Tuesday, September 3, 2013

විවාදය - 2013 සැප්තැම්බර් 17 සවස 3.00 ට




අවසානයේ දී දීප්ති කුමාර ගුණරත්න මහතා ඒ මහතා විසින්ම යෝජිත (කල්‍යාට අනුව නම් කොහොමටත් කිසිදා සිදු නොවීමට කලින්ම නියමිතව තිබූ) විවාදය පිළිබඳව අපව කරකවා අතහරින ප‍්‍රකාශයක් කරනු ලැබ තිබේ. තමන්ගේ අනුගාමිකයින්ට Facebook ප‍්‍රජාව ඉදිරියේ ලැජ්ජාවෙන් ගැලවීමට පමණක් ඉවහල් වන බොරු දාර්ශනික හෑල්ල අතහැර දැමූවිට එහි ඇත්තේ මෙයයි.


 ''නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය…. සංවාදයට මයික්, මේස, පුටු අවශ්‍ය නැත. අවශ්‍ය ලිවීම පමණි. මන්ද යත් ලිවීම හරහා ලේඛකයා මිය යන බැවිනි.''


මේ නොකියා කියන්නේ විවාදයට එන්නේ නැති බවයි. ගුණරත්න මහතා චණ්ඩියෙකුසේ විවාදයට අභියෝග කරන විට ඔය දාර්ශනික කතා තිබුනේ නැත. ඒ මහතාට ඒ වෙලාවේ 'ලේඛකයා මියයාම' ගැන අමතක වී තිබූ හැඩයි. එහිදී ඒ මහතා අපට මතක්කර දුන්නේ 'ලිවීමේ දී ලේඛකයා මිය යාම' පිළිබඳව නොව ජිජැක් වැනි අය සංවාද කරන හැටියි. (ලිවීමේ දී ලේඛකයා මිය යාම ගැන ජිජැක් නොදන්නා හැඩයි) ඒ අවස්ථාවේ ඒ මහතා කීවේ මෙසේය.


 ''විශ්ව-විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව අප ඔහුට එරෙහිව යොදා ගන්නේ මඩ ප්‍රචාර පමණි. ඒවාට කිසිදු සත්‍යවාදී හෝ න්‍යායික පදනමක් නැත. අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.


තමන්ගේ තර්කය නිවැරදි බවට නිර්මාල්ට තර්ක කළ හැකි අතර එහි විලෝමය සත්‍ය බවට දීප්තිට තර්ක කළ හැක. මේ සදහා අප අභියෝග කරන්නේ ඒ සදහා ප්‍රසිද්ධ විවාදයක් කරමු යන්නය.


පහත පළ වන්නේ ඔස්ට්‍රේලියාවේ ශීලාචාර රූපවාහිනි නාලිකාවක බුද්ධිමතුන් කිහිප දෙනෙක් අතර වූ විවාදයකි. අපගේ පූර්වාදර්ශය එමගින් ලබාගත හැක. තැන, වේලාව, ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක.''


ඉන්පසුව ඒ මහතාගේ අනුගාමිකයෙකු වන තුෂාර දස්කොන් මහතා ෆේස්බුක් හරහා මට ප‍්‍රකාශ කලේ ඔවුන්ට සතියක් කල් අවශ්‍ය බවයි. මේ කල් අවශ්‍ය වූයේ 'ලිවීමේ දී ලේඛකයා මිය යාම' ගැන මතක් කරගැනීමට නොවිය යුතුය. කෙසේ වෙතත් මුල් අභියෝගය අනුව කටයුතු කිරීම මගේ තීරණයයි. ගුණරත්න මහතා මට අභියෝග කලේ වේලාව සහ ස්ථානය මට තීරණය කළ හැකි බවයි. ඒ අනුව මා තීරණය කළ දිනය වේලාව සහ ස්ථානය මෙසේය:


දිනය        : 2013 සැප්තැම්බර් 17 වන අඟහරුවාදා

වේලාව      :සවස 3.00 

ස්ථානය     :මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රය (CSR)

කෙසේ වෙතත් ගුණරත්න මහතා මේ විවාදයට නොපැමිනෙන බව ඒ මහතා පිළිබඳව ඒ මහතාටත් වඩා හොඳින් දන්නා මම දනිමි. ඒ මගේ අතීත අත්දැකීම් නිසාය. ඒම මහතා කිසි දිනෙක සියයට සියයක්ම තමන්ට පාලනය කළහැකි කොන්දේසි යටතේ විනා විවෘත මණ්ඩපයකදී ප‍්‍රතිවාදියෙකුට අභිමුඛ වන්නේ නැත. කෙසේ වෙතත් මගේ ප‍්‍රාර්ථනාව වන්නේ මා වැරදි වේවා යන්නයි. කෙසේ වෙතත් මගේ ඉහත විනිශ්චයට පාදක වූ ඇතැම් අතීත තොරතුරු මෙසේය:


1. 

පශ්චාත් නූතනවාදය පිළිබඳව ගුණරත්න මහතා ලියූ දෙවල් ගැන අර්ජුන පරාක‍්‍රම විස්තරාත්මක විචාරයක් ICES සිදු කලේය. ඒ 1995 අගොස්තු 26 දිනය. ගුණරත්න මහතාට ඔහුගේ කිසිදු විවේචනයකට ප‍්‍රතිචාර සැපයීමට හැකිවූයේ නැත. ඒ වෙනුවට අර්ජුන විගඩංකාරයින්ට දැනුම දෙනවා වැනි ගුණරත්න මහතා ගේ වචන වලින්ම කියනවා නම් 'ගොන් කතාවක්' පමණක් කීවේය.


මෙන්න ඒ සංවාදය;

දීප්ති:  

ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිලි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා.


අර්ජුන: 

ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති.


දීප්ති: 

ඔයා වැරදිලා වත් ඒ ගොල්ලන්ට විගඩම්කාරයෝ කියලා කිව්වොත් ඔයාගේ වේදිකාව ඉවරයි. අපේ වේදිකාව ඉවර කරලා තියෙන්නේ අන්න ඒ කට්ටිය. මෙතන ගොඩාක් චරිත ඉන්නවා. ඒ ගොල්ලෝ පශ්චාත් නූතනවාදය ගැන මෙලෝ දෙයක් කියවලත් නැහැ. දන්නෙත් නැහැ. ඔයාගේ දේවල් ටික අර ගෙන ගිහිල්ලා හෙට අනිද්දා වෙන කොට මොන මොනවා හරි කියන්න ගන්නවා. අන්න එතකොට තමා ඔයා මෙතන අද කරපු අදේශපාලනය දේශපාලනයක් වෙන්නේ.


අර්ජුන: 

දීප්ති ප්‍රශ‍්න තුනක් තියෙනවා. එකක් තමයි මෙතනදි මම කියපු දෙයට උත්තරයක් නො සැපයීමට ඔයාට හේතුවක් දක්වන්න ඕනෙත් නැහැ. ඒක ඔයාගේ අයිතිය. හැබැයි මං හිතන‍ නේ හේතු දැක්වීමෙදීත් අපි පිළිගත හැකි, නොහැකි හේතු කියලා තියෙනවා. මම ඒ හේතුව පිළි ගන්නේ නැහැ. මම හිතන්නේ ඒක නිදහසට කරුණක් කියලා දීප්ති. මං එයාට කිව්වා. මං මේ දේශනය කරනවාය. මේක තුලදී ඔයාට එරෙහි වෙනවාය කියලා. මං හිතන්නේ ඒක ඉතා වැදගත්. ඒ එරෙහිවීම. ඒ එකක්. අනික, මේ ඉන්න කට්ටිය, මං අඳුරන කට්ටිය බොහොම කීප දෙනයි. ඒගොල්ලෝ එක එක දේවල් කියනවා. මං හිතන්නේ ඒකත් එක්තරා විදිහක තගක්නේ.


අර්ජුන පරාක‍්‍රමගේ දේශනය සඳහා මේ සබැඳියාවට යන්න



2. 

ස්ත‍්‍රීවාදය පිළිබඳව ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් පිළිබඳව සංවාදයකට එන ලෙස 'කාන්තාව හා මාධ්‍යය සාමුහිකය' ගුණරත්න මහතාට ආරාධනා කලේය. ජිප්සීස් ගීතයක තියෙන ආකාරයට 15 ක පමණ පිරිවරක්ද රැගෙන සිංහ රජෙක් විලස ගුණරත්න මහතා සංවාදයට ගියේය.

'කාන්තාව හා මාධ්‍යය සාමුහිකය' පැත්තෙන් සංකල්පීය කරුණු ඉදිරිපත් කරනු ලැබූවේ ෂර්මාල් විජේවර්ධන විසිනි. ඇයගේ කිසිදු තර්කයකට ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කිරීමට ගුණරත්න මහතාට නොහැකි විය. කීමට හැකිවූයේ 'ඕවට අපිට උත්තර තියෙනවා' යන්න පමණී. උත්තර මොනවාදැයි කීවේ නැත. ඒ උත්තර කිසිදාක දුන්නේත් නැත. මෙය සිදුවූයේ 2004 දී පමණ විය යුතුය.


3. 

2002 දී පමණ ගුණරත්න මහතා ලන්ඩන් සඟරාව හරහා ප‍්‍රසිද්ධ නළුවෙක් වන පාලිත සිල්වා ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කලේය. ඊට පදනම් වූයේ පාලිත සිල්වා සහ ගුණරත්න මහතා අතර නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධව ඇතිවූ යම් යම් සිදුවීම්ය. ඒම ප‍්‍රහාරය අතිශයින්ම චණ්ඩි වාග් ප‍්‍රහාරයන් විය. මේ ප‍්‍රහාරයට පසු දිනෙක හැව්ලොක් පාරේ ප්‍රෙෂස් වීඩියෝ සාප්පුවේදී ගුණරත්න මහතාට පාලිත සිල්වා හමුවිය. ඒ අවස්ථාවේ මට මතක ලෙස ගුණරත්න මහතා සමඟ සිටියේ මමත් ඒ මහතාගේ බිරිඳ අනූෂාත් ය. ගුණරත්න මහතා පාලිත සිල්වා මගහැර යාමට උත්සාහ කලත් පාලිත ඊට ඉඩ දුන්නේ නැත. කවුන්ටරය අසලට පැමිණ පාලිත දීප්ති මට උඹව හම්බවෙන්න  ඕනෙ. යන්න එපා කීවේය. එහෙත් ගුණරත්න මහතාට පාලිත මග හැර යාමට අවශ්‍ය විය. නමුත් අප පසුපස හඹා ආ පාලිත සාප්පුවෙන් පිටතදී ගුණරත්න මහතාව අල්ලා ගත්තේය. ගුණරත්න මහතාගේ වචන වලින්ම කියනවා නම් ඔහු එහිදී කලේ පාලිත ඉදිරියේ හොඳටම ඇඹරීමයි’. පාලිත මුලික වශයෙන්ම කලේ ගුණරත්න මහතා ලන්ඩන් සඟරාවේ බොරුකීවේ මන්දැයි විමසීමය. ගුණරත්න මහතාට කට උත්තර නැතිවිය. ගුණරත්න මහතාය හැකිවූයේ බහ් ... බහ් ... ගෑමට පමණි. අවසානයේ පාලිත සිල්වා, ගුණරත්න මහතාට පිටට තට්ටුවකුත් දමා අනූෂාටත් යන්නං කියා යන්නට ගියේය. 

මා ගාමිණි සමරනායක විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති වූ අවස්ථාවේ මෙන් කක්කුස්සියට ගිහින් තනියම හිනා වුනේ ගුණරත්න මහතා ගෙදර පැමිණ අනිල් චන්ද්‍රසිරි මහතාට ප‍්‍රකාශ කල දේ ඇසීමත් සමගයි.

 ගුණරත්න මහතා අනිල් චන්ද්‍රසිරි මහතාට ප‍්‍රකාශ කලේතමන්ට පාලිත සිල්වා මුණ ගැසුණු බවත් තමා ඉදිරියේ ඔහු ඇඹරුණු බවත්ය. ගුණරත්න මහතා සම්බන්ධයෙන් මට විචාරාත්මක ඇසක් තිබෙන බවක් ඒ මහතා දැන සිටියේ නැත. ඒ මහතාගේ තද විශ්වාසය වූයේ මං බබෙක් කියාය. පාලිත ඉදිරියේ තමා ඇඹරුණු හැටි මා දුටු බව ඔහුට තේරුණේ නැත.


4.         

නලින් ද සිල්වා ගුණරත්න මහතාට විවාදයක් සඳහා අභියෝග කළේය. උත්ප‍්‍රාසජනක ලෙස ගුණරත්න මහතා විවාදය සංවිධානය සඳහා ඒ මහතාගේ නියෝජිතයා ලෙස මා පත් කලේය. හැබැයි කොන්දේසියක් සහිතවයි. එනම් විවාදයට අපේ පැත්තෙන් ගුණරත්න මහතා සමඟ මා ද පැමිණිය යුතුය. නමුත් නලින් ද සිල්වා ගේ පාර්ශවයෙන් පැමිණි නෙම්සිරි ජයතිලක මහතා ඒ කොන්දේසියට එකඟ වූයේ නැත. ඒ අවස්ථාවේ සිදු වූ අනෙක් දේවල් කල්‍යා මීට පෙර ලියා ඇත. කෙසේ වෙතත් වැදගත් වන්නේ මෙහිදී    ගුණරත්න මහතා 90 දශකයේ සිට ඉගැන්නුවාය කියන 'ලිවීම හරහා ලේඛකයා මිය යන' කතා කීවේ නැත.


ගුණරත්න මහතාට විවෘත සංවාද අවකාශයකදී සිය ප‍්‍රතිවාදියාට මුහුණ දීමට නොහැකි බව පෙන්වීමට තවත් සුළු සුළු අවස්ථා  ඕනෑ තරම් දැක්වීමට පුළුවන. නමුත් ගුණරත්න මහතාගේ සෙල්ලම කුමක්ද යන්න කෙනෙකුට ඇත්තටම දැනගැනීමට මා ඉදිරිපත් අවස්ථා ප‍්‍රමාණවත් යැයි මම සිතමි.


ගුණරත්න මහතා මට අභියෝග තරමින්  ඕස්ටේ‍්‍රලියානු රූපවාහිනියේ ජිජැක් ද සහභාගීවූ Q&A වැඩසටහන බැලීමට මට ආරාධනා කලේ මන්දැයි මට සිතාගත නොහැක (එක් අතකට සිතාගත නොහැක්කේමත් නොවේ).  ගුණරත්න මහතාට විවෘත සංවාද අවකාශයකදී සිය ප‍්‍රතිවාදියාට මුහුණ දීමට කිසිසේත් හැකියාවක් ඇත්තේ නැත. එසේ නොහැකි හේතු දෙකක් අවම වශයෙන් මට තේරුම් ගත හැක.

පළමුවැන්න ඒ මහතාගේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ මහතා කිසියම් චින්තකයෙකුගෙන් අදහසක් උපුටා ගන්නේ සාමාන්‍ය ශාස්ත‍්‍රීය ලෝකය තුළ පිළිගෙන ඇති ආකාරයට නෙවේ (මෙහි දී තමාගේ ප‍්‍රවේශය ශාස්ත‍්‍රීය එකක් නොව දේශපාලන එකක් වැනි බයිලා මෙහි දී අදාළ නොවන බව ගුණරත්න මහතාට මතක් කරමි.). ඉතාම අවස්ථාවාදී, ප‍්‍රයෝජ්‍යතාවාදී හා පාර්ශවීය ලෙසටයි. ඒවා එම පටු අවශ්‍යතාවයේ සංදර්භයෙන් පිටත සාධාරණීකරණය කිරීම අපහසු බව ගුණරත්න මහතා හොඳින් දනී.


එම නිසා ගුණරත්න මහතා දේශකයෙක් (preacher) මිස සම්භාෂකයෙක් (interlocutor) නොවේ. මා සමඟ ෆේස්බුක් සංවාදයකට එක්වූ ගුණරත්න මහතාගේ අනුගාමිකයෙකු වන තුෂාර දස්කොන් මහතාට මම වරක් යමක් ගැන ඔයාගේ දෙවියන්වහන්සේට කියන්න යැයි උපහාසයෙන් ප‍්‍රකාශ කලෙමි. ඔහු කිවේ 'දීප්ති තමාට දෙවියන් වහන්සේ නොවන බවත් තමාගේ සටන් සගයෙක් පමණක් බවත්ය'. මට කියන්න තියෙන්නේ 'මමත් ඔහොම කිව් හැටි මතකයි' කියාය. එය එසේ නොවූ බවට මම උදාහරණ දෙකක් පමණක් දෙමි. ගුණරත්න මහතා තමා වටේ සිටින පිරිස් වටකරගෙන පැය ගණන් නිෂ්ඵල දේශනා කරන රටාව මම වරක් තදින් විවේචවය කලෙමි. මට මතක විදිහට ඒ 1999 දී පමණ වේ. ඔහුගෙන් මට අපූරු පිළිතුරක් ලැබිණි. ඒ මෙසේය. ''උඹ ඔහොම කියන්නෙ උඹට හොඳ පවුලක් නැති නිසා. හොඳ පවුලක් හදා ගනින්. එතකොට උඹට පුළුවන් උඹටම කියල දේවාලයක් දාගන්න. එතකොට උඹේ වටෙත් මිනිස්සු එකතු වෙයි.'' මට මඩ ගැසීමට අතීත මතක පොත හාරා බලන මගේ පැරණි හැඟීම්බර මිතුරා අනිල් චන්ද්‍රසිරිට මේ අවස්ථාව අමතක නැතැයි සිතමි. තුෂාර දස්කොන් මහතාට මට නැවත කිව හැක්කේ ඔබ දේශපාලන සංවිධානයක් කියා දේවාලයකට රැවටී ඇති බවයි.


අනෙක් උදාහරණය කල්‍යා දැනටමත් ලියා ඇත. ඒ 2004 දෙසැම්බර් මාසයේ අප අතර ඇති වූ මත වෙනස්කම් පිළිබඳව ඉතාම සුහදව හා මිත‍්‍රශීලීව කතා කිරීමට මා උත්සාහ කල මොහොතේය. ඒ මොහොතේ ගුණරත්න මහතාගේ හැසිරීම ගැන හොඳම සාක්ෂිකාරිය අනූෂාය. දස්කොන් මහතා (සහ අනෙක් අය) තමා සහ ගුණරත්න මහතා අතර සම්බන්ධය ධුරාවලිගත එකක් නොවන බව අපට යෝජනා කරනවා සේ පෙනේ. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි කීවා සේ සබඳතාවල නියම ස්වරූපය පෙනෙන්නේ අර්බුදකාරී අවස්ථාවලය.


දෙවෙනි ගැටලූව ගුණරත්න මහතාගේ මානසික ව්‍යුහයේ ගැටලූවකි. ගුණරත්න මහතාගේ (වෙනත් කෙනෙකුගේ) මානසික ව්‍යුහය විශ්ලේෂණය කිරීමට මම නොදනිමි. එසේ කිරීමට මට උනන්දුවකුත් නැත. නමුත් ඔහු වගකීම් සහගත සමාජයීය ක‍්‍රියාකාරකම්වලට සුදුසු මට්ටමේ මානසික සමතුළිතතාවයක් නම් නැත්තෙක් බව නම් මම හොඳින් දනිමි. ඒ මහතාගේ ඊගෝ එක අති විශාල එකකි. තව කෙනෙක් ඉදිරිපිට කිච වීමෙන් මේ ඊගෝ එකට තුවාල කරගැනීම ගුණරත්න මහතාට විඳදරා ගැනීමට අපහසුම දෙයකි. තමාට පැපොල හැදුනු අවස්ථාවේ තමා බැලීමට නොපැමිණිම පිළිබඳව සිරිමලී සහ අරවින්ද සහ අනිල් සමඟ ඇතිවූ කෝපය ඔවුන් සංවිධානයෙන් ඉවත් කිරීම දක්වා ගමන් කලේය. පාපොච්ඡාරණය කොට පුනරුත්ථාපනය වීමට එකඟ වීම නිසා අනිල් (සහ සුමිත්) සංවිධානයේ ඉතිරිවුවත් ඒ නින්දිත ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සිරිමලී සහ අරවින්දට ඉවත් වීමට සිදුවිය. (මේ නින්දිත ඉල්ලීම ගුණරත්න මහතා වෙනුවෙන් සිරිමලී සහ අරවින්දගෙන් කිරීමට සිද්ධ වූයේ ද මා හටමය. පාපොච්ඡාරණය අයත් වන්නේ විප්ලවීය දේශපාලනයටද, දෙවියන්වහන්සේගේ ලෝකයටද යන්න තීරණය කිරීම තුෂාර දස්කොන් මහතාට භාරය). 

මේ තත්වය කෙනෙකුට හොඳින්ම තේරුම් ගැනීමට හැකිවූ අවස්ථාව නම් 2002 දී රොහාන් පෙරේරාට විරුද්ධව එල්ල කළ ''දැවැන්ත ප‍්‍රහාරය'' සහ එහි ''ජයග‍්‍රහණය'' ප‍්‍රකාශයට පත්කිරීමේ උදාන වාක්‍ය ලෙස ලියූ සටනින් අද මා දිනුවා ලිපියයි. ගුණරත්න මහතා ඒ ලිපිය පටන් ගන්නේ   ''මගේ නම දීප්ති කුමාර ගුණරත්න, මට දැන් මගේ නම කියන්න පුළුවන්''කියල. මම හිතන්නේ එතනින් පස්සෙ දීප්ති කුමාර ගුණරත්න ගේ දේශපාලනය ඉවර වුනා කියල.


ගුණරත්න මහතා ලිවීම උඩ දාන්නේ ලිවීම හරහා ලේඛකයා මිය යන නිසා නොවේ. ඒ හරහා ප‍්‍රතිවාදියාට මුහුණ නොදී ප‍්‍රතිවාදියාට රිසි සේ මඩ ගැසීමට හැකි නිසාය. අවශ්‍ය නම් කෙනෙකුට ගුණරත්න මහතාගෙන් මෙසේ විමසිය හැක (ප‍්‍රයෝජනයක් නොවුනත්). මයික් මේස පුටු නැතුව 'සංවාදයට ඔය තරම් ප‍්‍රිය නම් තමාගේ ප‍්‍රතිවාදීන්ට අභිමුඛ විය නොහැකි අයුරින් පැවැත්වෙන ඊනියා සම්මන්ත‍්‍රණ වල පැය ගණන් කතා කොට ඒවා යේ ශබ්ද පිටපත් පවා අන්තර්ජාලය හරහා මුදා හරින්නේ මන්ද යන්නයි.තමාට මුළුමනින්ම පාලනය කළහැකි කොන්දේසි සපුරාගෙන ඒ කොන්දේසි අභියෝගයට ලක්නොවෙන බව හොදින් දැනගෙන තමා ඉදිරිපිට සිටින අනුගාමිකයින්ට දේශනා පවත්වන්නන් (දේවගැතියන් වේවා භික්ෂූන් වේවා), ප‍්‍රසිද්ධ කථිකයින් (orators) වේවා කරන්නේ තමන් ඇසීමට ආශාකරන දේ තමාගේ කටින් පිටකොට තම කනින් අසා තමන්ම ප‍්‍රීති වීමයි. ගුණරත්න මහතා ලබන්නේද ඒ ප‍්‍රීතියයි (එය මා නොලබන ප‍්‍රීතියක් ද!). 

මේ ප‍්‍රීතියට බාධාකළ විට සිදුවන දේ දැකගැනීමට The Wind That Shakes the Barley චිත‍්‍රපටියේ දේවස්ථානයේ දර්ශනය මතක්කර ගන්න (මේ චිත‍්‍රපටිය මතක් කිරීමට සිදුවීම උත්ප‍්‍රාසජනක නෙවේ ද?) දේවගැතියා ඩේමියන්  ඩොනොවන්ට get out කියන්නේ ඩේමියන් ඔහුගේ සතුට විනාශ කළ නිසාය. ගුණරත්න මහතා අපට කීවේ 2004 දෙසැම්බර් වලින් පසු තම සාමාජිකයින්ගේ ධෛර්යය පවත්වාගෙන ගියේ මේ විත‍්‍රපටියේ ඩේමියන්ගෙන් බවයි. (මේ චිත‍්‍රපටය තිරගත වූයේ 2006 මැයි වලය. එනම් 2004 දෙසැම්බර් වල නැතිවූ ධෛර්යය 2006 මැයි වනතුරුත් ඇති කරගැනීමට නොහැකිවී ඇත.) ප‍්‍රශ්නය එය නොවේ. 2004 දෙසැම්බර් වල දේශපාලන ගැටලූවක් සාකච්ඡා කිරීමට මා ගුණරත්න මහතාගේ කාමරයට ගිය අවස්ථාවේදීත්, මෑතක මාතර පැවැති රැස්වීමකදී මාධව, ගුණරත්න මහතාගෙන් ප‍්‍රශ්න ඇසූ අවස්ථාවේදීත් ගුණරත්න මහතාගේ පිළිතුර වූයේ get out යන්නයි. ඒ අවස්ථාවලදී දේවගැතියා කව්දඩේමියන් කව්ද?

අපගේ යෝජිත විවාදය පිළිබඳ සාකච්ඡාව කෙරෙමින් පැවතියදීම ගුණරත්න මහතාගේ 3මාන වෙබ් අඩවියේ 'සයිබර් අවකාශයේ දේශපාලන ගැටලූව' නමින් ලිපියක් පළවිය. උත්ප‍්‍රාස ජනක දෙය වන්නේ මෙහි දී ගුණරත්න මහතා තර්ක කරන්නේ හරයාත්මකව එකිනෙකා අභිමුඛවන දේශපාලනයක් වෙනුවෙනි. නැවතත් උත්ප‍්‍රාසය වන්නේ ඔහුගේ ක‍්‍රියාකාරිත්වය හරියටම එහි ප‍්‍රතිවිරුද්ධ පැත්තයි.


මේ ලිපියේ දී ගුණරත්න මහතා 'තමාටම ආදරය කරන නාසිස්මික පුද්ගලයා' විවේචනය කරයි. මා දන්නා අය අතුරින් මේ සඳහා අඩුවෙන්ම සුදුසුකම් සහිත අයෙක් සිටී නම් ඒ දීප්ති කුමාර ගුණරත්නය. වරක් ඔහු ප‍්‍රකාශ කලේ තමා ශිෂ්ටාචාරය තුළ සිටින මානසික වශයෙන් නිරෝගීම පුද්ගලයා බවයි. ඒ කියන්නේ තමා පරිපූර්ණ බවයි.


2013 සැප්තැම්බර් 17 වන අඟහරුවාදා සවස 3.00 ට මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රයට යන තෙක් මා මෙතැනින් පසු මේ විවාදය පිළිබඳව කිසිවක් නොලියමි.


නිර්මාල් රංජිත් දේවසිරි

22 comments:

  1. දිප්ති ගේ අභියෝගය දැන් නිර්මාල් භාරගෙන ඇති නිසාත්, දීප්ති කී ලෙස වාද කිරීමට නිර්මාල් දිනයක්, වෙලාවක් සහ තැනක් ලබා දී ඇති නිසාත්, එම දිනයේදී, එම වෙලාවට, එම තැනට පැමිණ නිර්මාල් සමග වාද කර, නිර්මාල් ව පරදවන ලෙසත්, එසේ කළ නොහැකිනම් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නයකත්වයෙන් ඉවත්වන ලෙසත්, දීප්තිට බල කරන්නැයි එම පක්ෂයේ සාමජිකයන්ගෙන් ඉල්ලා සිටීමට සිත් වුවත්, එසේ කටයුතු කිරීමට තරම් ධෛර්‍යයක් ඇති කිසිවකු හෝ එම පක්ෂය තුල සිටීද යන ප්‍රශ්නය මට මතු වේ.

    ReplyDelete
    Replies
    1. හා හා හා පිස්සු කියන්න එපා. පක්ෂ සාමාජිකත්වය දෙන්නෙත් එහෙම නොකරයි කියල ෂුවර් අයට විතරයි. එහෙම නැති අයට සාමාජිකත්වය තියා පක්ශෙ ප්‍රසිද්ධ රැස්වීමකට එන්න දෙන්නෙත් නෑ ඕයි!

      Delete
    2. ඒ පක්ෂෙ අය කරන කියන එව්වගෙන් පෙනෙන්නෙ එයලගෙ ප්‍රධාන අරමුණ වෙන්නෙ දීප්තිව හරියට තේරුම් නොගත් අයගෙ ගැටලුව පෙන්නාදීම, දීප්තිව අගය කිරීම, දීප්තිට කැත වැඩ කරපු අයගෙන් පලිගැනීම, දීප්ති ආරක්ෂා කර ගැනීම, වගේ දේවල්. ඉතින් දීප්ති ඒ පක්ෂෙ නායක කමින් අයින් උනොත් පක්ෂ ප්‍රතිපත්ති, පක්ෂෙ නම, විතරක් නෙමේ පක්ෂෙ සාමාජිකයන්ටත් අයින් වෙන්න වේවි.

      Delete

  2. නිර්මාල් සහ පානදුරේ ගුණරත්න සමඟ සිදුනොවන විවාදය පිළිබඳ කතාබහෙන් මතුවූ එක් වැදගත් දෙයක් තිබෙන බව පෙනෙයි.

    ඒ නිර්මාල් සහ X සංවිධානයෙන් කැඩී වෙන් වූ අනිත් අයගේ දේශපාලනය පානදුරේ ගුණරත්න ගේ දේශපාලනයෙන් හරයෙන් වෙනස් වන්නේ ද? ඒ කෙසේද ? යන්න පිළිබඳ කාරණයයි.

    මේ සියලු දෙනාත් තවමත් අදහන්නේ පානදුරේ ගුණරත්නගෙන් ඔවුන් උගත් ‘මානව පැවැත්මේ පදනම අවිඥාණය යි‘ යන අදහස නොවේද? පානදුරේ ගුණරත්න මෙසේ කියන්නේ ඒ නිසා නොවේද?

    ''නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය”

    ''අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.”

    මේ පිළිබඳ නිර්මාල් ඇතුලු ex – X වාදීන් කියන්නේ කුමක් ද?

    මොරටුවේ ගුණානන්ද

    ReplyDelete
  3. Nirmal, me hema deyakma wena kota oya koheda hitiye?

    Oyage wiwechanaya thula 2004 wena kal Deepthige sandarbhaya hadanna oya karapu dayakathwaya makala danne ey?

    Oya Deepthigen gela wenne kawadada?

    Oyage mulu narrative eka thulama Deepthi weradi wela athithayatath bala pana widiyata oya niweradi wenne oyage kuhaka kama nisa bawa therum ganne kawadada?

    ReplyDelete
  4. ගුණරතන හෝ ඔහුගේ ගෝලයන්ට ප්‍රශ්න කිහිපයක්

    නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් නම් ගුණරතන X සංවිධානයේ දිගටම රැඳී සිටින අවිඥානක ආශාව කුමක් ද?

    ''අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි“ යැයි ගුණරතන කියයි.
    ගුණරත්න ගේ “සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන්“ මොනවාද? ඔහු කරන “සදාචාර ක්‍රියාවන් “ තිබේද? ඔහු ගේ ක්‍රියා සදාචාර ඒවා නොවන බව ඔහු පිළිගන්නේ නම් ඔහුගේ එම සදාචාර නොවන ක්‍රියාවලට යටින් ඇති “අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්“ මොනවාද?


    ReplyDelete
  5. දීප්ති දැන් පඳුර වටේ කොටනවා. වාදෙට අභියෝග කරද්දී තිබුන චන්ඩි කමේ හුලන් බැහැලා.
    අදාළ නැති කතා ගොඩක් කියමින් තමන්ම අභියෝග කල විවාදය මග හරිනවා. අභියෝග හමුවේ පලා යන නායකයෝ! මේ ගොල්ලෝ තමයි ලංකාවේ නාගරික විප්ලවය කරන්නට සූදානම් වෙන්නේ. ලෙනින් වලෙන් නැගිටලා හිනාවෙනවා ඇති ඕයි!

    ReplyDelete
  6. නාගරික විප්ලවය?

    උප-නාගරික පානදුර විප්ලවය? දැන් රත්මලානට පසුබැහැලා?

    පානදුරේ ගුණරතන නාගරිකයෙක් ද? උප නාගරික බයියෙක්ද?

    ReplyDelete
  7. //තමාට පැපොල හැදුනු අවස්ථාවේ තමා බැලීමට නොපැමිණිම පිළිබඳව සිරිමලී සහ අරවින්ද සහ අනිල් සමඟ ඇතිවූ කෝපය ඔවුන් සංවිධානයෙන් ඉවත් කිරීම දක්වා ගමන් කලේය. ‘පාපොච්ඡාරණය කොට පුනරුත්ථාපනය වීමට’ එකඟ වීම නිසා අනිල් (සහ සුමිත්) සංවිධානයේ ඉතිරිවුවත් ඒ නින්දිත ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සිරිමලී සහ අරවින්දට ඉවත් වීමට සිදුවිය.//

    ගුණයට මේ තරම් පිස්සුද?

    ReplyDelete
  8. නිර්මාල් විසින් විවාදයට දින නියම කිරීමට දීප්ති විසින් පිළිතුරක් දී ඇත. එහිදී දීප්ති නැවතත් කියනුයේ තමන් වාද කරන්නේ ලිඛිතව බවයි ("අපට අනුව නම් අපගේ සංවාදය දිගටම මෙහෙය වන්නේ ලිවීම හරහය").

    එහෙත් දීප්ති මුලින් කීවේ කුමක්ද?

    (i) මේ සදහා අප අභියෝග කරන්නේ ඒ සදහා ප්‍රසිද්ධ විවාදයක් කරමු යන්නය.

    (ii) තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක.

    (iii) (ඊට අමතරව) පූර්වාදර්ශය ලෙස ගත යුතුයි කියන, ඕස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවේ විවාදයේ වීඩියෝ පටය.

    එක් පැත්තකින් ලිඛිත වාදයක් සඳහා තැනක් වෙලාවක් අනෙක් පාර්ශවයෙන් උවමනා නැත. තමන්ට ප්‍රකාශන මාධ්‍යයක් ඇති ඕනෙම අයෙකුට තමන්ට අවශ්‍ය දේ ලියා පළ කල හැක. අනෙක් පාර්ශවයට පිළිතුරු දීමට උන්නදුවක්, හැකියාවක් ඇත්නම් එම පාර්ශවය පිළිතුරු දෙනු ඇත. එය එම පාර්ශ්වයේ වැඩක්. දීප්තිටත් නිර්මාල්ටත් වෙබ් අඩවි, පොත්, පුවත්පත් ලිපි ආදි ප්‍රකාශන මධ්‍ය තිබෙන නිසා ලිඛිත වාදයක් සඳහා තැනක් වෙලාවක් ඉල්ලා සිටීමේ අරුතක් නැත.

    කොටින්ම ලිඛිත වාදයක් සඳහා තැනක් වෙලාවක් තබා "අපි වාද කරමු" යනුවෙන් කීමටද අවශ්‍ය නැත. කෙලින්ම ලිවීම ඇරඹිය හැක. ප්‍රසිද්ධ ද කළ හැක. ලියන දේ ප්‍රසිද්ධ කළ පසු අනෙක් පාර්ශවයට ද අවශ්‍ය නම් පිළිතුරු දිය හැක. (ලිඛිත වාදයක දී පමණක් නොව වාචික වාදයක දී වුව පිළිතුරු නොදී සිටීමේ ඉඩ කඩ මුළුමනින්ම නැති වන්නේ නැත. වාචික වාදයකදී වුවද තමන්ට ලැබෙන කාලය තුළ නිහඬව සිටීම, උත්තර මම දන්නවා - ඒත් කියන්නෙ නැහැ වැනි ගොං පාර්ට් දැමීම, අදාල නොවන වැල්වටාරම් දෙඩවීම, වැනි ක්‍රම රාශියක් වාදයක් මග හැරීම සඳහා අනුගමනය කළ ඇක.)

    අනෙක් පැත්තෙන් තැනක් වෙලාවක් අවශ්‍ය වන්නේ හමු වී කරන ප්‍රසිද්ධ වාදෙකටය. හමුවී කෙරෙන ප්‍රසිද්ධ වාදයක් ලිඛිතව කෙරෙන්නේ නම් එහිදි දෙපාර්ශවය අතර හුවමාරුවන ලේඛණ මහජනතාවට ද ඉදිරිපත් නොකෙරේ නම් එය එතරම් ප්‍රසිද්ධ වාදයක් වන්නේ නැත.

    දීප්ති මුලින් අදහස් කළේ හමු වී කෙරෙන වාචික වාදයක්ය. දීප්තිගේ වීඩියෝ පටයේ ඇත්තේද වාචික වාදයක්ය. (එහි ඉංග්‍රීසි පරිවර්තන ලිඛිතව තිබීමෙන් කියැවෙන්නේ වාදය ලිඛිත එකක් බව නොව වාචික / ලිඛිත වෙනස ගැන දීප්ති හිතන දේ වල සීමාකම් ය.)

    නිර්මාල් අභියෝගය බර නොගනු ඇතැයි දීප්ති මුලදී සිතුවාදැයි මම නොදනිමි. එය එසේ නම් නිර්මාල් අභියෝගය භර ගැනීමෙන් පසු දීප්ති අර්බුදයකට ලක් වී ඇති බව පැහැදිලිය. දීප්තිගේ "ඒක අලුත් තත්ත්වයක්" ලිපියේ එන තොටියා නොසිතු ලෙස මහා විශාල පාලමක් ගග හරහා ඉදි වීමෙන් පසු තොටියාගේ රැකියාව අහිමි වූ ආකාරයෙන් දීප්ති නොසිතූ ලෙස නිර්මාල් අභියෝගය භාර ගත් නිසා දීප්තිගේ ද රැකියාව අහිමි වීමට නියමිතය. කෙසේ නමුත් දීප්තිව මේ වාදය සඳහා පෙළඹවීමට සමත් කිසිවෙකුත් මෙදියත නොමැති බව නම් පෙනේ. වාදයෙන් පලා යන දීප්තිව නැවතත් වාදයට යොමු කරවන මේන් සියළු දෙවියන්ගෙන් ඉල්ලමි.

    ReplyDelete
  9. මේ රටේ මිනිස්සු මෝඩයෝ කියල හිතා ගෙන දීපති කරන්නෙ මොනතරම් බොරුවක් ද කියන එක මේ විදියට හරි ටික ටික එළි වෙන එක වැදගත්.

    ReplyDelete
  10. දීප්ති ගේ අහිංසක ප්‍රතිචාරය. අයියෝ අහිංසකයින් ඉන්න දෙන්න නිර්මාල්! මොනවද මේ කරන වැඩවල තේරුම.

    ''අප විසින් පළ කරන ලද විවාදයට ප්‍රවේශයක් නම් ලිපියට නිර්මාල් විසින් පිළිතුරක් දී ඇත. එහිදී ඔහු නැවත නැවතත් අසන්නේ කෙනෙකුගේ අදහස් වලට ඇති ජීවමානමය මූලාශ්‍රය වන්නේ කටහඩ බවයි.(Voice) මෙයට ඩෙරීඩා කියන්නේ ශබ්ද කේන්ද්‍රීයවාදය කියාය. අපට අනුව නම් අපගේ සංවාදය දිගටම මෙහෙය වන්නේ ලිවීම හරහය. මන්ද යත් ලීවීම හරහ පාරභෞතික මැකී යන නිසාය. දීප්ති නිර්මාල් ගෙන් ඇසූ සංයුක්ත ප්‍රශ්ණයට පිළිතුරු ඔහුගේ ලිපිය තුළ ගැබ්ව ඇත. අප මේ ජීවත් වන යුගයේ දේශපාලනය යනු අර්ථය (meaning) මත රදා පවතින්නක් නොවේ. එය පදනම් වන්නේ අනෙකා විදිතැයි අනුමාන කරන විනෝදය එක්කෝ පැහැර ගැනෙයි.නැතහොත් තර්ජනයට ලක් වෙයි. මිනිසුන් අතින් පයින් ගහ මරා ගැනීමට පසුව ඇති වු ශාලාචාර ක්‍රියාව වන්නේ විචාරයයි. එබාවින් දීප්ති යනු කිසිදා චණ්ඩියෙකු නොවේ. ඔහු මේ යුගය ස්ත්‍රීකරණය කරන ස්ත්‍රියක්ද නොවේ. නිර්මාල්ම කියන පරිදි ඔහු පොන්නයෙකි''.

    http://3mana.com/විවාදයට-දින-නියම-කිරීම/

    ReplyDelete
  11. 2004 දී සහ ඉන් පසුව කරන ලද "කැත වැඩ" සම්බන්ධයෙන් දීර්ඝ චෝදනා පත්‍රයක් ලැබ සිටින නිර්මාල් ට එරෙහි වීම වෙනුවට හැකි තරම් ඔහුව මග හැර සිටීම තම ශරීර සෞඛ්‍යයට ගුනදායක බව දීප්ති වටහාගෙන ඇත. එසේ හෙයින් මේ කාරණා ගැන දිගින් දිගටම ඒකපර්ශවීයව ලිවීම නීරස ව්‍යයාමයක් වියහැකිමුත් අඩුම තරමින් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන්ගේ අවධානය පිණිස තවත් වතාවක් මෙහි ලියමි.

    මුලින් දීප්ති වාදයක් සඳහා නිර්මාල්ට අභියෝග කරන විට වාදය යන්නෙන් දීප්ති අදහස් කළේ එකිනෙකා හමුවී කථන මාර්ගයෙන් සිදුවන ප්‍රසිද්ධ වාදයක් බවත් පසුව නිර්මාල් එම අභියෝගය බාර ගත් පසු දීප්ති වාදයෙන් පලා යාමට කටයුතු කළ බවත් නොපිළිගන්නා ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ සාමාජිකයෙක් වෙයිද? තම නායකයාගේ සැබෑ ස්වරූපය වටහා ගැනීමට තවමත් අසමත් ද?

    වාදය කෙරෙන්නේ ලිඛිතවයැයි කීමට පෙර දීප්ති කළේ "පූර්ව කොන්දේසි" ඉදිරිපත් කර (දීප්ති ගේ "විවාදයට පෙර සැපිරිය යුතු කොන්දේසි" ලිපිය.) වාදයෙන් පලා යාමට කටයුතු කිරීමයි. ඊට ප්‍රතිචාර වශයෙන් නිර්මාල් තම "විවාදයේ පූර්ව කොන්දේසි පිළිබඳව" ලිපිය පළ කළ පසු තමයි දීප්ති තම ඊළඟ උපාය ලෙස වාදය ලිඛිතව කළ යුතුය සටන් පාඨය ඉදිරිපත් කලේ. ඒ අතර වාදය සඳහා දින හතක් කල් ඉල්ලීම, එම කාලය නිර්මාල් විසින් ලබා දුන් පසුව දීප්ති විසින් "ඒ අනුව නිර්මාල් සහ අපේ නියෝජිතයා අතර ඇති වූ කතා බහට අනුව සතියකින් විවාදයට සූදානම් වන්නට අප තීරණය කලා" ලෙස පැවසීම ආදියද ද සිදු වුනා. ඒ කිසිදු අවස්ථාවක වාදය ලිඛිතව සිදු විය යුතුය යන සටන් පාඨය ඉදිරිපත් වුනේ නෑ. වාදය ලිඛිතවයි යන දීප්තිගේ සටන් පාඨය ඉදිරිපත් වුනේ වාදය මග හැරීමට වෙන කිසිම ක්‍රමයක් නැති වූ විටයි.

    තම නායකයා කෙබඳු කෙනෙක් ද යන්නත්, තමන්ගේ පක්ෂය කෙබඳු පක්ෂයක් ද යන්නත්, දැන් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ සාමාජිකයන්ට කල්පනා කර බැලිය හැකියි.

    ReplyDelete
  12. ** Breaking News **

    මෙන්න දැන් ලැබුනු ප්‍රවෘතියක්. (ඇත්තෙන්න්ම කියනවා නම් ප්‍රවෘති දෙකක්.)

    (1) දීප්තිට උණ ගැනී ඇති බවත් මේ නිසා රත්මලාන ප්‍රදේශයේ ෆා(ර්)මසි වල පැරසිටමෝල් පෙති හිඟයක් ඇති වී ඇති බවත් වාර්තා වේ.

    (2) තම සාමාජිකයන් ඉදිරියේ කටමැත දෙඩවූ ආකාරයෙන් නිර්මාල් සමග වාද කිරීමට යාම මග හැරීමට දැන් අර අඳින නිසා දීප්තිගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය තුල වර්ධනය වෙමින් පවතින බවත් මේ නිසා විවිධ කණ්ඩායම් වල හදිසි රැස්වීම් කැඳෙවෙමින් පවතින බවත් විශේෂ පොලිස් ඒකක පිහිටුවා ඇති බවත් වාර්තා වේ.

    ReplyDelete
  13. ඇත්තටම හරිම පුදුමයි. දීප්ති මග අරින බව පැහැදිලියි. එතකොට මේ අභියෝගය කලේ දීප්තිද? නැත්නම් එයාගෙ අනුමැතිය නැතුව වෙන කෙනෙක්ද? තමන් කලින් ඉඳලම කටයුතු කරගෙන ආපු විදියට ඉන්නෙ නැතුව ජිජැක්ගෙ විඩියෝ පෙන්න පෙන්න "මේ විදියට වාද කරමු" කියල කියන්න එයාල හිතපු එකනම් තේරුම් ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සිද්ධවෙච්ච දේ මම කියන්නම්. මේකයි වුනේ.

      දිප්තිව කපන්න ඕනෙ වෙලා ඉඳපු (නම දැනට අවශ්‍ය නැත. ඒ නිස 'Q' යැයි කියමු.) Q දීප්ති හිටපු තැනක නිර්මාල් සමග වාද කර ඔහු ව පරාජය කිරීම පිළිබඳ අදහස මතු කළා. ඒ නිසා දීප්තිට මේ අභියෝගය ඉදිරිපත් නොකර ඉන්න බැරිවුනා. මොකද දීප්ති නිර්මාල්ට අභියෝග නොකළා නම් Q හැම තැනම කියනවා දීප්ති නිර්මාල්ට බයයි කියලා. ඒකයි දීප්ති අභියෝගය ඉදිරිපත් කළේ. ඒ වෙලාවෙ දීප්ති හිතුවෙ නිර්මාල් මේ අභියෝගය බාර ගන්න එකක් නෑ කියලා. නමුත් නිර්මාල් අභියෝගය බාර ගත්තු නිසා දීප්ති දැන් විශාල අවුලකට පත් වෙලයි ඉන්නෙ. ඇත්තම කියනවා නම් දීප්ති Q ගෙ උගුලෙ අහු වුනා.

      Delete
  14. මගේ අදහස දීප්ති වාචික වාදයට ඒම මඟ හැරීම මුල් කොට ගෙන එයා ඉදිරිපත් කරන ප්‍රශ්න මඟ හැර නොයා නිර්මාල් ඒවාට ලිඛිත හෝ වේවා පිළිතුරු සිය යුතු බවයි. එයින් ප්‍රධාන වන්නේ,

    ''නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය”

    ''අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.”

    " අප විසින් පළ කරන ලද විවාදයට ප්‍රවේශයක් නම් ලිපියට නිර්මාල් විසින් පිළිතුරක් දී ඇත. එහිදී ඔහු නැවත නැවතත් පසන්නේ කෙනෙකුගේ අදහස් වලට ඇති ජීවමානමය මූලාශ්‍රය වන්නේ කටහඩ බවයි.(Voice) මෙයට ඩෙරීඩා කියන්නේ ශබ්ද කේන්ද්‍රීයවාදය කියාය. අපට අනුව නම් අපගේ සංවාදය දිගටම මෙහෙය වන්නේ ලිවීම හරහය. මන්ද යත් ලීවීම හරහ පාරභෞතික මැකී යන නිසාය."

    සහ

    "අප මේ ජීවත් වන යුගයේ දේශපාලනය යනු අර්ථය (meaning) මත රදා පවතින්නක් නොවේ. එය පදනම් වන්නේ අනෙකා විදිතැයි අනුමාන කරන විනෝදය එක්කෝ පැහැර ගැනෙයි.නැතහොත් තර්ජනයට ලක් වෙයි. මිනිසුන් අතින් පයින් ගහ මරා ගැනීමට පසුව ඇති වු ශාලාචාර ක්‍රියාව වන්නේ විචාරයයි. .......දීප්ති යනු .......මේ යුගය ස්ත්‍රීකරණය කරන ස්ත්‍රියක්ද නොවේ. "

    මේවා ගැන නිර්මාල් ගේ න්‍යායික ආස්ථානය කුමක් දැයි නිර්මාල පැහැදිළි කළ යුතුය.

    මේ සිදුනොවන වාචික විවාදය දෙසත් ඒ හා සබැඳි දේශපාලනය තෙරුම් ගැනීමටත් බලා සිටින අපට අවශ්‍ය මෙම කරුණු පැහැදිළි කර ගැනීමටයි.

    නිර්මාල, කරුණාකර දීප්තිගේ මෙම අදහස් පැහැදිළි කොට ඒවා පිළිබඳ ඔබේ ස්ථාවර ද පැහැදිළි කරන්න.

    ReplyDelete
  15. අපි දීප්තිගේ මෙම ලේඛන තේරුම් ගන්නේ කෙසේද?

    ''නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය”

    මෙයින් කියන්නේ සමාජ අරමුණු කියා දෙයක් නැති බවද? නැතිනම් සමාජ අරමුණ සහ අවිඥාණක ආශාව දෙකක් බව නොවේද? නමුත් පහත කියන්නේ ඊට වෙනස් දෙයක් නේද?

    ''අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටින් අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.”

    මෙයට අනුව සවිඥාණය යැයි කියන දේ මෙහෙයවන්නේ අවිඥාණයයි. එනම් සවිඥාණය ව්‍යාජයකි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොවේ නම් හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් කෙරෙන ක්‍රියා තිබෙනවාද? ඒ මොනවාද? දීප්ති “සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ .........අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි” යයි කීමෙන් කියා සිටින්නේ සදාචාර ක්‍රියාවන් යනු ව්‍යාජයක් බවද? අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන් හැම විටමත් අවිඥාණයේ ප්‍රකාශනයක් ද? එසේ නම් අපට එසේ කියා අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන් පිළිබඳ වගකීමෙන් ගැළවිය හැකිද?

    මේවා එක්ස් කණ්ඩායමේ සිටි අය හෝ දැන් දීප්ති සමඟ ඉන්නා අය කවුරු හෝ අපට පහදා දෙන්න.

    ReplyDelete
  16. අපි දීප්තිගේ මෙම ලේඛන තේරුම් ගන්නේ කෙසේද? - 2

    “අපට අනුව නම් අපගේ සංවාදය දිගටම මෙහෙය වන්නේ ලිවීම හරහය. මන්ද යත් ලීවීම හරහ පාරභෞතික මැකී යන නිසාය.“

    ඩෙරීඩා මෙලෙස කථනය සහ ලිවීම අතර ලිවීම උසස් කොට දැක්වූවාද ? එසේ කළා නම් එය ඩෙරීඩාම තදින් විවේචනය කළ, ස කථනය සහ ලිවීම අතර සම්ප්‍රදායික බෙදීම උදාරණයක් ලෙස ගත්, සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ ගොඩ නැංවීමක් නොවන්නේද?

    “අප මේ ජීවත් වන යුගයේ දේශපාලනය යනු අර්ථය (meaning) මත රදා පවතින්නක් නොවේ. එය පදනම් වන්නේ අනෙකා විදිතැයි අනුමාන කරන විනෝදය එක්කෝ පැහැර ගැනෙයි.නැතහොත් තර්ජනයට ලක් වෙයි.”

    දීප්ති ගේ මෙම විග්‍රහය තුළ, දේශපාලනය කරන්නා අවිඥාණයෙන් මෙහෙයවෙන්නෙක් ද? අනෙකා විඳිතැයි අනුමාන කරන විනෝදය පැහැර ගැනීම හෝ තර්ජනයට ලක් කිරීම නොකරන්නා දේශපාලනය නොකරන්නෙක් ද? මෙහි අනුමාන කිරීම සිදුවන්නේ කුමන පදනමක් මතද? එයත් අවිඥාණක ද? එයට අනුමාන කිරීම යයි කියන්නෙ ඇයි? දේශපාලන මතභේද පිළිබඳ වගකීම මෙලෙස අවිඥාණයට පැවරීම දේශපාලනය කරන්නාට කර්තෘක භාවය අහිමි කොට කර්තෘකභාවය නොහොත් ඒජන්සිය දීප්ති අතම තබා ගනියි. දීප්ති ඒජන්සිය තම අනුගාමිකයන්ට වත් දෙනවාද? දීප්ති ගේ දේශපාලනය පදනම්වන්නේ ඉහත් කී අනෙකාගේ විනෝදය යැයි සිතන දෙය පැහැර ගැනීමට තර්ජනයට ලක් කිරීමට විය නොහැකිය. එහෙම නම් දීප්තිගේ දේශපාලනයේ පදනම කුමක් ද? දීප්ති පමණක් නිසි ආකාරයට දේශපාලනය කිරීමේ වරම ලබා ගත්තේ කොහොමද?

    “මිනිසුන් අතින් පයින් ගහ මරා ගැනීමට පසුව ඇති වු ශීලාචාර ක්‍රියාව වන්නේ විචාරයයි. එබාවින් දීප්ති යනු කිසිදා චණ්ඩියෙකු නොවේ. ඔහු මේ යුගය ස්ත්‍රීකරණය කරන ස්ත්‍රියක්ද නොවේ. නිර්මාල්ම කියන පරිදි ඔහු පොන්නයෙකි.“

    දීප්ති අතින් පයින් ගහ මරා ගන්න යන්නේ නෑ කියන කතාව දීප්ති ගේ කණ්ඩායම ලවා ඔලු පැලූ අය දන්නවා ඇති. විචාරය ශීලාචාර දේ නම් විචාරය යනුවෙන් දීප්ති ලියන හැම දෙයක්ම ලියන්නේ විචාරය වෙනුවෙන් අවංකවමද? ඔහු ලියන දේවල් හරියට ප්ලේටෝ සොක්‍රටීස් ගේ මරණයෙන් පසු ලියූ ෆීඩෝ හි එන මරණින් පසු ඇති ජීවිතය පිළිබඳ ලියූ උපමා කතාව වගේ තම විචාරයට ලක්වන්නා බිය පත්වෙතැයි හිතන විවිධ ඇඟවීම් ලියනවා නේද? හරියට කල්යා ගැන ලියන ගණිකා නිවාස කතාව වගේ. මේ මුලු කතාවේම පදනම ගණිකා වෘත්තීය සදාචාරවිරෝධී කියන සම්මත ව්‍යවහාරික කතාව පදනම් කරගෙන කල්යාට සමාජයෙන් අපහාසයක් ලබා දීම අරමුණ කරගෙන ඒ නිසා කල්යා බියවද්දලා ඔහු නිහඬ කිරීම අරමුණු කරගත්තක් නේද? විචාරය ශීලාචාර නම් එය ශීලාචාර ආකාරයට කළ යුතුයි නේද? ලොව විචාරය පිළිබඳ ශීලාචාර සම්මතයන් මොනවාද? දීප්ති සහ දීප්තිගෙන් දේශපාලන අකුරු කියවූ ඔහුගේ ගෝලබාලයන් - දැන් දීප්ති ලඟ හිටියත් නැතත් - ඇරෙන්නට මෙම විචාර ක්‍රමය ශීලාචාර ලෙසින් හඳුන්වා දෙමින් එහි යෙදෙන්නේ කවුද? ඩෙරීඩා මෙහෙම විචාර කරාද? ලකාන් ජීසෙක් මේ කවුරු හෝ කළාද?දීප්ති ගේ මේ ඊනියා විචාර අතින් පයින් ගහ ගැනීම වචනයෙන් ඉදිරියට කරගෙන යාමක් නොවේද? ඒ අතින් ගත් කළ ලංකාවේ ලොකුම දේශපාලන චණ්ඩියා දීප්ති නේද? දීප්ති ස්ත්‍රීන් ගැන හැමදාමත් ලියූ කියූ හැටි මහ කැත පිරිමි චණ්ඩි කමක් නේද? දීප්ති හැමදාම තමන් තරහ වෙන ස්ත්‍රීන් හැමදාමත් විචාරයට ලක් කළේ සම්මත සදාචාරය පැත්තෙන් ඔවුන් නරක අය බව ඇඟවෙන විදියට ඔවුන් අපහාසයට ලක් කරමින් නේද? මේවා පිරිමි චණ්ඩි කම් නේද?

    ReplyDelete
  17. ඉතිහාසයේ විකොස - ගම්ලත්, නසසප - වාසු හෝ අඩුවශයෙන් ජවිපෙ - පුබුදු වැනි (සාම්ප්‍රදායික ) වාම පක්ශ විභේදන වලදී අප දුටු සාපේක්ශ වශයෙන් වුවත් ගෞරවාන්විත සංවාද වලට වඩා දීප්ති - නිර්මාල් විභේදනය යූඑන්පී - දයාසිරි වර්ගයේ පෞද්ගලික බැන අඩගසා ගැනීමේ පහත් තත්වයට වැටුනේ කොහොමද?

    මෙහිදී මේ තාක් වඩා වැදගත් පිවිසුමක් සහිත බව පෙනුනු නිර්මාල්, පාලිත සිල්වාගේ සිද්ධිය වැනි දේ නොකිව යුතුව තිබුනා.

    - Dimithri

    ReplyDelete
  18. "I cannot forget the intellectual inspiration from Deepti Kumara Gunaratna, my long-time political friend, although we have, unfortunately, become strong political opponents by now."

    - The Adaptable Peasant: Agrarian Society in Western Sri Lanka Under Dutch Rule, 1740-1800
    Nirmal Ranjith Dewasiri

    ReplyDelete
    Replies
    1. What then? You don't have to put it here Nirmal himself says this in public.

      Delete