Friday, January 18, 2013

හුස්ම පිට වෙන කහ පාට අවකාශය තුල ඇති එළිය

ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය හදාරන අධ්‍යන කවයක් අප විසින් සංවිධානය කරන්නෙමු. මෙයසූ යනු සමකාලීන මහත්ද්වීපික දර්ශනයේ වඩාත් කේන්ද්‍රීය යොවුන් චින්තකයාය. සමපේක්ෂී යථාර්ථවාදය නම් අතිශයින් තීරණාත්මක දාර්ශනික ව්‍යාපාරයේ මූලික සිතන්නාය. දර්ශනය පිලිබඳ කෙරෙන පුළුල් අධ්‍යයන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙයසූ කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. ඔහු සමකාලීන දර්ශනයේ කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන හෙයින් ඔහු හරහා අපිට වත්මන් ගෝලීය සාකච්චාවන් සමග සම්බන්ධ වීමට ශක්තිමත් නැංගුරමක් හමු වෙයි. අනෙක් අතට ඔහු සම්පූර්ණයෙන් පශ්චාත්-කාන්ටියානු දර්ශනය සමග සටන් වදිනා හෙයින් නූතන දර්ශනයේ ඉතිහාසය පිළිබඳවත් බැරෑරුම් සාකච්චාවකට එය මග පාදයි. 

Tuesday, January 15, 2013

"රාවය" වෙනුවෙන්

අප මෙයට වසර එකහමාරකට පමණ පෙර "සාකෝසි යනු කුමක්ද?" කියා පොතක් පරිවර්තනය කළෙමු. පොතේ රචකයා ඇලේන් බදියු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාය. එම පොත ඔහු විසින් ලියන ලද්දේ නිකලස් සාකෝසි ප්‍රංශයේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇති වූ විශාදිය සහ බෙලහීනත්වය තුල අප කටයුතු කල යුත්තේ කෙසේද කියාය. බදියුගේ ම වචන වලින් කියන්නේනම් "ඔබ කිසිසේත් අකමැති, අවාසනාවන්ත දෙයක් සිදු වී ඇතැයි යන ඔබව අපහසුතාවයට පත් කරන හැඟීම විශ්ලේෂණය" කිරීමටය. 

මෙවන් වටපිටාවක අපට කල හැක්කේ කුමක්ද කියා බදියු එහිදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි. නමුත් 'රාවය' පුවත් පත ඇතුළු අප මිතුරන් කිසිවෙකුත් එම පොත කියවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් නැවත නැවතත් විශාදියට පත්වීමත්, බෙලහීන බව පිලිබඳ කනගාටුවීමටත් තෝරාගෙන තිබේ. අවසානයේදී ඔවුන් 'ජාත්‍යන්තර ප්‍රජාව' සහ 'ජනතාව' විසින් මෙම මහපොළොව නුඋසලන අපරාධ පිළිබඳව මැදිහත් නොවන්නේ ඇයිද කියා කණගාටු වෙයි. තමන් ගේ උපක්‍රමික තීරණ පදනම් වන සංකල්පීය පදනම දිරාපත් වූ එකක් බව ඔවුන් පිළිගැනීමට සූදානම් නොවේ. ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලෙස කොටස් තුනකට බෙදා ඇති බවත්, එමගින් සංවරණ සහ තුලන ක්‍රමයක් ලෙස, එම බලයේ අනපේක්ෂිත අතිරික්තයන් පාලනය වන බවත් ඔවුන් ආගමක් සේ විශ්වාස කරයි. ලංකාවේ මෙය මහා දවල්, අමු අමුවේ උල්ලංඝනය උවත් ඉන්දියාව, එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල එය සාපේක්ෂ වශයෙන් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව ඔවුන් අදහයි. 

Tuesday, January 8, 2013

පරමාධිපත්‍යයේ තර්කණය කියන්නේ කුමක්ද?


සාමාන්‍යයෙන් මෙම බ්ලොග් අඩවිය තුල අප උත්සාහ කරන්නේ රාජ්‍යයේ කාලක්‍රමිකත්වය ට එරෙහි විකල්ප කාලයක් ගොඩ නැගීමට යි. සරල නිදර්ශනයක් තුලින් අපිට මෙය පැහැදිලි කල හැකිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රධාන මූලෝපායක් වන්නේ මැතිවරණ වර්ෂාවක් නිරන්තරයෙන් ලබා දීමයි. එවිට, නිදර්ශනයක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණට සිදු වන්නේ මුළු සංවිධාන ශක්තියම යොදා මැතිවරණ ව්‍යාපාර කර, අවසානයේදී පරාජය වීමටයි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කාල සටහන සකස් වන්නේ රාජ්‍ය විසින් දෙන ලද කාලක්‍රමිකත්වය තුළයි. එම නිසා ඔවුන්ගේ දේශපාලනය අවසාන විග්‍රහයේදී පදනම් වන්නේ රාජ්‍ය විසින් ගන්නා ක්‍රියා වලට ප්‍රතික්‍රියා කිරීමයි. 

Sunday, December 30, 2012

රතු වැස්සට පසු 2013...

"මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්‍රජාතන්ත්‍රවාදය, ලෙනින්වාදය, කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍යය - මේ විසිවැනි සියවසේ අති විශිෂ්ඨ නිපැයුම් - තවදුරටත් ප්‍රායෝගිකව භාවිත කළ හැකි නොවේ." 
(ඇලේන් බදියු, "සාකෝසි යනු කුමක්ද?", පි. 145)

මෙම ප්‍රකාශය ලංකාවේ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ජීරණය කර ගැනීම අපහසු වන බව අපට වැටහී ගියේ මෙම පොත පිළිබඳව කල පළමු කියවීමෙදීමය. ඇත්ත. ලංකාවේ පශ්චාත්-මාක්ස්වාදය පිලිබඳ සාකච්චාව නැතිනම් පශ්චාත්-ලෙනින්වාදී දේශපාලන සංවිධානගතවීමක අවශ්‍යතාවය ඇති වූයේ මෙම පොත පරිවර්තනය වීමට පමණක් නොව එය ප්‍රංශ බසින් ප්‍රකාශ වීමටත් පෙරය. නමුත් අපේ රටේ සුවිශේෂී දේශපාලනික පිහිටුමක් නිසා මෙම න්‍යායික-ඓතිහාසික අවබෝධය අපිට දේශපාලනික සංවිධානගතවීමේ යථාර්ථයක් ලෙස අභිමුක නොවූවා පමණක් නොව ඉහත සාකච්චාව හා බුද්ධිමය වශයෙන් සම්බන්ධ විය හැකි 'විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්' වැනි සමාජ අවස්ථාවන් තුල පවා ඉතා සරල, නූගත් වචන ('සංශෝධනවාදය', 'ප්‍රතිසංස්කරණවාදය'... ) කීපයකින් මෙම අවබෝධය සඟවාලනු හැකි විය. නමුත් විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසුව බිහි වන ලස්සන ලංකාව තුල නූගත් වචන සහ බාගෙට තැම්බූ සංකල්ප තුල සැඟවීමට මානව විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කරන සියලු දෙනා හට තවදුරටත් නොහැකි බව අපගේ අදහසයි. 

Monday, December 24, 2012

උන්ට-ලොජිකල් ලෙනින්වාදය සහ උන්ට-ලොජිකල් ප්‍රජාතන්ත්‍රවාදය




x කණ්ඩායම ලෙස අප පළමු වරට ලංකාවේ ජනප්‍රිය වුයේ 'පශ්චාත් නූතනවාදය' යන්නත් සමගයි. ඇත්තටම එකල අපේ දේශපාලන සංවාදයේ එක් ප්‍රධාන තාක්ෂණික මෙහෙයුමක් උනේ 'අතීත ලංකාව' තේරුම් ගත්ත සංකල්පීය මිනුම් දඬු භාවිතා කල පුද්ගලයන්ට මෙම 'නව ලංකාව' නොතේරීම අවධාරණය කිරීමයි. එමගින් අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලනය ගැන ලියන්නන් යල් පැනගිය අය වීමත්, එයට පරස්පරව අප වත්මන් මොහොත හරියට ම තේරුම් ගත් නවීනයන් බවටත් එකවර පත්වෙන ද්විත්ව ක්‍රියාකාරී රේසරයක් අපිට ලැබුණා. ඒ නිසා තමයි අපිට නිතරම කියන්න පුළුවන් වුනේ මෙන්න මේ වගේ වාක්‍ය: 

'ඉස්සර පුද්ගලයන්ට අවශ්‍ය වන විදිහේ වාහන මිලට ගත්තානම් අද වන්නේ වාහනයට අවශ්‍ය පරිදි පුද්ගල ජීවිතය සකස් වීම යි.'

'ඉස්සර පුවත්පතක ඕපාදූප පලවෙන අතිරේකය ප්‍රධාන පුවත්පතට එකතු වන්නක් නම් අද ප්‍රධාන පුවත්පත පිට වන්නේ අතිරේකය වෙනුවෙන් ය'

'ඉස්සර රූපවාහිනී වැඩසටහන පෙන්වීම සඳහා දැන්වීම් යොදා ගත්තනම් අද දැන්වීම් පෙන්වීමට වැඩසටහන යොදා ගන්නවා'

Monday, December 17, 2012

ගන්ගම් ස්ටයිල් එකේ දේශපාලනය

මෙයට මාස කිහිපයකට පෙර අපගේ සමාජ වැඩ ගැන උනන්දුවක් තිබෙන තරුණයෙක් මුණ ගැසුණි. ප්‍රධාන පරිඝනක මෘදුකාංග සමාගමක සේවය කරනා ඔහු පුද්ගලික ජීවිතය තුලදී ලංකාවේ මිල අධික සමාජ ශාලා සහ බොජුන් හල් වල නිතර ගැවසේන්නෙකි. මේ නිසාම ලංකාවේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්  දේශපාලකයන්  ගේ තරුණ පුතුන් නිතර නිතර මුණ  ගැසෙනා මොහු බොහෝ නිදර්ශණ සපයමින් අප සමග පැවසුවේ එම පුද්ගලයන් ලංකාව තමන්ගේ පුද්ගලික  නින්දගමක්  ලෙස සලකමින් පිස්සු නටනා ආකාරය සහ මෙවන් ලංකාවක ඛේදනීය-ප්‍රහසනයයි. පසුගියදා අවසන් වූ 'කලම්බෝ නයිට් රේස්' එක නැරඹීමටද මෙම තරුණයා ගොස් තිබුණු අතර එයට පසු එහිදී ඔහු විනෝද වූ ආකාරය දැක්වෙන චායාරූප විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකට ඇතුලත් කර තිබෙනු අපට දැක ගත හැකිවිය. 'දේශපාලක පුතුන්' විසින් පිස්සු නටන ආකාරය ගැන බෙහෙවින් විවේචනාත්මක වූ ඔහු, මහ පාරවල් වසා, ඒවා භාවිතා කරනා මිනිසුන් අපහසුතාවයට පත්කරමින්, තවත් දුප්පතුන් විශාල ප්‍රමාණයකගේ දෛනික ආදායම් අහිමි කරමින් කරනා විගඩම් සිය විනෝදාස්වාදන මාර්ගයක් බව පිළිගැනීම පරස්පරයක් බව හඳුනාගෙන තිබුනේ නැත.