොහොතක් දැක ගැනීමට අපට හැකිවිය. එහිදී නලින් ද සිල්වා මහතා සිය මූලික කරුණු ඉදිරිපත් කිරීමේදී දැනුම පිලිබඳ ඔහුගේ ප්‍රවාදය ට එරෙහිව ලොව සිටිනා ඉහලම විද්වතෙකු ගෙන්වන ලෙසත් එම විද්වතා ඉදිරියේ දී පවා තම මතය ඔප්පු කල හැකි බවත් පැවසීය. 

මෙතනදී විද්‍යාවේ දර්ශනය පිලිබඳ අද ලොව සිටින ඉහලම බුද්ධිමතා කවුරුන්ද කියා නලින් ද සිල්වා මහතා සිතන්නට උත්සාහ කරන විට එවැන්නෙක් ගැන තමන් නොදන්නා බව වැටහී සිය කොන්දේසී විරහිත අනුගාමිකයා වන නෙම්සිරි ජයතිලක දෙස බැලුවේය. නමුත් ඒ සඳහා නෙම්සිරි මහතා ලඟද පිළිතුරක් නොවීය. විද්‍යාවේ දර්ශනය පිලිබඳ ලංකාවේ ආරම්භ වූ සාර්ථකම බුද්ධිමය ව්‍යාපාරය වන 'ජාතික චින්තනය' සංවාදය අද වන විට වැටී ඇති ඉතාම දිළිඳු මට්ටම වටහා ගැනීමට මෙය අපූර්ව නිදර්ශනයකි.

Saturday, March 30, 2013

Pour Gamlath

සුචරිත ගම්ලත් මහතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අප ලිවිය යුතු සටහන පිළිබඳව සිතමින් සිටින විට බ්‍රෙෂ්ට් ගේ කවියක් ගම්ලත් මහතාගේම අපූරු සිංහල බසින් කල පරිවර්තනයක් අපිට සිහි වුනි. අප හැමදා පෙනී සිටි ගම්ලත් මහතාගේ උරුමය මෙම කෙටි පද වැල් කීපය තුල කැටි වී ඇතැයි කියා සිතේ. 

කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර තිබුණි. නමුත් එය නැවතත් මෙහි පලවීම කිසිසේත් අපතේ යැවීමක් විය නොහැකිය. මක්නිසාද යත් එමගින් කියවෙන දේ අප වඩාත් ශක්තිමත්ව, වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් හඬ නගා පැවසිය යුතු වන නිසාය. 

Tuesday, March 26, 2013

ආදරය සඳහා ඇවින්යොන් වේදිකාව...


1990 දශකයේ ආරම්භය යනු 'ඉතිහාසය අවසන් වීමෙන්' පසු ගෝලීය ආධිපත්‍යයට නිතරඟයෙන් තේරී පත් වූ අවසාන - පුද්ගලත්ව කේන්ද්‍රීය - මිනිසාගේ මොහොත විය. සකලවිධ සාමූහිකත්වයන් පිළිබඳව කෙරෙනා ඕනෑම ආකාරයක සිතා බැලීම් අනිවාර්ය ලෙසම ලේ ගංගාවකින් නිම වීමට නියම වන්නා, ත්‍රස්තවාදී සහ සර්වාධිකාරී සමාජ ක්‍රමයකින් අවසන් වීම යනු එකල ඉතිහාසයේ සදාතනික නියාමය විය. 

"ආදරය සඳහා හෝර්ටන් තැන්න" යන කුඩා ව්‍යාපාරයෙන් ඇරැඹි 'ප්‍රේමය' පිලිබඳ ලාංකික සංවාදය 1990 දශකය පුරා නව තාරුණ්‍ය හට ඉමහත් ආකර්ශනීය වූයේ ප්‍රේමය මෙම පුද්ගලත්ව කේන්ද්‍රීය විශ්වය දෙදරවාලූ අත්දැකීමක් වන නිසාය. ප්‍රේමය යනු සිය පුද්ගල ජීවිතයේ යහ පැවැත්ම පසෙකලා 'දෙදෙනා' වෙනුවෙන් ජීවිතය කැප කිරීමේ මිනිස් උරුමයයි. වසර විසිපහකට පමණ පසු බදියු මේ සඳහා සූත්‍රයක් නිපදවා තිබේ.  "ප්‍රේමය = අවම කොමියුනිස්ට්වාදය".

Tuesday, March 12, 2013

ගණික කටු කම්බි


ලංකාවේ කලාත්මක ප්‍රකාශන වල පොදුවේ දක්නට ලැබෙන එක් සීමාවක් වන්නේ ඒවා බොහොමයක් තුල දේශපාලනය විසින් කලාව සීචනය (suture) කර තිබීම යි. තාක්ෂණික යෙදුම් හැකිතාක් ඉවත් කර මෙය කියනවානම් එය මෙසේ ලිවිය හැකිය : 'කලා කෘතියක් විසින් කල යුත්තේ දේශපාලනය තුල අප අභිමුවේ තිබෙනා ගැටළු වලට පිළිතුරු සෙවීමය' යන අදහස තුල තිබෙන්නේ කලාව දේශපාලනය විසින් සීචනය කිරීම යි. මේ පිළිබඳව තරමක් හාස්‍යජනක නිදර්ශනයක් ලෙසවරක් චන්ද්‍රගුප්ත තේනුවර සිත්තරාගේ චිත්‍ර ප්‍රදර්ශනයක සමරු පොතක් පෙරලමින් සිටින විට මුණ ගැසුණු අපූරු සටහනක් සිහිවේ. සටහන තියා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා ය. මතක විදියට එහි ලියා තිබුනේ මෙවැන්නකි: "ඔබගේ කලා නිර්මාණ තුලින් ජාතික සමගිය ගොඩ නැගීමට ගන්නා උත්සාහයට අපගේ ආචාරය!". අපිට පුළුවන් මෙය කලාව පිලිබඳ 'විජිත හේරත් තිසීසය' ලෙස නම් කිරීම ට. මෙයට පරස්පර ලෙස අප යෝජනා කරන්නේ කලා කෘතියකින් කල යුතු වන්නේ කලා කෘතියකින් පමණක් ප්‍රකාශ කල හැකි දෙය කුමක්ද යන්න ගවේෂණය කිරීම යි. වෙනත් ලෙසකින් කියනවානම් කලා කෘතියක සුවිශේෂය කුමක්ද කියා සොයා බැලීම යි. 

Wednesday, March 6, 2013

"කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය

'කතිකා අධ්‍යයන කවය' විසින් පල කරනු ලබන "කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය නිකුත් වී තිබේ. දර්ශනය පිලිබඳ උනන්දුවක් දක්වන අප බ්ලොග් අඩවිය කියවන මිතුරන්ට මෙය වැදගත් වනු ඇත. ඒ සමගම අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම පිලිබඳ උනන්දුවක් තිබෙන අයටද මෙහි ඇති ඇතැම් ලිපි ප්‍රයෝජනවත් වෙයි. බුද්ධිමය අතින් නිසරු, පල් හෑලී පුවත් පත් ලිපි මත යැපීමට සිදුව ඇති සමකාලීන ලාංකිකයාට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත. 

Monday, February 25, 2013

ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය (2 කොටස)

පහතින් පල වෙන්නේ බදියුගේ "ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය" නම් අප විසින් කොටස් වශයෙන් පල කරන ලිපියේ දෙවන කොටසයි. එහි පළමු කොටස මෙතනින් කියවන්න. 


Sunday, February 10, 2013

පර්දාව, විමුක්තිකාමී දේශපාලනය සහ...

'බොදු බල සේනා' සංවිධානය විසින් සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ කිසියම් ආකාරයක දෙපළු වීමක් සලකුණු කර ඇති බව පෙනේ. එහි නිල නායකයන්ට අනුව ඉහත සංවිධානය විසින් මූලිකව ප්‍රති-ජීවක දී පණ ගන්වන ලද සිංහල සමාජයේ ඇති මුස්ලිම් විරෝධී වර්ගවාදය, ගැටුමක් දක්වා වර්ධනය වීම මේ මොහෙතේ සේවය කරන්නේ සිංහල-බෞද්ධයන්ගේ ප්‍රධාන සතුරාටය. මෙම සන්දර්භය තුල, විමුක්තිකාමී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන් වාර්ගික දේශපාලනය හමුවේ ගත යුතු ක්‍රියා මාර්ගය පිළිබඳව ඉහල සංකල්පීය ගුණයෙන් යුතු සාකච්චාවක් ඇති කිරීම ප්‍රයෝජනවත් වේය කියා සිතමු. මෙයට ආරම්භයක් ලෙස ප්‍රංශයේ මුස්ලිම් කාන්තාවන්ට හිජාබ් පැළඳීම තහනම් කිරීම සම්බන්ධයෙන් බදියු විසින් රචනා කරන ලද ප්‍රශස්ත රචනාවක් සිංහලට නගන්නට අපි තීරණය කළෙමු. තරමක් දීර්ඝ එම රචනය කොටස් කීපයකින් පල කිරීමට අදහස් කලමු. 

මෙය සන්දර්භ ගත කිරීම සඳහා අපට තල තුනක කරුණු තුනක් කියන්න ඉඩ දෙන්න. 
 

Wednesday, February 6, 2013

බලය සහ දර්ශනය ගැන තවදුරටත්...

මෙයට මාස කීපයකට පෙර අප විසින් ජිල් ඩෙලර්උස් ගේ සටහනක් පරිවර්තනය කළෙමු. එහි තේමාව වූයේ දර්ශනය සහ බලය අතර සම්බන්ධයි. මෙය අපිට නැවතත් සිහියට නැගුනේ, ජෝජ් බාක්ලි නම් බ්‍රිතාන්‍ය දාර්ශනිකයා නැවත කියවන විට දුටු සිත්ගන්නා සුළු කරුණක් නිසාය. බාක්ලි යනු දර්ශනයේ ඉතිහාසය තුල අධානග්‍රාහී යථාර්ථවාදය (dogmatic realism) සංකීර්ණ ලෙසම අභියෝගයට ලක් කල දාර්ශනිකයාය. ඔහුගෙන් පසුව නැවතත් 'යථාර්ථය' පිලිබඳ කතා කරන ඕනෑම අයෙකුට මෙම අභියෝගය මග හැර යා නොහැකි බව අපගේ අදහසයි. 

Friday, January 18, 2013

හුස්ම පිට වෙන කහ පාට අවකාශය තුල ඇති එළිය

ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය හදාරන අධ්‍යන කවයක් අප විසින් සංවිධානය කරන්නෙමු. මෙයසූ යනු සමකාලීන මහත්ද්වීපික දර්ශනයේ වඩාත් කේන්ද්‍රීය යොවුන් චින්තකයාය. සමපේක්ෂී යථාර්ථවාදය නම් අතිශයින් තීරණාත්මක දාර්ශනික ව්‍යාපාරයේ මූලික සිතන්නාය. දර්ශනය පිලිබඳ කෙරෙන පුළුල් අධ්‍යයන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙයසූ කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. ඔහු සමකාලීන දර්ශනයේ කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන හෙයින් ඔහු හරහා අපිට වත්මන් ගෝලීය සාකච්චාවන් සමග සම්බන්ධ වීමට ශක්තිමත් නැංගුරමක් හමු වෙයි. අනෙක් අතට ඔහු සම්පූර්ණයෙන් පශ්චාත්-කාන්ටියානු දර්ශනය සමග සටන් වදිනා හෙයින් නූතන දර්ශනයේ ඉතිහාසය පිළිබඳවත් බැරෑරුම් සාකච්චාවකට එය මග පාදයි. 

Tuesday, January 15, 2013

"රාවය" වෙනුවෙන්

අප මෙයට වසර එකහමාරකට පමණ පෙර "සාකෝසි යනු කුමක්ද?" කියා පොතක් පරිවර්තනය කළෙමු. පොතේ රචකයා ඇලේන් බදියු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාය. එම පොත ඔහු විසින් ලියන ලද්දේ නිකලස් සාකෝසි ප්‍රංශයේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇති වූ විශාදිය සහ බෙලහීනත්වය තුල අප කටයුතු කල යුත්තේ කෙසේද කියාය. බදියුගේ ම වචන වලින් කියන්නේනම් "ඔබ කිසිසේත් අකමැති, අවාසනාවන්ත දෙයක් සිදු වී ඇතැයි යන ඔබව අපහසුතාවයට පත් කරන හැඟීම විශ්ලේෂණය" කිරීමටය. 

මෙවන් වටපිටාවක අපට කල හැක්කේ කුමක්ද කියා බදියු එහිදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි. නමුත් 'රාවය' පුවත් පත ඇතුළු අප මිතුරන් කිසිවෙකුත් එම පොත කියවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් නැවත නැවතත් විශාදියට පත්වීමත්, බෙලහීන බව පිලිබඳ කනගාටුවීමටත් තෝරාගෙන තිබේ. අවසානයේදී ඔවුන් 'ජාත්‍යන්තර ප්‍රජාව' සහ 'ජනතාව' විසින් මෙම මහපොළොව නුඋසලන අපරාධ පිළිබඳව මැදිහත් නොවන්නේ ඇයිද කියා කණගාටු වෙයි. තමන් ගේ උපක්‍රමික තීරණ පදනම් වන සංකල්පීය පදනම දිරාපත් වූ එකක් බව ඔවුන් පිළිගැනීමට සූදානම් නොවේ. ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලෙස කොටස් තුනකට බෙදා ඇති බවත්, එමගින් සංවරණ සහ තුලන ක්‍රමයක් ලෙස, එම බලයේ අනපේක්ෂිත අතිරික්තයන් පාලනය වන බවත් ඔවුන් ආගමක් සේ විශ්වාස කරයි. ලංකාවේ මෙය මහා දවල්, අමු අමුවේ උල්ලංඝනය උවත් ඉන්දියාව, එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල එය සාපේක්ෂ වශයෙන් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව ඔවුන් අදහයි. 

Tuesday, January 8, 2013

පරමාධිපත්‍යයේ තර්කණය කියන්නේ කුමක්ද?


සාමාන්‍යයෙන් මෙම බ්ලොග් අඩවිය තුල අප උත්සාහ කරන්නේ රාජ්‍යයේ කාලක්‍රමිකත්වය ට එරෙහි විකල්ප කාලයක් ගොඩ නැගීමට යි. සරල නිදර්ශනයක් තුලින් අපිට මෙය පැහැදිලි කල හැකිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රධාන මූලෝපායක් වන්නේ මැතිවරණ වර්ෂාවක් නිරන්තරයෙන් ලබා දීමයි. එවිට, නිදර්ශනයක් ලෙසජනතා විමුක්ති පෙරමුණට සිදු වන්නේ මුළු සංවිධාන ශක්තියම යොදා මැතිවරණ ව්‍යාපාර කර, අවසානයේදී පරාජය වීමටයි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කාල සටහන සකස් වන්නේ රාජ්‍ය විසින් දෙන ලද කාලක්‍රමිකත්වය තුළයි. එම නිසා ඔවුන්ගේ දේශපාලනය අවසාන විග්‍රහයේදී පදනම් වන්නේ රාජ්‍ය විසින් ගන්නා ක්‍රියා වලට ප්‍රතික්‍රියා කිරීමයි.