Tuesday, November 8, 2011

ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් = ‘‘පොදු පුරුෂයා’’ නවකතාව ඇසුරෙන්

සුනේත‍්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකථාවට වර්තමාන සාහිත්‍ය කතිකාව තුළ ලැබී ඇත්තේ මිශ‍්‍ර ප‍්‍රතිචාරයකි. ලංකාවේ දැනට ජීවත් වන වඩාත් බලපෑම් සහගත සාහිත්‍යකරුවා වන ගුණදාස අමරසේකර මෙම කෘතිය පිළිබව ඉදිරිපත් කළ අදහස වූයේ එය ‘‘තනිකරම ව්‍යාජයක් බවයි’’ (දිවයින 15-10-2009 සරසවි උයන අතිරේකය) ගුණදාස අමරසේකරගේ අදහස් දැක්වීම කෙටි එකක් වන අතර අදාල කෘතිය ‘‘තනිකරම ව්‍යාජයක්’’ යන මත දැක්වීමට අමතරව එය එසේ වන්නේ ඇයිද යන්න පැහැදිලි කර නැතත් ඔහුගේ අදහස්වල පසුබිම ඔහු විසින් මෑතකදී ලියා පළ කරනු ලැබූ ‘‘නොසෙවුනා කැඩපත’’ (අමරසේකර, 2008) කෘතියෙන් ලබාගත හැක. 

මගේ මෙම රචනයේ උපායමාර්ගය වන්නේ ‘‘පොදු පුරුෂයා’’ නවකථාව සම්බන්ධව අමරසේකරගේ විවේචනය හා ඊට පදනම් වන වත්මන් නවකථාව පිළිබඳව ‘‘නොසෙවුනා කැඩපත’’ කෘතිය මගින් ඉදිරිපත් ඔහුගේ අදහස් සමඟ විවේචනාත්මකව අභිමුඛ වෙමින් මෙම නවකථාව විවරණය කිරීමයි. වර්තමානයේ බිහිවන නවකථා පිළිබඳව අමරසේකරගේ විවරණය මෙබඳුය.