Sunday, December 30, 2012

රතු වැස්සට පසු 2013...

"මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්‍රජාතන්ත්‍රවාදය, ලෙනින්වාදය, කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍යය - මේ විසිවැනි සියවසේ අති විශිෂ්ඨ නිපැයුම් - තවදුරටත් ප්‍රායෝගිකව භාවිත කළ හැකි නොවේ." 
(ඇලේන් බදියු, "සාකෝසි යනු කුමක්ද?", පි. 145)

මෙම ප්‍රකාශය ලංකාවේ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ජීරණය කර ගැනීම අපහසු වන බව අපට වැටහී ගියේ මෙම පොත පිළිබඳව කල පළමු කියවීමෙදීමය. ඇත්ත. ලංකාවේ පශ්චාත්-මාක්ස්වාදය පිලිබඳ සාකච්චාව නැතිනම් පශ්චාත්-ලෙනින්වාදී දේශපාලන සංවිධානගතවීමක අවශ්‍යතාවය ඇති වූයේ මෙම පොත පරිවර්තනය වීමට පමණක් නොව එය ප්‍රංශ බසින් ප්‍රකාශ වීමටත් පෙරය. නමුත් අපේ රටේ සුවිශේෂී දේශපාලනික පිහිටුමක් නිසා මෙම න්‍යායික-ඓතිහාසික අවබෝධය අපිට දේශපාලනික සංවිධානගතවීමේ යථාර්ථයක් ලෙස අභිමුක නොවූවා පමණක් නොව ඉහත සාකච්චාව හා බුද්ධිමය වශයෙන් සම්බන්ධ විය හැකි 'විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්' වැනි සමාජ අවස්ථාවන් තුල පවා ඉතා සරල, නූගත් වචන ('සංශෝධනවාදය', 'ප්‍රතිසංස්කරණවාදය'... ) කීපයකින් මෙම අවබෝධය සඟවාලනු හැකි විය. නමුත් විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසුව බිහි වන ලස්සන ලංකාව තුල නූගත් වචන සහ බාගෙට තැම්බූ සංකල්ප තුල සැඟවීමට මානව විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කරන සියලු දෙනා හට තවදුරටත් නොහැකි බව අපගේ අදහසයි. 


මාක්ස්වාදය යනු මාක්ස් විසින් දහනමවන සියවසේ ලියන ලද සාහිත්‍යය පමණක් නොවනවා මෙන්ම මාක්ස්ගේ රචනා වලට පක්ෂපාතීව වෙනත් අය විසින් සියවස් එකහමාරකට අධික කාලයක් තුල ලියන ලද සුවිශාල සාහිත්‍යයේ සම්ප්‍රයුක්ත අගයද නොවේ. තවදුරටත් භාවිත කළ නොහැකිය කියා බදියු විසින් සඳහන් කරන 'මාක්ස්වාදය' දහනමවන සියවසේ නිපැයුමක් නොවී විසිවැනි සියවසේ නිපැයුමක් වන්නේ මෙම නිසාය. එය විසිවැනි සියවසට අයත් එක්තරා අත්දැකීමකි - වඩාත් නිවැරදිව කියන්නේනම් දේශපාලන අනුක්‍රමණයකි (sequence). මෙම අනුක්‍රමණය අවසන් බවත් එහි දිගුවක්, ඉදිරියට යෑමක් වෙනුවෙන් මහන්සි වන ඕනෑම අයෙකු හෝ සංවිධානයක් හෝ සිය සාංදෘෂ්ඨිකත්වය (existence) පිලිබඳ බරපතල අභියෝගයකට මුහුණ දෙන බවත් නව වසර ආරම්භයේදී සටහන් කර තැබීම වැදගත් වෙයි. ඒ අපිට එකිනෙකා පරයා 'පළමුවෙනියා' වීමට අවශ්‍ය නිසා නොව අපගේ බුද්ධිමය මැදිහත්වීමේ බැරෑරුම් කම පිළිබඳව අනාගතයට කරන තැන්පතුවක් ලෙසයි. 

බොහෝ දෙනා 'ධනවාදය වෙනස් කිරීම වෙනුවෙන්' සංවිධානය වීමට යෝජනා කරන විට අප යෝජනා කරන්නේ නව-ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ වලට එරෙහි අධ්‍යාපනය නම් පොදු වටිනාකම වෙනුවෙන් සටන් කරන්නත්, එයට අනිවාර්ය කොන්දේසියක් වන බුද්ධිමය පුනරුදයක් ඇති කිරීමට දායකත්වය ඇති වීමටත් සංවිධානය වීමටයි. 'ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය' නමැති දේශපාලනිකව මිය ගිය බෝඩ් ලෑල්ල පිළිබඳව නොලියන්නේනම් 'කොමියුනිස්ට්වාදය' නම් වචනය පවා මෙරට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුල නොකියවෙන බව හොඳින්ම දන්නා අප, එවැනි සමාජයක පළමුවෙන් කල යුත්තේ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් අරගල කිරීම නොව, කොමියුනිස්ට්වාදය වෙනුවෙන් *තවමත්* අරගල කලයුතුවේ යන්න තහවුරු කිරීමට අරගල කිරී බව එයටත් වඩා හොඳින් දන්නෙමු.

අපගේ මෙම අරගලය සාපේක්ෂ වශයෙන් 'කුඩා' කියා කාට හෝ පෙනී යාම අපට ගැටළුවක් නොවේ. 'විශාල' අරගල කිරීමට යෝජනා කරනා අපගේ මිතුරන් සඳහා අපිට කරන්නට එක් යෝජනාවක් තිබේ. 'විසිවෙනි සියවසේ මාක්ස්වාදය' යන්න තවදුරටත් සමාජය තුල නිරායාසයෙන් ප්‍රතිරෝධය ජනණය කිරීමේ අදහසක් ලෙස ක්‍රියාත්මක නොවන බව සියළුදේනාට පෙර මාක්ස්වාදීන් ලෙස වටහාගතයුත්තේ අපය. මක්නිසාද යත් 'ශුද්ධ වූ සියල්ල' බුර්ෂුවා සමාජය තුලදී කෙලෙසී යනු ඇති බව අප දන්නා නිසාය. මේ පිළිබඳව කාව්‍යාත්මක උපමාවක් දැක බලා ගැනීමට කැමති කෙනෙක් වෙයිනම් නව වසරේ ඔබට කොළඹ 'Cafe Che' නම් බෝජුන්හලට ගොස් ආහාර වේලක් රස බලන මෙන් ආරාධනා කරමු. උවමනාවට වඩා ආචාරශීලී වන, දිනකට පැය දොළහක් පමණ අඩු වැටුපකට වැඩ කරන තරුණයකු අතින් ඔබට ගෙනවිත් දෙන කැපචිනෝ කෝප්පයක් රස බලන ගමන් කියුබානු විප්ලවයේ විවිධ තොරතුරු වලින් සහ චායාරූප වලින් සරසා ඇති බොජුන්හලේ අභ්‍යන්තරය ඔබට දැක ගත හැකි වනු ඇත. එම බෝජුන්හළේ හොඳින් පිරිසදු කර ඇති වීදුරු බිත්ති මත 'දෑකැත්තයි මිටියයි' දැක්වෙන ස්ටිකර් වලින් සරසා ඇති ආකාරය බලමින් ඔබට 'මාක්ස්වාදය' නම් හැඟවුම්කාරකය යළි-අර්ථකථනය වී ඇති අයුරු මෙනෙහි කිරීමට හැකි වනු ඇත. එම බොජුන්හලේම තේමා පාඨයට අනුව කියන්නේනම් ඔබට 'විප්ලවයේ රස' (taste of the revolution) බැලීමට අවස්ථාව ලැබෙනු ඇත.                   


ඔබට ධෛර්යය සහ වීරත්වය සහිත වසරක්!

1 comment:

  1. //බොහෝ දෙනා 'ධනවාදය වෙනස් කිරීම වෙනුවෙන්' සංවිධානය වීමට යෝජනා කරන විට අප යෝජනා කරන්නේ නව-ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ වලට එරෙහි අධ්‍යාපනය නම් පොදු වටිනාකම වෙනුවෙන් සටන් කරන්නත්, එයට අනිවාර්ය කොන්දේසියක් වන බුද්ධිමය පුනරුදයක් ඇති කිරීමට දායකත්වය ඇති වීමටත් සංවිධානය වීමටයි//

    මහා ආඛ්‍යාන අහෝසියිද?මහා ආඛ්‍යානයක් වෙනුවෙන් සටන් නොකර චූල ආඛ්‍යානයන් වෙනුවෙන් ( අධ්‍යාපනය/සෞඛ්‍යය/පරිසරය) සටන් කරමුද?ඔබ යෝජනා කරන්නේ ඒකද?

    ReplyDelete