කෙන්ටින් මෙයසු (Quentin Meillassoux) යනු පසු ගිය වසර
කීපය තුල දාර්ශනික ලෝකය කැළඹු මැදිහත්වීමක් කල යොවුන් චින්තකයා ය. සමකාලීන දර්ශනයේ
උද්යෝගීමත් ව්‍යාපාරයක් වන සමපේක්ෂී යථාර්ථවාදී ව්‍යාපාරයේ (Speculative Realism Movement) කේන්ද්‍රීය ප්‍රකාශකයාය.
මෙයසු පිළිබඳව සාකච්චාව ලාංකික සන්දර්භය තුල සලකා බැලීම හදිසි අවශ්‍යතාවයක් බව
අපගේ තක්සේරුවයි. 'නාථ දෙවියන්' විසින් ලාංකික
බුද්ධිමය කතිකාව හොල්මන් කරන විට මෙයට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ, 'හේතුවාදීන්ගේ' ළදරු ප්‍රතිචාර සහ 'ජාතික බුද්ධිමතුන්ගේ' නිර්වින්දනය වීම ය.
මෙම 'නාථ දේවගමනයේ' ප්‍රතිවිපාකයන් වලට
කිසිවෙක් ස්වාභාවිකව ප්‍රතිදේහ නිපදවන්නේ නැති බව වටහා ගන්නා විට විය හැකි හානිය
විශාල විය හැකි ය. එම නිසා මෙයසු පිළිබඳව සාකච්චාව අරඹමින්, අපගේ හැදෑරීම් පහතින්
ගොනු කර තිබේ. මෙය විදාරණය කරමින් තරමක් දීර්ඝ ලිපියක් පසුව ලිවීමට අදහස් කරමු.
නමුත් මෙවැනි සාකච්චාවක් හඳුන්වා දීම සඳහා මෙම බ්ලොග් ආකෘතිය ප්‍රයෝජනවත් උවත් මෙය
වැඩිදුර වර්ධනය කිරීමට මෙය ප්‍රමාණවත් නොවේ. එම නිසා මෙම සාකච්චාව ඉදිරියට ගෙන යාම
සඳහා හැකි තරම් පිරිසකගේ සහය අපට අවශ්‍ය වෙයි. ඔබගේ දායකත්වයත් එයට ලබා දෙන්න.
ප. ලි. ලංකාවේ විවිධ
දාර්ශනිකයන් 'ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය' දිනා ගැනීම සඳහා සටනක්
ඇති හෙයින්, මෙයද ලිවිය යුතුය. අපට
අවශ්‍ය වන්නේ මෙයසු පිළිබඳව සාකච්චාව ඇති කිරීම විනා ඔහුව අයිති කර ගැනීමට නොවේ.
එම නිසා අප විසින් මෙයසු පිළිබඳව පළමුවෙන් සාකච්චාවක් ඇති කිරීමේ 'වරදට' මෙයසු සමග තරහ නොවන්න.
ඔහු ගැන ලිවීමේදී අප ගැන සඳහන් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මුහුණ සමග තරහ
වී නහය කපා නොගන්න.
මෙයසු පිලිබඳ තිසීස
1. ආගමික මූලධර්මවාදයේ නැගීම සහ නූතන
- එනම්, පශ්චාත්-කාන්ටියානු - දර්ශනය අතර අවියෝජනීය සම්බන්ධයක්
තිබේ. කිසියම් ආකාරයක සවිඥානිකත්වයකට සහසම්බන්ධ නොවූ යථාර්ථයක්, පරිබාහිරත්වයක්, භෞතිකයක් නැතිනම් පරමත්වයක් (Absolute) වෙත ලඟා වීම පශ්චාත්-කාන්ටියානු දර්ශනය මගින් තහනමකට
ලක් කරයි. අතිශයින් සංකීර්ණ සහ ජවසම්පන්න නූතන දර්ශනයේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය වන්නේ
මේ අනුව සහසම්බන්ධතාවදයයි (Correlationism). කොමියුනිස්ට් ව්‍යාපාරයේ පරාජය
වීමත් සමගම ජීවිතයේ අර්ථය ලබා දීමේ සුසමාදර්ශය බවට ආගම නැවත පත් වී ඇති අතර, එනිසාම එය දේශපාලනික එකතුවීමක්
සඳහා ධනේශ්වර සැකැස්මක් තුල ඇති තාර්කික තෝරාගැනීමකි. නමුත් ආගම දාර්ශනිකව ප්‍රශ්න
කරන්නට නූතන දර්ශනයට නොහැක්කේ එය විසින් පරමත්වය වෙත යාමට ඇති සියලු මාවත් වසා දමා
ඇති හෙයිනි.
2. පශ්චාත්-කාන්ටියානු සහසම්බන්ධතාවාදයේ දුර්වල මොඩලයක් ලෙස ජාතික චින්තන ව්‍යාපෘතියේ 'මගේ ලෝකවාදය' හඳුනා ගත හැකි අතර, එය ආගමික ගූඨවාදයකින් අවසන් වී ඇති හෙයින් ඉහත සම්බන්ධය සඳහා වන ප්‍රභල නිදර්ශනයක්ද වෙයි. මගේ ලෝකවාදය තුල පශ්චාත්-කාන්ටියානු ගැටළුව සූත්‍රගත කෙරෙන්නේ, වාස්තවික යථාර්ථයක් තිබෙන බව වාස්තවිකව ඔප්පු කිරීමට ඇති නොහැකියාව මතය. මගෙන් පරිබාහිරව ලෝකයක් තිබෙන බව නිශ්චිත ලෙස දැන ගැනීම සඳහා 'මම' නොමැතිව ලෝකය තිබෙන ආකාරය දැන ගත යුතුය. නමුත් මෙය කල නොහැක්කේ ලෝකය මට අත් විඳිය හැක්කේ 'මට' පෙනෙන අයුරින් පමණි. එම නිසා වාස්තවිකත්වය වෙත ලඟා වීමට ඇති ප්‍රයත්නයන් අතහැර, අපගේ පරිමිතත්වය (Finitude) වටහා ගත යුතු වෙයි. මෙම පරිමිතත්වය තුල අපට දැනුම ලබා ගත හැක්කේ අපගේ සීමිත අත්දැකීම්, සම්ප්‍රදායන්, ආභාෂයන්, සංස්කෘතික උරුමයන් ඇසුරින් විනා පරම වූ, විශ්වීය නියාමයන් ඇසුරින් නොවෙයි. අවිහිංසක ලෙස පෙනෙන මෙම තර්කය දේශපාලනික ලෙස අවසාන වූයේ, අතිශය ප්‍රාථමික ඇදහිලි වලට සද්භාවවේදයක් ලබා දෙමිනි.
3. මගේ ලෝකවාදයේ ඇති දුර්වලතාවය වන්නේ, එමගින් මිනිසාගේ පරිමිතබව නිවැරදි ලෙස ස්ථාපිත නොකිරීමයි. මනසින් තොරව යථාර්ථයක් තිබෙන බව මෙන්ම එලෙස නොමැති බව පෙන්වීමද අපගේ පරිමිතත්වය තුල කිරීමට නොහැකි වෙයි. 'මම' නොමැති විට නොතිබෙන්නේ 'මගේ ලෝකය' පමණි. මගෙන් පරිබාහිරව තිබෙනවාය කියා හැඟෙන ලෝකය සැබවින්ම මගේ ලෝකය පමණක්ද නැතිද යන්න නිර්ණය කිරීමට අපට 'මම' නොමැති විට ලෝකය තිබෙන ආකාරය දැන ගත යුතු වෙයි. නමුත් මෙය කල නොහැකි බව අප කලින් නිගමනය කර ඇති බැවින්, ඇති එකම විකල්පය වන්නේ අපගේ රැඩිකල් පරිමිතත්වය පිලිගැනීම පමණි. එනම් අපෙන් පරිබාහිරව ලෝකයක් පවතිනවාද නැතිද යන්න පිළිබඳව ඇති අපගේ අනවබෝධයයි.
4. සහසම්බන්ධතාවයට එරෙහි මෙයසු ගේ සමපේක්ෂී ප්‍රහාරය ආරම්භ වන්නේ මෙම අනවබෝධය ඇති ලක්ෂ්‍යය හරහාය. මගෙන් බාහිර ලෝකයක් තිබෙන්නට මෙන්ම නොතිබෙන්නට ද පුළුවනි. ඒ අනුව එය වියහැකිභාවයකි (possibility). නමුත් මෙම වියහකිභාවයේ ඇති සුවිශේෂත්වය වන්නේ එය මට සහසම්බන්ධ නොවීමයි. මෙම වියහැකිභාවය, එහි හරය වශයෙන්ම, මගෙන් ස්වායත්ත යතාර්ථයක වියහැකිභාවය වන හෙයින්, එය මගේ ලෝකයට සාපේක්ෂ වූ වියහැකිභාවයක් නොවෙයි. එම නිසා එය සැබෑ (actual) වියහැකිභාවයකි. මෙමගින් අපට අපගේ පරිමිතත්වය මග හරිමින් යතාර්ථය වෙත යාමට මාවතක් විවර වන හෙයින් මෙය සමපේක්ෂී යථාර්ථවාදය කි (speculative realism).
5. මෙම සමපේක්ෂී යථාර්ථයේ පළමු නියාමය
වන්නේ, මේ අනුව, අනිශ්චිතයේ අනිවාර්යතාවයයි (necessity of contingency). එනම්, යථාර්ථය පාලනය වන්නා වූ
පාර-නීතියක් (meta-law) නොමැති වීමයි. මෙමගින් ආගමික මූලධර්මවාදයේ නැගීම
සම්බන්දයෙන් පශ්චාත්-කාන්ටියානු දර්ශනයේ තිබු අසරණ බව මග හැරිය හැකි වෙයි. ලෝකය
තුල මිනිසාගේ පැවැත්ම තීරණය කරන්නා වූ දෙවියන් වහන්සේ කෙනෙක්, කර්ම ශක්තියක්, නොමැති වන්නා අතර හේතුව සහ ඵලය අතර
ඇති සම්බන්ධය පෙන්වීමේ නොහැකියාව සම්බන්ධයෙන් හියුම් ගේ ගැටළුවට අපට කාන්ටියානු
නොවන පිළිතුරක් ගොනු කල හැකි වෙයි. එනම් හේතුව සහ ඵලය අතර සම්බන්ධය තවදුරටත් අනුභූතිඋත්තර
ප්‍රවර්ගයක් නොව, පුරුද්ද මත පදනම් වන්නක් යන්න යථාර්ථවාදී වෙයි.
පරමත්වය,කියන එක ආගමට හේත්තු කරලා තියෙනවා.ඒක එතනිනුත් ගලවල ගන්න වෙනවා.ඒක කරන්න පුලුවන් සිතිමක් speculative realism වල තියෙනව කියලද කියන්නෙ?
ReplyDeleteඉක්මනින් පිලිතුරක් එවන්න
ReplyDelete