Tuesday, October 9, 2012

ලෝක කුසලානයේ අවසානය සහ අචාර්ය අරගලයේ අවසානය

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් මාස තුනකට අදික කාලයක් කරමින් සිටි වැඩ වර්ජනය අවසන් කිරීම පිලිබඳ යෝජනාව කරලියට පැමිණීමත් සමග ෆේස්බුක් එකේ, සහ පොදුවේ අන්තර්ජාලයේ එක එක තැන වල විවිධ කොමෙන්ට් දමන, තමන්ගේ දෛනික ජීවිතය තුල සමාජය සංවිධානය කිරීමට කිසිදු වැඩක් නොකරන නිකමුන් පිරිසක් දැන් 'නැවතත් අරගලය පාවා දී ඇත' සහ 'මෙයින් වූ කිසිවක් නොමැත' කියා විශාල ඝෝෂාවක් නගමින් සිටී. එම නිසා මෙම නිකමුන්ට සහ මෝඩයින්ට ඉතා සරලව මෙයින් අප ලැබූ ජයග්‍රහණය කුමක්ද කියා මේ මොහොත තුල සලකුණු කර තැබිය යුතුය. 
 
අධ්‍යාපනය වෙළඳපොළ තර්කණයට යටත් කිරීම ට එරෙහිව එය පොදු-වූ-දෙය (the Commons) හා සම්බන්ධ දෙයක් වන බවත් එනිසාම මෙය රැක ගැනීම අතිශය වැදගත් සමාජීය වගකීමක් බවත් පවතින දේශපාලනික අවස්ථාව තුල ජවසම්පන්නව තහවුරු කලේ මෙම අරගලයයි. මෙම දෘෂ්ඨිවාදී ජයග්‍රහණයේ දේශපාලනික වැදගත් කම අතිශයෝක්තියට නැංවීම කිසිසේත් කල නොහැකි බව අපගේ හැඟීමයි. එම අරුතින් ගත් විට අධ්‍යාපන උරුමය වෙනුවෙන් සටන් කරනා විවිධ ගෝලීය ව්‍යාපෘතීන් අතරින් මෙම අරගලය ඉතාමත් ඉහල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ. 


එස්. බී. දිසානායක මහතා විසින් අධ්‍යාපනය ප්‍රාග්ධනය වෙත පූර්ණ විකසිත ලෙස විවර කිරීමට අවශ්‍ය දෘෂ්ඨිවාදී පසුබිම හැඩ ගන්වමින් සිටි විට එයට එකල විරෝධය දැක්වූයේ, මූලික වශයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පමණි. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීම නොව, එයට පක්ෂ වීම අද දවසේ විලාසිතාව බව අනුරුද්ධ ප්‍රදීප් මහතා පැවසුවේ එම නිසාය.  නමුත් මෙම අරගලයේ දෘෂ්ඨිවාදී ජයග්‍රහණයත් සමගම මෙම 'විලාසිතාවට' එරෙහිව 'යථාර්ථය' වෙනුවෙන් සටන් වැදීමට අවශ්‍ය සමාජීය ශක්තිය අපිට ලැබී තිබේ. මෙම දෘෂ්ඨිවාදී ඉදිරිපිම්ම ආරාක්ෂා කර ගැනීම තවදුරටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පමණක් වන වගකීමක් නොව, පොදු සමාජයක් වෙනුවෙන් අරගලය කරනා අප සැමගේ වගකීමකි.   

බොහෝ දෙනා ලියන කියන දේ වලින් පෙනී යන්නේ ඔවුන් දේශපාලන අරගල යනු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වැනි එකක් කියා සිතනා බවයි. ඒ අනුව මෙම වෘත්තීය සමිති අරගලය ජයග්‍රාහීව අවසන් විය යුතුව තිබුණු එකම ආකාරය වන්නේ අධ්‍යාපනය සඳහා රජය 6% වෙන් කරන බව විශේෂ නිවේදනයක් කරමින් පැවසීම වන අතර එසේ වන්නේ නොමැතිනම් මෙම අරගලය පරාජය වීම සහ එය පාවා දී තිබීම අනිවාර්යයකි. ක්‍රිකට් තරඟය පරාජය වූ සැනින් එය ලසිත් මාලිංග විසින් පාවා දී ඇතැයි කියනා මෝඩ ක්‍රීඩා රසිකයන් සහ මෙම ෆේස්බුක්-දේශපාලන-විචාරකයන් අතර වෙනසක් නොමැත.  අඩුම තරමේ ක්‍රිකට් නරඹන්නන් කියන්නේ තමන් සහයෝගය දෙන කණ්ඩායමේ පරාජය දරා ගත නොහැකිව ගෙල වැල ලා ගෙන මිය යන්න තරම් අවංකත්වයක්  තිබුණු මිනිසුන්ය. අපගේ ෆේස්බුක්-දේශපාලන-විචාරකයන්ගෙන් අපට එවැනි අවංකත්වයක් වත් බලා පොරොත්තු වෙන්න පුලුවන්නම් එය අපගේ ඉදිරි වැඩ වලට විශාල පහසුවක් වනු ඇත. කේමදාසගේ සෞත්‍රික නිර්මානයක කියවෙන පරිදිම, අපට අසන්නට ඇත්තේ මෙවැන්නකි: පිනට උපන් මිනිසුන් සිටිනා රට, නියම කලට වසිනා වැසි කුමටද?       

13 comments:

  1. ඔව් නේ. වැඩ වර්ජනය කරපු මාස තුනේ නොගෙවන ලද වැටුප නැවත ඉල්ලා ගැනීමම කොච්චර ලොකු ජයග්‍රහණයක්ද නේද?

    ReplyDelete
    Replies
    1. මේක ජෝක් කරලා ඔබ පෙනී ඉන්නේ කවුරුන් වෙනුවෙන්ද කියල පැහැදිලි වෙනවා කියන එක අමතක උනාද?

      Delete
    2. අනේ ඒ බලුගැත්තාට නොදැන කල වරදට සමාව දෙනු මැනව - ඇනෝ 2

      Delete
  2. එකඟ නැත. ආචාර්යවරු මුල සිට ගෙනගියේ වැටුප් සටනය. වැඩේ කියන්නේ ඒකට 6% දමා බැටළු හමක් දාලා තිබුන එකය. අනික මචං අරගයක් පිරිසිදු නෑ කියන්නේ අවුලක් ඒක කිසිම දේකට සාපේක්ෂව හොඳ වෙන්නත් බෑ. කොහොම වෙතත් 6% බැටළු හමක් දාපු ආචාර්ය වරු ටික රියල් බැටළුවන්ව කඩේ යැව්වා නැතිවෙන්න. මම නම් මේක දකින්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ විග්‍රහය තව දුරටත් ඉදිරියට ගෙන ගියහොත් රුසියානු විප්ලවය යනු, පාන් වනුවෙන් කල අරගලයක් පමණක් ලෙස නිගමනය කරන්නට සිදු වෙයි. මන්ද, එය ආරම්භ වුයේද කොමියුනිස්ට්වාදය ඉල්ලමින් නොව කුස ගින්නට පාන් දෙන මෙන් ඉල්ලමිනි. පසුව ලෙනින් ඇතුළු පිරිස කර ඇත්තේ මෙයට 'කොමියුනිස්ට්වාදී බැටළු හමක්' පෙරවීමයි. කරුණාකර ඔබ කියන ආකාරයේ 'පිරිසිදු' අරගලයකට නිදර්ශනයක් සපයන්න පුළුවන්ද?

      Delete
    2. සැපටිස්ටා ව්‍යාපාරය - ඕනනම් අනුරැද්ධගෙන් අහල බලන්න.

      අනෙත් එක ඔය වගේ Fragmatic වැඩ නිසා තමයි සමාජවාදෙට කෙලම වුනේ.

      පතිරණ

      Delete
    3. සැපටිස්ටා ව්‍යාපාරය - ඕනනම් අනුරැද්ධගෙන් අහලා බලන්න.

      අනෙත් එක ඔය(මේ) වගේ fragmatic වැඩ වලින් බලය ගනිපු නිසා තමයි රැසියවට සහ රැසියාව අනුගමනය කරපු කාටත් සමජවාදෙටත් කෙලවුනේ.

      පතිරණ

      Delete
  3. එකගවිය නොහැක, අධ්‍යාපනය වෙළඳපොළ තර්කණයට යටත් කිරීම ට එරෙහි වූ මතය සමාජය මත ඉතාහොදින් පදනම් වූ මතයක් වෙයි. අති විශාල කැපකිරීම් වලින් පසු ( විශේෂයෙන්ම ශිෂ්‍ය පාර්ශවයේ) මෙය ජයග්‍රහණයක් ලෙස හුවාදක්වන්නේනම් කොතැනක හෝ වැරදි ඇතිබවනම් පැවසිය හැක. දෙවෙනුව අධ්‍යාපනය ප්‍රාග්ධනය වෙත විවර කිරීමට ආචාර්ය සංගමය විරුද්දද? මෙම සටන පුරාවට එවැනි මතයක් සමාජ ගත නොවූ බවනම් ඉදුරා කිවිය හැක. එනයින් ඔබ කියනා "දෘෂ්ඨිවාදී ජයග්‍රහණ" මහා පොලවේ දක්නට නොමැති ඔබ වැනි සංවාද කව වලට සිමා වුවක් විය හැක . අවසන්ව කිවයුතුව ඇත්තේ ඔබ කියනා 'යථාර්ථය'වෙනුවෙන් සටන් වැදීමට අවශ්‍ය සමාජීය ශක්තිය සමාජය විසින් එහි නායකයන්ට ලබා දුන්නත් ඔවුන් එය අපතේ හැරිය බවයි. දසදහස් ගණනක් වූ සිසුන්ගෙන් ඔබ සොරාගත් කාලයට ඔබ වගකීමට බැදී සිටි, ඔබ එයට අනිවාර්යයෙන් වන්දිගේවිය යුතුය. එසේ නොවන්නේනම් ඔබ කර ඇත්තේ සමාජ සටන් තවත් ගවු ගණනක් පිටුපසට ඔසවා ඔසවා විසි කිරීමයි

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය වෙළඳපොල තර්කණයට යටත් කිරීමට එරෙහිව සමාජය පුරා හොඳින් තහවුරු වූ මතයක් යන්න අපගේ විග්‍රහය නොවේ. අද වන විට අධ්‍යාපනය කියන එක සඳහා ඇති හෙජමොනික අර්ථය වන්නේ එය එක අතකින් ශිෂ්‍යයන්ට රැකීයාවක් ලැබීමට පුහුණුවක්ද අනෙක් ඇති එය ප්‍රාග්ධනයට ආයෝජනය කිරීමට ඇති අවකාශයක්ද යන්නයි. මෙය අද ලංකාවේ පමණක් නොව, ගෝලීය වශයෙන්ද දැකිය හැකි තත්වයකි. අද පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති විරෝධය සහ අසූව දශකයේ එයට තිබුණු විරෝධය අතර සංසන්දනයක් කිරීමෙන් මෙය අවබෝධ කර ගත හැකි වෙයි.

      දෙවෙනි කරුණ සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ, 'රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම' කියන සටන් පාඨයේ තිබෙන්නේම අධ්‍යාපනය ප්‍රාග්ධනයේ තර්කණයට විවර කිරීමට ඇති විරෝධයයි. රාජ්‍ය අධ්‍යාපනය යන්නෙහි ප්‍රතිපක්ෂය වන්නේ පෞද්ගලික අධ්‍යාපනයයි. අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කල යුතුය කියා කියන්නෙම මෙය වෙළඳපොල බලවේග වලට පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය යන්නයි.

      ඔබ විසින් පවසනා පරිදි, එම නායකයන්ට අවශ්‍ය ශක්තිය සමාජය විසින් ලබා දුන්නානම්, ඔවුන් කල යුතුව තිබුනේ කුමක්ද? පඩි නොමැතිව තවදුරටත් වැඩ වර්ජනය කරන්නද? එවිට ඔවුන් ට ජීවත් වීමට ආධාර දෙන්නේ කවුද?

      අවසාන වශයෙන්, මෙම අරගලය පූර්ණ ජයග්‍රණයක් කියා අප කියා සිටින්නේ නොමැති බව අප කිව යුතුය. නමුත්, මෙය හුදු පාවාදීමක් සහ පූර්ණ පරාජයක් ලෙස අර්ථ ගැන්වීම වැරදි බව පමණක් කයන්නෙමු. මෙය අවසන් කිරීම සඳහා ආණ්ඩුව විසින් ලබා දෙන ලද, මේ වනවිටත් ප්‍රසිද්ධියට පත් වී ඇති ලියුම්, කිසිසේත්ම සතුටුදායක නොවන බව අපි පිළිගන්නෙමු. නමුත්, හෙට දිනයේදී සටන් කිරීමට අපගේ ජයග්‍රහනයන්ද සටහන් කල යුතු වන හෙයින්, ඒ පිළිබඳව පමණක් මෙතනදී කතා කළෙමු.

      Delete
    2. දෙවෙනි කරුණ සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ, 'රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම' කියන සටන් පාඨයේ තිබෙන්නේම අධ්‍යාපනය ප්‍රාග්ධනයේ තර්කණයට විවර කිරීමට ඇති විරෝධයයි. රාජ්‍ය අධ්‍යාපනය යන්නෙහි ප්‍රතිපක්ෂය වන්නේ පෞද්ගලික අධ්‍යාපනයයි.

      මේ සහසම්බන්ධ පතිපක්ෂ මත පියිටනවා යන්න මේ සිස්ටම් එක තුලමයි ඉන්නෙ. මේ දෙකටම වෙනස් අධ්‍යාපනයකුයි අප යෝජනා කලයුතු වන්නේ.....(මොකද මේ ක්රම දෙකේම අවසන් ප්රතිඵලය එකක්වන නිසා)

      පතිරණ

      Delete
  4. නිකන් සාමාන්‍ය දේශපලුවො කියන කතා ටිකක් අචාර්ය වරු කලින් ඉදල කියල තියෙන්නෙ, පා ගමන යනකොට ඉස්කෝල වල පොඩි උන් අචාර්‍ය වරුන්ට අත වැනුවලු කදුලුත් ආවලු, නිර්මාල් සෙරප්පු දාගෙනලු පාගමනෙ ගියෙ, හි හි හි හි..................................... ඔයිට වඩා හොඩඉ බන් මහින්ද්යගෙ මාර්කටින්

    ReplyDelete

  5. රුසියානු විප්ලවය සහ කුහක ෆුට අරගලය අතර වෙනස වටහා ගත නොහැකි කුහකත්වය කුමක්ද? ඔව් රුසියානු විප්ලවයේ තේමාව පාන්ය. නමුත් වෙනස ඇත්තේ එම අරගලය සාර් පාලනය වෙතින් පාන් ඉල්ලා නොසිටීම සහ අලුත් සමාජ ක්‍රමයක් තුල පමණක් පාන් දිය හැකි බව පෙන්වා සිටීමය. එහිදී ඔවුන් අපේක්ෂා කලේ සමස්ත ක්‍රමයේ වෙනසකි. ෆුට අරගලයත් එවැන්නක්ද? එම අර්ථයෙන් එය ක්‍රම විරෝධී අරගලයක් වන්නේ කෙසේද?
    එවෙනි පාන් අරගලයක් ක්‍රම විරෝධයක් දක්වා දිගේලි කිරීමේ ප්‍රතිවිපාකය වසර 70 ගණනකට පසු මුණ ගැසීම සහ සෝවියට් දේශය තුල වසර 70 ගණනකට පසු (1991 ) සිටින්නේත් පාන් ඉල්ලු මිනිසාම වීම ලේනිනිගේ එම ක්‍රියාවේ ප්‍රතිපලයයි. රුසියානු විප්ලවයේ අවසාන ප්‍රතිපලය වුයේ මාක්ස්වාදී දේශපාලනය, එම පක්ෂ සහ ලොව පුරා මාක්ස්වාදීන් වඳවීමේ තර්ජනයට ලක්වූ ජීවීන් කොට්ටාශයක් බවට පත්වීමය.
    ඒවා කෙසේ වෙතත් ආයතනගත අධ්‍යාපනය වෙනුවෙන් මර හඬ දෙන මධ්‍යස්ථානයේ නිර්මාක්ස්වාදී මුග්ධත්වය එහි පලකොට ඇති බොහෝ ලිපි වලින් විද්‍යාමාන වේ.

    ReplyDelete
  6. ෆුටා අරගලයට න්‍යාය සහ කරුණුමය දායකත්වය සපයන "මධ්‍යස්ථානය" නම් කණ්ඩායමේ ( කිහිප දෙනාගේ ) අදහසට අනුව කුහක ෆුටා අරගලය රුසියානු විප්ලවයට සමානය. මේ ඒ පිලිබඳ සටහනකි.

    රුසියානු විප්ලවය සහ කුහක ෆුට අරගලය අතර වෙනස වටහා ගත නොහැකි කුහකත්වය කුමක්ද? ඔව් රුසියානු විප්ලවයේ තේමාව පාන්ය. නමුත් වෙනස ඇත්තේ එම අරගලය සාර් පාලනය වෙතින් පාන් ඉල්ලා නොසිටීම සහ අලුත් සමාජ ක්‍රමයක් තුල පමණක් පාන් දිය හැකි බව පෙන්වා සිටීමය. එහිදී ඔවුන් අපේක්ෂා කලේ සමස්ත ක්‍රමයේ වෙනසකි. ෆුට අරගලයත් එවැන්නක්ද? ෆුටා අරගලය තම වැටුප් සහ සුභසාධන අයිතිවාසිකම් ඉල්ලා සිටින්නේ සාර් රාජ්‍යා පාලනය වැනි "රාජ්‍ය පාලන ක්‍රමයක්" වෙතින්ද? එසේ නොමැති නම් ක්‍රමය කළමනා කරණය කිරීම සඳහා ජනතා චන්දයෙන් පත් වන ආණ්ඩුවක්, එනම් දෘෂ්ටිවාදීමය ලෙස පාලන තන්ත්‍රය සහ පොදු ජනතාව අතර වෙනසක් නොමැති තත්වයක් වෙතින්ද? ( ද්විපක්ෂ යාන්ත්‍රණය තුල පාලන තන්ත්‍රය මාරු වන්නේ එම පාලන තන්ත්‍රය ක්‍රමය කළමනා කරණය කිරීම අපොහොසත් වන තත්වයකදීය. ) එම අර්ථයෙන් කුහක ෆුටා අරගලය ක්‍රම විරෝධී අරගලයක් වන්නේ කෙසේද? ක්‍රමය තුල, වඩවඩාත් නිෂ්පාදන සහ සේවා වෙනුවෙන් වන ක්‍රය ශක්තිය වර්ධනය කර ගැනීමත්, මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වලින් එකක් වන කුස ගින්න ( රුසියානු විප්ලවයේදී පාන් ඉල්ලා සිටීම. ) සහ එනයින් ක්‍රමයේ සීමාව සලකුණු කිරීමත් යන කාරණා සමපාත වන්නේ ඇලන් බදියුගේ දර්ශනයට අනුව විය යුතුය.
    එවෙනි පාන් අරගලයක් ක්‍රම විරෝධයක් දක්වා දිගේලි කිරීමේ ප්‍රතිවිපාකය වසර 70 ගණනකට පසු මුණ ගැසීම සහ සෝවියට් දේශය තුල වසර 70 ගණනකට පසු (1991 ) සිටින්නේත් පාන් ඉල්ලු ධනේශ්වර මිනිසාම වීම ලෙනින්ගේ එම ක්‍රියාවේ ප්‍රතිපලයයි. රුසියානු විප්ලවයේ අවසාන ප්‍රතිපලය වුයේ මාක්ස්වාදී දේශපාලනය, එම පක්ෂ සහ ලොව පුරා මාක්ස්වාදීන් වඳවීමේ තර්ජනයට ලක්වූ ජීවීන් කොට්ටාශයක් බවට පත්වීමය.
    ඒවා කෙසේ වෙතත් ආයතනගත අධ්‍යාපනය වෙනුවෙන් මර හඬ දෙන මධ්‍යස්ථානයේ නිර්මාක්ස්වාදී මුග්ධත්වය එහි පලකොට ඇති බොහෝ ලිපි වලින් විද්‍යාමාන වේ.

    ReplyDelete