Wednesday, May 9, 2012

Slavoj Zizek කියන නම උච්චාරණය කරන්නේ කොහොමද?



ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන බුද්ධිමය සාකච්චාවේ ස්වරූපය අවබෝධ කරගත හැකි එක්තරා රෝග ලක්ෂනාත්මක ලක්ෂ්‍යයක් වන්නේ, විදේශීය චින්තකයන්ගේ නම් සිංහලෙන් ලියන ආකාරයයි. සාමාන්‍යයෙන් අපට නුහුරු නම් තිබෙන රටක පුද්ගලයකුගේ නමක් ලියා තිබෙන අයුරින් පමණක් එය උච්චාරණය කරන ආකාරය පිලිබඳ නිවැරදි අවබෝධයක් නොලැබිය හැකිය. එවිට සිදුවිය යුතු වන්නේ, එය නිවැරදි ආකාරයට උච්චාරණය කරන ආකාරය දැනගත් පසු, කලින් එය වැරදියට උච්චාරණය කලානම්, එය නිවැරදි කරගැනීමයි. මෙය මහා ලොකු දාර්ශනික තර්කයක් නොව, එදිනෙදා ජීවිතය තුල කවුරුත් කරනා දෙයක්ය. 


නමුත් අපේ රටේ බුද්ධිමය සංවාදයන් තුලදී මෙයට පරස්පරව මෙලෙස කලින් වැරදියට උච්චාරණය කල නමක නිවැරදි උච්චාරණය දැනගත් පසුද, හිතුවක්කාරී ලෙස වැරදි උච්චාරණයම යොදා ගනී. නිදර්ශනයක් ලෙස, Lacan යන්න අප කලින් උච්චාරණය කලේ, "ලකාන්" නැතිනම් "ලැකාන්" කියාය. නමුත් එහි නිවැරදි උච්චාරණය වන්නේ "ලැකෝන්" (ආසන්න වශයෙන්) බව පසු කලකදී දැන ගත පසුද, බොහෝ දෙනා එම උච්චාරණය යොදා ගන්නේ නැත. මෙය ඇත්තටම අපේ රටේ 'බුද්ධිමතුන්ට' පමණක් සීමා වූ කරුණකි. නිදර්ශනයක් ලෙස, හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වූ McGrath යන්න අප කලින් මැක්ග්‍රාත් ලෙස උච්චාරණය කලත්, එය නිවැරදිව උච්චාරණය කරන්නේ 'මැක්ග්‍රා' ලෙස කියා දැන ගත් පසුව, සියලුම දෙනා පහේ, එය නිවැරදි කර ගත්හ. 
   
නමුත් අපේ රටේ බුද්ධිමතුන් පමණක් මෙලෙස නිවැරදි කර ගැනීමට නිහතමානි නොවෙයි. මෙයට හේතුව වන්නේ, මෙම 'බුද්ධිමතුන්' සිතනා ආකාරයට, මෙලෙස නමක් උච්චාරණය කර තිබෙන ආකාරය වැරදි බව පිළිගැනීම ඔවුන්ට බුද්ධිමය මදිපුංචිකමක් වන නිසාය. මෙමගින් දේශපාලනය සහ දර්ශනය අතර ඇති සුවිශේෂ ලාංකික සම්බන්ධය ගැන කියන්නේ කුමක්ද?

Slavoj Zizek යන්න ආසන්න වශයෙන් නිවැරදි ලෙස සිංහලෙන් ලිවිය හැක්කේ ස්ලැවෝය් ජිජැක් ලෙස බව දැන ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් පහත වීඩියෝවේ, තත්පර 37 ට පසුව, ජිජැක් විසින්ම එම නම උච්චාරණය කරන අයුරින් අසා දැන ගත හැක. 

1 comment:

  1. ඕක නම් මහලොකු ප්‍රශ්නයක් නොවෙයි. ඕක ප්‍රශ්නයක් වෙලා තිබුනේ දීප්ති කුමාරට ගුණරත්නට . අදටත් බොහෝ බටහිර මිනිස්සුන්ට 'මහත්මා ගාන්ධි " කියන නම හරියට කියවගන්න බැහැ. ඒ අය කියන්නේ 'මහා ආ ආ ....ත්ම ගැන්ඩි' කියලයි. ජිජක්, ජිජැක්, සිසැක්, ස්ලෝවාජි ජිජාක් ඔය ඕන එකක්. මේ චින්තකයෝ ඉදිරිපත් කරන අදහස තමයි විකෘති කරන්නේ නැතිව ඉදිරිපත් කරන්න අවශ්‍ය වන්නේ .

    ReplyDelete