Saturday, May 4, 2013

අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද?

මේ දින වල සිංහල ජාතිය වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්‍රණයෙන් සිංහල ජාතික බලවේග සලිත වී සිටියි. මේ කතාව කරලියට එන්නේ පසුගිය දිනෙක රේගුව විසින් අර්තාපල් තොගයක සගවා පකිස්තානයේ සිට ගෙන්වන ලද කෝටි තුනක් වටිනා උපත් පාලන බෙහෙත් තොගයක් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යි. බැලූ බැල්මට ම මුස්ලිම් කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීමේ සාධක සැපිරී ඇත. ජාතික හෙල උරුමයේ සිට මාදුලුවාවේ සෝභිත හිමි දක්වා සියලු දෙනා දත් මිටි කමින් කෑ ගසන්නේ මේ ජාතිය වැනසීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නන් හෙලි කරන ලෙස යි. සමහර ජනමාධ්‍ය ද ඇතුලුව මේ සියලු දෙනා පවසන්නේ මෙය ලංකාව තුල නීතිවිරෝධී ගබ්සා ඖෂධයක් බවයි. ලයිව් ඇට් එයිට් එස් එම් එස් පනිවිඩයේ එය ප්‍රකාශ වූ යේ මෙසේ ය - අර්තාපල් බව හගවමින් ආනයනය කල ගබ්සා සදහා යොදා ගන්නා රු .මිලියන තිහක් වටිනා නීති විරෝධී ඖෂධ තොගයක් රේගුව සොයා ගනියි. දැන් බිහිසුනු ඇත්ත කතාව නරඹමු.


මෙලෙස අර්තාපල් තොගයක් තුල සගවා ලංකාවට ගෙන එන ලද්දේ ඩෙපො-ප්‍රෙවේරා නම් උපත් පාලන ඖෂධයයි (මේ බව දෙරන හා සිරස නාලික ප්‍රකාශ කර ඇත). එන්නතක් වන එය නිපදවන්නේ බෙල්ජියමේ ය. මේඩ් ඉන් බෙල්ජියම් ලෙස එම අත්අඩංගුවට ගත් බෙහෙත් කුප්පි වල සදහන් ය. වැදගත්ම දෙය වන්නේ ආන්ඩුවේ රෝහල් වල උපත් පාලනය සදහා සිංහල දෙමල හෝ වෙනත් ඕනෑම ජන වර්ගයක ගැහැනුන්ට විදින්නේ මෙම බෙහෙත වීම යි. එහි ප්‍රතිඵල සදහා මාස තුනකට වරක් ගත යුතු ය. මේ නිසා මේ ඖෂධය නීත්‍යානුකූලව ආනයනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයයි.

ප්‍රශ්න කිහිපයක් ඇත. එකක් සිංහල ජාතිවාදීන් පූර්ව උපත් පාලන බෙහෙත් හා ගබ්සාව අතර වෙනස නොහදුන යි. එකක් මනුෂ්‍යයන් ලිංගිකව හැසිරෙන්නේ දරුවන් වැදීම සදහා පමණක් නොවන බව ද ඔවුන් නොදනී. එනිසා උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම තරුණ කාන්තාවන් විසින් අනුගමනය කරන සෞඛ්‍ය පුරුද්දක් බව ද මේ අශ්ලීල මිනිසුන් නොදනියි. අවාසනාවන්ත ලෙස උපත් පාලනය තුල වඩා හිංසාවට ලක් වන්නේ කාන්තා ශරීරය වුවත් එය ගෝලීය කාරණයකි.

දැන් ගැටලුව වන්නේ මේ බෙහෙත ලංකාවට ගෙන්වීම සිංහල ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් නම් කාලයක සිටම ආන්ඩුවේ රෝහල් වල මේ බෙහෙත භාවිත කිරීම නිසා කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටස් කරුවා විය යුත්තේ ආන්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යංශය යි. මක් නිසා ද ඔවුන් නීත්‍යානුකූළව ආනයනය කර ඇත්තේ ද මේ ඖෂධය මයි.

නමුත් ඇසිය යුතු ප්‍රශ්නය වෙනස් එකකි. ඒ ලංකාවට දැන් ඖෂධ එන්නෙ අර්තාපල් ගෝනි තුල ද යන්න යි. තක්කඩි සිංහල ජාතිවාදීන් සගවන්නේ මේ ඇගකිලිපොලා යන ප්‍රශ්න යයි. උපත් පාලන ඖෂධ ගෙන ඒමෙන් ජන වර්ගයක් වඳ නොවන බව අවම වශයෙන් අට වසරට අධ්‍යපනය ලැබූ දරුවෙක් පවා දනියි. එසේ ම ඖෂධ ප්‍රවාහනයට නිශ්චිත කොන්දේසි ඇති බව ද පැහැදිලි කරුණ කි. දැන් පසුගිය කාලය පුරාවට ලංකාව තුල හමු වූ බාල ඖෂධ ගැන මතක් කර ගන්න. ගුල්ලන් සිටි එන්නත්, කල් ඉකුත් වූ බෙහෙත් මේවා ආන්ඩුවේ රෝහල් වල හලාල් වූ බව අමුතුවෙන් මතක් කල යුතු නැත. 

දැන් සිංහල බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් කුමන්ත්‍රණයක් ගොතමින් සගවන්නට උත්සාහ කරන බිහිසුනු ඇත්ත කුමක් ද? ඒ ලංකාව තුල බාල ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බව යි. එයට පසුගිය කාලය පුරා අනුග්‍රහය ලැබුනේ කාගෙන් ද යන්න මේ හැම දෙනෙක් ම හොදින් දන්නා කරුණකි. සමහර බෙහෙත් දීමට පෙර රජයේ වෛද්‍යවරු “මේවා අරයගෙ බෙහෙත් කැමති නං ගන්න නැත්තං ෆාමසියෙන් අරං එන්න යැයි කියූ බව මේ සියලුම ජාතිවාදී න් හොදින් දනියි.

බාල බෙහෙත් ගැනීමෙන් සිංහලයන් මිය ගිය බව නම් ඇත්ත ය. මේ නිසා සිංහල ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් තිබිය හැකි ය. එවැන්නක් තිබේ නම් එහි සෘජු හෝ වක්‍ර කොටස් කරුවන් වන්නේ ජාතිවාදී ආන්ඩුවත් සිංහල ජාතිය ගලවා ගැනීමට කුමන්ත්‍රණ න්‍යායන් ගොඩ නගන අන්තවාදී සිංහල බෞද්ධ බලවේගත් ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන් අතර ඇති වූ ආන්දෝලනය දෙස බැලීමේ දී ජාතිය වඳ වී යාමේ ප්‍රධාන සාධකය සොයා ගත හැකි ය. එනම් නූගත් කම යි. අන්තවාදී ජාති වාදීන්ට ඉතා පහසුවෙන් කඩේ යැවිය හැකි ජන වර්ගයක් බවට සිංහල බෞද්ධයා පත් වෙමින් සිටින බව නම් පැහැදිලි ය.

කෞශල්‍ය කුමාරසිංහ

4 comments:

  1. අපට හැමදාම වැරැදුනේ බෙහෙත් තුවාලයට නොව පිටිකරට බැදීම නිසාය හොර වෙළදුන් කරන තක්කඩි කම් වලට දඩුවම් කිරීම වෙනුවට උන්ට උඩ ගෙඩි දීමයි

    ReplyDelete
  2. Now we know the inside story..thanks man..

    ReplyDelete
  3. මේ නම් ජාතිවාදී නරුමයනට දිය හැකි හොඳ ම පිළිතුර යි.

    ReplyDelete