Tuesday, January 15, 2013

"රාවය" වෙනුවෙන්

අප මෙයට වසර එකහමාරකට පමණ පෙර "සාකෝසි යනු කුමක්ද?" කියා පොතක් පරිවර්තනය කළෙමු. පොතේ රචකයා ඇලේන් බදියු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාය. එම පොත ඔහු විසින් ලියන ලද්දේ නිකලස් සාකෝසි ප්‍රංශයේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇති වූ විශාදිය සහ බෙලහීනත්වය තුල අප කටයුතු කල යුත්තේ කෙසේද කියාය. බදියුගේ ම වචන වලින් කියන්නේනම් "ඔබ කිසිසේත් අකමැති, අවාසනාවන්ත දෙයක් සිදු වී ඇතැයි යන ඔබව අපහසුතාවයට පත් කරන හැඟීම විශ්ලේෂණය" කිරීමටය. 

මෙවන් වටපිටාවක අපට කල හැක්කේ කුමක්ද කියා බදියු එහිදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි. නමුත් 'රාවය' පුවත් පත ඇතුළු අප මිතුරන් කිසිවෙකුත් එම පොත කියවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් නැවත නැවතත් විශාදියට පත්වීමත්, බෙලහීන බව පිලිබඳ කනගාටුවීමටත් තෝරාගෙන තිබේ. අවසානයේදී ඔවුන් 'ජාත්‍යන්තර ප්‍රජාව' සහ 'ජනතාව' විසින් මෙම මහපොළොව නුඋසලන අපරාධ පිළිබඳව මැදිහත් නොවන්නේ ඇයිද කියා කණගාටු වෙයි. තමන් ගේ උපක්‍රමික තීරණ පදනම් වන සංකල්පීය පදනම දිරාපත් වූ එකක් බව ඔවුන් පිළිගැනීමට සූදානම් නොවේ. ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලෙස කොටස් තුනකට බෙදා ඇති බවත්, එමගින් සංවරණ සහ තුලන ක්‍රමයක් ලෙස, එම බලයේ අනපේක්ෂිත අතිරික්තයන් පාලනය වන බවත් ඔවුන් ආගමක් සේ විශ්වාස කරයි. ලංකාවේ මෙය මහා දවල්, අමු අමුවේ උල්ලංඝනය උවත් ඉන්දියාව, එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල එය සාපේක්ෂ වශයෙන් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව ඔවුන් අදහයි. 

ජෝජියෝ අගම්බෙන් වැනි සමකාලීන දාර්ශනිකයන් කියවන අය ලංකාවේ සිටින්නේ අතැඟිලි ගණනින් ගණන් කිරීමටත් හැකි මට්ටමටත් වඩා අඩු සංක්‍යාවක් වන නිසා, නීතිය, රාජ්‍යය සහ පරමාධිපත්‍යය පිලිබඳ ඉහත ආගමික විශ්වාසයන් ප්‍රශ්න කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලීය ලෙස ඇති රාජ්‍ය ආකෘතිය අගම්බෙන් හඳුන්වන්නේ "state of exception" කියාය. අපිට මෙය සරලව 'ව්‍යතිරේකයේ රාජ්‍යය' කියා පරිවර්තනය කල හැකිය. ඔහුගේ විශ්ලේෂණය අනුව මෙමගින් රාජ්‍ය පාලනයේ මූලික අනුව ප්‍රථම වරට මහ දවල් දෘශ්‍යමාන වෙයි. ඒ තමයි නීතිය සකස් කරනා නීතිය සෑම විටම විරුද්ධාභාෂිත (paradoxical) ආස්ථානයක් ගන්නා බව. එය එක්වරම නීතියෙන් පරිබාහිරව සහ නීතියෙන් ඇතුලේ පිහිටයි. එම පරමාධිපත්‍යයේ නීතිය විසින් කරන්නේ නිරුවත් ජීවිතය (bare life) නිෂ්පාදනය කිරීමයි. නිරුවත් ජීවිතය යනු මිනිසා, සතුන් සහ ගහකොළ විසින් පොදුවේ බෙදා ගන්නා හුදු ජීවය (මේකට ඇති ග්‍රීක වචනය වන zoe අගම්බෙන් ට වැදගත් වෙයි) සහ පුද්ගලයන් ලෙස සහ සාමූහිකයක් ලෙස ජීවත් වීමේ ආකෘතිය (ග්‍රීක වචනය bios) එකිනෙකින් වෙන් කල විට ඇති වන ප්‍රතිපලයයි. බලය පිලිබඳ ෆූකෝ ගේ විශ්ලේෂණය වර්ධනය කරමින් අගම්බෙන් යෝජනා කරන්නේ නූතන රාජ්‍යයේ ජනගහණ පාලනය, පොලිස්කරණය මගින් බිහිවන නවීන විෂය වන්නේ මෙම නිරුවත් ජීවිතය බවයි. 

එම නිසා අපගේ යුගයේ ජීව-දේශපාලනික (bio-political) සුසමාදර්ශය වන්නේ කඳවුරයි (camp). කඳවුරක් තුල 'ජීවිතය' යනු මෙලෙස පාලකයන් විසින් කන්නට බොන්නට දී තබා ගන්නා පාලනය කරන දෙයකි. එහිදී එක්වරම මිනිසාගේ ජීවිතයේ ජීවවිද්‍යාත්මක වටිනාකම වැඩිවීමද අචාරධර්මීය-දේශපාලනික වටිනාකම අඩු වීමද වෙයි. නිදර්ශනයක් ලෙස ලංකාවේ රූපවාහිනී තිරය ඉදිරියේ, පොලිස් ආරක්ෂාව මැද මැරයන් විසින් සාමාන්‍ය මිනිසුන්ට පහර දීමත්, අනෙක් අතින් දුම්පානය ට සහ මත්පැන් පානයට එරෙහි රාජ්‍ය ප්‍රචාරණය උපරිම ලෙස වැඩිවීමත් ගත හැකිය. ජාත්‍යන්තර නිදර්ශනයක් දෙන්නේනම්, දුම් පානයට එරෙහිවීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඉතිහාසයේ පළමු වරට ක්‍රියාත්මක කලේ 1930 ගණන් වල ජර්මනියේ පාලකයන් වූ 'ජාතික සමාජවාදීන්ය'. සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹන්නේ මෙම කඳවුර ඇතුලේ සිටින අය මිස එයින් පරිබාහිර අය නොවේ. 

මෙවැනි අවබෝධයකින් තොරව සමකාලීන විකල්ප දේශපාලනය නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය වැනි අතිශයින් දුර්වල වූ සංකල්ප මත පදනම් කරවීමෙන් සිදු වන්නේ අපගේ ප්‍රතිවාදියා වඩවඩාත් ශක්තිමත් වීමයි. අප සැමගේ පොදු වේදිකාව වන 'රාවය' පුවත්පත වැනි පොදු අවකාශයන් මතවාදී ලෙස ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අපගේ විශ්වාසයයි. සැබවින්ම විකල්ප වූ දේශපාලනයක් වෙනුවෙන් මහන්සි වන සියලු දෙනා මේ පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු වෙයි. නැතිනම් අපිට තවත් වටයකින් පලවෙනි කොටුවට නැවත පැමිණෙන්නට හැකි වනු ඇත. එතනදී අපි 'සාකෝසි යනු කුමක්ද?' පොතත් රැගෙන ඔබ පිළිගන්නට සූදානමින් සිටිමු.
      

No comments:

Post a Comment