Saturday, November 3, 2012

ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන් වදිනවා කියන්නේ කුමක්ද?


පළමු කොටස

දැන් දින කීපයක් තිස්සේ අපගේ බ්ලොග් අඩවියේ අලුතෙන් ලිපි පල නොවන්නේ 'මේ කිසිම දෙයක් හිතෙන්නේ නැති කාලයක්' නිසා නොවේද කියා අසනා කොමෙන්ටුවක් අප වෙත එවා තිබිණි. සමහර විට මෙම කොමෙන්ටුව එවූ අපගේ පාඨකයා සිතන්නට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල පල වන දෙය තීරණය කරන්නේ පවතින අවස්ථාව තුල දෘශ්‍යමානයෙහි තීව්‍ර බව තීරණය කරන නීතිය තුලින් බවයි. නිදර්ශනයක් ලෙස අපි පවතින අවස්ථාව යන්නෙන් 'වර්තමාන මාධ්‍ය සාකච්චාවන් තුල ඇති දේශපාලනික මාතෘකා' යන්න සලකා බලමු. එවිට අපට මෙවැනි සංඝටක කීපයක් හඳුනා ගත හැකිය 'අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය', '13 වෙනි සංශෝධනය අවලංගු කිරීමේ ඉල්ලීම', ආදී ලෙස. දැන්, පවතින අවස්ථාවේ නීතියට අනුව දෘෂ්‍යමානය තුල වඩාත් හොඳින් පෙනෙන්නට තිබෙන්නේ මෙවැනි දේය . එයට සාපේක්ෂව, 'විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඇරඹු අධ්‍යාපනය පිලිබඳ සංවාදය' යන්නට තිබෙන්නේ අඩු තීව්‍රතාවයකින් යුතු දෘශ්‍යමානයකි. නමුත් මෙම බ්ලොග් අඩවිය තුල පල වෙන  දෙයෙහි අන්තර්ගතය තීරණය වන්නේ මෙම දෘශ්‍යමානයන්ගේ තීව්‍රතාවය තීරණය වන නීතිය තුලින් නොවේ - එම අර්ථයෙන් ගත් විට අප 'නීති විරෝධී' බ්ලොග් අඩවියක් වන්නෙමු. පවත්නා අවස්ථාවේ නීතියට සහ කාලක්‍රමිකත්වයට (temporality) පිටින් සිතනා අපගේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය තීරණය වන්නේ වෙනත් ගැටළු කීපයක් අනුසාරයෙන් වන අතර එය අවසාන වශයෙන් සම්බන්ධ වන්නේ අපගේ දේශපාලන දැක්ම සහ භාවිතය සමගය. අපගේ අදහසේ හැටියට මෙම පුළුල් සිතිජය නොමැති ව සමකාලීන දේශපාලනය ගැන සිතන්නට යන ඕනෑම කෙනෙක් පවත්නා අවස්ථාවේ තර්කනය තුල සිරවී විශාදියට පත්වීම අනිවාර්ය වෙයි. 


මෙම පුළුල් පසුබිමේ තබා ගැටළුවක් සලකා බැලීම යන්න කොතරම් වැදගත් වෙයිද යන්නත් අද දවස තුල දේශපාලනය කිරීම පිළිබඳවත් තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් කල යුතු බව අපගේ අදහසයි. විශේෂයෙන්ම මාස තුනකට අධික කාලයක් ඇදී ගිය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයෙහි එක්තරා ආකාරයක මංසන්ධියකට අප පැමිණ ඇති හෙයින් මෙවැනි සිතා බැලීමක් කිරීමට මෙය සුදුසු අවස්ථාවක් වන්නෙහිය.  මේ පිළිබඳව විවිධ දෙනා විසින් ලියන ලද සාධනීය ලියවිලි කීපයක් පසු ගිය කාලය පුරාම අප පල කළෙමු. ඒ අතරම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට අප සහය දැක්වීම, අපගේ නම සඳහන් නොකර, විවේචනය කරමිනුත් ඒ හා බැඳුනු අපගේ ඓතිහාසික-න්‍යායික සූත්‍රගතකිරීම් හෑල්ලුකරණය (trivialize) කරමිනුත් අපට කල විවේචනයක් ද පල වූ අතර එයට පිළිතුරු දීමටද අපට සිදුව තිබේ. කොටස් කීපයකින් පල කිරීමට බලාපොරොත්තු වෙන මෙම ලියවිල්ල අපගේ අනාගත ක්‍රියාකාරකම් සඳහා වන අත් පොතක් ලෙස යොදා ගැනීමට අප උත්සාහ කරන්නෙමු.

මේ සඳහා අපි මෙවැනි ප්‍රවේශයක් ගනිමු.


මේ මොහොතේ අප වඩාත් කල්පනාකාරී වී ඇති ගැටළුවක් වන්නේ බ්ලොග් ආකෘතියේ ඇති ලාංකික සීමාවන් පිළිබඳවයි. අප පල කරන බොහෝ ලිපි, පරිවර්තන ආදියට ලැබී ඇති පොදු ප්‍රතිචාරයක් වන්නේ ඒවා 'තේරෙන්නේ' නොමැති බවයි. මෙය අපට අපහාස කරන්නට බලා සිටිනා අයගේ පමණක් නොව අපගේ මිතුරන්ගේද චෝදනාවකි.

අපගේ බ්ලොග් අඩවියේ පල වන සමහර ලිපි ලාංකික 'බුද්ධිමය සාකච්චාවට' අනුව ගත්  විට තරමක් සංකීර්ණ වන බව අපි පිළිගන්නෙමු. නමුත් මෙය ඉතා නිශ්චිත ලෙසම ලාංකික බුද්ධිමය දිළිඳු බවේ ගැටළුවක් මිස බ්ලොග් ආකෘතියේ ඇති ගණික (generic) සීමාවක් නොවේ. සමකාලීන දර්ශනය තුල බ්ලොග් අවකාශයට තිබෙන්නේ බෙහෙවින් වැදගත් ස්ථානයකි. නිදර්ශනයක් ලෙස අපමත් ලංකාවට හඳුන්වා දීමට උත්සාහ කරනා 'සමපේක්ෂී යථාර්ථවාදය' (Speculative Realism) පිලිබඳ සංවාදය වර්ධනය වීමේදී බ්ලොග් ආකෘතිය ට හිමි වන්නේ බෙහෙවින් කේන්ද්‍රීය ස්ථානයකි. මෙහි ප්‍රතිපලයක් ලෙස සම්ප්‍රදායික ශාස්ත්‍රාලීය සීමාවන් තුල දාර්ශනික සංවාදයන් වල පරිධියේ සිටිනා ශිෂ්‍යයන් විශාල වශයෙන් මෙම සංවාදයන් පෝෂණය කිරීමට සමත් වී ඇති අතර එනිසාම බ්ලොග් ආකෘතිය යනු ඇකඩමික් දර්ශනයේ සීමාවන් වඩාත් ප්‍රජාතන්ත්‍රීය පරිවර්තනයකට ලක් කිරීමට සමත් වී ඇති නව මාධ්‍යයකි.  

මෙම තතු යටතේදී අප විසින් වර නැගිය යුතු මූලික ප්‍රශ්න දෙකක් වෙයි. 

1. මෙවැනි බැරෑරුම් කර්තව්‍යයකට මෙම ආකෘතිය සුදුසු වන්නේනම් එවැනි සංවාදයකට සාපේක්ෂව බෙහෙවින් සරල වන්නා වූ ලිපි අප පල කල විට ඒවා 'නොතේරෙන' බවට අපට චෝදනා එන්නේ ඇයි ?

2. මෙයට අප පිළිතුරු දිය යුත්තේ කෙසේද?

අපි පහසු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. මෙයට හේතුව වන්නේ අන් කිසිවක් නොව ලාංකික බුද්ධිමය සාකච්චාවේ දිළිඳු බවයි. එම නිසා බ්ලොග් අවකාශයේ ඇති ප්‍රජාතන්ත්‍රීය විභවයන් ප්‍රායෝගික තලයක් තුල භාවිතයට ගැනීම ලාංකික බුද්ධිමය දිළිඳු බවේ සීමාවන් ජයගැනීමට කෙරෙනා අරගලයක් සමග දයලෙක්තික ලෙස බැඳී තිබේ. නිදර්ශනයක් ලෙස අප විසින් ඉහතින් සඳහන් කරන ලද සමපේක්ෂී යථාර්ථවාදය පිලිබඳ සංවාදයේදී එය පෝෂණය කිරීමට දායක වුනු 'ශිෂ්‍යයන්' ගනිමු. දියුණු බුද්ධිමය සංස්කෘතීන් තියෙන සමාජයන් වල (මෙය කිසි සේත්ම 'බටහිර' සමාජයන් හා සමපාත නොවේ. ලතින් ඇමෙරිකානු මහාද්වීපය තුල මෙන්ම, ජපානය, ඉන්දියාව ආදී රටවලද දියුණු බුද්ධිමය සංස්කෘතියක් තිබේ.) ශාස්ත්‍රාලය තුල සිටිනා දක්ෂ පශ්චාත්-උපාධි මට්ටමේ ශිෂ්‍යයෙකු ලංකාව වැනි රටක පශ්චාත් උපාධි මට්ටමේ ශිෂ්‍යයෙකු සමග කෙසේවෙතත් මෙරට විශ්ව විද්‍යාල ඇදුරන් සාතිශය බහුතරය සමගවත් සැසඳිය නොහැකි වෙයි (මෙරට විශ්ව විද්‍යාල ඇදුරන්ගේ තත්වය ගැන අවබෝධයක් ලැබීමට නිර්මාල්ගේ මෙම ලිපිය බලන්න). අප විසින් කීප වරක් මෙම බ්ලොග් අඩවියේ ලියා ඇති පරිදි ලංකාව තුල කාන්ට්, හේගල්, නීට්චේ, හෛඩැගර් ආදී සෞත්‍රික දාර්ශනිකයන් සම්බන්ධයෙන් ගැඹුරින් හදාරා ඇති එකම විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් හෝ නොමැති වෙයි. මෙරට ශාස්ත්‍රාලීය අධ්‍යාපනයේ තත්වය එබඳුනම් දියුණු බුද්ධිමය සාකච්චාවක් ඇති කිරීමට සමත් බ්ලොග් කරුවන් මෙන්ම එවැනි සාකච්චාවක් හා සම්බන්ධ විය හැකි කියවන්නන් නොමැති වීම සම්බන්ධයෙන් අප පුදුම විය යුතු නොවේ. ලාංකීය සමාජ-දේශපාලනික-බ්ලොග්-උරුමය වන්නේ දේශපාලන අරගල කරනා මිනිසුන්ට කුණුහරප කවි ලිවීම සහ එවැනි අරගල වල පරාජයන්ට සිනහ වීමයි.     

දැන් අපි දෙවැනි ප්‍රශ්නයට යමු. නමුත් එම ප්‍රශ්නයට - 'මෙයට අපි පිළිතුරු දෙන්නේ කොහොමද?' - ඉහලින් වඩාත් විශාල ප්‍රශ්නයක සෙවනැල්ල වැටී තිබේ. අප ජීවත් වන යුගයේ අධ්‍යාපනය සම්බන්ධයෙන්, නැතිනම් අධ්‍යාපනයට එරෙහිව ඇති මූලික ප්‍රශ්නයේ එක් අවතාරාමය ස්වරූපයක් වන මෙය අපට මෙලෙස සූත්‍රගත කල හැකිය : 'මෙවැනි දාර්ශනික සාකච්චාවක් කිරීමේ අර්ථය කුමක්ද?'

ජයවර්ධන ජනාධිපතිවරයාගේ 'සාහිත්‍ය කන්නද' යන ප්‍රශ්නය පළමු අවතාරය ලෙස ගත හැකි මෙම නව-ලිබරල්වාදී මූලික ප්‍රශ්නයේ අවසානයේ තිබෙන්නේ, මෙලෙසින් සාරාංශගත කල හැකි, අධ්‍යාපනය පිලිබඳ අද දවසේ ආධිපත්‍යධාරී මතවාදයයි : අධ්‍යාපනය යනු ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලියේ රැකියාවල් සඳහා මිනිසුන් පුහුණු කිරීම සහ එලෙස පුහුණුවක් අපේක්ෂා කරනා මිනිසුන් වෙළඳපොළක් ලෙස සලකා අතිරික්තය සොයනා ප්‍රාග්ධනයට ආයෝජනය කල හැකි කලාපයක් මිස වෙන අන් කිසිවක් නොවේ. මෙයින් පරිබාහිරව අධ්‍යාපනය ලෙස සැලකෙනා ඕනෑම අදහසක් අද දවසේ සිය සාංදෘෂ්ඨිකත්වය (existence) පිලිබඳ අභියෝගයකට මුහුණ දෙන අතර එය රැක ගැනීම සඳහා දේශපාලන අරගලයක් කල යුතුය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේ ප්‍රතිපලයක් ලෙස අප ලැබූ ප්‍රධානම ජයග්‍රහණය වන්නේ අධ්‍යාපනය පිලිබඳ මෙම විකල්ප අදහස - එම අරගලය තුලදී එය සූත්‍රගත වූයේ 'අධ්‍යාපනය යනු ශිෂ්ඨාචාරයේ පදනම' ලෙසයි - දෘෂ්ඨිවාදී තලය තුල සමාජයේ ස්ථාපිත වීමයි. 

දැන් කෙනෙකුට අතුරු ප්‍රශ්නයක් පැන  නැගිය හැකිය.  මෙවන් අරගලයක් කිරීමෙන් ඇති ප්‍රතිපලය කුමක්ද? මීළඟ කොටසින් අපි බලමු මෙයට කොහොම පිළිතුරක් ගොණු  කල යුතුද කියා. 





1 comment:

  1. මේ ලිපිය කියවලා මම ස්වයං වින්දනයේ යෙදුනෙමි.... ගොඩක් ස්තුතියි.....

    ReplyDelete