Saturday, August 25, 2012

බදියු, හේගල් සහ ජාතික චින්තනය

ඔබලා වැනි කණ්ඩායම් හැමදාම කරන්නේ බටහිර සුදු පිරිමියක් ගැන කතා කරන එක විතරයි නේද? ඩෙරීඩා, ලකාන්, ෆූකෝ ගැන ඉස්සර කතා කරනවා. දැන් දීප්තිලා කියනවා හේගල් තමයි දාර්ශනිකයා, ඔබලා කියනවා බදියු තමයි දාර්ශනිකයා කියල. හැමදාම අනුන්ගේ දේවල් අනුකරණය කරන්නේ නැතුව තමන්ගේ දැනුමක් නිර්මාණය කරන්න හිතන්නේ නැද්ද? අපේ රටේ දේශපාලනය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගොඩ නගපු දැනුමකින් මිසක් බදියු හෝ හේගල් විසින් ගොඩනගපු දැනුමකින් නොවෙයි.

ඉහත සටහන අප වෙත ලැබුණු කොමෙන්ටුවකි. තරමක් පැටලිලි සහගත් උවද මෙමගින් අසා ඇති ප්‍රශ්න නිරවුල් කල ගත යුතු බව අපගේ හැඟීමයි. 



1. අපි බදියු ගැන කතා කරන්න උත්සහ කිරීම කලකට ඉහතදී අපි ඩෙරීඩා, ලැකෝන්, ෆූකෝ ගැන කතා කිරීම නැතිනම් 'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' වර්තමානයේදී හේගල් ගැන කතා කිරීම හා සමානයිද?

කිසිසේත්ම නැහැ. කලකට ඉහතදී අපි ඩෙරීඩා, ලැකෝන්, ෆූකෝ ගැන කතා කලේත්, 'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' අද හේගල් ගැන කතා කරන්නෙත්, දේශපාලනය කිරීමට, දේශපාලනය ගැන අවබෝධ කර ගැනීමට, මෙම දාර්ශනිකයන් ලියා ඇති දේ කියවිය යුතුයි කියන අදහසින්. අපි මෙම අදහසට අද වෙනකොට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ වෙනුවට අපි පිලි ගන්නවා කුමුදු කුසුම් කුමාර මිතුරාගේ සටන් පාඨය: 'දේශපාලනය කිරීමට න්‍යාය කඳුලක්වත් අවශ්‍ය නොවේ'.

අපි බදියු ගැන ඉගෙන ගමු කියල කියන්නේ මෙයට සහමුලින්ම වෙනස් තැනක ඉඳල. මේ ගැන තරමක දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් අපි නුදුරු අනාගතයේදී කරනවා. දැනට, ඉතාම කෙටියෙන් කියනවානං, අපි විශ්වාස කරනවා මේ වෙලාවේ අපිට වැඩ කරන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා. අපි තීරණය කරනවා පුද්ගලික දේපල සම්බන්ධතා වලට එරෙහිව පොදු-වූ-දෙය (the Common) නියෝජනය කරනා දේ අතරින් අප අරගල කරන්නේ කුමක් වෙනුවෙන්ද කියලා (ඒක අධ්‍යාපනයද, සෞඛ්‍ය ද , ජලයද, බීජ වර්ගද කියා) තීරණය කර, එය ස්ථාපිත කිරීම සඳහා කල හැකි සෑම දෙයක්ම, රාජ්‍යයෙන් දුරස්ව සිදු කිරීම. මේ අතරින් අපි කාලයක් තිස්සේ සමීපව ඉන්නේ අධ්‍යාපනය, පොදු වටිනාකමක් ලෙස රැක ගැනීම සඳහා වන අරගලයටයි. මේ අරගලයේ ප්‍රතිමානයන් දෙකක් තිබෙනවා. එකක් තමයි, අධ්‍යාපනය පුද්ගලික දේපල තර්කනයට යටත් කිරීමේ රාජ්‍යය මෙහෙයුමට එරෙහිව ජනයා සංවිධානය කිරීම. අනිත් එක, අධ්‍යාපනය එහි නියම විමුක්තිකාමී විභවය වෙත ඔසවා තැබීම.

මෙන්න මේ දෙවැනි කාරණය සඳහා ලංකාවේ අව්‍යාජ දාර්ශනික ව්‍යාපාරයක් ඇති විය යුතුයි  කියල අපි කියනවා. අපිට බදියු වැදගත් වෙන තැන තමයි මේක. දර්ශනයේ ඉතිහාසයේ සෞත්‍රික (canonical) දාර්ශනිකයෙක් ඇසුරින් - නිදර්ශනයක් ලෙස හේගල් වැනි - මෙය කරනවාට වඩා සමකාලීන දාර්ශනිකයෙක් වන බදියු මේ සඳහා වඩාත් මෙයට වඩාත් ගැලපෙනවා (ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි ඉදිරියේදී පැහැදිලි කරනවා). එම නිසා අපිට බදියු අවශ්‍ය වෙන්නේ අපේ 'සමස්ත දේශපාලනය ගැන ඉගෙන ගන්න නෙමෙයි', අපේ සමස්ත දේශපාලනයේ 'ක්‍රියාකාරී කොටසක්' විදියට. 

අපි මේ කියපු මුළු කාරණය අපේ දේශපාලන ඉතිහාසයේ ජනප්‍රිය උපමාවක් ඇසුරින් සංක්ෂිප්ත කරනවානං මෙහෙම කියන්න පුළුවන් : ඔබ දන්නවා අපි 90 දශකයේදී ඩෙරීඩාව "විශ්ව විද්‍යාලයෙන්  මහ පාරට" ගෙනාව. අපි දැන් උත්සාහ කරන්නේ බදියුව "මහ පාරෙන් විශ්ව විද්‍යාලයට" රැගෙන යන්න.          

2. අපි කරන්නේ බටහිර බිහිවෙන දැනුමකින් අපේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එකද?

අඩුම තරමින් බදියු සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අදාළ නොවන බව ඔබට වැටහෙන්න ඕන. ඉහතින් දක්වා ඇති පරිදි අපි බදියු කියවන ලෙස යෝජනා කරන්නේ අපේ රටේ සමාජ-දේශපාලනික ප්‍රශ්න වලට පිළිතුරු යෝජනා කරන්නට නොව දර්ශනය ගැඹුරින් හදාරන සම්ප්‍රදායක් ආරම්භ කිරීම සඳහාය. ඒ සඳහා වඩාත්ම සුදුසු දාර්ශනිකයා වන්නේ බදියු ය යන්න අපගේ මූලික යෝජනාවයි. මෙහිදී ඔහු උපන්නේ භූගෝලීය ලෙස බටහිරද පෙරදිගද යන්න අපට තීරණාත්මක නොවේ. 

'දැනුම සෑම විටම සම්ප්‍රදායකට, සංස්කෘතියකට සහ චින්තනයකට සාපේක්ෂ වේ' කියන නලින් ද සිල්වා ගේ තිසීසය අප පිලි ගන්නේ නැත. අපගේ අදහස ට අනුව දර්ශනය යන්න සෑමවිටම ඉලක්ක කරන්නේ විශ්වීයත්වය (universality) යන අදහසයි. නිදර්ශනයක් ලෙස 'දැනුම සෑම විටම සම්ප්‍රදායකට, සංස්කෘතියකට සහ චින්තනයකට සාපේක්ෂ වේ' යනුවෙන් කෙනෙක් කියත්දී එම ප්‍රකාශය 'දැනුමක්' ලෙස ගත් විට අප තේරුම් ගත යුත්තේ විශ්වීයව වලංගු වන්නක් ලෙසද නැතිනම් කිසියම් සංස්කෘතියකට සාපේක්ෂ වූ දැනුමක් ලෙසද? පිළිතුර වන්නේ පළමුවැන්න නම් එමගින් ආරම්භක තිසීසය - එනම් දැනුම සෑම විටම සාපේක්ෂ බව - ප්‍රතික්ෂේප වෙයි. පිළිතුර වන්නේ දෙවැන්න නම් ඉහත 'සෑම විටම' යන්නෙහි අර්ථය බිඳ වැටෙයි.  මෙමගින් පැහැදිලි වන්නේ දර්ශනය තුල විශ්වීයත්වය යන අදහස මග හැරිය නොහැකි බවයි .එම නිසා පශ්චාත් නිව්ටෝනියානු විද්‍යාව හා පශ්චාත් කාටිසියානු දර්ශනය යුරෝපයේ ඇරඹීම සහ යුරෝපීය අධිරාජ්‍යවාදය හරහා යුරෝපීය දේශපාලන, ආර්ථික, සංස්කෘතික ආධිපත්‍යයක් ලොව පුරා ස්ථාපිත වීම අතර අනිවාර්යය හේතුපල සම්බන්ධයක් දකිනා ජනප්‍රිය, සරල අර්ථකතන අප පිලි ගන්නේ නැත.



3 comments:

  1. Eka nam eththa.. Anunta bena bena innawata wada honda nedda igena ganna deyak dammanam??

    ReplyDelete
  2. දැනුම සංස්කෘතියට සාපේක්ෂ වේය යන්න ඊනියා විශ්වීය ප්‍රකාශයක් නොවේ. ඒකත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂ කතාවක්. රේඛීය චින්තනයක මුලක් තිබිය යුතු වුවත් චක්‍රීය චින්තනයක මුලක් තිබිය යුතුම නෑ. දැනුම සංස්කෘතියට සාපේක්ෂ වේය යන්න අර්ථ දැක්වෙන්නේ චක්‍රීය චින්තනයකයි.

    ‎'විශ්වීයත්වය' කියන සංකල්පය එන්නේත් බටහිර චින්තනයේ ඇති සාධාරණිකරණය (සාමාන්‍යකරණය - generalization) හරහායි. බටහිර සංස්කෘතියට එය එන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ සියල්ලන්ම සමානය යන විශ්වාසය හරහායි. එය සෑම සංස්කෘතිකයකටම පොදු ගුණයක් නොවේ. සමහර සංස්කෘතිවල සාධාරණීකරණයට වඩා විශේෂත්වයට තැනක් තිබෙනවා. උදා ලෙස සිංහල බෞද්ධ සංස්කෘතියේ එන බෝධිසත්වයන් යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ. ඔහු හැසිරෙන ආකාරය 'සාමාන්‍ය' යැයි සැලකෙන පුද්ගලයන් හැසිරෙන ආකාරයට වෙනස් විය හැකියි. ඔය කියන දර්ශනය 'විශ්වීයත්වය' ගුරු කර ගෙන තැනුන දර්ශනයක් නම් එයින් කියවෙන්නේ එය බටහිර චින්තනය මත ගොඩ නැගුනක් බවයි. එය නිර්මාණය කළ තැනැත්තා ජීවත් වුනේ මොන රටේද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඔහුගේ සංස්කෘතිය/චින්තනය මොකක්ද කියන එකයි. යම් සංස්කෘතිකයට චින්තනයකට අයත් නොවන මිනිහෙක් මෙලොව නැහැ.

    අනිත් අතට රාජ්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියමින් සම්පූුර්ණයෙන්ම රජයේ වියදමින් නඩත්තු වන අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කිරීමට සටන් කිරීම විසංවාදයක් නොවේද? රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා වෙන එක හොද වැඩක්. ප්‍රශ්නය රාජ්‍ය ප්‍රතික්ෂේප කරනවා කියමින් එය කිරීමට තැත් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන් ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියිවන්ත වන්නේ, ඔබ අපගේ කෙටි සටහන සමග බුද්ධිමය-දේශපාලන සංවාදයක් කිරීමට උත්සහ කිරීම වෙනුවෙනි. සාමාන්‍යයෙන් අප කිසියම් තර්කයක්, අදසක් පල කල විට ඒවාට ප්‍රතිචාර ලෙස එන්නේ අපගේ පුගලික ජීවිතය පිලිබඳ මඩ ගැසීම්ය. එවැනි කණ්ඩායම් වලට අනුව 'දේශපාලනය' යනු සිය මතයට විරුද්ධ මතයක් නියෝජනය කරන පුද්ගලයන්ට හැකි තාක් මඩ ගසා, අවලාද නගා, හැකිනම් ශාරීරිකව හෝ පහර දී ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම වෙනුවට ඔවුන්ව සංවාදයෙන් ඉවත් කිරීමට තැත් කිරීමයි. එම නිසා අප 'ජාතික චින්තන' ගුරුකුලයට ගරු කරන්නේ ඔබලා කිසියම් අදහසක් වෙනුවෙන් අවංකව පෙනී ඉන්නා අතර සිය ප්‍රතිවාදියා ගේ අදහස් මත සිය මතය උරගා බැලීමට තරම් කොන්දක් තිබෙන නිසාය.

      ඔබගේ ප්‍රශ්න දෙකෙන් විශ්වීයත්වය පිලිබඳ ප්‍රශ්නයට අප වෙනම ප්‍රතිචාර දක්වන්නට සිතන්නේ, අපට සංවාදය රැගෙන යන්නට උවමනා එම දිශාවට නිසාය. නමුත් ඔබ රාජ්‍යය පිළිබඳව දක්වා ඇති අදහස සම්බන්ධයෙන් කෙටි සටහනක් මෙතන තබමු. අප රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා කියා සඳහන් නොකළෙමු. එය කිසිම තේරුමක් නැති ප්‍රකාශයක් වන්නේ රාජ්‍යය අප ජීවිතයේ සියලුම දේවල් සඳහා තීරණාත්මක බලපෑමක් කරන ආයතනයක් වන හෙයිනි. අප කීවේ අප දේශපාලනය 'රාජ්‍යයෙන් දුරස්ව' සිදු කරනවා යන්නයි. මින් අදහස් වන්නේ රාජ්‍යය නොමැතිව, එය අමතක කර දේශපාලනය කරනවා යන්න නොවෙයි. දේශපාලනය කරන්නේ රාජ්‍යය සමගය. නමුත් මාක්ස්වාදී දේශපාලනය තුල විසිවෙනි සියවසේදී මූලික අභිප්‍රාය වූයේ 'රාජ්‍ය බලය ලබා ගැනීමයි'. නමුත් අප විශ්වාස කරන පරිදි දේශපාලන පක්ෂ ආකෘතිය තුල, රාජ්‍යය බලය ඉලක්ක කරගත් දේශපාලනයක් මේ මොහෙතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකිය. ඒ වෙනුවට අපට කල හැක්කේ, අප පිළිගන්නා දේශපාලන මූලධර්ම මත පදනම්ව ඇති කරගන්නා සාමූහික ඉල්ලීම් රාජ්‍යයට මග නොහැරිය හැකි අන්දමට ශක්තිමත් ලෙස සංවිධානය කර රාජ්‍යයට අභිමුඛ කිරීමයි. රාජ්‍යයෙන් දුරස්ව දේශපාලනය කරනවා යන්නෙහි අදහස වන්නේ මෙයයි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය යනු මෙවැන්නක් මිස 'රාජ්‍ය' රැක ගැනීමට කෙරෙන්නක් නොවේ. ඇත්තටම රාජ්‍යය රැක ගැනීමට අරගල කරනවා යනුම විරුද්ධාර්ථයක් වන්නේ රාජ්‍යය ශක්තිමත් කිරීම ආධිපත්‍යධාරී පංතියේ ද අරමුණ වන හෙයිනි. එම නිසා මෙතනදී අධ්‍යාපනය සඳහා රාජ්‍යය මැදිහත් වන ලෙස ඉල්ලමින්, රාජ්‍යයේ ප්‍රතිපත්ති වෙනසක් වෙනුවෙන් කරනා අරගලය කිසිම විසංවාදයක් නොවේ. 'රාජ්‍යය අධ්‍යාපනය' කියන සටන් පාඨය වැදගත් වන්නේ 'නිදහස් අධ්‍යාපනය' යන්න දුහුල් ලෙස අර්ථකථනය කිරීමේ අනතුරක් තිබෙන හෙයිනි.

      Delete