Wednesday, October 17, 2012

අධ්‍යාපනය ගැන අරගලයෙන් අරගලයේ අධ්‍යාපනයට

මේ ලිපිය සරසවි ආචාර්යවරුන්ගේ අරගලය දෙස ආපසු හැරී බලන්නට උත්සාහ කරයි. මේ දිනවල බොහෝ දෙනා එසේ කරනු පෙනෙයි. ඒ හැම බැල්මකම එහිම වූ රාමුවක් තිබේ. ඒ රාමුවෙන් එකිනෙකා ගේ සිතීමේ උත්කර්ෂවත් වස්තූන් ඔවුන් දෙස බලා හිඳිනු දැකිය හැකි ය. කෙනෙකු වෙත අරගලය තුලින් කොටියෙක් දත් විලිස්සාගෙන සිටියි, තවකෙකු වෙත ඩොලර් ඉගිමරයි, තවත් කෙනෙකු ගේ කවුලුවෙන් අරාබි වසන්තයේ හිරු රැස් ගලයි.  මට කුමක් සිදු වනු ඇති ද?

මා දෙස බලා හිඳින එක් උත්කර්ෂවත් වස්තුවක් වන්නේ අධ්‍යාපනය පිලිබඳ සංකල්පනයයි. එය ගොඩනැගනේනේ අරගලය වටා ගොඩනැගුනු සංවාදය තුලින් ය. අනෙක සරසවි ආචාර්යවරයා නම් වූ නව භූමිකාවයි. එය බොහෝ දුරට නිර්මාණය වන්නේ අරගලයේ භාවිතය මගිනි. අරගලය තුලින් මා දෙස බලා හිඳින මේ නව ප්‍රපංච යුගලය වටහා ගැනීම මේ ලිවීමේ අරමුණයි. ඒ සඳහා මේ පැත්තෙන් යමු. 


විසිඑක් වෙනි සියවස සිතන්නේ කෙසේ දැයි කිසිවෙකු තවම අර්ථකථනය කර නැත. එක අතකට එසේ කිරීමට තවම කල් වැඩි ය. අනෙක් අතට යුගයක් තුල සිටිමින් එම යුගය අර්ථකථනය කිරීමේ ඇති හැකියාව සීමිත ය. නමුත් විසිවන සියවස සිතුවේ කෙසේ ද යන්න ගැන සිතීම් සමකාලීන දර්ශනය තුල මුන ගැසෙයි.  එවැනි සිතන්නකු වන ඇලේන් බදියු පවසන්නේ විසි වන සියවස පුරා දිවෙන සිතීමේ මූලික හුය යථාව කෙරෙහි වන අනුරාගය බවයි. වෙනත් වචන වලින් කියන්නේ නම් විසිවන සියවසේ විෂයීයත්වයේ මුල් ගල යථාව කෙරෙහි වන අනුරාගයයි. මෙයින් අදහස් වන්නේ කුමක් ද? මුලින්ම සියවසක් සිතනවා යනු එම සියවස තුල ජීවත් වෙමින් එය නිර්මානය කරන මිනිසුන් ගේ සිතීම යි.මෙහිදී එම සිතීම මෙහෙය වූ යථාව කෙරෙහි වන අනුරාගය යන්න වටහා ගැනීමට ඇති ලැකේනියානු දිග පාර මගහැර කෙටි පාරකින් යමු.

යථාව යනු යථාර්ථය නොවේ. යථාර්ථයේ සීමාවයි. යථාර්ථය තුල අපට නොසිතිය හැකි දෙයයි. අවස්ථාවක විය නොහැකියාවේ නිමේෂයයි. මෙය උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. විසිවෙනි සියවසේ මුල් වසර වල සාර් පාලනය සහිත රුසියානු සමාජ යථාර්ථය තුල සමාජවාදී සමාජය යනු වියනොහැකියාවේ නිමේෂයයි, පුද්ගලික දේපල අහෝසි වීම යනු යථාර්ථය තුල නොසිතිය හැකි දෙයයි. එසේ නම් යථාව කෙරෙහි බැඳෙනවා යනු මෙම විය නොහැකියාව කෙරෙහි ආශක්ත වීම ලෙස සරලව වටහා ගැනීම අයුතු නැත. මේ අනුව යථාව කෙරෙහි වන අනුරාගය දිශානත වන්නේ  රැඩිකල් නව්‍යත්වයක් දෙසට ය. විසිවෙනි සියවස ගොඩනැගූ මිනිසුන්  නව මනුෂ්‍යත්වයක්, නව සමාජයක්, නව කලාවක්, නව විද්‍යාවක්, නව ආදරයක් සංකල්ප ගත කලා පමණක් නොව ඒවා පැවතුනු යථාර්ථයේ සීමා පුපුරවා අත් කර ගනු ලැබින. ඇලේන් බදියු විසිවන සියවසේ විෂයීයත්වයේ මුල් ගල යථාව කෙරෙහි වන අනුරාගය යැයි පැවසීමේ සරල අර්ථය මෙයයි. අනෙක් අතට දේශපාලනය යන්නෙහි ගැඹුරු අර්ථය ද මෙයයි. 

සරසවි ආචාර්ය වරුන් ගේ අරගලය වර්තමාන ලාංකීය සමාජ යථාර්ථය තුල කිසිසේත්ම නොසිතිය හැකි දේ සිතන්නට අපට බල කලේ ය. අධ්‍යාපනය යනු එවැන්නකි.  නමුත්ඔවුන්ගේ අරගලයට පෙර අධ්‍යාපනයට අදාලව පසුගිය කාලය පුරාම විවිධ හඩ නැගීම් ඇසුනු බව අපට මතකය. ප්‍රශ්න පත්‍ර වැරදියට මුද්‍රණය වීම්, කලින් උත්තර පිට වීම්, ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රය ද අමුණා දීම, විශ්ව විද්‍යාල වල පහසුකම් නොමැති වීම්, පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටු වීම යනාදී වශයෙන් විවිධ ප්‍රස්තුත ඒ අතර විය. ඒවා වැදගත් නොවෙතියි මම නොකියමි.  නමුත් ඒ සියල්ල පැහැදිලි ලෙසම ලංකාවේ පවතින සමාජ යථාර්ථය තුල සිතිය හැකි හා පහසුවෙන් වර නැගිය හැකි දේ විය.

ආචාර්යවරුන්ගේ අරගලය තුල ද වැටුප් දීමනා ඉල්ලීම් හා ඉහත සඳහන් සමහර කරුනු අඩංගු විය. එසේ තිබිය දී පවා ඉහලට එසවුනු ඇතැම් ප්‍රශ්නාර්ථික විසින් ඉතිහාසය තුල මෙම අරගලයේ ඇති අපූර්වත්වයේ එක් වැදගත් මානයක් නිර්මාණය කෙරින. ඔවුන් ඇසූ, ශාස්ත්‍රාලීය අධ්‍යපනය යනු කුමක් ද? විශ්ව විද්‍යාලයක් යනු කුමක් ද? වැනි අතිමූලික ප්‍රශ්න නිරන්තරයෙන් සිදුවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ ජවසම්පන්න අරගල තුල මින් පෙර වර නැගී නොතිබින. මා ඉහත සදහන් කල ගැටලු දෙකෙහි සන්දර්භයීය ගැඹුර වටහා ගැනීමට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රූපවාහිනී සංවාදයක කල සඳහනක් සලකා බැලිය හැකි ය.

ඔහු එහිදී උසස් අධ්‍යපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු කල ප්‍රකාශයක් ජනතාව හමුවේ තැබී ය. අදාල නිලධාරියා විමසන්නේ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශය මගින් ටුවරිස්ට් ගයිඩ්ලා පිරිසයක් බිහිකර දිය නොහැකි ද යන්නයි. ආචාර්ය දේවසිරි මෙම ප්‍රකාශය සංකීර්ණව ප්‍රශ්න කරයි. ඔහුගේ වචන ඒ ලෙසම සදහන් කරනවා වෙනුවට එය විසින් සිතන්නට බල කල කරුණු මෙහිලා සදහන් කිරීම මට පහසු ය.  

විශ්ව විද්‍යාලයක කාර්ය භාරය වන්නේ මිනිස් ශිෂ්ටාචාරය ඓතිහාසිකව ගොඩනගන ලද දැනුම ගවේශනය කිරීමත්ඒ දැනුම හා සංවාදයකට එලඹෙමින් නව දැනුම ගොඩනැගීමත් ය. එසේම එම ක්‍රියාවලියට සම්බන්ධ වීමෙන් බිහිවන්නේ හුදු අවරසික විශේෂඥයෙකු නොව මානවවේදී අගයන් ගෙන් ශික්ෂනය ලද්දෙකි. ඔහු හෝ ඇය චිත්‍රයක් රසවිදිය හැකි ගණිතඥයෙකි, විශ්ව සාහිත්‍යය පසසන වෛද්‍ය වරයෙකි, මේ ලයිස්තුව අවශ්‍ය නම් බොහෝ දිගු කල හැකි ය.

අදාල උසස් නිලධාරියාගේ ටුවරිස්ට් ගයිඩ් අදහස කොන්දේසි විරහිතව බැඳෙන්නේ ධනවාදී වෙලඳ පල ආර්ථිකය සමග ය. ඔහුට අවශ්‍ය වන්නට ඇත්තේ ලංකාවේ ඉතිහාසයේ සිදුවීම් හොඳින් දන්නා සහ එය සංචාරකයන්ට (බොහෝ විට යුරෝපීය) වඩා විධිමත්ව විකිණිය හැකි පිරිසක් ය. උසස් අධ්‍යාපන ඇමතිවරයා පවස ආකාරයට ඔවුන් ඉංග්‍රීසියෙන් කතා කරන්න දන්නා, ලැප්ටොප් පාවිච්චි කරන පිරිසක් බව ද අපට අනුමාන කල හැකි ය. දැන් මෙම නිලධාරියාගේ ගැටලුව අපට පැහැදිලි ය. එක් අතකින් ඉතිහාසය විධිමත්ව විකුනන්නේ කෙසේ ද යන්න ඔහු සොයයි. අනෙක් අතට ඉතිහාසය හදාරා විශ්ව විද්‍යාලයෙන් පිට වන උපාධිධාරීන් ආදායම් ජනනය කරවන ආකාරයකින් යොදා ගන්නේ කෙසේ ද යන්න ඔහු බලයි.

විධිමත් සංචාරක නියමුවන් නිර්මානය කිරීම සේම ඉතිහාස අධ්‍යයනාංශයෙන් පිට වන උපාධිධාරීන්ට රැකියා දීම ද වැදගත් කරුනු බව අවිවාදයෙන් පිලිගත යුතු ය. ගැටලුව වන්නේ මේ කරුනු දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක බව ඔහු වටහා නොගැනීමයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි උපාධිධාරී සංචාරක නියමුවකු ගේ කල්පිත ආදර්ශයක් ගොඩනගමු. දැන් මෙම උපාධිධාරී සංචාරක නියමුවා සිය සංචාරක පිරිස සමග අනුරාධපුරයේ සංචාරය කරනමින් සිටිනවා යැයි සිතමු.  එහිදී මේ අතර සිටින උද‍යෝගිමත් සංචාරකයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් අසයි. මේ සංචාරකයා ලංකාව බලා පැමිනිසිය දීර්ඝ ගුවන් ගමනේ දී ශ්‍රී ලංකාව පිලිබඳ සංචාරක අත්පොතක් ද කියවා තිබිණ. 

“මේක වසර දහස් ගණනක් තිස්සේ ලංකාවේ බෞද්ධයන් ගේ ගෞරවයට පාත්‍ර වන්නා වූ ශුද්ධ භූමියක් නේ ද? සංචාරකයා තම සගයන් දෙස ද යටැසින් බලමින් සිය නියමුවාගෙන් විමසයි.

“ඒක හරිම සංකීර්ණ කාරණයක්,නිතැතින්ම උපාධිධාරී සංචාරක නියමුවාගේ  මතකයට නැගෙන්නේ ඉතිහාස අධ්‍යනාංශය තුල නිරන්තරයෙන් සංවාදයට බඳුන් වූ ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් ගේ ‘ඉතිහාසය ප්‍රාධීකරනය, භූමිය පර්යායගත කිරීම, අනුරාධපුරය විජයග්‍රහණය කිරීම යන නිබන්ධනයයි. මේ අනුව ඔහු දීර්ඝ පිලිතුරකට මුල පුරයි.  “මං හිතන්නෙ නං අනුරාධපුරය සොයා ගනු ලැබුවෙ බොහොම මෑතක දි, හරියටම කියනව නං දහ නව වන සියවසේ අගභාගයේ විතර.

“මොකක්? සංචාරකයා තිගැස්සෙයි. 

“මම කියන්නෙ නෑ මේ නටඹුන් වසර දහස් ගනනක් පැරණි නැහැයි කියල. ඒත් මම කියන්නෙ ඔබ ඔය සදහන් කල ශුද්ධ භූමිය පිලිබඳ අදහස ඒක ඔය තරම් පරන නැහැ. අනුරාධපුරය ගැන ඔය අධිපතිධාරී ඥාණවිභාගය ගොඩනැගෙන්නෙ දහනව වන සියවසේ සිදුවන ඛන්ඩනයක් එක්ක. දැන් මේ ආකාරයට අපේ උපාධිධාරී සංචාරක නියමුවා අනුරාධපුරය නැමැති සංකල්පීය නිර්මිතය ගොඩනැගූ බල සබඳතා එකින් එක පැහැදිලි කරන්නට පටන් ගනියි. කෙසේ වුවත් ඔහුගේ ඒ දීර්ඝ පැහැදිලි කිරීම මෙම ලිපියේ ආකෘතියට දරා ගත නොහැකි ය. ඒ නිසා කල්පිත ආදර්ශයක් නොවන අපේ උසස් නිලධාරියා වෙතට හැරෙමු.

ඉතිහාස අධ්‍යනාංශයෙන් ටුවරිස්ට් ගයිඩ්ලා බිහිකිරීමේ ඔහුගේ ප්‍රවාදය නියෝජනය කරන්නේ උසස් අධ්‍යාපනය පිලිබඳ හුදු රාජ්‍ය මතවාදය පමණක් නොවේ. එය මේ රටේ බහුතර පුරවැසියන්ගේ ද මතයයි. පවතින සමාජ වාතාවරණය තුල එය පහසුවෙන් වරනැගිය හැකි වන්නේ එබැවිනි.

මා උත්සාහ කරන්නේ විශ්ව විද්‍යාලයක් රැකියා වෙලඳ පල ගැන සවිඥ්ඥානික වීම ගැටලුවක් යැයි පෙන්වීමට නොවේ. නමුත් වෙලඳපොල තර්කනයට අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කල නොහැකි බව පෙන්වීමට ය. එසේ කල හොත් එය තවදුරටත් විශ්ව විද්‍යාලයක් නොවේ. ඉතිහාස අධ්‍යයනාංශයේ දැනුම සමාන වන්නේ සංචාරක අත්පොත් වල ඇති මනස්ගාත වලට නම් එම අංශය උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉවත් කර සංචාරක අමාත්‍යංශය යටතට පවරා ගැනීම වඩා යෝග්‍ය වනු ඇත.

අදාල රූපවාහිනී සංවාදයේ දී ආචාර්ය දේවසිරි ඉදිරිපත් කල ටුවරිස්ට් ගයිඩ් ප්‍රවාදය මේ ආකාරයට වටහා ගත හැකි වූයේ ආචාර්යවරුන් ගේ අරගලය තුල ගොඩනැගුනු අධ්‍යාපනය පිලිබඳ කතිකාව ඔස්සේ ය. එම අරගලය ජයග්‍රාහී එකක් වන්නේ මේ නිසා ය. එය පවතින ලාංකීය සමාජ යථාර්ථය තුල කිසිසේත් නොසිතිය හැකි දෙයක් සිතන්නට සමස්ත සමාජයටම බල කලේ ය.  අරගලය නිසා ශිෂ්‍යයන් ගේ ජීවිත මාස තුනකින් ආපස්සට ගියේ යැයි ආන්ඩුව පැත්තෙන් චෝදනා නැගෙන්නේ මේ අතර ය. එම ශිෂ්‍යන් අරගලයේ කතිකාවට අවශෝෂනය වී නම් එය අධ්‍යයන මාස තුනකට වඩා සමහර විට උසස් විය හැකි ය.

අනෙක් අතට මෙම අරගලය මතු කරන ප්‍රශ්නාර්ථික අර්ථවත් වන්නේ ලාංකීය සන්දර්භයක පමණක් නොවේ. ඒවා විශ්වීය වෙයි. මානවවේදී අගයන් ගෙන් අනූන ප්‍රබුද්ධතාවාදී අධ්‍යාපනයට ධනවාදයේ මේ යුගය තුල ඇති අවදානම ලෝකයට ම පොදු ය. මේ නිසා ලංකාවේ සංස්කෘතික සුවිශේෂතාවයන් ගැන කිසිදු දැනීමක් නොමැති ව පවා මෙම අරගලය හා ඒකාත්මික වීමට ලෝකයේ ඕනෑම තැනක සිටින ඕනෑම කෙනෙකුට හැකියාව ලැබේ.

අධ්‍යාපනය නම් වූ ප්‍රපංචය පවතින ලාංකීය අවස්ථාව තුල අලුතෙන් ගොඩනැගෙන්නේ මේ ආකාරයට ය. එය බොහෝ දුරට අරගලය වටා ගොඩනැගුනු සංවාදයේ ප්‍රතිඵලයකි. එසේම සරසවි ආචාර්යවරයා යන භූමිකාව යලි සකස් වීම ද අරගලයේ අපූර්වත්වයේ තවත් මානයකි. එය අරගලයේ සංවාදය සමාජ ගත කිරීමේ දේශපාලන භාවිතයන්ගේ ඵලයකි.

ගාල්ලේ සිට කොළඹට එන පාගමන, ජනතාව අතරට ගොස් පත්‍රිකා බෙදීම, අධ්‍යාපනය වෙනුවෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් ඉල්ලා පෙත්සම් සඳහා අත්සන් එකතු කිරීම, සියයට හය නිරූපිත ටී ෂර්ට් ඇඳීම යනාදී වශයෙන් වන භාවිතයන් එක් අතකින් අධ්‍යාපනය යන ප්‍රපංචය අලුතෙන් ගොඩනැගීමට දායක වන අතරම අනෙක් අතින් විශ්ව විද්‍යාල ආචාර්ය වරයා නැමැති සංකල්පීය නිර්මිතයේ පැවතුනු සීමා බිඳ දමා යලි සකස් කරයි. දැන් පවතින ආචාර්යවරයා නැමැති නිර්මිතය අරගලයට පෙර පැවතුන එක නොවේ. දැන් පවතින්නේ අතිශය රැඩිකල් දේශපාලන විභවයක් සහිත, ප්‍රබුද්ධතාවාදී අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී සිටින ආචාර්යවරයෙකි.

විදුර ප්‍රභාත් මුණසිංහ වරක් ඉතා අපූරුවට මේ කාරනය එක් වාක්‍යයකින් පැහැදිලි කලේ ය. ඒ මෙසේ ය, “මේ අරගලය ඔවුන්ට වඩා විශිෂ්ටයි. ඔවුන් යැයි කීවේ ආචාර්යවරුන් ය. වඩාත් නිවැරදිව කියන්නේ නම්මේ අරගලය විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරයා යනුවෙන් ද නව ප්‍රපංචයක් නිර්මාණය කර තිබේ. අරගලය ඔවුන් ඉක්මවා ගොස් ඇතැයි කියන්නේ එබැවිනි. මේ නිසාම ආචාර්යවරුන්ගේ පැත්තෙන් අරගලය කෙරෙහි පක්ෂපාතී වීම යන්නට එය විසින්ම ප්‍රති-නිර්වචනය කරන ලද ආචාර්යවරයාගේ භූමිකාව හා  ඒකාත්මික වීම ද අයත් වන්නේ ය. සමහර විට අරගලයට පක්ෂපාතී වීම යනුම එයයි.

මේ අකාරයට අරගලය දෙස හැරී බලන විට ඒ තුලින් මා දෙස බලා හිඳින දීප්තිමත් නෙත් සගල මෙය වෙයි. එකක් අධ්‍යාපනය නම් වූ නව ප්‍රපංචයයි. අනෙක ප්‍රති-සූත්‍රගත ආචාර්යවරයා යන භූමිකාවයි. එහි දීප්තිය සදන ප්‍රභවය අරගලය හා  බැඳුනු සුවහසක් මිනිසුන්ගේ ජවයයි. අරගලය තුලින් එබී බලන ඒ දිදුලන දෑස් මගේ සිතීම සසල කර බොහෝ දේ අලුතෙන් සිතන්නට මට බල කර ඇත. තව ද මා සිටින්නේ තනිව නොවන බව මගතොටේ හමුවන දහසකුත් මිනිසුන් නිරන්තරයෙන් මට සිහිකරයි.

කෞශල්‍ය කුමාරසිංහ

2 comments:

  1. හැකි තාක් සරල බසකින්, බොහෝ දෙනෙකුට කියවා තේරුම්ගත හැකි ආකාරයේ පැහැදිලිකිරීම් සහිතව ලිපිය ඉදිරිපත් කර ඇති ආකාරය ඉතාම අගනේය.

    //තව ද මා සිටින්නේ තනිව නොවන බව මගතොටේ හමුවන දහසකුත් මිනිසුන් නිරන්තරයෙන් මට සිහිකරයි//

    මෙය යථාර්ථයක්ද යන්න සැක සංකා ඇතිවේ... නමුත් මෙවැනි ලිපි දිගටම ලිවීම මගින් නම් ඔබ සිටින්නේ තනිව නොවන බව වඩාත් පැහැදිලිව දැනෙනු ඇති. කෙසේ වෙතත් එසේ සිතීමම ඒ තත්වය යථාර්ථයක් කරන්නට දායක වනු ඇති.

    ReplyDelete
  2. " දැන් පවතින ආචාර්යවරයා නැමැති නිර්මිතය අරගලයට පෙර පැවතුන එක නොවේ. දැන් පවතින්නේ අතිශය රැඩිකල් දේශපාලන විභවයක් සහිත, ප්‍රබුද්ධතාවාදී අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී සිටින ආචාර්යවරයෙකි"

    හිනා කාලා ඉළ ඇදෙනවා ඕයි!

    ReplyDelete