Friday, May 11, 2012

අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය



ප්‍රේමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම හා ඔවුන් නැවත හමුවීම සම්බන්ධ සිදුවීම් දාමය ජනමාධ්‍ය තුළ වාර්තා වූ ආකාරය ඉතාම සිත්ගන්නා සුළු ය. බොහෝ දෙනෙක් උත්සුක වී තිබුනේ මෙම සිදුවීම් දාමය අතුරුදහන් වීමට ලක් වූ දෙදෙනා අයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේම සැලසුමක් බව ඇඟවීමට යි. බැසිල් රාජපක්ෂ මහතා උපහාසයෙන් යුතුව ප‍්‍රකාශ කලේ මේ සමස්ත සිදුවීම් දාමයෙන්ම වාසි ලැබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම බවයි. ඒමගින් ඔහු ඇඟවූයේ මෙය එම පක්ෂයේම සැලසුමක් බවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කරන විට ධම්ම දිසානායක මහතා ඔහු පසුපසින් සිට එවැනිම උපහාසයකින් හා රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශය අනුමත කරන ආකාරයෙන් ද යුතුව සිනාසුනු බව ඒ මාධ්‍ය සාකච්ජාව රූපවාහිනියෙන් දුටු අය මා සමඟ පැවැසී ය. මෙම අදහස ම අතිශය රළු ආකාරයකින් ප‍්‍රකාශ කරනු ලැබුවේ එවැනි රළු ප‍්‍රකාශ වලට ප‍්‍රසිද්ධියක් උසුලන එස්. බී. දිසානායක ඇමතිතුමා විසිනි. එතුමා ඊට තවත් දෙයක් එකතු කිරීමටද අමතක නො කළේය. එ නම් පැහැර ගැනීමක් සිද්ධ වූවා නම් එය ජ.වි.පෙ. වැඩක් විය යුතු බවයි. 

මෙම අදහසම පුනරුච්ජාරණය කරමින් දිවයින පුවත්පතට ලිපියක් ලියන සමන් ගමගේ ප‍්‍රශ්න කරන්නේ කුමාර් ගුණරත්නම් ‘‘රහසේ උපන් බිමට පැමිණ සැඟව සිටියේ විජාතික කුමන්ත‍්‍රණකරුවකු ලෙස ප‍්‍රබල භූමිකාවක් රඟ දැක්වීමට විය නොහැකිද?’’ යනුවෙනි.  විමල් වීරවංශ මහතා විසින් මෙහෙයවනු ලබන්නේ යැයි සැලකෙන ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ මෙම අතුරුදහන් වීම පිළිබඳව පලවන පුවත් වලට පාඨකයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර වල හරය වන්නේ ද මෙම ආකල්පයම ය. මේ මගින් අපගේ සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දක්වන ආකල්පය පිළිබිඹු වන්නේ ද? මා ඉහත සඳහන් කළ චරිත එසේ නැතහොත් ඒ අදහස් පළවූ මාධ්‍යය වලට සිංහල බෞද්ධ ජනසමාජයේ මත සකස් කීරීම කෙරෙහි විශාල බලපෑමක් ඇත. එම නිසා මේ මත දැක්වීම් සිංහල බෞද්ධ සමාජයේ යම් ආකාරයක පිළිබිඹුවක් ලෙස සැලකීමේ අසාධාරණත්වයක් නැත.

මෙම ආකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාලව ගැටලූවක් වන්නේ කෙසේද? මා ඉහත සඳහන් කළ පිරිස් වල මේ අතුරුදහන්වීම පිළිබඳ යථෝක්ත අදහස සිදුවීමේ යථාර්ථයට කිට්ටු එකක් නම් ඒ ආකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාලව ගැටලූවක් මතු කරන්නේ යයි කිව හැකි ද? මෙය තරමක් දුරට සලකා බලමු.

ආණ්ඩුවේ පැත්තෙන් ගත්කල සිදුවිය හැකි නරකම තත්වයෙන් (worst case scenario) පටන් ගනිමු. එනම් අතුරුදහන්වීම සිතාමතා සැලසුම් කල දෙයක් යයි සිතමු. තත්වය එසේ වුවත් ආණඩුවේ ආකල්පය කුමක් විය යුතුව යුතුව තිබේ ද? ආණ්ඩුව මේ සිදුවීමේ දී හැසිරිය යුතුව තිබුනේ කෙසේ ද?

මට හිතෙන්නේ මෙය හරියට යාචකයින් පිළිබඳ තත්වය මෙනි. අප පුද්ගලිකව නො හඳුනන්නේනම්  ඕනෑම යාචකයෙක් බොරුකාරයෙක් වීමට සම්භාවිතාවක් තිබේ. ඒසේ වුවත්  ඕනෑම බොරුකාරයෙකුට යාචකයෙක් ලෙස පෙනී සිටිය හැක්කේ එක් කොන්දේසියක් සම්පූර්ණ වී තිබේනම් පමණකි. එනම් යාචකයින් බිහිවීමට තරම් වන සැලකිය යුතු තරමේ දරිද්‍රතාවයක් සමාජය තුළ පැවතිය යුතුය. බටහිර රටවල අධිපති ජීවන ක‍්‍රමය අනුගමනය කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සඳහා හිඟාකෑම තෝරාගත් අය මා දැක ඇත. පැරණි ඉන්දියාවේත් එවැනි අය විසූහ. භික්ඛු යනුවෙන් හැඳින්වූයේ එවැනි අයයි. භික්ඛු යන්නෙහි වාචික අරුත සිඟාකෑම යන්නයි. නමුත් වර්තමාන ලංකාවේ සිඟාකෑම එවැන්නක් නොවේ.

දැන් ගැටලූව වන්නේ මෙයයි. යාචකයින් පිළිබඳ අපගේ පොදු ආකල්පය තීරණය විය යුත්තේ ඉතාම සාධාරණ නිගමනයක් වන හොර යාචකයින් සිටී යන නිගමනය මතද? එසේත් නැතහොත් යාචකයින් බිහිවීමට තරම් වන දරිද්‍රතාවයක් සමාජය තුළ පැවතීමේ සාධකය මතද? යාචකයින්ට මුදල් දීමට මැලිකමක් දක්වන්නෙකුට නම් පළමු සාධකය හෘද සාක්ෂිය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිකරගන්නේ ද නැතිව එසේ කිරීමට ඉඩකඩ ලබාදෙයි. නමුත් සමාජයීය හෘද සාක්ෂියක් ඇත්තෙකුට පමණක් නොව රටක ආර්ථික ප‍්‍රතිපත්ති සාදන්නන්ටද එයින් සෑහීමට පත්වීමට හැකියාවක් නොමැත. දෙවනුව කී කණ්ඩායමට ඒ සඳහා අයිතියක් ද නොමැත.

අතුරුදහන්වීම් සම්බන්ධව ආණඩුව හැසිරෙන්නේ හරියටම හොර යාචකයින් සිටීය යන සමාවට කරුණ මත යාචකයින්ට මුදල් දීම ප‍්‍රතික්ෂේප කරන මසුරු මනුෂ්‍යයෙකු මෙනි. ප්‍රේමකුමාර් ගුණරත්නම් ට හා දිමුතු ආටිගල ට පමණක් නොව මෙතෙක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති සියළු දෙනාටම ආණ්ඩුව සලකන්නේ හොර යාචකයින්ට මෙනි.

පුද්ගලයින් පැහැරගෙනයාම හා අතුරුදහන් වීම් පසුපස රාජ්‍ය හස්තයක් කිසියම් ආකාරයකින් හෝ ක‍්‍රියාත්මක වන බව ඉතාම සාධාරණ ලෙස සැක කිරීමට ප‍්‍රමාණවත් තොරතුරු තිබේ. කොලොන්නාවේ නගරාධිපතිවරයා සහ සාගර සේනාරත්න පිළිබඳ සිද්ධීන් වලදී ද පසුගියදා කඳානේ දී සිදුවූ පැහැරගැනීමේ දී ද එය හොදින්ම පැහැදිළි විය. මේ සම්බන්ධව ආණ්ඩුවට එරෙහිව මතුකෙරුණු සැක සංකා නැති කිරීමට ආණ්ඩුව සතුටුවිය හැකි උත්සාහයක් දරා නැත. අඩුම තරමින් මේවා පිළිබඳව සොයා බලා ආණඩුව තමන් නිර්දෝෂි බව සමාජයට තහවුරු කල යුතුය. නමුත් ආණ්ඩුව දැන් හැසිරෙන්නේ නම් සතුරා ගේ ලූහුබැදීමට ලක්වන විට සතුරාගෙන් ගැලවීමට වැල්ලේ ඔළුව හංගා ගන්නා මෝඩ පැස්බරා මෙනි. ආණ්ඩුවේ ඉහල සිටින අය දැන ගත යුත්තේ මේ මෝඩ පැස්බරාට හිනාවෙන පිරිසක් ද මේ රටේ සිටින බවත් දැනට ඒ පිරිස ටිකදෙනෙක් වුවත් ඒ ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන බවත් ය.

නිර්මාල් රංජිත් දේවසිරි

Wednesday, May 9, 2012

Slavoj Zizek කියන නම උච්චාරණය කරන්නේ කොහොමද?



ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන බුද්ධිමය සාකච්චාවේ ස්වරූපය අවබෝධ කරගත හැකි එක්තරා රෝග ලක්ෂනාත්මක ලක්ෂ්‍යයක් වන්නේ, විදේශීය චින්තකයන්ගේ නම් සිංහලෙන් ලියන ආකාරයයි. සාමාන්‍යයෙන් අපට නුහුරු නම් තිබෙන රටක පුද්ගලයකුගේ නමක් ලියා තිබෙන අයුරින් පමණක් එය උච්චාරණය කරන ආකාරය පිලිබඳ නිවැරදි අවබෝධයක් නොලැබිය හැකිය. එවිට සිදුවිය යුතු වන්නේ, එය නිවැරදි ආකාරයට උච්චාරණය කරන ආකාරය දැනගත් පසු, කලින් එය වැරදියට උච්චාරණය කලානම්, එය නිවැරදි කරගැනීමයි. මෙය මහා ලොකු දාර්ශනික තර්කයක් නොව, එදිනෙදා ජීවිතය තුල කවුරුත් කරනා දෙයක්ය. 

Monday, May 7, 2012

සාකෝසිගේ පරාජය සහ දඹුල්ලේ ප්‍රහාරය



ලංකාවේ දේශපාලන සංවාදය තුල 'බටහිර' නම් හැඟවුම්කාරකය තීරණාත්මක පොර පිටියක් වීම පශ්චාත්-යටත්විජිත සන්ධර්භයට ඌණනය කර ඇඟ බේරා නොගෙන අප එකිනෙකට පරස්පර පහත නිමේෂයන් දෙක සලකා බලමු. 

1."බටහිරයන්" සියලු දෙනා අඩු වැඩි වශයෙන් බටහිර වෙනුවෙන් පෙනී සිටිනා බවත්, අප විසින් ලංකාවේ සාකච්චාවට ගැනීමට උත්සාහ කරනා දාර්ශනිකයන්ද, 'අවසාන විග්‍රහයේදී', බටහිර සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය පිළිගන්නා බවත් නලින් ද සිල්වා මහතා කලක සිට චෝදනා කරයි. මේ සඳහා සිල්වා මහතා නිතර දෙවේලේ යොදනා එක් නිදර්ශනයක් වන්නේ, ප්‍රංශය තුල මුස්ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණ පැළඳීම තහනම් කල විට, එයට මේ 'එකෙක්වත්' විරුද්ධ නොවුණු බවය.


Tuesday, April 24, 2012

රාජ්‍ය කියන්නෙ පැහැදිලිවම පංතියක්‌ සඳහා තියෙන ආයතනයක්‌ - නිර්මාල් රංජිත් දේවසිරි


පහතින් දැක්වෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග කල සංවාදයකි. 


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. එයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ වැටුප් විෂමතාවන්ට අමතරව සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතිය අද මුහුණදී ඇති අනතුරයි. මේ අනතුර පිළිබඳවත් අපේ රටේ වර්තමාන දේශපාලන ප්‍රවාහයේ ගමන් මඟ පිළිබඳවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කරන විග්‍රහයකි මේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැවත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යැමට තීරණය කර තිබෙනවා. මේ වැටුප් ප්‍රශ්නයේ දැන් තත්ත්වය කුමක්‌ද? ආණ්‌ඩුව පොරොන්දු ඉටු කළේ නැද්ද?

Monday, April 23, 2012

හේගල් පිළිබඳව සාපේක්ෂ වශයෙන් ගැඹුරු අවබෝධයක් ලැබීමේ අවම කොන්දේසී මොනවාද?



දීප්ති කුමාර ගුණරත්න මහතා වසර 20 ක් පමණ තිස්සේ කියමින් සිටින දෙයම දැන් අලුත් වටයකින්, අලුත් නම් ලැයිස්තුවක් සමග, කීමට පටන් ගෙන තිබේ. කලකදී, දේශපාලනය කිරීමට ඩෙරීඩා කියවීම අත්‍යවශ්‍ය විය. එයට පසුව, දේශපාලනය කිරීම සඳහා ලැකෙනියානු මනෝවිශ්ලේෂණය කියවීම අනිවාර්ය විය. වසර කීපයකට පසුව, ගුණරත්න මහතා අලුතින්ම සොයාගෙන ඇති දෙයට අනුව, දේශපාලනය කිරීමට නම් ඉතාමත්ම හදිසි අවශ්‍යතාවය වන්නේ, හේගල් කියවීමයි. 



මෙය, එය තුලම ගත් විට, ගැටළුවක් නොවේ. අපි දේශපාලනය කිරීමට කල යුත්තේ මොනවාද කියා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් පැවසීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබේ. නමුත් මෙයින් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව යමක් පැවසීමට අපට සිදු වන්නේ, ලංකාවේ බුද්ධිමය සංස්කෘතිය තුල පුනරුදයක් ඇති කිරීම දේශපාලනික ලෙස අපට වැදගත් වන නිසාත්, එවැනි පුනර්ජීවනයක් සඳහා දර්ශනයේ ඉතිහාසයේ එන මග හැරිය නොහැකි කඩ ඉමක් වන හේගල් පිළිබඳව ගැඹුරු සාකච්ජාවක් ඇති කිරීම සැබවින්ම අවශ්‍ය වන්නා නිසාත් ය.



මේ අනුව, පළමුවෙන්ම හේගල් පිලිබඳ යම් අවබෝධයක් ලැබීමට අවශ්‍ය අවම කොන්දේසි මොනවාද යන්න පැවසිය යුතු වෙයි. හේගල් වේවා වෙනත් දාර්ශනිකයෙක් වේවා වටහා ගැනීමට යම් පූර්ව කොන්දේසී ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම කොන්දේසි සපුරා තිබෙන ප්‍රමාණය අනුව කෙනෙක්ට එම කියවීම කිරීම පහසු වෙයි. නිදර්ශනයක් ලෙස, කෙනෙක්ට ජර්මන් භාෂාව කියවීමේ හැකියාව, නැතිනම් ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය වැනි දියුණු හේගලියානු පරිසරයක ඉගෙනීමට හැකි වීම අපට පෙන්වා දිය හැකි ය. මේවා මෙවැනි අවබෝධයක් ලැබීම සඳහා මහෝපකාරී විය හැකි උවත් මෙය ප්‍රායෝගිකව කල හැකි දෙතුන් දෙනෙකු හෝ ලංකාවේ ඉන්නවාය කියා සිතීම අපහසු ය. එම නිසා අප මෙතනදී සලකා බලන්නේ, උවමනාව හා කැප වීම තිබෙනවානම්, ලංකාවේදී ඉටු කරගත හැකි, නමුත් හේගල් පිළිබඳව විශ්වසනීය අවබෝධයක් ලැබීමට අවශ්‍ය වන්නා වූ අවම කොන්දේසීන් ය. 



1. හේගල් ගේ ප්‍රධාන කෘතීන් එකක්වත් සිංහලට පරිවර්තනය් වී නොමැති අතර, ඒ සියල්ලම වගේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී තිබේ. අනික් අතට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අවශ්‍ය පසුබිම ලංකාවේ බොහෝ දෙනෙක්ට ඇති අතර එම නිසා සියල්ලටම ප්‍රථමයෙන් කල යුත්තේ, ඉංග්‍රීසි භාෂාවෙන් හේගල් කියවිය හැකි මට්ටමට එම හැකියාව වර්ධනය කර ගැනීමය්. 



2. බොහෝ දෙනෙක් සම්ප්‍රදායික ලෙස පළමුවෙන් කියවන්නේ, හේගල් ගේ Phenomenology of Spirit කෘතියයි (අප ද මූලික වශයෙන් හදාරා ඇති හේගල් ගේ ප්‍රධාන කෘතිය මෙයයි). එම නිසා මෙම කෘතිය පිළිබඳව විශාල ද්විතීක සාහිත්‍යයක් තිබේ. මෙම කරුණු සියල්ලම උඩ, මෙම පොතෙහි පිටපතක් ලබා ගත යුතු වෙයි (මෙය අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගත හැක). 



3. මේ පිළිබඳව ඇති ඇති විශාල ද්විතීක සාහිත්‍යය කෘති අතරින් අවම වශයෙන් දෙකක්වත් කියවිය යුතුය කියා අප යෝජනා කරමු. අපගේ පාර්ශවීය තෝරා ගැනීම් අනුව කියන්නේ නම්, ජොන් ඉපොලීත් ගේ (මේ නම සමහරුන් වැරදියට 'හිපොලය්ට්' කියා උච්චාරණය කරයි) Genesis and Structure of Hegel’s Phenomenology of Spirit සහ ටෙරී පින්කාඩ් ගේ Hegel's Phenomenology: The Sociality of Reason මේ සඳහා අපට මහත් පිටිවහලක් විය (මේවාද නොමිලයේ, අන්තර්ජාලයෙන් ලබා ගත හැකි වෙයි). 



4. දැන් ඔබට ඇත්තේ, පත්තර වලට ලිපි ලිවීම, වෙබ් අඩවි වල කොමෙන්ටු දැමීම, ෆේස්බුක් එකේ ජායාරූප අප්ලෝඩ් කිරීම, පෙම්වතිය සමග රණ්ඩු වීම, මිතුරන් සමග ගංජා ගැසීම, ආදී මෙකී නොකී කාරනා සියල්ල අමතක කර, අවම තරමින් වසරක කාලයක් පමණ වැය කර, මේසයක් මත මෙම පොත් ටික තබාගෙන, සටහන් තබමින්, තමන්ගේම උදාහරණ සපයමින්, මෙය කියවීමය. 



අප දන්නා පරිදි හේගල් වැනි අවබෝධ කර ගැනීමට දුෂ්කර දාර්ශනිකයකු පිළිබඳව හැදෑරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට මේ සඳහා ඇති අවම කොන්දේසීන් වන්නේ මේවායි. නමුත් ගුණරත්න මහතාගේ හේගල් පිලිබඳ සම්මන්ත්‍රණ මාලාව මගින් යෝජනා කරන්නේ මෙවැන්නක් නොවේ. ඒ වෙනුවට එහිදී කෙරෙන්නේ ඔවුන් විසින් රචනා කරන ලද පිටු කිහිපයක නෝට් එකක් මත පදනම්ව හේගල් පිළිබඳව කෙරෙනා කතා බහකි. පෙරද ලියු පරිදි, මෙය එය තුලම ගත් විට ගැටළුවක් නොවුනද, මෙමගින් හේගල් පිළිබඳව විශ්වසනීය අවබෝධයක් ලබා ගැනීමේ අහලකටවත් යා නොහැකි ය. මෙහිදී සිදුවන්නේ හේගලියානු වාග්මාලාවේ, තනුක කරන ලද අදහස් ටිකක් සිංහලෙන් ලියනා සම්ප්‍රදායක් ඇති වීමය. හරියට, කලකට ඉහතදී, ලැකෙනියානු මනොවිශ්ලේෂණයේ තනුක කරන ලද අදහස්, ඒ පිළිබඳව හසරක් නොදත් පිරිසක් විසින්, 'යථ', 'ප්‍රමෝදය', 'සංකේත පිළිවෙල' ආදී ලෙස අර්ථ විරහිත ලෙස තැන් තැන් වල ලියමින් කියමින් ගිය පරිදිම ය. 



මෙමගින් මෙරට හේගල් අධ්‍යයන සම්ප්‍රදායක් ඇති වන්නේයැයි කෙනෙක් සිතන්නේනම් එය බලවත් මුලාවකි. නමුත් මෙමගින් ගුණරත්න මහතාට නම් මහත් සේවයක් වෙයි. ඔහුට අවශ්‍ය වන්නේ, ඔහුගේ දේශපාලන විශ්ලේෂණය මේ මොහොතේ වාමාංශික දේශපාලනයේ වඩාත්ම ගැඹුරු සහ නිවැරදි විශ්ලේෂණය කරවීමයි. මේ සඳහා ඔහු හේගලියානු වදන් මාලාවකින් එම විග්‍රහයන් සරසනු ඇති අතර, එවිට ඒවාට යම් කිසි විදියකට කියවීමේ පිරිසක් ලෙස මෙම සම්මන්ත්‍රණයට පැමිණි පිරිස යොදා ගත හැකි වේ. අනෙක් අතට, එවිට එම 'විශ්ලේෂණ' වලට පිළිතුරු දීමට පුවත් පත් වල දේශපාලනය ගැන ටොන් ගණන් ලිපි ලියන අනෙකුත් 'විචාරකයන්ට' නොහැකි වනු ඇත. මන්ද, අතිශයින් දුප්පත් ඔවුන්ගේ සංකල්පීය ලෝකය තුල හේගලියානු ශබ්දකෝෂයේ ගාම්භීරත්වය සමග තරඟ කල නොහැකි හෙයිනි. මේ සම්බන්ධයෙන් අපට කිසිම ගැටළුවක් නොවේ. මෙම 'විචාරකයන්' රැක ගැනීමට අපට කිසිඳු උවමනාවක් නොමැති වෙයි.




අනෙක් අතට අප හේගල් අධ්‍යනය කරන අවකාශයට මෙමගින් හානියක් වන්නේද නොවේ. හේගල් හෝ වෙනත් ඕනෑම දාර්ශනිකයෙක් අප හදාරන්නේ මෙවැනි ජනප්‍රිය වැඩ සඳහා නොව, පොදු යහපතක් ලෙස අධ්‍යාපනයේ උරුමය, නව ලිබරල්වාදී ආක්‍රමණය හමුවේ රැක ගැනීම වෙනුවෙනි. මෙය සරල ලෙස කිසියම් දාර්ශනිකයකුගේ වචන කීපයක් තොල ගා ගෙන කල හැක්කක් නොව, ඊට වඩා බොහෝ දුෂ්කර, කල් ගත වෙන සහ ජනප්‍රිය නොවන කටයුත්තකි.   එම නිසාම අප සමග හේගල් හදාරන්නට පැමිණිය යුත්තේ ම, ගුණරත්න මහතාම මෑතකදී කියා තිබු පරිදි, 'නිර්මාල්' කතා කරලා ඉවරවෙනකන් නිදාගෙන පසුව ‘දීප්ති’ ගේ කතාව ආතල් නිසා එය අසන්නට අවදි වන අය නොවිය යුතුය. ආතල් සොයනා අයට හේගල් කියවීමට වඩා පහසුවෙන් එය ඉටු කර ගැනීමට බොහෝ මාර්ගයන් තිබේ. මෙම සම්මන්ත්‍රණ මාලාව අවසානයේදී 'ලුබියානා පාසල' ලෙස ඔවුන් විසින් නම් කරනා ආයතනයකින් (?) එහි ප්‍රධාන ප්‍රකාශකයන් ලංකාවට ගෙන්වන බව පවසා තිබෙන ප්‍රකාශය සම්බන්දයෙන්නම් අපට මේ අනුව කියන්නට යමක් තිබේ. මින් ඔවුන් අදහස් කරන්නේ 'දර්ශනයේ ස්ලෝවේනියානු ගුරුකුලය' ලෙස බදියු නම් කරන Ljubljana School of Psychoanalysis යන්නයැයි කියා අපට සිතේ. අප මෙම ප්‍රකාශය ඔවුනට අභියෝගයක් ලෙසම කරමු. ඔව්, හැකිනම් ස්ලෝවේනියානු ගුරුකුලයේ ප්‍රධාන ප්‍රකාශකයින් වන ස්ලවෝයි ජිජැක්, ඇලෙන්කා සුපාන්ශිෂ්, ම්ලාඩන් ඩොලාර් නැතිනම්, ඔවුන්ගේ සතුරු පාර්ශවය (අපි වගේම ඔවුන්ද අභ්‍යන්තරික බෙදී වෙන්වීම් වලින් සහ විරසක වීම් වලින් සලකුණු වූ ගුරුකුලයකි - මෙය ඕනෑම සැබෑ ගුරුකුලකයකට පොදු ධර්මතාවයකි) නියෝජනය කරන රාඩෝ රිහා, යෙලිකා සුමිෂ් වැනි කෙනෙක් මෙරටට ගෙන්වන්න! එම 'ප්‍රකාශකයන්' සමග සංවාද කරන්නට ඔවුන් හදන්නේ මෙම 'එක දාර්ශනිකයකු, එක දිනයකින්!' බැගින් ඉගැන්වෙන ඔවුන්ගේ මෙම සම්මන්ත්‍රණ මාලාවේ සහභාගී වන්නන්නන් සමගනම්, සිදු විය හැකි එකම දෙය වන්නේ ඔවුන් ලංකාව දෙසවත් නැවත නොබැලීමට සපථකරමින් පිටව යාම පමණි. ඔවුන් ඉදිරියේ ගුණරත්න මහතාගේ සහ පුෂ්පකුමාර මහතාගේ හේගල් කියවීම් ඉදිරිපත් කරන්න! ඔවුන් ඉදිරියේ ගුණරත්න මහතාට තමා අමු අමුවේ ජිජැක් ගෙන් හොරකම් කරන ලද අදහස්, උදාහරණ, විහිලු ආදිය කීමට නොහැකි අතර, ඒ වෙනුවට කල යුත්තේ සිය අව්‍යාජ කියවීම් ඉදිරිපත් කිරීමයි. අන්න ඒ විට ලංකාවේ හේගල් හදාරන්නේ කොහොමද, කුමකටද, කාත් සමගද කියා තීරණය කිරීමට අපට හැකි වනු ඇත. අප එතෙක් බලා සිටිමු. 

Tuesday, April 10, 2012

2004 දෙසැම්බර් දෙස ආපසු හැරී බැලීම

 2004 දෙසැම්බර් 26 වැනි දින ඇති වූ X කණ්ඩායමේ බෙදී වෙන්වීම පිළිබඳව අතිශයින් ගැටළු කාරී විස්තරයක් දීප්ති කුමාර ගුණරත්න විසින් මෙහෙයවන සංවිධානයේ නිල වෙබ් අඩවිය තුල  "ෆීනික්ස් කුරුල්ලාගේ දේශපාලනය" යන නමින් ඵල වී තිබේ. පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව වන විශ්ලේෂණයකි.

එදින සිදු වූ සිදුවීම් පෙළ පිළිබඳව මේ වන විටත් බොහෝ දේ ලියවී ඇති හෙයින් ඒ පිළිබඳව වැඩි දුරටත් ලිවීම අනවශ්‍ය වේ කියා සිතමි. මේ පිළිබඳව තොරතුරු දන ගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් 2005 වසරේ පල වූ අවසන් London  සඟරා කීපය කියවන මෙන් ඉල්ලමි. නමුත් මෙතනදී සලකා බලන ලිපියේ ආරම්භයම අතිශය පටු පාර්ශව දෙකකට එම මොහොත තුල ඇති වී තිබූ දේශපාලන අර්බුදය ඌණනය කරයි. එතනදී ඇති වූයේ දීප්ති පාර්ශවය සහ 'අමාරිස්' පාර්ශවය අතර පිල් බෙදීමක් නොවේ. 

පළමුවෙන් මේ ලිපියේ ඇති 'අමාරිස්', 'හැලපයා', 'කුකුලා', 'පැණියා' ආදී යෙදුම් සම්බන්දයෙන් යමක් කිව යුතුය. බොහෝ දෙනෙක් අප  සමග එකඟ නොවූවද, අප  සිතන්නේ මෙය ගැටළුවක් නොවන බවයි. බදියු පවසනා පරිදිම, සැබෑ සතුරන් පැවතීම දේශපාලනයේ ලක්ෂණයකි. සතුරන් පවතිනවානම් ඔවුනට අපහාස කිරීම ගැටළුවක් නොවේ. මේ අනුව නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාට 'අමාරිස්', 'අමාරිසා' නැතිනම් 'අමාරිස් අය්යා' ලෙස අපහාස කිරීම සම්බන්දයෙන් අපට සදාචාරාත්මක දුක් ගැනවිල්ලක් නොමැත. කියන්නට ඇත්තේ මෙය දෙපැත්තටම පොදු බවත් ඔවුනගේ අතිශය දුප්පත් දාර්ශනික මනස්ගාත වලට අපගෙන්ද කිසිදු සහනයක් නොලැබෙන බවත් ය.   

කෙසේ උවත් 2004 සිදු වූයේ නිර්මාල් සහ දීප්ති අතර පිල් බෙදීමක් නොව, 'සාමුහිකව හැදෑරීම' නම් අලුත් සම්ප්‍රදායක් ලංකාවේ දේශපාලනයට එකතු කිරීම ලෙස ඇරඹි X ව්‍යාපෘතිය, යම් යම් න්‍යායික සංකල්ප ඉතා පටු විදියට යොදා ගන්නා, එක පුද්ගලයෙකුගේ අධිකාරිවාදී ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වීම පිළිබඳව නැගුනු සාමුහික විරෝධයකි. මෙම විරෝධය නිර්මාල් යටතේ සංවිධානය වීමක් ලෙස දක්වීමම දීප්ති ගේ දේශපාලන දැක්ම පිලිබඳ අදහසක් අපට ලබා දෙයි. ඔහුට අනුව සාමුහික ක්‍රියා මාර්ගයන් කියා දෙයක් නොමැති අතර ඇත්තේ එක් පුද්ගලයෙක් පසු පස අනෙක් අය සංවිධානය වීමයි. 2005 කාලයේ දීප්ති පැවසු උක්ත සාමූහික විරෝධය 'බණ්ඩා' විසින් කරකවන ලද ගේමක් ය යන්නද, මෙයට සමාන වේ. අපගේ සාකච්චාවට බඳුන් වන ලිපියේ දෙවෙනි ජේදයේ එන වැකියකින් මෙම අදහස අපට පැහැදිලි කර ගත හැකිය. එහි මෙසේ දැක්වේ: "එහෙත් දීප්ති කීවේ අප නොබියව මහ සමුළුවක් ඉදිරියේ දී මේ ප්‍රශ්ණය සාකච්ජා කළ යුතු බවත් දැනට සංවිධානයේ සිටින අය ආවේ මාත් එක්ක දේශපාලනය කිරීමට මිසක අමාරිස් සමග දේශපාලනය කිරීමට නොවන බවත් ය".  X කණ්ඩායමේ ඇති වූ අර්බුදය කුමක්ද යන්න කෙටියෙන් පවසන්නයය්නයැයි කෙනෙක් අපගෙන් ඉල්ලා සිටියහොත් මේ සඳහා අපට ඉදිරිපත් කල හැකි ශක්තිමත්ම සාක්ෂිය වන්නේ මෙම වැකියයි. මෙය දේශපාලනය පිළිබඳව අතිශයින් වැරදි අදහසක් මත පිහිටා තිබේ. එයට අනුව කෙනෙක් දේශපාලනය කරන්නට පැමිණෙන්නේ වෙනත් පුද්ගලයෙකු සමග දේශපාලනය කිරීමට ය. මෙහි ගැටලුව වන්නේ පළමු පුද්ගලයා දේශපාලනය කිරීමට පැමිණි ආකාරය මෙයින් හෙළි නොවීමයි. අපි මෙය තරමක් වටහා ගන්නට උතසාහ කරමු. ඉහත අදහසේ තර්කය දික් කල විට අපිට එවක  X කණ්ඩායමේ සාමාජිකයන් කුලක දෙකකට අයත් වන බව සිතා ගත හැකිය. එක් අතකින් සිටින්නේ දීප්ති හෝ නිර්මාල් සමග දේශපාලනය කරන්නට පැමිණි පිරිසය. අනෙක් අතින් දීප්ති සහ නිර්මාල් සිටී. දැන් මේ දෙදෙනා දේශපාලනය කරන්න පැමිණියේ කා සමගද? මෙය හරියටම සමාන වන්නේ ක්‍රිස්තියානී දේවධර්මයේ එන දෙවියන්ගේ පැවැත්ම සඳහා වන ජනප්‍රිය තර්කයක් වන "විශ්වවේදී තර්කයට ය" (Cosmological Argument). එයට අනුව, මෙම විශ්වයේ කෙදිනක හෝ ආරම්බයක් තිබිය යුතු අතර එම නිසා එය ආරම්භ වීමට හේතුවක් ද තිබිය යුතුය. නමුත් විශ්වය ඇරඹීමට පෙර එයට හේතුව ලෙස පැවතිය හැකි දෙයක් පැවතිය නොහැක, මන්ද දේවල් පවතින්නේ විශ්වය තුලය. මේ අනුව විශ්වයේ ආරම්භක හේතුව විය හැක්කේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙයි. මෙයට පිළිතුරු දෙමින් ජනප්‍රිය ලෙස රසල් ඇසූ ප්‍රශ්නය මෙයයි: සෑම දෙයකටම ආරම්භක හේතුවක් තිබීම අනිවාර්ය නම් දෙවියන් වහන්සේටත් ආරම්භක හේතුවක් තිබිය යුතුය.  එවිට දෙවියන් වහන්සේ ගේ ආරම්භක හේතුව කුමක්ද? 

මිනිසුන් සැබවින්ම දේශපාලනය කරන්නට එන්නේ, අදහස් නැතිනම් සිදුවීම් වලිනි. මෙහිදී අපට බදියු දේශපාලනය සඳහා ලබා දෙන අලංකාර නිර්වචනය සලකා බැලිය හැක. බදියුට අනුව දේශපාලනය යනු "පවත්නා අධිපති සමාජ සම්බන්ධතා තුලින් මර්ධනය කර ඇති නව්‍ය වියහැකිභාවයක (possibility) ප්‍රතිවිපාකයන්, යථාර්ථය තුළ ගොඩ නැගීමේ අරමුණින්, කිසියම් මූලධර්ම කීපයක් අනුසාරයෙන් සිදු කරනා සංවිධිත සාමූහික ක්‍රියාකාරකම් එකතුවකි" (බලන්න, අප විසින් පරිවර්තනය කල බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" කෘතිය - 24 පිට).මෙහිදී කිසියම් දේශපාලන අනුක්‍රමනයක ආරම්භයේ සිටින්නේ සර්වබලධාරී දෙවි කෙනෙක් නොව, 'සිදුවීමක්' වන අතර එවැනි දේශපාලනයක මූලික ක්‍රියාකාරිත්වය වන්නේ මෙම සිදුවීම විසින් ආරම්භ කල අලුත් විභවය යතාර්ථයක් කිරීමට කරනා සාමූහික අරගලයයි. ඒ අනුව අප විසින් සාකච්ජාවට ගන්නා ලිපිය තුළ ආරම්භයේදීම දීප්ති කුමාර ගුණරත්නගේ 'දේශපාලනයේ' ඇති ගැටලුව හොඳින් පැහැදිලි වෙයි. 

කෙසේ උවත් දීප්ති මෙහිදී අවංක පිලිගැනීමක් කරයි. එනම් 2004 දෙසැම්බර් මස ඔහුට එල්ල වූ චෝදනාව එවකට සංවිධානයේ බහුතරයක් දෙනා පිලි ගත් බවය. ඔහුගේ ගැටළුකාරී භාෂාවෙන්ම මෙය උපුටන්නේනම් එය මෙසේය: "දීප්තිගේ තීරණය මත මහ සමුළුව ඉදිරියේ දී ඡන්දය විමසූ මොහොතේ දීප්තිගේ පාර්ශවය වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය". මෙය වැදගත් සාක්ෂියකි. එකල ඔවුන් පැවසූයේ සංවිධානයේ බහුතරය සිටියේ ඔවුන් සමග බවයි. වසර අටක් පමණ ප්‍රමාද වී හෝ, එදා ඔහුට ගෙන ආ විවේචනය X කණ්ඩායමේ බහුතරයගේ අනුමැතියෙන් ජයග්‍රහණය වූ බව ඔහුම පිලිගැනීමෙන් එම විවේචන වල වලංගු භාවය තවදුරටත් තහවුරු වෙයි. 

මීළඟට ඇති අපූරු වාක්‍ය දෙකක් ගැනද අවධානය යොමු කිරීම වැදගත් වෙය්. ඔවුන් මෙසේ ලියයි: "සබුද්ධිකත්වයට කිසිදු ඉඩක් නොතබා හේතුව අනාථ කරමින් අරාජිකත්වය රජ විය. දහවල වෙනුවට අඳුර ලගා විය. ධනවාදයට වඩා උසස් සමාජයක් නිර්මාණය කිරීමට එකතු වූ පිරිසක් බඩුවක් ගසන විට ඉටි පන්දමක් අල්ලන පිරිසක් බවට පත්වන අයුරු ශෝකය මුසුව අප බලාගෙන සිටියෙමු". මෙය එක් අතකින් කිසි තාර්කික ප්‍රකාශයක් නොව හුදු අලංකාරිකයකි. මෙලෙස 'බඩුවක් ගසන විට ඉටි පන්දමක්' අල්ලාගෙන සිටියේ කවුද යන්න පැහැදිලිව කියන්නේනම් මේ ගැන වැඩිමනක් ලිවිය හැක. සදාචාරවාදීන් නොවන අප හට මිනිසුන් ගේ ලිංගික සම්බන්දකම් පිළිබඳව ප්‍රශ්නයක් නොමැති අතර, මෙවැනි කතා වලින් අප බය වන්නේද නොමැත. පුද්ගලයන්ගේ ලිංගික ජීවිතය ගැන තුට්ටු දෙකේ 'මනෝවිශ්ලේෂනාත්මක' මඩ ගැසීම් වලින් ඔවුනට බොහෝ දෙනෙකු බය කල හැකි උවත්, සිදුවීමේ සහ අභිමුකවීමේ භෞතිකවාදීන් වන අපව බය කල හැකියැයි සිතන්නේනම් එය බලවත් මුලාවකි. අපිට අනුව, 2005 පසුව විශාල පිරිසක් දේශපාලනය හැර යාම ඉතාම සබුද්ධික ලෙස වටහා ගත හැකි ය. තමන් විශාල ලෙස බලාපොරොත්තු තබා සිටි දේශපාලන ව්‍යාපෘතියක් මෙලෙස ප්‍රශ්න කල විට එයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් තුළ දිශානතිහරණයක් ඇති වීම තාර්කික වෙයි. එහිදී සිත් රිදීම්, කල කිරීම්, ඇති වීමත්, පාරිභෝජනවාදී සමාජ යථාර්ථයෙන් ඉදිරිපත් වන පෙළඹවීමත් අනිවාර්යතාවයන් වෙය්. අනෙක් අතට, X කණ්ඩායමේ ආරම්භක මොහොතේදී ප්‍රකාශ වූ 'සාමූහිකව හැදෑරීම' සහ එහි පසුකාලීන ව්‍යාප්තිය අතර තිබුනේ අනිවාර්ය ආතතියකි. මෙවන් ව්‍යාපෘතියක් සඳහා එවැනි අති විශාල පිරිස් බලයක් අවශ්‍ය නොවේ. එවැනි පිරිස් බලයක් සැබවින්ම එවන් ව්‍යාපෘතියකට බාධාවකි. ඒ අනුව, සැබවින්ම සිදු වූයේ 'දහවල වෙනුවට අඳුර ලඟා වීම' නොව අඳුරේ සිටි අපට මහා දවල් ඉර පෑව්වා සේ සත්‍යය අවබෝධ වීමය.

මීළඟට ඔවුන් කියන්නේ අප විසින් "දේශපාලනයේ නිෂ්ඨාව ආදරය සහ හැඟීම් යයි" ප්‍රකාශ කල බවය. මෙයද ඉහත වර්ගයේම පුදුමාකාර ප්‍රකාශයකි. එකල ලියවුනු සියලුම දේවල් අප කියවා නොමැති විය හැකි අතර, ඒ කියවූ දේද අපට දැන් මුළුමනින් මතකයට නොනැගේ. නමුත් දේශපාලනයේ 'නිෂ්ඨාව' ආදරය කියා කවුරුන් විසින් හෝ ප්‍රකාශ වූ බව අපට මතකයට එන්නේ නැත. ආදරය පිලිබඳ ලිපි ඵල වූ නමුත් එය දේශපාලනයේ නිෂ්ඨාව කියා අප විසින් කිසි දා කියා නොමැත. මෙවැනි ලිවීම් තමන් වටා සිටින ගිරා පැටවුන් අමන්දානන්දයට පත් කරන අලංකාරෝක්ති විනා, දේශපාලන තර්ක නොවෙයි.

මෙවැනි අතාර්කික වචන සෙල්ලම් මෙම ලිපිය පුරාම දැක ගත හැක. ඔවුන් විසින්ම ආරම්භයේදී පිළිගත් පරිදි එවකට සංවිධානයේ බහුතරය දීප්ති ට ගෙන ආ විවේචන වලට එකඟ වූවානම්. සංවිධානය විසින් ඵල කල "London" සඟරාවත්, සංවිධානය සතු අනෙකුත් දෙපලත් බහුතර පාර්ශවයට හිමි වීම 'පැහැර ගැනීමක්' වන්නේ නොමැත. අනෙක් අතට 2005 සංවිධානය කල මැයි දින රැලිය, එලෙස රැගෙන ගිය සංවිධානයේ දේපල ප්‍රදර්ශනය කිරීමක් නොවීය. එය සංවිධානය කර තිබුනේ සංස්කෘතික ප්‍රසංගයක් ලෙසය. එහිදී කෙටි අදහස් දැක්වීම්, සංගීතමය ඉදිරිපත් වීම් ආදිය තිබු අතර එමනිසා එයට සහභාගී වීම 'හිරිකිතයක්' වන්නේ කෙසේදැයි කියා පැහැදිලි නැත. එම නිසා එයට 'සිවිල් සමාජයේ වැදගත් යැයි සම්මත පුද්ගලයන්' ලෙස ඔවුන් විසින් නම් කරන පිරිස් පැමිණීම ගැටළුවක් විය හැක්කේ ඔවුන් දීප්ති ව විවේචනය කල පිරිස විසින් සංවිධානය කල සංස්කෘතික ප්‍රසංගයකට සහභාගී වීම පමණි. එම උළෙල අසාර්ථක එකක් යැයි කීම එකකි, නමුත් එයට සහභාගී විය හැක්කේ හිරිකිතයක් නැති නොවැදගත් මිනිසුන්ට පමනමයි යනුවෙන් කීම වෙනස් එකකි. දෙවැන්නෙන් කියා සිටින්නේ, "දීප්ති ව විවේචනය කරන කෙනෙක් සමග තව පුද්ගලයෙක් ඇසුරු කරන්නේනම් එවන්නා නොවැදගත් පුද්ගලයෙක්" බවයි. දීප්ති වෙත 2004 දෙසැම්බර් මසදී එල්ල කල චෝදනාව වන්නේද මෙයයි. ඔහුගේ මතයට විරුද්ද වීම කියන එක ඔහුට වටහා ගත හැකි එකම මාර්ගය වන්නේ 'සතුරා' යන්නය. ඒ අනුව ඔහුගේ 'මිතුරන්' වන්නේ ඔහු කියන දේට හිස සලා එකඟ වී සිටිනා කෙනෙක් පමණි. නමුත් මෙය මිත්‍රත්වය නොව තමන් කියන දේම පුනරුච්චාරණය කරනා ගිරවුන් පිරිසකි යන්න ඔහුට වැටහෙන්නේ නැත.

අවසාන වශයෙන්, මෙහි තිබෙනා තව එක් කරුණක් ගැන සඳහන් කරමි. මැයි දිනය දා පැවැත්වූ රැලියට 40 ක් පමණ පිරිසක් සහභාගී වූ බව  මෙම ලිපියේ සඳහන් කරන්නේ උපහාසාත්මකවය. දේශපාලනයක සත්‍යය-අසත්‍යය බව රඳා පවත්නේ එයට සමාජයක බහුතරයේ එකඟතාවය ලැබීම මත නොවෙයි. බොහෝ විට සිදු වන්නේ මෙහි ප්‍රතිපක්ෂයය. අප මේ පසු කරමින් සිටින මොහොත තුළ මෙම අවබෝධය නොමැති ඕනෑම ව්‍යාපෘතියක් ඉකමනින් අසාර්ථක වීම අනිවාර්යතාවයකි. අප සහ දීප්තිලාගේ කණ්ඩායම අතර ඇති ප්‍රධානම වෙනස වන්නේ මෙයයි. ඔවුන් විසින් යෝජිත ලෙනින්වාදී දේශපාලනය මේ මොහොතේදී ප්‍රායෝගිකකරණය කල හැකි නොවෙයි. අප මෙය සටහන් කලේ, මේ පිළිබඳව චුයින්ගම් එකක් වගේ දිග ඇදෙන විවාදයක් කිරීමට නොව, අනාගතයේදී නිවැරදි භාවය තීරණය කල හැකි විනිශ්චයක් වෙනුවෙනි. මෙය නිවැරදිද, නැතිද යන්න තීරණය කල හැක්කේ සංවාදයකින් නොව, අප එකිනකාගේ දේශපාලනයේ ප්‍රතිඵල අනුව ය. ගනඳුරු මැදියමේදී අප ඉදිරියේ ඇත්තේ අරුණළු නොව නපුරු සිහිනයක් බව අවිවාදිතය, එහෙත් නපුරු සිහිනයක් යනුද සිහිනයේම ප්‍රවර්ගයකි.