Tuesday, June 26, 2012

අජිත්ගේ පාට පාට ලා...ස්සන ලෝකය ගැන..

අජිත් පැරකුම් ජයසිංහ නිර්මාල් ගේ ජීවිතයට එල්ල වූ තර්ජනය සහ එය පසුබිමේ ඇති විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ යෝජිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ලියා තබා ඇති  සටහනට අපට කනගාටුවෙන් උවත් තරමක් කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවේ.

මෙහිදී අජිත් බොහෝ දේ ගැන ඔහුට සිතෙන දේ ලියා තිබෙන අතර, ඒවා සියල්ලටම පිළිතුරු දීමට අපට උවමනාවක් නොමැත. නමුත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ  වැඩ වර්ජනය මුව දොරේ තබා ඒ ගැන අජිත් ලියනා දෙයට අප පිළිතුරු දිය යුතු වෙමු. මන්ද ජීවිත තර්ජන හමුවේ, මිනිසුන් කරන මැදිහත් වීම් කැමති කැමති ආකාරයට ජෝක් කිරීමට ඉඩ දිය නොමැති හෙයිනි. මේ සම්බන්ධයෙන් අජිත්ගේ තර්ක දෙකක් වෙයි.

1. මෙය පටු ආත්මාර්ථකාමී, අදේශපාලනික බහුතරයකගේ ආර්ථික ඉල්ලීමක් වෙයි.
2. මේවා වෙනුවෙන් මහන්සි වනවාට වඩා කල යුත්තේ යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලයට දායකවීමය.

Sunday, June 24, 2012

‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ

ගුණදාස අමරසේකර විසින් රචිත රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තියනමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේයන්නයි. ගමනක අගයන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ගමනක අගයන නවකතාව ආශ‍්‍රයෙනි.

ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ගමනක අගනව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම තළින් නිර්මාණය වූ පසුව ජාතික චින්තනය නමින් බෞතීස්ම කෙරුණු අදහස් පද්ධතියේ සමාජ දේශපාලන පරිකල්පනයේ ප‍්‍රකාශනයක් බවයි. මෙම කතාමාලව අවසන් කරමින් ලියූ ගමනක අග කතාව අවසන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිනෙන කතාමාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස ගේ සිතුවිලි හරහා ජාතික චින්තනයේ සමාජ දේශපාලන සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාවූ පසුබිමක් දැන් නිර්මාණය වී ඇතැයි යන බලාපොරොත්තුව පාඨකයා ඉදිරියේ තැබීම මගිනි.

Saturday, June 16, 2012

අප රක්නා උරුමය!

පහතින් පල වන්නේ 1998 ජූනි - ජූලි මස 'මාතොට' සඟරාවේ සංස්කාරක සටහනයි. වසර දහ හතරකට පසු අප මෙය නැවත ඔබට ඉදිරිපත් කරමු. දශක එකහමාරක් පමණ කාලය තුල බොහෝ දේ වෙනස් වී තිබුනද සමහරක් දේ අවිචල්‍යය වේ. සටන් වැදිය යුත්තේ වෙනස්වන දේ සඳහා නොව, සදාකාලිත්වය වෙනුවෙන්ය යන්නද අපගේ අවිචල්‍යය වූ පර්ඥානයකි. ඉතිහාසය (History) යනු ඕපපාතික ප්‍රපංචයන්ගේ අර්ථ විරහිත විකාශනය නොව, පරිමිත අවස්ථාවක් තුල අපිරිමිතත්වයේ දෘශ්‍යමාන වීමය.   

Sunday, June 10, 2012

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති


සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කෙසේ වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළි ය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස ගනු ලැබූ පියවරක් නිසා පහරදීම ද වැරදි ක‍්‍රියාවකි. මේ නිසා මෙම පහරදීම සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ පියාට චෝදනා කිරීම සඳහා වැඩිදුර සිතාබැලීම එතරම්ම අවශ්‍ය නැත.

එසේ වෙතත් විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව පිළිබඳ සාකච්ඡා කිරීම එතරම්ම පහසු බව නොපෙනේ. ෂාක් ඩෙරීඩා ගේ සාකච්ඡාවට භාජනයවන පාරිශුද්ධ ශරීරය’ පිළිබඳ පාරභෞතිකය සහ එය මත්ද්‍රව්‍ය වැනි අස්වාභාවික’ ද්‍රව්‍ය වලින් දූෂණයට පත්වීම පිළිබඳ සාකච්ඡාව ඇසුරුකරගෙන පාරිශුද්ධ සංස්කෘතිය පිළිබඳ පාරභෞතිකය ප‍්‍රශ්න කිරීම දක්වා අවශ්‍යනම් මේ සාකච්ඡාව ගෙනයා හැකි නමුත් ඉන් මෙපිට තැනක මෙම සාකච්ඡාව ස්ථානගත කිරීමට මම කැමැත්තෙමි.


පාසැල තුළදී කිසියම් විනය නීති මාලාවකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් නතුකර තබා ගැනීම පාසැල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයකි. ඒ පසුපස ඇත්තේ  ඕනෑම ආයතනයක් පවත්වාගෙන යාමට කිසියම් නීති රීති මාලාවක් අවශ්‍යවීම යන පොදු මූලධර්මය පමණක් නොවේ. පාසැල් අධ්‍යාපනයේ මූලික කාර්ය වන ළමයා ශික්ෂණය කිරීම පිළිබඳ කාර්යයට මෙම පාසැල් විනය මාලාව සෘජුව සම්බන්ධ වේ. උදාහරණයක් ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලට වේලාවට පාසැලට පැමිනීම හා නියමිත කාලසටහන් නිසි පරිදි අනුගමනය කිරීම මඟින් අපේක්ෂා කරන්නේ හුදෙක් පාසැලේ දෛනික කටයුතු කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම පමණක් නොවේ. ඒ මඟින් කලට වේලාවට හා පිළිවෙලකට වැඩ කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීමක් ද අරමුණු කෙරේ. මෙම තත්වය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගෙන විනය නීති මාලාවක් පවත්වාගෙන යාම පාසැල් අධ්‍යාපනයේ අනිවාර්ය ලක්ෂනයක් වීම නොවැලැක්විය හැක්කකි.

එසේනම් ගැටලුව පවතින්නේ කොහේ ද?

ගැටලූව පවතින්නේ විනය නීති මගින් අපේක්ෂිත පරමාදර්ශී තත්වය හා එම නීති මගින් පාලනය කිරීමට උත්සාහ දැරෙන තත්වයන් අතර ආතතිය තීව්ර වීමයි. වර්තමානයේ දී පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිශ්චිත විනය රාමුවක් තුළ පිහිටුවීම මීට වසර තිහ හතලිහකට පෙර ඒ සඳහා පැවැති හැකියාවට වඩා අසීරු ය. මේ අසීරුභාවය නිසාම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතින් ඉහල විනය මට්ටමක් අපේක්ෂා කිරීමට ගුරුවරුන් හා විශේෂයෙන්ම විදුහල්පතිවරුන් බොහෝදුරට අපේක්ෂාභංගිත උත්සාහයන් දැරීම දක්නට ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතින් පමණක් නොව දෙමව්පියන් කෙරෙහි ද විනය නීති පැනවීමට තරම් විදුහල්පතිවරු ඉදිරියට ගොස් ඇත. මව්වරුන්ට පාසැලට පැමිනීමේ දී සාරි ඇඳීම අනිවාර්ය කරමින් විදුහල්පතිවරුන් විසින් පනවනු ලැබ ඇති අතීශය කරදරකාරී නීතිය එවැන්නකි. සාරිය ඇඳීම දෛනික ජීවන චර්යාවක් නොවන මව්වරුන්ට මෙන්ම සාරිය තම සංස්කෘතික ඇඳුම’ නොවන මව්වරුන්ටද විදුහල්පතිවරුන්ගේ මෙම බලහත්කාරී සංස්කෘතික නීතිය කරදරයක් වී ඇත.

 ඕනෑම විනය නීතියක් එය අනුගමනය කරනු ලැබීමට බල කෙරෙන කණ්ඩායම මත සංස්කෘතික මර්ධනයක් ලෙස ක‍්‍රියාත්මක වීම වැලැක්විය නොහැක්කකි. ඇත්ත වශයෙන්ම අධිපති කතිකාව සංස්කෘතිය’ ලෙස හඳුන්වන්නේ ම මෙම මර්ධනයයි. ඒ අනුව සංස්කෘතිය රැකගැනීමට නම් මෙම මර්ධනය අවශ්‍ය බවට තර්ක කෙරේ. එසේ වුව ද සාමාන්‍යයෙන් සමාජයක තුළනයක් පවත්වාගෙන යාමට නම් මෙම සංස්කෘතික ජීවිතයේ මර්ධනය කරනු ලබන කලාපය හා මර්ධන යාන්ත‍්‍රණය අතර සමතුලිතභාවයක් පවත්වාගෙන යා යුතුය. මෙම සංස්කෘතික මර්ධනය සාධාරණීකරණය කරන දෘෂ්ටිවාදය වන ආගම් විවිධ මට්ටම් වලින් මෙම තුළනය පවත්වාගෙන යාමට උත්සාහ දරයි. ඉස්ලාම් ආගම ස්ථාපිත ආගම් අතරින් මෙම සංස්කෘතික මර්ධනය ඉහලම මට්ටමින් පවත්ගෙන යන අතර ක‍්‍රිස්තියානි ආගම එය අවම මට්ටමකින් පවත්වාගෙන යයි. මේ නිසා ඉස්ලාම් සමාජවලට ඉහත කී සමතුලිතභාවය පවත්වාගෙන යාම සඳහා සමාජය මත දැඩි පාලනයක් අවශ්‍ය කෙරේ. මේ නිසාම ඉස්ලාම් ආගම විසින් අනුදත් දේශපාලනය දැක්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අධිකාරීවාදී එකක් වීම නොවැලැක්විය හැකි දෙයක් වී තිබේ.

වර්තමානයේ සිංහල බෞද්ධ සමාජය තුළ දැකිය හැකි ප‍්‍රවණතාවයක් වන්නේ මෙම සංස්කෘතික මර්ධනය ක‍්‍රම ක‍්‍රමයෙන් තීව්ර වීමයි. වර්තමානයේ ඇතිවී තිබෙන බෙහෙවින් ආක‍්‍රමණකාරී බෞද්ධ ප‍්‍රබෝධය ඉහළ සංස්කෘතික මර්ධනයක් සහිත ඉස්ලාම් ආගම සමඟ තරඟකාරීව සිදුකෙරෙන්නක් වීම ද මෙම ඉහළ මර්ධනකාරිත්වයට හේතුවී ඇතැයි තර්ක කිරීමට පුළුවන. මෙම සංස්කෘතික මර්ධනයේ ගුණාත්මක ඉහළයාම ගැටලූ සහගත තත්වයක් බවට පත්වී ඇත්තේ මේ සංස්කෘතික මර්ධන යාන්ත‍්‍රණ මගින් මර්ධිත ජීවන භාවිතාවන් වෙත ජනයා වැඩි වැඩියෙන් පොළඹවනු ලබන යථාර්ථයක් සමාජය තුළ දක්නට ලැබීමයි.

ඉස්ලාම් සමාජවලට සාපේක්ෂව බෞද්ධ සහ ක‍්‍රිස්තියානි සමාජවල පීතෘමූලික බල ආයතනවල ආධිපත්‍යය සම්ප‍්‍රදායිකවම සාපේක්ෂ වශයෙන් ලිහිල් නිසා සාමාන්‍ය තත්වය තුළ ජනයා ඉහළ සංස්කෘතික නිදහසක් භුක්ති විඳී. වර්තමාන ධනේශ්වර පරිභෝජනවාදය මෙම සංස්කෘතික නිදහස සමඟ හරියටම ගැලපේ. වර්තමාන පාලකයින් විසින් ඉතා ඉහලින් ඔසවා තබන සංවර්ධන කතිකාව තුළ මෙම අසීමාන්තික පරිභෝජන සංස්කෘතිය කේන්ද්‍රීය වැදගත්කමක් උසුලනු ලබයි. පාසැල් යන වයසේ විශේෂයෙන්ම ගැටවර වයසේ ළමුන් මෙම පාරිභෝජන සංස්කෘතියේ ඉතාම පහසු ගොදුරු ය. සාමාන්‍ය මධ්‍යම පංතික ජීවිතයක් ගතකිරීමට තරම් ආර්ථික ශක්තියක් ඇති සෑම පවුලකින්ම පාහේ ළමුන්ගේ මෙම අධි පරිභෝජනවාදී පුරුදු වලට අනුබලයක් ලැබේ.

දැන් ගැටලූව වන්නේ මෙම අධි පරිභෝජන සංස්කෘතිය විසින් පාසැල් දරුවන් තුළ වගාකරනු ලබන සංස්කෘතික පුරුදු සහ පාසැල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙන්ම බෞද්ධ ආගමික සංස්ථාව විසින් ද විනය නීති මගින් මෙම සංස්කෘතික පුරුදු මර්ධනය කොට අත්පත්කරගැනීමට අපේක්ෂාකරනු ලබන පරමාදර්ශී සංස්කෘතිය’ අතර දැඩි ආතතියක් තිබීමයි. මෙම ආතතිය විසින් මා ඉහත සඳහන් කළ සංස්කෘතික සමතුලනය බිඳදමා ඇත. ඇත්ත වශයෙන්ම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ මෙම තත්වයයි. මේ තත්වය පාසැල් ළමුන් කීප දෙනෙක්ම සිය දිවි හානිකර ගැනීමට තරම් බරපතල වූ බව අපි මීට වසර කීපයකට පෙර දුටුවෙමු.

කෙසේ වෙතත් වර්තමානයේ පවත්නා ගැටලූව වන්නේ ලංකාවේ අධ්‍යාපන සංස්ථාව හා ආගමික සංස්ථාව මේ ගැටලූව දෙස විවෘත මනසකින් බැලීමට සමත් ද යන්න යි. විශේෂයෙන්ම පාසැලට පැමිනෙන දෙමව්පියන්ගේ ඇඳුම පිළිබඳ ප‍්‍රශ්නය දෙස විවෘතව බැලීමට අසමත් අධ්‍යාපන සංස්ථාව සිසුන්ගේ විනය සම්බන්ධයෙන් විවෘතව බැලීමට ස්වේච්ඡාවෙන්ම කටයුතු කරාවියැයි සිතිය නොහැකි ය. මව්වරුන් ට පාසැල පැමිනීමේ දී සාරිය ඇඳීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් තිබේදැයි සොයා බැලූ කල්හී මට දැනගන්නට ලැබුනේ එවැනි චක‍්‍රලේඛයක් පවා නොමැති බවයි. පාසැලක් තුළ තිබිය යුතු විනයගත වාතාවරණයට අහිතකර නොවන ඇඳුමකින් පාසැලට පැමිනෙන විට දෙමාපියන් ද සැරසී සිටීමේ සාධාරණීකරණය කළ හැකි අවශ්‍යතාවය ක‍්‍රියාවට දැමෙන්නේ මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්ය කිරීමේ කරදරකාරී නීතියක් වශයෙනි.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ විනය සම්බන්ධයෙන් පාසැල් සිසු සිසුවියන්ගේ ප‍්‍රාර්ථනා සහ ගුරුවරුන්නේ ප‍්‍රාර්ථනා අතර ඇතිවී ඇති ආතතිය සමනය කොට ඒ සම්බන්ධව සමතුළිත තත්වයක් ඇතිකරගැනීම සඳහා වූ පොදු සූදානමක් තවමත් නොමැති බවයි. කෙසේ වෙතත් මගේ අදහස වන්නේ නම් මෙය තවත් කල් දැමිය නොහැකි අවශ්‍යතාවයක් බවයි.

නිර්මාල් රංජිත් දේවසිරි





Thursday, June 7, 2012

ගිම්හානයේ ඇරඹුම!


දීප්තිගේ කණ්ඩායම සමග පවත්වාගෙන යන ගෝරිය නැවැත්වීම හොදයි කියන එකයි මගේ නම් අදහස. මේකෙන් දීප්තිටවත් අපිටවත් වෙන කාටවත් සිද්ධවෙන ප්‍රයෝජනයක් නැහැ. දීප්ති ගැන විවේචනයක් අවශ්‍යයි. අපි ඒ ගැන ඕ තරම් ලියල කතා කරලත් තියනවා. තව දුරටත් එසේ කිරීම අවශ්‍යයි. නමුත් එය කල යුත්තේ බොහොම සංයමයකින් සහ මේගැන උනන්දුවක් දක්වන අයට බුද්ධිමය හා දේශපාලන වශයෙන් ප්‍රයෝජනයක් අත් වෙන ආකාරයටයි. වැදගත්ම දේ දීප්ති දේශපාලනය යනුවෙන් අදහස් කරන දේ දේශපාලනය නොවන බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අය සමග සාකච්චා කිරීමයි. දීප්තිගේ වටේ ඉන්නේ අත්දැකීම් නැති තරුණ පිරිසක්. ඊට අමතරව විවිධ හේතු නිසා දීප්තිත් එක්ක ඉන්න අයත් ඉන්නවා. කවුද අහල තිබුන, මම හිතන්නේ කල්යගෙන්, සමන් පුෂ්පකුමාර දීප්ති එක්ක ඉන්න එක පහදන්නේ කොහොමද කියල. ක හොඳ ප්‍රශ්නයක්. මට පුළුවන් සමන්ගේ නමට තව නම් ගොඩක් එකතු කරන්න. සුදර්ශන වගේ... ඒ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙන්න මම කැමති නැහැ. මම ඒ ප්‍රශ්නය අහපු කෙනාට කියන්න කැමති ප්‍රශ්නය ඉතා හොඳින් බාරගන්න බවයි. ඒ ප්‍රශ්නය ගැන පසුව විස්තරාත්මකව කතා කරන්න මම කැමතියි.

විශේෂයෙන් දැනට කෙරෙන සාකච්චාව ලංකාවේ දේශපාලන සංවාද වල සන්දර්භයේ තියල බැලුවහමත් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ.ඒ නිසා අපි ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ වඩාත් ප්‍රයෝජනවත් විදිහට මේ සාකච්චාව ගෙනියන්නේ කොහොමද කියන එක ගැන.
 
දීප්ති ගැන වෙන ඕනැ කෙනෙකුට වැඩිය සවිස්තරාත්මක විවේචනයක් කරන්න තරම් දීප්ති සමග මට තියන අත්දැකීම් බහුලයි කියලයි මම හිතන්නේ. ඒවායේ සමාජයට පොදුවේ වැදගත් වෙයි කියල හිතන දේ විස්තරාත්මකව ලියන්න මම බලාපොරොත්තු වෙනවා.


දීප්ති කියන්නේ සංකීර්ණ මනුෂ්‍යයෙක්. එයාට ගොඩක් විභවතාවයන් තියනවා. මම දීප්තිත් එක්ක එකතුවෙලා කරපු කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්නේ නැහැ. කෙන් කියන්නේ මට ඒ කරපු දේවල් ගැන විවේචන නැහැ කියන එක නෙවෙයි. ඒ ප්‍රශ්නය ගැන පසුව විස්තරාත්මකව කතා කරන්න මම කැමතියි.

දීප්ති ලියන කියන ඒවා දකිනකොට දීප්ති සමග දිගු අතීත සම්බන්ධතා තියන කෙනෙකුගේ කට කහනවා වගේ හැඟීමක් ඇතිවීම වලක්වන්න බැහැ. උදාහරණයකට දීප්ති පුබුදු ජයගොඩට යෝජනා කියනවා විප්ලවවාදීන් පොලිසි යන්නේ නැහැ කියල. එයා  උදාහරණයට ගන්නේ කොටුවේ දුම්රියපොළ අසලදී අපි කීපදෙනෙකුට පහර දීපු අවස්ථාවේ අපේ අය පොලිසියට යාම. එක දැක්කහම මගේ කට කහන්න පටන් ගත්ත සුමිත්වයි ප්‍රදීප්වයි රත්මලානේ ගෙදරින් එලවන්න දීප්ති පොලිසියට යන්න හදනකොට මම එක ප්‍රශ්නකරපුවහම දීප්ති මට දීපු උත්තරය මතක් වෙලා. උත්තරය තමයි තමන් ශිෂ්ට මනුෂ්‍යයෙක් නිසා ශිෂ් ආයතනයක් වන පොලිසියට යන බව. මෙතැනදී විප්ලවවාදීත්වය අතනදී ශිෂ්බව. මේවා සංයමයෙන් අහගෙන ඉන්න අපි පුරුදු විය යුතුයි.
 

නිර්මාල් රංජිත් දේවසිරි

Monday, June 4, 2012

අප රක්නා උරුමය!

පහතින් පල වන්නේ 1997 ඔක්තෝම්බර් මස "මාතොට" සඟරාවේ සංස්කාරක සටහනයි. වසර පහලවකට පසු අප හමුවේ ඇති චිත්‍රය කුමක්ද? එකල අප සමග මෙම අරගලයේ සිටි ගමන් සගයන් සමහරක් අද ලිංගික සදාචාරවාදයන් දේශනා කරමින් වෙසක් දිනයට සහ පොසොන් දිනයට නිවේදන නිකුත් කරයි. 'නිදහස්-ප්‍රේමය' වෙනුවෙන් එදා පෙනී සිටි අයම අද අප ඒ ගැන කතා කරන විට අපට වලත්තයන්, විපරීතයන් කියමින් සමාජය ගිනි තියයි. ඔවුන් දැන් පෙනී ඉන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සාරය රැක ගැනීමට යි. බදියු පවසනා පරිදි මේ ඉතිහාසය යලි ඉපැදීමේ යුගයයි. එම නිසා සදාකාලික වර්තමානයක ගිලී ඉන්නා රැඩිකල් දේශපාලන සංවාදයට අප නැවතත් 'ඉතිහාසය' රැගෙන එන්නට තීරණය කළෙමු.

ආදරය සහ සමාජය
 

Sunday, June 3, 2012

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම


1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතර ය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ පරිභෝජන පුරුද්දයි. කොකා කෝලා වැනි බටහිර සිසිල් බීම වර්ග වලට වැඩි වැදගත් කමක් ලබා දී ඊට ආදේශ වශයෙන් භාවිත කළ හැකි ස්වදේශීය බීම වර්ග නොතකා හැරීම ගැන දොඩංගොඩ මහතා එජාප පාලනය විවේචනය ලක් කලේය. එවිට ජයවික‍්‍රම පෙරේරා මහතා විමසා සිටියේ දොඩංගොඩ මහතාගේ පක්ෂය බලයට පැමිණි කල්හි කොකා කෝලා වැනි බීම වර්ග තහනම් කරන්නේ ද යන්න යි. ඊට සෘජු පිළිතුරක් දීමට දොඩංගොඩ මහතාට හැකිවූයේ නැත.


Friday, June 1, 2012

පුහුල් හොරාගේ ව්‍යුහාත්මක යථාර්ථය



අපගේ බ්ලොග් අඩවියේ පලවූ ලිපිවල ලින්ක්ස් ෆේස්බුක් වෙබ් අඩවියේ පල කිරීම වළක්වමින් එහි URL එක ඊයේ දිනයේදී ෆේස්බුක් වෙබ් අඩවිය පවත්වාගෙන යන්නන් විසින් නවතා දැමූ බව ඔබ දන්නවා ඇතැයි කියා සිතමු. මෙයට හේතුව වුයේ අපගේ බ්ලොග් අඩවිය spammy සහ/හෝ abusive බව කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් එහි පරිපාලකයින්ට වාර්තා කර තිබූ නිසා ය. මෙසේ වාර්තා කර ඇත්තේ කවුරුන්ද කියා අපි නොදනිමු. අපව මර්ධනය කිරීමට අවශ්‍යය වන්නේ කාටද කියා උපකල්පනය කිරීමට පමණි අපට හැකි වන්නේ.

 
 

සාමාන්‍යය තත්වයන් උඩ ලංකාවේ අදහස් පැවසීමේ අයිතිය මර්ධනය කිරීම සම්බන්ධයෙන් බොහෝ විට ඇඟිල්ල දිගු වෙන්නේ ආණ්ඩුව දෙසටය. නමුත් අපගේ බ්ලොග් අඩවිය පිළිබඳව ෆේස්බුක් එකෙන් ප්‍රචාරය දීම වැලක්වීමට ආණ්ඩුව උත්සාහ කරයි කියනා සිතුවිල්ලද සිනහ උපදවන්නකි. එම නිසා අපගේ අදහස් ප්‍රකාශනය සහ ප්‍රචාරණය ඉවසන්නේ නැති වෙනත් පාර්ශවයක් විසින් මෙය කර ඇති බව පැහැදිලි ය.