Tuesday, April 10, 2012

2004 දෙසැම්බර් දෙස ආපසු හැරී බැලීම

 2004 දෙසැම්බර් 26 වැනි දින ඇති වූ X කණ්ඩායමේ බෙදී වෙන්වීම පිළිබඳව අතිශයින් ගැටළු කාරී විස්තරයක් දීප්ති කුමාර ගුණරත්න විසින් මෙහෙයවන සංවිධානයේ නිල වෙබ් අඩවිය තුල  "ෆීනික්ස් කුරුල්ලාගේ දේශපාලනය" යන නමින් ඵල වී තිබේ. පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව වන විශ්ලේෂණයකි.

එදින සිදු වූ සිදුවීම් පෙළ පිළිබඳව මේ වන විටත් බොහෝ දේ ලියවී ඇති හෙයින් ඒ පිළිබඳව වැඩි දුරටත් ලිවීම අනවශ්‍ය වේ කියා සිතමි. මේ පිළිබඳව තොරතුරු දන ගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් 2005 වසරේ පල වූ අවසන් London  සඟරා කීපය කියවන මෙන් ඉල්ලමි. නමුත් මෙතනදී සලකා බලන ලිපියේ ආරම්භයම අතිශය පටු පාර්ශව දෙකකට එම මොහොත තුල ඇති වී තිබූ දේශපාලන අර්බුදය ඌණනය කරයි. එතනදී ඇති වූයේ දීප්ති පාර්ශවය සහ 'අමාරිස්' පාර්ශවය අතර පිල් බෙදීමක් නොවේ. 

පළමුවෙන් මේ ලිපියේ ඇති 'අමාරිස්', 'හැලපයා', 'කුකුලා', 'පැණියා' ආදී යෙදුම් සම්බන්දයෙන් යමක් කිව යුතුය. බොහෝ දෙනෙක් අප  සමග එකඟ නොවූවද, අප  සිතන්නේ මෙය ගැටළුවක් නොවන බවයි. බදියු පවසනා පරිදිම, සැබෑ සතුරන් පැවතීම දේශපාලනයේ ලක්ෂණයකි. සතුරන් පවතිනවානම් ඔවුනට අපහාස කිරීම ගැටළුවක් නොවේ. මේ අනුව නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාට 'අමාරිස්', 'අමාරිසා' නැතිනම් 'අමාරිස් අය්යා' ලෙස අපහාස කිරීම සම්බන්දයෙන් අපට සදාචාරාත්මක දුක් ගැනවිල්ලක් නොමැත. කියන්නට ඇත්තේ මෙය දෙපැත්තටම පොදු බවත් ඔවුනගේ අතිශය දුප්පත් දාර්ශනික මනස්ගාත වලට අපගෙන්ද කිසිදු සහනයක් නොලැබෙන බවත් ය.   

කෙසේ උවත් 2004 සිදු වූයේ නිර්මාල් සහ දීප්ති අතර පිල් බෙදීමක් නොව, 'සාමුහිකව හැදෑරීම' නම් අලුත් සම්ප්‍රදායක් ලංකාවේ දේශපාලනයට එකතු කිරීම ලෙස ඇරඹි X ව්‍යාපෘතිය, යම් යම් න්‍යායික සංකල්ප ඉතා පටු විදියට යොදා ගන්නා, එක පුද්ගලයෙකුගේ අධිකාරිවාදී ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වීම පිළිබඳව නැගුනු සාමුහික විරෝධයකි. මෙම විරෝධය නිර්මාල් යටතේ සංවිධානය වීමක් ලෙස දක්වීමම දීප්ති ගේ දේශපාලන දැක්ම පිලිබඳ අදහසක් අපට ලබා දෙයි. ඔහුට අනුව සාමුහික ක්‍රියා මාර්ගයන් කියා දෙයක් නොමැති අතර ඇත්තේ එක් පුද්ගලයෙක් පසු පස අනෙක් අය සංවිධානය වීමයි. 2005 කාලයේ දීප්ති පැවසු උක්ත සාමූහික විරෝධය 'බණ්ඩා' විසින් කරකවන ලද ගේමක් ය යන්නද, මෙයට සමාන වේ. අපගේ සාකච්චාවට බඳුන් වන ලිපියේ දෙවෙනි ජේදයේ එන වැකියකින් මෙම අදහස අපට පැහැදිලි කර ගත හැකිය. එහි මෙසේ දැක්වේ: "එහෙත් දීප්ති කීවේ අප නොබියව මහ සමුළුවක් ඉදිරියේ දී මේ ප්‍රශ්ණය සාකච්ජා කළ යුතු බවත් දැනට සංවිධානයේ සිටින අය ආවේ මාත් එක්ක දේශපාලනය කිරීමට මිසක අමාරිස් සමග දේශපාලනය කිරීමට නොවන බවත් ය".  X කණ්ඩායමේ ඇති වූ අර්බුදය කුමක්ද යන්න කෙටියෙන් පවසන්නයය්නයැයි කෙනෙක් අපගෙන් ඉල්ලා සිටියහොත් මේ සඳහා අපට ඉදිරිපත් කල හැකි ශක්තිමත්ම සාක්ෂිය වන්නේ මෙම වැකියයි. මෙය දේශපාලනය පිළිබඳව අතිශයින් වැරදි අදහසක් මත පිහිටා තිබේ. එයට අනුව කෙනෙක් දේශපාලනය කරන්නට පැමිණෙන්නේ වෙනත් පුද්ගලයෙකු සමග දේශපාලනය කිරීමට ය. මෙහි ගැටලුව වන්නේ පළමු පුද්ගලයා දේශපාලනය කිරීමට පැමිණි ආකාරය මෙයින් හෙළි නොවීමයි. අපි මෙය තරමක් වටහා ගන්නට උතසාහ කරමු. ඉහත අදහසේ තර්කය දික් කල විට අපිට එවක  X කණ්ඩායමේ සාමාජිකයන් කුලක දෙකකට අයත් වන බව සිතා ගත හැකිය. එක් අතකින් සිටින්නේ දීප්ති හෝ නිර්මාල් සමග දේශපාලනය කරන්නට පැමිණි පිරිසය. අනෙක් අතින් දීප්ති සහ නිර්මාල් සිටී. දැන් මේ දෙදෙනා දේශපාලනය කරන්න පැමිණියේ කා සමගද? මෙය හරියටම සමාන වන්නේ ක්‍රිස්තියානී දේවධර්මයේ එන දෙවියන්ගේ පැවැත්ම සඳහා වන ජනප්‍රිය තර්කයක් වන "විශ්වවේදී තර්කයට ය" (Cosmological Argument). එයට අනුව, මෙම විශ්වයේ කෙදිනක හෝ ආරම්බයක් තිබිය යුතු අතර එම නිසා එය ආරම්භ වීමට හේතුවක් ද තිබිය යුතුය. නමුත් විශ්වය ඇරඹීමට පෙර එයට හේතුව ලෙස පැවතිය හැකි දෙයක් පැවතිය නොහැක, මන්ද දේවල් පවතින්නේ විශ්වය තුලය. මේ අනුව විශ්වයේ ආරම්භක හේතුව විය හැක්කේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙයි. මෙයට පිළිතුරු දෙමින් ජනප්‍රිය ලෙස රසල් ඇසූ ප්‍රශ්නය මෙයයි: සෑම දෙයකටම ආරම්භක හේතුවක් තිබීම අනිවාර්ය නම් දෙවියන් වහන්සේටත් ආරම්භක හේතුවක් තිබිය යුතුය.  එවිට දෙවියන් වහන්සේ ගේ ආරම්භක හේතුව කුමක්ද? 

මිනිසුන් සැබවින්ම දේශපාලනය කරන්නට එන්නේ, අදහස් නැතිනම් සිදුවීම් වලිනි. මෙහිදී අපට බදියු දේශපාලනය සඳහා ලබා දෙන අලංකාර නිර්වචනය සලකා බැලිය හැක. බදියුට අනුව දේශපාලනය යනු "පවත්නා අධිපති සමාජ සම්බන්ධතා තුලින් මර්ධනය කර ඇති නව්‍ය වියහැකිභාවයක (possibility) ප්‍රතිවිපාකයන්, යථාර්ථය තුළ ගොඩ නැගීමේ අරමුණින්, කිසියම් මූලධර්ම කීපයක් අනුසාරයෙන් සිදු කරනා සංවිධිත සාමූහික ක්‍රියාකාරකම් එකතුවකි" (බලන්න, අප විසින් පරිවර්තනය කල බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" කෘතිය - 24 පිට).මෙහිදී කිසියම් දේශපාලන අනුක්‍රමනයක ආරම්භයේ සිටින්නේ සර්වබලධාරී දෙවි කෙනෙක් නොව, 'සිදුවීමක්' වන අතර එවැනි දේශපාලනයක මූලික ක්‍රියාකාරිත්වය වන්නේ මෙම සිදුවීම විසින් ආරම්භ කල අලුත් විභවය යතාර්ථයක් කිරීමට කරනා සාමූහික අරගලයයි. ඒ අනුව අප විසින් සාකච්ජාවට ගන්නා ලිපිය තුළ ආරම්භයේදීම දීප්ති කුමාර ගුණරත්නගේ 'දේශපාලනයේ' ඇති ගැටලුව හොඳින් පැහැදිලි වෙයි. 

කෙසේ උවත් දීප්ති මෙහිදී අවංක පිලිගැනීමක් කරයි. එනම් 2004 දෙසැම්බර් මස ඔහුට එල්ල වූ චෝදනාව එවකට සංවිධානයේ බහුතරයක් දෙනා පිලි ගත් බවය. ඔහුගේ ගැටළුකාරී භාෂාවෙන්ම මෙය උපුටන්නේනම් එය මෙසේය: "දීප්තිගේ තීරණය මත මහ සමුළුව ඉදිරියේ දී ඡන්දය විමසූ මොහොතේ දීප්තිගේ පාර්ශවය වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය". මෙය වැදගත් සාක්ෂියකි. එකල ඔවුන් පැවසූයේ සංවිධානයේ බහුතරය සිටියේ ඔවුන් සමග බවයි. වසර අටක් පමණ ප්‍රමාද වී හෝ, එදා ඔහුට ගෙන ආ විවේචනය X කණ්ඩායමේ බහුතරයගේ අනුමැතියෙන් ජයග්‍රහණය වූ බව ඔහුම පිලිගැනීමෙන් එම විවේචන වල වලංගු භාවය තවදුරටත් තහවුරු වෙයි. 

මීළඟට ඇති අපූරු වාක්‍ය දෙකක් ගැනද අවධානය යොමු කිරීම වැදගත් වෙය්. ඔවුන් මෙසේ ලියයි: "සබුද්ධිකත්වයට කිසිදු ඉඩක් නොතබා හේතුව අනාථ කරමින් අරාජිකත්වය රජ විය. දහවල වෙනුවට අඳුර ලගා විය. ධනවාදයට වඩා උසස් සමාජයක් නිර්මාණය කිරීමට එකතු වූ පිරිසක් බඩුවක් ගසන විට ඉටි පන්දමක් අල්ලන පිරිසක් බවට පත්වන අයුරු ශෝකය මුසුව අප බලාගෙන සිටියෙමු". මෙය එක් අතකින් කිසි තාර්කික ප්‍රකාශයක් නොව හුදු අලංකාරිකයකි. මෙලෙස 'බඩුවක් ගසන විට ඉටි පන්දමක්' අල්ලාගෙන සිටියේ කවුද යන්න පැහැදිලිව කියන්නේනම් මේ ගැන වැඩිමනක් ලිවිය හැක. සදාචාරවාදීන් නොවන අප හට මිනිසුන් ගේ ලිංගික සම්බන්දකම් පිළිබඳව ප්‍රශ්නයක් නොමැති අතර, මෙවැනි කතා වලින් අප බය වන්නේද නොමැත. පුද්ගලයන්ගේ ලිංගික ජීවිතය ගැන තුට්ටු දෙකේ 'මනෝවිශ්ලේෂනාත්මක' මඩ ගැසීම් වලින් ඔවුනට බොහෝ දෙනෙකු බය කල හැකි උවත්, සිදුවීමේ සහ අභිමුකවීමේ භෞතිකවාදීන් වන අපව බය කල හැකියැයි සිතන්නේනම් එය බලවත් මුලාවකි. අපිට අනුව, 2005 පසුව විශාල පිරිසක් දේශපාලනය හැර යාම ඉතාම සබුද්ධික ලෙස වටහා ගත හැකි ය. තමන් විශාල ලෙස බලාපොරොත්තු තබා සිටි දේශපාලන ව්‍යාපෘතියක් මෙලෙස ප්‍රශ්න කල විට එයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් තුළ දිශානතිහරණයක් ඇති වීම තාර්කික වෙයි. එහිදී සිත් රිදීම්, කල කිරීම්, ඇති වීමත්, පාරිභෝජනවාදී සමාජ යථාර්ථයෙන් ඉදිරිපත් වන පෙළඹවීමත් අනිවාර්යතාවයන් වෙය්. අනෙක් අතට, X කණ්ඩායමේ ආරම්භක මොහොතේදී ප්‍රකාශ වූ 'සාමූහිකව හැදෑරීම' සහ එහි පසුකාලීන ව්‍යාප්තිය අතර තිබුනේ අනිවාර්ය ආතතියකි. මෙවන් ව්‍යාපෘතියක් සඳහා එවැනි අති විශාල පිරිස් බලයක් අවශ්‍ය නොවේ. එවැනි පිරිස් බලයක් සැබවින්ම එවන් ව්‍යාපෘතියකට බාධාවකි. ඒ අනුව, සැබවින්ම සිදු වූයේ 'දහවල වෙනුවට අඳුර ලඟා වීම' නොව අඳුරේ සිටි අපට මහා දවල් ඉර පෑව්වා සේ සත්‍යය අවබෝධ වීමය.

මීළඟට ඔවුන් කියන්නේ අප විසින් "දේශපාලනයේ නිෂ්ඨාව ආදරය සහ හැඟීම් යයි" ප්‍රකාශ කල බවය. මෙයද ඉහත වර්ගයේම පුදුමාකාර ප්‍රකාශයකි. එකල ලියවුනු සියලුම දේවල් අප කියවා නොමැති විය හැකි අතර, ඒ කියවූ දේද අපට දැන් මුළුමනින් මතකයට නොනැගේ. නමුත් දේශපාලනයේ 'නිෂ්ඨාව' ආදරය කියා කවුරුන් විසින් හෝ ප්‍රකාශ වූ බව අපට මතකයට එන්නේ නැත. ආදරය පිලිබඳ ලිපි ඵල වූ නමුත් එය දේශපාලනයේ නිෂ්ඨාව කියා අප විසින් කිසි දා කියා නොමැත. මෙවැනි ලිවීම් තමන් වටා සිටින ගිරා පැටවුන් අමන්දානන්දයට පත් කරන අලංකාරෝක්ති විනා, දේශපාලන තර්ක නොවෙයි.

මෙවැනි අතාර්කික වචන සෙල්ලම් මෙම ලිපිය පුරාම දැක ගත හැක. ඔවුන් විසින්ම ආරම්භයේදී පිළිගත් පරිදි එවකට සංවිධානයේ බහුතරය දීප්ති ට ගෙන ආ විවේචන වලට එකඟ වූවානම්. සංවිධානය විසින් ඵල කල "London" සඟරාවත්, සංවිධානය සතු අනෙකුත් දෙපලත් බහුතර පාර්ශවයට හිමි වීම 'පැහැර ගැනීමක්' වන්නේ නොමැත. අනෙක් අතට 2005 සංවිධානය කල මැයි දින රැලිය, එලෙස රැගෙන ගිය සංවිධානයේ දේපල ප්‍රදර්ශනය කිරීමක් නොවීය. එය සංවිධානය කර තිබුනේ සංස්කෘතික ප්‍රසංගයක් ලෙසය. එහිදී කෙටි අදහස් දැක්වීම්, සංගීතමය ඉදිරිපත් වීම් ආදිය තිබු අතර එමනිසා එයට සහභාගී වීම 'හිරිකිතයක්' වන්නේ කෙසේදැයි කියා පැහැදිලි නැත. එම නිසා එයට 'සිවිල් සමාජයේ වැදගත් යැයි සම්මත පුද්ගලයන්' ලෙස ඔවුන් විසින් නම් කරන පිරිස් පැමිණීම ගැටළුවක් විය හැක්කේ ඔවුන් දීප්ති ව විවේචනය කල පිරිස විසින් සංවිධානය කල සංස්කෘතික ප්‍රසංගයකට සහභාගී වීම පමණි. එම උළෙල අසාර්ථක එකක් යැයි කීම එකකි, නමුත් එයට සහභාගී විය හැක්කේ හිරිකිතයක් නැති නොවැදගත් මිනිසුන්ට පමනමයි යනුවෙන් කීම වෙනස් එකකි. දෙවැන්නෙන් කියා සිටින්නේ, "දීප්ති ව විවේචනය කරන කෙනෙක් සමග තව පුද්ගලයෙක් ඇසුරු කරන්නේනම් එවන්නා නොවැදගත් පුද්ගලයෙක්" බවයි. දීප්ති වෙත 2004 දෙසැම්බර් මසදී එල්ල කල චෝදනාව වන්නේද මෙයයි. ඔහුගේ මතයට විරුද්ද වීම කියන එක ඔහුට වටහා ගත හැකි එකම මාර්ගය වන්නේ 'සතුරා' යන්නය. ඒ අනුව ඔහුගේ 'මිතුරන්' වන්නේ ඔහු කියන දේට හිස සලා එකඟ වී සිටිනා කෙනෙක් පමණි. නමුත් මෙය මිත්‍රත්වය නොව තමන් කියන දේම පුනරුච්චාරණය කරනා ගිරවුන් පිරිසකි යන්න ඔහුට වැටහෙන්නේ නැත.

අවසාන වශයෙන්, මෙහි තිබෙනා තව එක් කරුණක් ගැන සඳහන් කරමි. මැයි දිනය දා පැවැත්වූ රැලියට 40 ක් පමණ පිරිසක් සහභාගී වූ බව  මෙම ලිපියේ සඳහන් කරන්නේ උපහාසාත්මකවය. දේශපාලනයක සත්‍යය-අසත්‍යය බව රඳා පවත්නේ එයට සමාජයක බහුතරයේ එකඟතාවය ලැබීම මත නොවෙයි. බොහෝ විට සිදු වන්නේ මෙහි ප්‍රතිපක්ෂයය. අප මේ පසු කරමින් සිටින මොහොත තුළ මෙම අවබෝධය නොමැති ඕනෑම ව්‍යාපෘතියක් ඉකමනින් අසාර්ථක වීම අනිවාර්යතාවයකි. අප සහ දීප්තිලාගේ කණ්ඩායම අතර ඇති ප්‍රධානම වෙනස වන්නේ මෙයයි. ඔවුන් විසින් යෝජිත ලෙනින්වාදී දේශපාලනය මේ මොහොතේදී ප්‍රායෝගිකකරණය කල හැකි නොවෙයි. අප මෙය සටහන් කලේ, මේ පිළිබඳව චුයින්ගම් එකක් වගේ දිග ඇදෙන විවාදයක් කිරීමට නොව, අනාගතයේදී නිවැරදි භාවය තීරණය කල හැකි විනිශ්චයක් වෙනුවෙනි. මෙය නිවැරදිද, නැතිද යන්න තීරණය කල හැක්කේ සංවාදයකින් නොව, අප එකිනකාගේ දේශපාලනයේ ප්‍රතිඵල අනුව ය. ගනඳුරු මැදියමේදී අප ඉදිරියේ ඇත්තේ අරුණළු නොව නපුරු සිහිනයක් බව අවිවාදිතය, එහෙත් නපුරු සිහිනයක් යනුද සිහිනයේම ප්‍රවර්ගයකි.  





No comments:

Post a Comment