Thursday, October 11, 2012

ආචාර්යවරුන්ගේ අරගලයට පෙර අධ්‍යාපනය පිලිබඳ ලාංකික සංවාදය තිබුනේ කොතැනද?

මෙයට පෙර අප විසින් පළ කල කෙටි සටහනට බොහෝ දෙනෙකු කුණුහරුප සහිත කොමෙන්ටු විශාල ප්‍රමාණයකින් අපට පවසන්නේ අප සඳහන් කල දෘෂ්ඨිවාදී ජයග්‍රහණය ව්‍යාජයක් බවයි. පළමුවෙන් කිව යුත්තේ, අප මෙම කුණුහරප කොමෙන්ටු පළ නොකරන්නේ අප කුණුහරප වලට බය නිසා නොව, පොදු අවකාශයක් තුල ඉන්නා විට එහි නීති රීති වලට ගරු කල යුතු නිසා බවයි. 
 

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලයට පෙර ඒ පිළිබඳව තිබුණු ලාංකික සංවාදයේ ස්වරූපය කුමක්ද කියා හොඳින් වටහා ගත හැකි කෙටි ලිපියක් අපි පහතින් පළ කරමු. අප එය උපුටා ගන්නේ අනුරුද්ධ ප්‍රදීප් මිතුරා ඒ සම්බන්ධයෙන් ලියු කෘතියකිනි. අනුරුද්ධ සහ අප අතර පොදුවේ දේශපාලනය සහ විශේෂයෙන් අධ්‍යාපනයේ දර්ශනය සම්බන්ධයෙන් බරපතල නොඑකඟතාවයන් තිබේ. එසේ උවත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට හඳුනවා දීමේ නව ප්‍රයත්නයට එරෙහිව ඔහු මතවාදී තලය තුල රැගෙන ගිය හුදෙකලා අරගලය අප සාධනීය ලෙස බාර ගන්නෙමු.


අධ්‍යාපනය වෙළඳපොල තර්කණයට විවර කිරීමට එරෙහිව සමාජයේ හොඳින් තහවුරු වූ මතයක් තිබේය, එනිසාම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලයෙන් ලබා ගත් අමුතු ජයග්‍රණයක් නොමැත කියා බෙරිහන් දෙන විසිධ පාර්ශවයන්ට මෙය කියවා බලා දැන් උක්ත අරගලය විසින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගැනීම, එය සඳහා ප්‍රතිපාදන සැපයීම වෙළඳපොල විසින් කලයුත්තක් නොව, රාජ්‍යයේ වගකීමක් බව තහවුරු කිරීම ආදිය සම්බන්ධයෙන් කරන ලද කාර්යය තේරුම් ගත හැකිය. අප විසින් කල යුත්තේ, විශ්ව විද්‍යාල ගුරුවරුන්, පඩි නොමැතිව, කන්න බොන්න පවා නොමැති උවත් 6% ලැබෙන තුරු වැඩ වර්ජනය කල යුතුය කියා කෑ ගැසීම නොව, ලබා ගත් මෙම දෘෂ්ඨිවාදී ඉදිරිපිම්ම තව වර්ධනය කරනා ආකාරයන් සාමූහිකව කල්පනා කිරීමයි. අධ්‍යාපනය පිළිබඳව අවංකව සටන් කිරීමට උවමනාවක් තිබෙන සියලු දෙනාගේ මේ මොහොතේ වගකීම වන්නේ එයයි. 

උපුටා ගැනීම: කර්ණසූරිය, අ. ප්‍ර. , (2011), "පෞද්ගලික විශ්වවිද්‍යාල - විලාසිතාව හා යථාර්ථය", රාවය ප්‍රකාශකයෝ, මහරගම, පි.අං. 9-16.    



විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටනට පෙර ලංකාව


ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවිය යුතුද නැත්ද යන විවාදය අප සමාජයෙහි වරින් වර මතු වෙමින් යට යන්නකි. විටෙක එම විවාදය කොතෙක් තීව්‍ර එකක් වූයේද යත් 1980 දශකයේ මද භාගයේදී එය ලේ වැකි ප්‍රචණ්ඩ ගැටුමක් බවටද පත් විය. එහිදී එවකට පැවති ජේ. ආර්. ජයවර්ධන රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම දක්වා දුරක් යාමට සමත් වූ බව සැබෑ මුත් ඇත්තෙන්ම සමාජයෙන් කැපී පෙනෙන සුළු බහුතරයක්ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් මුළුමනින්ම පාහේද ඉඳුරාම සිටියේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ සංකල්පයට මාරාන්තිකව එරෙහි වන ස්ථාවරයකයි. එහෙයින්ද එමෙන්ම මේ හා බැඳෙමින්ම වර්ධනය වූ තරුණ කැරැල්ල 88-89 වසර වලදී අතිශය උත්සන්න තැනකට වර්ධනය වීම මගින්ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අවලංගු කර දැමුනේ රජය තීරණාත්මක පරාජයකට ලක් කරමිනි. එය කොතෙක් තීරණාත්මක වී ද කිවහොත් මහා පරිමාණ පුද්ගලීකරණ ක්‍රියාවලියකට ඇත ගැසූ අනුප්‍රාප්තික ප්‍රේමදාස ජනාධිපතිවරයාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට තරම් එඩිතර වූයේ නැත. 


ඇත්තෙන්ම එය ආර්ථිකය සඳහා වූ පෞද්ගලික අංශයේ සහභාගිත්වයට එරෙහි වීම, විලාසිතාවක් ලෙස සමාජය තුල ස්ථාපිතව පැවති සාමයකැයි කිව හැකිය. රාජ්‍ය බලය එක්සත් ජාතික පක්ෂය සතුව පැවතියද සමාජ මතවාදය සකසන්නවුන්ගෙන් අති බහුතරයක් ආණ්ඩු විරෝධීන් වූ අතර රජයේ ප්‍රධානතම වැඩ පිළිවෙලක් වූ විවෘත ආර්ථිකය ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් විය. විශ්ව විද්‍යාල කොහොමටත් පැවතියේ වාමවාදී හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයන්හී කේන්ද්‍රස්ථාන වශයෙනි. එහෙයින් අන් කොතැනටත් වඩා වැඩි උද්‍යෝගයකින් පෞද්ගලික අංශයට එරෙහි විරෝධය විශ්ව විද්‍යාල තුලදී ප්‍රකාශයට පත්වීම තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. මෙය වඩාත්ම තීව්‍ර වූයේ තමන්ගේ ම දෙය වන උසස් අධ්‍යාපනයටත් එකී 'අපකීර්තිමත්' ක්‍රමය පැමිණෙන බව පෙනුණු විටයි. මේ සමගම විවෘත ආර්ථිකයට එරෙහි මතවාදය වඩාත් උත්කර්ෂයට නැංවුණු බවක් දැකිය හැකිය. මෙය විලාසිතාවක ආකාරයක් ගත්තේයැයි පැවසිය යුතු වන්නේ අවස්ථාවෙන් අවස්ථාවට වෙන වෙනම සලකා බලනවාට වඩා එවකට සිදු වූයේ පෞද්ගලික අංශයේ පැමිණීම කොහොමටත් අයහපත්ය යන ආකාල්පයකින් සෑම දෙයකටම එරෙහි වීම වන බැවිනි. ව්‍යවසායකයා හෝ ව්‍යාපාරිකයා සාමාන්‍යයෙන් චිත්‍රණය වූයේ මහත බඩකින් ගොරෝසු උඩු රැවුළකින් හා රකුස් රකුස් මුහුණකින් යුත් කළු කඩ මුදලාලී කෙනෙකු ලෙසිනි. දැන් සිදුව ඇත්තේ පුදුම සහගත පරිවර්තනයකි. මතවාදී සමාජය එක් විලාසිතාවක සිට ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ විලාසිතාවට මාරු වී තිබේ. එදා තිබුනේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට යාන්තමින් හෝ පක්ෂපාතී වීම ද්‍රෝහී කමක් ලෙස සැලකුණු තත්වයක්නම් අද ඇත්තේ ඒ පිළිබඳව යාන්තමින් හෝ සැකකිරීම මෝඩ කමක්, ළිං මැඩි චින්තනයක්, පසුගාමිත්වයක්, ලෝකය පිලිබඳ අනවබෝධයක් ලෙස සලකන තත්වයකි. 


මෙය ආරම්භ වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයට පත්වීමත් සමගිනි. එතෙක් කල් දාහත් අවුරුද්දක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ද ඒ හා බැඳුනු වාමාංශිකයන්ද එ. ජා. ප. යට එරෙහි ප්‍රධාන චෝදනාවක් ලෙස නගමින් තිබුනේ විවෘත ආර්ථිකයයි. රාජ්‍ය අංශය හා සමාන්තරව ආර්ථිකයට මැදිහත් වීමට ජයවර්ධන ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට ඉඩ සලසා තිබූ අතර රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකකරණය කරන තාක් දුරටම ප්‍රේමදාස ජනාධිපතිවරයා ගමන් කර තිබුණේය. එසේ පෞද්ගලිකකරණයක් සිදු වන සෑම අවස්ථාවකදීම එවකට සිටි විපක්ෂය අවේගයෙන්ද කෝපයෙන්ද එයට පරතිචාර දැක්වීය. එහෙත් එ. ජා. ප. පාලනය අවසන් කිරීමේ ප්‍රාර්ථනය යථාර්ථයක් බවට පත් කිරීමේ විභවය සහිත එකම නායිකාව ලෙස පහල වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රතිපත්තීන් අතර දෛවෝපගත ලෙසින් විවෘත ආර්ථිකය පිළි ගැනීමද විය. ඒ වන විට එ. ජා. ප. ආණ්ඩුව කෙසේ හෝ පලවා හල යුතුය යන්න අනිවාර්ය අවශ්‍යතාවයක් සේ පෙනුණු බැවින් චන්ද්‍රිකාගේ එ සුළු ප්‍රතිපත්තේ 'ප්‍රශ්නය' බාධාවක් කර ගැනීමට කිසිවෙකුත් සිතුවේ නැත. ඒ වෙනුවට චන්ද්‍රිකාගේ ප්‍රතිරූපය වඩා පිරිසිදුව සහ යුක්තිසහගතව තැබීමේ අරමුණින් සිදු වූයේ මානුෂික කරන ලද විවෘත ආර්ථිකයක් රටට වැඩදායක වේය යන තර්කය ඉදිරිපත් කරමින් අලුත් තත්වය සාදරයෙන් වැළඳ ගැනීමේ පිළිවෙතකට මාරු වීමයි. මේ වන විට නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් ආදර්ශය ද ස්ථිර ලෙසින්ම බිඳ වැටී තිබූ බැවින් මේ පරිවර්තනය ඉතා පහසු දෙයක් බවට පත්ව තිබිණි.


විවෘත ආර්ථිකයට 'මානුෂික මුහුණුවරක් දීම' යන්න හුදු අලංකාරෝක්තියක් පමණි. ඇත්තෙන්ම නම් සිදු වූයේ ඇය ප්‍රේමදාස ජනාධිපතිවරයාටත් එහා යමින් පෙර නොවූ විරූ පෞද්ගලිකකරණයකට යොමු වීමයි. ඒ අනුව එය ආරම්භ කලේ තමන් බැවින් එ. ජා. ප. යද දැන් එය මහා පරිමාණයෙන් කරන්නේ තම නායිකාව බැවින් ශ්‍රී. ල. නි. ප. යද රැඩිකල් භාවය හා ඊට අවශ්‍ය ශක්තිය සිඳී ගොස් තිබු බැවින් වාමාංශයද නව තත්වය ඉදිරියේ නිහඬ වූ බැවින් ක්‍රමයෙන් පෞද්ගලිකකරණය පිළිගත් දෙයක් බවට පත් විය. එහෙයින් ඒ හා බැඳී සිදු වූ සමහර අක්‍රමිකතා හා වංචා දූෂණ පිළිබඳව විනා ප්‍රතිපත්තිය පිලිබඳ විවේචනයක් තවදුරටත් එතරම් ශක්තිමත්ව ඉදිරිපත් නොවීය.


රාජ්‍ය ආයතනයන් පෞද්ගලිකකරණය කරන්නට ගත් සමහර උත්සාහයන් ඒ ඒ ආයතනයන්හී වෘත්තීය සමිතිවල ශක්තිය මත වැළකුණු බව සැබෑය. එහෙත් ඒ හැමවිටකම වාගේ සමාජ මතය වූයේ මෙම ආයතන වලින් මීට වඩා හොඳ සේවයක් ඒවා පෞද්ගලිකකරණය කළහොත් ලබාගත හැකි බවයි. "ඕවා පෞද්ගලිකකරණය කරන්නමයි තියෙන්නේ" යනුවෙන් සුලබව ඇසුණු, දැනටමත් ඇසෙන වාක්‍යයෙන් කියවෙන්නේ කරුණු දෙකකි. පළමුවැන්න එකී ආයතන වල හරියට සේවය නොකරන, උද්දච්ඡ නිලධාරීන්ට එමගින් පාඩමක් ඉගැන්විය යුතු බවයි. දෙවැන්න පෞද්ගලිකකරණය මගින් එම ආයතන කාර්යක්ෂම හා ලාභදායි කල හැකි බවයි. රාජ්‍ය ආයතනයකින් සිදු විය යුතු සේවය අපේක්ෂිත මට්ටමකින් සිදු නොවන්නේනම් ඊට අති එකම විසඳුම පෞද්ගලිකකරණය වන බවට බලවත් සමාජ මතයක් දැන් අති වී තිබේ. එහෙත් මෙය අනතුරුදායක ලෙසින් සාමාන්‍යකරණය කරන ලද එමෙන්ම එතරම් තාර්කික නොවන අදහසකි. වෙනත් අයුරකින් කිවහොත් විලාසිතාවකි. 

ඇත්තෙන්ම නම් නොපමාව පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට පිහිටුවිය යුතුයැයි කියන අයද බොහෝ විටම මේ විලාසිතාවේ අචේතනික ගොදුරු විනා දැනට ක්‍රියාත්මක උසස් අධ්‍යාපන ක්‍රමයෙහි ජයග්‍රහණ හා ගැටළු පිලිබඳ විධිමත් අධ්‍යයනයක යෙදුනවුන් ලෙස නොපෙනේ. අසාමාන්‍ය ලෙස ලියුම් ප්‍රමාද වන විට තැපැල් දෙපාර්තමේන්තුවද, දුම්රිය ප්‍රමාද වන විට දුම්රිය දෙපාර්තමේන්තුවද වහාම පෞද්ගලීකරණය කල යුතුයැයි තැපැල් හලේ හෝ දුම්රියපොළේ සිටම යමෙක් කෝපයෙන් යෝජනා කරන්නේ යම් සේද උසස් අධ්‍යාපන ක්‍රමයේ ගැටළු දකින විට වහාම පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවිය යුතුයැයි යෝජනා කරන්නේද එසේමය. උසස් පෙළ ඉහලින්ම සමත් සමහරු සරසවි වරම් නොලබති. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉගෙන ගන්නවාට වඩා ගහ මරා ගන්නා බවක් රූපවාහිනී ප්‍රවෘත්ති බලන විට පෙනී යයි. කෙසේ හෝ උපාධිය ලබා ගත්තද රැකියාවක් නොලැබෙන බවද ප්‍රචලිතය. තවත් බොහෝ ප්‍රශ්නය. ඉතින් මේවාට විසඳුමක් අවශ්‍යය. මෙයාකාරයේ රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවන්ට නොවරදින සුළු ප්‍රතිකර්මය වන පෞද්ගලිකකරණය තිබෙද්දී තවත් ප්‍රමාද වෙමින් සිටින්නේ ඇයි? 80 දශකයේ දී රජය බැනුම් ඇසුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට උත්සාහ කල නිසාය. දැන් බැනුම් අසන්නේ එය ප්‍රමාද කරමින් සිටින නිසාය.

අද පවත්නා තත්වය 1980 දශකයේහි පැවති තත්වයට වඩා ඉතාමත්ම අයහපත් හා බරපතල එකක් වී තිබෙන්නේ එහෙයිනි. සමාජයෙන් සැලකිය යුතු පිරිසක් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම පිලිබඳ යෝජනාව සාදරයෙන් වැළඳගෙන තිබේ. තවත් පිරිසක් සිටින්නේ මෙහි යම් යම් වැරදි තිබිය හැකි උවත් ඒවා එතරම් තීරණාත්මක නොවේ යැයි කල්පනා කරන තැනකය. ඒ අනුව දැන් මේ යෝජනාවට ලැබී ඇත්තේ බලවත් සහයෝගයක් සහ නිහඬ අනුමැතියකැයි කිව හැකි තත්වයකි. එහෙත් අවාසනාව වන්නේ මේ කිසිවෙක් මේ පිලිබඳවත් ඒ හා බැඳුනු ගැටළු පිලිබඳ කිසිදු අධ්‍යයනයක නොයෙදුණු සමහර විට ඒ සම්බන්ධව අඩුම තරමින් පැය කීපයක් කල්පනා කිරීමට තරම්වත් මහන්සි නොවූ පිරිසක් වීමයි. මාගේ පෞද්ගලික අත්දැකීම වන්නේ ඉතා තදබල ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල යෝජනාවට සහාය පළ කරන අයෙකුගෙන් තීරණාත්මක ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් හා ඉතා කෙටි කරුණු පැහැදිලි කිරීමක් කිරීමෙන් ඔහුව හෝ අයව එක්කෝ පහසුවෙන් වෙනස් කල හැකි නැතිනම් අඩුම තරමින් නිහඬ කල හැකි බවයි. යම් සමාජයක් යම් වැදගත් සංසිද්ධියක් හා සම්බන්ධ වන්නේ මෙබඳු විලාසිතාමය නැතිනම් අන්ධ ස්වාභාවයකින්නම් එහි තේරුම එය කිසිසේත්ම පුරවැසි සමාජයක් නොවන බවයි. එකඟ වීමට හෝ විරුද්ධ වීමට පෙර ඒ පිලිබඳ බලවත් විමර්ශනයක් අත්‍යවශ්‍යය. අද පෞද්ගලික විශ්වවිද්‍යාල පිලිබඳ යෝජනාවට සමහර විට බලවත් උද්‍යෝගයෙන් යුතුව සහය පළ කරන්නවුන් අතර දැකිය නොහැක්කේ ද එයමය. මෙය සාමාන්‍ය පොදු ජනතාව අතර පමණක් නොව උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා වැනි මෙම යෝජනාවේ ප්‍රධාන යෝජකයන් අතරද දැකිය හැකි තත්වයකි. 


අනෙක් අතට මෙම යෝජනාවට විරුද්ධ වීම පවා සිදු විය යුත්තේ හැඟීම්බර, ආවේගකාරී සහ අතාර්කික ආකාරයකට නොව තාරිකක් හා සබුද්ධික ආකාරයකටය. "පෞද්ගලික විශ්වවිද්‍යාල එපා" යන හුදු සටන් පාඨය හඬ නැගීමෙන් පමණක් ඵලක් නැත. එසේ එපා කියන්නේ ඇයිදැයි පැහැදිලි කල යුතුය. එසේ නම් කල යුත්තේ කුමක්දැයි යෝජනා විය යුතුය. ඇත්තෙන්ම මෙබඳු කරුණු සාකච්චා වීම මෙවර මෙසේ අතපසු වී ගියේ අන් කිසිවක් නිසා නොව පෞද්ගලික විශ්වවිද්‍යාල යෝජනාව අරභයා ප්‍රමාණවත් සංවාදයක් අති නොවූ නිසාය. කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් පුවත්පත් ලිපි කිහිපයක් වරින් වර ලියවුනද කන්නන්ගර මහතා විසින් නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමෙන් පසු සිදු කරන්නට යන ප්‍රධානතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලෙස සැලකිය හැකි මෙය මෙසේ ඉදිරිපත් වන අවස්ථාවේදී එහි බරපතලකමට තරම් වන සංවාදයක් කිසිසේත්ම අති නොවූ බව කණගාටුවෙන් යුතුව සඳහන් කරන්නට සිදු වේ. මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමයට ඉමහත් සේ බලපාන මේ නව හඳුන්වා දීම පිළිබඳව පක්ෂව හෝ විපක්ෂව කරුණු දක්වන්නට ඉදිරිපත් වූයේ පුදුමයකට මෙන් කථිකාචාර්යවරුන් අතරින් කෙනෙකු දෙන්නෙකු පමණකි. එමෙන්ම අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශ නිලධාරීන් සිටින්නේද පොහොසත් සංවාදයක් තුළින් මතුවන කරුණු මත නිගමනයකට එළඹීමේ විවෘත මනසකින් නොව තමන් කිසියම් දිනක හදිසියෙන් එළඹුණු නිගමනයක් කෙසේ හෝ ක්‍රියාත්මක කල යුතුය යන අනම්‍ය සහ උද්දච්ඡ පිළිවෙතකය. ඒ අනුව ඔවුන් සිතන්නේ සංවාදයක් යානි අනවශ්‍ය ලෙස කාලය කා දැමීමක් බවයි. මීට අමතරව බොහෝ ජනමාධ්‍යයන්ද මෙය එතරම් වැදගත් මාතෘකාවක් ලෙස නොසලකති. එහෙයින් සංවාදයක් සඳහා වූ අවස්ථාව තව තවත් හැකිළී ගොස් තිබේ. 


දැනුම, බුද්ධිය හා තාර්කික බව යට යන විට රජ කරන්නේ විලාසිතාවන්ය. පෞද්ගලික විශ්වවිද්‍යාල පිලිබඳ වත්මන් විලාසිතාව සමාජය සිසාරා ඉතා අධිපත්‍යධාරී අයුරින් මෙසේ පැතිර යමින් ඇත්තේද දැනුමට, බුද්ධියට හා තාර්කික බවට ඉඩ සැලසෙන සංවාදයක් එසේ ඒ අරභයා නිර්මාණය වී නැති බැවිනි. ඒ අනුව මේ පොත ලිවීමෙහි මූලික පරමාර්ථය වන්නෙම පෞද්ගලික විශ්වවිද්‍යාල පිලිබඳ විධිමත් සංවාදයකට ප්‍රවේශයක් ලබාදීමයි. පෞද්ගලික විශ්වවිද්‍යාල යෝජනාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු පිරිස එය කරන්නට යන්නේ හැකිතරම් දුරට එබඳු සංවාදයක් ඇතිවීමත්, ඊට සහභාගී වීමත් වළක්වමින් හා මඟ හරිමින් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එම යෝජනාවේ නිෂ්ඵල බව සහ හානිකර බව පෙන්වා දෙන ශක්තිමත් මහජන හඬක් ඒකපාක්ෂිකව හෝ නැගේනම් එය එසේ සම්පූර්ණයෙන්ම මඟ හැර යාමට ඔවුනට නොපුළුවන. එහෙයින් මේ පොත එබඳු මහජන හඬක් අවුළුවාලීම සඳහා අල්ප මාත්‍රයකින් හෝ දායක වේවාය යනු අපගේ ප්‍රාර්ථනයයි. විවෘත සංවාදයක් දැඩිව ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් එවැන්නකට අද ගැනීමට හැක්කේ එලෙසින්ම පමණකි. 

[...]

පෞද්ගලික විශ්වවිද්‍යාල වෙතට මාගේ අවධානය මුලින්ම යොමු වූයේ මීට වසර පහකට පමණ ඉහතදීය. ඒ කාලයේදී පිළියන්දල ප්‍රදශයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීම පිලිබඳ යෝජනාවක් ඉදිර්පත්ව තිබූ අතර 1980 උතුරු කොළඹ [පෞද්ගලික] වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නායකයෙකුව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඒ වෙනුවෙන් ඉතා තදින් පක්ෂපාත වී සිටියේ බොහෝ දෙනෙකු පුදුමයට පත් කරවමිනි. ඒ අනුව 2006 නොවැම්බර් 19 වෙනි දින ඉරිදා දිවයින සංග්‍රහයට ඒ පිළිබඳව වූ මගේ පළමු ලිපිය ලීවෙමි. එතැන් සිට ගත වූ කාලය පුරා ලියූ ලිපි සංක්‍යාව තිහකට අධිකය. විශේෂයෙන්ම පසුගිය වර්ෂයේදී එස්. බී. දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇමතිවරයා වීමෙන් පසුව ඔහු ඉතා උද්‍යෝගිමත්ව පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටින්නට වීමත් සමගම ඊට එරෙහිව කරුණු දැක්වීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් විය. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව පෙරටත් වඩා විශේෂ උනන්දුවකින් යුතුව කරුණු අධ්‍යනය කරන්නටත්, අදහස් දක්වන්නටත් සිදු වූයේ එහෙයිනි. කෙසේවෙතත්, බලධාරීන්ගේ අභිප්‍රාය වී තිබුනේ කිසිදු සංවාදයකට ලක් නොකොට, විරෝධයකට ඉඩක් නොතබා බලහත්කාරයෙන්ම වාගේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම වුවත් එය මේ තරමින් හෝ මාතෘකාවක් බවට පත් වූයේ පුවත්පත් ස්වල්පයක් පමණක්වත් මේ පිලිබඳ සංවාදයකට ඉඩක් ලබා දුන් නිසාය. එහෙයින් මීට වසරකට පෙර තිබුනාට වඩා කුමන හෝ සුබදායී වෙනසක් මේ මාතෘකාව සම්බන්ධයෙන් සමාජයෙහි අති වී ඇත්නම්, ඊට හිමි ප්‍රශංසාවෙන් වැඩි කොටසක් පුවත්පත් කිහිපයකට හිමිවිය යුතුය. 


2 comments:

  1. මෙම කමෙන්ටුව මෙහි පල කිරීමට ඉඩ නොමැති හෙයින් එය කියවිය හැකි link එක මෙහි පල කරමි. එහි අසා ඇති ප්‍රශ්නවලට තමන්ගේ සම්භාව්‍ය විධග්ද පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    http://www.facebook.com/pages/%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F/189404577862002

    ReplyDelete
  2. Why do you say that your philosophy of education is different from that of Anuruddha Pradeep? What is your philosophy of education? Will it not be useful at the present crisis to clearly state what that is?

    ReplyDelete