Wednesday, April 17, 2013

ජාතික චින්තනය ගැන තව දුරටත්

ජාතික චින්තන සංවාදය එක තැන පල් වීම සහ ඇදහිළි කල්ලියක් බවට පරිවර්තනය වීම පිලිබඳ අප පල කල සටහනට එවූ කොමෙන්ටු නිසා අප කලක සිට කතා කරන්නට සිටි කාරණයක් පිළිබඳව සාකච්චා කිරීමට කදිම සන්දර්භයක් සෑදී තිබේ. ඒ දාර්ශනික සම්ප්‍රේෂණය (philosophical transmission) පිලිබඳ ගැටළුවයි. දර්ශනය කියන විෂය තේරුම් ගැනීමට ඓතිහාසික සන්දර්භයක් නොමැති ලංකාව තුල එවැනි සංවාදයක් ආරම්භ කල හැක්කේ මේ පිළිබඳව වන සාකච්චාවක් සමගයි. 

නමුත් එය ට පෙර තරමක් කෙටියෙන් වෙනත් කරුණක් පිළිබඳව අදහස් දැක්වීමටයි මෙම සටහන ලියවෙන්නේ. 
 
ඒ අපට ඒවා තිබූ එක කොමෙන්ටුවක අසා ඇති වෙනත් ප්‍රශ්නයක් වෙත ප්‍රතිචාරයක් සම්පාදනය කිරීමටයි. මේ ප්‍රතිචාරයද සම්පූර්ණ වීමට අප උක්ත ගැටළුව වෙත යොමු විය යුතුය. නමුත් එයට කෙරෙන පූර්විකාවක් ලෙස ජාතික චින්තන සංවාදය අපගේ සංවාද වලට වඩා වැඩි ප්‍රමාණයක් අතරට සම්ප්‍රේෂණය වන්නේ ඇයි කියන කාරණය අප සලකා බලමු. නැවතත් කිව යුත්තේ මෙය අසම්පූර්ණ බවත් මෙහි ඌණ පූර්ණය සඳහා මෙයට සුසම්බන්ධිත සහ නුදුරු දිනයේදී පල කරන මීළඟ සටහන කියවන ලෙසත්ය. 


ජාතික චින්තන සංවාදයේ දෘෂ්ඨිවාදී අඩංගුව (ideological component) පොදුවේ සිංහල-බෞද්ධ සමාජයේ විශ්වාසයන් සමග එකඟ වනවා පමණක් නොව එය එහි එක්තරා විදියක තාර්කික අන්තයක් නියෝජනය කරයි. එම අරුතින් එම සංවාදය පොදු ජන සමාජය තුල බුද්ධිමය ප්‍රතිරෝධයක් ජනනය නොකරන අතර එය එහි ප්‍රශ්න-කිරීමකින්-තොරව-බාර-ගන්නා-අදහස් (dogmas) මත පරපෝෂිත වේ. පෝල් ෆෙයරාබන්ඩ් පිළිබඳව සිහිනෙන්වත් අසා නොමැති හසන්ත හෙට්ටිආරච්චි වැන්නෙකුට දෙමළ ජාතිකවාදයේ දේශපාලනය සම්බන්ධයෙන් ජාතික චින්තන සංවාදයේ ස්ථාවරය ඉතාම හොඳින් සන්නිවේදනය වන්නේ එය මෙරට පොදු ජන අදහස වන නිසාය.  

එයට පරස්පරව, ජාතිය, ආගම, කුලය, ලිංගික කැමැත්ත ආදිය නොසළකන ගණික විශ්වීයත්වයක් වෙනුවෙන් අප පෙනී සිටින විට එය කිසි සේත්ම මෙරට සිංහල-බෞද්ධ සමාජයේ විශ්වාසයන් සමග සමපාත නොවේ. එම නිසා දෘෂ්ඨිවාදී තලය තුල සමාජය සමග අපට තිබෙන්නේ ප්‍රතිරෝධාත්මක සම්බන්ධයකි. නිදර්ශනයක් ලෙස හසන්ත හෙට්ටිආරාච්චි පෝල් ෆෙයරාබන්ඩ් ගැන නොදැන පවා නලින් ද සිල්වා ට දොරමඩළාව වැඩසටහනට ආරාධනා කලත් ක්වෙන්ටින් මෙයසූ ගැන දැන හෝ නොදැන හෝ නිර්මාල්ට ආරාධනා කරන්නේ නැත. 

අනෙක් අතට, ඉහත කොටසෙන් පැහැදිළි වන පරිදිම, ජාතික චින්තන සංවාදයේ දාර්ශනික අඩංගුව (philosophical component) , එහි දෘෂ්ඨිවාදී අඩංගුව මෙන් සාර්ථක ලෙස සමාජගත වී නොමැති වෙයි. පසු ගියදා තරමක ආන්දෝලනයක් වුනු දොරමඩළාව වැඩසටහනේ මූලික ගැටුම ඇති වූයේද මෙම ප්‍රශ්නය නිසාය. එහිදී නලින් ද සිල්වා මහතා 'බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්' කියා පවසන විට හසන්ත හෙට්ටිආරච්චි මහතා තුෂ්නිම්භූත වී 'අනේ මේ ඉස්කෝලේ යන, ඉගෙන ගන්න ළමයි මේක බලනවා, පොඩ්ඩක් පරිස්සමින් කතා කරන්න කියා' පැවසුවේ මේ සන්නිවේදනයේ තිබූ පරතරය නිසාය. වරක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ කල අදහස් දැක්වීමකදී නලින් ද සිල්වා මහතා 'ධර්මදාස ගේ ප්‍රවාදය' යන උපමාව භාවිත කල විටද මෙවැනිම තත්වයක් ඇති විය. 

නමුත් මින් අදහස් වන්නේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික අඩංගුව කිසිසේත් සමාජගත වී නොමැත යන්නද නොවේ. නිදර්ශනයක් ලෙස, අප සමාජගත කිරීමට උත්සාහ කරනා සමපේක්ෂී යථාර්ථවාදය පිලිබඳ සංවාදයට සාපේක්ෂව ජාතික චින්තන සංවාදය පුළුල් පිරිසක් අතරට ගොස් ඇති බව අපි පිළිගන්නෙමු. මෙයට ඇති මූලික හේතුව ඉතාම සරලය. එනම් ජාතික චින්තන සංවාදය වසර විසි පහක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති විට සමපේක්ෂී යථාර්ථවාදයට ඇත්තේ වසර දෙක තුනක ඉතිහාසයකි. මේ සන්දර්භය තුල ජාතික චින්තන සංවාදයේ දාර්ශනික අඩංගුවට එහි දෘෂ්ඨිවාදී අඩංගුව වෙත ඇති සහනශීලී සමාජ ප්‍රතිචාරය එකතු වූ විට එය අප යෝජනා කරනා සංවාදයට වඩා ඉතා පුළුල් පිරිසක් ආමන්ත්‍රණය කරන බව පැහැදිලි වේ.

එම නිසා මේ ජාතික චින්තනය නම් වූ ශක්තිමත් මහා වනස්පතී වෘක්ෂය ඉදිරියේ අප සතු එකම දේ වන්නේ අපගේ දැක්ම නිවැරදි වේය යන අචල පරිඥාණය පමණයි. අප තරයේ අදහන දෙයක් වන්නේ නිවැරදි වූ දෙය මඩ-අවලාද වලින් හෝ මාධ්‍ය හයිය මගින් හෝ යටපත් කල නොහැකි බවයි. දර්ශනයේ ඉතිහාසය විසින් අපට කියා දෙන ප්‍රධානම පාඩම මෙයයි.
                 

11 comments:

  1. පැහැදිලි කිරීමට ස්තුතියි, එසේම එය තර්කානුකුල, විශ්වාස කිරීමට පොලබවන සුළු, හැදෑරීම් උත්ප්‍රේරණය කරන නමුත් තවදුර පැහැදිලි කිරීම් අවශ්‍ය ප්‍රභාමත් ලියවිල්ලක් බව විශ්වාසයයි.

    කෙසේනමුත් සුළු ප්‍රශ්න කීපයක් ඇසීමට ඉඩදෙන්න, ජාතික චින්තන සංවාදයේ දෘෂ්ඨිවාදී අඩංගුව වඩාත්ම ප්‍රශ්ණ කිරීමට ලක්කලයුතු සමාජතිරුව ලෙස අඩුමතරමේ සලකියහැකි විද්‍යා හා ගණිත පීඨ වල සිල්වාගේ අදහස් වලට ඇති ඉහල පිළිගැනීම හා උසස්පෙළ විද්‍යා හා ගණිත සිසුන්ගේ සිල්වාගේ අදහස් වලට ඇති නැබුරුව අප තේරුම් ගත යුත්තේ කෙසේද? (ඔබට මෙය මෙසේ නොවේයැයි කිවහැකි මුත් මා මෙය අද්දැක ඇති සත්‍යයි)

    දෙවනුව,අනෙකුත් දාර්ශනික දෘෂ්ඨිවාදයාන් සිංහල-බෞද්ධ සමාජයේ විශ්වාසයන් සමග සමපාත නොවුනත් මාර්කස් වාදී දෘෂ්ඨිවාදයාන් සමග
    යම්තාක් දුරට සම්පත වනවා නොවේද? මාර්කස් වාදී දෘෂ්ඨිවාදයාන්ට
    යම් පදනමක් ලංකාවතුල ඇතැයි උපකල්පනය කළහොත්, තවදුරටත්
    අනෙකුත් දාර්ශනික මත බහුතරයකගෙන් 'දුරස්' වන්නේ වෙන කුමක් හෝ ඉහත විස්තර නොවුණු කරුණක් නිසාද?

    බ්ලොග් හරහා දර්ශනය ගැන ප්‍රශ්න කිරීම 'හාස්‍යයක්' ලෙස පෙනී ගියත්, දැනට මා සතුව ඇති එකම මගවේ!

    ReplyDelete
    Replies
    1. ජාතික චින්තන සංවාදයේ දෘෂ්ඨිවාදී අඩංගුව වඩාත් ප්‍රශ්න කල යුතු වන්නේ විද්‍යා හා ගණිත සිසුන් කියන එක එතරම් නිවැරදි නොවේ. මින් අදහස් කරන්නේ විද්‍යා හා ගණිත සිසුන් අන් අයට සාපේක්ෂව තාර්කිකව සිතීමේ ඉහලම තලයක සිටිනා නිසා ඔවුන් දෘෂ්ඨිවාදී අගතීන් වලට අඩුවෙන්ම හසු වේ යන්න කියා සිතේ. මෙය නිවැරදි නොවේ. දෘෂ්ඨිවාදය කියන්නේ, ඉතාම සරල ලෙස, අපි දන්නා බව නොදන්නා දැනුමයි. දෘෂ්ඨිවාදය විවේචනය (critique of ideology) යන්න සෑම විටම භාවිතය සමග සම්බන්ධ ක්‍රියාවලියකි (එම නිසා එය දර්ශනයට අයත් කොටසක් නොවේ). එම අර්ථයෙන් විද්‍යාව පිලිබඳ ජාතික චින්තනයේ අදහස් විද්‍යා හා ගණිත සිසුන් අතර වැඩියෙන් ජනප්‍රිය වේ කියන ඔබගේ නිවැරදි නිරීක්ෂණය එතරම් පුදුම සහගත නොවේ. විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙන් විධිමත් විකල්ප අදහසක් නොමැති සමාජයක ඒ සඳහා ඇති එකම අදහස ජනප්‍රිය වීම ගැටළුවක් නොව සාමාන්‍ය තත්වයයි.

      අප යෝජනා කරනා විකල්ප දාර්ශනික සංවාදයන් මාක්ස්වාදය සමග නිශ්චිතව සමපාත වේ. නමුත් මාක්ස්වාදී දෘෂ්ඨිවාදයන්ට සමාජයේ පදනමක් තිබේද? අපනම් එතරම් සුභවාදී තැනක නැහැ.

      Delete
  2. //එයට පරස්පරව, ජාතිය, ආගම, කුලය, ලිංගික කැමැත්ත ආදිය නොසළකන ගණික විශ්වීයත්වයක් වෙනුවෙන් අප පෙනී සිටින විට එය කිසි සේත්ම මෙරට සිංහල-බෞද්ධ සමාජයේ විශ්වාසයන් සමග සමපාත නොවේ//

    අඩුම ගණනේ බෞද්ධ දර්ශනයේ දාර්ශනික අඩංගුව නිසි ලෙස සමාජගතවී තිබුනා නම් එය සමපාත වන්නේ ඔබ නියෝජනය කරන පාර්ශවය සමග බවයි මට හිතෙන්නේ. එබැවින්, එය සමාජගත කිරීමේ ප්‍රවේශයක් ලෙස බුද්ධ දර්ශනයම යොදාගත නොහැකිද? මම එහෙම කියන්නේ, ඔබ අවසානයේ පවසන පරිදි මඩ, අවලාද සහ මාධ්‍ය මගින් නිවැරදි දෙය යටපත් කල නොහැකිය යන්න, තරමක භාවතිශය ප්‍රකාශයක් ලෙස පෙනෙන බැවිනි.

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳව අපගේ බ්ලොග් අඩවියට සම්බන්ධ මිතුරන් අතරේ සංවාදයක් තිබෙනවා. බුදු දහම පිළිබඳව ලංකාවේ සීරියස් පර්යේෂණ කෙරිලා නැහැ. එය කිරීම ඉතාම යහපත්, කුමන අර්ථයකින් ගත්තත්. නමුත් ගැටළුව තිබෙන්නේ බුදු දහම අප සමාජයේ බහුතරයක් දෙනා ආගමක් ලෙස ඇදහීමයි. එවිට එය පිළිබඳව කෙරෙන දාර්ශනික සාකච්චාවක් නිවැරදි තාර්කික තලයක් තුල පිහිටවීම අපහසුයි. එනම් එය තවත් දර්ශනයන් අතර එකක් ලෙස නොව අනුභූතිඋත්තරව නිවැරදි එක ලෙස පූර්ව නිගමනය වීමයි. එම නිසා, අඩුම තරමේ දර්ශනය ගැන සාකච්චාවක් ආරම්භ කිරීමේදී බුදු දහම තාවකාලිකව දුරින් තැබීම හිතකර වේ.

      Delete
    2. බුදු දහම පිළිබඳව ලංකාවේ සීරියස් පර්යේෂණ කෙරිලා නැහැ.....

      Lol!....Lol!.....Lol!.....

      Delete
  3. වැසිකිළියක රුවක් මෙහි පල කිරීම ඔබගේ බ්ලොග් අඩවියේ තත්වය බාල කරනවා නේද?

    ReplyDelete
    Replies
    1. මෙය ඉතාම වැරදි වැටහීමකි. මේ චායාරූපයේ තිබෙන්නේ මාර්සෙල් දුෂො (Marcel Duchamp) නම් අතිශයින් වැදගත් සිත්තරා ගේ Fountain නම් ස්ථාපානයයි.

      Delete
    2. ඒක අප්සෙට් එකේ හොදම එක.... මාර්සෙල් දුෂො (Marcel Duchamp) නම් අතිශයින් වැදගත් සිත්තරා ගේ Fountain නම් ස්ථාපානය සදහා ටොයිලට් එකක් අරගත්ත එක......

      මේක තමයි දැනුමෙ සීමාව......

      නලිය, බුද්ධ, මාක්ස් දැනුමට විරැද්ධ ඒකයි.....

      Delete
    3. ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්

      බලන්න,
      http://kathika.lk/?p=121

      Delete
  4. එනම් ජාතික චින්තන සංවාදය වසර විසි පහක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති විට සමපේක්ෂී යථාර්ථවාදයට ඇත්තේ වසර දෙක තුනක ඉතිහාසයකි.....

    Lol!... Lol!..... Lol!......

    ReplyDelete
    Replies
    1. ඔබගේ සියලුම කොමෙන්ටු පල කිරීමට නොහැකි වන්නේ, සමහර ඒවා වල ඇති කුණුහරුප ඉවත් කල නොහැකි වූ නිසාය. වාක්‍යයට හානියක් නොවී කුණුහරුප ඉවත් කල හැකි විට එය පල කළෙමු. අනෙකුත් කොමෙන්ටු කුණු හරුප ඉවත් කර නැවත එවන්නේනම්, කිසිදු වෙනසක් නොකර පල කරමු.

      Delete