Monday, December 24, 2012

උන්ට-ලොජිකල් ලෙනින්වාදය සහ උන්ට-ලොජිකල් ප්‍රජාතන්ත්‍රවාදය




x කණ්ඩායම ලෙස අප පළමු වරට ලංකාවේ ජනප්‍රිය වුයේ 'පශ්චාත් නූතනවාදය' යන්නත් සමගයි. ඇත්තටම එකල අපේ දේශපාලන සංවාදයේ එක් ප්‍රධාන තාක්ෂණික මෙහෙයුමක් උනේ 'අතීත ලංකාව' තේරුම් ගත්ත සංකල්පීය මිනුම් දඬු භාවිතා කල පුද්ගලයන්ට මෙම 'නව ලංකාව' නොතේරීම අවධාරණය කිරීමයි. එමගින් අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලනය ගැන ලියන්නන් යල් පැනගිය අය වීමත්, එයට පරස්පරව අප වත්මන් මොහොත හරියට ම තේරුම් ගත් නවීනයන් බවටත් එකවර පත්වෙන ද්විත්ව ක්‍රියාකාරී රේසරයක් අපිට ලැබුණා. ඒ නිසා තමයි අපිට නිතරම කියන්න පුළුවන් වුනේ මෙන්න මේ වගේ වාක්‍ය: 

'ඉස්සර පුද්ගලයන්ට අවශ්‍ය වන විදිහේ වාහන මිලට ගත්තානම් අද වන්නේ වාහනයට අවශ්‍ය පරිදි පුද්ගල ජීවිතය සකස් වීම යි.'

'ඉස්සර පුවත්පතක ඕපාදූප පලවෙන අතිරේකය ප්‍රධාන පුවත්පතට එකතු වන්නක් නම් අද ප්‍රධාන පුවත්පත පිට වන්නේ අතිරේකය වෙනුවෙන් ය'

'ඉස්සර රූපවාහිනී වැඩසටහන පෙන්වීම සඳහා දැන්වීම් යොදා ගත්තනම් අද දැන්වීම් පෙන්වීමට වැඩසටහන යොදා ගන්නවා'


හදිස්සියේම x කණ්ඩායමේ 'ඉස්සර සමාජය අරහෙමයි / දැන් සමාජය මෙහෙමයි' කියන පරණ තර්කය මතක් උනේ දීප්ති කුමාර ගුණරත්න විසින් පමණක් ලියා පළ කරන තුන මාන වෙබ් අඩවිය තුලින්ද පැරණි 'පශ්චාත් නූතනත්වය ගැන සංවාදය' තේරුම් ගැනීමට අවශ්‍ය කරුණු අපට සපයා දී ඇති නිසාය. ගුණරත්න විසින් තුන මාන වෙබ් අඩවිය පවත්වා ගෙන යන්නේ 2004 ගුණරත්නගෙන් ඉවත්වූවන් ගැන ඔහු තුල තිබෙන වෛරය, වේදනාව, ආදරය, ඊර්ෂ්‍යාව යන මිනිස් ස්වභාවයේ ප්‍රාථමික හැඟීම් ප්‍රකාශ කිරීමට මිස එහි පළවන වෙනත් ප්‍රවෘත්ති හෝ ලිපි වලට මූලිකත්වය සඳහා නොවන බව එම අඩවිය කියවන ඕනෑම අයෙකුට වැටහෙන කරුණක් වී ඇත. 

2004 දී ගුණරත්නගෙන් ඉවත්වූවන් කාලකණ්ණින් ලෙස හඳුන්වන ගුණරත්න; එම කාලකණ්ණින් ගැන සිතීමට, ඔවුනට අපහාස කිරීමට, ලිවීමට, ඒවා සකස් කිරීමට, රැස්වීම් තැබීමට පමණක් නොව ඔත්තු බැලීමට, ඔවුනට පහර දීමට තැත් කිරීමට හා ඒවා ගැන නැවත ලිවීමට තුන මාන වෙබ් අඩවිය  තුල මොන තරම් නම් ශ්‍රමයක්, NGO වංගු ආර්ථික වලින් එදා වේල සපිරි කරගනිමින් ඔහු සහ ඔහුගේ ගෝල රැල වැය කරනවාද යන්නත්, ඔවුනගේ ඒ සඳහා වූ කැපවීමෙහි ගුණයත් ගැන  මොනවට කියාපාන්නකි. මෙය වඩාත් හොඳින් දැනෙන සාධකය වී ඇත්තේ ගෝලීය දේශපාලන ආර්ථික, සංස්කෘතික, සමාජ, ලිංගිකත්ව, සමාජ මනෝ-ලිංගිකත්ව ontological  (උන්ට-ලොජිකල්) ක්‍රමයට විග්‍රහ කරන  ගුණරත්නට මීගමුව යන හැඟවුම්කාරක‍යේ හැඟවුම මධුවන්ත  ය. කුරුණෑගල හැඟවුම්කාරක‍යේ හැඟවුම බුද්ධික ය. ගම්පහ හැඟවුම්කාරක‍යේ හැඟවුම බස්නායක ය. රත්නපුර හැඟවුම්කාරක‍යේ හැඟවුම  ප්‍රදීප් ය. ස්ත්‍රිය යන හැඟවුම්කාරක‍යේ හැඟවුම ප්‍රභා ය. අවසානයේදී අපිට මෙය මෙලෙස සාරාංශ ගත කල හැකිය : දේශපාලන යන හැඟවුම්කාරක‍යේ හැඟවුම, ම‍ගේ පරිකල්පිත සතුරන්ට මම  ගේම දෙනවා යන්න ය. 

ඔහුගේ මෙම අපූරු නිර්මාණශීලී දේශපාලනය තුළට අනිත් අයත් පැමිණිය යුතු බව ට ගුණරත්න වැඩිදුරටත් යෝජනා කරයි. එම නිසා 2004 ගුණරත්නගෙන් ‍වෙන්වූ සතුරන්ට ඉදිරි‍යේදී පහර දී  විනාශ කිරීමේ ගුණරත්නගේ මාවතට,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිය සතුරන්ට පහර දෙන තැනට ජනතා විමුක්ති පෙරමුණ ද පැමිණ තිබීම මේ අනුව ගුණරත්න ට අනුව අතිශයින් සුභවාදී දේශපාලන වර්ධනයකි. දේශපාලනය කිරීමට ඇති එකම මාවත මෙය වන නිසා අපිට මෙමගින් ලංකාවේ දේශපාලනය ගැන 'උන්ට-ලොජිකල්' නිගමන කීපයකට පැමිණිය හැකිය.

පළමුවෙන් තම සතුරන්ට, විශේෂයෙන් තමන් සමග කලක් එක පිලේ හිඳ පසුව විරුද්ධ වන පුද්ගලයන්ගෙන් වඩාත් හොඳින්ම පළි ගන්නේත්, එමගින් තමන්ගේ දෑත් වල ලේ තවරා ගැනීමට කිසි ලෙසකින් හෝ බිය නොවන්නේත් මහින්ද රාජපක්ෂ රජය වන නිසා එය ලෙනින්වාදී රජයක් බවට පත්වේ. අනුව ගුණරත්නට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ටද තමන්ගේ දෑත් වල ලේ තවරා ගනිමින් සිය සතුරන් විනාශ කරනා ආකාරය ගැන ඉගෙන ගැනීමට රාජපක්ෂ රජයෙන් පාඩම් ඉගෙන ගත හැකි අතර මෙයින් ඉහලින්ම සමත්වන පාර්ශවයට තෑගි වශයෙන් 'සුදු වෑන්' එකක් ඉල්ලා ගැනීමටද හැකි වනු ඇත.

දෙවනුව සුදර්ශන ගුණවර්ධනගේ Rights Now සංවිධානයට මානව හිමිකම් රැකීම, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සහ නීතියේ ආධිපත්‍ය බිහිකිරීම ආදී අදහස් වල කොපර්නිකානු විප්ලවයක් සිදු කිරීමට හැකි වනු ඇත. ඔහුගේ සංවිධානය සිය සතුරන් විනාශ කරන බව කියන, ඔවුන්ට ශාරීරිකව පහර දෙන බව ප්‍රසිද්ධියේ කියන, ඔවුන්ට දේශපාලනය කරන්නට ඉඩ නොදෙන බව කීම පමණක් නොව අනෙකුත් අයත් එලෙස කිරීම අගය කරනා ලොව සිටින එකම මානව හිමිකම් සංවිධානය බවට මේ වන විටත් පත්ව තිබේ. අවශ්‍යනම් සිය සතුරන් විනාශ කිරීම සඳහා 'නිදහසේ වේදිකාව' වෙනුවෙන් ව්‍යාපෘතියක් තනාපාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු වැනි අය හරහා INGO එකකින් මුදල් ගෙන 'සුදු වෑන්' රථයක් මිලට ගැනීමේ විකල්ප මාවතක්ද සොයා ගත හැකිය. 

අවසාන වශයෙන්, අපට ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ඇති ජීවිත තර්ජන නිසා යුරෝපා රටකට යෑමට සිදුවනු ඇති අතර එවිට අපගේ මානව හිමිකම් පිලිබඳ ඇති අර්ථය වෙනස් බව පැවසීමට අපට සිදු වනු ඇත. මන්ද මානව හිමිකම් වලට පක්ෂව හඬ නගන යුරෝපයෙන් funds ගන්නා  NGO බොහෝ දෙනා තම විරුද්ධවාදියාගේ මතය වෙනුවෙන් ඔවුන්ව විනාශ කිරීමේ ප්‍රඥාප්තියක නොසිටින නිසා ය. 

එතනදී අපට නැවතත් අපට ජැක්සන් ඇන්තනි වැනි රාජපක්ෂ රජයේ ප්‍රකාශකයෙක්ගෙන් උපකාර ලැබීමට හැකිවනු ඇත. වරක් රාජපක්ෂගෙන් යුද්ධයේ ජයග්‍රහණය ගැන  යුරෝපීයන් පුදුමව එය සිදුකල ආකාරය ඇසු විට,‍ එය  තමයි අපේ විධිය, (NGO සංඛ්‍යා ලේඛන වලට අනුව සිවිල් වැසියන්40,000 අතුරුදහන් කර) ලෙස ඔහු පිලිතුරු දුන් බව ජැක්සන් ඇන්තනි රූපවාහිනී වැඩ සටහනකදි  මහත් අභිමානයෙන් යුක්තව  පැවසී ය. විදියටම ලංකාවේ මානව හිමිකම් රකිනවා කියන්නේ මෙය බව අපිට ජැක්සන් ඇන්තනි ක්‍රමයට පැවසිය හැකිය. නමුත් මෙය ප්‍රශ්නයක් නොවන්නේ ගුණරත්නගේ උන්ට-ලොජිකල් දර්ශනයට අනුව මෙය ලෙනින්වාදී දේශපාලනය වන නිසාය.

කල්‍යානන්ද පෙරේරා 

3 comments:

  1. මට වැටහෙන අන්දමට අප මුහුණදෙමින් සිටින අනෙක විධ ගැටළු වලට හේතු කාරක වන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයයි (මා වැරදිනම් නිවැරදි කරන්න). වෙනස් සමාජයක් සදහා කරන උත්සහයකදී අප මිනිසුන්ට මෙම මුලික දේශපාලනික දැනුම සන්නිවේදනය කලයුතු නොවන්නේද? මෙයට ඉහල විභවතාවයක් ඇති ඔබවැනි මිනිසුන් ප්‍රමුකත්වය ගතයුතු නැද්ද? තත්වය එසේ වුවත් ඔබකරමින් සිටින්නේ වාමාංශික කල්ලින් අතර ගහමරා ගැනුමට ඔබේ කාලය මිඩංගු කිරීම නොවන්නේද? දේශපාලනිකව දැනුවත් වූ මිනිසුන් සීග්‍රයෙන් වදවෙමින් තිබේ. සිංහල බ්ලොග් අවකාශය අපසමජයේ පිළිබිබුවක් ලෙස ගතහොත් ( එසේ ගත හැකිද, හැකිනම්) එය කොතරම් අදේශපාලනික දැයි ඔබට වැටහෙනු ඇත.ඔබ වැනි මිනිසුන්ට වඩා හොද ලෝකයක් තැනුමට බොහෝදේ කලහැක.සමාජවාදී සමාජයකට මිනිසුන් පොළබවන සාරවත් ලිපි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. සමහර වේලාවට වාමාංශිකයන් ලෙස පෙනීසිටිමින් වෙනවැඩ කරන අය ඉන්නවා.ඒවා හෙළිදරව් කිරීමත් වාමාංශික වැඩක් නොවෙයිද?

      Delete