
පළමු කොටස
දැන් දින කීපයක් තිස්සේ අපගේ බ්ලොග් අඩවියේ අලුතෙන් ලිපි පල නොවන්නේ 'මේ කිසිම දෙයක් හිතෙන්නේ නැති කාලයක්' නිසා නොවේද කියා අසනා කොමෙන්ටුවක් අප වෙත එවා තිබිණි. සමහර විට මෙම කොමෙන්ටුව එවූ අපගේ පාඨකයා සිතන්නට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල පල වන දෙය තීරණය කරන්නේ පවතින අවස්ථාව තුල දෘශ්‍යමානයෙහි තීව්ර බව තීරණය කරන නීතිය තුලින් බවයි. නිදර්ශනයක් ලෙස අපි පවතින අවස්ථාව යන්නෙන් 'වර්තමාන මාධ්‍ය සාකච්චාවන් තුල ඇති දේශපාලනික මාතෘකා' යන්න සලකා බලමු. එවිට අපට මෙවැනි සංඝටක කීපයක් හඳුනා ගත හැකිය 'අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය', '13 වෙනි සංශෝධනය අවලංගු කිරීමේ ඉල්ලීම', ආදී ලෙස. දැන්, පවතින අවස්ථාවේ නීතියට අනුව දෘෂ්‍යමානය තුල වඩාත් හොඳින් පෙනෙන්නට තිබෙන්නේ මෙවැනි දේය . එයට සාපේක්ෂව, 'විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඇරඹු අධ්‍යාපනය පිලිබඳ සංවාදය' යන්නට තිබෙන්නේ අඩු තීව්‍රතාවයකින් යුතු දෘශ්‍යමානයකි. නමුත් මෙම බ්ලොග් අඩවිය තුල පල වෙන දෙයෙහි අන්තර්ගතය තීරණය වන්නේ මෙම දෘශ්‍යමානයන්ගේ තීව්‍රතාවය තීරණය වන නීතිය තුලින් නොවේ - එම අර්ථයෙන් ගත් විට අප 'නීති විරෝධී' බ්ලොග් අඩවියක් වන්නෙමු. පවත්නා අවස්ථාවේ නීතියට සහ කාලක්රමිකත්වයට (temporality) පිටින් සිතනා අපගේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය තීරණය වන්නේ වෙනත් ගැටළු කීපයක් අනුසාරයෙන් වන අතර එය අවසාන වශයෙන් සම්බන්ධ වන්නේ අපගේ දේශපාලන දැක්ම සහ භාවිතය සමගය. අපගේ අදහසේ හැටියට මෙම පුළුල් සිතිජය නොමැති ව සමකාලීන දේශපාලනය ගැන සිතන්නට යන ඕනෑම කෙනෙක් පවත්නා අවස්ථාවේ තර්කනය තුල සිරවී විශාදියට පත්වීම අනිවාර්ය වෙයි.