Saturday, August 31, 2013

'විවෘත අභියෝගය' පිලිබඳ මතක් කිරීමයි!

පසුගිය 25 වෙනි දා දීප්ති කුමාර ගුණරත්න මහතා ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් නිර්මාල් හට අභියෝග කරන ලදී. එම අභියෝගය නිර්මාල් විසින් බාර ගන්නා ලද අතර මේ සඳහා සංවිධාන කටයුතු කිරීම පිළිබඳව නිර්මාල් පාර්ශවය වෙනුවෙන් වංගීස ඉදිරිපත් වී ගුණරත්න මහතාගේ නියෝජිතයෙක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ද කළේය. මේ පිළිබඳව දැනුම් දීම සඳහා පල කල සටහන ෆේස්බුක් මගින් හුවමාරු කරන විට තුෂාර දස්කොන් නම් මහත්මයකු මේ පිළිබඳව සතියක කාලයක් දෙන මෙන් නිර්මාල් ගෙන් ඉල්ලීමක් කළේය. අද වන විට එම සතියක කාලය ඉක්ම ගොස් තිබේ. 

අනෙක් අතට ඔවුන් පළමුව 'අභියෝග' කල අවස්ථාවේ පවසා තිබුනේ "තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක"කියාය. එසේ පවසා නැවතත් සතියක කාලයක් ඉල්ලා සිටීම පරස්පර උවත්, වැදගත් වන්නේ විවාදය පැවැත්වීම වන නිසා අපි එය ගැටළුවක් කර නොගත්තෙමු.

Tuesday, August 27, 2013

නොකෙරෙන විවාදයේ සංවිධාන ආකෘතිය


නිර්මාල් එක්ක ප්‍රසිද්ධ විවාදයකට අභිමුඛවීමට තමන් කැමති බව ගුණරත්න තුන මාන වෙබ් අඩවියෙහි පළකර තිබුණි. වංගීස එය නිර්මාල් වෙනුවෙන් බාර ගනිමින් ප්‍රතිචාර දක්වල තිබුණ.‍ නොවන සංවාද ගැන හෝ අභිමුඛ වීම් ගැන ගුණරත්න කවදත් විහිළු කතා කියනව. ගුණරත්නගේ මේ විහිළුව නිර්මාල් සීරියස්ව බාරගැනීම ගැන මට නම් නිර්මාල් ගැන ඇත්තේ කණගාටුවක්.

ගුණරත්න බයම අකුර "ස" යන්නය. සංවාදය කියන වචනය කැරපොත්තන්ට මෝර්ටීන් ලෙසයි ගුණරත්නට දැනෙන්නෙ.  ගුණරත්න නිර්මාල් සමඟ (වාම ප්‍රවණතාවය)  2004 දෙසැම්බර්  සංවාදයට අභිමුඛ වූවා නම් X කණ්ඩායම කැඩෙන්නේ නැත. ප්‍රසිද්ධ තැනක සංවාදයට එන්න කියන ගුණරත්න X නිවසෙහිදී අපට අභිමුඛ වූයේ ද නැත.  දෙසැම්බර් 26 වෙනි දින   බුද්ධිකවයි , ප්‍රභාවයි ඒ සඳහා ඉදිරිපත් කරල  X ගෙදර කාමරේ ගුණරත්න හැංගිල සිටි බව එහි සිටි සියළු දෙනාම හොදින්ම දන්නා කරුණකි.

Saturday, August 24, 2013

අභියෝගය බාර ගත්තෙමු!

දීප්ති කුමාර ගුණරත්න මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ඒ මහතා නිර්මාල් හට අභියෝග කර තිබේ. මේ 2004 වසරේ අවසාන භාගයේ සිට අප බලාපොරොත්තු වූ දෙයකි. දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් හෝ ඔහු මෙයට ඉදිරිපත්වීම අප අගය කරමු.

මේ සටහන තබන්නේ නිර්මාල් එම අභියෝගය ඉමහත් සතුටින් බාරගත් බව පැවසීමටයි. 

අප දෙපාර්ශවය අතර එකිනෙකා පිලිබඳ තිබෙන විවේචන වලින් එකක් අවසන් වන තුරු කෙරෙන පාණදුරාවාදයක් බවට මෙය පත්විය යුතු අතර අවසාන මොහෙතේදී කුමක් හෝ හේතුවක් දක්වා ගුණරත්න මහතා විසින් මෙය මග නොහරිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

මෙහි සංවිධාන කටයුතු සඳහා නිර්මාල් ගේ පාර්ශවයෙන් වංගීස ඉදිරිපත් වී තිබේ. මේ සඳහා ගුණරත්න මහතාගේ නියෝජිතයෙකු පත්කර හැකි ඉක්මනින් 0714391514 අංකය යටතේ වංගීස හට ඇමතුමක් දෙන මෙන් ඉල්ලමු. මෙය තිබෙන ස්ථානය, දිනය, වෙලාව අපිට එලෙස තීරණය කර ගත හැකි ය. 

Tuesday, August 13, 2013

දීප්ති කුමාර ගුණරත්න මහතාට විවෘත ප්‍රතිචාරයක්

මම සහ තවත් මිතුරන් කීප දෙනෙකු කලක් පවත්වාගෙන ගිය 'මධ්‍යස්ථානය' නම් බ්ලොග් අඩවිය නතර කර දැමීමට අප තීරණය කරන්නට හේතු කීපයක් තිබිණි. මේ අතරින් එක හේතුවක් වූයේ එම බ්ලොග් අඩවිය තුල අප අනවශ්‍ය පරිදි දීප්ති කුමාර ගුණරත්න මහතා සහ එම මහතාගේ දේශපාලන පක්ෂය ලෙස නම් කරන කණ්ඩායම සමග පැටලීමයි. ගුණරත්න මහතා සමග සංවාද කිරීම අරුත් සහිත වැඩක් නොවේ. ඒ ඔහු සංවාදයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට සමත් නොවන හෙයිනි. 

නමුත් අපගේ ජීවිතයේ තිබෙනා නොවෙනස් වෙන කරුණක් වන්නේ ගුණරත්න මහතා සහ අපිට එක සමාජ අවකාශයක වැඩ කරන්නට සිදු වීමයි. එම මහතාගේ මඩ ගැසීම් වලට සම්බන්ධ නොවීමට අප බොහෝ උත්සාහ කරන්නෙමු. නිදර්ශනයක් ලෙස විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය සමයේ ඒ මහතා නිර්මාල් ට එරෙහිව ගොම ගසන විට අපි කවුරුත් එයට ප්‍රතිචාර දැක්වීමට නොගියේ, සිහිබුද්ධිය තිබෙනා ඕනෑම මනුස්සයෙකුට ගුණරත්න මහතා ගේ නන් දෙඩවිලි වටහා ගත හැකි වීම නිසාය. කොටින්ම එම මහතාගේ ප්‍රමුඛම හෙන්චයියන් දෙදෙනෙක් ද එම අරගලයට ප්‍රසිද්ධියේ සහය දුන් බව අපිට මතකයි.