Tuesday, January 8, 2013

පරමාධිපත්‍යයේ තර්කණය කියන්නේ කුමක්ද?


සාමාන්‍යයෙන් මෙම බ්ලොග් අඩවිය තුල අප උත්සාහ කරන්නේ රාජ්‍යයේ කාලක්‍රමිකත්වය ට එරෙහි විකල්ප කාලයක් ගොඩ නැගීමට යි. සරල නිදර්ශනයක් තුලින් අපිට මෙය පැහැදිලි කල හැකිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රධාන මූලෝපායක් වන්නේ මැතිවරණ වර්ෂාවක් නිරන්තරයෙන් ලබා දීමයි. එවිට, නිදර්ශනයක් ලෙසජනතා විමුක්ති පෙරමුණට සිදු වන්නේ මුළු සංවිධාන ශක්තියම යොදා මැතිවරණ ව්‍යාපාර කර, අවසානයේදී පරාජය වීමටයි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කාල සටහන සකස් වන්නේ රාජ්‍ය විසින් දෙන ලද කාලක්‍රමිකත්වය තුළයි. එම නිසා ඔවුන්ගේ දේශපාලනය අවසාන විග්‍රහයේදී පදනම් වන්නේ රාජ්‍ය විසින් ගන්නා ක්‍රියා වලට ප්‍රතික්‍රියා කිරීමයි. 


මෙයට වෙනස්ව අප උත්සාහ කරන්නේ වෙනත් අදහසක් වෙනුවෙන් සමාජය සංවිධානය කිරීමටයි. එම නිසා අපිට මාධ්‍ය වල පල වන දෛනික 'දේශපාලනික' කාරණා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට 'සමපේක්ෂී යථාර්ථවාදය' යන දාර්ශනික ව්‍යාපාරය පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ලාංකික තරුණ පරම්පරාව තුල සමාජගත කිරීම අපට අනුව වඩාත් දේශපාලනික ය. ඉදිරිගාමී ය. අනාගත කොමියුනිස්ට් දේශපාලනයක් වෙනුවෙන් කරන දෘෂ්ඨිවාදී අරගලයක් වෙනුවෙන් පෙනී ඉන්නා අප හට ඒ සඳහා මෙම සමකාලීන දාර්ශනික ව්‍යාපාරය තල කිහිපයකින් ප්‍රයෝජනවත් වෙයි. මෙම ව්‍යාපාරයේ තිබෙන්නේ ආගමට එරෙහිව විද්‍යාව වෙනුවෙන් දාර්ශනිකව පෙනී සිටීම පිලිබඳ ප්‍රයත්නයකි. මාක්ස්වාදයේ ආරම්භය තුලදීම මෙය කොතරම් වැදගත් වී ද යන්න වටහා ගැනීමට අවශ්‍යනම් කෙනෙකුට ෆොයබාක් තිසීස නැවත කියවා බැලිය හැකිය. 

නමුත් දේශපාලනය තුල රඟ දැක්වෙන ජවනිකා සම්බන්ධයෙන් සමහර විට මැදිහත්වීමක් කරන්නට කෙනෙකුට සිදු වෙයි. මේ දිනවල ලංකාවේ ජනප්‍රියම දේශපාලන ප්‍රවෘත්තිය වන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වය එවැන්නකි. මෙම ඇති වී ඇති වියවුල්කාරී වටපිටාව අපගේ මිතුරන් බොහෝ දෙනෙකු සාධනීය දේශපාලන හැරවුමකට ඇති වියහැකිභාවයක් ලෙස සහ / හෝ කිසියම් මැදිහත්වීමක් කිරීමට සුදුසු මොහොතක් ලෙස හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අපගේ පූර්ණ එකඟතාවයක් නැති වුවද දේශපාලනයේදී අනෙකාට ඉඩ දීම වැදගත් මූලධර්මයකි. අප සම්බන්ධ නොමැති ව්‍යාපාරයන් වල අභ්‍යන්තර ගතිකත්වයන් සම්බන්ධයෙන් අපිට නිශ්චිතව යමක් පැවසිය නොහැක. අපට කල හැක්කේ අපගෙන් පරිබාහිර සංවිධාන සම්බන්ධයෙන්, එහි විභවයන් සහ සීමාකම් ගැන තක්සේරුවක් කිරීම පමණි. නමුත් අගවිනිසුරු පිලිබඳ ඇති වී ඇති වියවුල්කාරී තත්වය වෙනුවෙන් අනෙකුත් වැඩ නවතා දමා මැදිහත් විය යුතුයැයි කියා සිතන අප මිතුරන් වෙනුවෙන් අපද යමක් කල යුතුය කියා සිතුවෙමු. 

මෙම වාතාවරණය පිළිබඳව ලංකාවේ මේ වන විට කෙරෙන සාකච්ඡා සංකල්පීයව ඉතාමත් දුර්වල බව සමකාලීන දර්ශනය පිලිබඳ අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට ඉක්මනින් වැටහෙන දෙයකි. එම නිසා මේ සංවාදයට රාජ්‍යය සහ පරමාධිපත්‍යය පිළිබඳව සමකාලීන ගෝලීය සංවාදයේ වැදගත්ම චින්තකයා වන ජෝර්ජියෝ අගම්බෙන් (Giorgio Agamben) කැඳවාගෙන ඒමට අපි අදහස් කරමු. ඔහුගේ අදහස අනුව පසුගිය සියවසේ විප්ලවයන් මුහුදුබත් කළ අයිස් පර්වතය වන්නේ රාජ්‍ය පරමාධිපත්‍යය පිලිබඳ ගැටලුවයි. 'පරමාධිපත්‍යය' ඇත්තේ අධිකරණයටද නැතිනම් පාර්ලිමේන්තුවට ද කියා කෙස් පලා ගන්නා අයට 'පරමාධිපත්‍යයේ තර්කණය' පිලිබඳ අගම්බෙන් ගේ සූත්‍රගතකිරීම බොහෝ වැදගත් වනු ඇත. 

පහතින් පල වන්නේ අගම්බෙන් ගේ ප්‍රධානම කෘතිය වන "Homo Sacer - Sovereign Power and Bare Life" කෘතියේ උපුටාගැනීම ක සිංහල පරිවර්තනයයි. අගම්බෙන් කියවීමට තරමක් අපහසු ලියන්නෙකි. එම නිසා මෙය සමහර විට කීප වරක් හිමින් සීරුවේ කියවන ලෙස යෝජනා කරමු. මේ පිළිබඳව තරමක් සරල පැහැදිළි කිරීමක් මින් පසුව ඉදිරිපත් කරමු. මෙහිදී කේන්ද්‍රීය යෙදුම වන 'state of exception' යන්නෙහි state යන පදයෙන් 'රාජ්‍යය' මෙන්ම 'තත්වය' යන්නද හැඟවෙන නිසා එය තාවකාලිකව 'ව්‍යතිරේකයේ තත්වය/රාජ්‍යය' ලෙස පරිවර්තනය කළෙමු. මහ පාරට බැසීමට ඉක්මන් වන මිතුරන් අගම්බෙන් කියවීම ඔවුන්ටත් අපටත් යහපත් වේය කියා අපි සිතමු.       



"'අවුලක් වෙනුවෙන් යෙදිය හැකි නියාමයක් (rule) නොමැති' නිසා පළමුවෙන් කල යුත්තේ පිටත සහ ඇතුලත අතර නැතිනම් අවුල සහ සාමාන්‍ය තත්වය අතර බෙදුම් රේඛාවන් මැකී යන කලාපයක් - ව්‍යාතිරේකයේ තත්වයක්/රාජ්‍යයක් (state of exception) - නිර්මාණය කිරීම මගින් අවුල නීතිවේදී (juridical) පිළිවෙල තුලට ඇතුලත් කිරීමයි. කිසියම් නියාමයක් විසින් යමක් වෙත විමර්ශකයක් යෙදීමට නම් සම්බඳතාවයෙන් පරිබාහිරව තිබෙන (නිර්සම්බඳතාවකත්වය - the nonrelational) දෙයත් සමග සම්බන්ඳතාවක් පැවැත්වීම ද එය පූර්වකල්පනය කිරීමද අනිවාර්ය වෙයි. ව්‍යතිරේකයේ  සම්බන්ධතාවය මගින් සරලව පෙන්වන්නේ නීතිවේදී සම්බන්ධතාවයේ ප්‍රාරම්භක රූපික ආකෘතියයි. මෙම අරුතින්, ව්‍යතිරේකය පිලිබඳ පරමාධිපත්‍යයේ තීරණය යනු නීතිවේදී පිළිවෙල තුලට ඇතුලත් කරන්නේ කුමක්ද සහ බහිශ්කරණය කරන්නේ කුමක්ද යන්නට අර්ථය ලැබෙනා ප්‍රාරම්භක නීතිවේදී-දේශපාලනික ව්‍යුහයයි. එහි මූලාකෘතික (archetypal) ස්වරූපයෙන්, ඒ අනුව, ව්‍යාතිරේකයේ තත්වය/රාජ්‍යය යනු සෑම නීතිවේදී ප්‍රාදේශීයකරණයකම (juridical localization) මූලධර්මයයි. මන්ද, කිසියම් නීතිවේදී පිළිවෙලක සහ කිසියම් නිශ්චිත ප්‍රදේශයක නිර්ණය කිරීම පළමු වරට හැකි වන අවකාශය විවර වන්නේ ව්‍යතිරේකයේ තත්වයක්/රාජ්‍යයක් තුලදී පමණි. එම නිසා, ව්‍යතිරේකයේ තත්වය/රාජ්‍යය යන්න (එයට කලින් කලට නිශ්චිත අවකාශීය-කාලක්‍රමික සීමාවන් [spatiotemporal limits] ලබා දිය හැකි වුවත්) සාරාත්මක ලෙස නිර්ප්‍රදේෂකාරී (unlocalizable)වෙයි.

එම නිසා 'ලෝකයේ නීතීන්' ('nomos of the earth') බිහිවීමේ දී මූලික වන ප්‍රාදේශීයකරණය (localization) සහ පිළිවෙල-සැකසුම (ordering) අතර සම්බන්ධය ෂ්මිට් (Schmitt) යෝජනා කරනවාට වඩා බොහෝ සංකීර්ණ වන අතර එහි කේන්ද්‍රය තුල මූලධාර්මික අතීරණාත්මක බවක්නිර්ප්‍රදේෂකාරී වෙන්කර-හඳුනාගතනොහැකි-බවේ කලාපයක් නැතිනම් අවසාන විග්‍රහයේදී එහි අනන්ත විසන්ධි වීමේ මූලධර්මයක් ලෙස එයටම එරෙහිව ක්‍රියා කරන ව්‍යතිරේකයක් තිබේ. මෙම කෘතියේ එක තිසීසයක් වන්නේ අපගේ යුගය තුලදී ව්‍යතිරේකයේ තත්වය/රාජ්‍යය මූලධාර්මික දේශපාලන ව්‍යුහය ලෙස වැඩි වැඩියෙන් පෙරට එන බව සහ එය පොදු නියාමය වන බවය. අපගේ යුගය විසින් නිර්ප්‍රදේෂකාරීත්වයට (the unlocalizable) ස්ථිර සහ දෘශ්‍යමාන ප්‍රදේශකරණයක් (localization) ලබා දීමට උත්සාහ කල විට එහි ප්‍රතිපලය වූයේ නට්සි සිර කඳවුරයි (concentration camp). නීතියේ (nomos) ප්‍රාරම්භක ව්‍යුහයට සහසම්බන්ධිත අවකාශය වන්නේ සිර ගෙය නොව කඳවුරයි. වෙනත් දේ අතරින් මෙය පෙනී යන එක් අවස්ථාවක් වන්නේ සිරගෙයෙහි නීතිය අයත් වන්නේ දණ්ඩ නීතියේ එක්තරා කලාපයකට වුවත් කඳවුර මෙහෙයවන නීතිවේදී පද්ධතිය වන්නේ (ඉදිරියේදී පැහැදිලි වන පරිදි) හමුදා නීතිය සහ යටත් කර ගැනීමේ තත්වයයි/රාජ්‍යයයි (state of siege). මෙම නිසා තමයි Madness and Civilization වල සිට Discipline and Punish  දක්වා කෘතීන් වලදී ෆූකෝ විසින් විවර කරන ලද මාවත තුල කඳවුර පිලිබඳ කරන විශ්ලේෂණය පිහිටුවිය නොහැකි වන්නේ. ව්‍යතිරේකයේ තත්වයේ/රාජ්‍යයේ පරම වූ අවකාශය ලෙස කඳවුර යන්න සරල සිරකර තැබීමේ අවකාශයෙන් ස්ථලවිද්‍යාත්මක ලෙස වෙනස් වෙයි. ප්‍රාදේශීයකරණය සහ පිළිවෙල-සැකසුම අතර සම්බන්ධය නිශ්චිතව බිඳී ගිය මෙම ව්‍යතිරේකයේ අවකාශය තමයි පැරණි "ලෝකයේ නීතීන්" වල අර්බුධය නිර්ණය කර තිබෙන්නේ."

Agamben, Homo Sacer - Sovereign Power and Bare Life, Stanford uni press, California, 1998, pp 19-20.
         

2 comments:

  1. //මෙයට වෙනස්ව අප උත්සාහ කරන්නේ වෙනත් අදහසක් වෙනුවෙන් සමාජය සංවිධානය කිරීමටයි//

    යමක් සමාජගත කරන්න කලින් සමාජය අඳුනගන්න. අද ලාංකීය සමාජය කියන්නේ බරපතල දර්ශනවාදී අදහස් හුවමාරුවන තැනක් ද? ඔබට අවශ්‍ය මෙවැනි සංවාද තේරුම්ගත හැකි ඉතා සුළු පිරිසක් සමග ගමනක් යාම නම්, එසේ කිරීමට බධා නැත. එසේ නොමැතිව මේ බ්ලොගය කියවන මා හටද ආමන්ත්‍රණය කිරීම ඔබගේ උත්සාහය නම්, මීට වඩා බොහොම පහලින් පටන් ගත යුතුය. මගේ නොදැනීම ගැන කණගාටුවන අතරම, මා නොදන්නා බව ඔබ නොදැන සිටීම ගැන වඩාත් කණගාටු වෙමි. මන්ද වෙනස්කම් තිබුනද අපගේ ගමනාන්තය එකම බැව් පෙනෙන නිසාවෙනි.

    ReplyDelete
    Replies
    1. තිසර, අපි මෙම කෙටි ලිපියේ පළමුවෙන් සඳහන් කර ඇති පරිදි, මෙම ලිපිය හදිසියේ සම්පාදනය කරන ලද්දක්. අපගේ දේශපාලනයේ එක්ව ගමන් ගන්නා බොහෝ දෙනෙක් මෙම දෝෂාභියෝගය හා බැඳුනු ක්‍රියාදාමය හඳුනාගෙන තිබෙන්නේ ඉමහත් වියවුල්කාරී අර්බුධයක් සහ සුභවාදී දේශපාලන වෙනසකට ඇති විවරයක් විදියට. පසු ගිය සතියේ 'රාවය' පුවත්පතේ අප මිත්‍රයන් යොදා තිබූ 'රට අවුලක' කියන එක, අපි හිතන්නේ, මේක සඳහා කදිම ප්‍රකාශනයක්. අපි හිතන්නේ මේක ඉතාම පරිස්සමින් තීරණ ගත යුතු මොහොතක් බවයි. නිදර්ශනයක් ලෙස නලින් ද සිල්වා මහතා ප්‍රමුඛ අර්ථකථනකරුවන් මෙය හඳුන්වන්නේ (විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හරහා) 'අරාබි වසන්තය' ගෙන ආ අයම (නීතිඥයන් සහ විනිසුරුවරුන් හරහා) 'පකිස්තාන වසන්තයක්' ගෙන ඒමට කරන උත්සාහයක් විදියට. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සහ මෙම දෝශාභියෝග-විරෝධී උද්ඝෝෂණ අතර තිබෙන්නේ එකිනෙකින් වෙනස් ප්‍රවර්ග දෙකක සටන් දෙකක්. පලවෙනි එක අධ්‍යාපනය පිලිබඳ 'අදහසක්' (අධ්‍යාපනය යනු ශිෂ්ඨාචාරයේ පදනමයි) වෙනුවෙන් සහ එයට විකල්ප ධනේශ්වර මෙහෙයුමට එරෙහි අරගලයක්. දෙවෙනි එක රාජ්‍ය තුල ඇති බල අරගලයක් වෙනුවෙන් 'මතයක්' (අධිකරණයේ ස්වාධීනත්වය) වෙනුවෙන් කරන අරගලයක්. මේ වෙනස සලකුණු කිරීමට අපිට රාජ්‍ය සහ ස්වාධිපත්‍යය පිළිබඳව සංකීර්ණවම සාකච්චා කරන සමකාලීන දාර්ශනිකයා වන අගම්බෙන් ගෙන ඒමට අවශ්‍ය උනා. මෙය කලින් සැලසුම් කල දෙයක් නොවෙයි. අනෙක් අතට මේ සාකච්චාව සමාජයේ බොහෝ පිරිසක් අතරට ගෙන යාමට අපි මහන්සි වන්නේ ද නැත. අපිට අවශ්‍ය වන්නේ 'උද්ඝෝෂණයේ උද්වේගකාරිත්වයෙන්' දෑස් නිලංකාර වී ඇති අපේ මිතුරන්ට රාජ්‍ය සහ පරමාධිපත්‍යය පිලිබඳ දියුණු සංකල්පීය අවබෝධයක් ලබා දීමට. අපිට හිතෙනවා වියවුල්කාරී තත්වය තුල නිවැරදි තීරණ ගැනීමට එය අතිශයින් වැදගත් වනු ඇති කියා. කෙසේ උවත් මේ පිළිබඳව තරමක පහසු පැහැදිලි කිරීමක් අපි නුදුරු දිනයකදී කරනවා. එයත් කියවා බලන ලෙස මිත්‍රත්වයෙන් ඉල්ලනවා. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete