Friday, January 18, 2013

හුස්ම පිට වෙන කහ පාට අවකාශය තුල ඇති එළිය

ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය හදාරන අධ්‍යන කවයක් අප විසින් සංවිධානය කරන්නෙමු. මෙයසූ යනු සමකාලීන මහත්ද්වීපික දර්ශනයේ වඩාත් කේන්ද්‍රීය යොවුන් චින්තකයාය. සමපේක්ෂී යථාර්ථවාදය නම් අතිශයින් තීරණාත්මක දාර්ශනික ව්‍යාපාරයේ මූලික සිතන්නාය. දර්ශනය පිලිබඳ කෙරෙන පුළුල් අධ්‍යයන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙයසූ කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. ඔහු සමකාලීන දර්ශනයේ කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන හෙයින් ඔහු හරහා අපිට වත්මන් ගෝලීය සාකච්චාවන් සමග සම්බන්ධ වීමට ශක්තිමත් නැංගුරමක් හමු වෙයි. අනෙක් අතට ඔහු සම්පූර්ණයෙන් පශ්චාත්-කාන්ටියානු දර්ශනය සමග සටන් වදිනා හෙයින් නූතන දර්ශනයේ ඉතිහාසය පිළිබඳවත් බැරෑරුම් සාකච්චාවකට එය මග පාදයි. 

Tuesday, January 15, 2013

"රාවය" වෙනුවෙන්

අප මෙයට වසර එකහමාරකට පමණ පෙර "සාකෝසි යනු කුමක්ද?" කියා පොතක් පරිවර්තනය කළෙමු. පොතේ රචකයා ඇලේන් බදියු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාය. එම පොත ඔහු විසින් ලියන ලද්දේ නිකලස් සාකෝසි ප්‍රංශයේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇති වූ විශාදිය සහ බෙලහීනත්වය තුල අප කටයුතු කල යුත්තේ කෙසේද කියාය. බදියුගේ ම වචන වලින් කියන්නේනම් "ඔබ කිසිසේත් අකමැති, අවාසනාවන්ත දෙයක් සිදු වී ඇතැයි යන ඔබව අපහසුතාවයට පත් කරන හැඟීම විශ්ලේෂණය" කිරීමටය. 

මෙවන් වටපිටාවක අපට කල හැක්කේ කුමක්ද කියා බදියු එහිදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි. නමුත් 'රාවය' පුවත් පත ඇතුළු අප මිතුරන් කිසිවෙකුත් එම පොත කියවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් නැවත නැවතත් විශාදියට පත්වීමත්, බෙලහීන බව පිලිබඳ කනගාටුවීමටත් තෝරාගෙන තිබේ. අවසානයේදී ඔවුන් 'ජාත්‍යන්තර ප්‍රජාව' සහ 'ජනතාව' විසින් මෙම මහපොළොව නුඋසලන අපරාධ පිළිබඳව මැදිහත් නොවන්නේ ඇයිද කියා කණගාටු වෙයි. තමන් ගේ උපක්‍රමික තීරණ පදනම් වන සංකල්පීය පදනම දිරාපත් වූ එකක් බව ඔවුන් පිළිගැනීමට සූදානම් නොවේ. ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලෙස කොටස් තුනකට බෙදා ඇති බවත්, එමගින් සංවරණ සහ තුලන ක්‍රමයක් ලෙස, එම බලයේ අනපේක්ෂිත අතිරික්තයන් පාලනය වන බවත් ඔවුන් ආගමක් සේ විශ්වාස කරයි. ලංකාවේ මෙය මහා දවල්, අමු අමුවේ උල්ලංඝනය උවත් ඉන්දියාව, එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල එය සාපේක්ෂ වශයෙන් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව ඔවුන් අදහයි. 

Tuesday, January 8, 2013

පරමාධිපත්‍යයේ තර්කණය කියන්නේ කුමක්ද?


සාමාන්‍යයෙන් මෙම බ්ලොග් අඩවිය තුල අප උත්සාහ කරන්නේ රාජ්‍යයේ කාලක්‍රමිකත්වය ට එරෙහි විකල්ප කාලයක් ගොඩ නැගීමට යි. සරල නිදර්ශනයක් තුලින් අපිට මෙය පැහැදිලි කල හැකිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රධාන මූලෝපායක් වන්නේ මැතිවරණ වර්ෂාවක් නිරන්තරයෙන් ලබා දීමයි. එවිට, නිදර්ශනයක් ලෙසජනතා විමුක්ති පෙරමුණට සිදු වන්නේ මුළු සංවිධාන ශක්තියම යොදා මැතිවරණ ව්‍යාපාර කර, අවසානයේදී පරාජය වීමටයි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කාල සටහන සකස් වන්නේ රාජ්‍ය විසින් දෙන ලද කාලක්‍රමිකත්වය තුළයි. එම නිසා ඔවුන්ගේ දේශපාලනය අවසාන විග්‍රහයේදී පදනම් වන්නේ රාජ්‍ය විසින් ගන්නා ක්‍රියා වලට ප්‍රතික්‍රියා කිරීමයි.