Sunday, October 14, 2012

අරාබි වසන්තය ඇත්තටම ශ්‍රේෂ්ඨ ද ?

මැද පෙරදිග මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන ඉතා ලාමක විග්‍රහයන් වෙනුවට ඒ පිළිබඳව කිසියම් ආකාරයක ගැඹුරු සාකච්චාවක් කල යුතු බව අප සඳහන් කළෙමු. 'සමාජ වෙනසක්' වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාට අප ජීවත් වන යුගයේ මග හැරිය නොහැකි අත්දැකීමක් තිබෙනවානම් ඒ අන් කිසිවක් නොව මෙම මහජන නැගී සිටීම්ය. 

පහතින් පල වෙන්නේ ඇලේන් බදියු විසින් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලියූ ලිපියක සිංහල පරිවර්තනයේ පළමු කොටසයි. අරාබි නැගී සිටීම් යනු 'ෆේස්බුක් විප්ලව' නැතිනම් 'ඇමෙරිකානු' කුමන්ත්‍රණ කියා කියන නූගතුන්ට මෙන්ම ඒවා 'ගල් ගසන විප්ලව' කියා ඉවතලන ගෝත්‍රික වාමාංෂිකයන්ට මෙයින් බොහෝ දේ ඉගෙනීමට හැකි වනු ඇත. 



මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තන දෙකක් වෙයි. එකක් මෙය ලියවුනු දිනවලම www.lacan.com වෙබ් අඩවියේ පල විය. නමුත් අප මෙම සිංහල පරිවර්තනය සඳහා යොදා ගත්තේ මෑතකදී පල වුනු බදියුගේ කෘතියකි. බලන්න, Badiou, A. (2012), trans. Elliott, G., “The Rebirth of History – Times of Riots and Uprisings”, Verso, London, pp 106 – 114.     





ටියුනීසියාව සහ ඊජිප්තුව : පොදුජන නැගී සිටීම් වල විශ්වීය අර්ථවත්බව - පළමු කොටස

1. බටහිර සුළඟට ඉහලින් පෙරදිග සුළඟ ජයගනු ඇති 

තව කොපමණ කාලයක් මෙම නිරර්ථක, අඳුරේ අතපත ගාන බටහිර, තමන් ලෝකයේ ස්වාමීන්ය කියා තවමත් සිතන 'ජාත්‍යන්තර ප්‍රජාව', මුළු ග්‍රහ ලෝකයටම යහ පාලනයේ සහ නිවැරදි හැසිරීමේ පාඩම් කියා දෙමින් යනු ඇතිද? අපගේ වේයන් කාපු පාරාදීසයේ ප්‍රාග්ධන-පාර්ලිමේන්තුවාදයට සේවය කරන දිශානතිහරණය වූ සොල්දාදුවන්, ඇමතුම ලද සැනින් සේවයට පැමිණෙන්නට සිටින බුද්ධිමතුන්, ශ්‍රේෂ්ඨ ටියුනීසියානු සහ ඊජිප්තු ජාතික ජනයාට 'ප්‍රජාතන්ත්‍රවාදයේ' '' යනු '' යනු කියාදීමට එම එම වනචාරී මිනිසුන් වෙනුවෙන් කැප වීමේ නාටකය තුල කිසියම් හාස්‍යයක් නැතිද? යටත්විජිතවාදී උද්දච්ච කමේ කොයිතරම් කාලකන්නි නෂ්ටාවශේශයක්ද! දශක තුනක් තිස්සේ අපිට උරුම වී ඇති දේශපාලනික විනාෂත්වය කියන තත්වය තුල හිඳ බැලූ විට සමකාලීන පොදුජන නැගී සිටීම් වලින් සියල්ලම ඉගෙන ගැනීමට තිබෙන්නේ අපිට බව පැහැදිලි නොවේද? කතිපයාදිකාරී, දූෂිත සහ, මෙයට අමතරව - සමහරවිට වඩාත් වැදගත් ලෙස - බටහිර රාජ්‍යයන්ට නින්දාසහගත ලෙස දාසකම් කරනා තත්වයක සිටි ආණ්ඩු සාමූහික ක්‍රියාකාරකම් මගින් පෙරළා දැමිය හැකි වූයේ කෙසේද යන්න අප ඉතාම හදිසි අවශ්‍යතාවයක් ලෙස හොඳින් අධ්‍යනය කල යුතු නොවේද? ඔව්, අප මෙම ව්‍යාපාරයන්ගේ ශිෂ්‍යයන් මිස එහි මෝඩ න්‍යායාචාර්යවරුන් විය යුතු නොවේ. මන්ද, කල් ඉකුත්වී ඇතිය කියා අපිට තහවුරු කිරීමට බොහෝ දෙනා උත්සුක වුනු දේශපාලනයේ සමහර මූලධර්ම  ඔවුන්ගේ නිපැයුම් වල අමුතු ශ්‍රේෂ්ඨත්වය තුලින් ඔවුන් යලි ගොඩ ගනිමින් සිටී. විශේෂයෙන්ම මරා විසින් නිතරම මතක් කල මෙම මූලධර්මය : නිදහස, සමානාත්මතාවය සහ විමුක්තිය සම්බන්ධ කරුණු වලදී, අප පොදුජන කැරලි වලට පූර්ණ ණයගැති වන්නෙමු.     

2. කැරලි ගැසීම නිවැරදි වෙයි.

හරියටම අපගේ රාජ්‍යයන් සහ ඒවාට වන්දිභට්ට කම් කරන්නන් (පක්ෂ, වෘත්තීය සමිති සහ වහල් බුද්ධිමතුන්) දේශපාලනයට ඉහලින් පාලනය (governance  to politics) කැමති වන්නා සේම, ඔවුන් කැරලි ගැසීම වලට වඩා ඉල්ලීම් වලටත්, හදිසි වෙන්වීමකට වඩා 'සාමකාමී පරිවර්තනයකටත්' කැමති වෙයි. ඊජිපිතියානු සහ ටියුනීසියානු ජනයා අපට මතක් කර දෙන්නේ, රාජ්‍ය බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඇති පොදුවේ ගැනෙන අපකීර්තිමත් අර්ථය හා සම විය හැකි එකම ක්‍රියාකාරකම වන්නේ මහජන නැගී සිටීම් යන්නය. ඒ එක්කම මෙම මොහොත තුල එකිනෙකාගෙන් වෙනස් වූ බහුතරය එකතු කල හැකි එකම සටන් පාඨය වන්නේ මෙයයි : "තමුසේ, වහාම ගෙදර යනවා"! මෙම මොහොත තුලදී මෙම කැරැල්ලේ ඇති සුවිශේෂී වැදගත් කම, එහි විචාරාත්මක බලය, තිබෙන්නේ මිලියන ගණනක් මගින් පුනරුච්චාරණය කල මෙම සටන් පාඨයේ - ප්‍රශ්න කල නොහැකි ලෙස, ආපසු හැරවිය නොහැකි ලෙස - ආරම්භක ජයග්‍රහණ කුමක්ද කියා මින් අපට පෙන්වීම තුලයි : ඒ තමයි, එලෙස නම් කල මිනිසාගේ පලා යාම. එතනින් පසුව කුමක් උවත්, නිතැතින්ම නීතිවිරෝධී වූ මෙම පොදුජන ක්‍රියාකාරකමේ ජය, සදාකාලිකවම ජයග්‍රාහී වනු ඇත. දැන්, රාජ්‍ය බලයට එරෙහි කැරැල්ලක්, පරම ලෙස ජයග්‍රාහී විය හැකිය යන්න විශ්වීය ලෙස අර්ථසම්පන්න වන පාඩමකි. නීතියේ ආධිපත්‍යයෙන් ඉවත් කරන ලද අඩු කරන ලද (subtracted) සෑම සාමූහික ක්‍රියාකාරකමක්ම වෙන්ව පෙනෙන්නේ කුමන සිතිජයක හිඳද යන්න මෙම ජයග්‍රහණ සදාකාලිකවම පෙන්වයි - ඒ තමයි මාක්ස් කිව්වේ 'රාජ්‍යයේ වියැකී යාම' කියල. වෙනත් වචන වලින් කියන්නේනම්, එක් දිනකදී, තමන්ගේ නිර්මාණශීලී බලය යොදා ගැනීමේදී නිදහස් ලෙස එකතු වී සිටින ජනතාවන්, එය බිහිසුණු රාජ්‍ය බලකිරීම නොමැතිව සිදු කරනු ඇති බවයි. මෙන්න මේ නිසා තමයි, මෙන්න මේ අවසාන අදහස (Idea) වෙනුවෙන් තමයි, තහවුරු වූ අධිකාරියක් දණගස්වන කැරැල්ලක් ලොව පුරාම කොන්දේසි විරහිත උද්‍යෝගයක් ජනනය කරන්නේ.

3. එක ගිනි පුපුරකින් ලැව්ගින්නක් ඇති කල හැකිය

සියල්ල ආරම්භ වූයේ විරැකියාවට ඇද දමා තිබූ මිනිසෙක්, තමන්ට පන නල ගැට ගසා ගැනීමට ඉඩ දුන් වේදනාකාරී පදික වෙළඳාමේ යෙදීමෙන් ඔවුන්ට තහනම් කරනට අවශ්‍ය වූ මිනිසෙක් සහ මහපොළවේ සැබෑව කුමක්ද කියා ඔහුට අවබෝධ කර දීමට පොලිස්කාරිනියක් විසින් කණට ගසන ලද මිනිසෙක් තමන්ට ගිනි තබා ගනිමින් සිය දිවි නසා ගැනීමත් සමගය.  දින කීපයකින්, සති කීපයකින්, මෙම මුද්‍රාව දුරින් පිහිටි චතුරශ්‍රයක සිට සිය සතුට කෑ ගසා කී මිලියන ගණනක ජනයා වෙතත් හිස ගිනි ගත එකාධිපතියකුගේ නික්ම යාම වෙතත් දිගු විය. මෙම විශ්මිත විස්තාරණය පැමිණියේ කොතැනක සිටද? නිදහස නම් වසංගතයක ව්‍යාප්තියද? ජොන්-මේරී ග්ලයිස් කාව්‍යාත්මකව එය කියූ ලෙසම 'විප්ලවවාදී ව්‍යාපාරයක් ව්‍යාප්ත වන්නේ ප්‍රතිවිරෝධය තුලින් නොව ප්‍රතිනාදය (resonance) තුලින්ය. එතනදී ගොඩ නැගු දෙයක් විසින් නිකුත් කරන කම්පණ තරංගය සමග මෙතන ගොඩනැගු දෙයක් ප්‍රතිනාද දෙයි'. අපි කියමු මේ ප්‍රතිනාදයට 'සිදුවීමක්' කියා. සිදුවීමක් කියන්නේ නව යථාර්ථයක හදිසි බිහි කිරීමක් නොව, අපරිමිත වූ නව වියහැකිභාවයක හදිසි බිහි වීමයි. ඒ එකක්වත් මේ වනවිටත් දන්නා දෙයෙහි පුනරාවර්තනය නොවෙයි. 'මෙම ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි' (මින් අදහස් කරන්නේ අපිට මේ බටහිර තියෙන මාදිලියේ එකක්) නැතිනම් 'මෙම ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ සමාජ වර්ධනයයි' (මින් අදහස් කරන්නේ අපි අතර ඉන්නා සුළු-ධනේශ්වරයාගේ සාමාන්‍යය සෞභාග්‍ය යයි) වැනි දේ කියන එක ව්‍යාකූලවාදී (obscurantist) වන්නේ මෙම නිසාය. කිසිවක්ම නොමැති දෙයකින් වාගේ ආරම්භ වී, සෑම තැනම ප්‍රතිනාද දෙමින්, මෙම පොදුජන නැගී සිටීම මුළු ලොවටම කිසිදා අසා නොතිබුණු වියහැකිභාවයන් නිර්මාණය කරයි. 'ප්‍රජාතන්ත්‍රවාදය' නම් වචනය ඊජිප්තුව තුල සඳහන් නොවෙන තරම්ය. එහි සිටින ජනයා කතා කරන්නේ මින් පෙර දැන නොසිටි සහ මෙයට පෙර පහල නොවුණු වියහැකිභාවයන් වන 'නව ඊජිප්තුව', 'සැබෑ ඊජිප්තුවානු ජනයා',  නියෝජිත සභාවක් (a constituent assembly), සාංදෘෂ්ඨිකත්වයේ පරම වූ වෙනසක් ආදිය පිළිබඳවයි. මේ තමයි නැගී සිටීමේ ගිනිපුපුර මගින් ගිනි තබන ලද තණ බිම තවදුරටත් නොමැති විට පැමිණීමට නියමිත නව තණ බිම. මෙම අනාගත තණ බිම රැඳී තිබෙන්නේ බල තුලනයේ කණපිට පෙරලීමක් පිළිබඳව කරන ප්‍රකාශනයක් සහ අලුත් කාර්යයක් බාර ගැනීම පිළිබඳව කරන ප්‍රකාශනයක් අතරතුරය; තරුණ ටියුනීසියානුවෙක් කියූ දෙයක් - 'කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ පුතුන් වන අප, අපරාධකරුවන්ට වඩා ශක්තිමත්ය' - සහ තරුණ ඊජුප්තු ජාතිකයෙක් කියූ දෙයක් - 'ජනවාරි 25 වන අද දිනයේ සිට, මගේ රටේ කටයුතු මගේ අතට ගන්නෙමි' - අතරතුරය.


පරිවර්තනය - වංගීස සුමනසේකර

3 comments:

  1. අලුත් ඇඳුම හොඳයි.
    ජනරල පත්තෙේ ගිය ඉතිහාසය ගැන භෞතිකවාදී කියවීම මේනෙ දානවනම් වටිනව.

    ReplyDelete
    Replies
    1. එය ඉදිරියේදී පල කිරීමට බලාපොරොත්තු වෙමු. මෙතෙක් එය ප්‍රමාද වූයේ, එහි අඩු පාඩු සකස් කිරීම සඳහා වෙලාවක් සොයා ගැනීමට නිර්මාල්ට පසු ගිය සමයේ නොහැකි වූ නිසාය :D

      Delete
    2. එය පොතක් ලෙස හැකි නම් පල කරන්න.මෙවැනි ලිපියක පරිවර්තනයක් හොදයි.ඒත් වඩාත් හොදයි මුල් අදහස් දැක්වීම් ඇසුරින් ඔබට ස්වතන්ත්‍ර අදහස් දැක්වීමක් දක්වා යා හැකි නම්.එනම් මුල් අදහස් ඇසුරින් ඔබේ විග්‍රහයක් ඉදිරිපත් කරනවා නම්.

      Delete