Thursday, August 9, 2012

කිසිවක්ම නොමැති වීමටත් වඩා අඩුවෙන්....


පහතින් පල වෙන්නේ ස්ලැවෝයි ජිජැක් ගේ “Less Than Nothing – Hegel and the Shadow of Dialectical Materialism” නම් කෘතියෙන් කොටසක් සඳහා කල දල සිංහල පරිවර්තනයයි. හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද, එය පිළිබඳව මාක්ස්වාදය තුල ඇති විවේචනය, ආදිය සම්බන්ධයෙන් විවිධ හේගලියානු බුද්ධිමතුන්ගේ විවරණ යොදා ගනිමින් මෙහිදී ජිජැක් සරල පැහැදිලි කිරීමක් කරයි. හේගල් පිළිබඳව කරන කියවීමකදී මග හැරිය නොහැකි මෙම සමකාලීන හේගලියානුවාගේ අර්ථ විවරණයන් ඔබගේ අධ්‍යනයන් වලට උපකාරකයක් වෙයි කියා අපි සිතමු. හේගලියානු දයලෙක්තිකය මිනිස් දැනුමේ පරිසමාප්තිය, එහි සුරතාන්තය ලෙසට උත්කර්ෂයට නංවමින්, හේගල් ව ආගමික ගූඨවාදයක් දක්වා ඌණනය කරනා අවස්ථාවාදීන්ගෙන් හේගල් ව බේරා ගැනීමටත්, දර්ශනයේ ඉතිහාසය තුල සර්වඥ බුදුවරුන් හෝ සර්වබලධාරී දෙවිවරුන් හෝ නොමැති බව පෙන්වීම සඳහාත් අප මෙවැනි මැදිහත්වීම් කීපයක් කිරීමට අදහස් කරමු. අවශ්‍ය ඕනෑම කෙනෙකුට, අපි පිස්සන්, බඩු කාරයන් නැතිනම් විපරීතයන් ලෙස ඇති වන තුරු ලියා හිත හදාගෙනකවුරුවත් නැති තැනකට වෙලා මෙය හොරෙන් කියවා බැලිය හැකිය. ලංකාවේ අව්‍යාජ දාර්ශනික ව්‍යාපාරයක් ඇති විය හැක්කේ, දර්ශනයේ ඉතිහාසය ගැන නව්‍ය අර්ථකතන දිය හැකි කියවීමේ සම්ප්‍රදායක් ඇති කිරීමෙන් විනා එක්කෙනෙක් පොත් කියවා, ඉතිරි බොහෝ පිරිසට එම කියවූ පොත් වල අන්තර්ගත දේ, එය කියවූ පුද්ගලයාට තේරුම් ගිය පරිදි, පැහැදිලි කරනා පංති පැවැත්වීමෙන් නොවේ. මේ සඳහා අප වහ වහා කල යුත්තේ මේ පිළිබඳව ලියවී ඇති සාහිත්‍යය වෙත ලාංකික පාඨකයා අභිමුක කිරීමයි. දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය කුමක්ද කියා සියලු දෙනාට වෙරි හිඳුනු දෑසින් දැක ගත හැකි වන්නේ එවැනි දිනයකටයි. පශ්චාත්-X” යනු කුමක්ද කියා එවිට බොහෝ දෙනෙකුට වැටහෙනු ඇති.




උපුටා ගැනීම Zizek, S., Less Than Nothing – Hegel and the Shadow of Dialectical Materialism, London: Verso, 2012, pp 199-206
පරිවර්තනය වංගීස සුමනසේකර

අරගලය සහ ප්‍රතිසන්ධානගතවීම (Struggle and Reconciliation)[i] 

මෙය අපව නැවත රැගෙන එන්නේ හේගල්ගේ චින්තනය සහ කිසියම් ආකාරයක හෝ පරිණාමවාදී නැතිනම් ඓතිහාසිකවාදී 'ජංගමවාදයක්' (mobilism) අතර ඇති නොගැලපීම වෙතයි: හේගල්ගේ දයලෙක්තිකය තුල "කුමන ආකාරයකින් හෝ සද්භාවයට-පැමිණීමේ (becoming) මැඩලිය නොහැකි බලය, සියල්ලම රැගෙන යන්නා වූ මහා ප්‍රවාහයක වීර කාව්‍යයක් හඳුනා ගැනීමක් සිදු නොවේ":

"හේගලියානු දයලෙක්තිකය බොහෝ විට - නමුත් මතු පිට අර්ථයෙන් පමණක් ගෙන - ජංගමවාදයකට එකතු කරනා ලදී. ඒ එක්කම පැහැදිලි වන දෙයක් තමයි නිර්ණයන්ගේ (determinations) ස්ථිතික බව පිලිබඳ විවේචනය අනන්ත වූ දයලෙක්තික ක්‍රියාවලියක් පිලිබඳ පරිඥානයකට (conviction) ඉඩ ලබා දිය හැකිය: සීමිත පැවැත්ම (limited being) නැවතත් සහ සෑමවිටම අතුරුදහන් විය යුතු අතර එහි විනාශය අපගේ දෘෂ්ඨිපථයේ සීමාව දක්වාම දික් විය යුතු වෙයි.... කෙසේ උවත්, මෙම තලය තුලදී අප ගනුදෙනු කරමින් සිටින්නේ ඉතිහාසයක අභ්‍යන්තර ඒකීයත්වය ආදේශ කල නොහැකි සරල ගලා-යාමකට (going-on) වෙයි"[ii]

මෙය හඳුනා ගැනීම, සියලු ස්ථායි ආකෘති දිය කර දමන සද්භාවයට-පැමිණීමේ සදාකාලික ප්‍රවාහය පිලිබඳ 'ජංගමවාදී' මාතෘකාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම, තමයි වඩා 'ගැඹුරුයි' කියා කියන, පුරාන විශ්වවෙදීන් ගේ සිට ස්ටාලින් වාදී 'දයලෙක්තික භෞතිකවාදය' දක්වා අඛණ්ඩව ඇති බුද්ධිමය ආකෘතියක් වන සියල්ල ප්‍රාග්-පෞරාණික වියවුලෙන් (Chaos) ආරම්භ වී අවසානයේදී එය විසින්ම ගිල ගන්නවාය යන අන්තර්ඥානය සමග දයලෙක්තික තර්කබුද්ධිය තුල ඇති රැඩිකල් නොගැලපීම වෙත ඇති පළමු පියවර. 'ජංගමවාදය' සඳහා ඇති ජනප්‍රියම ආකෘතිය වන්නේ, එංගල්ස් ගේ සිට ස්ටාලින් සහ මාඕ දක්වා මාක්ස්වාදීන් විසින් ජනප්‍රිය කරවන ලද, හේගල් යනු 'සදාතනික අරගලයේ' දාර්ශනිකයාය යන සම්ප්‍රදායික මතයයි: ජීවිතය යනු ප්‍රතික්‍රියාව සහ ප්‍රගතිය, පරණ දෙය සහ නව දෙය, අතීතය සහ අනාගතය අතර සදාතනික ගැටුම පිලිබඳ බොහෝ ජනප්‍රිය 'දයලෙක්තික' සංකල්පය. 'ප්‍රගතශීලී' පාර්ශවය සමග අපගේ එකතු වීම යෝජනා කරනා මෙම ගැටුම්කාරී මතය හේගල්ට සම්පූර්ණයෙන් පිටස්තර වන අතර ඔහුට අනුව 'පැත්තක් ගැනීම' යන්නම මායාකාරී වෙයි (මන්ද එය නිර්වචනාත්මක ලෙසම ඒකපාර්ශවීය වන නිසා).     

අපි ගමු සමාජ අරගලය එහි වඩාත්ම ප්‍රචණ්ඩ ස්වරුපයෙන්: යුද්ධය. හේගල් මෙහිදී උනන්දු වන්නේ අරගලය යන්නටම වඩා, මෙසේ එකට සම්බන්ධ ආස්තානයෙන්ගේ 'සත්‍යය' එය තුලින් මතු වන ආකාරය, එනම් යුධ වදිනා පාර්ශවයන් ඔවුන්ගේ අන්‍යොන්‍ය විනාශය මගින් 'ප්‍රතිසන්ධානගතවන' (‘reconciled’) ආකාරයයි. යුද්ධයේ සැබෑ (අධ්‍යාත්මික) අර්ථය වන්නේ ගෞරවය, ජයග්‍රහණය, ආරක්ෂාව, ආදිය නොව අපගේ සංවිධිත, පරිමිත ජීවිතයන්ගේ ව්‍යාජ ස්ථායි බව අපට මතක් කර දෙමින් පරම වූ නිශේදනත්වය (මරණය), පරම වූ ස්වාමියෙකු ලෙස නැගී සිටීමයි. සිය සුවිශේෂී ස්වයං-උවමනාවන්ගෙන් ඉවත්වීමට සහ රාජ්‍යයේ විශ්වීයත්වය සමග අනන්‍ය වීමට බල කරමින් පුද්ගලයන්ව සිය 'සත්‍යය' වෙත ඔසවා තැබීමට 'යුද්ධය' සේවය කරයි. සැබෑ සතුරා වන්නේ අප සටන් කරනා සතුරා නොව අපගේ ම පරිමිත බවයි - අපගේ පරිමිත ලෞකික සාන්දෘෂ්ඨිකත්වයේ  (existence) නිස්සාර බව ප්‍රකාශ කිරීම කෙතරම් පහසුද යන්නත්, නමුත් සතුරු සොල්දාදුවෙක් එක් වරම අපගේ නිවසට කඩා වැදී අපගේ පවුලේ සාමාජිකයන් කඩුවකින් කපා දමන්න ගත් විට මෙය පිළිගැනීම කොතරම් අපහසුද යන්නත් පිලිබඳ හේගල් ගේ කර්කශ අදහස සිහියට ගන්න.

දාර්ශනික අර්ථයෙන් ගත් විට, හේගල් මෙතනදී වර නගන්නේ පරිබාහිර බාධාවට (නැතිනම් සතුරාට) වඩා 'ස්වයං-ප්‍රතිවිරෝධය' (‘self-contradiction’) තුල ඇති ප්‍රාථමික බවයි. අපගේ ක්‍රියාකාරකම් බාහිර බාධාවන් මගින් සෑමවිටම ආපසු හැරවෙන බැවින් අප පරිමිත සහ ස්වයං-අසංගත (self-inconsistent) වන්නේ නොවේ; අපව බාහිර බාධාවන් මගින් ආපසු හරවනු ලබන්නෙම අප පරිමිත සහ අසංගත වන නිසාය. වෙනත් වචන වලින් කියන්නේනම්, අරගලයක යෙදී සිටිනා විෂයක් සිය සතුරා ලෙස, තමා ජය ගත යුතු බාහිර බාධාව ලෙස, සංජානනය කරන්නේ විෂයේ අන්තර්භූත (immanent) අසංගත බවේ, භෞතිකකරණයයි: තමාගේ ම සංගත බවේ මායාව රඳා පවත්වා ගැනීම සඳහා අරගල කරනා විෂයට සතුරාගේ භූමිකාව අවශ්‍යය වේ, ඔහුගේ මුළු අනන්‍යතාවයම රඳවා පවත්නේ සතුරාට එරෙහි වීම තුලය, කොතරම්ද කියනවානම් ඔහුගේ (අවසාන) ජයග්‍රහණය යනු ඔහුගේම පරාජය නැතිනම් විසිරී යාමයි. හේගල් කැමති විදියට කියනවානම්, බාහිර සතුරා සමග සටන් වැදීමේදී  කෙනෙක් (නොදැනුවත්ව) සටන් කරන්නේ තමන්ගේම සාරය (essence) සමගයි. මේ අනුව, සජීවී අරගල (engaged struggles) ඉහලට ඔසවා තබනවා වෙනුවට හේගල් කීමට උත්සාහ කරන්නේ සෑම සටන්වැදි ආස්තානයක්ම, සෑම පැත්තක් ගැනීමක්ම, අනිවාර්යය මායාවක් මත යැපීමට සිදු වන බවයි (මායාව වන්නේ සතුරා සමූල ඝාතනය කල පසු මම මගේ පැවැත්මේ පූර්ණ විකසිත බවකට උරුමකම් කියනා බවයි). මෙය අපව රැගෙන යන්නේ දෘෂ්ඨිවාදය සම්බන්දයෙන් නිවැරදි ලෙසම හේගලියානු සංකල්පය විය හැකිව තිබුනේ කුමකටද යන්නයි:  (ඔබගේ ආස්ථානයේ නෛසර්ගික කොටසක් සඳහා) වන වියහකිභාවයේ කොන්දේසි (conditions of possibility) වියනොහැකිභාවයේ කොන්දේසි ලෙස (ඔබගේ පූර්ණ විකසිත වීම බාධා කරන බාධකයක් ලෙස) වැරදියට වටහා ගැනීම - දෘෂ්ඨිවාදී විෂයට අවබෝධ කරගත නොහැක්කේ ඔහු කරදරකාරී බාධාවක් ලෙස සංජානනය කරනා දෙය මත සිය සම්පූර්ණ අනන්‍යතාවය රැඳී පවතින්නේ කෙසේද යන්නයි. දෘෂ්ඨිවාදය පිලිබඳ මෙම සංකල්පය හුදු වියුක්ත මානසික ව්‍යායාමයක් නොවේ: එය දෘෂ්ඨිවාදයේ මූලික ආකෘතිය ලෙස සැලකිය හැකි ෆැසිස්ට්වාදී යුදෙව්-විරෝධය සමග පරිපූර්ණ ලෙස පැහෙයි - කෙනෙක්ට මෙසේ කියවීමටද පෙළඹෙන්නට පුළුවනි: දෘෂ්ඨිවාදය යන්නම (as such) එහි පරිසමාප්ත අවස්තාව (kat’ exochen). සමාජ පර්යායේ සමතුලිතය වෙනස් කරන සහ දූෂණය කරන විදේශීය කරදරකාරයා (intruder) යන යුදෙව්-විරෝධය තුල ඇති යුදෙව්වාගේ චරිතය, අවසාන අර්ථයෙන් ගත් විට සමාජ පර්යාය යන්නේම 'අසංගත බව', එහි අස්ථායි බවේ ගතිකත්වය බිහි කරනා අන්තර්භූත (immanent) පසමිතුරු බව ("පංති අරගලය"), වෙනුවෙන් පෙනී සිටිනා අර්චනකාමී වාස්තවීකරණයකි.

'ප්‍රතිවිරුද්ධයන් අතර ගැටුම' පිලිබඳ හේගල් ගේ උනන්දුව, මේ අනුව, අරගලය තුල "තර්කබුද්ධියේ කපටිබව" (“Cunning of Reaon”) හඳුනාගන්නා මධ්‍යස්ත දයලෙක්තික නිරීක්ෂකයාගේ උනන්දුවයි: අරගලයක නියුතු විෂයක් පරාජය වන අතර (මෙය නියමයක් ලෙසම සිදුවන්නේ ඔහුගේ ජයග්‍රහණය තුලින්මයි) මෙම පරාජය ඔහුව ඔහුගේ සත්‍යය වෙත ගෙන යයි.[...]

මේ නිසා තමයි, හේගලියානු ප්‍රතිසන්ධානගතවීම සම්බන්දයෙන් ඇති සාමාන්‍යය මාක්ස්වාදී ප්‍රතික්ෂේප කිරීම (මෙය ඒ වන විටත් ශෙලින් විසින් මතු කර තිබිණ) මෙතනදී කරුණ වැරදියට අවබෝධ කර ගන්නේ. මෙම විවේචනයට අනුව හේගලියානු ප්‍රතිසන්ධානගතවීම වැරදි වන්නේ එය අදහස තුල (Idea) පමණක් සිදුවන නිසා සහ සැබෑ පසමිතුරුභාවයන් අඛණ්ඩව තිබෙන නිසාත්ය - තමන්ගේ සුවිශේෂී අනන්‍යතාවයන් වලට එල්ලී සිටිනා පුද්ගලයන්ගේ 'සැබෑ ජීවිතයේ' , 'සංයුක්ත' අත්දැකීම් තුල, රාජ්‍යය බලය යන්න පරිබාහිර බලහත්කාරයක් (compulsion) ලෙස ඉතිරි වෙයි. හේගල් ගේ දේශපාලන චින්තනය සම්බන්ධයෙන් තරුණ මාක්ස්ගේ විවේචනයේ හරය වන්නේ මෙයයි: හේගල් විසින් නූතන ව්‍යවස්ථාපිත රාජාණ්ඩු යනු පසමිතුරුතාවයන් ප්‍රතිසන්ධානගත වී ඇති, සෑම පුද්ගලයෙකුටම සිය නියම තැන තිබෙන නැතිනම් සොයා ගත හැකි ඓන්ද්‍රීය සමස්තයක් ලෙස ඉදිරිපත් කලද, ඔහු එමගින් නූතන සමාජයන් තුලත් අඛණ්ඩව ක්‍රියාත්මක වන, "සාංදෘෂ්ඨික තර්ක බුද්ධියේ අතාර්කිකත්වය" (“non-reason of the existing Reason”) ලෙස, නූතන සමාජය තුල නියමිත තැනක් නොමැති කොටස ලෙස,  කොටසක් නොමැති කොටස (“Part of no-part”) (රොන්සියෙර්) ලෙස, කම්කරු පංතිය බිහි කරන පංති අරගලය වසා දමයි. 
මෙම විවේචනය තුල ලේබ්‍රන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ එහි රෝග විනිශ්චය (එනම්, මෙම යෝජිත ප්‍රතිසංධානය වංක සහ "බලහත්කාරී ප්‍රතිසන්ධානගතකිරීමක්" - අඩෝනෝ ගේ එක් රචනයක මාතෘකාව මෙයයි - වන අතර එමගින් සමාජ යථාර්ථය තුල තිබෙනා පසමිතුරුබව ප්‍රතික්ෂේප සඟවයි) නොව "දයලේක්තිකයා ගේ අන්ධ බව නිසා ඔහු වංක ලෙස කරනා මෙම චරිත විග්‍රහය තුල තිබෙන සුවිශේෂ දෙය වන්නේ එමගින් ඔහු අවංක විය හැකිව තිබුණාය කියා කරනා උපකල්පනයයි"[iii]. වෙනත් වචන වලින් කියන්නේනම්, හේගලියානු ප්‍රතිසන්ධානගතවීම නිවැරදි නොවන නිසා එය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට ලේබ්‍රන් විසින් මායාවක් ලෙස ප්‍රතික්ෂේප කරන්නේ දයලෙක්තික ප්‍රතිසංධානය යන සංකල්පයමයි, 'සත්‍යය' ප්‍රතිසන්ධානයක් වෙනුවෙන් ඇති ඉලීමමයි. සැබෑ විඳවීම් සහ පසමිතුරුතාවයන් ප්‍රතිසංධානය මගින් ඉවත් නොවන බව හේගල් හොඳින් දැන සිටියා - ඔහුගේ Philosophy of Right සඳහා ඔහු ලියු පෙරවදන තුල ඔහුගේ සුත්‍රය වූයේ "වර්තමානයේ කුරුසය මත රෝස මල හඳුනා ගන්න" (“recognize the Rose in the Cross of the present”) යන්නයි; නැතිනම්, එය මාක්ස්ගේ වචන වලින් කියන්නේනම්: ප්‍රතිසන්ධානවීම තුල කෙනෙක් බාහිර යථාර්ථය කිසියම් අදහසකට (Idea) ගැලපෙන ලෙස වෙනස් කරනවා වෙනුවට කෙනෙක් මෙම කාලකන්නි යථාර්ථයේ අභ්‍යන්තරික "සත්‍යය" ලෙස මෙම අදහස හඳුනා ගනී. යථාර්ථය වෙනස් කරනවා වෙනුවට හේගල් එයට නව අර්ථකතනයක් ලබා දෙනවා පමණකි යන මාක්ස්වාදී විවේචනයට මේ අනුව කරුණ මග හැරෙයි - හේගල්ට පරාරෝපනයෙන් අනුව විගලීතබවෙන්, ප්‍රතිසන්ධානයට මාරු වීම සඳහා අප යථාර්ථය වෙනස් කරනවා වෙනුවට අප එය සංජානනය කරනා සහ එයට සම්බන්ධ වන්නා වූ ආකාරය පමණක් වෙනස් කල යුතු නිසා, ඔවුන් තට්ටු කරන්නේ සම්පූර්ණයෙන් විවර වී ඇති දොරකටයි. 

Phenomenology of Spirit හී ස්වාමියා සහ වහලා සම්බන්ධ උප පරිච්චේදය තුල ශ්‍රමයේ සිට චින්තනය දක්වා ගමන් කිරීම සම්බධයෙන් හේගල් ගේ විශ්ලේෂණය යටින් දිවෙන්නේ ද මෙම අන්තර්ඥානයමයි. මනුෂ්‍යය වෛශිකත්වයේ නිෂ්පාදනීය ස්වයං-තහවුරු කරගැනීමේ වැඩබිම ලෙස, ස්වභාවික වස්තුන් බලහත්කාරයෙන් වෙනස්කිරීමේ සහ අත්පත් කරගැනීමේ, ඒවා මිනිස් අරමුණු වෙනුවෙන් යටත් කරගැනීමේ ක්‍රියාවලිය ලෙසමෙහිදී හේගල් විසින් (සාමුහික) ශ්‍රමය සමරන්නේ නැති බව, කොජෙව් ට එරෙහිව අවධාරණය කිරීමේදී ලේබ්‍රන් ඉතාම සාධාරණ වෙයි. පරිපූර්ණ වෛශික ග්‍රහණයට සෑම විටම ප්‍රතිරෝධය දක්වන වාස්තවික යථාර්ථය ගොඩනැංවීමේ (පරිවර්තනය කිරීමේ) නොනිමි ක්‍රියාවලියේ "ව්‍යාජ අපරිමිත බව" (“spurious infinity”) තුල සියලු පරිමිත චින්තනය සිරවී ඇති අතර මෙම නිසා විෂයේ ක්‍රියාව (subject’s work) කිසිදා ඉවර නොවේ: "පරිමිත පැවැත්මක් විසින් යොදනා ආක්‍රමණකාරී ක්‍රියාකාරකමක් ලෙස ශ්‍රමය විසින්, සියල්ලට පෙර, සඥා කරන්නේ ස්වභාවධර්මය එහි ඇතුලතින් අල්වා ගැනීම සම්බන්ධයෙන් මිනිසාට ඇති බෙලහීන තත්වයයි"[iv] . පරිමිත චින්තනය යනු කාන්ට් ගේ සහ ෆිඛ්ටගේ සිතිජයයි: පරිබාහිර බාධාවන් මෙන්ම විෂයේ මේ අභ්‍යන්තර ස්වභාවය ජය ගැනීමට කරනා නොනවතින ප්‍රායෝගික-ආචාර්ය ධර්මීය අරගල. ඔවුන්ගේ දර්ශනයන් යනු අරගලයේ දර්ශන වන අතර, හේගල්ගේ දර්ශනය තුල වාස්තවික යථාර්ථය සම්බන්ධයෙන් විෂයේ මූලධාර්මික ආස්ථානය වන්නේ ප්‍රායෝගික මැදිහත්වීම (practical engagement) , වාස්තවිකත්වයේ ගල් ගැසුණු බව (inertia) සමග අභිමුක වීම නොව එයට එලෙස සිටින්නට ඉඩ දීමයි: සිය ව්‍යාදිමය (pathological) සුවිශේශයන්ගෙන් පිරිපහදු කරන ලද විශ්වීය විෂය එය පිළිබඳව විශ්වසනීය බවකින් පෙලෙන අතර එහි චින්තනය යනු ඒ වන විටත් යථාර්ථයේ ආකෘතිය බව දන්නා හෙයින් එයට යථාර්ථය මත සිය ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම අත හරිය හැකිය, යථාර්ථයට එය පවත්නා ලෙස සිටීමට ඉඩ දිය හැකිය.
එම නිසා තමයි මාගේ ආශාවල් සංතෘප්ත කරගැනීමට එනම්, මම විසින් පරිභෝජනය කරනා වස්තුන් නිපදවීමට ඉතාම අඩුවෙන් යෙදවීම තුල මාගේ ශ්‍රමය එහි සත්‍යයට වඩාත් ලංවන්නේ. මෙනිසා තමයි තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිෂ්පාදනය කරනවා වෙනුවට වෙළඳපොල වෙනුවෙන් නිෂ්පාදනය කරනා කර්මාන්ත අධ්‍යාත්මිකව 'ඉහල' වන්නේ: වෙළඳ පොළ නිෂ්පාදනය තුල මාගේ අවශ්‍යතාවයන්ට සම්බන්ධයක් නොමැති භාණ්ඩ මා නිපදවයි. සමාජ නිෂ්පාදනයේ ඉහලම ආකෘතිය වන්නේ, මේ අනුව, වෙලේන්දාගේය: "ඔහු තමයි භාණ්ඩයට  (the Good), එය එහි සෞන්ධර්යාත්මක ගුණය නැතිනම් ප්‍රයෝජ්‍ය වටිනාකම ලෙස උනන්දු නොවී අනෙකෙකුගේ ආශාව එය තුල තිබෙන නිසා පමණක් උනන්දු වන නිසා, පූර්ණ විශ්වීය විෂයක් ලෙස එයට සම්බන්ධ වෙයි." [v] මෙම නිසා තමයි ශ්‍රමයේ, 'සත්‍යය' වෙත ලඟා වීමට එය විසින් ජය ගැනීමට උත්සුක වන්නා වූ (පරිබාහිර) අරමුණු වලින් එය ක්‍රමයෙන් ඉවත් කල යුතුය.

යුද්ධය සමග සංසන්දනය කිරීම මෙතනදී සුදුසු වෙයි: මිලිටරි අරගලයේ 'සත්‍යය' වන්නේ සතුරාගේ විනාශය නොව රණ විරුවාගේ සුවිශේෂී ස්වකීයත්වයේ (Self) 'ව්‍යදිවේදී' (pathological) අඩංගුව කැප කිරීම, එය විශ්වීය ස්වකීයත්වය (Self) ලෙස පිරිපහදු වීම වන්න සේම, ස්වභාව ධර්මය සමග කරනා අරගලය ලෙස ශ්‍රමයේ 'සත්‍යය' වන්නේ ස්වභාවධර්මයට එරෙහි ජයග්‍රහණය, එය මිනි අරමුණු වෙනුවෙන් සේවය කිරීමට යෙදවීම නොව, ශ්‍රමිකයාගේම ස්වයං-පිරිපහදුවීමයි. ශ්‍රමය යනු එක්වරම පරිබාහිර වස්තුන් ගොඩනැගීම (පරිවර්තනය කිරීම) සහ විෂය යන්නේද ශික්ෂිත ස්වයං-ගොඩනැගීම/අධ්‍යාපනයයි. හේගල් මෙතනදී සමරනු ලබන්නේ ශ්‍රමයේ ඇති පරාරෝපිත සහ පරාරෝපනය කරනා චරිත ස්වභාවයයි: මාගේ නිර්මානශීලිත්වයේ ඍජු ප්‍රකාශනයක් වනවාට වඩා, ශ්‍රමය විසින් මට බල කර සිටින්නේ කෘතීම ශික්ෂණයන් වලට යටත් වීමට, මගේ අභ්‍යන්තර දෙන ලද (immediate) ප්‍රවනතාවයන් අත් හැරීමට සහ මගේ ස්වභාවික ස්වකීයත්වයෙන් (Self) මාව පරාරෝපනය කර ගැනීමට:
 “ආශාව විසින් එයට වස්තුව පාරිශුද්ධ ලෙස නිශේදනය කිරීම සහ ඒ අනුව ස්වකීයත්වය පිළිබඳව නුමුහුන් හැඟීමක් වෙන්කරගෙන තිබේ. මම සන්තෘප්තිය, කෙසේඋවත්, එම හේතුව උඩම එක් වරම වියැකී යන තත්වයක් වන්නේ එයට වාස්තවිකත්වය සහ කල්පැවැත්ම (subsistence) නොමැති හෙයිනි. අනෙක් අතට ශ්‍රමය යනු සීමාකරන ලද සහ පරීක්ෂා කරන ලද, වියැකී යාම (evanescence) පමා කරන ලද සහ නවතාගෙන සිටිනා, ආශාවයි; වෙනත් වචන වලින් කියන්නේනම්, ශ්‍රමය මගින් දෙය (shapes) සකස් කරනවා (fashions) සහ හැඩ ගන්වනවනවා" [vi]

මේ අර්ථයෙන්, ශ්‍රමය යන්න චින්තනයට කලින් ඇති වන අතර එය චින්තනය තුල, එය තවදුරටත් පරිබාහිර දේ මත වැඩ නොකර, එය එහිම දෙය (stuff) වීමෙන් පසු, නැතිනම්, එය සිය වෛශික/පරිමිත ආකෘතිය පරිබාහිර යථාර්ථයක් මත පිහිටුවීම වෙනුවට එය තුළමත් යථාර්ථයේ අපිරිමිත ආකෘතියක් ගත් විට,  එහි අවසාන අරමුණ (telos) වෙත ලඟා වෙයි. පරිමිත චින්තනයට අනුව වස්තුව පිලිබඳ සංකල්පය හුදු සංකල්පයකි, ශ්‍රමය මගින් එය යථාර්ථය මත පිහිටුවීම මගින් එය ඉටු කරගන්නා වෛශික අරමුණකි. මෙයට පරස්පරව, සමපෙක්ෂී චින්තනයට අනුව චින්තනය යන්න සරල ලෙස වෛශික වනවා පමණක් නොව, එය එය තුලම ඒ වන විටත් වාස්තවික වෙයි. මේ නිසා තමයි එයම පිලිබඳ විශ්වසනීය කරනා අභ්‍යන්තර ආත්මය ට " දිව්‍යමය යන්න තහවුරු කිරීමට සහ එය ස්වභාව ධර්මය සමග ඇති ඒකමිතිය බාහිරව පෙනෙන්න ට සැලැස්වීමට, ස්වභාවධර්මය ගොඩනගන්න/සකස්කරන්න සහ එය අධ්‍යාත්මික බවට පත් කරන්න තවදුරටත් අවශ්‍ය නොවන්නේ: නිදහස් චින්තනය පරිබාහිරව සිතනා තාක් කල්, එයට පුළුවන් එය එලෙසින්ම තබන්න"[vii].

මෙම එක්වරම සිදුවන, තවමත්-නොමැති (not-yet) එකේ සිට ඒ-වනවිටත්-ඇති (already-is) පසුක්‍රියාකාරී (retroactive) කණපිට හැරවීම (අපි කිසි ලෙසකින්වත් අරමුණ වෙත ඍජුව යන්නේ නෑ - අපි අරමුණ සැබෑ කර ගැනීමට කරනා උත්සාහයේ සිට, එක් වරම එය සැබෑ වී ඇති බව හඳුනා ගැනීම වෙත මාරු වීම) තමයි සාමාන්‍ය මාක්ස්වාදී විවේචනය වන හේගලියානු ප්‍රතිසංධානය , එය යථාර්ථය (සැබෑ වේදනාවන් සහ විඳවීම්) එලෙසින්ම තබන නිසා සහ සැබවින්ම අවශ්‍ය වන්නේ රැඩිකල් සමාජ පරිවර්තනයන් තුලින් සැබෑ ප්‍රතිසංධානය නිසා, ප්‍රමාණවත් නොවන බවේ සිට සියලුම ඓතිහාසිකවාදී ප්‍රකාශනයන්ගෙන් හේගල් ව වෙන් කර ගත හැක්කේ. හේගල්ට අනුව මායාව වන්නේ ඉතිරි වී ඇති බෙදී වෙන්වීම් අමතක කරනා බලයෙන් පටවන 'ව්‍යාජ ප්‍රතිසංධානය' නොවේ; සැබෑ මායාව වන්නේ සද්භාවයට-පැමිණීමේ (becoming) වියවුල ලෙස අපට පෙනෙනා දෙය තුල අපිරිමිත අරමුණ ඒ වන විටත් ඉටු වී ඇති බව වටහා නොගැනීම තුලයි: පරිමිත පර්යාය තුල අරමුණ සැබවින්ම ඉටු වී ඇති බව අත්දැකීමට හෝ දැක ගැනීමට නොහැකි වෙයි. අපිරිමිත අරමුණ දිනා ගැනීම රඳා පවතින්නේ මෙම අරමුණ වෙත අප ලඟා වී නොමැති බවට ඇති මායාව ජය ගැනීමෙනි"[viii].

කෙටියෙන් කියනවානම්, අවසාන රැවටිල්ල රඳා පවතින්නේ තමන් සොයනා දෙය තමන්ට ඒ විටත් තිබෙනා බව දැකීමට අපොහොසත් වීම තුලයි - හරියට ක්‍රිස්තුන්ගේ අනුගාමිකයන්, ඔවුන්ගේ සාමුහිකය යනුම ශුද්ධ වූ ආත්මය බවත්, සජීවී ක්‍රිස්තුන්ගේ නැවත පැමිණීම බවත් හඳුනා නොගෙන ඔහුගේ 'සැබෑ' යලි ඉපදීම සොයනවා වැනිය. අප දුටු ආකාරයට දයලෙක්තික ක්‍රියාවලියේ අවසාන ආපසු හැරවුම, දිව්‍යමය සිදුවීමක මැදිහත්වීම මත (dues ex machina) සිදුවන මැජිකල් පෙරලියක් වෙනුවට ශුද්ධ ලෙස රූපික පෙරලියක් (formal turnaround), දැක්මේ වෙනසක් බව ලේබ්‍රන් අවධාරණය කිරීම නිවැරදි වෙයි: අවසාන ප්‍රතිසන්ධානයේදී වෙනස් වන එකම දෙය වන්නේ විෂයේ ආස්ථානයයි - විෂය අහිමිවීම බාර ගන්නා අතර එය සිය ජයග්‍රහණය ලෙස යලි ඇතුලත් කරයි. ප්‍රතිසංධානය යනු, මේ අනුව, පසමිතුරුභාවයක් ජය ගැනීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය අදහසට වඩා එක් වරම වැඩි සහ අඩු එකකි: අඩු වන්නේ කිසිවක් 'සැබවින්ම වෙනස් නොවන' නිසා; වැඩි වන්නේ මෙම ක්‍රියාවලියේ විෂයට සිය (සුවිශේෂී) ද්‍රව්‍යය අහිමි වන නිසා.
මෙන්න මේ සඳහා බලාපොරොත්තු නොවිය හැකි නිදර්ශනයක්: හවර්ඩ් හොක්ස් (Howard Hawks) ගේ සම්භාව්‍ය වෙස්ටන් (Western) චිත්‍රපටියක් වන රෙඩ් රිවර් (Red River) චිත්‍රපටියේ අවසානයේදී, 'මනෝවිද්‍යාත්මකව සිදුවිය නොහැකි' පෙරලියක් සිදු වන අතර එය සාමාන්‍යයෙන් පිටපතේ දුර්වලතාවයක් ලෙස ඉවත දැමෙයි. මුළු චිත්‍රපටයම මුල සිට දිශානත වන්නේ වීර කාව්‍යමය විශාලත්වයක් අත් කරගෙන ඇති ඩන්සන් සහ මැට් අතර ඇති ගැටුමකට වන අතර එය දෛවය විසින් නියම කරන ලද එකිනෙක නොගැලපෙන වෛශික අස්ථානයන් දෙකක් අතර ගැටුමක් ලෙස දැක්වේ; අවසාන දර්ශනයේදී තමාගේ වෛරය මගින් අන්ධ වූ සහ සිය විනාශය වෙත යන ඛේදාන්තමය වීරයෙක් ලෙස ඩන්සන් , මැට් වෙත යයි. එතනදී ඇති වන ප්‍රචණ්ඩ සටන බලාපොරොත්තු නොවන ලෙස අවසන් වන්නේ මැට් සමග ආදරයෙන් වෙලී සිටිනා ටෙස් අහසට වෙඩිල්ලක් තබා මෙලෙස කෑ ගැසීමත් සමගය: "මොළයකින් බාගයක් හරි තියෙන ඕන එකෙක් දන්නවා ඔය දෙන්න ඔය දෙන්නට ආදරේ කරන බව". එක් වරම ඉක්මන් ප්‍රතිසන්ධානයක් ඇති වන අතර ඩන්සන් සහ මැට් පැරණි මිතුරන් ලෙස එකිනෙකාට කතා කරයි: මෙම "කෝපයේ ජීවමාන ස්වරූපය සහ, මුල සිට අගටම අචිලීස් ලෙස සිටි ඩන්සන් අහිංසක බවට සහ සැහැල්ලු බවට පත් වී, මැට් හට මුළුමනින් එකතු වන වෙනස්කම.. එහි ඉක්මන් බව අතින් පුදුම සහගත වෙයි."[ix] මෙම තාක්ෂණික දුර්වලතාවය යටින් ගැඹුරු පණිවිඩයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් රොබට් පිපින් සම්පූර්ණයෙන් සාධාරණ වෙයි:
"බලය සහ නායකත්වය වෙනුවෙන් අප බලමින් සිටි අරගලය ඇත්ත වශයෙන්ම ඩන්සන් විසින් තමන්ටම තහවුරු කරගැනීමට රඟ දක්වන ලද ෆැන්ටසියකිව්‍යාජය නාටකයකි. කිසදාක සැබෑ සටනක් නොවූ අතර, මරණය තෙක් කරනා සටනක අවධානමක් කිසි ලෙසකින් හෝ නොවීය. අපි බලමින් සිටි මිත්යාමතික අරගලය යන්නද එක්තරා ආකාරයක ස්වයං-මිත්‍යාමතිකකරණයක ප්‍රතිඵලයකි... අප ඉදිරියේ නිර්මිත්‍යාමතිකකරණය වෙමින් තිබුණු ෆැන්ටසි ආක්‍යාන රාමුවකි"[x].

හේගලියානු ප්‍රතිසංධානය ක්‍රියා කරන්නේ මේ ආකාරයටයි - ගැටුම නිරාකරණය කරනා හෝ ජය ගන්නා ධනාත්මක සලකුණක් ලෙස නොව, සැබවින්ම ගැටුමක් නොවුණු බව, කොහොමද ප්‍රති විරුද්ධ පාර්ශවයන් දෙක ඇත්තටම සිටින්නේ එකම පැත්තේ බව (තරමක් දුරට The Marriage of Figaro හි ෆිගාරෝ සහ මාසලිනා, ඔවුන් මව සහ පුතු බව දැන ගැනීමත් සමග, ප්‍රතිසන්ධාන වීම මේකට ටිකක් සමානයි) වෙත ඇති පසුක්‍රියාකාරී අන්තර්ඥානායක ලෙස ය. මෙම පසුක්‍රියාකාරී බව ප්‍රතිසන්ධානයේ නිශ්චිත කාලක්‍රමිකත්වය පිළිබඳවද පැහැදිලි කරයි. සමාව ගැනීමේ ක්‍රියාවලියේ විරුද්ධාභාශය සිහියට ගන්න: මම කාට හරි අකාරුණික ප්‍රකාශයක් කර රිදව්වානම්, මම කල යුතු නියම දෙය වන්නේ මාගේ අව්‍යාජ කනගාටුව ප්‍රකාශ කිරීම වන අතර එවිට ඇය විසින් කල යුතු නියම දෙය වන්නේ මෙවැන්නක් කීමකි: "බොහොම ස්තුති, මම මෙය අගේ කරනවා. නමුත් මම එකෙන් සිත් රිදව ගත්තේ නැහැ. මම දන්නවා ඔබ ඒ කියපු දෙය ඇත්තටම අර්ථවත් කලේ න, ඒ නිසා ඇත්තටම ඔබ මගෙන් සමාව ඉල්ලවිය යුතු නැහැ. මෙතන වැදගත් කරුණ තමයි, මෙම අවසාන ප්‍රතිඵලය කුමක් උවත්, ඔබ මේ සමාව ඉල්ලීමේ සමස්ත ක්‍රියාවලිය හරහාම යා යුතුයි: "ඔබ මගෙන් සමාව ඉල්ලවිය යුතු නැහැ" යන්න කිව හැක්කේ මම සමාව ඉල්ලා සිටිය පසු පමණයි. රූපිකව ගත් විට 'කිසිවක් වෙනස් වී නොතිබුනත්' , සමාව ගැනීම අනවශ්‍ය බව ප්‍රකාශ උනත්, මෙම ක්‍රියාවලියේ අවසානයේදී යමක් ඉතිරි එකතු වෙයි (සමහර විට මිතුරු කමක් උනත් බේරෙන්නට පුළුවනි).

මෙම විරුද්ධාභාශය මගින්, සමහර විට, හේගලියානු දයලෙක්තික ක්‍රියාවලියේ පෙරලි සහ හැරවුම් (twists and turns) අවබෝධ කරගැනීමට යතුරක් සපයනු ඇති. අපි ගමු ජකොබින් වරුන්ගේ විප්ලවවාදී ත්‍රස්තය, පරම වූ නිදහසේ වියුක්ත නිශේදනයේ ව්‍යායාමයක් ලෙස, එයට සංයුක්ත සමාජ පර්යායක ස්ථාපිත වීමට නොහැකිව, ස්වයං-විනාශයේ ගිනි ජාලාවක් ලෙස අවබෝධ කරගනිමින් ඒ  සම්බධයෙන් හේගල් ට ඇති විවේචනය. කෙනෙක් මතක තබා ගත යුතුයි අප මෙතනදී සලකා බලන්නේ ඓතිහාසික තෝරා ගැනීමක් වන නිසා (කතෝලික ආගම තුල රැඳී ඉන්නට ගත් තීරණය සහ එනිසා විප්ලවවාදී ත්‍රස්තය වෙත යන්නට සිදු වූ 'ප්‍රංශ' මාවත සහ රෙපරමාදු වන 'ජර්මන්' මාවත අතර) මෙම තෝරා ගැනීම තුලත් තිබෙන්නේ නැවතත් Phenomenology of Spirit වලදී 'ආත්මය කියන්නේ අස්තියකි යන්න' (Spirit is a bone)  පිළිබඳව ඇති කියවීම් දෙක ෆැලික රූපකයක් ඇසුරින් හේගල් පැහැදිලි කරනා (ෆැලසය යන්න ජීවය දීමේ ඉන්ද්‍රීය මෙන්ම මුත්‍රා කිරීමේ ඉන්ද්‍රීය ලෙස) වැනිම වූ ලෙසනි: හේගල්ගේ තර්කය වන්නේ, මුත්‍රා කිරීම පමණක් දකිනා ග්‍රාම්‍ය අනුභූතිවාදී මනසට විරුද්ධව, නිවැරදි සමපෙක්ෂී ආකල්පය වන්නේ ජීවය දීම තොර ගන්න යන්න නොවෙයි. විද්ධාභාශය වන්නේ ඍජුව ජීවය දීම තෝරා ගැනීම යනු එය මග හැරීමට ඇති හොඳම මග වීමයි: අපට "සැබෑ අර්ථය" වෙත ඍජුව යන්න බැහැ, වෙනත් වචන වලින් කියන්නේනම්, කෙනෙක් ආරම්භ කල යුත්තෙම 'වැරදි' තෝරාගැනීමෙන් (මුත්‍රා කිරීම) - සැබෑ සමපේක්ෂී අර්ථය මතු වෙන්නේ, පළමු 'වැරදි' කියවීම නැවත නැවතත් කියවීමේ පසුව එන ප්‍රතිඵලයක් (නැතිනම් එහි අතුරු ඵලයක්) ලෙසය.

මේ සමගම සුවිශේෂ ආචාර්ය ධාර්මික ජීවන ලෝකයක "සංයුක්ත විශ්වීයත්වය" ඍජුව තෝරා ගන්නා සමාජ ජීවිතයකටත් මෙය ඍජුවම අදාළ වන අතර එය අවසන් විය හැක්කේ නූතනත්වයේ මූධාර්මික ලක්ෂණය ලෙස වෛශිකත්වය සඳහා වන අපරිමිත අයිතිය ප්‍රතික්ෂේප කරන්නා වූ පූර්ව-නූතන ඓන්ද්‍රීය සමාජයක් වෙත පල්ලම් බැසීමෙන් පමණි. නූතන රාජ්‍යයක සිටිනා පුරවැසි-විෂයකට ඓන්ද්‍රීය සමාජ සමස්තය (Whole) තුල ඔහුට නිශ්චිත ස්ථානයක් ලබා දෙන්නා වූ කිසියම් සුවිශේෂ සමාජ භූමිකාවක් තුල ඔහුව ඇතුලත් වීම පිළිගත නොහැකි හෙයින්, නූතන රාජ්‍යයේ තාර්කික මුළු-එකතුවට (totality) යා හැකි එකම මාවත තිබෙන්නේ විප්ලවවාදී ත්‍රස්තය (Revolutionary Terror) හරහාය: කෙනෙක් කලයුත්තේ පූර්ව-නූතන ඓන්ද්‍රීය "සංයුක්ත විශ්වීයත්වයේ" සීමාකිරීම් සාහසික ලෙස ඉරා දමා, වෛශිකත්වයේ අපරිමිත අයිතිය එහි වියුක්ත නිශේදනත්වය තුල සම්පූර්ණයෙන් පිළිගැනීමයි.

වෙනත් වචන වලින් කියන්නේනම්, විප්ලවවාදී ත්‍රස්තය සම්බන්ධයෙන් වන හේගල්ගේ විශ්ලේෂණයේ තර්කය වන්නේ, විප්ලවවාදී ව්‍යාපෘතිය සම්බන්ධ වී තිබුනේ වියුක්ත විශ්වීය තර්කබුද්ධිය (Universal Reason) ඒක පාර්ශවීයව පිළිගැනීම නිසා සහ එනිසාම එහි විප්ලවවාදී ශක්තිය ස්ථායි සමාජ පර්යායක් බවට පිහිටුවීමට නොහැකි හෙයින්, එය ස්වයං-විනාශකාරී කෝපයකින් අවසන් වීමට දෛවෝපගතව තිබිනිය යන ඍජුවම පැහැදිලිව තිබෙන අන්තර්ඥානය නොවේ; මෙයට වෙනස්ව හේගල්ගේ තර්කය වන්නේ විප්ලවවාදී ත්‍රස්තය යන්න ඓතිහාසික සිරවීමක් වීම තිබියදී පවා, නූතන සබුද්ධික රාජ්‍යය වෙත පැමිණීම සඳහා අප එය තුලින් ගමන් කල යුතු වන්නේ කුමන හේතුවක් නිසාද යන ප්‍රහේලිකාව අවධාරණය කිරීමයි.

මෙතනදීත්, යමක් කිරීම අනවශ්‍යය (superfluous) බව දැක ගැනීම සඳහා කෙනෙකුට යමක් කල යුතු වෙයි (සමාව අයැදීම, ත්‍රස්තවාදී පාලන සමයක් ඇති කිරීම). මෙම විරුද්ධාභාශය දරා සිටින්නේ කථනයේ "ප්‍රකාශ-අරමුනුකාරී" (“constative”) මානය සහ "ක්‍රියා-අරමුනුකාරී"(“performative”) මානය අතර වෙනස, "ප්‍රකාශිතයේ විෂය" (“subject of the enunciated”) සහ "ප්‍රකාශ කරනා විෂය" (“subject of the enunciation”) අතර වෙනස තුලයි: ප්‍රකාශිත අන්තර්ගතයේ තලය තුලදී මෙම මුළු මෙහෙයුමම අර්ථවිරහිත වෙයි (යමක් කිරීම අනවශ්‍යනම් එය කරන්නේ - සමාව ඉල්ලන්නේ, ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ - ඇයි?); කෙසේඋවත්, මෙම සාමාන්‍ය දැනුමේ අන්තර්ඥානය විසින් අමතක කරනු ලබන්නේ මෙම 'වැරදි' අනවශ්‍යය මැදිහත්වීම පමණි මෙම මැදිහත්වීම අනවශ්‍යය වන්නේ කුමක්නිසාද යන්න විෂයට දැක ගත හැකි වෛශික කොන්දේසී නිර්මාණය කරන්නේ යන්නයි. මාගේ සමාව ගැනීම අනවශ්‍යය බව පැවසිය හැක්කේ සමාව ගැනීමෙන් පසුව පමණි, ත්‍රස්තය අනවශ්‍යය බව සහ විනාශකාරී බව කිව හැක්කේ එය හරහා යාමෙන් පසුවය. දයලෙක්තික ක්‍රියාවලිය, මේ අනුව, එය බලු බැල්මට පෙනෙනවාට වඩා සියුම් වෙයි: එහි සාමාන්‍යය අර්ථය වන්නේ කෙනෙක්ට අවසාන සත්‍යය වෙත ලඟා විය හැක්කේ වැරදීමේ මාවත තුලින් වන අතර එම නිසා එලෙස පසු කරනා වැරදීම් සරලව ඉවත දමනවා වෙනුවට අවසාන සත්‍යය තුලදී 'සමතික්‍රමණය' කරයි, එහි නිමේෂයන් ලෙස එය තුල ආරක්ෂා කර ගනී. දයලෙක්තික ක්‍රියාවලිය පිලිබඳ පරිණාමවාදී අරුත් ගැන්වීමට අනුව, ප්‍රතිඵලය යනු මිය ගිය සිරුරක් නොවේ, එය ජනනය කල ක්‍රියාවලියෙන් වියුක්තව, එය තනිවම පවතින්නේ නැත: මෙම ක්‍රියාවලියෙහිදී, විවිධ නිමේෂයන් පළමුවෙන් දෘශ්‍යමාන වුයේ ඒවායේ ඒක පාර්ශවීය දෙන-ලද (immediate) ආකෘතියෙන් වන අතර අවසාන සහවාදය (synthesis) විසින් ඒවා සමතික්‍රමණය කරන ලද ලෙස, ඒවායේ සබුද්ධික න්‍යෂ්ඨිය ඉතිරිකරගනිමින්, එකට එක් කරයි. මෙම සාමන්‍යය සංකල්පනයට මග හැරී යන්නේ කලින් පවතී නිමේෂයන් නිශ්චිතවම අනවශ්‍යය ලෙස ආරක්ෂා කරගෙන ඇති ආකාරයයි. වෙනත් වචන වලින් කියන්නේනම්, පෙර පැවති මොහොතවල් අනවශ්‍යය උවත්, ඒවා එලෙස බව දැක ගත හැකි ලක්ෂ්‍යය වෙත පැමිණීමට කාලයක් ගත වෙයි.




[i] මෙහි ඇති සියලු උපුටා ගැනීම් සිංහලට පරිවර්තනය කරන ලද්දේ මවිසින් වන අතර, ඒවාට අදාලව ජිජැක් විසින් දෙන ලද විමර්ශකයන් පාද සටහන් වල දක්වා තිබේ. (වංගීස)
[ii] බලන්න , Lebrun, Gerard, L’envers de la dialectique: Hegel a la lumiere de Nietzsche, Paris: Seuil, 2004, p 218.
[iii] එම p 115.
[iv] එම p 207.
[v] එම p 206.
[vi] බලන්න  Hegel, G. W. F., Phenomenology of Mind, second revised edition, trans. J. B. Baillie, Mineola: Dover 2003, p 111
[vii]බලන්න  Hegel, G. W. F. Vorlesungen uber die Philosophie der Geschichte (Werke, Vol. 12), Frankfurt: Suhrkamp 1970, p 323.
[viii] බලන්න  Hegel, G. W. F., Encyklopadie der philosophischen Wissenschaften im Grundrisse, Vol.1: Die Logik, Berlin: Dunder and Humblot 1843, p 384 (# 212).
[ix]  බලන්න  Robert Pippin, Hollywood Westerns and American Myths, New Haven: Yale University Press 2010, p 52.
[x] එම pp 54-55.

1 comment: