Tuesday, August 13, 2013

දීප්ති කුමාර ගුණරත්න මහතාට විවෘත ප්‍රතිචාරයක්

මම සහ තවත් මිතුරන් කීප දෙනෙකු කලක් පවත්වාගෙන ගිය 'මධ්‍යස්ථානය' නම් බ්ලොග් අඩවිය නතර කර දැමීමට අප තීරණය කරන්නට හේතු කීපයක් තිබිණි. මේ අතරින් එක හේතුවක් වූයේ එම බ්ලොග් අඩවිය තුල අප අනවශ්‍ය පරිදි දීප්ති කුමාර ගුණරත්න මහතා සහ එම මහතාගේ දේශපාලන පක්ෂය ලෙස නම් කරන කණ්ඩායම සමග පැටලීමයි. ගුණරත්න මහතා සමග සංවාද කිරීම අරුත් සහිත වැඩක් නොවේ. ඒ ඔහු සංවාදයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට සමත් නොවන හෙයිනි. 

නමුත් අපගේ ජීවිතයේ තිබෙනා නොවෙනස් වෙන කරුණක් වන්නේ ගුණරත්න මහතා සහ අපිට එක සමාජ අවකාශයක වැඩ කරන්නට සිදු වීමයි. එම මහතාගේ මඩ ගැසීම් වලට සම්බන්ධ නොවීමට අප බොහෝ උත්සාහ කරන්නෙමු. නිදර්ශනයක් ලෙස විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය සමයේ ඒ මහතා නිර්මාල් ට එරෙහිව ගොම ගසන විට අපි කවුරුත් එයට ප්‍රතිචාර දැක්වීමට නොගියේ, සිහිබුද්ධිය තිබෙනා ඕනෑම මනුස්සයෙකුට ගුණරත්න මහතා ගේ නන් දෙඩවිලි වටහා ගත හැකි වීම නිසාය. කොටින්ම එම මහතාගේ ප්‍රමුඛම හෙන්චයියන් දෙදෙනෙක් ද එම අරගලයට ප්‍රසිද්ධියේ සහය දුන් බව අපිට මතකයි. 

නමුත් සමහර අවස්ථාවන් වලදී අපිට එම මහතාට ප්‍රතිචාර දක්වන්නට සිදු වන්නේ අප දෙගොල්ලන්ම වැඩ කරන පොදු අවකාශයේ ඉන්නා සමහර පුද්ගලයන් ගුණරත්න මහතාව බැරෑරුම් ලෙස බාර ගන්නා නිසාය. අපි ගරු කරන අශෝක හඳගම වැනි කලාකරුවන්ගේ සිට සිනමා, කලා කටයුතු වලට සම්බන්ධ වන තරුණ පිරිසක් තවමත් එම මහතාගේ ලියවිලි සහ කතා බැරෑරුම් ලෙස බාර ගනී. මෙය වෙනස් කිරීමට අපට කාලයක් ගත වනු ඇත. මේ සඳහා කල යුත්තේ ඒ මහතා සමග තේරුමක් නැතිව දෙපැත්තට මඩ ගසා ගන්න එක නොව, විකල්පය ගොඩනැගීමයි. මම ඉදිරි කාලය තුල මහන්සි වන්නේ මෙය වෙනුවෙනි.

නමුත් ඒ අතරතුර, සමහර අවස්ථාවන් වලදී අකමැත්තෙන් උවත්, මේ මහතා අප කරන වැඩ වලට මඩ ගහන එකට ප්‍රතිචාරයක් දෙන්නට සිදු වේ. පහතින් පල වන්නේ ඒ මහතාගේ එවැනි මඩ ගැසීමකට අප දෙන ප්‍රතිචාරයයි. අශෝක හඳගම ඇතුළු අපි ගරු කරන, නමුත් ගුණරත්න මහතා මහා බුද්ධිමතෙක් ලෙස පිලි ගන්නා අයගෙන් අප ඉල්ලා සිටින්නේ මෙය හැකිතාක් අවංකව සලකා බලන ලෙසයි. 

මෙහි පසුබිම් කතාව බොහෝ දෙනෙකු දන්නවා කියා විශ්වාස කරමු. ඉතාම කෙටියෙන්, මම සහ විමුක්ති ජයසුන්දර එක්ව කල සංවාදයක් අපි "ඉබ්බාගේ ලෝකය - චින්තනයේ සීමාවෙන් ඔබ්බට" යනුවෙන් පොතක් ලෙස එලි දැක්වූ අතර එය ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය විසින් සංවිධානය කල විමුක්ති ජයසුන්දර සිනමා උළෙලක් හා සමගාමීව සිදු විය. මෙය 'විශ්වයම විශ්මිත' කරනා මහා දාර්ශනික පොතක් නොව ක්වෙන්ටින් මෙයසූ කියන යොවුන් ප්‍රංශ දාර්ශනිකයා පිළිබඳව කෙරෙන ඉතාම කෙටි හැඳින්වීමකි. මෙයසූ ගේ පරම්පරාව පිලිබඳ ලංකාවේ සාකච්චාවක් නොමැති වීම මම හිතන්නේ විශාල අඩුවක් ලෙසයි. මම උත්සාහ කරන්නේ මේ පිළිබඳව පුළුල් සාකච්චාවක් ඇති කිරීමට වන අතර, මෙම පොත එම ඉදිරි වැඩ පිළිබඳව කරන ලද කටු සටහනකි. මෙයට අවස්ථාව වූයේ විමුක්ති ගේ Light in the Yellow Breathing Space චිත්‍රපටියයි. එම චිත්‍රපටිය පදනම් කරගෙන මම සහ විමුක්ති අතර ඇතිවුණු සංවාදයක් තමයි මේ පොතේ ආකෘතිය වුනේ. 

මට තේරෙන විදියට කෙනෙකුට මේ පොතට ප්‍රතිචාර දිය හැකි ක්‍රමයන් මූලික වශයෙන් තිබෙන්නේ දෙකකි.

1. මෙම පොතේ මම මෙයසූ ගැන දී තිබෙන අර්ථකථනය වැරදියි. එම නිසා නිවැරදි එක විය යුත්තේ මෙයයි.
2. මෙයසූ ගේ ප්‍රවාදය දෝෂ සහිතයි. එයට වඩා නිවැරදි ප්‍රවාදය මෙයයි. 

මම හිතන්නේ මේ පොත සම්බන්ධයෙන් කෙනෙකුට දෙන්න පුළුවන් සියලුම ප්‍රතිචාර ඉහත මූලික ආකෘතීන් දෙකට ඇතුලත් කරන්න පුළුවන්. නිදර්ශනයක් විදියට ගුණරත්න මහතාට අවශ්‍යනම් තිබුනා මෙහෙම කියන්න. 'යථාර්ථය අසම්පූර්ණ වේ කියන ජිජැකියානු තිසීසය පිළිගන්නා අප, මෙයසූ ගේ ප්‍රවාදය හා එකඟ නොවේ. මෙයසූ ට එරෙහිව ජිජැක් කර ඇති විවේචනය අපි පිලිගන්නවා. සැබෑ ගැටලුව වන්නේ එහිම-ස්වරූපයක් (in-itself) තියෙනවද කියන එක නෙමෙයි, මේ එහිම-ස්වරූපය දෘශ්‍යමාන වන ආත්මයක් (ගුණරත්න මහතා කැමති පරිවර්තනය එයයි) තිබීමයි. ඒ අනුව අපි මෙයසූ ට සහ ලෙනින් ට වෙනස් ව හේගල්, ලැකෝන් සහ ජිජැක් අනුව යමින් යථාර්ථය අසම්පූර්ණ වේ කියන තිසීසය පිළිගනිමු.' එවිට එම ප්‍රතිචාරය අයත් වන්නේ ඉහත දෙවැනි ඛාණ්ඩයටයි.

මෙවැනි ප්‍රතිචාරයක් ලබා දුන්නේනම් අපිට පුළුවන් ඇයි අපි යථාර්ථය අසම්පූර්ණ වේ කියන ජිජැකියානු ප්‍රවාදය පිලි ගන්නේ නැත්තේ කියන එක කියන්න සහ මෙයසූ පිළිබඳව වඩාත් සජීවී සංවාදයක් කරන්න. නමුත්!

අපි දැන් බලමු ගුණරත්න මහතාගෙන් මෙයට ලැබෙන ප්‍රතිචාරය. මෙය ඔහු ලබා දී තිබුනේ පසුගිය 08 වෙනිදා ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී ඒ මහතා කල කතාවකදීයි. ඔහුගේ වෙබ් අඩවියේ තිබුණු, සංස්කරණය කරන ලද, හඬ ගොණුව තුල මෙම පොත ගැන තැන් දෙකකදී සඳහන් වෙයි. පළමු තැනදී ඔහු මෙවැන්නක් පවසයි:

"අපි දන්නවා බටහිර ලෝකයේ කාර්මික දියුණුවත් සමග ඇති වෙලා තියෙන ආතතිගත සම්බන්ධයන් වලට බුද්ධ ධර්මය විසඳුමක් වෙලා තියෙනවා. අපි ඒ වගේ එකකට කියන්නේ බොත්තම වැනි ෆෙටිෂ් එකක්. ඒ කියන්නේ අපි ඇත්තටම දන්නවා සමාජයේ ඉතාම හුදෙකලා, ලොකු පරාරෝපණයක් තියෙන සමාජයක් කියලා. නමුත් අපිට පුළුවන් හිත නිවා ගන්න හවසට, සමත භාවනාව හරි, ඒ වගේ මොකක් හරි භාවනාවක් කරලා, අපිට සිත නිවා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කියනවනන් මම දැක්කා මේ මේ විමුක්ති ජයසුන්දර කියන සිනමාකරුවා, ඒ කලාකරුවා දාර්ශනිකයෙක් එක්ක කරපු සංවාදයක පොතක එයා කියලා තිබුනා, ඩේවිඩ් ලින්ච් ගේ transcendental meditation කියන එක, භාවනා ක්‍රමය එයා අත්හදා බලනවා කියලා. ඇත්ත වශයෙන්ම ඩේවිඩ් ලින්ච් ගේ කෘති සම්බන්ධයෙන් අධ්‍යනය කරපු ගොඩක් අය කියන දෙයක් තමයි මේ ඩේවිඩ් ලින්ච්, මේ වගේ, මේ ඩේවිඩ් ලින්ච් වගේ දක්ෂ සහ සංකීර්ණ ලෙස ධනවාදී, පශ්චාත් ධනවාදී සමාජයක සමාජ සම්බන්ධකන් පැහැදිලි කරන පුද්ගලයෙක් මේ වගේ මෝඩ වැඩක් කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ ඩේවිඩ් ලින්ච් ගේ භාවනා ක්‍රම කියල කියන්නේ පැහැදිලිවම මනස්ගාතයක්. විකාරයක්. ඒ කියන්නේ කිසිම උත්තරයක් නෙමෙයි. නමුත් අපේ වෙලා තියෙන්නේ, අපිට අර ෆෙටිෂ් එකක්නේ ඕන අපිට, අපේ තියෙන ආතතිගත සම්බන්ධය නැති කරගන්න ෆෙටිෂ් එකක් ඕන, ඒ නිසා ඒ ෆෙටිෂ් එක ඩේවිඩ් ලින්ච් ගේ චිත්‍රපට වල නෙමෙයි තියෙන්නේ එයාගේ භාවනා පොත්වල."

මේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මම මෙයට එකඟ නොවන බව පමණි. සුපුරුදු පරිදි මෙතනදීත් මේ තර්කය සඳහා ගුණරත්න මහතා යොදා ගන්නේ ජිජැක් ගේ අදහස් වෙයි. නමුත් ස්ලැවොයි ජිජැක් නම් දාර්ශනිකයා ගේ වඩාත් දුර්වල රචනා නම් කරන්න කියා මට කිව්වොත්, මගේ පළමු තෝරා ගැනීම වන්නේ බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ඔහු අනූව දශකයේ අග සහ දෙදාහ දශකයේ මුල කල ලියවීම්ය (විශේෂයෙන් Puppet and the Dwarf - The Perverse Core of Christianity කෘතිය තුල). බුදු දහම වත්මන් බටහිර සමාජය තුල දෘෂ්ඨිවාදයක් වන්නේය යන ඔහුගේ අදහස ට මම යම් පමණකට එකඟ උවත් ඔහු බුදුදහම සම්බන්ධයෙන් කල අර්ථකථන බොහොම පටු කියවීමක් මත කල දෙයක් බව ඉතාම පැහැදිලි වෙයි. අනෙක් අතට පෙරදිග අව්‍යාජ අධ්‍යාත්මික අත්දැකීමක් තිබෙනා බව අද වන විට ඔහු පවා පිලි ගනී. 

මම පුද්ගලිකව භාවනා ව ගැඹුරින් අභ්‍යාස කර නොමැත. එම නිසා එය 'මනස්ගාතයක්' සහ 'විකාරයක්' කියන්නට මට නොහැකි වනවා පමණක් නොව, මම කියවා බලා ඇති දේ ඇසුරින් එය එලෙස නොවන බව උපකල්පනය කිරීමට මට බොහෝ සාධක තිබේ. අනෙක් අතට ඩේවිඩ් ලින්ච් ගැන හදාරපු 'ගොඩක් දෙනෙක්' මෙය 'මෝඩ වැඩක්' කියා පවසන්නේ කොතනද කියා පවසන්නේනම් එය අපිටත් පරීක්ෂා කර බැලිය හැකිය. මටනම් දැනට එලෙස කියන කිසිවෙකු මුණ ගැසී නොමැත. 

මෙයට වඩා ඍජු ලෙස "ඉබ්බාගේ ලෝකය" ඉලක්ක කර ගුණරත්න මහතා එල්ල කරන මඩ ප්‍රහාරය අපට මුණ ගැහෙන්නේ හඬ ගොණුවේ අවසන් කොටස තුලයි. අපි දැන් එයත් කියවා බලමු.  

ප්‍රථම වතාවට මම දැක්ක විමුක්ති පොතක් ගහල, තව දාර්ශනිකයෙක් එක්ක එකතු වෙලා. දැන් ව්මුක්ති කියන්නේ කලාකාරයෙක්. දැන් කලාකාරයෙක් දාර්ශනිකයෙක් එක්ක සංවාදයක් කරලා. දැන් මේ පුදුමාකාර දර්ශනයක්. ඒ කියන්නේ පොත පටන් ගන්නේ මෙහෙම. විමුක්ති ජයසුන්දර [විමුක්ති කුමාරතුංග කිව්වත් කමක් නෑ] කියන පුද්ගලයා පොඩි ළමයෙක්. සිප්පි කටු අරගෙන, අරව මේවා අරගෙන ඉවරල වෙලා වෙරළකට යනවා. වෙරළකට ගිහිල්ලා ඉවර වෙලා, එයා අහනවා ප්‍රශ්නයක්. 'දර්ශනය යනු කුමක්ද?' දැන් මේ දාර්ශනිකයෙක් ළඟ ඉන්නවා. එයා කියනවා 'පුතා, දර්ශනය කියන්නේ හරි අමුතු දෙයක් පුතා. එය ඉගෙන ගන්න ඕන.' එතකොට විමුක්ති කියනවා උත්තරේ හැටියට 'ශා! ඒක තමයි තාත්තා. තාත්තව දැක්කම තමයි මට තේරුනේ, දර්ශනය කියන දෙයි වැදගත්කම'. පොත ඉවර වෙන්නේ කොහොමද? පොත ඉවර වෙනවා අර 'දම් පාටින් ලා සඳ බැස යනවා' - ඒ වගේ. ඒ කියන්නේ පොත ඉවර වෙන්නේ මෙන්න මෙහෙම. විමුක්ති කියනවා මෙන්න මෙහෙම. 'තාත්තේ, දැන් තේරෙනවා මට දර්ශනය. මට දැන් ආලෝකය පේනවා. දැන් තමයි මට අවබෝධය ආවේ, දර්ශනය කියන්නේ මොකද්ද කියලා. මම හිතනවා මගේ ඉදිරි චිත්‍රපටි වලට මේ දර්ශනය බලපායි.' දැන් බලන්න මම මේ දැන් කරපු එකෙන් විමුක්තිට මොකද වෙන්නේ කියලා. මේකට තමයි හෙජමොනිය කියන්නේ. මම අමුතු දෙයක් කලේ නැහැ. ඕගොල්ලන්ට හිනා යනවා. දැන් මීට පස්සේ විමුක්තිව දැක්කම හිනා යනවා. අයියෝ අර පොඩි එකාද අර, අර සිප්පිකටු අරගෙන, අර අර සෙල්ලන් කර කර හිටපු චූටි බබා, ඒ බබාද මේ ෆිල්ම් හදන්නේ. සරල ප්‍රශ්නයක් අහමු. ඔන්න දැන් විනෝදය. ඇයි දෙයියනේ මිනිහෙක් මෙහෙම කිච වෙන්නේ? කිච වෙන්නේ ඇයි? කවුද, විමුක්ති, ඇයි කිච වෙන්නේ? මං හින්දද? පැහැදිලිද දන්නේ නැහැ. මෙන්න විනෝදය. දීප්ති විනෝදයක් ලබනවා මොකක්දෝ. දීප්ති කියල පුද්ගලයෙක් ඉන්නවා.ඒ යකා අල්ලන්නේ නැහැ. ඔන්න ඔය වගේ. කුණුහරපත් කියනවා ඇති, මං කියන්නේ, ඔය ගෙවල් අස්සේ. 'ඕකා මට අල්ලන්නේ නෑ. ඕකව විනාස කරන්න ඇඩොල්ෆ් හිට්ලර්, මුසෝලිනි, ඕන කෙනෙක් එක්ක අපි එකතු වෙනවා'. මේ මහා ප්‍රගතශීලී කියන මේ මහත්තුරු ලංකාවේ, මට විරුද්ධ මිනිස්සුත් එක්ක එකතු වෙන්නේ නැද්ද? යටින් අහල බලන්න. ඇයි මේ කැත වැඩක් කලේ. අපි හිතමු මේ සරල උදාහරණ. සන්නස්ගලගේ වගේ. අපේ පරණ යාලුවෙක්. සන්නස්ගල දිගට හරහට පොත් ගහනවා. මම හොඳට බැලුවා, යකෝ මොනවද මේ පොත්. ඔක්කොම මට විරුද්ධව ගහන පොත්. හැබැයි කෙලින් නෙමෙයි. ඍජුව නෙමෙයි. යට හොයල බැලුවම මට, අපේ පක්ෂේ දර්ශනයට විරුද්ධ දේවල් වලට තමයි සල්ලි දීල තියෙන්නේ. මම මොනවත්ම කරලත් නැහැ සන්නස්ගලට විරුද්ධව. අපි ගිහිල්ල සන්නස්ගලගෙන් අහනවා. 'සනා ඇයි බන් උඹ මේ දීප්ති එක්ක අප්සෙට්? නෑ මචන් මට ඕකා.. ඌ විඳිනවා මං විඳින් නැති විනෝදයක්. ඌ විඳිනවා. එතකොට උඹ විඳින් නැද්ද යකෝ උඹට දැන් සල්ලි ඔක්කොම තියෙනවා. ඒ මනුස්සයට සල්ලිත් නැහැ. දැනුත් ඔය ලෑන්ඩ් රෝවර් ජීප් එකක් අරගෙන යනවා. ෆුල් ආතල් එකක් නේ. නෑ මචන් වැඩක් නෑ මචන්. ඒ ද්‍රව්‍යමය ආතල් එක. අධ්‍යාත්මික ආතල් එක, අධ්‍යාත්මික දෙයක් ඕන. අපි ට නැතිවගෙන්නේ බන් ඒ යකාට තියෙන්නේ. මොකද්ද? ආත්ම ගෞරවය. "

අපි දැන් මේ මඩගොඩ ලිහා ගන්න උත්සාහ කරමු. 

මේ පොතේදී මම තාත්තා කෙනෙකු සහ දාර්ශනිකයකු වන බවත් විමුක්ති පුංචි පුතෙකු වන බවත් යන කරුණ සම්බන්ධයෙන් ලොකු දෙයක් කියන්නට නොමැත. සැකයකින් තොරවම මෙය රසවත් අපහාසයක් වන අතර මෙය අසා සිනා සුනු අය අතරට මම ද ඇතුලත් වෙමි (මෙයට විමුක්ති ද ඇතුලත් වන බව දැන ගත්තේ පසුවය). නමුත් සිනහ වීමෙන් පසුව මේ පිළිබඳව කියන්නට දෙයක් නොමැති වෙයි. මක්නිසාද යත් මෙය අපගේ පොතේ නැති බොරුවක් වන නිසාය. මෙමගින් පොත හෑල්ලු කිරීමේ උවමනාව හොඳින් ඉටු වුනත් එය මගින් පොත හෑල්ලු කරන්නේ ඇයිද යන්න නොකියවේ. එසේනම් ගැටලුව වන්නේ එයයි!

මෙම පොත හෑල්ලු කිරීමට ගුණරත්න මහතාට අවශ්‍ය වන්නේ ඇයි? මෙහි විමුක්ති හරහා ගුණරත්න මහතා මට එල්ල කරන චෝදනාව කුමක්ද? ඔහුට අනුව මෙම පොත ගැසීම 'කැත වැඩකි'. එයට හේතුව වන්නේ මේ පොතේ තිබෙන අදහස් ඔහුගේ සහ ඔහුගේ පක්ෂයේ මතයට වෙනස් වීමයි. ඔහුගේ පක්ෂයේ මතයට ප්‍රතිවිරුද්ධ මත මුද්‍රණය කිරීමේ කුමන්ත්‍රණය සඳහා මුදල් දෙන්නේ සන්නස්ගලයි.

ඇත්ත වශයෙන්ම මෙතනදී මට එක් කරුණක් සම්බන්ධයෙන් ගුණරත්න මහතා සමග එකඟ විය හැකිය. එනම් මෙයසූ යථාර්ථවාදය සහ භෞතිකවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රවාදය ඒවා සම්බන්ධයෙන් ගුණරත්න මහතා ඉදිරිපත් කරන ජිජැකියානු ප්‍රවාදයෙන් බොහෝ වෙනස් වන බවයි. 

නමුත් මට කිසිසේත්ම එකඟ විය නොහැකි වන්නේ ඔහුගේ මීළඟ තර්කයටයි. එනම් මම මෙය කරන්නේ ගුණරත්න මහතාගේ 'විනෝදය' පැහැර ගැනීමට වේය යන්නයි!

ගුණරත්න මහතාගේ දාර්ශනික ආස්ථානයට විරුද්ධ වන්නන් එසේ කරන්නේ ඔහු ගේ 'විනෝදය' (ලෙස නම් කරනා දෙය) පැහැර ගැනීමටද? අපිට දර්ශනය සම්බන්ධයෙන් වෙනත් මතයක් දරන්නට, විකල්ප දාර්ශනිකයන් සාකච්චාවට ගැනීමට නොහැකිද? ලංකාවේ ක්වෙන්ටින් මෙයසූ කියන ප්‍රංශ දාර්ශනිකයා ගැන සාකච්චා කිරීම වරදක්ද?   

අපි මෙම ප්‍රශ්න අහන්නේ ගුණරත්න මහතාගෙන් නොවෙයි. ඔහු ගේ කතා පිළිගන්න අප මිත්‍ර සහ අපි සියළු දෙනා ගරු කරනා අශෝක හඳගම ඇතුළු ලංකාවේ කලාත්මක සහ බුද්ධිමය සමාජයෙන්ය. එය එසේ නොවන බව ඔවුන් පිළිගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අවශ්‍යනම්, මෙය වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා අපිට ඉහත ප්‍රශ්න වලට අමතරව තව බොහෝ ප්‍රශ්න ඇසිය හැකි වේ.

අපි සියලු දෙනා කල යුත්තේ ගුණරත්න මහතාගේ දාර්ශනික ආස්ථානය පිළිගැනීමද?

ලෝකයේ තිබෙනා එකම දර්ශනය වන්නේ ජිජැක් ගේ දර්ශනයද?

වෙනත් දර්ශනයක් පිලිබඳ සාකච්චාවක් කිරීම ගුණරත්න මහතාට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ද? එසේනම අද ජිජැක් ගේ දර්ශනය පිළිනොගන්නා ලොව සිටින සියලුම දාර්ශනිකයන් සහ දර්ශනය කියවන්නන්, ගුණරත්න මහතාට එරෙහිව කුමන්ත්‍රණය කරනවාද?

මෙයසූ, ගුණරත්න මහතාගේ විනෝදය පැහැර ගැනීමටද පොත් ලියන්නේ? මෙයසූ ගුණරත්න මහතා ගැන අහල තියෙනවාද? (ජිජැක් නම් ගුණරත්න මහතා ගැන අසා තිබෙන බව මම අනිවාර්යෙන්ම දන්නේ එය මවිසින් ම ඔහුට වරක් පැවසූ නිසාය!)

දර්ශනය ගැන ලංකාවේ පොත් ලියවිය හැකි එකම හේතුව වන්නේ ගුණරත්න මහතාගේ විනෝදය පැහැර ගැනීමට ද?

නිකමටවත් ලංකාවේ බුද්ධිමය සංවාදය පුළුල් කිරීමට අපිට පොත් ලියන්න බැරිද?

අවසාන වශයෙන් කිව යුත්තක් තිබේ. ඇත්තම කාරණය වන්නේ මෙම පොත ලිවීමේදී අප සැබවින්ම කිසියම් පුද්ගලයෙකුගේ 'විනෝදය පැහැර ගැනීමට' උත්සාහ කර තිබේ යන්නයි. නමුත් ඒ ගුණරත්න මහතා ගේ නොවේ. අපි එලෙස 'විනෝදය හොරකම් කරන්නට' හදන්නේ ගුණරත්න මහතාට වඩා බොහෝ බලපෑම්සහගත පුද්ගලයෙක් වන නලින් ද සිල්වා මහතාගේයි. අපගේ අදහසේ හැටියට නලින් ද සිල්වා මහතා ගේ 'මගේ ලෝකය' කෘතියට ලංකාවේ කිසිවෙකුත් පිළිතුරු දී නොමැති අතර, එමගින් ඇති කරන ලද චින්තන සම්ප්‍රදාය අපේ සමාජයේ බරපතල මැදිහත්වීමක් කර තිබේ. අනෙක් අතට ක්වෙන්ටින් මෙයසූ යනු දැනට මා කියවා ඇති දර්ශනයන් අතරින් නලින් ද සිල්වා මහතාගේ අභියෝගයට සාර්ථකවම පිළිතුරු දෙන දාර්ශනිකයාය. මින් අදහස් වන්නේ නලින් ද සිල්වා මහතා ට වඩා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් මෙයසූ ට පෙර ලොව පහළවී නොමැත යන්න නොව නලින් ද සිල්වා මහතාගේ අභියෝගය වෙත ඔහුගේ ප්‍රවේශය හරහාම පිළිතුරු ගොණු කරන වෙනත් දාර්ශනිකයකු මට මුණ ගැසී නොමැති බවයි. ගුණරත්න මහතාගේ ගොම ගැසීම් නිසා හානි වන්නේ මෙන්න මෙම අභියෝගය ජය ගැනීමටයි. මෙම ඉක්මන් ප්‍රතිචාරය සටහන් කලේ අප යන එම ගමන නිරවුල් කර ගැනීමට වන අතර අපගේ බලාපොරොත්තුව වන්නේ මෙන්න මෙම සැබෑ සහ තීරණාත්මක 'විනෝද මංකොල්ලය' හැකි තරම් විධිමත් ව සහ වේගවත්ව කිරීමයි. ඒ සඳහා "ඉබ්බාගේ ලෝකය - චින්තනයේ සීමාවෙන් ඔබ්බට" යන කුඩා කෘතිය හරහා කල කෙටි මැදිහත් වීම යහපත් ආරම්භයක් ගණු ඇතැයි, අප උදක්ම විශ්වාස කරමු.

වංගීස සුමනසේකර 


7 comments:

  1. මම දර්ශනය ගැඹුරින් හදාරන්නෙක් නො වෙමි. එය ගැඹුරින් හදාරන්නෝ හා දාර්ශනිකයෝ අපගේ ජීවිතයට බලපාති. එහෙයින් සෑම මිනිසකු ම දාර්ශනික සත්වයකු යයි මම විශ්වාස කරමි.

    එහෙත්, පොදු මිනිසාගේ සාමාන්‍ය ලක්ෂණය වන්නේ දර්ශනය ඔහුට වේදනාවක් නො වීමයි. දීප්ති‍ට දර්ශනය හැදෑරීමෙන් ප්‍ර‍මෝදයක් ලැබෙන්නේ එය ඔහු‍ගේ වේදනාවට පිළියමක් නිසා වන්නට පුළුවන. හරියට දුම් බීමට ඇබ්බැහි වූවකුට දුම්වැටියක් ඉරීමෙන් අපහසුව නැති කර ගත හැකිවාක් වැනි ය.

    දර්ශනය ගැඹුරින් නො හැදෑරීම මිනිසුන්ට වේදනාවක් නො වන්නේ ඇයි ද යන්න ද දර්ශනවේදීන්ගේ විෂය පථයට අසු වී ඇද්දැයි මම නො දනිමි.

    දීප්ති දර්ශනවාදියකු හෝ දර්ශනය ගැඹුරින් හදාරන්නකු යයි මම නම් විශ්වාස නො කරමි. දීප්තිට ඇත්තේ වේදනාවකි.

    ඔහු සිතන්නේ අනෙක් අයත් තමන් මෙන් පෙති බොනවා ය, තමන්ගේ පෙති හොරෙන් බොනවා ය කියා ය.

    වේදනාවක් නැති මිනිසුන්ට අමුතුවෙන් ප්‍රමෝදයක් ද අවශ්‍ය නැත. කාගෙවත් ආතල් කඩන්නේ ද වේදනාකාරයෝ ම ය.

    ReplyDelete
  2. පොත ගන්න විධිය කියන්න ප%කාශයට පත් කලේ කව්ද

    ReplyDelete
    Replies
    1. සංහිඳ පොතක්. නිශ්චිත ලෙසම විජේරාම හංදියේ පිහිටි සංහිඳ ආයතනයෙන් මිලට ගත හැකිය. නැතිනම් madhyasthanaya@gmail.com ලිපිනයට ඔබ ගැන තොරතුරු එවිය හැකිනම් පොතක් ලබා දිය හැකිය.

      Delete
  3. deepthi තම දර්ශනය ගෙන ආවෙ සමාජය සංවිධානය කිරිමටයි.
    නමුත් ඔබ ඔය දර්ශනය ගෙන එන්නෙ deepthi ට ගහන්නනෙ !

    ReplyDelete
    Replies
    1. ඔබ එම නිගමනය වෙත පැමිණීමට තිබෙන සාධක කරුණාකර කියන්න පුළුවන්ද?

      දීප්ති ගුණරත්න ට පෙර ලංකාවේ විවිධ අය දර්ශනය ගැන කතා කරලා තියෙනවා. දීප්ති ගුණරත්නට පසුවත් ලංකාවේ අය දර්ශනය කතා කරයි. එහෙම කරන්න වෙන අයට අයිතියක් නැතිද? දීප්ති ගුණරත්න ගේ දර්ශනය ට වෙනස් දර්ශනයක් ලංකාවේ කතා කරන එක අයහපත් දෙයක්ද?

      Delete
    2. ඔබ කතා කරන යහපත අයහපත කෙසෙ වෙතත් 2004 සිට අද දක්වා ඔවුන් තම දර්ශනය ගෙන එමට පොත් 5 ක් හා පෙරදිග සුලං කාලාප 7 හා ත්‍රිමාන කාලාප 7 හා හෙගෙල් පන්ති 10 පවත්වා ඈත . ඔවුන්ගේ පලකරන ලද පොත් හා සඟරා යම් කිසි සබුද්දික හේතුවක් හා නිශ්චිත තර්කයක් විකාශය වේ.නමුත් ඔබගෙ පොත් වල එවනි දෙයක් මට නොපෙනෙ . ඔබගෙ දර්ශනය දෙනට අප රටෙ පවතින ප්‍රශ්න වලට ඈති සම්බන්ඩය පහැදිලි කර දෙන්න පුලුවන්ඩ ? නෑති නම් ඔපාපාතිකව සන්න්ස්ගල විසින් පලකරන ලද්දක් ද ?

      Delete
    3. 2004 සිට අද දක්වා දිප්ති ඈතුලු පෙරටුගාමි පක්ශය පොත් 5 ක් , පෙරදීග සුලං කාලාප 7ක් ,ත්‍රිමන කාලාප 7 ක් හා හේගල් පන්ති 10 ක් පවත්වා ඈත. මීට අමතරව ත්‍රිමන වෙබ් අඩවිය ද පවත්වා ගෙන යයී .මෙම සෑම පොතක්ම හා පන්ති හා යම් කිසි සබුද්දික තර්කයකට හා අද රටෙ හා ලොකයෙ පවතින අර්බුද ගෙන කතා කරයි. ඒ සමගම තම පන්ති සතුරන්ට ද පහර දෙයි.

      නමුත් ඔබගෙ පොත් වල ඈති කලොචිත කම ගෑන නම් මට කිසිම පෑහෑදිමක් නෑත. ඒපමනක් නොව ඔබගේ වෙබ් අඩවියද කලින් කලට නිදිවදි .

      ඔබටත් පුලුවන් ඔවුන් වගේ අමාරුවෙන් වුවත් ක්‍රියාශිලිව සාමජයට වෑඩ දායි යමක් කරන්න. අන්න ඒ දවස එනකං මම බලා සිටිමි.

      Delete