Showing posts with label මධ්‍යස්ථානය. Show all posts
Showing posts with label මධ්‍යස්ථානය. Show all posts

Monday, June 4, 2012

අප රක්නා උරුමය!

පහතින් පල වන්නේ 1997 ඔක්තෝම්බර් මස "මාතොට" සඟරාවේ සංස්කාරක සටහනයි. වසර පහලවකට පසු අප හමුවේ ඇති චිත්‍රය කුමක්ද? එකල අප සමග මෙම අරගලයේ සිටි ගමන් සගයන් සමහරක් අද ලිංගික සදාචාරවාදයන් දේශනා කරමින් වෙසක් දිනයට සහ පොසොන් දිනයට නිවේදන නිකුත් කරයි. 'නිදහස්-ප්‍රේමය' වෙනුවෙන් එදා පෙනී සිටි අයම අද අප ඒ ගැන කතා කරන විට අපට වලත්තයන්, විපරීතයන් කියමින් සමාජය ගිනි තියයි. ඔවුන් දැන් පෙනී ඉන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සාරය රැක ගැනීමට යි. බදියු පවසනා පරිදි මේ ඉතිහාසය යලි ඉපැදීමේ යුගයයි. එම නිසා සදාකාලික වර්තමානයක ගිලී ඉන්නා රැඩිකල් දේශපාලන සංවාදයට අප නැවතත් 'ඉතිහාසය' රැගෙන එන්නට තීරණය කළෙමු.

ආදරය සහ සමාජය
 

Friday, June 1, 2012

පුහුල් හොරාගේ ව්‍යුහාත්මක යථාර්ථය



අපගේ බ්ලොග් අඩවියේ පලවූ ලිපිවල ලින්ක්ස් ෆේස්බුක් වෙබ් අඩවියේ පල කිරීම වළක්වමින් එහි URL එක ඊයේ දිනයේදී ෆේස්බුක් වෙබ් අඩවිය පවත්වාගෙන යන්නන් විසින් නවතා දැමූ බව ඔබ දන්නවා ඇතැයි කියා සිතමු. මෙයට හේතුව වුයේ අපගේ බ්ලොග් අඩවිය spammy සහ/හෝ abusive බව කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් එහි පරිපාලකයින්ට වාර්තා කර තිබූ නිසා ය. මෙසේ වාර්තා කර ඇත්තේ කවුරුන්ද කියා අපි නොදනිමු. අපව මර්ධනය කිරීමට අවශ්‍යය වන්නේ කාටද කියා උපකල්පනය කිරීමට පමණි අපට හැකි වන්නේ.

 
 

සාමාන්‍යය තත්වයන් උඩ ලංකාවේ අදහස් පැවසීමේ අයිතිය මර්ධනය කිරීම සම්බන්ධයෙන් බොහෝ විට ඇඟිල්ල දිගු වෙන්නේ ආණ්ඩුව දෙසටය. නමුත් අපගේ බ්ලොග් අඩවිය පිළිබඳව ෆේස්බුක් එකෙන් ප්‍රචාරය දීම වැලක්වීමට ආණ්ඩුව උත්සාහ කරයි කියනා සිතුවිල්ලද සිනහ උපදවන්නකි. එම නිසා අපගේ අදහස් ප්‍රකාශනය සහ ප්‍රචාරණය ඉවසන්නේ නැති වෙනත් පාර්ශවයක් විසින් මෙය කර ඇති බව පැහැදිලි ය.


Sunday, May 27, 2012

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය


අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජාතික පාසැල් වල සිසු සිසුවියන්ට උසස් පෙළ සඳහා වෙනත් ජාතික පාසැලකට යාම අවහිර කිරීම සඳහා ගනුලැබූ පියවර පසුගිය දිනවල බෙහෙවින් ජන අප‍්‍රසාදයට පාත‍්‍ර විය. මේ පියවර ඒ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූවක් නොවන බවටත් දැනටමත් ඊට අදාල චක‍්‍රලේඛ පවතින බවටත් ගුණවර්ධන මහතා කරන ප‍්‍රකාශය සත්‍යයක් බවට සැකයක් නැත. නමුත් එම චක‍්‍රලේඛ නිසිලෙස ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිළිව පෙනේ. මේ නිසා මේ ගැටලූව දෙස ගුණවර්ධන මහතාට බැට දීමෙන් ඔබ්බට ගොස් සාකච්ඡුා කළ යුතුබව මගේ අදහසයි.

බන්දුල ගුණවර්ධන මහතාගේ තර්කය වන්නේ එක් ජාතික පාසැලකින් තවත් ජාතික පාසැලකට උසස් පෙළ සඳහා මාරුවී යාමට ඉඩ දීම හේතුකරගෙන ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. ඔහු මෙහිදී කොළඹ ප‍්‍රසිද්ධ ජාතික පාසැල් වල සාමාන්‍ය පෙළ සඳහා උසස් ප‍්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඊට වඩා ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීම තම තර්කය සාධාරණීකරණය කිරීම සඳහා උපයෝගී කරගනී. ඔහුගේ තර්කය වන්නේ මේ තත්වය නිසා උසස් ප‍්‍රතිඵල ලබාගෙන ප‍්‍රධාන පෙළේ ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීමට අපේක්ෂාවෙන් සිටින ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. මෙය පහසුවෙන් බිඳහෙලිය හැකි තර්කයක් නොවන අතරම ඇමතිවරයාගේ උත්සාහය මගින් මෙම ගැටලූවට විසඳුමක් ලැබෙන්නේනම් අප එයට එකහෙළාම සහය දැක්විය යුතුය.

Monday, May 21, 2012

යළි-ඉදිරිපත්කිරීමේ මණ්ඩිය කැලැත්තීම

අපේ ලිංගික ජීවිතය පිළිබඳව, අපි ෆේස්බුක් එකේ ඵල කරන ජායාරූප පිළිබඳව, අපි කෑම කන විදිය ආදිය පිළිබඳව කාලයක් තිස්සේ, ප්‍රචාරය වෙමින් තිබෙනා විවිධාකාරයේ මඩ ව්‍යාපෘතීන් සඳහා පසු ගිය සති දෙකක පමණ කාලය තුල අපි පිළිතුරු දුන්නෙමු. මේවාට ලැබුණු විවිධ පාඨක ප්‍රතිචාර අතර තිබුණු පොදු අදහසක් වූයේ, 'ඕගොල්ලෝ හැමදාම කරන්න ඉන්නේ, අපිට මඩ ගහනවා කියල ලතෝනි දෙන එක විතරද? ඔගොල්ලන් ගේ අදහසේ හැටියට මේ වෙලාවේ දේශපාලනය විග්‍රහ කල යුත්තේ කොහොමද කියන එකත් කියන්න ඕන නේද?' යන්නයි. මෙය සාධාරණ තර්කයකි. අපි මේ මේ දේවලට විරුද්ධ වන බව පැවසීම අවශ්‍ය වුවත්, නිශ්චිත ලක්ෂ්‍යයකට පසුව අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද යන්නත් පැහැදිලි කල යුතු ය. එම නිසා අප පවත්නා අවස්ථාව සූත්‍රගත කරනා ආකාරය සහ අරගලය ආකෘතිගත කරගන්නා ආකාරය පිළිබඳව තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් පහතින් ඵල වෙයි.  

මේ සඳහා අප යොදා ගන්න මුලික න්‍යායික ප්‍රවේශය පදනම් වන්නේ ඇලේන් බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" යන කෙටි කෘතියයි. (බලන්න, බදියු, ඇ., "සාකොසි යනු කුමක්ද?"පරි. සුමනසේකර, ව., නුගේගොඩ, සංහිඳ ප්‍රකාශකයෝ, 2011). මේ පරිවර්තනයේ පිළිසිඳ ගැනීම අවජාතක වන්නේය කියා චෝදනා එල්ල වී තිබෙනා හෙයින් ද මෙවැනි ප්‍රවේශයක් ගැනීම ප්‍රයෝජනවත් වන්නේය.

Saturday, May 19, 2012

කල යුත්තේ කුමක්ද?


 

පහතින් ඵල වන්නේ බදියු BBC නාලිකාවේ Hard talk නම් වැඩසටහන සඳහා ස්ටීවන් සැකර්ස් සමග කල සම්මුඛ සාකච්චාවකින් තෝරාගත් කොටස් කීපයක සිංහල පරිවර්තනයකි. මුළු සාකච්චාවම ඇතුලත් යූ ටියුබ් වීඩියෝ දෙක මෙහි අගින් තිබේ. 



සැකර්ස්:


මම කල්පනා කරන්නේ, ඔබ, දාර්ශනිකයෙක්, බුද්ධිමතෙක්, සහ ප්‍රංශයේ අන්ත වාමාංශයේ චරිතයක් ලෙස, ඔබ අපේක්ෂා කරනවාද ප්‍රංශ ජනයා ඔවුන් පෙනෙන තරමට වඩා තරහ ගන්න ඕන කියල? අපිට තිබුන වැඩ වර්ජන දෙක තුනක්, ඉස්සරහට තව එකක් සඳහා  සැලසුමක් තියෙනවා... නමුත් අවංකව, ප්‍රංශ මහජනයා කෙනෙක් බලාපොරොත්තු විය හැකි තරමට තරහින් ඉන්නේ නැනේ?


බදියු :


ඔව්, නමුත් ඇත්තටම 'ජනප්‍රිය ව්‍යාපාරයන්' (popular movements) පිලිබඳ ප්‍රශ්නය කියන්නේ, තරහ ගැනීම පිලිබඳ ප්‍රශ්නයක්, අපහසුතාවයෙන් - විශාල අපහසුතාවයන් - තුල සිටීම, නැතිනම් අර්බුදය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ඒක 'අදහස' (Idea)  පිළිබඳත් ප්‍රශ්නයක්.


ඔබට අනිවාර්යෙන් යම් අදහස් තියෙන්න ඕන - යම් ශ්‍රේෂ්ඨ අදහස්. විමුක්තිය පිලිබඳ අදහස්, ඒ වගේම වෙනත් දෙයක වියහැකිභාවය (possibility) පිලිබඳ අදහස්. මේක ඉතාම වැදගත්. පසුගිය සියවසේ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී අත්හදාබැලීම් වල පරාජයන් වල ප්‍රත්ඵලයක් ලෙස, අපිට අද වෙනත් ලෝකයක් පිලිබඳ පැහැදිලි ශ්‍රේෂ්ඨ අදහසක් නැහැ.


සැකර්ස්:


පොඩ්ඩක් ඉන්න, ඔබ කොමියුනිස්ට්වාදියෙක්ද? නැතිද?


බදියු :


කොමියුනිස්ට්වාදය කියන්නේ නව්‍ය වියහැකිභාවයක් සම්භන්ධයෙන් 19 වෙනි සියවසේ තිබුණු ශ්‍රේෂ්ඨ අදහසක්. නමුත් පසු ගිය සියවසේ, මෙම අදහස මත කෙරුණු සියලුම අත්හදාබැලීම් අසාර්ථක උනා. එම නිසා අපිට අද සිද්ධවෙනවා, යලි ගොඩ නගන්න - ධනවාදයේ අර්බුදයට පසු නව විසඳුම නෙමෙයි -අපිට සිද්ධ වෙනවා අදහස යලි ගොඩ නගන්න. 


සැකර්ස්:


පොඩ්ඩක් ඉන්න, මම ඔබගේ ලියවිලි කියවනවා.එතකොට මට දැක්ක ඔබ මෑතකදී කියා තිබෙනවා "කොමියුනිස්ට්වාදය තමයි නිවැරදි උපන්‍යාසය කියල"...?


බදියු :


මම හිතනවා කොමියුනිස්ට්වාදය තමයි වෙනස් ආකෘතියක සමාජයකට තිබෙන නිවැරදි නම. මොකද කොමියුනිස්ට්වාදය යන්නෙන්, පළමුවෙන්ම, හැඟවෙන්නේ පුද්ගල උවමනාවන් මගින් පාලනය වන්නේ නැති සමාජයක්....


සැකර්ස්:


නමුත්, ඔබ දැන් ඔහොම කියනකොට - ඔබ මේ වනවිටත් මේ ප්‍රශ්නය ගැන ඉඟි කළා - ප්‍රංශයේ ජනයා, බ්‍රිතාන්‍යයේ ජනයා, ලොව වටා ඉන්න ජනයා ඔබට සරලව කියාවි "ඇලේන් බදියු, බලන්න; විසිවෙනි සියවස දිහා! බලන්න; අපේ මෑත කාලීන ඉතිහාසය දිහා! ඔබ කොහොමද කියන්නේ කොමියුනිස්ට්වාදය තමයි නිවැරදි උපන්‍යාසය කියල, අපි හොඳටම දැනගෙන ඉන්නකොට අපේ ජීවිත කාලයේ තිබුණු කොමියුනිස්ට්වාදයේ තියෙන අධිකාරිවාදී සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවනතාවයන් දිහා.


බදියු :


ඔව්, නමුත් අපි, කොමියුනිස්ට්වාදය නම් ගණික (generic) අදහසේ - නිදර්ශනයක් ලෙස මාක්ස් ගේ කෘතීන් වල - සහ පසුගිය සියවසේ අත්දැකීම් අතර විභේදනයක් ඇති කල යුතුයි. මොකද පසු ගිය සියවසේ අත්දැකීම් කියන්නේ, අලුත් සමාජයක් යථාර්ථවත් කර ගැනීමේ පළමු ප්‍රයත්නයන්. මෙම ප්‍රයත්නයන් අසාර්ථක උනා. ඒක ඇත්ත. නමුත් අත්හදා බැලීමේ අසාර්ථක වීම කියන්නේ අදහසේ අසාර්ථක වීම නෙමෙයි. මම හිතන්නේ නෑ. 


සැකර්ස්:


නමුත් මේ මගින් ඔබගේ කොමියුනිස්ට් පක්ෂපාතිත්වය, හුදු විශ්වාසයකට වඩා වැඩි දෙයක් නෙමෙයිනේ... ඔබ නිකන් විසි වෙනි සියවසේ අත්දැකීම් ගැන කියන්නේ 'ඒවා පිරිසිදු මදි, ඒවා අදසට අනුව නිවැරදි ලෙස උනේ නෑ. නමුත් මම දන්නවා අදහස නිවැරදියි කියල'. මේක එක්තරා ආකාරයක භක්තියක්. 


බදියු :


වෙන්න පුළුවන්. නමුත් භක්තිය කියන්නේ සමහර විට හොඳ දෙයක්. 


[....]


මගේ ලෝක දැක්ම දාර්ශනික එකක්. මම කවදාවත් ලෝකය පවතින විදිය, එය එලෙසම පවතින නිසාවෙන්ම, පිළිගන්නේ නැහැ. දාර්ශනිකයා කියන්නේ සෑමවිටම විචාරකයෙක්. ආරම්භයේ ඉඳලම, ඒ කියන්නේ සොක්‍රටීස් ඉඳලම, අපි මතවාදයන් (opinions) පිළිගන්නේ නෑ. කිසියම් මතවාදයක් ආධිපත්‍යධාරී වීම එකක්. නමුත් ඒක ආධිපත්‍යධාරී නිසාම දාර්ශනිකයා එය පිළිගන්නේ නෑ.


[...]


මම හිතන්නේ අපි ඉන්නේ, දීර්ඝ පා ගමනක ආරම්භයේ. මේකට නිශ්චිත හේතුව තමයි, අපිට ගිය සියවසේ අත්හදා බැලීම් තවදුරටත් ඉදිරියට ගෙනියන්න බෑ.ඒක ඉවරයි. අපි ඉන්නේ අලුත් අනුක්‍රමණයක් (sequence) මුවදොරෙයි. මේක ප්‍රංශයට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා බොහෝ ගෝලීය දෙයක්. මේක තමයි, සාමුහික සමාජයක්, කොමියුනිස්ට් සමාජයක් - එම වචනයේ මුල් අරුතෙන් ගත විට - පිලිබඳ අදහස නැවතත් ක්‍රියාකළ හැකි නව විමර්ශක රාමුවක් (frame of references) ගොඩ නැගිය හැකිද කියන ප්‍රශ්නය.


සැකර්ස්:


ඔබ හිතනවාද එය පුළුවන් කියා?


බදියු :


මම හිතනවා එය පුළුවන් කියා. ඒක හුදු භක්තියක් පමණක් නෙමෙයි. ඒක ඒ සමගම කොමියුනිස්ට්වාදයේ ඉතිහාසයේ ආරම්භයේදී හොඳින් පැහැදිලි වුනු දෙයක්, යලි පවත්වාගෙන යාමක්. ඒ නිසා අපි ප්‍රාථමික කොමියුනිස්ට්වාදය වෙත , මාක්ස්ගේ කොමියුනිස්ට්වාදය වෙත, යන්න ඕන. අපි යන්න ඕන පසු ගිය සියවසේ ඛේදනීය අත්දැකීම් වලට පෙර තිබුණු තැනට. 


සැකර්ස්:


නමුත්, මම කියනවා, මේ වැඩසටහන බලන ලොව පුරා ඉන්න නරඹන්නන් ඔබේ අදහස් උනන්දුවෙන් අහගෙන ඉඳල මෙහෙම කියාවි: "මේ ඉන්නේ 1968 ප්‍රංශ රැඩිකල් තාරුණ්‍යය තුල රොමැන්ටික් විදියට හිරවෙලා ඉන්න මනුස්සයෙක්. එයා හිතනවා තරුණයන් සහ කම්කරුවන් පාරට බැහැල ලෝකේ වෙනස් කරන්න පුළුවන් කියල.... ඒත් අද කවුරුත් ඔය අදහස් පිළිගන්නේ නෑනේ" කියල. 


බදියු :


මම හිතන්නේ ගැටළුව මෙයට වඩා සංකීර්ණයි. නිදර්ශනයක් ලෙස, 'විප්ලවය' කියන වචනය. අපිට අද මේක තේරුම්ගන්න පුළුවන් වචනයක් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත්තහම මම විප්ලවවාදියෙක් නෙමෙයි. මම දන්නේ නැහැ අද ප්‍රංශය තුල විප්ලවයක් වෙන්න පුළුවන් මොකකටද කියල. මේක 1968 දී උනත් පැහැදිලි උන දෙයක් නෙමෙයි. 'විප්ලවය' කියන වචනය තිබුන. නමුත් ඇත්තටම විප්ලවය තිබුනේ නෑ.කිසිසේත්ම නෑ. කවුරුත් දන්නේ නැහැ 'විප්ලවය' කියන වචනයේ තේරුම. 


ඒ නිසා තමයි අපිට සිද්ධ වෙන්නේ වෙනත් දෙයකින් පටන් ගන්න. අපිට බැහැ විප්ලවය වගේ වචන එක්ක පටන් ගන්න. අපි පටන් ගන්න ඕන, පළමුවෙන්ම වියුක්ත අදහසකින්. කොමියුනිස්ට්වාදය යන්න පිළිබඳව වියුක්ත පරිඥානයකින් (conviction). ඒ තමයි දැන් ලෝකේ තිබෙනවාට වඩා වෙනත් දෙයක වියහැකිභාවය. එතකොට අපි දැන් පවතින ලෝකයට වෙනස් ලෝකයක වියහැකිභාවය පිළිබඳව කතා කරනකොට අපි ඉන්නේ දාර්ශනික අවකාශය තුල.


සැකර්ස්:


මේක බලන ගොඩක් දෙනෙක් ඔය දර්ශනයට වඩා උනන්දු වෙනවා ඇත්තේ, ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට වඩා යහපත් සමාජයක් ඇති කර ගැනීමට මොනවද කරන්න ඕන කියල.... මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන්?


බදියු :


මම හිතන්නේ අපි එකිනෙකින් වෙනස් වැඩ දෙකක් කරන්න ඕන. ඒක පැත්තකින්, අපි කොමියුනිස්ට්වාදය යන්න අද දවස තුල හැඟවුම්කරණය කල හැකි අලුත් සංකල්පීය රාමුවක් ගොඩනගන්න ඕන. නව දාර්ශනික රාමුවක්. මොකද, මෙතැනදී මම ඔබ එක්ක එකඟයි, අද දවසේ කොමියුනිස්ට්වාදය කියන්නේ පසුගිය සියවසේ ඛේදනීය අත්දැකීම් පමණයි. නමුත් එය, ඒ සමගම, 19 වෙනි සියවසේ ශ්‍රේෂ්ඨ අදහසක්. ඒ අනුව, අපිත් කොමියුනිස්ට්වාදය ගැන අපි නව සංකල්පයක් ගොඩ නැගිය යුතුයි.


අනෙක් අතින්, අපි අවධානයෙන් ඉන්න ඕන, සංයුක්ත අවස්තාවන් තුල ඇති අලුත් ආකෘතියේ අරගලයන් සහ අලුත් ආකෘතියේ සංවිධානගතවීම් පිළිබඳව.


නමුත් මේ දෙක අතර තියෙනවා අපහසුවක්. මේ දෙක අතර සම්බන්ධය අද දවස තුල පැහැදිලි නැහැ. නමුත් ඔබ කල්පනා කරලා බැලුවොත්, නිදර්ශනයක් ලෙස 1840 වගේ කාලයක තිබුනේ මෙන්න මෙවැනිම අවස්ථාවක්. කොමියුනිස්ට්වාදය පිලිබඳ අදහස එක පැත්තකින් වර්ධනය වුන අතර, කම්කරුවන්ගේ අරගලය තව පැත්තකින් වර්ධනය උනා. මාක්ස් විසින් සියවසක් පුරා කලේ මේ දෙක එකතු කරන එක. 




  

Thursday, October 27, 2011

සාකෝසි යනු කුමක්ද? ග‍්‍රන්ථ සමාලෝචනයක්

2007 දී ප‍්‍රංශයේ පැවැති මැතිවරණය සහ එහි ප‍්‍රතිඵලයක් ගැන වූ පොතක් පරිවර්තනය කිරීම ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ සහ අදාල වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් ය. මම හේතු දෙකක් නිසා වංගීස සුමනසේකරගේ උත්සාහය සාදරයෙන් පිළිගත යුතු යැයි සිතමි. ප‍්‍රංශ විප්ලවයේ සිට ඉතිහාසය පෙන්වා දී ඇති ආකාරයට, ප‍්‍රංශ දේශපාලන සිදුවීම් (events) වලට විශ්වීයව වැදගත්වන්නා වූ න්‍යායාත්මක සහ දේශපාලනික අතු විහිදීම් තිබේ. දෙවනුව, අපි පොතේ නම වන සාකෝසි යන නාමය වෙනුවට ආණ්ඩුකරණ බලයක් භාවිතා කලා වූ වර්තමාන නැතිනම් අතීත දේශපාලන නායකයෙකුගේ නමක් (ඔබාමා, බ්ලෙයාර්, බුෂ්, හෝ මහින්ද රාජපක්‍ෂ වැනි) ආදේශ කලත්, මෙම පොත තවමත් අර්ථයක් ජනනය කරයි. එම නිසා මෙම පොතට විශ්වීය අදාලත්වයක් ඇත. The Meaning of Sarkozy ^MS& කෘතියේ ලේඛකයා වන ඇලේන් බදියු ^Alain Badiou& ප‍්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකි. මෙම පොතේ පළමු පරිච්ජේදය ලියා ඇත්තේ සාකෝසිව ප‍්‍රංශ ජනාධිපති බවට පත් කල 2007 ප‍්‍රංශ ජනාධිපතිවරණයට ඉතා සුළු කාලයකට පෙරය. අවසාන පරිච්ජේද දෙක ඔහුගේ අළුත්ම පොත වන The Communist Hypothesis ^CH&" හි තව දුරටත් වර්ධනය කර ඇත.