Sunday, February 10, 2013

පර්දාව, විමුක්තිකාමී දේශපාලනය සහ...

'බොදු බල සේනා' සංවිධානය විසින් සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ කිසියම් ආකාරයක දෙපළු වීමක් සලකුණු කර ඇති බව පෙනේ. එහි නිල නායකයන්ට අනුව ඉහත සංවිධානය විසින් මූලිකව ප්‍රති-ජීවක දී පණ ගන්වන ලද සිංහල සමාජයේ ඇති මුස්ලිම් විරෝධී වර්ගවාදය, ගැටුමක් දක්වා වර්ධනය වීම මේ මොහෙතේ සේවය කරන්නේ සිංහල-බෞද්ධයන්ගේ ප්‍රධාන සතුරාටය. මෙම සන්දර්භය තුල, විමුක්තිකාමී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන් වාර්ගික දේශපාලනය හමුවේ ගත යුතු ක්‍රියා මාර්ගය පිළිබඳව ඉහල සංකල්පීය ගුණයෙන් යුතු සාකච්චාවක් ඇති කිරීම ප්‍රයෝජනවත් වේය කියා සිතමු. මෙයට ආරම්භයක් ලෙස ප්‍රංශයේ මුස්ලිම් කාන්තාවන්ට හිජාබ් පැළඳීම තහනම් කිරීම සම්බන්ධයෙන් බදියු විසින් රචනා කරන ලද ප්‍රශස්ත රචනාවක් සිංහලට නගන්නට අපි තීරණය කළෙමු. තරමක් දීර්ඝ එම රචනය කොටස් කීපයකින් පල කිරීමට අදහස් කලමු. 

මෙය සන්දර්භ ගත කිරීම සඳහා අපට තල තුනක කරුණු තුනක් කියන්න ඉඩ දෙන්න. 
 
 

1. වසර ගණනක් තිස්සේ මෙරට සිංහල වර්ගෝත්තමවාදීන් විසින් සුරුවම් කරන ලද ජාත්‍යන්තර නිදර්ශනයක් වන්නේ ප්‍රංශය තුල මුස්ලිම් කාන්තාවන් හට සිය හිජාබ් පැළඳීම තහනම් කිරීමය. ඔවුන්ට අනුව එමගින් සිද්ධ වන්නේ එරට ක්‍රියාත්මක වන ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රධාන බව තහවුරු වීමයි. මේ ඉරිදා 'දිවයින' පුවත්පතේ චතුර පමුණුව මහතා නිවැරදිව සටහන් කර ඇති පරිදි යුරෝපයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින ප්‍රංශයේ හිජාබ් තහනම් වන අතර ලංකාවේ මුස්ලිම් කාන්තාවන් හට හිජාබ් තහනම් කෙරී නොමැත. මෙහි හැඟවුම පැහැදිලිය : අපද වහ වහා ප්‍රංශයේ ආදර්ශය අනුගමනය කල යුතුය. 

2. මෙයට වසර හයකට ආසන්න කාලයකට පෙර නලින් ද සිල්වා මහතා ප්‍රසිද්ධ විවාදයකදී පැවසුවේ ප්‍රංශයේ මෙය තහනම් කිරීමට එරෙහිව මෙරට සිටිනා "එක කණ්ඩායමක්" හෝ යුරෝපයේ සිටිනා "ඔවුන්ගේ හාම්පුතාලා" හෝ කතා නොකරන බවයි. සිල්වා මහතාට අනුව එයට හේතුව වූයේ ඔවුන් සියලු දෙනාම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ "සුනඛයන්" වීමයි.

3. මෙවැනි අභියෝගයන් හමුවේ ලාංකික වාමාංශිකයන්ට පිළිතුරු දීමට නොහැකි විය. මක්නිසාද යත්, ඔවුන් සාතිශය බහුතරයකගේ විචාර අක්ෂය වන්නේ 'මානව හිමිකම්', 'නීතියේ ආධිපත්‍යය' වැනි ලිබරල් සංකල්පයි. එම නිසා ඔවුන් බොහෝ දෙනෙකු සිතන්නේ ප්‍රංශය යනු මෙරට මෙන් 'පසුගාමී', 'අශිෂ්ඨ' සමාජයක් නොව 'දියුණු සංස්කෘතියක්', 'උණුසුම් මිනිස් සම්බන්ධතා' තිබෙන සමාජයක් බවයි.        

බදියු ගේ ලිපිය කියවා, මේ අනුව, මෙම තල තුනක ආස්ථානයන් ගැටළුකාරී කිරීමට හැකි වෙයි. මෙමගින් 'හම්බයන්ට/තම්බීන්ට' දෙන්නට ඉන්න වීර සිංහලයන් බහුල සමාජයක, විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කිරීම පිළිබඳව ආලෝකයක් හිමි වනු ඇත.  


ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය (1 කොටස)

ඇලේන් බදියු 

1. සොඳුරු ජනරජවාදීන් කීප දෙනෙකු එක්තරා දිනයකදී තීරණය කළා ගැහැණු ළමයින් සිය හිසකෙස් වලට ඉහලින් හිස්-පළඳනාවක් දැමීම තහනම් කරනා නීතියක් අවශ්‍ය බවට තර්ක කරන්න. පළමුවෙන්, එය පාසලෙන් තහනම් කරන්න. ඊළඟට වෙනත් තැන්වල. පුලුවන්නම්, සෑම තැනකම. ඔබට ඇසුනාද මම නීතියක් කියල කියනවා? නීතියක්! ජනරජයේ ජනාධිපති කියන්නේ ඔහුව ගිලා දැමිය නොහැක්කේ කොපමණද, එතරම්ම ම සීමිත වන්නා වූ දේශපාලනඥයෙකි. ඉහත සොඳුරු ජනරජවාදීන් අපට සොයා ගත හැකි, සියලුම සමාජවාදීන් ගේද ඇතුළු 82 % චන්දයකින් සර්වාධිකාරී ලෙස තේරී පත්වුණු මොහු, සෙමින් හිස සැලුවා : නීතියක්, ඔව්, තමන්ගේ හිසකෙස් වලට ඉහලින් ප්‍රශ්නකාරී හිස්පලඳනාවක් දමන ගැහැණු ළමයින් දාහකට දෙදාහකට එරෙහිව නීතියක්. මේ අපිරිසිදු, හඩු එවුං! ඒ මදිවට උන් මුස්ලිම්! ඔන්න ඔහොම තමයි, සෙඩාන් (Sedan) වල යටත් වීම, පේටෙන්, ඇල්ජීරියානු යුද්ධය, මිතරොන් ගේ හොර ගිවිසුම්, වීසා නොමැති කම්කරුවන්ට එරෙහි ම්ලේච්ඡ නීති ආදියට පස්සේ ප්‍රංශය විසින් ලෝකයම පුදුමයට පත්කරනු ලැබුවේ. ශෝකාන්තය ට පසුව, විකට නළුව. 

2. ඔව්, අන්තිමටම ප්‍රංශය විසින් හොයාගෙන තියෙනවා තමන්ගේ මට්ටමට ගැලපෙන ප්‍රශ්නයක් : ගැහැණු ළමුන් කිහිප දෙනෙකුගේ හිස් මත ඇති හිස්-පළඳනා තහනම් කිරීම. කෙනෙකුට කියන්න පුළුවන් මේ රටේ විනාශය දැන් පරිපූර්ණ වෙලා කියලා. බොහෝ කලකට පෙර ල පෙන් විසින් හඳුනා ගත් සහ කිසි ලෙසකින්වත් සැක කල නොහැකි බුද්ධිමතුන් කීප දෙනෙක් විසින් අද වන විට තහවුරු කරනු ලැබූ, මුස්ලිම් ආක්‍රමණයට නියම පිළිතුර දැන් ලැබී තිබේ. පොයිටියර්ස් වල යුද්ධය (the battle of Poitiers) ළදරු ක්‍රීඩාවක්, චාල්ස් මාටේ (Charles Martel) නිකන් කුලියට ගත්ත තුවක්කුවක්. චිරාක්, සමාජවාදීන්, ස්ත්‍රීවාදීන්, සහ ඉස්ලාම් භීතියෙන් පෙලෙන ප්‍රබුද්ධත්වයේ බුද්ධිමතුන් විසින් හිස්-පළඳනා වේ යුද්ධය දිනනු ඇත. පොයිටියර්ස් වල සිට හිස්-පළඳනාව දක්වා : තාර්කිකත්වය උපරිමයි සහ ප්‍රගතිය අති මහත්.   
 
3. ශ්‍රේෂ්ඨ අරගල වලට අලුත් වර්ගයේ තර්ක අවශ්‍ය වෙනවා. නිදර්ශනයක් ලෙස, මෙන්න මේ වගේ : හිස්-පළඳනාව යනු ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහි (පියාගේ, වැඩිමහල් සොහොයුරාගේ) පුරුෂ බලයේ සංඛේතයක් වන නිසා එය තහනම් කල යුතුය. ඒ නිසා හිතුවක්කාරී විදියට එය දිගින් දිගටම පළඳින ගැහැණු ළමයින් අපි පිටුවහල් කරමු. කෙටියෙන් කියනවානම් : මේ ගැහැණු ළමුන් සහ කාන්තාවන් මර්ධනය වී සිටී, ඒ නිසා අපි ඔවුන්ට දඬුවම් දෙන්නෙමු. ඒක ටිකක් සමානයි මෙහෙම කියනවට : "මේ ගැහැණිය ලිංගික අපයෝජනයට ලක්වී තිබේ, ඇයව හිරේ දමන්න'. හිස්-පළඳනා පිලිබඳ ප්‍රශ්නය කොතරම් වැදගත් ද කියන්නේනම් එයට ලැබිය යුතුයි අලුත් කරන ලද ප්‍රත්‍යක්ෂ (axioms) වලින් යුත් තර්ක-ශාස්ත්‍රීය පද්ධතියක්.

4. එහෙම නැත්නම්, අනික් අතට, මෙන්න මේ තර්කය : මේ කාලකන්නි හිස්-පළඳනාව සිය කැමැත්තෙන්ම දමන්නේ මේ ගැහැනුන් විසින්මයි - කැරලිකාරයෝ, අකීකරු ළමයි! ඒ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න ඕන. මොහොතක් ඉන්න : ඇත්තටම මේක පුරුෂ බලයේ සංඛේතයක් නොවෙයිද? මේ මුළු කතාවේම තාත්තාට හරි වැඩිමහල් සහෝදරයාට හරි භූමිකාවක් නැතිද? එහෙනං, මේ හිස්-පළඳනාව තහනම් කිරීමේ අවශ්‍යතාවය එන්නේ කොහෙන්ද? ඒ තමයි මේක එළිපිටම ආගමික වීම කියන කාරණය. මේ යක්කු හැඟීම් ඇවිස්සෙන විදියට ඔවුන්ගේ විශ්වාසයන් ප්‍රදර්ශනය කරනවා. ගිහින් දණ ගහනවා පංතියේ ඉස්සරහා!
 
5. කොහොමහරි, එක්කෝ ඒ තාත්තා සහ වැඩිමහල් සහෝදරයා වන නිසා එය 'ස්ත්‍රීවාදී' ලෙස හිස්-පළඳනාව ඉරා දැමිය යුතු වෙයි. නැතිනම්, ඒ ගැහැණු ළමයා තමන්ගේ විශ්වාසයන් මත එල්බගෙන ඉන්න නිසා එය 'ලෞකික' විදියට එය ඉරා දැමිය යුතුය. හොඳ හිස්-පළඳනාව කියා දෙයක් නොමැත. නිරුවත් ඔළු ගෙඩි! සෑම තැනම! ඒ කාලේ කියපු විදියට කියනවානම් - මුස්ලිම් නොවන අයත් එහෙම කිව්වා - සියලුම දෙනාටම නිරාවරණය වූ හිසින් එලියට යන්න දෙන්න.

6. අද දවසේ ජනරජය : තොප්පි වලට භංග වේවා!

7. විශේෂයෙන් මතක තියා ගන්න ඕන කරුණක් තමයි හිස්-පළඳනා දමන ගැහැණු ළමයාගේ තාත්තා සහ අයියා කියන්නේ නිකන්ම දෙමව්පියන් නෙමෙයි. බොහෝ තැන් වලින් ඉඟි කරපු, සහ සමහරවිට විවෘතව ප්‍රකාශ කරපු, දෙයක් තමයි තාත්තා කියන්නේ තිරිසන් කම්කරුවෙක්, ඈත ගමක ඉඳල රෙනෝ (Renault's) කර්මාන්ත ශාලාවට සින්න වෙච්ච දුප්පත් කාලකන්නියෙක්. වැඩවසම් කුහකයෙක්. ඒ වගේම මෝඩයෙක්. අයියා කියන්නේ ගංජා විකුණන කෙනෙක්. මිනිහා නූතනයි, හැබැයි දූෂිතයි. අපරාධ බහුල පැත්තක්. භයානක සමාජ පන්ති.
 
 
8. මුස්ලිම් ආගම අනෙක් ආගම් වල ඇති අඩුපාඩුකම් වලට මෙම අතිශයින් බැරෑරුම් කරුණ එකතු කරනවා : ප්‍රංශය තුල එය දුප්පතාගේ ආගමයි.

9. මේ කෝණයෙන් බැලූ විට හිස්-පළඳනාව යනු : දුප්පත් දෙවියෙකුගේ දෑස් ඉදිරිපිට දුප්පතා විසින් දුප්පතාව මර්ධනය කිරීමයි. "පිළිකුල්සහගතයි" තමන්ගේ නිම නොවන ධනය දිගු කල් පවත්වා ගැනීම හැර වෙන කිසිවක් අපේක්ෂා නොකරන, සුළු-ධනපතියා කෑ ගසනවා. 

10. තමන්ව එලෙසින් හඳුනා ගන්නට නියමිත පුද්ගලයෙක් සමග මම මෙයට වසර කීපයකට පෙර හිස්-පළඳනාව පිලිබඳ ප්‍රශ්නය ගැන වාද කරන විට මට මෙහෙම චෝදනා කළා: 'ඒ කියන්නේ ඔබට හිස කෙස් ලිංගික සංඛේතයක් ලෙස තිබෙන්න ඕන නිසා ඔබ කියනවා එය සඟවා තැබිය යුතුයි කියා?' මට පුද්ගලිකව කිසි දෙයක් අවශ්‍ය නොවේ. නමුත් අවසන් වශයෙන් මතක තියා ගන්න බොඩ්ලේ (Baudelaire) මේ පද වැල :

ඒ ලෝම! දෙවුර වසා දඟර ගැසෙනා තරංග! කෙස්!
කීරි ගැසෙනා හිස්බවේ සුවඳවිලවුන් වල සුවඳෙන් මත්වී!
කුමන සුවයක්ද! එය සොලවන්න, හිස්-පළඳනය - හරියට - අතන, මෙතන;
නිදා උන් මතකයන් අවධි කර, හිස කෙස් මතින් ඒවා පා කරන්න,
පුරවමින්, මේ රාත්‍රිය, අපේ කෙටි නිවහනේ කළුවර වන අඳුර.
යක්ෂයා! ෆැන්ටැස්මතික මුසල්මානුවෙක්! 

O fleece! Curls rippling round the shoulders! Hair!
Thick with the scent of langourous perfume!
What bliss! To shake it, kerchief - like - here, there;
Wake sleeping memories, waft them through the hair,
Filling, this night, our alcove's darkling gloom.
Devil! A fantasmatic Muslim!

11. මට මතකයි අතීතයේදී, සිය හිසකෙස් ලිහා දමමින් (අහෝ! මුදු ලෙස ඇයගේ දෙවුර මත එය සෙමින් වැටෙන විට!) ගැහැණිය තමන්ගේ ඇති ප්‍රේමනීය එකඟ බව පෙන්වන යුගයක්. එය ලෞකිකවාදයට අභියෝගයක් වුනාද? ස්ත්‍රීත්වය සිර කර දැමීමක් උනාද? සමහරවිට, සමහරවිට...

(ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.)
 

No comments:

Post a Comment