Tuesday, June 26, 2012

අජිත්ගේ පාට පාට ලා...ස්සන ලෝකය ගැන..

අජිත් පැරකුම් ජයසිංහ නිර්මාල් ගේ ජීවිතයට එල්ල වූ තර්ජනය සහ එය පසුබිමේ ඇති විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ යෝජිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ලියා තබා ඇති  සටහනට අපට කනගාටුවෙන් උවත් තරමක් කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවේ.

මෙහිදී අජිත් බොහෝ දේ ගැන ඔහුට සිතෙන දේ ලියා තිබෙන අතර, ඒවා සියල්ලටම පිළිතුරු දීමට අපට උවමනාවක් නොමැත. නමුත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ  වැඩ වර්ජනය මුව දොරේ තබා ඒ ගැන අජිත් ලියනා දෙයට අප පිළිතුරු දිය යුතු වෙමු. මන්ද ජීවිත තර්ජන හමුවේ, මිනිසුන් කරන මැදිහත් වීම් කැමති කැමති ආකාරයට ජෝක් කිරීමට ඉඩ දිය නොමැති හෙයිනි. මේ සම්බන්ධයෙන් අජිත්ගේ තර්ක දෙකක් වෙයි.

1. මෙය පටු ආත්මාර්ථකාමී, අදේශපාලනික බහුතරයකගේ ආර්ථික ඉල්ලීමක් වෙයි.
2. මේවා වෙනුවෙන් මහන්සි වනවාට වඩා කල යුත්තේ යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලයට දායකවීමය.

පළමුවෙන් කිව යුත්තේ ලංකාවේ ශාස්ත්‍රාලයේ පරිහානිය සම්බන්ධයෙන්, සමහර විට, අජිත්ටත් වඩා අප සංවේදී වන බව සහ විවේචනාත්මක වන බවයි. සමස්තයක් ලෙස ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන් සම්බන්ධයෙන් අපට ඇති චෝදනාව වන්නේ ඔවුන් "පටු ආත්මාර්ථකාමී, අදේශපාලනික බහුතරයක" යන්නට වඩා, පළමුවෙන් සහ ප්‍රමුඛ ලෙස, ඔවුන්ගේ සාතිශය බහුතරය විශ්ව විද්‍යාල ගුරුවරුන් වීමට සුදුසු කම් ඇති අය නොවීමය.  මෙය මානව ශාස්ත්‍ර විෂයන් හීදී වඩාත් ප්‍රභලව දැකිය හැකි උවත් සමස්තයක් ලෙස මෙය සමස්ත විශ්ව ව්දියාල අධ්‍යාපනයටම පොදු වන්නකි. නම් වශයෙන් සඳහන් කල හැකි කීප දෙනෙකු හැරුණු විට මෙරට බොහෝ විශ්ව විද්‍යාල ගුරුවරුන් යනු, පොත් කියවන්නේ නැති, පර්යේෂණ කරන්නේ නැති, එක භාෂාවකින් පමණක් වැඩ කල හැකි, මුදල් නෝට්ටු ගණනය කරන යන්ත්‍රයක් සේ වසර ගණනක් එකම දේ යාන්ත්‍රිකව අලුතින් එන සිසුන්ට උගන්වන පිරිසකි.මේ අර්ථයෙන් බැලූ විට ඇත්ත වශයෙන්ම මෙවැනි විශ්ව විද්‍යාල පද්ධතියක් රැක ගන්නවාට වඩා විනාශ වීමට ඉඩ දෙන එක යහපත් වේය කියා කෙනෙක්ට සිතිය හැකි වෙයි.
නමුත් අප දේශපාලනයේදී තීරණ ගත යුත්තේ, මෙයට වඩා විශාල චිත්‍රයක් පසු බිමේ තබාගෙනය. නිදර්ශනයක් ලෙස, අපි මෙවැන්නක් සලකා බලමු. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම, ඔවුනගේ දිනපතා පුහුණුවීම් කරන්නේ නැතිව, පාලනයකින් තොරව ආහාර ගනිමින්, සල්ලාල ලෙස ගැහැනුන් සමග නිදි වදිමින්, තරඟකාරී ක්‍රීඩාවේ ප්‍රභූ ක්‍රීඩකයන් රැකිය යුතු ශික්ෂණය නොමැතිව හැසිරුනොත් එහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද? නිසැක ලෙසම ඔවුන් තරඟ කරන සෑම තරඟයක්ම පරාජය වෙමින්, ඔවුන් ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් වල අඩියටම වැටීමයි (මෙවැනි අවස්ථා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉතිහාසයේ කීපයක් තිබිණි). එවන් අවස්තාවක අප කල යුත්තේ යුත්තේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම විසිරුවා හැරීමද, නැතිනම් එහි විනය කඩ කරනා ක්‍රීඩකයන් ඉවත් කර, ඔවුන්ට දඬුවම් දී, හැකිනම් වෙනත් ක්‍රීඩකයන් ඇතුලත් කර එය ශක්තිමත් කර ගැනීමද? පිළිතුර පැහැදිලිය.

ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අප සිතන්නේ එලෙසින්නම් අධ්‍යාපනය ගැන අප සිතිය යුත්තේ කෙලෙසද? අපගේ උපමාව සංකීර්ණ වන්නේ මෙතනදීය. ක්‍රිකට් ක්‍රීඩාව යනු ගෝලීය ප්‍රාග්ධන සංසරණය තුල මුළුමනින් ගිලී සිටිනා කර්මාන්තයකි. නමුත් අධ්‍යාපනය යනු මෙම ප්‍රාග්ධන මෙහෙයුමට එරෙහිව ගෝලීයව සංවිධානය වී ඇති ප්‍රභල ප්‍රතිරෝදී කලාපයකි. පසු ගිය වසර කීපය පුරා උතුරු ඇමරිකාවෙත්, යුරෝපයේත් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශාල විරෝධතා රැල්ලක් පැන නැගුනු අතර, සමකාලීන "ප්‍රාග්ධනයේ සේවකයන්ට" (මේක තමයි මාක්ස් රාජ්‍ය පාලකයන්ට කියපු නම) විශාල ලෙසම හිසරදයක් වුයේ මෙම විරෝධතාවයන්ය. නිදර්ශනයක් ලෙස කැනඩාවේ කියුබෙක් වල මේ වන විටත් දිග හැරෙමින් තිබෙන විරෝධය බලන්න. එය මේ වන විටත් උතුරු ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සහ දීර්ගතම ශිෂ්‍ය අරගලය බවට පත් වී තිබෙන අතර එයට එරෙහිව පාලකයන් යෙදු සියලු මිලිටරි, නීතිමය සහ උපක්‍රමික මෙහෙයුම් පරාජය කිරීමට එය සමත් වී තිබේ. 

    
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ යෝජිත වැඩ වර්ජනය අප වටහා ගත යුත්තේ මෙන්න මේ ගෝලීය සන්ධර්භයේ තබාය. එම අරුතින් ගත් විට, ඇත්ත වශයෙන්ම මෙය පසු ගිය වසරේ සිදු වූ සටනටත් වඩා දේශපාලනික වේ. ගිය වර ඒ සඳහා තිබු එක් චෝදනාවක් වුයේ එය, උවමනාවට වඩා, පඩි වැඩි කර ගැනීමේ ඉල්ලීම කේන්ද්‍ර කරගෙන මෙහෙය වූ බව සහ, එම නිසා දල දේශීය නිෂ්පාදිතයෙන් 6% දක්වා අධ්‍යාපනය සඳහා වෙන් කෙරී ඇති මුදල ඉහල නංවා ගැනීම පිලිබඳ ඉල්ලීම ප්‍රමාණවත් ලෙස මතු නොවීමයි. නමුත් මෙවර නව වටයකින් ඉදිරියට පැමිණ ඇති මෙම අරගලයේ ප්‍රධාන අදහස වන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට සියලු දෙනාට ඇති අයිතිය පදනම් කර ගනිමිනි. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය මගින් මෙම ඉල්ලීම් පැහැදිලි කරමින් කල මාධ්‍ය නිවේදනය අජිත් දැක්කාද කියා අපි නොදන්නෙමු. එහි මේ පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් වෙයි:

"විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ ඉල්ලීම් පදනම් වුයේ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය සියලු දෙනාටම ඇතැයි යන මූලධර්මය මතය. පළමුවැනි ඉල්ලීම රටේ අධ්‍යාපන පද්ධතියට ඍජුව අදාළ වන අතර එහිදී ඉල්ලනු ලැබුවේ සුදුසුකම් ඇති ආචාර්යවරුන් බඳවා ගැනීම හා රඳවා ගැනීම දියුණු කර විශ්ව විද්‍යාල පද්ධතිය නගා සිටුවිය යුතුය යන්නයි. දෙවෙනි ඉල්ලීම විශ්ව විද්‍යාල පද්ධතියේ කොටස්කාරයන් වන සියලු දෙනාගෙන් අදහස් විමසන, විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් මගින් සමස්ත වර්ධනයක් ඇති කල යුතු බවයි. මෙහිලා අවශ්‍ය වන දෙයක් නම් අධ්‍යාපනය සඳහා වන ආණ්ඩුවේ වියදම් වැඩි කිරීමත් පද්ධතියේ පරිපාලනයට දේශපාලනිකව ඇඟිලි නොගසීමත් යන කරුණුය. මෙමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල භෞතික සම්පත් වැඩි කිරීමත්, විශ්වීය අධ්‍යාපන කේන්ද්‍රස්ථාන දේශපාලනීකරණයෙන් සහ මිලිටරි කරණයෙන් නිදහස් වූ අධ්‍යාපනික පසුබිමක් නිර්මාණය කිරීමත් ඉන් අදහස් වේ."

අපට අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ මෙය "පටු ආත්මාර්ථකාමී, අදේශපාලනික බහුතරයකගේ ආර්ථික ඉල්ලීමක් ලෙස" අජිත් සුත්‍රගත කරනා න්‍යාය කුමක්ද යන්නයි.

අපි අජිත් ගේ දෙවැනි තර්කයට යමු. ඔහුට අනුව අප මේ මොහෙතේ කල යුත්තේ යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලය වෙනුවෙන් වැඩ කිරීමය. අවාසනාවකට මෙන්, මේ 'යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලය' කුමක්ද කියා පැහැදිලි කිරීමක් අජිත් නොකරයි. කලකට ඉහතදී ඔහු තැබූ  සටහනක කියවුනේ ඔහු මහේක්ෂ දේශපාලනය නොකරන බවත් ඔහු කරන්නේ වාම දේශපාලනයේ ක්ෂුද්‍ර තලයේ එකක් බවත්ය. ඉන් ඔහු අදහස් කර තිබුනේ, "වාමාංශික අවකාශය තුල මිනිස්කම යලි පිහිටුවීමටය". සමහරක් විට 'යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලය' යනුවෙන් අදහස් කරන්නේ මෙය විය හැකිය. නමුත් ඔහු එම සටහනේම ඊට ඉහතින් සටහන් කර තිබුනේ ඔහු සුදු වෑන් වලට හුජ්ජ යන්නම බය බවත්, එවැන්නක් පැමිණි විගස ඔහුගේ මේ ක්ෂුද්‍ර දේශපාලන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නවත්වන බවත්ය. මින් අපට පැමිණි හැකි නිගමනය වන්නේ මෙම 'යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලය' යනු නිකන් ඔන්චිලි පදිනවා වැනි ආතල් එකට කරන දෙයක් මිස සීරියස් වැඩක් නොවන බවයි. 

මෙම විගඩම් වලට පරස්පරව අපි ඉතා පැහැදිලිව අදහස් කරන්නේ, සමකාලීන දේශපාලනය යනු මෙවැනි අත්හදා බැලීම් බවත්, සංවිධිත නැගී සිටීම් මගින්, අවස්තාව වෙනස් කල හැකි බවත්ය. මෙම කරුණ වඩාත් හොඳින් ලියවුනු කෘතියක් ලෙසයි අප විසින් බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" පරිවර්තනය කලේ. එය කියවන්න පවා කම්මැලියි කියා පැවසු අජිත්ට අවශ්‍යනම් දැන් එය කියවා බැලිය හැකිය. රාජ්‍ය බලය ඉලක්ක කර ගත්, පක්ෂ කේන්ද්‍ර කරගෙන කරනා දේශපාලනය වෙනුවට අප විසින් දිගින් දිගටම යෝජනා කරන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ තෙරපුමට එරෙහිව ප්‍රාදේශීයව කරනා මෙවැනි ප්‍රතිරෝධයන්ය. ඒ සඳහා අප තෝරාගෙන ඇති ප්‍රාදේශීය ලක්ෂ්‍යය වන්නේ අධ්‍යාපනයයි. එම නිසා අජිත්ට පරස්පරව අප මෙසේ කියන්නෙමු: විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ අරගලය යනු, මේ මොහොතේ ලංකාවේ වඩාත් විමුක්තිකාමී විභවයක් ඇති දේශපාලන මොහොතයි!

No comments:

Post a Comment