Monday, April 29, 2013

මරණ මංචකයේ දුටු සිහිනය

පසුගියදා නලින් ද සිල්වා මහතා විසින් ලියන ලද සටහනක ඔහුගේ 'චින්තනය' යන සංකල්පය ගුණදාස අමරසේකර මහතාගේ 'ජාතික චින්තනය' යන්නෙන් වෙනස් වීම පිලිබඳ, පුද්ගලික ජීවන ඉතිහාසයට ද සම්බන්ධ වන කරුණු රාශියක් ලියා තිබිණි. එයට අනුව අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන වචනය 'නැෂනල් තෝට්' යන ඉංග්‍රීසි යෙදුම සඳහා වන පරිවර්තනයකි. 

රුසියානු විප්ලවය යනු මාක්ස්වාදයේ ජයග්‍රහණයකට වඩා රුසියානු ජාතික චින්තනයේ ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ විචාරකයෙකුගෙන් අමරසේකර මෙය උපුටාගෙන තිබේ. නලින් ට අනුව අමරසේකරගේ මෙම ජාතික චින්තනය යනු දාර්ශනික සංකල්පයක් නොව විසිරුණු ලිහිල් සංකල්පයකි.     

Wednesday, April 17, 2013

ජාතික චින්තනය ගැන තව දුරටත්

ජාතික චින්තන සංවාදය එක තැන පල් වීම සහ ඇදහිළි කල්ලියක් බවට පරිවර්තනය වීම පිලිබඳ අප පල කල සටහනට එවූ කොමෙන්ටු නිසා අප කලක සිට කතා කරන්නට සිටි කාරණයක් පිළිබඳව සාකච්චා කිරීමට කදිම සන්දර්භයක් සෑදී තිබේ. ඒ දාර්ශනික සම්ප්‍රේෂණය (philosophical transmission) පිලිබඳ ගැටළුවයි. දර්ශනය කියන විෂය තේරුම් ගැනීමට ඓතිහාසික සන්දර්භයක් නොමැති ලංකාව තුල එවැනි සංවාදයක් ආරම්භ කල හැක්කේ මේ පිළිබඳව වන සාකච්චාවක් සමගයි. 

නමුත් එය ට පෙර තරමක් කෙටියෙන් වෙනත් කරුණක් පිළිබඳව අදහස් දැක්වීමටයි මෙම සටහන ලියවෙන්නේ. 
 

Sunday, April 14, 2013

මීන රාශියේ නතරවුණු බුද්ධිමය සංවාදය

පසුගිය දොරමඩළාව වැඩසටහනේදී අපූරු මොහොතක් දැක ගැනීමට අපට හැකිවිය. එහිදී නලින් ද සිල්වා මහතා සිය මූලික කරුණු ඉදිරිපත් කිරීමේදී දැනුම පිලිබඳ ඔහුගේ ප්‍රවාදය ට එරෙහිව ලොව සිටිනා ඉහලම විද්වතෙකු ගෙන්වන ලෙසත් එම විද්වතා ඉදිරියේ දී පවා තම මතය ඔප්පු කල හැකි බවත් පැවසීය. 

මෙතනදී විද්‍යාවේ දර්ශනය පිලිබඳ අද ලොව සිටින ඉහලම බුද්ධිමතා කවුරුන්ද කියා නලින් ද සිල්වා මහතා සිතන්නට උත්සාහ කරන විට එවැන්නෙක් ගැන තමන් නොදන්නා බව වැටහී සිය කොන්දේසී විරහිත අනුගාමිකයා වන නෙම්සිරි ජයතිලක දෙස බැලුවේය. නමුත් ඒ සඳහා නෙම්සිරි මහතා ලඟද පිළිතුරක් නොවීය. විද්‍යාවේ දර්ශනය පිලිබඳ ලංකාවේ ආරම්භ වූ සාර්ථකම බුද්ධිමය ව්‍යාපාරය වන 'ජාතික චින්තනය' සංවාදය අද වන විට වැටී ඇති ඉතාම දිළිඳු මට්ටම වටහා ගැනීමට මෙය අපූර්ව නිදර්ශනයකි.

Saturday, March 30, 2013

Pour Gamlath

සුචරිත ගම්ලත් මහතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අප ලිවිය යුතු සටහන පිළිබඳව සිතමින් සිටින විට බ්‍රෙෂ්ට් ගේ කවියක් ගම්ලත් මහතාගේම අපූරු සිංහල බසින් කල පරිවර්තනයක් අපිට සිහි වුනි. අප හැමදා පෙනී සිටි ගම්ලත් මහතාගේ උරුමය මෙම කෙටි පද වැල් කීපය තුල කැටි වී ඇතැයි කියා සිතේ. 

කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර තිබුණි. නමුත් එය නැවතත් මෙහි පලවීම කිසිසේත් අපතේ යැවීමක් විය නොහැකිය. මක්නිසාද යත් එමගින් කියවෙන දේ අප වඩාත් ශක්තිමත්ව, වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් හඬ නගා පැවසිය යුතු වන නිසාය. 

Tuesday, March 26, 2013

ආදරය සඳහා ඇවින්යොන් වේදිකාව...


1990 දශකයේ ආරම්භය යනු 'ඉතිහාසය අවසන් වීමෙන්' පසු ගෝලීය ආධිපත්‍යයට නිතරඟයෙන් තේරී පත් වූ අවසාන - පුද්ගලත්ව කේන්ද්‍රීය - මිනිසාගේ මොහොත විය. සකලවිධ සාමූහිකත්වයන් පිළිබඳව කෙරෙනා ඕනෑම ආකාරයක සිතා බැලීම් අනිවාර්ය ලෙසම ලේ ගංගාවකින් නිම වීමට නියම වන්නා, ත්‍රස්තවාදී සහ සර්වාධිකාරී සමාජ ක්‍රමයකින් අවසන් වීම යනු එකල ඉතිහාසයේ සදාතනික නියාමය විය. 

"ආදරය සඳහා හෝර්ටන් තැන්න" යන කුඩා ව්‍යාපාරයෙන් ඇරැඹි 'ප්‍රේමය' පිලිබඳ ලාංකික සංවාදය 1990 දශකය පුරා නව තාරුණ්‍ය හට ඉමහත් ආකර්ශනීය වූයේ ප්‍රේමය මෙම පුද්ගලත්ව කේන්ද්‍රීය විශ්වය දෙදරවාලූ අත්දැකීමක් වන නිසාය. ප්‍රේමය යනු සිය පුද්ගල ජීවිතයේ යහ පැවැත්ම පසෙකලා 'දෙදෙනා' වෙනුවෙන් ජීවිතය කැප කිරීමේ මිනිස් උරුමයයි. වසර විසිපහකට පමණ පසු බදියු මේ සඳහා සූත්‍රයක් නිපදවා තිබේ.  "ප්‍රේමය = අවම කොමියුනිස්ට්වාදය".

Tuesday, March 12, 2013

ගණික කටු කම්බි


ලංකාවේ කලාත්මක ප්‍රකාශන වල පොදුවේ දක්නට ලැබෙන එක් සීමාවක් වන්නේ ඒවා බොහොමයක් තුල දේශපාලනය විසින් කලාව සීචනය (suture) කර තිබීම යි. තාක්ෂණික යෙදුම් හැකිතාක් ඉවත් කර මෙය කියනවානම් එය මෙසේ ලිවිය හැකිය : 'කලා කෘතියක් විසින් කල යුත්තේ දේශපාලනය තුල අප අභිමුවේ තිබෙනා ගැටළු වලට පිළිතුරු සෙවීමය' යන අදහස තුල තිබෙන්නේ කලාව දේශපාලනය විසින් සීචනය කිරීම යි. මේ පිළිබඳව තරමක් හාස්‍යජනක නිදර්ශනයක් ලෙස, වරක් චන්ද්‍රගුප්ත තේනුවර සිත්තරාගේ චිත්‍ර ප්‍රදර්ශනයක සමරු පොතක් පෙරලමින් සිටින විට මුණ ගැසුණු අපූරු සටහනක් සිහිවේ. සටහන තියා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා ය. මතක විදියට එහි ලියා තිබුනේ මෙවැන්නකි: "ඔබගේ කලා නිර්මාණ තුලින් ජාතික සමගිය ගොඩ නැගීමට ගන්නා උත්සාහයට අපගේ ආචාරය!". අපිට පුළුවන් මෙය කලාව පිලිබඳ 'විජිත හේරත් තිසීසය' ලෙස නම් කිරීම ට. මෙයට පරස්පර ලෙස අප යෝජනා කරන්නේ කලා කෘතියකින් කල යුතු වන්නේ කලා කෘතියකින් පමණක් ප්‍රකාශ කල හැකි දෙය කුමක්ද යන්න ගවේෂණය කිරීම යි. වෙනත් ලෙසකින් කියනවානම් කලා කෘතියක සුවිශේෂය කුමක්ද කියා සොයා බැලීම යි. 

Wednesday, March 6, 2013

"කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය

'කතිකා අධ්‍යයන කවය' විසින් පල කරනු ලබන "කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය නිකුත් වී තිබේ. දර්ශනය පිලිබඳ උනන්දුවක් දක්වන අප බ්ලොග් අඩවිය කියවන මිතුරන්ට මෙය වැදගත් වනු ඇත. ඒ සමගම අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම පිලිබඳ උනන්දුවක් තිබෙන අයටද මෙහි ඇති ඇතැම් ලිපි ප්‍රයෝජනවත් වෙයි. බුද්ධිමය අතින් නිසරු, පල් හෑලී පුවත් පත් ලිපි මත යැපීමට සිදුව ඇති සමකාලීන ලාංකිකයාට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත.