Saturday, June 16, 2012

අප රක්නා උරුමය!

පහතින් පල වන්නේ 1998 ජූනි - ජූලි මස 'මාතොට' සඟරාවේ සංස්කාරක සටහනයි. වසර දහ හතරකට පසු අප මෙය නැවත ඔබට ඉදිරිපත් කරමු. දශක එකහමාරක් පමණ කාලය තුල බොහෝ දේ වෙනස් වී තිබුනද සමහරක් දේ අවිචල්‍යය වේ. සටන් වැදිය යුත්තේ වෙනස්වන දේ සඳහා නොව, සදාකාලිත්වය වෙනුවෙන්ය යන්නද අපගේ අවිචල්‍යය වූ පර්ඥානයකි. ඉතිහාසය (History) යනු ඕපපාතික ප්‍රපංචයන්ගේ අර්ථ විරහිත විකාශනය නොව, පරිමිත අවස්ථාවක් තුල අපිරිමිතත්වයේ දෘශ්‍යමාන වීමය.   



Beyond the Horizon

සමාජ වෙනසක් ගැන අලංකාරවත් සිහින හා අනාගතය ගැන ලස්සන ප්‍රාර්ථනා වලින් ලංකාවට අඩුවක් නොමැත. වාමාංශික වේදිකා මතින් අනාගතය පිළිබඳ සුභවාදී අපේක්ෂාවන්, අනාවැකි කීම් යනාදිය අපට කොතෙකුත් ඇසේ. ජීවිතය වඩාත් යහපත් දෙයක් කරන ලෝකයක ට සැරසෙන යෞවනත්වයක් ඉන් අපට දිස්වෙයි. ඉන් ප්‍රබෝධයට පත්ව, ජීවනයට පත්ව ඉතාම නිරවුල් මාවත් ගැන කල්පිතයන් තුළ බොහෝ දෙනා සැරිසරති. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයන්හි පෙරටුගාමී මගපෙන්වන්නා  වූයේත්,  එහි ඉදිරි දැක්ම වූයේත් බොහෝවිට මේ සුන්දර ප්‍රාර්ථනා ලෝකය මිස දියුණු න්‍යායික ඉගැන්වීම් නොවේ.

අනෙක් අතට ප්‍රායෝගිකවාය  (Activism) තියුණු වූ සමාජ විග්‍රහයක් මගින් බැස ගන්නා උපාය මාර්ගයක් වෙනුවට ආදේශ වී තිබේ. මන්ද යත්, ක්‍රියාකාරීත්වයට දැක්මක් සපයන ඓන්ද්‍රීය කැපවූ බුද්ධිමතුන් ගොඩනගන්නට ලංකාවේ වම ඓතිහාසිකවම අසමත් වී ඇත. '90 දශකයේ වමේ අධයන කව තුළත්'  "ඉදිරි වැඩ පිළිවෙල, විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම" යනාදී ප්‍රායෝගිකවාදී ප්‍රශ්න ඉදිරිපත් වීමේ සන්දර්භය එනයින් වටහා ගත හැකි ය. සමාජ වෙනසක් පිළිබඳව කතාතරන ඕනෑම අයෙකුගෙන් වහාම විප්ලවයේ ගමන් මග පිළිබඳව ජනප්‍රියවාදී ප්‍රශ්න විචාරීමේ, එයට පිළිතුරු ඉල්ලා සිටීමේ සම්ප්‍රදායක් ලංකාවේ ඇත. සැබවින්ම වේගවත් හැඟීම්, ප්‍රාර්ථනාවන් හා ප්‍රායෝගිකවාදී ක්‍රියාකාරීත්වයන් වනාහි දේශපාලනයේදී අවශ්‍ය අංග බවට කිසිදු සැකයක් නොමැත. නමුත් ලංකාවේ වම මේ සියල්ලටම වඩා ප්‍රථම සාධකයක් මුල සිට අත්හැර දමා පැමිණ තිබේ. එනම් දියුණු න්‍යායික සාහිත්‍යයක් ගොඩනැංවීමට ඓතිහාසිකව අසමත් වීම ය.

ලෝකයේ බොහෝ රටවල, බොහෝ වාමාංශික ව්‍යාපාර ස්වකීය අරගලයේ සංයුක්ත අංගයක් ලෙස එවන් න්‍යායික සංවර්ධනයන් කළහ. ස්වකීය සමාජ සැකසුම් වල සුවිශේෂකත්වයන් අධ්‍යනය කළහ. දේශපාලන භාවිතයන් මගින් මතුකරන සුවිශේෂ ගැටළු  සහ තම න්‍යායික ස්ථාවරයන් අතර ඇතිවන ආතතීන්ට සංවේදී වූහ. ඒ සමඟ  පොරබැදූහ. එනයින් ස්වකීය ඉදිරි දැක්ම (Vision) හා උපාය මාර්ගයන් (Strategies) ගොඩනගා  ගන්නා ලද්දේ සමාජවාදී දෘෂ්ටිවාදයන් මගින් නොව න්‍යායික මඟ පෙන්වීම් මගින් ය.

ලංකාව තවමත් න්‍යායික භාවිතය යනු දේශපාලනයේ සංයුක්ත අංගයක් , විෂය පථයක් ලෙස දේශපාලනිකව හඳුනාගෙන නොසිටී. මෙහි ඉතාම විකාර සහගත ප්‍රතිඵලය වී ඇත්තේ භෞතික සමාජ සබඳතා විග්‍රහ කරන්නාවූත්, එයට මැදිහත් වන්නාවූත් විද්‍යාත්මක ක්‍රමවේදයක් හුදෙක් ඇදහිල්ලක් බවට පරිවර්තනය වීමය. එහෙයින්ම,  ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ න්‍යායික ගැටළු පැන නොනගී. "අනාගත නියත ජයග්‍රහණයක්" ගැන විශ්වාසය සපයන අනාවැකි කීම් (Predictions) වම සතුව ඇත. විප්ලවයේ අනිවාර්යතාව සහතික කරනුයේ දැනටත් ගොඩනගා අවසන් කොට ඇති න්‍යායික නිර්මිතයක් විසින් ය. මිනිස් ඉතිහාසය තුළ දැනටමත් හඳුනාගන්නා ලද යුගයන් පවතින අතර එම යුග තුලින් ලංකාව ගමන් කරයි. ඒ අනුව ඉතිහාසයේ අරමුණ වන්නේ "මාක්ස්වාදය" සංයුක්තතාවට පරිවර්තනය කිරීම ය. මේ අනුව දැන් න්‍යාය විසින් නව කාර්යභාරයක් බාරගෙන තිබේ. එනම් වාම දේශපාලන භාවිතයත් මාක්ස්වාදී න්‍යායත් අතර ඇතිවන හිඩැස පිරවීමට න්‍යාය ම මැදිහත් වීම ය. මේ වනාහි මාක්ස්වාදයේ ගතානුගතිකවාදයකි (Marxist Orthodoxy).

අපට අනුව නම් මෙම ගතානුගතිකත්වයේ උරුමය වේගයෙන් අර්බුදයට පත්වෙමින් තිබේ. නව ගැටළු, නව සංකීර්ණත්වයන් න්‍යායගත කරන්නට එය අසමත් වෙමින් තිබේ. එහෙයින් මෙය සරත් අමුණුගම වැනි දුප්පත් - බුර්ෂුවා න්‍යායවේදීන් ට අනුව මෙන් මාක්ස්වාදයේ අවලංගු වීමක් නොව ගතානුගතික මාක්ස් න්‍යායේ න්‍යායික අර්බුදයකි (Theoretical Crisis).

"මාතොටේ අපි" මෙම අර්බුදය තුළ න්‍යායිකව ක්‍රියාකාරී වෙමින් සිටින්නෙමු. අපි පැරැණි වම්මුන් සේ ඉතිහාසයේ අරමුණ (එහි සුරාන්තය) නොදනිමු. විප්ලවය කිරීමේ බලපත්‍රය කිසිදු 'පරම වූ අදහසක්' විසින් අපට ප්‍රධානය කර නොමැති අතර එය අපේ පරපුරට බාරගන්නට  පවා නොහැකි අරමුණක් බැව් අපට පෙනේ. රාජ්‍ය බලය හා ඉදිරි වැඩ පිළිවෙලවල් ගැන බය හිතෙන ප්‍රශ්න අපෙන් නොඅසන්න. අපි දැනුම නිෂ්පාදනය කරමින් සිටින්නෙමු. එහි යහපත් දේ වමට උරාගත හැක.

අවම වශයෙන් ස්වේච්ජාවෙන් කරන හැදෑරීමේ සම්ප්‍රදායක් පවා නොමැති ලංකාවේ අපි "හදාරන්නට කැපවීම" යනුවෙන් දෙයක් ගොඩනගමින් සිටින්නෙමු. එය අනාගත බුද්ධිමය පුනර්ජීවනයක ප්‍රථම ආවේගය වුවහොත් එය විසින් පමණක් වුවද අපගේ ජීවිත අර්ථවත් කරනු ඇත.

සංස්කාරකවරු



No comments:

Post a Comment