Tuesday, March 12, 2013

ගණික කටු කම්බි


ලංකාවේ කලාත්මක ප්‍රකාශන වල පොදුවේ දක්නට ලැබෙන එක් සීමාවක් වන්නේ ඒවා බොහොමයක් තුල දේශපාලනය විසින් කලාව සීචනය (suture) කර තිබීම යි. තාක්ෂණික යෙදුම් හැකිතාක් ඉවත් කර මෙය කියනවානම් එය මෙසේ ලිවිය හැකිය : 'කලා කෘතියක් විසින් කල යුත්තේ දේශපාලනය තුල අප අභිමුවේ තිබෙනා ගැටළු වලට පිළිතුරු සෙවීමය' යන අදහස තුල තිබෙන්නේ කලාව දේශපාලනය විසින් සීචනය කිරීම යි. මේ පිළිබඳව තරමක් හාස්‍යජනක නිදර්ශනයක් ලෙසවරක් චන්ද්‍රගුප්ත තේනුවර සිත්තරාගේ චිත්‍ර ප්‍රදර්ශනයක සමරු පොතක් පෙරලමින් සිටින විට මුණ ගැසුණු අපූරු සටහනක් සිහිවේ. සටහන තියා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා ය. මතක විදියට එහි ලියා තිබුනේ මෙවැන්නකි: "ඔබගේ කලා නිර්මාණ තුලින් ජාතික සමගිය ගොඩ නැගීමට ගන්නා උත්සාහයට අපගේ ආචාරය!". අපිට පුළුවන් මෙය කලාව පිලිබඳ 'විජිත හේරත් තිසීසය' ලෙස නම් කිරීම ට. මෙයට පරස්පර ලෙස අප යෝජනා කරන්නේ කලා කෘතියකින් කල යුතු වන්නේ කලා කෘතියකින් පමණක් ප්‍රකාශ කල හැකි දෙය කුමක්ද යන්න ගවේෂණය කිරීම යි. වෙනත් ලෙසකින් කියනවානම් කලා කෘතියක සුවිශේෂය කුමක්ද කියා සොයා බැලීම යි. 


අපට දේශපාලනික තලය තුල විසඳා ගත යුතු ගැටළු විසඳීම කලා කෘතියකින් කල හැකි නොවේ. කලා කෘතියක් දේශපාලනයේ ප්‍රචාරණය සඳහා යොදා ගත හැකි වීම නිවැරදි වුවත් එමගින් අපිට අහිමි වී යන්නේ කලාව නම් සුවිශේෂී අත්දැකීම යි. කලාව යනුද පවත්නා ලෝකයේ බලාධිකාරයන් උඩු යටිකුරු කරනා පෙරැලිකාරී සිදුවීම් ඇතිවිය හැකි, එනිසා අපගේ සත්ව පැවැත්ම ඉක්මවා යන සත්‍යයේ ක්‍රියාවලියකට විෂය විය හැකි විභවයක් සහිත අවකාශයක් වේය යන බදියුගේ තිසීසය මගින් අවධාරණය කරන්නේ කලාවේ මෙම සුවිශේෂත්වය තුල ඇති විශ්වීය වලංගු බවයි. 

කෝරලේගෙදර පුෂ්පකුමාර නම් සිත්තරා අයත් වන්නේකලාව දේශපාලනයට සීචනය කිරීමේ අවධානම්කාරී දේශසීමා කලාපයේ සැරි සැරූ '90 ප්‍රවනතාවයට යි'. නමුත් මේ සටහන ලියන්නට තුඩු දුන්නේ මෙම අවධානම්කාරී කලාපය සාර්ථක ලෙස තරණය කල පුෂ්පකුමාරගේ සිතුවමකි. 

මෙය අපට ඇස ගැසුනේ පුෂ්පකුමාරගේ Goodwill Hardware, 2013 සිතුවම් එක්තුවේදී ය. මේ ප්‍රදර්ශනය පිළිබඳවත් තිබෙන ජනප්‍රිය අර්ථකථනයන් අයත් වන සුසමාදර්ශය වූයේද ඉහත 'විජිත හේරත් තිසීසයයි'. නමුත් මෙම කෙටි ලියවිල්ල තුල අප යෝජනා කරන්නේ මේ පිළිබඳව විකල්ප අදහසක් ලබා දීමට ය. ඒ සඳහා අපි චිත්‍ර ප්‍රදර්ශනයේ එන  Barbed Wire (xi) ලෙස "නම් කර" ඇති සිතුවම වෙත අවධානය යොමු කරමු. 

මෙම සිතුවම තුල ඇත්තේ එක සමාන වෘත්ත විසි හතරකි. එක පෙලට වෘත්ත හය බැගින් පේලි හතරකට පෙළ ගන්වා ඇති මෙම වෘත්ත තුළ අන්තර්ගත වන්නේ කටු කම්බි රැහැන් ය. හරියට කටු කම්බි වැටක් ඉදිරියේ වෘත්තාකාර සිදුරු විසි හතරක් තිබෙන සුදු කැන්වසයක් දමා තිබෙනවා සේය. 

සාමාන්‍යයෙන් 'කටු කම්බි' යන හැඟවුම්කාරක දෙක මගින් නිරූපණය වන්නේ, විශේෂයෙන් ලාංකික සන්දර්භය තුල, 'වධාකාගාර', 'රාජ්‍ය ත්‍රස්තවාදය', 'සිරවීම', 'කොටු කිරීම', 'මර්ධනය', 'උතුරු නැගෙනහිර සරණාගත කඳවුරු', ආදියයි (මෙයට මේ ආකාරයේ තවත් වදන් එකතු කිරීමට හැකිය).

 නමුත් පුෂ්පකුමාර මේ සිතුවම තුල කරන්නේ 'කටු කම්බි' වල ඇති මෙම හැඟවුම් සියල්ල ඉවත් කිරීම යි. එනම් 'කටු කම්බියෙන් කටු කම්බි' ඉවත් කල විට ඉතිරි වන සියල්ල පෙන්වීමයි. හරියට කිසියම් වස්තුවක ඇති අනන්‍යතාවයන් එකින් එක, තට්ටුවෙන් තට්ටුව ගලවා ඉවත් කර පසු ඉතිරි වන එහි ශුද්ධ පැවැත්ම මුණ ගැසෙනා ලෙස, අපට පුෂ්පකුමාර විසින් අභිමුඛ කරනු ලබන්නේ කටු කම්බියේ නිකංම පැවැත්මයි. 

මෙය වටහා ගැනීම සඳහා බදියුගේ පැවැත්ම පිලිබඳව වන ප්‍රවාදය, තරමක් සරල ලෙස වටහා ගන්නට උත්සාහ කරමු. පැවැත්ම යනු ඕනෑම 'දෙයක' ඇති පරම ස්වභාවයයි. වෙනත් ලෙසකින් කියනවානම්, එම දෙය වෙනත් කෙනෙකුට පෙනෙනා සාපේක්ෂ ආකාරය නොව එහි සැබෑ ස්වරූපයයි. සද්භාවවේදය යනු, මේ අනුව පැවැත්ම, පැවැත්ම ලෙසම සලකනා කතිකාවයි. බදියුගේ මූලික තිසීසය වන්නේ පැවැත්ම යනු එකකට ඌණනය කල නොහැකි ශුද්ධ බහුගුණාකාරය බවයි. 

නිදර්ශනයක් ලෙස 'ගස' යන්න ගන්න. මෙම ගසෙහි පැවැත්ම කුමක්ද? මෙම ගසේ පොත්ත නිර්මාණය වී තිබෙන්නේ, මිය ගිය සෛල බිත්ති වලිනි, එම සෛල බිත්ති නිර්මාණය වී තිබෙන්නේ කාබෝහයිඩ්රේට වලිනි අවසානයේදී මේවා නිර්මාණය වී තිබෙන්නේ පරමාණුක අංශු වලිනි. එසේනම් ගසෙහි පැවැත්ම යනු පරමාණුක අංශු යන්නද? මෙයට බදියු දෙන පිළිතුර වන්නේ නැත යන්න යි. පරමාණුක අංශුවක් යනුද කිසියම් බහුගණනයන් හි ඓක්‍යය වන කුලකය කි. එම කුලකයේ 'අවයව' යනුද, එය තුලම ගත්විට, තවත් කුලකය කි. මේ මේ ගුණයන් වල එකතුවට අපි කියනවා 'උප පරමාණුක අංශු' කියා. මෙය අවසානයේදී අපට කුඩාම අණුවක් හමු නොවේ. වෙනත් වචන වලින් කියන්නේනම් එය 'එකකට' ඌණනය කල නොහැකි ය. එම නිසා මෙය අවසන් වන්නේ ශුන්‍යත්වයෙනි. ශුද්ධ බහුගුණාකාර ය, මේ අනුව ශුන්‍යත්වයට සමපාත වේ. 

'එකිනෙකින්' වෙන්වූ ඒකීය වස්තූන් ලෙස අපට පෙනෙන දේ සැබවින්ම ප්‍රතිඵලයක් වන අතර ආරම්භය, එනම් පැවැත්මවන්නේ බහුගුණාකාරය යි. සද්භාවවේදය යනු ගණිතය වේ යන බදියුගේ මූලධාර්මික තිසීසය පදනම් වන්නේ මේ මතය. ගෙයෝග් කැන්ටෝර් (Georg Cantor) විසින් ආරම්භ කරන ලද සහ පසුකාලීනව වර්ධනය වූ කුලක ප්‍රවාදය හරහා නූතන සද්භාවවෙදයක් සඳහා වන ඉහත අවශ්‍යතාවය ඉටුවේ. ඉතාම සංක්ෂිප්ත ලෙස කියන්නේනම්, කුලකයක් යනු උප කුලකයන්ගේ එකතුවකි. වෙනත් ලෙසකින් කියන්නේනම්, කුලකයක් තුල පවතින මූලාංගයක් (element) යනු 'එකක්' නොවේ. එය තවත් (උප)කුලකයක් එනම්  බහුගුණාකාරී වේ.  එම උප කුලකයන් යනු තවත් උප කුලකයන්ගේ එකතුවකි. මෙය අවසානයේ තිබෙන්නේ ශූන්‍ය කුලකය වන අතර එම නිසා සියල්ල ආරම්භ වෙන්නේ ශුන්‍යත්වය තුළිනි. මේ අනුව 'දෙයක්' යනු බහුගුණාකාරයකි යන්නෙහි ගණිතමය අර්ථය වන්නේ එය කුලකයක් බවයි.

මෙම අතිශයින් සරල වටහා ගැනීම ඔස්සේ අප පුෂ්පකුමාරගේ ඉහත සිතුවම වටහා ගැනීමට උත්සාහ කරමු. කටු කම්බි නම් අපට ඇහැට කණට පෙනෙන, ඇසෙන ලෝකයේ තිබෙන වස්තුව එකම ප්‍රමාණයේ වෘත්තයන් ගේ රටාවක් තුලට සිර කල විට එහි කිසියම් වෙනසක් ඇති වේ. එවිට අපට ලැබෙන්නේ නිකංම කටු කම්බිය නොවේ. ඒ වෙනුවට අපිට දක්නට ලැබෙන්නේ කටු කම්බියේ පරමාණුක රූපයකි. එවිට අපට ලැබෙන්නේ කටු කම්බිය නොව 'කටු කම්බිය' නම් වූ කුලකයයි. මෙම කුලකය අප එකක් ලෙස - දෙයක් ලෙස - ගත්තද එහි අවසානයේදී තිබෙන්නේ එකක් නොවන බහුගුණාකාරිත්වයකි. එනම් තවත් කටු කම්බි ගොඩකි. ඔබ එතැනින්ද තව කටු කම්බියක් සමීපව ගත්විට යලි මෙම රූපයම ඔබට ලැබෙනු ඇත. සෑම වෘත්තයක් තුලම තිබෙනා කහ පැහැති තිත් තුන මෙන් මෙය අවසානයක් නැතිව පුනරාවර්තනය වෙයි.   


එමගින් අපට බල කර සිටින්නේ අනන්‍යතාවයන්ගෙන් හෙම්බත්ව සිටිනා අපගේ ලෝකයට කිසිදු අනන්‍යතාවයකට ඌණනය කල නොහැකි සියළු අනන්‍යතාවයන්ට පොදු වූ දෙය අපට මුණ ගැස්වීම යි. ගණිකත්වය (the generic) යන වචනයේ සරල අර්ථය වන්නේ එයයි, එනම් එක් එක් ආකාරයේ ප්‍රාදේශීය ප්‍රකාශමානවීම් නොව පැවැත්මේ නියම ස්වරූපය ප්‍රකාශමාන වීමයි. ස්වරූපික (figurative) චිත්‍ර කලාව ප්‍රමුඛ වන්නා වූ ලාංකික චිත්‍ර කලා අවකාශයට මෙය තරමක දුලබ අත්දැකීමක් එකතු කරයි.

1 comment: