Monday, May 21, 2012

යළි-ඉදිරිපත්කිරීමේ මණ්ඩිය කැලැත්තීම

අපේ ලිංගික ජීවිතය පිළිබඳව, අපි ෆේස්බුක් එකේ ඵල කරන ජායාරූප පිළිබඳව, අපි කෑම කන විදිය ආදිය පිළිබඳව කාලයක් තිස්සේ, ප්‍රචාරය වෙමින් තිබෙනා විවිධාකාරයේ මඩ ව්‍යාපෘතීන් සඳහා පසු ගිය සති දෙකක පමණ කාලය තුල අපි පිළිතුරු දුන්නෙමු. මේවාට ලැබුණු විවිධ පාඨක ප්‍රතිචාර අතර තිබුණු පොදු අදහසක් වූයේ, 'ඕගොල්ලෝ හැමදාම කරන්න ඉන්නේ, අපිට මඩ ගහනවා කියල ලතෝනි දෙන එක විතරද? ඔගොල්ලන් ගේ අදහසේ හැටියට මේ වෙලාවේ දේශපාලනය විග්‍රහ කල යුත්තේ කොහොමද කියන එකත් කියන්න ඕන නේද?' යන්නයි. මෙය සාධාරණ තර්කයකි. අපි මේ මේ දේවලට විරුද්ධ වන බව පැවසීම අවශ්‍ය වුවත්, නිශ්චිත ලක්ෂ්‍යයකට පසුව අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද යන්නත් පැහැදිලි කල යුතු ය. එම නිසා අප පවත්නා අවස්ථාව සූත්‍රගත කරනා ආකාරය සහ අරගලය ආකෘතිගත කරගන්නා ආකාරය පිළිබඳව තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් පහතින් ඵල වෙයි.  

මේ සඳහා අප යොදා ගන්න මුලික න්‍යායික ප්‍රවේශය පදනම් වන්නේ ඇලේන් බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" යන කෙටි කෘතියයි. (බලන්න, බදියු, ඇ., "සාකොසි යනු කුමක්ද?"පරි. සුමනසේකර, ව., නුගේගොඩසංහිඳ ප්‍රකාශකයෝ, 2011). මේ පරිවර්තනයේ පිළිසිඳ ගැනීම අවජාතක වන්නේය කියා චෝදනා එල්ල වී තිබෙනා හෙයින් ද මෙවැනි ප්‍රවේශයක් ගැනීම ප්‍රයෝජනවත් වන්නේය.






අපි දේශපාලනය කියන්නේ කුමක්ද? මේකට බදියු මෙහෙම පිළිතුරක් දෙනවා: "පවත්නා අධිපති සමාජ සම්බන්ධතා තුලින් මර්දනය කර ඇති නව්‍ය වියහකිභාවයක (possibility) ප්‍රතිවිපාකයන්, යථාර්ථය තුල ගොඩ නැගීමේ අරමුණින්, කිසියම් මූලධර්ම කීපයක් අනුසාරයෙන් සිදුකරනා සංවිධිත සාමුහික ක්‍රියාකාරකම් එකතුවකි" ("සාකෝසි යනු කුමක්ද?", 24 පිට). අපි දැන් උත්සාහ කරමු මෙම නිර්වචනය තරමක් පැහැදිලි කරගන්න.


"සාකෝසි යනු කුමක්ද?"

සමස්තයක් වශයෙන් ගත්විට බදියුගේ මුලික තර්ක, ප්‍රවේශයන්, නැතිනම් යෝජනාවන්  දෙකක් තිබෙයි. 
1. අප අද පසු කරමින් සිටින මොහොත නුතන විමුක්තිකාමී දේශපාලනයේ  ඉතිහාසය - තරමක් සරල කිරීමෙන් අපිට කියන්න පුළුවන් මෙයට කොමියුනිස්ට්වාදයේ ඉතිහාසය කියා - තුල තබා සන්දර්භගත කිරීම.
2. මෙම සන්දර්භය තුල අපට කල හැකි දෙය පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීම

මෙහිදී අප වඩාත් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ, ඉහත දෙවන කාරණය වන හෙයින්, අපි ඉහත පළමු කාරණය මෙලෙස සංක්ෂිප්ත කරමු. කොමියුනිස්ට් උපන්‍යාසය යන්න, එහි ගණික (generic) අර්ථයෙන් ගත්විට, වැඩ පිළිවෙලක් නැතිනම් අනාගතයේදී බිහිවීමට නියමිත යුතෝපියානු සමාජයක් නොහඟවයි. ඒ වෙනුවට එය ඉමානුවෙල් කාන්ට් නම් ශ්‍රේෂ්ඨ ජර්මානු  දාර්ශනිකයා 'අදහසක්' (Idea) යනුවෙන් හැදින්වීම මගින් අපට තේරුම් ගත හැක. කාන්ට් අදහසක් යනුවෙන් නම් කරන්නේ සැබවින්ම, එනම් අපගේ ඉන්ද්‍රීය වලට සංජානනය වන දෘශ්‍යමානයන්ගෙන් ඔබ්බෙහි, පවතින්නා වූ යථාර්ථයක් නොවේ. වෙනත් වචනවලින් කියන්නේනම් අදහසක් යනු පරිබාහිරින් පවතින්නා වූ වස්තුවකට කිසිදු සම්බන්දයක් ඇති වන්නක් නොවෙයි. වැදගත් වන්නේ, එය අපගේ ඓන්ද්‍රීය අවබෝධයේ පද්ධතිගත ඒකමිතියට අවශ්‍ය වෙනවාද යන්නයි. මෙය තේරුම් ගැනීම සඳහා අප කාන්ට් මෙම යෙදුම තුලින් ලිහා ගැනීමට ප්‍රයත්න දරන ගැටළුවක් ගනිමු: දෙවියන්ගේ පැවැත්ම. දෙවියන්ගේ පැවැත්ම අපට ඓන්ද්‍රීය අත්දැකීම් තුලදී හමු නොවේ. ඒ නිසා දෙවියන් යන්නට සත්භාවයක් තිබේද කියා සෙවිය නොහැකි වෙයි. නමුත් දෙවියන් කියන අදහස, ලෝකය අප අත්දකින ආකාරය සමස්තයක් ලෙස එකතු කර ගැනීමට උපයෝගී වෙයි. අප සමීප කෙනෙකු මිය ගිය විට, දෙවියන් නමැති අදහස මගින් අපට එම වේදනාකාරී, අරුත්සුන් අත්දැකීම අපගේ සමස්ත ලෝක අත්දැකීම තුලට ඇතුලත් කර ගත හැකිය. කොමියුනිස්ට් උපන්‍යාසය යන්නද, මෙවැනි අදහසකි. සමාජයක අති මහත් බහුතරයක් දෙනා සුළුතරයක් ඉදිරියේ සිය ශ්‍රමය වැගිරීම ඉතිහාසයේ අනිවාර්යතාවයක් නොවේය යන්න මෙම උපන්‍යාසයේ සරල අරුතයි. අදහසක් ලෙස මෙය මිනිස් ඉතිහාසය පුරා දක්නට ලැබුනද එහි දේශපාලන නුතනත්වය සලකුණු වෙන්නේ ප්‍රංශ විප්ලවය සමගින්ය. උපන්‍යාසයේ මෙම නුතන ඉතිහාසය යුග දෙකකට, වඩාත් නිවැරදිව කියන්නේනම් අනුක්‍රමණ (sequences) දෙකකට, බෙදිය හැකි වෙයි. ප්‍රංශ විප්ලවයේ සිට පැරිස් කොමියුනය දක්වා කාලය පළමු අනුක්‍රමණය ලෙසත්, රුසියානු විප්ලවයේ සිට චීන සංස්කෘතික විප්ලවය අවසානය දක්වා යුගය දෙවෙනි අනුක්‍රමණය ලෙසත් හඳුනා ගත හැකි අතර, මෙම යුග දෙක අතර තුර වසර හතළිහකට වැඩි විරාමීය අවදියක් තිබු බවත්, එම අවදියේදී උපන්‍යාසයේ සතුරා වන ආධිපත්‍යධාරී පංතිය ජයගෙන තිබු බවත් මතක තබා ගත යුතුය. මින් පළමු අවදියේදී සිදු වුයේ මෙම උපන්‍යාසය නිවැරදි ලෙස සුත්‍ර ගත කිරීම හා ස්ථාපිත කිරීමය. එයට අමතරව එහිදී සංවිධාන කිරීමේ ආකෘතීන් පිළිබඳව අත්හදා බැලීම් සිදු වූ අතර, බලය ලබා ගැනීම නම් තේමාව යටතේ, බහුජන ජනප්‍රිය ව්‍යාපාර නම් සංවිධාන ආකෘතිය ඉන් මුලික විය. පැරිස් කොමියුනයේ පරාජයත් සමග අවසන් වූ මෙයට පසුව පැමිණි දෙවැනි අනුක්‍රමනයේදී මුලික වුයේ, ඉහත පරාජයේ අත්දැකීම වළක්වන්නේ කෙසේද යන්නයි. වෙනත් ලෙසකින් කියන්නේනම්, අල්වා ගත් බලය රඳවා ගන්නේ කෙසේද යන්නයි. ලෙනින්ගේ ශ්‍රේෂ්ඨ නිපැයුම වූ පෙරටුගාමී පක්ෂය යනු මෙම ගැටලුවට ලැබුණු පිලිතුරයි. නමුත්, මෙමගින් නොවිසඳුණු ගැටළුවක් වුයේ, මෙලෙස රඳවා ගන්නා බලය මාක්ස්ගේ අර්ථයෙන් කම්කරු පංති ආඥාදායකත්වය ඇති කිරීමට, නැතිනම් රාජ්‍යයේ වියැකී යෑම සංවිධානය කරන රාජ්‍යයක් වීමට, සමත් නොවීමයි. ඒ වෙනුවට ඉතාම බිහිසුණු, එක් කණ්ඩායමක් විසින් පාලනය කරන රාජ්‍යය පද්ධතියක් බිහිවිය. ජයගත නොහැකි මෙම අභියෝගය හමුවේ, මෙම දෙවැනි අනුක්‍රමණය අවසන් වූ අතර, ප්‍රතික්‍රියාකාරී රාජ්‍යයේ නුතන මිනුම් දණ්ඩ වන ප්‍රාග්ධන-පාර්ලිමේන්තුවාදය ගෝලීය වශයෙන් යලි ආධිපත්‍යය තහවුරු කරගත්තේ ය. අප පසු කරමින් ඉන්නා ඓතිහාසික මොහොත වන්නේ මෙයයි.

දැන් අපට මෙම ලිපියේ මුලික ප්‍රස්තුතය වෙතට පැමිණිය හැකිය: මෙවන් මොහොතකදී අපට කල හැක්කේ කුමක්ද කියනා කාරණය සම්බන්දයෙන් බදියුගේ අදහස් දක්වීමයි .
ඇත්තටම මෙම කෘතිය සමග අපගේ සම්බන්ධය පළමුවෙන් පිහිටවෙන්නේ මෙම කාරණය සමගයි. එයට හේතුව වන්නේ මෙම පොත ප්‍රකාශනයට පත්වීමට පෙර අප කුඩා කණ්ඩායමකට දැඩි ලෙස තහවුරු වී තිබු දේශපාලන පරිඥානයන් (convictions) මෙහිදී බදියු විසින් ප්‍රකාශ කර තිබීමයි. මෙහිදී පරිඥානය යන වචනය සම්බන්දයෙන් කෙටි පැහැදිලි කිරීමක් කිරීමට ඉඩ දෙන්න. පරිඥානය යනු, විශ්වාසය (belief) සහ දැනුම (knowledge) අතර තුර තිබෙන්නක් වෙයි. එය ආගමක් අදහනවා සේ හුදු විශ්වාසය මත පමණක් සිදු වන්නක් නොවේ. ඕනෑම පරිඥානයක් පැහැදිලි කිරීම තර්කානුකුල ලෝකයක් තුල කල හැකිය. නමුත් එය කෙදිනකවත් දැනුමක් තරම ස්ථාවර නොවේ. නිදර්ශනයක් ලෙස කොළඹ සිට මාතරට ඇති දුර සැතපුම් සීයකි යන්න දැනුමකි - එය ස්ථාවරය, ඕනෑම කෙනෙකුට තේරුම් කිරීමට හැකිය.  

නමුත් පරිඥානයක් යන්න මගින් එවැනි ස්ථාවර යමක් ප්‍රකාශ කල නොහැකි වෙයි. ඒ වෙනුවට අපට කල හැක්කේ එය හැකිතාක් තාර්කිකව පැහැදිලි කිරීමට අමතරව එය භාවිතාව තුල සාධනය කිරීමයි. දේශපාලනය යන්න දර්ශනයෙන් මුළුමනින් වෙන් කරන මාක්ස්ගේ 11වෙනි තිසීසයේ අර්ථය වන්නේ මෙයයි. වෙනත් වචන වලින් කියන්නේනම්, දේශපාලනයේදී වැදගත් වන්නේ තමන්ගේ න්‍යායික නිරවද්‍යතාවය දාර්ශනික සංවාදයන් තුල ඔප්පු කිරීම නොව, එම න්‍යායික ස්ථාවරයන් මගින්, කොමියුනිස්ට් උපන්‍යාසය නම් අදහස පසුබිමේ තබා, සමාජය දේශපාලනිකව සංවිධානය කිරීමට කෙතරම් උපකාරී වනවාද යන්න පෙන්වීමයි.

දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය


මෙය තවදුරටත් විස්තර කිරීමට කල්ගත කිරීම ප්‍රයෝජනවත් වේයැයි සිතමි. බදියු ඇතුළු සමකාලීන දර්ශනයේ ඇති පොදු එකඟතාවයක් වන්නේ, දේශපාලනය සහ දර්ශනය අතර ආරෝහණ සම්බන්දයක් නොමැති බවයි. අතිශයින් වැදගත් වන මෙම අදහස වටහා ගැනීම අපගේ ඉදිරි වැඩ සඳහා ඉමහත් සේ ප්‍රයෝජනවත් වන බව අපගේ අවබෝදයයි. මින් අදහස් කරන්නේ කුමක්ද?

පොදුවේ ගත්කල විමුක්තිකාමී දේශපාලනයේ ඉතිහාසයේත්, මාක්ස්වාදී සාහිත්‍ය තුල විශේෂයෙනුත්, තිබෙනා පොදු විශ්වාසයක් වන්නේ දර්ශනය (නැතිනම් න්‍යාය) විසින් දේශපාලනය (නැතිනම් භාවිතය) වියයුතු ආකාරය කියා දෙනු ලබන බවයි. තරමක් උත්ප්‍රාසජනක කරුණ වන්නේ ජිජැක් නැතිනම් බදියු වැනි දාර්ශනිකයන්ට අද ලොව ඇති ඉමහත් ජනප්‍රියත්වය පසු පස ඇති එක් ප්‍රධාන සාධකයක් වන්නේත් මෙම විශ්වාසය වීමයි. ජිජැක් වැනි පුද්ගලයකු ඇමරිකාවේදී නැතිනම් යුරෝපයේදී කරනා මහජන සම්මන්ත්‍රණ වලට පැමිණෙන අති විශාල ජනකායවල් නිරීක්ෂණය කරනා විට, මෙතරම් ප්‍රමාණයක ජනකායක් ඔහුගේ මුලික දාර්ශනික ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි නූතන ජර්මානු දර්ශනය ෆ්‍රොයිඩ්-ලැකෙනියානු මනොවිශ්ලේෂණය ඇසුරින් නැවත කියවීම යන්නට එතරම් සම්බන්ධ නොවනවාය කියා උපකල්පනය කිරීම සාධාරණ වෙයැයි අප සිතමු. එම ව්‍යාපෘතිය පිළිබඳව ගැඹුරු අවබෝදයක් ලබා ගැනීම සඳහා කෙනෙකුට කාන්ට්, හේගල්, ශෙලීන් වැනි දාර්ශනිකයන් ගැන පමණක් නොව, ෆ්‍රොයිඩ් ගේ සහ ලැකොන් ගේ මනෝවිශ්ලේෂණ න්‍යාය ගැනද විශාල අවබෝදයක් තිබිය යුතුය. මෙය අතිශය දුෂ්කර, මූලික වශයෙන් ශාස්ත්‍රාලීය වන්නා වූ අභ්‍යාසයක් වනවා පමණක් නොව, එය, අවම වශයෙන්, දේශපාලනයට දක්වන්නේ ඉතා වක්‍ර සම්බන්දයකි. ජිජැක් පිළිබඳව වන ජනප්‍රිය වාර්තා චිත්‍රපටයේදී ඔහු විසින්ම මේ පිළිබඳව සඳහන් කරයි: "මිනිත්තුවක් ඉන්න! ලැකෝන් පිළිබඳව මට ඇති උනන්දුවම තව මිනිසුන් දෙදහකට තියෙන්න බැහැ නේද?". එයට මොහොතකට පෙර ඔහු මෙය වඩාත් නිශ්චිත ලෙස ප්‍රකාශ කරයි. මෙතරම් පිරිසක් ඔහුගේ සම්මන්ත්‍රණ සඳහා පැමිණීම මූලධාර්මික වැරදි වැටහීමක් බව ඔහු සිතන්නේ කුමන හේතුවක් නිසාදයි එම වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව අසනා විට ජිජැක් මෙසේ පිළිතුරු දෙයි: "එසේ වන්නේ ඔවුන් විසින් ඔවුන්ට නොලැබෙනා දෙයක් බලාපොරොත්තු වනවාය යන බියජනක සිතුවිල්ල නිසාය... බොහෝ වමාංශිකයන්, ඔබ දන්නවා, අපේක්ෂා කරනවා 'අවසාන සූත්‍රය'... මම ඔවුන්ට කියා දෙවි කල යුතු දෙය කුමක්ද කියා.. හත්දෙයියනේ! මම දන්නේ මොනවාද!". අප දේශපාලනය කල යුතු ආකාරය කලින් කලට ජනප්‍රිය වන දාර්ශනිකයන්ගේ පොත් තුල ලියවී ඇතයි කියා සිතන අයෙක් වේනම් ඔහු/ඇය, ජිජැක්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු වෙයි.

සැකයකින් තොරවම මින් අදහස් වන්නේ ජිජැක් දේශපාලනය පිළිබඳව ලියනා දෙය අප නොකිවයුතු බව හෝ, ඔහුගේ දේශපාලන මතිමතාන්තර සහ, නිදර්ශනයක් ලෙස, ටෙලි නාට්‍ය නළුවෙක් දේශපාලනය පිළිබඳව දරන අදහස් අතර වෙනසක් නැති බව හෝ නොවේ. ප්‍රශස්ත දාර්ශනිකයෙක් පමණක් නොව හිටපු සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිකයකු වන ජිජැක් වැන්නෙක් කිසියම් දේශපාලනමය අත්දැකීමක් සූත්‍රගත කරනා ආකාරයෙන් අපට ඉගනීමට බොහෝ දේ තිබෙන්නට ඉඩ තිබේ. මෙහිදී අප, මෙන්ම ජිජැක් ද, අවධාරණය කරන්නේ ඔහු වැනි චින්තකයන් අපිට විමුක්තිය වෙත යන මග කියා දෙන වක්තෘන් ලෙස නොසැලකිය යුතු බවයි. බදියුගේ "සාකෝසි යනු කුමක්ද" පොතේ අප  පළමුව කැමති වූයේ එහිදී අප විසින් කලක සිට බෙදා හදාගත් පරිඥානයක් ඔහු විසින්ද ප්‍රකාශ කර තිබීම යැයි කියා ඉහතින් පැවසුවේ එම නිසාය. බදියුගේ පොත අපට වැදගත් වන්නේ ඔහු "අද ජීවත් වන ලොව අංක එකේ දාර්ශනිකයා" යන ලේබලයෙන් (මෙය මූලික වශයෙන් පොත් ප්‍රකාශන වෙළඳපල විසින් ප්‍රදානය කරන්නකි) අබිසෙස් ලබනා නිසා නොවේ. කිසිසේත්ම නැත. 


සිදුවීම

එක් අතකින් මෙය බදියුගේ දර්ශනය තුලම වැරදි වෙයි. ඔහුට අනුව දර්ශනය යනු, එයින් පරිබාහිර වූ කොන්දේසි මත යැපෙනා සුවිශේෂී ගමන් පථයක් වන අතර මින් එක කොන්දේසියක් වන්නේ, අනිවාර්ය ලෙසම, දේශපාලනයයි. ඒ අර්ථයෙන් ගත් විට දර්ශනය යනු දේශපාලන ක්‍රියාවලිය යන්න මත යැපෙන පරපෝෂිතයෙකි (බදියු "දේශපාලන දර්ශනය" යන යෙදුම ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට "පාරදේශපාලනය" - Metapolitics - යන්න යොදන්නේ මේනිසාය). ඔහුට අනුව දේශපාලනය යන්න ඇරඹෙන්නේ, කිසිම අයුරකින්, දාර්ශනික විග්‍රහයන් කිරීම සහ ඒවා බොහෝ දෙනෙකු කියවීම මගින් ඇතිවන 'සත්‍යාවබෝධයක්' මගින් නොවේ. ඒ වෙනුවට දේශපාලනික අනුක්‍රමණයන් ඇරඹෙන්නේ 'සිදුවීම්' (Events) ලෙස ඔහු නම් කරනා දෙයක් සමගය. අතිශයින් සංකීර්ණ මෙම තාක්ෂණික සංකල්පය මෙතනදී එහි න්‍යායික පියවරින් පියවරට පැහැදිලි කල නොහැකි හෙයින් එයට ඌනපූර්ණයක් ලෙස මෙයට මාස කීපයකට පෙර අප ලැබූ අත්දැකීමක්, හුදු ශික්ෂනවේදී උපකරණයක් ලෙස පමණක්, සටහන් කරමු. මෙම වසරේ ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය ඇරඹි මුල් දිනකදී, එක්තරා සන්ධ්‍යාවකදී අප කීපදෙනෙකු මුණ ගැසුණු අතර, ඒ අවස්ථාවේදී නිර්මාල් ඇතුළු අප සියලු දෙනා ගේ පොදු එකඟතාවය වූයේ, මෙම වැටුප් වැඩිවීමේ ඉල්ලීම දිනා ගැනීමේ සම්භාවිතාව ඉතා අඩු බව ය. නමුත්, අවම වශයෙන්, විශ්වවිද්‍යාල පද්ධතිය රැක ගැනීම පිළිබඳව අප වැනි කුඩා කණ්ඩායමකට කල නොහැකි විදියේ ජාතික සංවාදයක් සඳහා මෙමගින් ඉඩ ලැබෙන හෙයින්, මෙය අත්හදා බැලිය යුතු උපක්‍රමයක් ලෙස අපි එයට සහය පල කළෙමු. ඒ කාලයේදීම මෙම ඉල්ලීම් දිනා ගැනීමේ අවස්ථාව 0.001% වත් නැතැයි කියා උසස් අධ්‍යාපන ඇමැතිවරයාද පැවසුයේ කපටි රාජ්‍යය පාලකයෙක් ලෙස පවතින අවස්ථාව පිලිබඳව ඔහුගේ තක්සේරුව වූයේද එය වන නිසාය. නමුත් අප සියල්ලන්ගේ පුරෝකථනයන්, තාර්කික සිතා බැලීම්, පරදවමින් වේගවත් ලෙසත්, විශාල පරිමානයෙනුත් විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරුන් සහ කථිකාචාර්යවරියන් සංවිධානය වූ අතර සති කීපයක් ඇතුලත වියහැකිභාවය (possibility) සහ වියනොහැකිභාවය (impossibility) අතර බෙදුම් රේඛාව තීරණාත්මක ලෙස වෙනස් විය. මෙම වෙනස කොපමණ වීද යත්, එම අරගලයෙහි ආරම්භක තලය අවසන් කරමින් මූලික වැඩ වර්ජනය අවසන් වූ පසු, රාජ්‍යය විසින් ලබා දුන් තාවකාලික වැටුප් වර්ධනයට බොහෝ වැඩි වර්ධනයක් වෙත යා යුතුව තිබුණු බවට සමහර සාමාජිකයන් චෝදනා කරනා තත්වයට පත්විය. මෙහිදී අවධාරණය කල යුතු කාරණය වන්නේ මෙයයි. කිසියම් දේශපාලනික ක්‍රියාවලියක් අප තාර්කිකව සිතා බලා, අවම බලාපොරොත්තු ඇතිව ආරම්භ කලද, අවසානයේදී එය ලඟා වන ප්‍රායෝගික අන්තය සහ ඉහත ආරම්භක දැනුම අතර ඇති පරතරයයි. එම දැනුම පදනම් වන්නේ පවතින අවස්ථාවේ අප දන්නා හඳුනන ලෝකයෙහි ඇති ස්ථාවරත්වය පිළිබඳව අපගේ අවබෝධය මතයි. බදියු විසින් 'සිදුවීමක්' ලෙස නම් කරන්නේ, මෙම කල්පිත ස්ථායි බවට යටින් ඇති අස්ථාවර බව, හිස්බව, නැතිනම් ශූන්‍යත්වය, අපට මුණ ගැසෙනා මොහොතකටයි. එය 'සවිඥානික මැදිහත්වීමක් (conscious intervention) නොවී සිදුවීමක් (event) වන්නේ මෙහි සෑම විටම 'දැනුම' ඉක්මවා යන සංඝටකයක් තිබෙනා නිසාය. අප මෙතෙක් සලකා බැලූ නිදර්ශනය ප්‍රමාණවත් නොවන්නේ මෙතනදීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය මගින් එක්තරා තලයක් තුල මෙම 'හිස්බව' එලි පෙහෙළි කලද, 'සිදුවීමක්' යනු මෙයට වඩා දුරදිග ගිය, ඉතිහාසය ඛණ්ඩනය කරන, බෙදී වෙන්වී යෑමකි. දේශපාලන තලය තුල මේ සඳහා නිදර්ශන ලෙස නිතර යෙදෙනා බදියානු නිදර්ශන අතර ජැකොබින් වරුන් නායකත්වය දුන් ප්‍රංශ විප්ලවය, බොල්ෂෙවික්වරුන් ජයග්‍රහණය කල රුසියානු විප්ලවය සහ මාඕ ගේ චීන විප්ලවය වෙයි.



කල හැක්කේ කුමක්ද?

මේ අනුවු, ඔහුගේ දර්ශනය තුලින් ගත්තද ඔහුගේ දේශපාලන යෝජනා ඔහුගේ දාර්ශනික 'රොක් ස්ටාර්' ශ්‍රේණිගත වීම නිසාම පිළිගැනීම අතිශයින් වැරදිය. නමුත් මෙහිදී බදියුගේ දර්ශනය තුල දාර්ශනිකයන්ගෙන් දේශපාලන උපදෙස් ගැනීමට දමා ඇති තහංචිය නොතකමින්, "සාකෝසි" පොතේ ඔහු කර ඇති යෝජනා සමග අපගේ දේශපාලන සමපාත වීම අපි ඉහතින් සඳහන් කළෙමු. නමුත් බදියුගේ සමස්ත විග්‍රහය සමඟ එකඟ වීමට ඉඩ ඇති අපගේ බොහෝ දේශපාලනික මිතුරන් නොඑකඟ වීමට ඉඩ ඇති කරුණ ද මෙය කියා අපට සිතේ. මෙම කාරණය අප නොසඟවා පැවසිය යුතුය. බදියු පවසනා පරිදි කොමියුනිස්ට් උපන්‍යාසයේ දෙවැනි අනුක්‍රමනයේ විශිෂ්ඨ නිපැයුම් වන 'මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්‍රජාතන්ත්‍රවාදය, ලෙනින්වාදය, කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍යය' තව දුරටත් ප්‍රායෝගික නොවෙයි ("සාකෝසි යනු කුමක්ද?", 145 පිට). වෙනත් ලෙසකින් කියනවානම් දෙවැනි අනුක්‍රමණය තුල දේශපාලනිකව සංවිධානය වීම සලකුණු කල ඉහත සංඝටකයන් තවදුරටත් වලංගු වන්නේ නැත. දේශපාලනය කිරීමේදී අප අද මුහුණ දෙන උභතෝකෝටිකය එයයි.

ලෙනින්වාදය වෙත අපට නැවත යා නොහැකිය යන්නෙහි ඇති එක් වැදගත් අර්ථයක් වන්නේ දේශපාලනිකව සංවිධානය වීම සඳහා නව ආකෘතියක අවශ්‍යතාවයක් ඇතිවීමයි. එක්තරා ආකාරයකින් ගත් විට සාකෝසි කෘතිය යනු මෙම ක්ෂතිමය අවබෝධයෙන් පසුව, යලි කොමියුනිස්ට් දේශපාලනය පිළිබඳව මේ මොහොත තුල මැදිහත් විය හැක්කේ කෙලෙසදැයි කියා විමසීමකි. ලංකාවේ දේශපාලන සාකච්චාවන් හි ජනප්‍රියම උපසර්ගය යොදා කියන්නේනම්, මෙම කෘතිය සත්‍ය වශයෙන්ම 'පශ්චාත්-ලෙනින්වාදී' කෘතියකි.

මෙය තවදුරටත් විස්තර කිරීමට පෙර, මෙහිදී බදියු පදනම් වන මුලික තර්කය අපි සලකා බලමු. මනෝවිශ්ලේෂණයේ අවසාන මොහොත පිළිබඳව ලැකෝන් ගේ අදහසක් උපුටමින් බදියු කියන්නේ මෙය කෙනෙකුගේ රෝග ලක්ෂණය (මෙම ලිපියේ වපසරිය තුල අපි රෝග ලක්ෂණය යන්න අති සරල අර්ථයෙන් වටහා ගමු), බෙලහීනතාවයේ සිට වියනොහැකිභාවය (from impotence to impossibility) ඔසවා තැබෙනා මොහොතයි. සිදුවීම යන සංකල්පය පිළිබඳව අප ඉහත කල කෙටි සටහනට මෙය සම්බන්ද වෙන ආකාරය දැන් තරමක් පැහැදිලි විය යුතුය. සිදුවීමක් යනු වියනොහැකිභාවය සහ වියහැකිභාවය අතර බෙදුම් රේඛාවේ වෙනසකි. නමුත් මෙතනදී, එම දෙබෙදුම වෙනුවට වෙනත් විභේදනයක් පළමුවෙන් සලකා බලයි. එසේ වන්නේ ඇයි? සිදුවීමක් යන්න තුල සෑම විටම අපගේ සවිඥානික මැදිහත්වීම ඉක්මවා ගිය අහම්බයක් අඩංගු වන බව අප ඉහතින් සඳහන් කළා ඔබට මතක් ඇති. අපගේ ආරම්භක ස්ථානය වන්නේ සැබවින්ම 'වියනොහැකිභාවය' නොව, 'බෙලහීනතාවය' විය යුතුය කියා පවසන්නේ මෙම 'නොදන්නා' කම නිසා දේශපාලනය තුල ඇති අනිවාර්යය අවිනිශ්චිතභාවය නිසාය. මෙය තේරුම් ගැනීම සඳහා අප නැවතත් මා ඉහතින් සටහන් කල අදහස් හුවමාරුව වෙත යමු. වැටුප් වැඩිවීමේ ඉල්ලීම පවතින පාලනාධිකාරයෙන්නම් කෙදිනකවත් හමු නොවනු ඇතයි අප සාකච්චා කරන විට එහි යටින් දිවෙන අර්ථය වන්නේ දල වශයෙන් මෙවැන්නකි: "මේක හරි ශක්තිමත් ආණ්ඩුවක්, මේ වගේ ආණ්ඩුවක් ඉදිරියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනය කියන්නේ ආණ්ඩුවේ පැවැත්ම තීරණාත්මක විදියට අභියෝගයට ලක් කරන්න පුළුවන් තරං දේශපාලන පීඩනයක් දිය හැකි එකක් නෙමෙයි". වෙනත් වචන වලින් අප පැවසුවේ ඔවුන් ඉතාම බෙලහීන අඩියක පසුවන බවයි. නමුත්, අපි මෙයට සහයෝගය දැක්විය යුතු බව තීරණය කලේ, මෙමගින් අවම වශයෙන්, අධ්‍යාපනය සම්බධයෙන් අපි පෙනී ඉන්නා අස්ථානයන් සඳහා වඩා පුළුල් වේදිකාවක් සැදිය හැකිය යන අර්ථයෙනි. වෙනත් විදියකට කියන්නේනම් මෙය අපගේ නොහැකියාව - බෙලහීනතාවය - නිසා ගත් ස්ථාවරයකි. අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් අපේ මේ බෙලහීන බව පුළුවන් තරං හොඳින් සංවිධානය කර, එය අපේ පැත්තේ ඇති අඩුවක් ලෙස පමණක් පෙනෙන්න සලස්වනවා වෙනුවට, පවතින අවස්ථාවේ ඇති සීමාවක් - එනම් 'වියනොහැකිභාවයක්' වෙත ඔසවා තැබීම පමනයි.

බදියුගේ ප්‍රධාන තර්කය වන්නේ මේ අප පසු කරමින් සිටින මොහොත තුල අපට කල හැකි එකම දෙය වන්නේ මෙලෙස වියනොහැකිභාවයේ ලක්ෂ්‍යයක් අල්වාගෙන සිටීම පමණක් බව සහ එය පවතින අවස්ථාව තුල වියහැකිභාවය සහ වියනොහැකිභාවය අතර බෙදුම් රේඛාව වෙනස් වන තුරුම අල්වාගෙන පමණක් සිටීමයි. මෙම රචනයේ මුලදී සඳහන් කල පරිදි බදියුගේ මෙම ජවසම්පන්න මැදිහත්වීමට අප පළමුවෙන් ආශක්ත වුයේද මෙම කරුණ නිසාය.මක්නිසාද යත්, දේශපාලනය යනුවෙන් අපට මේ මොහොතේදී කල හැකි දේ සම්බන්ධයෙන් අප කුඩා කණ්ඩායමක් කලක සිට විශ්වාස කලේද මෙය වීමයි. මෙය ඔබට එක්වරම අතිශෝක්තියක් ලෙස පෙනී යා හැකි හෙයින්  මේ සඳහා නිදර්ශන තුනක් සැපයීමට අවසර දෙන්න.

මේ මොහෙතේ අපට 'අල්වාගෙන සිටිය හැකි ලක්ෂ්‍යයන්' යන අර්ථයෙන් බදියු කරනා ප්‍රායෝගික යෝජනා අටක් මෙම කෘතියේ දක්නට ලැබේ. මේවා අතරින් තුනක් පමණක් සඳහන් කරන්නේනම් ඒවා මෙසේය: සංස්කෘතියට වඩා කලාව යන්න, කුමන යුගයකින් හෝ ජාතිකත්වයකින් හෝ පැමිනයත්, ශ්‍රේෂ්ඨ වේය; ආදරය නැවත සොයා ගත යුතුය සහ එය වෙනුවෙන් සටන් වැඩිය යුතුය; අධ්‍යාපනය යන්න තාක්ෂණික පුහුණුව වෙනුවෙන් නොව වියුක්ත දැනුම වෙනුවෙන් තිබිය යුත්තක් වෙයි (බලන්න, "සාකෝසි යනු කුමක්ද?", 68-73 පිටු).  මෙහිදී නැවතත් අවධාරණය කල යුතු දෙයක් වෙයි: බදියු මෙම යෝජනා කරන්නේ 'පුළුල්' දේශපාලන ව්‍යාපෘතියක එක් අංශයක් ලෙස නොවේ. කරුණාකර ඔහුගේ යෝජනාව නිවැරදිව ග්‍රහණය කරගන්න! මුහුණට දමලා අනින ලෙස එය ලියන්නේනම්, අපට මෙසේ ලිවිය හැකිය: කොමියුනිස්ට්වාදීන් ලෙස, මාක්සියානු සම්ප්‍රදායේ සටන් කරුවන් ලෙස, රුසියානු විප්ලවය වැනි වූ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස, ඔබට මේ මොහොතේ කල හැකි එකම දේ වන්නේ මෙවන් ලක්ෂ්‍යයක් අල්වාගෙන එය වෙනුවෙන් දිවිහිමියෙන් සටන්වැදීමයි! 

මෙවන් තතු යටතේ අපට කීමට ඇත්තේ කුමක්ද?

කලාව සහ ආදරය

මෙයට කලකට පෙර, ලංකාවේ 'සංගීතය' නමින් කෙරෙනා වෙළඳ ගනුදෙනුවට එරහිව, යහපත් සංගීතය වෙනුවෙන් කිසියම් අවකාශයක පිරිසක් සංවිධානය කිරීමට අප ඇතුළු පිරිසක් උත්සාහ කරන ලදී. මෙතනදී ලිවිය නොහැකි ප්‍රමාණයක හේතු ගණනාවක් නිසාවෙන් අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් වූ එය අවසානයේදී අපට තිබුණු එක් චෝදනාවක් වුයේ, අප 'වාමාංශික දේශපාලනය' වෙනුවට 'බුර්ෂුවා වැඩ' කරනා බවය. එම ව්‍යාපෘතියේ අසාර්ථක භාවය සඳහා බලපෑ කරනා අතර එකක් ලෙස මෙම චෝදනාව අප කෙදිනකවත් පිළිගත් එකක් නොවීය. අප දිගින් දිගටම තර්ක කලේ, මේ මොහොත තුල අපට ජනයා සංවිධානය කල හැක්කේ මෙවැනි 'වැඩ' ('ලක්ෂ්‍යය' නම් වන බදියුගේ වඩාත් නිවැරදි සූත්‍රගතකිරීම එකල අප සතු නොවීය) හරහා පමණක් බවත්, අපගේ විවේචකයන් පැවසු ආකාරයේ 'වාමාංශික දේශපාලනයක්' මහා පොලව තුල ප්‍රායෝගිකකරණය කල නොහැකි බවත්ය. අවසානයේදී අදහා ගත නොහැකි ආකාරයේ සිත් රිදවීම්, මඩ පහර ගැසීම් වලින් පසු අපගේ විවේචකයන් 'වාමාංශික දේශපාලනය' කරනා බවට සපථ කරමින් වෙන්ව ගිය අතර, එහි එකම ප්‍රතිඵලය වූයේ සැබැවින්ම දේශපාලනයට නිර්මාණශීලී දායකත්වයක් දෙන්නට විභවයක් තිබුණු ඔවුන් දේශපාලනය අත හැර විදේශ ගත වීමයි. 


එතරම් ජනප්‍රිය නොවූ ඉහත ව්‍යාපෘතියට වඩා, ආදරය සම්බන්දයෙන් අප එකල X කණ්ඩායම ලෙස කල මැදිහත්වීම බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනු ඇත. X කණ්ඩායමට පෙර සිට පැවති 'ආදරය සඳහා හෝටන් තැන්න ව්‍යාපාරයේ' සිට ආරම්භ වුවායයි කියා සැලකිය හැකි මෙම ව්‍යාපෘතිය එහි පරිසමාප්තියට පත්වීමේදී ධනේශ්වර-පාර්ලිමේන්තුවාදය විසින් මිනිස් ජීවිත පුද්ගලත්වය නමැති කල්ට් එක වන්දනාමාන කිරීමට යොමු කරනු ලැබීමට එරෙහිව කරනා අරගලයක් ලෙස ආදරය පිහිටුවන ලදී. අප තදින්ම විශ්වාස කරනා දෙයක් වන්නේ, 90 දශකයේ ආරම්භයේදී ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය පරාජය වීමත්, වාමාංශික දේශපාලනය යන්න සමාජයෙන් අතුරුදන් වීමත් නිසා කිසිදු ආකාරයකින් කොමියුනිස්ට් දේශපාලනය අභිමුඛ වීමට ඉඩ නොතිබුණු පරම්පරාවකට එම මුණගැසීම සිදුකිරීම සඳහා X කණ්ඩායමේ ආදරය පිලිබඳ මෙම සංවාදය ප්‍රධාන භූමිකාවක් කල බවයි. එම අවධියේදී මෙම සංවාදය කෙතරම් ජනප්‍රිය වුවාද යත්, මෙම සංවාදය මාක්ස්වාදී දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ද සාකච්චාවට නැගිණි. ව්‍යාපෘතියක් ලෙස මෙය අසාර්ථක වුයේ X කණ්ඩායමේ මග වැරදීමත් සමග වුවත්, මේ සඳහා ජිජැක්ගේ මනෝවිශ්ලේෂණ කියවීම කල බලපෑමද තීරණාත්මක විය. X කණ්ඩායමේ ආදරය පිලිබඳ සංවාදය එහි මීළඟ තාර්කික පියවර වෙත ඔසවා තැබීමට අවශ්‍ය සාහිත්‍යමය දිශානතිය - ලැකෙනියානු මනෝවිශ්ලේෂණය - අප වෙත තිබුනත්, එම සම්ප්‍රදාය ඇසුරින් කල ජිජැක්ගේ දෘෂ්ටිවාදී විවේචනය පිලිබඳ සාකච්චාව කේන්ද්‍රස්ථානය ගැනීමත් සමගම, ආදරය පිලිබඳ සංවාදයේ සංකීර්ණ බව අහිමිව, එය හුදු සැරසිල්ලකට සීමා වීය.  මෙය කෙතරම් දුරදිග ගියාද කියන්නේනම්, X කණ්ඩායමේ අවසානයේදී ඇති වූ මනෝවිශ්ලේෂණය පිලිබඳ දීර්ඝ සංවාදයේ මූලික මාතෘකාවක් හෝ බවට මෙය පත් නොවීය.   කෙසේ උවත් මෙම නිශ්චිත ව්‍යාපෘතියේ අවසානය පිලිබඳ සංවාදය මෙතනදී අවසන් නිගමනයකට නොයවා විවර වූ අවසානයක් ලෙස තබමු.



නව-ලිබරල්වාදියෙකුගේ සමග සටන්වැද

මෙම ව්‍යාපෘතීන් දෙකටම වඩා තරමක් දීර්ඝ ලෙස බදියුගේ ඉහත තුන්වැනි යෝජනාව පිළිබඳව කරමු. එක් අතකින් මෙය මේ මොහොත තුල ගෝලීය වශයෙන් ප්‍රමුඛ වන අරගල කලාපයකි. ඒ අනුව ගත්විට මෙමගින් අපට, නිදර්ශනයක් ලෙස, එක්සත් රාජධානියේ ශිෂ්‍ය අරගල සහ ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය අතර ඒකමිතියක් ගොඩනැගීමට අවකාශ සපයන අතර, එමගින් 'අරගලය' යන්න එක්වරම ජාතික රාජ්‍යය සීමාවෙන් ඔබ්බෙහි සලකුණු කිරීමට ඉඩ ප්‍රස්තාව සලසයි. ඉහත අරගල දෙකෙහිම, අවසන් විග්‍රහයේදී, මතු වූ ප්‍රමුඛ ගැටලුව වූයේ අධ්‍යාපනයේ අවසන් අරමුණ කුමක්ද යන්නයි. ලෝක ආධිපත්‍යය දරන නව-ලිබරල්වාදී පාලකයන්ගේ විග්‍රහයට අනුව අධ්‍යාපනය යනු, එක් අතකින්, මිනිසුන් අනාගත රැකියාවක් කර මුදල් හම්බ කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නක් වන අතර, අනික් අතින්, එය ප්‍රාග්ධනයට ආයෝජනය කර, ලාභ ලැබිය හැකි කර්මාන්තයකි. මෙම තර්ක කිරීමේ තාර්කික ප්‍රතිඵලය වන්නේ, අධ්‍යාපනය නම් අවකාශය තුල, විශේෂයෙන් උසස් අධ්‍යාපනය තුල, සම්ප්‍රදායික ලෙස විශේෂ ස්ථානයක් ලැබූ විෂය-ක්ෂේත්‍රයන් ගණනක ප්‍රායෝගික වටිනාකම අහිමි වීමයි. ඒ අනුව ගණිතය, භෞතික විද්‍යාව, දර්ශනය, භාෂා සාහිත්‍යය, ඉතිහාසය ආදී ලෙස අතීතයේ පටන් අධ්‍යාපනය යන්නෙහිදි ප්‍රමුඛ ලෙස සැලකූ විෂය-ධාරාවන් විශාල ගණනක් අතුරුදහන් වීමේ අනතුරට මුහුණ දී තිබේ. අනික් අතට අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරනා සිසුන් සහ ආචාර්යවරුන් කියා සිටින්නේ අධ්‍යාපනය යන්න, මිනිසාගේ විමුක්තිය වෙනුවෙන් නැතිනම් යහපත් පුරවැසියන් බිහි කිරීම වෙනුවෙන් පවතින්නක් විනා ලාභය හෝ අනාගත රැකියා අවස්ථා මූලික ලෙස අරමුණු කර  නොගත්තක් විය යුතු බවයි. අවසාන අර්ථයෙන් ගත් විට මෙය පෞද්ගලික ලාභය සහ පොදු යහපත අතර වන බෙදීමකි. වෙනත් වචන වලින් කියන්නේනම් මේ ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර අරගලයකි.

නමුත් මෙම අරගලයේ නිවැරදි තක්සේරුව සඳහා නව-ලිබරල්වාදයට රොමෑන්තික ලෙස විරුද්ධ නොවී එහි දිග පළල මැනවින් අවබෝධ කරගත් යුතු වෙයි. නිදර්ශනයක් ලෙස අප දර්ශනය වැනි විෂයක් ගනිමු. පසු ගිය වසර කීපය තුල එක්සත් රාජධානිය තුල වසා දමන ලද දර්ශන දෙපාර්තමේන්තු ගණන කොපමනදැයි අපි නොදනිමු. නමුත් මෙය අපගේ සිත සසල කරවන සංඛ්‍යාවක් වීම සම්බන්දයෙන් සැකයක් නොපවතී. මේ ලියන මොහොත වන විටත් එංගලන්තයේ නෝතැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුව වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ සෑම අවස්ථාවකම හේතු කාරනා වශයෙන් ඉදිරිපත් කරන්නේ ලියාපදිංචි වන ශිෂ්‍යයන් ගණන ප්‍රමාණවත් නොවීමයි. දැන්, මෙම 'ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් ගණන' සමග කරනා ඉලක්කම් සෙල්ලම පසු පස ඇත්තේ නව-ලිබරල් දෘෂ්ටිවාදයැයි කියා කෙනෙක්ට තර්ක කල හැකි ය. ඇත්ත වශයෙන්ම ගත්විට එක්සත් රාජධානිය වැනි ආර්ථිකයකට මෙවන් දේ සඳහා වෙන් කල යුතු පිරිවැය, ඔවුන්ගේ සමස්ත අයවැයෙන් ඉතා සුළු කොටසක් වන අතර, එවැන්නක් දරා ගැනීමේ අපහසුතාවක් එම ආර්ථිකයට කිසේසේත් නොමැත. ඒ අනුව ගත විට මෙවැනි තීරණ හුදු ඉල්ලුම-සැපයුම අතර වන මනෝරාජික සමතුලිතයකට වඩා දෘෂ්ටිවාදී ලෙස පාර්ශවීය වන්නාවූ තීරණ ලෙස සැලකීම නිවැරදි වෙයි. නමුත්, මෙම සියල්ල මධ්‍යයේ වුවත්, අප පිළිගත යුතු දෙයක් වෙයි. එනම් අප ජීවත්වන සමාජයේ ඇති බහුතරයක් දෙනාගේ එකම ජීවන සිහිනය වන්නේ හැකිතාක් පරිභෝජනය කිරීමට හැකි වන ලෙස පොහොසතෙක් වීමයි.ඒ අනුව අද වනවිට එංගලන්තයේ බොහෝ දෙනෙක් තෝරාගන්නේ දර්ශනය හෝ සාහිත්‍යය පිළිබඳව උපාධි කිරීමට නොව, ව්‍යාපාර අධ්‍යනය හෝ පරිඝණක අධ්‍යනයයි. නැවත වරක්, මෙයද ස්වාභාවික වරණයක් නොව, දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් විය හැකිය. නමුත් දෙන ලද තත්වය තුල ආධිපත්‍යය දරන්නේ මෙයයි. තතු මෙසේනම්, අපගේ ආරම්භක ස්ථානය විය යුත්තේ මෙම බෙලහීනතාවය පිළිගැනීම සහ නව-ලිබරල් අභියෝගයේ සංකීර්ණතාවය අවබෝධ කර ගැනීමයි. අපි මෙය තවදුරටත් සංකීර්ණ කරමු.

එක්සත් රාජධානියේ දර්ශනය ඉගෙනීම පිළිබඳව තත්වය එයනම්, ලංකාව වැනි රටක තත්වය කෙසේ වෙයිද? නිදර්ශනයක් ලෙස  දර්ශනය පිළිබඳව උපාධියක් කිරීමෙන් ලංකාවේ ශිෂ්‍යයකුට අත්වන ඉරණම කුමක්ද? ඔහු ඉතාමත් ධනවත් පවුලකින් නොපැමිනෙන්නේනම්, ඔහුට රැකියාවක් සොයා ගැනීම ඉතාම අපහසු වනු ඇත, නැතහොත් ඔහුගේ අධ්‍යාපනයට කිසිදු සම්බන්දයක් නොමැති, බොහෝ විට අඩු වැටුපක් හිමි වන රැකියාවක් හිමිවනු ඇත.

අපි තවත් ඉදිරියට යමු. එක්සත් රාජධානියේ වැසීයන්නා වූ දර්ශන දෙපාර්තමේන්තුවක් සහ ලංකාවේ දර්ශන දෙපාර්තමේන්තුවක් අතර විශාල වෙනසක් වෙයි. පළමුවෙන්ම, ලංකාවේ දර්ශන දෙපාර්තමේන්තු පවතින්නේ වචනයේ අර්තයෙන්ම දෙකකි. අනෙක් අතට එම දෙපාර්තමේන්තු කීපය තුල පවා සිටිනා කථිකාචාර්යවරුන් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව ගත්විට - 'අපි බය නැතුව ඇත්ත කතා කරමු' - බුද්ධිමය ලෙස බොහෝ දුප්පත් වෙයි. ඇත්ත වශයෙන්ම ගත්විට ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් හා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සංසන්දනය කරන්නටවත් බැරි ය. මින් අදහස් වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල වල කිසිදු බුද්ධිමතෙක් නොමැතිය යන්න නොවේ. නමුත් සමස්තයක් ලෙස ගත විට ලාංකීය විශ්වවිද්‍යාල වල කථිකාචාර්යවරුන්, ටියුෂන් ගුරුවරුන්ට වඩා එතරම් දියුණු නොවේ. පසුගිය වසර දෙක තුනක කාලය තුල එක්සත් රාජධානිය තුල වසා දැමූ දර්ශන දෙපාර්තමේන්තු වල සේවය කරමින් සිටි කථිකාචාර්යවරුන් අතර ලොව ප්‍රධානම පෙලේ බුද්ධිමතුන් සිටී. ලංකාවේ තිබෙන්නේ 'විද්‍යාව සඳහා නොබෙල් සම්මානය දිනු කථිකාචාර්යවරුන් කී දෙනෙක් සිටීදැයි' අසමින් නලින් ද සිල්වා මහතාට සිනහ වීමට ඉඩ ලබා දෙන වටපිටාවකි. 

කොමියුනිස්ට් උපන්‍යාසය යන්න සිතිජයේ තබා දේශපාලන ක්‍රියාකාරකම් වල නියුතු වන්නා වූ අප මෙහිදී කල යුත්තේ කුමක්ද? සැකයකින් තොරවම අප මේ මුහුණ දී තිබෙන්නේ බදියු 'යථාවේ ලක්ෂ්‍යයක්' ලෙස හඳුන්වන මොහොතකයි. මෙහිදී බදියු යථාව යන අදහස, ලකොන්ගෙන් උපුටාගෙන, යොදවන්නේ 'වියනොහැකිභාවය' යන අර්ථයෙනි. නමුත්, ඉහත සාකච්චාවෙන් පැහැදිලි වියයුතු පරිදි, නව-ලිබරල් අභියෝගය හමුවේ, පොදුවේ ගත් කල ලෝකයේත්, සුවිශේෂ ලෙස ලංකාවෙත්, මෙම ලක්ෂ්‍යය අභිමුවේ අපගේ ආරම්භක ස්ථානය වන්නේ, සිදු විය යුතු පරිදිම, 'බෙලහීනතාවයයි'. මේ අනුව, අපගේ ආරම්භක ගැටලුව වන්නේ 'තතු ඉහත පරිදිනම් අපි කොහොමද ලංකාවේ දර්ශනය (හෝ ඉතිහාසය හෝ සාහිත්‍යය හෝ......) වෙනුවෙන් අරගල කරන්නේ' යන්නයි. අපගේ මූලික තර්කය වන්නේ ලංකාවේ සුවිශේෂී අත්දැකීම් තුලින් අපට, දියුණු බුද්ධිමය සම්ප්‍රදායන් ඇති රට වලට වඩා මෙහිදී යහපත් ආරම්භයක් තිබෙනා බවයි.

මේ සඳහා අපට උපකාරී වන ලාංකික දේශපාලන අත්දැකීම් දෙකක් වෙයි. පළමුවැන්න වන්නේ 'ජාතික චින්තන ව්‍යාපාරයයි', දෙවැන්න X කණ්ඩායමේ මැදිහත්වීමයි. මෙම ව්‍යාපාරයන් දෙක අතර තිබෙනා මූලික සමානකම වන්නේ මේ දෙකම 'දැනුම' පදනම් කරගත් ව්‍යාපාරයන් විනා 'රාජ්‍යය බලය' ඉලක්ක කරගත්තක් නොවීමය්. ජාතික චින්තන ව්‍යාපාරය, විශේෂයෙන් නලින් ද සිල්වා නියෝජනය කල පිල, මාක්ස්වාදයේ 'වාස්තවික' බව ප්‍රශ්න කරන ව්‍යාපෘතියක් ලෙස ඇරඹී, අවසානයේදී ඔවුන් විසින් 'බටහිර විද්‍යාව' ලෙස හඳුන්වන්නා වූ විද්‍යාත්මක සම්ප්‍රදාය වෙත එල්ල වූ විවේචනයක් ලෙස වර්ධනය විය. මේ සඳහා මූලික වශයෙන් බලපෑ දාර්ශනිකයන් වන්නේ තෝමස් කූන් සහ පෝල් ෆෙයරාබන්ඩ් වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුල මෙම දාර්ශනිකයන් දෙදෙනා ඇතුළු 20 වෙනි සියවසේ විශ්ලේෂී දර්ශන සම්ප්‍රදාය පිළිබඳව ප්‍රබෝදමත් උනන්දුවක් ඇතිවිය. ඒ අනුව, සාමාන්‍ය තත්වයන් තුල විද්‍යාවේ දර්ශනය, ඥානවිභාගය වැනි විෂයන් හදාරන නැතිනම් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අය විසින් පමණක් කියවිය යුතු කෘතියක් වූ නලින් ද සිල්වා ගේ 'මගේ ලෝකය' නම් ප්‍රශස්ත කෘතිය, ලංකාවේ බුද්ධිමය-දේශපාලනමය අවකාශය කළතන ලද මැදිහත්වීමක් විය. X කණ්ඩායම, අනික් අතට, ආරම්භ වූයේ ලංකාවේ, මෙන්ම ලෝකයේත්, මාක්ස්වාදය මහ පොලොව මත සමතලා වී තිබූ 90 දශකයේ ආරම්භයේදීය. දේශපාලනමය වශයෙන් ඒ වනවිටත් මිය ගොස් සිටි ට්‍රොට්ස්කිවාදී බාල පෝතකයන් කුඩා පිරිසකට හැරුණු විට සියලුම දෙනාට පාහේ එකල රැඩිකල්ම ආස්ථානය වූයේ 'විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමයි'. මෙම සන්ධර්භය තුල මාක්ස්වාදී කතිකාව පෝෂණය කිරීම අත්‍යවශ්‍ය වූ අතර මේ සඳහා 20 වෙනි සියවසේ ප්‍රංශ දර්ශනය වෙත අවධානය යොමු විය (මේ පිළිබඳව මතකය අවදි කර ගැනීම සඳහා දීප්ති කුමාර ගුණරත්න ගේ 'පශ්චාත්-නූතනවාදය ඇද ගන්න කොක්කක් (ලංකාවට)' නම් ඓතිහාසික ලියවිල්ල කියවන්න). මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ෆූකෝ, ඩෙරීඩා, ලැකෝන්, ආදී ලෙස දාර්ශනිකයන් පරම්පරාවක් ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. නැවත වරක්, බටහිර රටවල දර්ශන දෙපාර්තමේන්තු නැතිනම් සාහිත්‍යය දෙපාර්තමේන්තු තුල පමණක් කියවන මෙම දාර්ශනිකයන් ලංකාවේ ස්ථානගත වූයේ දේශපාලනික සාකච්චාවක් තුලයි. මෙහිදී අවධාරණය කිරීමට උත්සාහ කරන්නේ මෙම කරුණයි. එනම් මෙම දාර්ශනික සම්ප්‍රදායන් හැදෑරීම ලංකාව තුල මේ වනවිටත් 'දේශපාලනික' වැඩක් ලෙස තහවුරු වී තිබීමයි.  

මේ අනුව ගත්විට අපට පැහැදිලි වන්නේ, අධ්‍යාපනය සම්බන්දයෙන් ඇති නව-ලිබරල් යෝජනාවට, ආකල්පයට නැතිනම් මැදිහත්වීමට එරෙහිව අප අධ්‍යාපනය යනු පොදු යහපතක් යනුවෙන් අරගල කරනා විට අපගේ බෙලහිනතාවය අප සිතනා තරම් දරුණු නොවනා බවයි. යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරනා කතිකාචාර්යවරුනට මුහුණ දීමට ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ ඔවුන්ගෙන් ඉගෙනීමට එන ශිෂ්‍යන් අධ්‍යාපන ආයතන තුල එම විෂය-ධාරාවන් සමග බද්ධ වූවන් විනා, දේශපාලනික අර්ථයකින් එම විෂයන් සඳහා පෙනී සිටීමට සහ අරගල කිරීමට එකඟ වූවන් නොවීමයි. මෙයට ප්‍රතිපක්ෂව ලංකාවේදී දර්ශනය තුල ඩෙරීඩා ව නිවැරදි ලෙස කියවීම, සාහිත්‍යය තුල නවකතාවේ සුදුසුම ආඛ්‍යාන රටාව පිළිබඳව සාකච්චා කිරීම, ඉතිහාස විෂය තුල මහාවංශය අර්ථකථනය කිරීම, භෞතික විද්‍යාව තුල විද්‍යාත්මක ක්‍රමයේ විශ්වීය වලංගු බව සාකච්චා කිරීම ආදිය කිසිදු අයුරකින් ශාස්ත්‍රාලයට සීමා වූ ඇකඩමික් මාතෘකා නොව සමාජය හරි මැදින් දෙපලු කරනා දේශපාලනික ගැටලුය. මෙම ලක්ෂ්‍යය තුලදී අපට අපගේ ආරම්භක බෙලහීනතාවය, වියනොහකිතාවය වෙත ඔසවා තැබිය හැකියයි යෝජනා කරන්නේ මේනිසා වෙයි.



එකොළොස්වෙනි තිසීසයට ආපසු යෑම

මින් අදහස් වන්නේ එය මෙය මේ වන විටත් සිදු වෙමින් පවතිනවාය යන්න නොව මෙවැන්නක් සඳහා සුදුසු පොළොවක් ලංකාව තුල පවතිනවාය යන්නයි. නමුත් මෙය සැබවින්ම ගොඩනැගීම සඳහා අප කල යුතු වැඩ රාශියක් තිබේ. අප අධ්‍යාපනය පිලිබඳ නව-ලිබරල් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව වියුක්ත දැනුම වෙනුවෙන් පෙනී සිටීම සඳහා අප එවැනි ශක්තිමත් දැනුම් සම්ප්‍රදායක් ඇති කල යුතු වෙයි. අධ්‍යාපනය යනු රැකියාවක් සඳහා පුහුණුවක්ය කියා නව-ලිබරල්වාදියා ප්‍රකාශ කරන විට, නැහැ, එහි අරමුණ වන්නේ මිනිසාට විමුක්තිය ලබා දීමයයි අප ප්‍රතිඋත්තර දෙන්නේනම්, අපිට හැකි විය යුතුයි එවැනි විශාල කාර්යයක් සඳහා විභවයක් තිබෙනා විශ්ව විද්‍යාලයක් පෙන්වීමට. ඒ වෙනුවට අපට ඇත්තේ යල් පැන ගිය සටහන් පොතක් වසරින් වසරට කියවන කතිකාචාර්යවරයෙක්නම්, නව-ලිබරල්වාදියා අපව ලෝක විහිලුවකට එහා නොසලකනු ඇත. මම ඉහතින් සඳහන් කල ජාතික චින්තන ව්‍යාපෘතියේත්, X කණ්ඩායමේත් තිබුණු ප්‍රධාන දුර්වලතාවයක් වූයේ ඒවා මගින් ඇති කල දාර්ශනික උනන්දුව හරහා එම සම්ප්‍රදායන් ගැඹුරින් හදාරා, එම ආරම්භක උද්‍යෝගය වඩාත් ගැඹුරු බුද්ධිමය සංස්කෘතියක් වෙත ඔසවා නොතිබීමයි. ඒ වෙනුවට ඒවායින් බිහි උනේ, එම බුද්ධිමය සම්ප්‍රධායන්ගේ වචන, තනුක කරන ලද අර්ථ ලෙස වටහාගෙන පුනරුච්චාරණය කරන ගිරවුන් රැසකි කියා කිව්වොත්, තරමක් සාහසික උවත් එය නිවැරදි බව බොහෝ දෙනෙක් පිළිගනු ඇත. නව-ලිබරල්වාදයට එරෙහිව අප සටන්කරමින් ආරක්ෂා කරන්නට යන අධ්‍යාපනයෙන් බිහි වන්නේ මෙවන්නන්නම්, අපගේ අරගලය කිසි අර්ථයක් නොමැත්තක් වෙයි. ඒ වෙනුවට අප කල යුත්තේ ප්‍රංශ දාර්ශනිකයන් හෝ ඇමරිකානු ගණිතඥයන් සමග එක පෙලට සිට ගත හැකි බුද්ධිමතුන් නිර්මාණය කිරීමයි. නව-ලිබරල්වාදය විසින් අධ්‍යාපනය යනු ලාභ ලැබිය යුතු කර්මාන්තයක්ය කියා ප්‍රකාශ කරන විට, අධ්‍යාපනය යනු මෙන්න මෙයටයි කියා ඇඟිල්ල දිගු කර පෙන්වීමට එවිට අප හට හැකියාවක් ලැබේ. මෙය එක රැයකින් කල හැකි නොවේ. මේ සඳහා ශිෂ්‍යය ව්‍යාපාරයේ රැඩිකල් නවීකාරක කිරීම්ද, ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් අතර නව සන්ධානයක් බිහිවීමද, 'දැනුම' වටා සමාජය සංවිධානය කිරීමදඑයට සමගාමීව රටේ බුද්ධිමය සාකච්චාව පුළුල් කිරීමද කල යුතු වෙයි. එක් ලක්ෂ්‍යයක් අල්වාගෙන, එය වෙනුවෙන් දිවිහිමියෙන් අරගල කල යුතුයැයි බදියු යෝජනා කරන්නේ මේ නිසාය. කොමියුනිස්ට්වාදය නම් අදහස විසින් මෙහෙයවෙන විපර්යාසකාරී දේශපාලනය යනු අද දවසේදී මෙයම මිස වෙන කිසිවක් නොවන බව අපට 'න්‍යායිකව ඔප්පු කල' නොහැක. මක්නිසාද යත්, දාර්ශනිකයන් කර ඇත්තේ ලෝකය එක් එක් ආකාරයට අර්ථකථනය කිරීම මිස එය වෙනස් කිරීම නොවන බැවිනි.


3 comments:

  1. දෙමළු මරපු සල්ලිනේ.....

    ReplyDelete
  2. Sri Lankan Universities are very low according to the international standards please read this article by lanka web , (perhaps you may not publish this comment but it is the bitter truth)

    ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල
    Posted on December 12th, 2011
    සුපුන් පෙරේරා
    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.


    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ReplyDelete
  3. ඔබලා වැනි කණ්ඩායම් හැමදාම කරන්නේ බටහිර සුදු පිරිමියක් ගැන කතා කරන එක විතරයි නේද? ඩෙරීඩා, ලකාන්, ෆූකෝ ගැන ඉස්සර කතා කරනවා. දැන් දීප්තිලා කියනවා හේගල් තමයි දාර්ශනිකයා, ඔබලා කියනවා බදියු තමයි දාර්ශනිකයා කියල. හැමදාම අනුන්ගේ දේවල් අනුකරණය කරන්නේ නැතුව තමන්ගේ දැනුමක් නිර්මාණය කරන්න හිතන්නේ නැද්ද? අපේ රටේ දේශපාලනය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගොඩ නගපු දැනුමකින් මිසක් බදියු හෝ හේගල් විසින් ගොඩනගපු දැනුමකින් නොවෙයි.

    ReplyDelete